දින 833 ක සිරගත ජීවිතයෙන් පසු "ෆොන්සේකා"!

ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා නැවත නිදහස්‌ පුරවැසියකූ බවට පත්ව සිටී. දින 833 ක සිරගත ජීවිතය...

ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා මහතා නැවත නිදහස්‌ පුරවැසියකූ බවට පත්ව සිටී. දින 833 ක සිරගත ජීවිතයකින් පසුව තලවතුගොඩ පිහිටි සිය නිවසට මේ හිටපු හමුදාපතිවරයාට යැමට හැකිවූයේ ඉකුත් සඳුදා රාත්‍රියේය. ශ්‍රී ලංකාවේ 18 වැනි හමුදාපතිවරයා ලෙස 2005 දෙසැම්බර් 06 වැනිදා පත් වූ ෆොන්සේකා මහතා තම ධුරය භාරගනිමින් ප්‍රකාශ කර සිටියේ මේ යුද්ධය තමාගෙන් පසුව පැමිණෙන හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බවය. නිසි දේශපාලන නායකත්වය ලැබීම නිසා වසර තුනකුත් මාස හතක්‌ තුළදී ලොව කුරිරුම ත්‍රස්‌තවාදී සංවිධානය, ප්‍රභාකරන්ගේ දෙමළ නාසිවාදී ත්‍රස්‌තවාදය සුනු විසුණු කිරීමට ෆොන්සේකා අණදුන් ශ්‍රී ලංකා හමුදාවට හැකිවිය. ඉරාකයේ හා ඇµaගනිස්‌ථානයේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා අල් ඛයිඩා - තලෙබාන් ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට නොහැකිව මංමුළාව සිටියදී මේ කුඩා රාජ්‍යයේ හමුදාව ලොව බිහිසුණුම ත්‍රස්‌තවාදී සංවිධානය මුලිනුපුටා දැමීම බටහිර ලෝකය මවිත කරවන්නක්‌ විය. එනිසාම අභාවප්‍රාප්ත හිටපු ඉන්දීය ආරක්‍ෂක උපදේශක එම්. කේ නාරායනන් ප්‍රකාශ කළේ ලොව හොඳම හමුදාපතිවරයා වන්නේ සරත් ෆොන්සේකා බවයි. ඉන්දීය සාම සාධක හමුදාව 87 - 90 කාලයේ උතුරු නැගෙනහිර මෙහෙයුම් කරද්දී එවක ඉන්දීය ඔත්තු සේවාවේ ප්‍රධානියා වූයේ නාරායනන්ය. කොටින්ගේ උපක්‍රම හා හැකියාව ගැන දන්නා ඔහු මේ ජයග්‍රහණය කෙතරම් සුවිශේෂ දැයි හොඳින් අවබෝධ කර ගෙන සිටියේය.

සරත් ෆොන්සේකා හමුදාපති ධුරයට පත්වීම ගැන කොටි සංවිධානයද බෙහෙවින් කලබල විය. එම නිසාම 2006 අප්‍රේල් 25 වැනිදා කොළඹ හමුදා මූලස්‌ථානයේදීම ෆොන්සේකා මහතා ගොදුරුකර ගැනීමට ගැබිනි කතකගේ වෙසින් මරාගෙන මැරෙන බෝම්බකාරියක්‌ පැමිණියද. ජාතියේ වාසනාවට මේ රණවිරුවාගේ දිවි ගැලවිණි. 2005 නොවැම්බර් ජනාධිපතිවරණයට පෙර ප්‍රභාකරන් මරා දමා රට එක්‌සේසත් කිරීම සිහිනයක්‌ පමණක්‌ විය. මේ ගැන කථා කරන විට සමහර සිංහල බෞද්ධයෝද සිනහ සෙන්නට විය. නමුත් 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් මැරී සිටිනු දුටු බොහෝ දෙනාට තම නෙත් අදහනු බැරි විය. සිව්වැනි ඊළාම් යුද්ධය ජයගන්නට මහින්ද - ගෝඨා - සරත් සුසංයෝගය හොඳින්ම ගැළපිනි. එය ලාංකීය ඉතිහාසයේ පමණක්‌ නොව ලෝක යුද ඉතිහාසයේද රන් අකුරෙන් ලියවෙන කථාවකි. අද සරත් ෆොන්සේකා මහතාට ජෙනරාල් තරු පටි අහිමි වුවද ඔහුගේ අතීත ක්‍රියාදාමය අපි නැවත සිහිකළ යුතුය. එසේ නොවන්නේ නම් අප ගුණමකුවෝ වනු ඇත.
යුද්ධයේ ජයත් සමගම මහින්ද - ගෝඨා - සරත් සංහිඳියාව ක්‍රමයෙන් දුරස්‌වන්නට විය. 2010 ජනාධිපතිවරණයට ෆොන්සේකා මහතා ඉදිරිපත් වන බවට විවිධ කටකතා පැතිරෙන්නට විය. එනිසාම ප්‍රභාකරන්ගේ මරණයෙන් මාස හයක්‌ ගතවන්නට පෙර ෆොන්සේකා මහතා සිය හමුදා ජීවිතයට සමුදුන්නේය. එයින් පසු ජාතියේ යුද වීරයා හා දේශපාලන වීරයා අතර සටන ඇවිලිනි. සිංහල ජාතියට වසර තිහක සිට පොදු සතුරෙක්‌ සිටියේය. ඒ ප්‍රභාකරන්ය. ප්‍රභාකරන් මියගිය පසු ජාතියට පොදු සතුරෙක්‌ නැති විය. එනිසා ජාතිය දෙකට බෙදිණි. මෙය කනගාටුදායක දෛවෝපගත සිදුවීමකි. නමුත් එය නොවැළැක්‌විය හැකිවිය. අතීතයේදීත් මෙය නොයෙක්‌ ආකාරයෙන් සිදු විය.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නිසා ෆොන්සේකා මහතාගේ යුද වීරයා ප්‍රතිරූපයට හානි සිදුවිය. යුද්ධයෙහි හසල දක්‍ෂයකු වුවත් දේශපාලනයට අවශ්‍ය කූට බුද්ධිය ඔහු තුළ නොමැති බව ජනාධිපතිවරණ සටන පවතිද්දීම කළ කී දැ වලින් අවබෝධ විය. ජනාධිපතිවරණ වේදිකාවලදී සිය විරුද්ධවාදීන්ට බෝගම්බර හිර ගෙදරට යන්න පැදුරු සොයා ගන්නැයි ප්‍රකාශ කළ ෆොන්සේකා මහතාට සිදුවූයේ "ඕ 22032" සිරකරු අංකයෙන් වැලිකඩ සිරගත වන්නටය. 2010 දී දේශපාලනයට පිවිසීම ෆොන්සේකා මහතා සිදුකළ වැරැද්දකි. ඒ සඳහා තව ටික කාලයක්‌ කල්මැරුවා නම් වඩා හොඳය. ඒ හදිසිය නිසාම අවාසනාවන්ත ලෙස දින 833 ක සිරගත ජීවිතයක්‌ ගත කිරීමට සිදුවිය.
2010 වසරේ අගෝස්‌තු 08 වැනිදා රාජකීය විද්‍යාලය අසල පිහිටි සිය කාර්යාලයේ දේශපාලන පක්‍ෂ නායකයන් කිහිපදෙනකු සමග සාකච්ඡා කරමින් සිටියදී රාත්‍රි 9.40 ට පමණ දැතට මාංචු දමා හමුදා සෙබළුන් පිරිසක්‌ මේ හිටපු හමුදාපතිවරයා ඔසවාගෙන ගොස්‌ කොළඹ නාවික හමුදා මූලස්‌ථානයේ සිර කෙරුවේද මේ දේශපාලන හදිසිය නිසාය. ජාතිකවාදී යුද නායකයා වූ ෆොන්සේකා මහතා කැනේඩියන් නැෂනල් ෆොaස්‌ට්‌ වෙත ප්‍රකාශ කර සිටියේ මෙය සිහලුන්ගේ රට බවයි. ඇත්තෙන්ම අපි එදා ඒ ප්‍රකාශය අගය කළෙමු. මේ රටේ සැබෑ අයිතිය, හිමිකාරිත්වය ගැන පැහැදිලි දැක්‌මක්‌ ෆොන්සේකා මහතා සතු වූ නිසාම ආරක්‍ෂක හමුදාවට නිසි නායකත්වය ලබාදීමට ඔහුට හැකි විය. දේශපාලන විසඳුම් හෝ ෙµඩරල් විසඳුම් ගැන කථාකරමින් යුද්ධ කරන්නට ෆොන්සේකා මහතා ක්‍රියා කළේ නැත. සිංහල බෞද්ධයන්ගේ වීරයෙක්‌ වූ ඔහු ජනාධිපතිවරණයේදී තෝරාගත්තේ අශුද්ධ සන්ධානයකි. හමුදාපතිව සිටියදී ඔහුට විරුද්ධව දෙස්‌ දෙවොල් තැබුවෝ පොදු අපේක්‍ෂක සටනේදී ඔහු සමගම විය. ජනාධිපතිවරණයේ ජාතියට හිතැති පොදු අපේක්‍ෂකයා වීමට ඔහුට නොහැකිවුණේ ඊනියා විපක්‍ෂයේ ලණු කෑ නිසාය. අවසානයේ දින අටසියයක්‌ සිරබත් කන්නටත් සිදුවූයේ එම නිසාය. ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තල්ලුකර රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. නායකත්වය තවත් වසර කිහිපයකට ස්‌ථිර කර ගත්තේය. ජ.වි.පෙ. ද එදා වේල සරිකර ගැනීම සඳහා ෆොන්සේකාට සහය දැක්‌වීය. අවසානයේ යුද වීරයා අත්අඩංගුවට පත්වීමට එක්‌ හේතුවක්‌ වූයේද ජ.වි.පෙ. මහ ලේකම් ටිල්වින් සිල්වා කළ ප්‍රකාශයකි. එහි සඳහන් වුණේ හමුදාපතිවරයා සිය ධුරයේ සිටියදී පවා තම උපදෙස්‌ පැතූ බවයි. පූජාසනයේ යෙහෙන් වැජඹෙන්නට වරම් තිබියදී එයට පයින් ගැසූ ෆොන්සේකා මහතා තමා කැමති මග තෝරා ගත්තේය. ඒ ගමන අවසන් වූයේ වැලිකඩ සිරගෙදරිනි.
නමුත් අද ෆොන්සේකා නිදහස්‌ පුද්ගලයෙකි. දැන්නම් ඔහුට දේශපාලනය හැර වෙනත් විකල්පයක්‌ නොමැතිය. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට ප්‍රබල අභියෝගයක්‌ එල්ල කළ හැකිවන්නේද මේ හිටපු හමුදාපතිවරයාටම පමණි. බී.බී.සී. රූපවාහිනිය සමඟ අදහස්‌ දක්‌වමින් ඔහු යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කර තිබිණි. අවසන් සටනේදී සිවිල් වැසියන් දහස්‌ ගණනක්‌ මියගියා යෑයි යන ප්‍රචාර ඔහු ප්‍රතික්‍ෂේප කර තිබිණි. ෆොන්සේකාගේ දෙවැනි දේශපාලන ආගමනයේදී ඔහු තෝරාගන්නේ කවර බලවේගද යන්න අපට පැහැදිලි නැත. ඇත්තෙන්ම තෝරාගත යුතු වන්නේ ජාතිහිතෛෂී බලවේග මිස ජාති භ්‍රෂ්ට බලවේග නොවේ. ෆොන්සේකාගේ නිදහසත් සමඟ රටේ දේශපාලන වටපිටාව උණුසුම්ව ඇත. ඇල්මැරුණු ස්‌වභාවය ඉවත්ව ගොස්‌ ඇත. මේ හිටපු හමුදාපතිවරයා රජයට මෙන්ම විපක්‍ෂයටද අභියෝගයක්‌ වන්නේද නැද්ද යන්න ඉදිරියේදී දැකගත හැකිවනු ඇත. කෙසේ නමුත් කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම අතුගා දැමූ යුද නායකයාව නිදහස්‌ කිරීමට රජය ගත් පියවරට නම් ප්‍රසාදය හිමිවිය යුතුය.
 
-චතුර පමුණුව
2012-05-27

Related

චතුර පමුණුව 3710005398563264559

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item