අපතේ යන ජලකඳත් රැකගෙන ජාතික ක්‍රීඩාවකටත් අත දිය හැකි මගක්‌

  දැවෙන ලොවට ශ්‍රී ලංකාවෙන් බෙදා දුන් ලොකුම දායාදය බුදු දහම බව ඓතිහාසික සත්‍යයකි. ශ්‍රී ලංකාවෙත් ලෝකයේ වෙනත් බොහෝ රටවලත් මනුෂ්‍යයන්ට දියේ ගි...

 දැවෙන ලොවට ශ්‍රී ලංකාවෙන් බෙදා දුන් ලොකුම දායාදය බුදු දහම බව ඓතිහාසික සත්‍යයකි. ශ්‍රී ලංකාවෙත් ලෝකයේ වෙනත් බොහෝ රටවලත් මනුෂ්‍යයන්ට දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි දෙස සානුකම්පිතව බැලීමේදී ගංගා එකසිය තුනක්‌ හා වැව් විසිදාහක්‌ තරම් ප්‍රමාණයකුත් ඇති මුහුදෙන් වටවූ, කලපු හා විල් සහිත දිවයිනක්‌ වූ අපේ රටෙන් ලොවට දිය හැකි මහාර්ඝ දායාදයක්‌ වන්නේ ගංගාවල, වැව්වල, විල්වල, කලපුවල හා මුහුදේ පිහිනීම වශයෙන් පිහිනුම් අංශයෙන් අලුත් ක්‍රීඩා ඉසව් හතරක්‌ හෝ පහක්‌ හඳුන්වා දීමයි. ලෝක පරිසර අර්බුදය උග්‍රවී ලොව පුරා ගංවතුර තර්ජන වැඩිවන ආකාරය අනුව බැලීමේදී පැහැදිලි වන්නේ පිහිනීම කෘතිමව තැනූ පිහිණුම් තඩාග වලට සීමා නොකළ යුතු බවයි. මෙහිදී ලොවට ආදර්ශවත් නායකත්වයක්‌ දිය හැකි රට ශ්‍රී ලංකාව බවට සැකයක්‌ නැත්තේ ලොකු කුඩා වැව් තිස්‌දහසක්‌ තරම් සංඛ්‍යාවක්‌ තනන්නට තරම් ධෛර්යසම්පන්න නිර්මාණශීලී පරපුරකින් පැවතෙන ජනතාවට ඒ උතුම් මෙහෙවරට උරදිය හැකි බවට සැකයක්‌ නැති හෙයිනි.



පසුගිය මාසය තුළ පමණක්‌ ශ්‍රී ලංකාවේ වැව්වල, මුහුදේ හා ගංගාවල ගිලීමෙන් මෙන්ම ගංවතුරට ගොදුරු වීමෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව පිළිබඳ කාරුණික අවධානය යොමුකරන ඕනෑම සත්පුරුෂයකු තුළ ඇතිවන සංවේදී අදහස වන්නේ මුහුදේත්, ගංගාවලත්, වැව්වලත්, කලපුවලත්, විල්වලත් පිහිනීම ක්‍රීඩාවක්‌ ලෙස ලොවට හඳුන්වා දීමේ වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතු බවයි. එසේ නැතිව දීන බටහිර අනුකාරකයන් ලෙස සොබා පරිසරයට හානිකර අයුරින් ජාතික ධනය නාස්‌තිකරමින් දිවා හෝ රාත්‍රි කාලවල පවත්වන මෝටර් රේස්‌ මේ රටට විනාශයක්‌ හා පාපයක්‌ බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයක්‌ පවා නැති දුප්පත් ශ්‍රී ලංකාව මෝටර් කාර්, මෝටර් සයිකල් රේස්‌ සඳහා ජාතික ධනයත් කාලයත් ශ්‍රමයත් නාස්‌ති කරන්නේ නම් එය අවිචාරවත් බවේ ප්‍රකාශනයක්‌ වනු නැද්ද?

කාර් රේස්‌ හා මෝටර් සයිකල් රේස්‌ වලින් පෙන්විය හැක්‌කේ එම වාහනවල වේග බලය හා ඒවා පදවන අය තමන්ගේත් අනුන්ගේත් ජීවිත ගැන දක්‌වන නොසැලකිලිමත් බවේ ප්‍රමාණය පමණකි. එසේ වුවත් පරිසරයට හානිකර අන්දමින් ඉන්ධන නාස්‌ති කිරීමක්‌ හෝ රටපුරා දූවිලි ඇවිස්‌සීමක්‌ නොකරන පාපැදිවලින් කරන තරග පැවැත්වීම වරදක්‌ නොවන්නේ පාපැදි තරගවලට පුහුණු වීමෙන් හා එම තරගවලට සහභාගිවීමෙන් එම ක්‍රීඩාවේ යෙදෙන්නන්ගේ ශරීරයට හොඳ ව්‍යායාමයක්‌ද ලැබෙන හෙයිනි. රට පුරා මාර්ග දෙපස එක්‌වී පාපැදි තරග නරඹන්නවුන්ට ද එතරම් ලොකු අනතුරක්‌ සිදුවන්නේද නැති බැවින් දුප්පත් ශ්‍රී ලංකාවට පාපැදි තරග ගැළපෙන බවට සැකයක්‌ නැත. පාපැදි තරග සඳහා අමුතුවෙන් පාරවල් සකස්‌ කිරීමක්‌ද අවශ්‍ය නොවන හෙයින් ලොකු ධන නාස්‌තියක්‌ද සිදු නොවේ. පාපැදි තරග වලදීද තරග කරුවන්ගේ ආධාර කරුවන් මෝටර් සයිකල්වල නැගී පරිසරයට හා ජන ජීවිතයට අනතුරු සිදුකරන විගඩම් නැවතිය යුතුව තිබේ.

රටටත් ජනතාවටත් ජනතාවගේ ශරීර සෞඛ්‍යයටත් ජීවිත ආරක්‍ෂාවටත් හේතුවන හොඳම ක්‍රීඩා ලෙස සැලකිය යුත්තේ දිවීම, උස පැනීම හා දුර පැනීමාදියයි. උස පැනීමේ හා දුර පැනීමේ හැකියාවන් දියුණු කර ගැනීම පරිසරයේ බාධක ජයගැනීමෙහිදීද රුකුලක්‌ වනු නිසැකය. උග්‍රවෙමින් පවත්නා ලෝක පරිසර අර්බුදයත් සමඟ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මුහුණපාන්නට සිදුවන යථා සත්‍යයන් නොතකා මෝටර් රථ රේස්‌, මෝටර් සයිකල් රේස්‌ හා ලොව හිනස්‌සන ත්‍රීවීල් රේස්‌ පවත්වන්නට ජාතික ධනය, ශ්‍රමය හා කාලය නාස්‌ති කරන්නවුන් සැබෑ ක්‍රීඩකයන් හෝ ක්‍රීඩා ලෝලීන් නොවේ.

මෝටර් රථ රේස්‌ සඳහා ධාවන මාර්ග සකස්‌ කරන්නට කරන වියදමින් ශ්‍රී ලංකාවේ වැව්වල හා විල්වල එක්‌වූ සරුසාර රොන්මඩ ඉවත්කර කුඹුරු සරු කිරීමට යොදවන අතර වැව් හා විල් පිහිනුම් තරග සඳහා සුදුසු අයුරින් සකස්‌ කරන්නේ නම් එය රටට ආර්ථික වශයෙන්ද යහපතක්‌ වේ. පරිසරය සුන්දර වේ. ශ්‍රී ලංකාවේ ගංගාවන්ද පිහිනුම් තරග පැවැත්වීම සඳහා සුදුසු අයුරින් ගං ඉවුරු ශක්‌තිමත් කර රොන්මඩ ඉවත් කරන්නේ නම් එමගින් ගංවතුර තර්ජනයද අඩුකළ හැකි වන බව නිසැකය, බස්‌නාහිර පළාතේ වගුරු බිම් විල් බවට හරවා විල්වලින් ජලය ගෙන වගාවන් සරුකරවූ මහපැරකුම්බාවන්ගේ ඓතිහාසික ජාතික සංවර්ධන ප්‍රතිපත්තිය ගැන දන්නා කිසිම දේශප්‍රේමී ජනහිතකාමියකු ශ්‍රී ලංකාවට නොගැළපෙන මෝටර්රථ රේස්‌ සඳහා ධනය, ශ්‍රමය හා කාලය නාස්‌තිය කරන්නේ නැත, ධන බලයෙන් උමතුවූවන් රටේ සොබා පරිසරයත් කෘෂි කාර්මික ශ්‍රී ලංකාවේ ඉතිහාසයත් ජනහිතකාමී ජීවහිතවාදී සංස්‌කෘතියත් ඒ උතුම් සංස්‌කෘතියට මුල්වූ විශ්වන්තරවාදී බුදු දහමත් නොදැනීම ෙ€දවාචකයකි.

ලක්‌වැසි අපට බටහිර රවලට හුරුපුරුදු වී ඇති කෘතිමව සැකසූ පිහිනුම් තඩාග වල කරන තරග වලින් ජයගැනීම අපහසුවුවත් ශ්‍රී ලංකාවේ අපේ පරිසරයේ යථාර්ථයන්ට අනුකූල වූ ගංගාවල, වැව්වල, විල්වල හා මුහුදේ පිහිනුම් තරග සංවිධානය කිරීම මගින් ජාත්‍යන්තර මට්‌ටමින් ඉදිරියට යමින් ලොවටම සෙතක්‌ සැලසෙන සොබාව ධර්මවාදී ක්‍රීඩා ඉසව් ගණනාවක්‌ හඳුන්වාදිය හැකි වනු නිසැකය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවලත් පරාක්‍රම සමුද්‍රය, කලාවැව පදවිවැව හා කන්තලේ වැව වැනි මහ වැව් වලත් මඩකලපුව, කිලාලි කලපුව හා මීගමු කලපුව වැනි කලපුවලත් විල්පත්තුවේ විල්වලත් නිලාවැලි වැනි සුන්දර වෙරළ තීරු කිට්‌ටු මුහුදේත් පිහිනුම් තරග සංවිධාන කිරීම මගින් ක්‍රීඩාශීලී විදේශීය සංචාරකයන්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුකරවා ගත හැකි බව නිසැකය.

අපේ පරිසරයට ගැළපෙන එබඳු ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකාවේ අපට බොහෝ ජයග්‍රහණ ලබාගත හැකි වන බවටද සැකයක්‌ නැත. එයට හොඳම උදාහරණයක්‌ වන්නේ බීච් වොලිබෝල් තරග හා බීච් ෆුඩ්බෝල් තරග වලදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට ජයග්‍රහණ රැසක්‌ දිනාගන්නට හැකිවීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැව්වල ප්‍රධාන ගංගාවල හා සුන්දර මුහුදු වෙරළ තීරු ඇසුරේ පිහිනුම් තරග පවත්වන අතර වැව් පිටිවල හා වෙරළ තීරුවල උඩපහත දෙරට නැටුම් හා රුහුණු සබරගමු නැටුම් සංදර්ශන පැවැත්වීම සංචාරකයන් ආකර්ෂණය කරන වැඩ පිළිවෙළක්‌ වනු නිසැකය. එය හෙළ කලාවන්ගේ දියුණුවට රුකුලකි.

ධර්මද්වීපය හා පෙරදිග ධාන්‍යාගාරය ලෙසින් විරුදාවලී ලැබූ කෘෂිකාර්මික ශ්‍රී ලංකාවෙන් පරිසර අර්බුදයෙන් බැට කන ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට ආධාර වන ක්‍රීඩාවන් ලෙස ගංගාවලත් වැව්වලත්, මුහුදේත්, කලපුවලත් විල්වලත් පිහිනුම් තරග සංවිධානය කිරීම මහා පින්කමකි. පිංකම් ගැන නොසිතන කර්මපල විශ්වාස නොකරන ධනබලයෙන් උමතු වූ ජාතික චින්තනය ගැන නොදන්නා දීන බටහිර අනුකාරකයන්ගෙන් ජනතාවගේ ජීවිතය සුරක්‍ෂිත කරන ජනජීවිතය නගාසිටුවන ජාතික අභිමානය නඟා තබන යහපත් ක්‍රීඩා මගින් ලෝක අවධානය ලබාගැනීමේ ජනහිතකාමී වැඩ පිළිවෙළක්‌ බලාපොරොත්තු විය නොහැක. එම නිසා ජනතාව අතරම වන ශක්‍යතා පිරි ප්‍රබුද්ධ පිරිස්‌ එක්‌වී රටේ කෘෂිකාර්මික සංවර්ධනයටත් ජනතාවගේ ජීවිත ආරක්‍ෂාවටත් හේතුවන ක්‍රීඩා වශයෙන් ගංගාවල, වැව්වල, කලපුවල හා මුහුදේ පිහිනීම ජනප්‍රිය කිරීමට කටයුතු කළ යුතුව තිබේ. රටේ ආර්ථික දියුණුවටත් ජාතියේ ආරක්‍ෂාවටත් සමාජ අභිවෘද්ධියටත් හේතුවන අයුරින් වැව් තිස්‌දහසක්‌ තරම් සංඛ්‍යාවක්‌ තනන්නට අධිෂ්ඨාන සහගත වීර්යයෙන් යුතුවූ නිර්මාණශීලී මුතුන් මිත්තන්ගෙන් පැවතෙන නිවහල් අදීන දේශප්‍රේමී ජනහිතකාමීන් එකසිතින් එක්‌වුවහොත් ලොවම ආදර්ෂණය කරන ලොවටම සෙත සලසන ක්‍රීඩා ඉසව් ගණනාවක්‌ ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද කළ හැකිවනු ඒකාන්තය. ශ්‍රී ලංකාවේ අපේ අරමුණ විය යුත්තේ පරිසර දූෂක විපත්තිකර ක්‍රීඩා වෙනුවට ජන සෙත සලසන ක්‍රීඩා ඉසව් ජාත්‍යන්තර මට්‌ටමට ගෙනයැමයි.

තවමත් නිමව නැති දෙමළ ඊළාම් කොටි තර්ජනය හා ආසියාවටම තර්ජනයක්‌ වූ මුස්‌ලිම් අන්තවාදය හමුවේ ජාතික ආරක්‍ෂාවට හේතුවන ක්‍රීඩාවන් ලෙස දිවීම, බාධක මැඩගෙන දිවීම, කඩුලුපැන දිවීම හා උස පැනීම, දුර පැනීම, පැදුරු පලස්‌ යටින් රිංගායැම, ළඳු කැලෑවල කොන්ද නවාගෙන වඳුරු ගමනින් (මන්කිරෝල්) හා විවෘත භූමිවල බඩගාගෙන යැම (ක්‍රොකඩයිල් රෝල්) ආදියද ක්‍රීඩා ලෙස ජනප්‍රිය කිරීමට කටයුතු කළ යුතුව තිබේ. මෙවන් ලිපි ලියන්නට මට මගේ ජීවිතය රැකගත හැකි වූයේ පිස්‌තෝල, කඩු හා පිහි රැගෙන මා මරන්නට ආ අයගෙන් බේරෙමින් වැටවල් උඩින් පනිමින් හා අගල් ඇලවල් හරහා පැන දුවන්නටත් මා ලබා තිබූ හැකියාවත්, වන පරිසරයන්හි සිදුවූ හමුදා වැටලීම් වලින් බේරී යන්නටත් හැකිවූයේ උස ගස්‌වලට නැග හමුදා වැටලීම් සිදුවන ආකාරය නිරීක්‍ෂණය කරන්නට තිබූ හැකියාවත් නිසාය. එහෙයින් මේ ලිපිය අවසන් කිරීම සඳහා මා ජනතාව හමුවේ තබන තවත් කාලීන යෝජනාවක්‌ වන්නේ ගස්‌ නැගීමද ක්‍රීඩාවක්‌ ලෙස ජාතික මට්‌ටමෙන් නගා සිටුවා ජාත්‍යන්තර තලයට ගෙනයා යුතුය යන්නයි.

ගස්‌ නැගීම ජාතික ක්‍රීඩාවක්‌ ලෙස ජනප්‍රිය කර දියුණු කිරීම කොස්‌, පොල්, දෙල්, අඹ, රඹුටන් හා දූරියන් වැනි වගාවන්ගේ ඵලදාව නෙළා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමෙහිලා බෙහෙවින් වැඩදායක වනු නිසැකය. ගඟේ, මුහුදේ පිහිනීම හා ගස්‌ නැගීම ක්‍රීඩාවන් ලෙස ජාතික මට්‌ටමින් නගා සිටුවීම කෙතරම් වැඩදායක වන්නේද යන්න කැලණි ගඟේ ගිලෙන්නට ගිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනකුගේ ජීවිත බේරාදෙන්නට සමත්වූ මගේ පිහිනීමේ හැකියාවත් සුනාමියට අසුවී ගසාගෙන යද්දී වැටකේ ගසක එල්ලී ඒ ගසට නැගගෙන දිවිරැකගත් මගේම අත්දැකීමෙනුත් බවම ඔප්පු වී ඇත. සුනාමියේදී ගාලු බස්‌ නැවතුම් පළේ දියේ ගිලී මියගිය තරුණියන්ට යන්තම් දිය මත විනාඩි කීපයක්‌ රැඳී සිටින්නටවත් පිහිනීමේ හැකියාවක්‌ තිබුණේ නම් ඔවුන් රටම හඬවමින් ෙ€දජනක ලෙස මියයන්නේ නැත. පිහිනීම හා ගස්‌ නැගීමට සම්බන්ධ මගේ අත්දැකීම් ඇතුළත් මගේ ජීවිත කථාව ලබන පෙබරවාරි මස විසිතුන් වැනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්‌ඩාරනායක පරිශ්‍රයේදී ජනතාව අතට පත්කරන්නට කටයුතු යෙදෙමින් පවත්නා හෙයින් සැමට සෙත් පතමින් මේ ලිපිය මෙසේ අවසන් කරනු ලැබේ.

අනගාරික ධර්මසේකර තුමා
2013-01-20


Related

අනගාරික ධර්මසේකර තුමා 8158042405741705710

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item