ජයග්‍රහණය සැමරීම හා නූගත් පාඩම්

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල්හි දී ශ්‍රී ලංකා හමුදාව හා රණවිරුවන් ලත් ජයග්‍රහණය සැමරිය නොයුතු යෑයි කියන සුළු පිරිසක්‌ රටේ වෙත...

2009 මැයි 19 වැනි දින නන්දිකඩාල්හි දී ශ්‍රී ලංකා හමුදාව හා රණවිරුවන් ලත් ජයග්‍රහණය සැමරිය නොයුතු යෑයි කියන සුළු පිරිසක්‌ රටේ වෙති. ඔවුන්ට අනුව ජයග්‍රහණය සැමරීමෙන් දෙමළ ජනයාගේ සිත් රිදෙන්නට හැකිය. එය ඊනියා සංහිඳියාවට හෙවත් ප්‍රතිසන්ධානයට (ශබ්දකෝෂයට අනුව රෙකන්සිලේෂන් යන්නෙහි සිංහල පරිවර්තනය) බාධාවක්‌ විය හැකි යෑයි ඔවුහු සිතති. ඒ අතර ඔවුන්ගෙන් සමහරෙක්‌ ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් එංගලන්තය, ඇමරිකාව හා රුසියාව ජය ගැනීම තවමත් අනුස්‌මරණය කරති. ඒ ජර්මනිය, ඉතාලිය හා ජපානය ඒ ගැන නොසිතන නිසා විය හැකිය. අද ඒ යුද්ධයෙහි ජයග්‍රාහකයන් මෙන්ම පරාජිතයන් ද ආර්ථික හා දේශපාලනික අර්බුදයක ගිලී ඇති අයුරු දැනගත හැකිය. රෙකන්සිලේෂන් යන වචනය අපට කිසිසේත්ම අදාළ නැති දකුණු අප්‍රිකානු සිද්ධිවලින් ණයට ගත්තකි. එය ලංකාවට හඳුන්වා දුන් පඬියා කවුදැයි අපි නොදනිමු. දකුණු අප්‍රිකාවේ සුද්දොa කල්ලන් යටපත් කරගෙන සිටියහ. සුද්දන්ගෙන් කල්ලන්ට දේශපාලන බලය මාරුවීමේදී කල්ලන් රවටා සුද්දන්ට නොසරිලන බලයක්‌ ලබාදීමට සැලසුම් කිරීම (ඇතැම් විට ජීවිත ද ඇතුළුව) ඒ ඊනියා ප්‍රතිසන්ධානයේ අරමුණ විය. අවුරුදු තුනකට ඉහතදී ලංකාවේ දේශපාලන බලය කාගෙන් කාහට මාරුවිණිද? පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපති ධුරයේ හෝ වෙනසක්‌ පසුගිය අවුරුදු තුනෙහි සිදුවී නැත. නන්දිකඩාල් කලපුවේදී සිදුවූයේ දෙමළ ත්‍රස්‌තවාදය පරාජය වීමය.

දෙමළ ත්‍රස්‌තවාදය යනු දෙමළ ජාතිවාදයේ විකාශයෙහි එක්‌ අවස්‌ථාවක බිහිවුණු ප්‍රපංචයකි. අප දිගින් දිගටම කියා ඇත්තේ දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක්‌ බවත් ඉංගිරිසින් එය හදා වඩා පෝෂණය කර සිංහලයන්ට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ට එරෙහිව සිංහලයන් හා සිංහල සංස්‌කෘතිය හැකිනම් නැති කිරීමට නැත්නම් අඩුම තරමෙන් දුර්වල කිරීමට යොදාගත් බවත්ය. එහිදී ඉංගිරිසීහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල නායකයන්ට මෙරට නායකත්වය ලබාදීමට කටයුතු කළේ ව්‍යවස්‌ථාදායක සභාවේ බහුතරය ඔවුන් බවට පත් කිරීමට උත්සාහ කරමිනි. එහෙත් මෙරට අවුරුදු දෙදහස්‌ පන්සියයකට වැඩි ඉතිහාසය, සංස්‌කෘතිය, ජනගහන ව්‍යාප්තිය ආදිය මකා දැමීමට ඉංගිරිසින්ට නොහැකි විය. අවසානයේදී සර්වජන ඡන්දය ලබාදීමත් සමග සිංහලයන්ට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හා පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක්‌ හිමි විණි. දෙමළ ලෙස සිතා රටේ නායකත්වයට පත්වීමට බැරි බව දුටු චෙල්වනායගම් ඉන් නිසි පාඩම උගත්තේ නැත. ආණ්‌ඩුව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමක්‌ පත්නොකර නූගත් පාඩම් කොමිසමක්‌ පත් කළේ නම් දෙමළ නායකයන් නූගත් ප්‍රධානම පාඩම අනාවරණය වීමට තිබිණි. අදත් මෙරට දේශපාලනඥයන් හා ඊනියා උගතුන් බහුතරය මේ පාඩම ඉගෙනීමට මැළිවී ඇත්තේ ඔවුන්ට බටහිරයන්ගෙන් ලැබී ඇති මැකෝලේ අධ්‍යාපනය නිසාය.

මේ පාඩම අන් කිසිවක්‌ නොව මෙරට තබා කිසිම රටක්‌ මහා අර්ථයකින් බහු සංස්‌කෘතික රටක්‌ නොවන බවත්, ලංකාව සිංහල බෞද්ධ රට බවත් දෙමළ යනුවෙන් වාර්ගිකව සිතීමෙන් කිසිම දිනෙක දෙමළ නායකයකුට මෙරට ජන නායකයා විය නොහැකි බවත්ය. මේ රට සිංහල බෞද්ධ රට බවත් මෙහි අධිපතිවාදී සංස්‌කෘතියක්‌ නොමැති බවත් (බෞද්ධයනට අධිපතිවාදී සංස්‌කෘතියක්‌ තිබිය නොහැකිය.) එහෙත් සිංහල බෞද්ධ සංස්‌කෘතිය මෙරට විශේෂිත සංස්‌කෘතිය බවත් ඒ බව පිළිගත යුතු බවත් දෙමළ ජාතිවාදී නායකයන් ඉගෙනීමට ප්‍රතික්‌ෂේප කිරීම අවසානයේදී දරුණු ලේ හැලීමකින් කෙළවර විය. ඒ පාඩම නූගත් චෙල්වනායගම් උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන රාජ්‍යයක්‌ පිහිටුවීමට උත්සාහ කළේ ප්‍රභාකරන්ට පාර කපමිනි. තවමත් බොහෝ දෙමළ නායකයන් ඒ පාඩම ඉගෙනීමට සූදානම් නැත. බටහිරයෝ ද ඉන්දියානුවෝද ඔවුන්ට ඒ පාඩම ඉගෙනීමට නොදෙති. දෙමළ නායකයන් බටහිරයන්ගෙන් ද ඉන්දියානුවන් ගෙන් ද නිදහස්‌ නොවන්නේ නම් නැවතත් ලේ වැගිරීමක්‌ සිදුවනු වැළැක්‌විය නොහැකිය.

2009 මැයි 19 වැනිදා ආරක්‍ෂක ලේකම්තුමා ප්‍රධාන රණවිරුවන් විසින් පරාජයට පත්කරනු ලැබුයේ දෙමළ ත්‍රස්‌තවාදය පමණක්‌ නොවේ. එහිදී ඉන්දියානුවෝද එංගලන්තය හා ඇමරිකාව ප්‍රමුඛ බටහිරයෝද, ජනාධිපතිතුමා විසින් පරාජය කරනු ලැබිණි. ඒ එතුමාගේ දේශපාලන නායකත්වයෙනි. එහෙත් බටහිරයන් හා ඉන්දියානුවන් ද ඒ පරාජයෙන් පාඩමක්‌ ඉගෙන නැත. දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කරනු ලැබිණි ද, බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන් දෙමළ ජාතිවාදය තවමත් පවත්වාගෙන යනු ලැබේ. අද බටහිර රටවල විසුරුණු දෙමළ ජනයාද (ඩයස්‌පෝරා යන පණ්‌ඩිතමානි බයිබල් වචනයෙන් වෙනත් අර්ථ කථන දෙන බව ඇතැම් සිංහල දේශහිතෛෂීන්ට ද නො වැටහෙයි.) දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් පිරිස්‌ ද බටහිර දැනුම එකම දැනුම යෑයි සිතන පඬියෝ ද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යැම සඳහා බටහිරයන් හා ඉන්දියානුවන් විසින් යොදා ගනු ලැබෙති. දෙමළ ජාතිවාදය තිබෙනතාක්‌ මෙරටට සාමය උදා නොවනු ඇත. පඬියන් සහ වෙනත් බටහිර ගැත්තන් බොහෝවිට පණ්‌ඩිතමානීව කියන්නේ ආණ්‌ඩුව යුද්ධය දිනුවත් සාමය උදාකර නැති බවය. එයට හේතුව අන් කිසිවක්‌ නොව පඬියන්ගේ ද ආධාරයෙන් බටහිරයන් හා ඉන්දියානුවන් පවත්වාගෙන යන දෙමළ ජාතිවාදය ය. අප දෙමළ ජාතිවාදය න්‍යායිකව පරදවා ඇති නමුත් තවමත් එය දේශපාලනිකව පරාජය කෙරී නැත.

මේ තීරුවෙහි වරක්‌ සඳහන් වී ඇති අන්දමට අපි විජිතපුරය ජයග්‍රහණය කළෙමු. එහෙත් අප තවමත් අනුරාධපුරයට ගොස්‌ නැත. එළාර ඔබාමාගේ හා කැමරන්ගේ වෙසින් තවමත් පවතියි. තවම අපට අනුරපුර සටනට සුදුස්‌සෝ නොවෙති. අපට ඒ සටන සඳහා විජාතික, විදේශීය වූ විදේශ අමාත්‍යංශයක්‌ වෙනුවට ජාතික වූ විදේශ අමාත්‍යංශයක්‌ ද අවශ්‍ය වෙයි. එහෙත් නන්දිකඩාල් ජයග්‍රහණය ඉතා උත්සවත්ශ්‍රීයෙන් සැමරීමට එය බාධාවක්‌ නොවිය යුතුය. නන්දිකඩාල් කලපුවේ දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කෙරිණි. ඒ අතර දෙමළ ත්‍රස්‌තවාදය ඇතිකර පෝෂණය කළ බටහිර රටවල් ද පරාජය කෙරිණි. ලෝකයේ ප්‍රථම වරට ත්‍රස්‌තවාදී නඩයක්‌ (බටහිර බලවතුන්ගේ සහාය ලැබුණු) පරාජය කරනු ලැබිණි. එවැනි ජයග්‍රහණයකින් පසුව උත්සව පවත්වන්නේ නැතිනම් උත්සව පවත්වන්නේ කවදා ද? උත්සව පැවැත්වීමෙන් දෙමළ ජනයාගේ සිත් නරක්‌ විය යුතු නොවේ. එසේ කියන්නෝ කලින් කී පාඩම නූගත් අය වෙති. නන්දිකඩාල් ජයග්‍රහණය ගැන දෙමළ ජනයා ද සතුටු විය යුත්තේ ඔවුන්ට එමගින් දෙමළ ත්‍රස්‌තවාදයේ වියගහෙන් නිදහස්‌ වීමට හැකිවුණු බැවිනි. අප ඔවුන්ට ද මෙරට සිංහල බෞද්ධ රට බව කීමට මැළි විය යුතු නොවේ. මෙරට සිංහල බෞද්ධ රට යන්නෙන් දෙමළ හින්දු සංස්‌කෘතියට මෙරට තැනක්‌ නැති බවක්‌වත් දෙමළ ජනයා දෙවැනි පන්තියේ පුරවැසියන් බවවත් නොකියෑවෙයි.

පුද්ගලයන් වශයෙන් ගත් කල සියල්ලෝම නීතිය ඉදිරියේ සමානයෝ වෙති. එහෙත් සංස්‌කෘතීන් වශයෙන් ගත් කල සිංහල බෞද්ධ සංස්‌කෘතිය අනෙක්‌ සංස්‌කෘතීන්ට වඩා විශේෂ තැනක්‌ ගනියි. කරුණාකර එක්‌ පඬියකුවත් සියලු සංස්‌කෘතීන් සමාන වන රටකට උදාහරණයක්‌ පවසන්නේද? පඬියන් බොහෝවිට පරමාදර්ශී රටක්‌ ලෙස සලකන පුර රාජ්‍යයක්‌ වූ සිංගප්පූරුවේ ද අධිපතිවාදී සංස්‌කෘතියක්‌ වෙයි. ඒ මැන්ඩරින් චීන සංස්‌කෘතියෙහි විශේෂයකි. මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූයේ ප්‍රධාන වශයෙන්ම මෙරට සිංහල බෞද්ධයන්ගේ ඡන්දයෙනි. අද ඒ මහතා වටකරගෙන සිටින ඇතැම්හු ඒ මහතාට ඡන්දය දුන් අයවත් නොවෙති. ඔවුහු ඒ මහතාට විරුද්ධව ලිපි ලිවූහ. මැතිවරණ හා ජනාධිපතිවරණ ව්‍යාපාරවල නියුක්‌ත වූහ. අද ආණ්‌ඩුව නැංගුරමක්‌ නැති නැවක්‌ මෙන් ඇදී යන බවක්‌ යම් කිසිවකුට පෙනෙන්නේ නම් එයට ප්‍රධාන හේතුව ප්‍රතිගාමී සිංහල බෞද්ධ විරෝධී පිරිස්‌ ඒ මහතා වටකරගෙන ජාතිකත්වයට පටහැනි උපදෙස්‌ ලබාදීමය. "යුද්ධය" දිනීමට නොහැකි යෑයි කීවෝ අද යුද්ධය ගැන ලියති. යම් අයුරකින් බටහිරයන්ගේ සැලසුම් මල්ඵල ගැනී මහින්ද රාජපක්‍ෂ මහතාට ජනාධිපතිකම අහෝසි වුවහොත් මේ පුද්ගලයන් ටයි මාරුකරනු දැකගත හැකිවනු ඇත. අවාසනාවකට අද ඇමැති මණ්‌ඩලයේ සිටින සමහරුන්ටද "යුද්ධය" ජයග්‍රහණය කිරීම ගැන කිසිදු විශ්වාසයක්‌ නොතිබිණි. ඔවුහු කී දෙනෙක්‌ පැකේඡ් ඇමැතියෝ වූවෝද? අප සැමදාමත් කියා සිටියේ මෙරට යුද්ධයක්‌ නොතිබූ බවය. අපේ හමුදාවට සිදුවූයේ සතුරු රටක්‌ සමග යුද්ධ කිරීමටවත්, සිවිල් යුද්ධයක පැටලීමටවත් නොව නිත්‍යානුකූලව බලයට පත් රාජ්‍යයට විරුද්ධව බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙන් ඔවුන්ම සැපයූ ආයුධ අතට ගත් ත්‍රස්‌තවාදීන් පිරිසකට එරෙහිව මානුෂික මෙහෙවරක්‌ දියත් කිරීමටය. එය කිසිසේත්ම ම දෙමළ ජනයාට එරෙහිව කරන ලද සටනක්‌ නොවීය.

දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කිරීමට බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍ර‚ලයක්‌ මෙන් සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට ද හැකිවිය යුතුය. කළ යුත්තේ සිංහල බෞද්ධ විරෝධී කොටස්‌ ඉවත්කර නැවතත් බටහිරයන්ට හා ඉන්දියානුවන්ට එරෙහිව ඉන්ද්‍ර‚ලයක්‌ සේ කටයුතු කිරීම පමණකි. දරුස්‌මාන් ලවා ලියාගත් රොබට්‌ බ්ලේක්‌ බෑන් කී මූන් වාර්තාව, සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතා, චැනල් ෆොa කුණුහරුප, ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්, ජාත්‍යන්තර යුද්ධාධිකරණ, ජෙනීවා යෝජනා ආදී සියල්ල එක්‌ දම්වැලක පුරුක්‌ මිස තනි තනි සිද්ධි නොවේ. එබැවින් ඒවා තනි තනිවම ගෙන ප්‍රතිචාර දැක්‌වීම ප්‍රඥවන්ත නොවේ. අද බටහිරයන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය කෙක්‌කෙන් හෝ කොක්‌කෙන් මහින්ද රාජපක්‌ෂ මහතා (පඬියන්ගේ ඊනියා රෙජීමය) ඉවත්කර ඒ වෙනුවට ඔවුන්ගේ ඉත්තකු පත්කර ගැනීමය. මහින්ද රාජපක්‍ෂ මහතා තමාට ඡන්දය දුන් මෙරට ලක්‍ෂ ගණන් සිංහලයන්ගේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ ප්‍රසාදය දිනාගෙන සිටිනතාක්‌ වයිමාට නොව මාරයාටවත් ඒ මහතා ඉවත් කිරීමට නොහැකි වනු ඇත. අප වටහාගත යුත්තක්‌ වේ. මේ 1506 වත්, 1815 වත් නොවේ. පහළොස්‌වැනි සියවස අග ඇතිවූ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය අද යන ගී ගයයි. ආර්ථික අර්බුදයක ගෙලවට දක්‌වා එරී ඇති ක්‍රිස්‌තියානි නූතනත්වයට ගොඩ ඒමක්‌ නැත. රොබට්‌ බ්ලේක්‌ට රොබට්‌ බ්‍රවුන්රිග්ගේ ශක්‌තියවත් නැත.

-මහාචාර්‍ය නලින් ද සිල්වා
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-05-20

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 4011083094533233239

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item