උතුරේ කඳවුරු ජෝන් රැන්කින් හා ගෝඨාභය !

බ්‍රිතාන්‍ය හමුදා 2001 ඔක්‌තෝබර් මාසයේ සිට ඇෆ්ගනිස්‌ථානයේ මෙහෙයුම්වල යෙදෙයි. සැප්තැම්බර් 11 ප්‍රහ...

බ්‍රිතාන්‍ය හමුදා 2001 ඔක්‌තෝබර් මාසයේ සිට ඇෆ්ගනිස්‌ථානයේ මෙහෙයුම්වල යෙදෙයි. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්‌ථානයට පැමිණි කාලයේම බ්‍රිතාන්‍ය හමුදාවෙන් තලේබාන්වරුන්ට එරෙහිව අල්ඛයිඩාවට එරෙහිව මෙහෙයුම් ආරම්භ කළහ. පසුගියදා චිකාගෝහි පැවැති නේටෝ සමුළුවේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේ 2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්‌ථානයේ සිදු කරන මෙහෙයුම් නවතා තම භට පිරිස්‌ සිය රටට ගෙන යන බවයි. 2014 පසුව බ්‍රිතාන්‍ය විශේෂ බලකායේ භට පිරිසක්‌ පමණක්‌ ඇෆ්ගන් හමුදා භටයින් පුහුණුව සඳහා රැඳී සිටිනු ඇති බව හෙතෙම හෙළි කළේය.

ඇෆ්ගනිස්‌ථානයේ මේ වන විට බ්‍රිතාන්‍ය භටයින් 9,500 ක්‌ සිටින අතර 2001 සිට මේ දක්‌වා සිදු කළ මෙහෙයුම් වලදී මිය ගිය භටයින් සංඛ්‍යාව 414 කි. ඇෆ්ගනිස්‌ථානයේදී සිය තරුණයින් නිරපරාදේ මිය යැම ගැන බ්‍රිතාන්‍ය සාමාන්‍ය ජනයා තුළ නම් එතරම් පැහැදීමක්‌ නැත. අද අපට ඇෆ්ගන් මෙහෙයුම් වල යෙදෙන බ්‍රිතාන්‍ය හමුදා භටයින් ගැන සඳහන් කිරීමට සිදු වුයේ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජොන් රැන්කින් සිය තානාපති බලතල ද ඉක්‌මවා යමින් ශ්‍රී ලංකාවට ආරක්‍ෂක උපදේශ ලබාදීමට කටයුතු කර ඇති නිසාය. මේ මහකොමසාරිස්‌වරයා සිය තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය හරහා ප්‍රකාශ කර ඇත්තේ උතුරු පලාතේ හා වන්නියේ ඇති ආරක්‍ෂක හමුදා කඳවුරු ප්‍රමාණය අඩු කළ යුතු බවයි. ජෝන් රැන්කින් මහතා ඇෆ්ගනිස්‌ථානයේ හෙල්මාන්ස්‌ ප්‍රාන්තයේ පිහිටුවා ඇති බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ප්‍රමාණය අඩු කළ යුතු බව ප්‍රකාශ කළා නම් අපට ප්‍රශ්නයක්‌ නැත. නමුත් ලොව දරුණුතම ත්‍රස්‌තවාදය ක්‍රියාත්මක වූ උතුරු පළාතේ හමුදා කඳවුරු අඩු කරන්නැයි කීමට මේ සුදු තානාපතිට ඇති බලය කුමක්‌ද? ඔහු මේ කථාව ප්‍රකාශ කර ඇත්තේද මැයි 19 වැනිදා පැවැති විජයග්‍රහණයේ සමරු පෙළ පාළියේදී ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුරේ හමුදා කඳවුරු අඩු කිරීමට තමන් සූදානම් නැති බවට කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

ජෝන් රැන්කින්ගේ මේ ප්‍රකාශය ගැන විදේශ අමාත්‍යාශයද සිය විරෝධය පළ කළ අතර මේ තානාපතිවරයා සිය අමාත්‍යාංශයට කැඳවාම රජයේ නොසතුටට පළ කිරීමට ඇමැති ජී. එල්. පීරිස්‌ මහතා කටයුතු කළ බව මාධ්‍ය මගින් පළ විය. ඇත්තෙන්ම ජෝන් රැන්කින්ගේ ප්‍රකාශ වලින් හෙළිවන්නේ කවරෙක්‌ද? මිය ගිය කොටින් නැවත වන්නියේ හෝ උතුරේ හොල්මන් කරන්නට මේ සුදු අධිරාජ්‍යවාදීන් කැමැති බවයි. එදා ඩේවිඩ් මිලිබෑන්ඩ් 2009 අප්‍රේල් මාසයේදී සටන් විරාමයක්‌ ඉල්ලාගෙන ලංකාවට පැමිණියේ කවර අරමුණින්ද? කොටි සමූල ඝාතනයවීම වැළැක්‌වීම සඳහාය. එම උත්සාහය අසාර්ථක විය. එහෙත් දැන් බ්‍රිතාන්‍යය උත්සාහ කරන්නේ උතුරේ හමුදා කඳවුරු ඉවත්කර නැවත දෙමළ ත්‍රස්‌තවාදය පැතිරෙන්නට අවශ්‍ය වට පිටාව සකස්‌ කිරීමටද? මේ රාජ්‍ය තාන්ත්‍රික ත්‍රස්‌තවාදී ප්‍රකාශ හෙළා දැකිය යුතුව ඇත. එදා ජනපති ප්‍රේමදාස මහතා ජනපතිව සිටි සමයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ ලෙස කටයුතු කළ ඩේවිඩ් ග්ලැඩ්ස්‌ටන් කටයුතු කළ අත්තනෝමතික ආකාරයටම මේ රැන්කින් කටයුතු කරන බව පෙනේ.

ජෝන් රැන්කින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු යෑයි පවසද්දී රැන්කින්ගේ රටේ බීබීසීයට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ප්‍රකාශය සැබවින්ම අගය කළ යුතුය. කෙලින්ම සිය අදහස්‌ දක්‌වන ආරක්‍ෂක ලේකම්වරයා කොළඹ බීබීසී වාර්තාකරු වන චාල්ස්‌ හාවිලෑන්ඩ්ට ප්‍රකාශ කර තිබුණේ උතුරු පළාත දෙමළ ජනතාවට පමණක්‌ අයත් ප්‍රදේශයක්‌ නොවන බවයි. විශේෂයෙන්ම සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු රටේ සෑම ජනකොටසම රටේ ඕනෑම තැනක ජීවත්වීමේ අයිතිය තිබිය යුතු බව ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රකාශ කර තිබිණි. සිය ප්‍රකාශය හරහා ඊනියා දෙමළ නිජබිම් මිත්‍යාවටද ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කර තිබීම පැසසිය යුත්තකි.

බ්‍රිතාන්‍ය මහකොමසාරිස්‌ මෙන්ම බීබීසියටත් අවශ්‍ය උතුරේ හමුදා කඳවුරු ඉවත් වෙනවා දකින්නටය. බීබීසී වාර්තාකරු ආරක්‍ෂක ලේකම් සමග සම්මුඛ සාකච්ඡාවට දින කිහිපයකට පෙර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමගද සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්වා තිබිණි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා බීබීසියට දැක්‌වු අදහස්‌ ගැන, දෙමළ ජාතික සන්ධානය අවි අමෝරාගෙන ඇත. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා පවසන්නේ ආරක්‍ෂක ලේකම්වරයාට අවශ්‍ය උතුරේ ජනසංයුතිය වෙනස්‌ කිරීමට බවය. එහෙත් උතුරේ ජන සංයුතිය වෙනස්‌ කිරීමට නොව උතුර සාමකාමීව ඉදිරියටත් පවත්වාගෙන යැම ආරක්‍ෂක අමාත්‍යංශයේ ප්‍රධාන අභියෝගය වේ. එහෙත් එයට බාධා කරන්නේ ජොන් රැන්කින් වැනි තානාපතිවරුය. දෙමළ ඩයස්‌පෝරාවට අවශ්‍ය ඉල්ලීම් මේ තානාපතිවරු හරහා එළියට එන බව අළුතෙන් සඳහන් කළ යුතු නැත. කවරක්‌ නමුත් ආරක්‍ෂක ලේකම්වරයා නම් මේ ඊනියා ඉල්ලීම්වලට කිසිම කැමැත්තක්‌ නොදක්‌වන බව නම් පැහැදිලිය.

ප්‍රභාකරන් ඇතුළු දෙමළ නාසිවාදී කල්ලියට උතුරු පළාත තනි දෙමළ රාජ්‍යයක්‌ කිරීමට නොහැකි වූයේද මේ ආරක්‍ෂක ලේකම්වරයා නිසාය. එනිසාම 2006 දෙසැම්බර් 01 වැනිදා පෙරවරු 10.35 ට කොල්ලුපිටිය පිත්තල හන්දියේදී ත්‍රිරෝද රථයක ආරක්‍ෂක ලේකම්වරයා ඉලක්‌ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බයක්‌ පුපුරා ගියද ජාතියේ වාසනාවට අනතුර වැළකිණි. ඒ සරත් ෆොන්සේකා මහතාට ප්‍රහාරයක්‌ එල්ලකර මාස අටකට පසුවය. පොට්‌ටු අම්මාන්ගේ ටොසී ඔත්තු සේවාවේ ඉලක්‌ක වැරදිණි. අද ඒ ඔත්තු සේවාව ඉතිහාසයට එක්‌වී ඇත. නමුත් එදා ටොසී ඔත්තු සේවාව වෙනුවෙන් බටහිර සිට ආධාර එවූ අය දැන් උතුරේ කඳවුරු ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා රජයට බලකරන්නැයි බටහිර රටවලින් ඉල්ලති. ලැබූ ජයග්‍රහණ පාවාදීමට කිසිවකු කටයුතු කළ යුතු නැත.

ජර්මනියේ, ඕමානයේ, බෲනායිහි, ජෝර්ජියාවේ, කෙන්යාවේ පමණක්‌ නොව ඉතියෝපියාවේද හමුදා කඳවුරු පවත්වාගෙන යන බ්‍රිතාන්‍යයට උතුරේ හමුදා කඳවුරු ගැන ප්‍රශ්න ඇතිවීම පුදුම සහගතය. ඇත්තෙන්ම මෙයින් පැහැදිලිවන සත්‍යය නම් ප්‍රභාකරන්ගේ පරාජය ගැන බ්‍රිතාන්‍යය සිටින්නේ කණස්‌සල්ලෙන් බවයි. එහෙත් ඒ කණස්‌සල්ල ගැන අපට කරන්නට දෙයක්‌ නැත. යමෙකුට දුක ශෝකය ඇතිවන විට තවත් අයකුට සතුට සැනසුම ලඟාවේ. එය ලෝකයේ හැටිය.

-චතුර පමුණුව

2012-06-03

Related

චතුර පමුණුව 4685155038096058421

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item