වඳිම් සිදුහත් මගින් හෙළිවන සිංහල බෞද්ධ උරුමය

සිංහල බෞද්ධ උරුමය යනු අන් කිසිවක්‌ නොව සිංහල බෞද්ධ සංස්‌කෘතියය. එහෙත් දැනට වසර පන්සියයකට අධික කාලයක්‌ සිංහල බෞද්ධ සංස්‌කෘත...

සිංහල බෞද්ධ උරුමය යනු අන් කිසිවක්‌ නොව සිංහල බෞද්ධ සංස්‌කෘතියය. එහෙත් දැනට වසර පන්සියයකට අධික කාලයක්‌ සිංහල බෞද්ධ සංස්‌කෘතියට බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයෙන් බැට වැදෙයි. එහි දී බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තන ආධිපත්‍යයට යටවීමට අපට සිදු වී ඇත. ඒ ආධිපත්‍යයෙහි මෙරට නියෝජිත පුහු පඬියෝ ඔවුන් නොදන්නා බටහිර විද්‍යාවක්‌ කරපින්නාගෙන සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නිර්මාණය වී ඇති දැනුමට ගරහතිත ඒ දැනුම් බොහෝමයක්‌ මිථ්‍යාවන් යෑයි අපට කියති. ඔවුහු අපේ දැනුම් ඊනියා විද්‍යාත්මක ආකල්පවලට යටකිරීමටත් එමගින් විකෘති කිරීමටත් උත්සාහ ගනිති. එමගින් බටහිරයන්ට අවශ්‍ය ආකාරයට බුදුදහම අර්ථවිවරණය කරති. බුදුදහම යථාර්ථවාදයක්‌, වාස්‌තවික භාණ්‌ඩයක්‌ කිරීමට උත්සාහ ගනිති. එමගින් එහි ඇති ඊනියා මිථ්‍යාවන් හා ගූඪත්ව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි විද්‍යාවේ දුම්මල අල්ලා පලවා හැරීමට වැර වෑයම් කරති. බුදුදහමේ අයිතිකරුවන් ලෙස හා සැබෑ ථෙරවාදීන් ලෙස පෙනී සිටින්නෝ එහිදී නිහඬ වෙති. එහෙත් වාසනාවකට මෙරට ගැමිකම රැකගත් ගැමියන් හා බටහිර අධ්‍යාපනයෙන් මෝහනයට පත් නොවූවන් හේතුකොට ගෙන බුදුදහමේ හරය තවමත් අප සමාජයෙහි පවතින අතර සිංහල බෞද්ධ සංස්‌කෘතියද යම් පමණකින් වුව ආරක්‍ෂා වෙයි.

බුදුදහම බටහිර විද්‍යාත්මක නොවේ. බටහිර විද්‍යාව මුළුමනින්ම ර¹ පවතින්නේ උද්ගමනය මතය. එහෙත් බුදුදහමේ හරය ප්‍රත්‍යක්‍ෂය වෙයි. එසේ වුවත් නිවන පසක්‌ කර ගැනීම හා අලියා පසක්‌ කරගැනීම එකක්‌ නොවේ. එකක්‌ ලෝකෝත්තරය. අනෙක ලෞකිකය. පඬියන් කටයුතු කරන්නේ නිවන පසක්‌ කිරීම ද ලෞකික වූවක්‌ බවට පත්කිරීමටය. බටහිර විද්‍යාවේ වියුක්‌ත ප්‍රවාද වෙයි. බුදුදහමෙහි ප්‍රවාද නැත. මා මේ පඬියන්ට පුස්‌සන් ආදී වශයෙන් පරිභව කරන්නේ මූලික වශයෙන් ම ඔවුන් අපට ජාතිවාදීන්, කොදෙව් මානසිකත්වයක්‌ ඇතියවුන්, ජාත්‍යන්තර දැනුමක්‌ නැති ළිංමැඩියන් ආදී වශයෙන් ගරහන බැවිනි. බෞද්ධයකු ලෙස මා එසේ පරිභව නොකළ යුතු බවත් ඔවුන්ට මෙත් වැඩිය යුතු බවත් දනිමි. එහෙත් අපට ඇතැම් දේ කල් නොදමා මේ භවයෙහිම කිරීමට සිදු වී ඇත. ඒ අතර අප පාලනය කරන බටහිර ක්‍රිස්‌තියානි විද්‍යාව ඇතුළු දැනුමට පහරදීමද වෙයි.

මෙරට සිටින ඊනියා උගත් බෞද්ධයන්ගෙන් මම ප්‍රශ්න දෙකක්‌ අසමි. ප්‍රශ්න දෙකක්‌ වුවද හරය වශයෙන් ගත්කල ඇත්තේ එක්‌ ප්‍රශ්නයකි. ඔබ පිළිගන්නේ අග්ගඤaඤ සූත්‍රයෙහි සඳහන් විකාශය ද (එය ඊනියා පරිණාමවාදයක්‌ නොවේ) එසේත් නොමැති නම් ඩාවින් බයිබල් ආකෘතිය මත පදනම් වෙමින් නිර්මාණය කළ කතාව වූ පරිණාම වාදය ද? දෙවැනිව ඔබ පිළිගන්නේ සංවට්‌ටකප්ප විවට්‌ටකප්ප සහිත කෙළවරක්‌ නොමැති කල්පවලින් යුත් විශ්වය ද එසේත් නැත්නම් අයින්ස්‌ටයින් ගේ කතන්දරයක්‌ වූ සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගලා එන මහා පිපිරුම් වාදයද? ඊනියා උගත් බෞද්ධයන්ට ඒ දෙක දෙකක්‌, අප එතැන දී එය පිළිගන්නවා මෙතැන දී මෙය පිළිගන්නවා ආදී පිළිතුරුදී පැනගිය හැකි නොවේ. මේ ප්‍රශ්නවලට ඒකාන්ත පිළිතුරු අවශ්‍ය වෙයි. මහා පිපිරුම් සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකට මට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක්‌ එහි සනාතන සභාවේ විශේෂ තීරණයක්‌ මත උපාධියක්‌ පිරිනැමුව ද මම මහා පිපිරුම්වාදය ප්‍රතික්‍ෂේප කරමි. සනාතන සභාවේ විශේෂ අවසරයක්‌ මත අඩු කාලයකින් මට උපාධියක්‌ ලබාදීමට මුල් වූ මගේ ගුරුවරයාට ඇති ගෞරවය නොවන්නට මම එම උපාධිය ආපසු දීමට පියවර ගනිමි. ඒ මා දැන් විශ්වවිද්‍යාල සේවයේ නැති නිසා කරන පාරම් බෑමක්‌ නොවන බව ද කියනු කැමැත්තෙමි.

කාලාම සූත්‍රයෙහි ඊනියා විද්‍යාත්මක ආකල්පයක්‌ නැත. බුදුන්වහන්සේ කාලාම සූත්‍රය අවසානයේදී දේශනා කළේ එලොවට හා මෙලොවට වැඩදායක වන පරිදි සමාජයේ විඤaCදූන් කරන දේ කිරීමටත් නොකරන දේ නොකිරීමටත් ය. අද සමාජයට නම් එය එතරම් නොගැළපෙන්නේ දැන් විඤaCදූන් ලෙස සැලකෙන්නේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි දැනුමෙන් හිස්‌ පුරවාගත් පඬියන් බැවිනි. කාලාම සූත්‍රය ගැන කට කියවන්නන්ගෙන් එහි අවසානය දක්‌වාම කියවා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. අද සමාජයේ උගතුන්, බුද්ධිමතුන් ලෙස පැවතීමට නම් ගැමි බව අත්හැරිය යුතුය. කාලාම සූත්‍රය බටහිර ඇසකින් ඇගයිය යුතුය. නිවන වචනයෙන් කිවහැකි ඊනියා යථාර්ථයක්‌ ලෙස පෙන්වා දිය යුතුය. බුදුන් වහන්සේගේ ප්‍රඥව උන්වහන්සේගේ ධර්මයෙහි යථාර්ථවාදී බව අගය කළ යුතුය. බුදු සිරිත යථාර්ථවාදීව විග්‍රහ කළ යුතුය. එහි දී බුදු සිරිත විකෘතිවන්නේ නම් ඒ විකෘතිකිරීම්වලට විරුද්ධව ගැමියන් ගැමි පදනමක්‌ ඇති භික්‍ෂූන් වහන්සේ විරුද්ධවන්නේ නම් කළ යුත්තේ ඒ ගිහියන්ගේ හා භික්‍ෂූන් වහන්සේගේ ආචීරණ කල්පිත මතවලට එරෙහිව ඊනියා විද්‍යාත්මක මත ගෙනහැර දැක්‌වීමය. ජාතික පුවත්පතක්‌ වූ සිළුමිණෙහි කතුවරයකු ව සිටි මාර්ටින් වික්‍රමසිංහ මහතා ඊනියා යථාර්ථවාදයකු ලෙස බුදුසිරිත පදනම් කරගෙන බවතරණය නමින් කෘතියක්‌ නිර්මාණය කර තමන් සිංහල සංස්‌කෘතිය ගැන කෙතරම් කතා කළත් ලීවත් අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාව ඉදිරියේ තම සංස්‌කෘතික අදීනත්වය නසා ගත්තේය.

ගාමිණී සුමනසේකර මහතාද ජාතික පුවත්පතක්‌ වූ දිවයිනෙහි ප්‍රධාන කර්තෘ (අවශ්‍ය නම් සංස්‌කාරක) වෙයි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරියෙකි. ඒ මහතා කලක්‌ සිළුමිණ පුවත්පතෙහි ද සේවය කළේය. ශිෂ්‍ය අවධියේ සිට ම මා දන්නා අයෙකි. මා නව සම සමාජ පක්‍ෂයෙහි සාමාජිකත්වයෙන් අස්‌වෙමින් මාක්‌ස්‌වාදය විද්‍යාත්මක ද? මැයෙන් ලියූ දීර්ඝ ලිපිය 1980 වසරෙහි සිළුමිණ පත්‍රයෙහි කොටස්‌ වශයෙන් පළ කිරීම භාරව සිටියේ ඒ මහතාය. ඒ මහතා ඇතුළු පිරිසක්‌ සිළුමිණෙන් "දිවයින"ට පැමිණෙන විට මම ද ඔවුන් සමග සංක්‍රමණය වීමි. එදා සිට නිදහස්‌ ලේඛකයකු ලෙස මම නිතිපතා "දිවයින"ට හා උපාලි පුවත්පත් ප්‍රකාශනවලට ලියමි. මා සිතන අයුරින් "දිවයින" පුවත්පතට බාහිර ලේඛකයකු ලෙස වැඩිම ලිපි සංඛ්‍යාවක්‌ ලියා ඇත්තේ මාය. ඒ ලිපි පළකිරීම පිළිබඳ ව මා ඒ මහතාට වඩාත්ම කෘතඥවන්නේ ඇතැම් කාලවල පඬියන්ගේ, මැති ඇමැතිවරුන්ගේ හා ජනාධිපතිවරුන්ගේ විරුද්ධතාව මැදද මගේ ලිපි පළකිරීමට කටයුතු කිරීම නිසාය. එහෙත් ඒ මහතාට මා ගරුකරන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතිය හැඳිනගත් ගැමිකම අත්නොහැරි ගැමියකු වීම නිසාය. එක්‌ කලක අපි කිහිප දෙනෙක්‌ එකතු වී "දිවයින" පුවත්පත ඔස්‌සේ පඩියන්ට පරාජය කළ නොහැකි ජාතික මතවාදයක්‌ ගොඩ නැගුවෙමු. ඒ මතවාදය දිනෙන් දින ශක්‌තිමත් වෙයි. ඩික්‌සිත්ට, ග්ලැඩ්ස්‌ටන්ට, බ්ලේක්‌ට එරෙහිව නැගී හිටියේත් දැන් රැන්කින්ට (රැන්කින් ගෙදර යෑවිය යුතු බව තවත් උපාලි ප්‍රකාශනයක්‌ වූ දි අයිලන්ඩ් පුවත්පත ඔස්‌සේ අප දැනටමත් යෝජනා කර ඇත.) විරුද්ධව නැගී සිටින්නේත් සම්බන්දන් පසුගියදා නැවතත් ලේ හළන කැරැල්ලකට දෙමළ ජනයා මෙහෙයවමින් තම පක්‍ෂයට කළ කතාව සාර්ථකව පරාජය කළ හැක්‌කේත් ඒ මතවාදයට ය.

වඳිම් සිදුහත් ගාමිණී සුමනසේකර මහතාගේ නවතම කෘතිය වෙයි. මෙය "දිවයින ඉරිදා සංග්‍රහයෙහි පළ වූ ලිපි පෙළක එකතුවකි. මම මුල සිටම එහි පාඨකයෙක්‌ වීමි. පොත දොරට වැඩි දා කතා කළ ඇතැමුන් ලිපි පෙළ තබා පුවත්පතවත්, පොතවත් කියවා නො තිබිණි. ඔවුන්ට ඔවුන්ගේ දෙවියන්ගේ ම පිහිටය. ඔවුහු ජාතික මතවාදවලට විරුද්ධ වෙති. ගාමිණී සුමනසේකර මහතා වඳිම් සිදුහත් ලියා ඇත්තේ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි පිහිටා ය. ඒ මහතා පැරැණි පොතපත පරිශීලනය කර ඇත. ගමක හැදී වැඩී ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඒ මහතාගේ ගැමිකම නැති කිරීමට නොහැකි වී ඇත. වඳිම් සිදුහත් ලියා ඇත්තේ ඒ ගැමියා විසින් මිස සාම්ප්‍රදායික ජාතික පුවත්පතක කතුවරයකු විසින් නොවේ. නොඑසේ වී නම් ඔහු අතින් ලියෑවෙන්නේ බවතරණයකි. මම පසුගිය වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය ඉගෙගත් ශිෂ්‍යයන් ඉදිරියේ මේ ලිපි පෙළ ඇගයීමි. මට එය නිව්ටන්ගේ ගතිකයට වඩා ලක්‍ෂ සංඛ්‍යාත වරක්‌ වටිනේය. බුදුහිමියන් හා සසඳන විට නිව්ටන්ලා, අයින්ස්‌ටයින්ලා කවරහුද? බුදුදහම සමඟ සැසඳිය හැකි දැනුමක්‌ ලෝකයේ තිබේද? අනන්ත වූ බුදුගුණ අගය කළ හැක්‌කේ බුදු කෙනකුට මය. අප වැනි පුහුදුන්නන්ට කළ හැක්‌කේ එහි අංශු මාත්‍රයක්‌ අගය කිරීම පමණකි.

බෝසතාණන් වහන්සේ කෙනකු යනු "මහරජ ගාමිණී" කෘතියෙහි සඳහන් ආකාරයට අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කල්දාගත් වීර පුරුෂයෙකි. දීපංකර බුදුන්වහන්සේගේ පාද මූලයෙහි සුමේධ තවුසාණෝ තමන්ට පසක්‌ කරගත හැකිව තිබූ නිවන තාවකාලිකව (එය තාවකාලික වුවත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ දිව ගියේය.) කල් දැම්මේය. නිවන් දැකීම සඳහා අත්හැරීම ප්‍රගුණ කළ යුතුය. එහෙත් අනුන් වෙනුවෙන් නිවන අත්හැරීම කෙසේ විස්‌තර කරම්ද? එය ප්‍රඥවෙන් නොව කරුණාවෙන් ම කළ දෙයකි. ඒ සඳහා දැඩි වීර්යයක්‌ ද තිබිය යුතුය. සිංහල බෞද්ධයන් මිස බුදුදහම ඊනියා ප්‍රඥාවකින් අවබෝධ කරගත් ඊනියා බුද්ධිමතුන් නොවූ අපට බුදුන් වහන්සේ හැමදාමත් මහා කාරුණිකයන් වහන්සේ මිස මහා ප්‍රාඥයන් වහන්සේ නුවූහ. ශීල සමාධි, ප්‍රඥ හා අලෝහ, අද්වේෂ අමෝහ යනුවෙන් මිස අපි අනෙක්‌ පැත්තට නො කියවමු.

මහා කරුණාව ඌනිත බටහිර විද්‍යාවේ කරන ආකාරයට ප්‍රඥවට ඌනනය කළ හැකි නොවේ. ගාමිණී සුමනසේකර මහතා උත්සාහ කරන්නේ අනන්ත වූ බුදු ගුණවලින් අංශු මාත්‍රයක්‌ විස්‌තර කිරීමටය. එහිදී ඒ මහතා යොදාගෙන ඇති භාෂාව ඒ කාර්යය සඳහා ම සකස්‌ කරගත්තක්‌ සේ පෙනෙයි. මේ කතා කියවද්දී පුහුදුන් මගේ නෙතග කඳුළෙන් තෙත්වූයේ වරක්‌ දෙවරක්‌ නොවන බව මා සඳහන් කරන්නේ ලඡ්ජාවකින් නොවේ. ආඩම්බරයකින් ද නොවේ. ගාමිණී සුමනසේකර මහතා සැදැහැයෙන් වඳිම් සිදුහත් ලියා සසර ගමන කෙටිකරගෙන ඇතැයි මට සිතේ.

-මහාචාර්‍ය නලින් ද සිල්වා
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-06-03 

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 7615971962336366071

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item