ජිනීවා යෝජනා පිළිගත යුතුද?

ආචාර්ය ගුණදාස අමරසේකර ජිනීවා යෝජනා පිළිගත යුතුද, නැද්ද යන්න යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට පෙර ජිනීවාවලදී ඇමරිකාව ප...

ආචාර්ය ගුණදාස අමරසේකර

ජිනීවා යෝජනා පිළිගත යුතුද, නැද්ද යන්න යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට පෙර ජිනීවාවලදී ඇමරිකාව ප්‍රධාන බටහිර බලවතුන් බෑං කී මූන් සහාය කරගෙන ගන්නා ලද ක්‍රියාමාර්ගය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ (U.N.O) ප්‍රඥප්තිවලට කෙතරම් අනුකූලද, නීත්‍යනුකුලද යන්න අප විසින් විස¹ ගත යුතු වෙයි. ඒ ක්‍රියාමාර්ගය එ. ජා. සංවිධානයේ ප්‍රඥප්තිවලට පටහැනි වේ නම් ඒවා පිළිගැනීම මගින් අප කරනු ලබන්නේ ඉමහත් භයානක පූර්වාදර්ශයක්‌ සැපයීම බව අප විසින් වටහා ගත යුතුයි. විශේෂයෙන් බටහිර බලවත් රාජ්‍යවලට අප රට වැනි කුඩා රාජ්‍ය නීති විරෝධී ලෙස බිලි ගැනීමට අවශ්‍ය අවස්‌ථාව එමඟින් සලසා දෙනු ඇත.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම (UNHRC), එක්‌සත් ජාතීන්ගේ සංවිධානය (UNO) යටතේ පවත්නා ආයතනයකි. ඊට එ. ජා. සංවිධානය අනුගමනය කරනු ලබන ප්‍රඥප්ති උල්ලංඝනය කළ නොහැකියි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවන ලද්දේ කුමන පදනමක්‌ යටතේද යන්න එහි ව්‍යවස්‌ථාවේ මුල් පරිච්ඡේදයේම (පරිච්ඡේද 1 - 2 (1) වගන්තිය මඟින්) මේ ලෙස සඳහන් කර ඇත.

"එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඊට අයත් වන සියලු සාමාජික රටවල් සියල්ලට එක හා සමාන ස්‌වෛරීත්වයක්‌ ඇතැයි යන පදනම මත ගොඩ නැඟුණකි."

ඒ මුල් පරිච්ඡේදයේම 2(7) වගන්තිය අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට කිසිදු රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට හෝ ඒ රට තුළ ඇති ස්‌වාධීන පාලනයට එරෙහිව කටයුතු කිරීමට නොහැකියි. එසේ මැදහත් විය හැක්‌කේ ඒ රට තුළ ඇති අභ්‍යන්තර ගැටලුව අන්තර් ජාතික සාමයට බාධාවක්‌ නම් පමණි.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ජීනීවාවලදී කර ඇත්තේ මෙරට පාලනයට විෂය වන අර්බුදයක්‌ අන්තර් ජාතික සාමයට බාධාවක්‌ය යන මුවාවෙන් ඉදිරිපත් කිරීමයි. බෑංකී මූන්ට අනුව අප විසින් තිස්‌ වසරක්‌ පැවැති ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය විනාශ කිරීමෙන් කර ඇත්තේ අන්තර්ජාතික සාමයට බාධා පැමිණවීමයි.·

ජිනිවාහිදී අපට විරුද්ධව නඟන ලද මූලික චෝදනාව නම් අප විසින් ත්‍රස්‌තවාදය මැඬලීමේදී මානව හිමිකම් කඩකර ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය සාක්‌ෂි මේ රට තුළින් සොයාගත නොහැකි වූ බෑංකී මූන් විසින් කරන ලද්දේ ඒ සඳහා මණ්‌ඩලයක්‌ (Pauel) පත්කිරීමයි. ඩ්‍රවුස්‌මාන් ප්‍රධාන කොටි හිතවාදීන් තුන් දෙනකුගෙන් යුත් ඒ මණ්‌ඩලය මගින් ලබා ගන්නා ලද වාර්තාව උඩයි බෑංකී මූන් මානව හිමිකම් කඩ කළේය යන වාර්තාවේ මුල් පිටපත සකස්‌ කරන ලද්දේ. ඔහු මෙහිදී කටයුතු කර ඇත්තේ එජා සංවිධානය මගින් ඔහුට දී ඇති බලතල සහමුලින් ඉක්‌මවාලමිනුයි. මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්‌ අරභයා එවැනි ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට ඔහුට කිසිලෙසකින් බලයක්‌ නොමැතියි.

එවැනි මණ්‌ඩලයක්‌ පත් කරන්නේ නම් ඊට පත්කළ යුත්තේ එජා සංවිධානයට අනුබද්ධ පුද්ගලයන් පමණි. බෑංකී මූන් පත් කළ පුද්ගලයෝ එවැන්නෝ නොවෙති.

මේ කරුණ පෙන්වා දුන් විට බෑංකී මූන්ගේ පිළිතුර වූයේ මෙය තමන්ට යම් යම් කාරණා පිළිබඳව පෞද්ගලික වශයෙන් දැන ගැනීම සඳහා පත් කරන ලද බල රහිත මණ්‌ඩලයක්‌ බවයි;  ඒ වාර්තාව සිය ප්‍රයෝජනය සඳහා මිස එළියට නොදාන බවයි. එසේ කීවද බෑංකී මූන් විසින් ඒ වාර්තාව ප්‍රසිද්ධ කර මුළු ලොවටම බෙදාහරින ලදී.

මේ ආකාරයෙන් ක්‍රියාත්මක වූ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට මුළුමනින්ම පටහැනි වූ යෝජනාවක්‌ අප විසින් පිළිගත යුතුය. එවැන්නක්‌ පිළිගැනීම යනු ඒ නීති විරෝධී ක්‍රියාව අනුමත කිරීමක්‌ වෙයි. එය භයානක පූර්වාදර්ශයක්‌ සපයන්නකි; ලෝක බලවතුන්ට එක්‌සත් ජාතික සංවිධානය තමන්ට රිසි සේ හැසිරවීමට ඉඩ ලබා දීමකි. එය පිළිගැනීමෙන් අප කරනු ලබන්නේ ලෝක බලවතුන් හමුවෙහි ලොව වසන දුබල කුඩා ජාතීන්ගේ අයිතිවාසිකම් පාවා දීමක්‌ බව අප විසින් වටහා ගත යුතුයි.

මී ළඟට අපගේ අවධානය යොමුවිය යුත්තේ මේ යෝජනා ඉදිරිපත් වූ ආකාරය ගැනයි. එහිදී ඇමරිකාව විසින් අනුගමනය කරන ලද්දේ ඉතා කපටි කෛරාටික ජුගුප්සාජනක ක්‍රියාමාර්ගයකුයි.

මේ යෝජනා ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද නමුදු ඒවා සිය යෝජනා නොවන බව ඇඟවීමට ඇමරිකාව වගබලාගත්තේය. එහි පළමු පියවර වූයේ මේවාට ලංකාව හවුල් කරගෙන ලංකාවේ අනුමැතිය මත ඉදිරිපත් කරනු ලබන යෝජනා ලෙස හුවාදැක්‌වීමයි. ඒ උගුලට හසු නොවීමට ලංකා දූත පිරිස වග බලා ගත්තේය. එය ව්‍යර්ථවීමෙන් පසු ගන්නා ලද දෙවැනි පියවර වූයේ ඒවා ලංකාණ්‌ඩුව විසින් පත්කරන ලද උගත් පාඩම් කොමිසමේ (LLRC) යෝජනා ලෙස ඉදිරිපත් කිරිමයි. එල් එල්. ආර්. සී. යෝජනා ලෙස ඒවා ඉදිරිපත් කරන අතර ඒවා තුළට තමන්ට රිසි සේ කටයුතු කිරීමට අවශ්‍ය වගන්ති ඉතා සූක්‍ෂම ලෙස ඇතුළු කරන ලදී. ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී තමන්ට රිසි ලෙස කටයුතු කිරීමේ අවස්‌ථාව එමගින් සලසා ගන්නා ලදී. මේ ක්‍රියාමාර්ගය අතිශයින් සාර්ථක වූ බව කිවමනා නොවේ.

ඇමරිකාව ඉදිරිපත් කරන්නේ උගත් පාඩම් කොමිසම මගින් ලංකාණ්‌ඩුව ඉදිරිපත් කළ යෝජනා නම් ඊට කිසිවකුට විරුද්ධ විය හැකිද? ජිනීවා යෝජනා මගින් කරනු ලබන්නේ ලංකාව කළ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම පමණක්‌ නම් ඊට විරුද්ධ විය හැක්‌කේ කුමන රටකටද? මධ්‍යස්‌ථව කටයුතු කළ රටවල් 8 එසේ කළේ මේ උප්පරවැට්‌ටිය නිසා යෑයි මම සිතමි.

මේ උප්පරවැට්‌ටියට මඟ සලසා දීමේ වගකීම අපගේ රජය විසින් මුළුමනින්ම භාර ගත යුතුයි. එල්. එල්. ආර්. සී. වාර්තාව සකස්‌ කළ පණ්‌ඩිතයන්ට මේ කිසිවක්‌ නොපෙනෙන්නට ඇත. දේශපාලන දර්ශනයක්‌, කැපවීමක්‌ නැති මැකෝලිගේ පරපුරෙන් එන නපුංසක උගතුන්ට එවැනි දේශපාලන අන්තර්ඥානයක්‌ කෙසේ තිබිය හැකිද? එවැන්නක්‌ ඔවුන්ගෙන් බලාපොරොත්තු විය හැකිද? රජය විසින් ඔවුන් පත්කරන්නට ඇත්තේද ඒ "අපක්‍ෂපාත" වාර්තාව මගින් බටහිරයන් පිනවා "වැඩේ ගොඩදමා" ගැනීමේ ෙච්තනාවෙන් විය යුතුය. බටහිරයන් එය කදිම දේශපාලන තුරුම්පුවක්‌ බවට පත්කර ගන්නා බව ඒ උගතුන්ට හෝ රජයට නොපෙනෙන්නට ඇත. එහි අවසාන ප්‍රතිඵලය වූයේ අප එල්ලා මරනු සඳහා අවශ්‍ය මළපුඩුqව අප විසින්ම සකස්‌ කර සතුරා අතට පත් කිරීමයි.

දැන් ඇමරිකාව මේ උගත් පාඩම් කොමිසම් වාර්තාව පක්‍ෂග්‍රාහී එකක්‌ ලෙස සලකා ඉවත දමා අන්තර්ජාතික කොමිසමක්‌ පත්කරන ලෙස බලකිරීමට පටන් ගෙන තිබේ. ස්‌ටීවන් රුප් විසින් එවැනි යෝජනාවක්‌ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැන් ඉදිරිපත් කරමින් සිටියි. එය ද අප ලවා 13 සංශෝධනය හැකි ඉක්‌මනින් ක්‍රියාකරවීමට ගනු ලබන උප්පරවැට්‌ටියක්‌ විය හැකියි.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ (UNHRC) මූලික චෝදනාව වූයේ අප විසින් මානව හිමිකම් කඩකර ඇති බවයි. ඒවා පිළිබඳව එල්. එල්. ආර්. සී. කොමිසම කර ඇති විභාගය ප්‍රමාණවත් නොවන බවත් ඒවා යළි විභාග කළ යුතු බවත් ජිනීවා යෝජනා මගින් පෙන්වාදී තිබේ. ඒ සඳහා අවශ්‍ය උපදෙස්‌, සහාය ආදී වූ ප්‍රතිපාදන ඔවුන් විසින් සපයන බව ද ලංකාණ්‌ඩුව විසින් ඒවා පිළිගත යුතු බව ද ජිනීවා යෝජනා විසින් ප්‍රකාශිතයි. එය, ඒ චෝදනා විභාග කිරීමේ මුවාවෙන් මේ රට තුළට ඇතුළුවීමට සාදා ගන්නා ලද හොඳ උපායකි. එසේ ඇතුළු වන ඔවුන් යුද අපරාධ ගොනු කිරීම සඳහා අවශ්‍ය සාක්‌ෂි නිර්මාණය කර ගන්නා අතර මේ රජය පෙරළීම සඳහා අවශ්‍ය පසුබිමක්‌ ද නිර්මාණය කරනු ඇත. අප විසින් ජිනීවා යෝජනා පිළිගැනීමෙන් කරනු ලබන්නේ ඒ සඳහා දොර විවෘත කර දීමයි.·

කරුණු මෙසේ නම් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිවලට පිටු පා, මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකට වංචනික මාර්ගයෙන් ඇතුළු වී, බොරු චෝදනා, යුධ අපරාධ නිර්මාණය කර මේ රට දෙකඩ කඩ අස්‌ථාවර කිරීම පරමාර්ථකොට ගත් මේ ජිනීවා යෝජනා අප විසින් පිළිගත යුතුද? යන්න අප විසින් සලකා බැලිය යුතුයි. මේවා ප්‍රතික්‌ෂේප කරන ලෙස අප ඉල්ලා සිටින්නේ ඉන් පැන නඟින දුර්දාන්ත පල විපාක ගැන අනවබෝධයෙන් නොවේ. මේ යෝජනා පිළිගත්තද, නොපිළිගත්තද ඒ දුර්දාන්ත පල විපාකවලට අපට මුහුණදීමට සිදුවනු නියතය. අප විසින් දැන්වත් කළ යුත්තේ එවැන්නකට මුහුණදීම සඳහා අවශ්‍ය දේශීය හා විදේශීය දේශපාලන ආර්ථික ප්‍රතිපත්ති වෙත වහ වහා යොමුවීමයි. මෙතෙක්‌ කල් කළ පරිදි යථාර්ථය නොදැක නිරතුරු ජපකරන ලද "ජනවාර්ගික ප්‍රශ්නය" බලය බෙදීම යන මන්තරය ජපකිරීම දැන්වත් නවත්වා යථාර්ථය දැක ගැනීමට අප තැත් කළ යුතුයි.

මේ ජිනීවා යෝජනා පිටුපසින් ඇති ඒ යථාර්ථය යළි මතක්‌ කර දෙමින් මේ ලිපිය අවසන් කළ යුතු යෑයි සිතමි.

මේ යෝජනා ගෙන එන ලද්දේ අප ලවා මානව අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීම සඳහා නොවේ. උතුරු - නැගෙනහිර වසන අසරණ දෙමළ මිනිසුන්ගේ සුබසිද්ධිය සඳහා නොවේ. මේ යෝජනාවල මූලික අරමුණ නම් 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීම මගින් මේ රට දෙකඩ කිරීමයි. මානව හිමිකම් කඩ කෙළේය යන චෝදනාව ඒ සඳහා බලකරනු වස්‌ යොදා ගන්නා ලද අවිය වෙයි. ඒ චෝදනාවෙන් පීඩනයට පත් වන අප රට දෙකඩ කිරීමට ඉඩ දෙනු ඇතිය යන විශ්වාසය ඔවුන් සතුව පවතී. අප මෙතෙක්‌ ගෙන ගිය ක්‍රියා කලාපය ද ඒ විශ්වාසය තහවුරු කිරීමට හේතුවී තිබේ.

එසේ දෙකඩ වන රට තුළ සිය යුද කඳවුර තනාගත හැකි බව ඇමරිකාව හො¹කාරවම වටහාගෙන ඇත. අද වන විට එවැනි යුද කඳවුරක්‌ මෙහි ගොඩ නඟා ගැනීම ඇමරිකාවට අත්‍යවශ්‍යව ඇත. ඉන්දියානු සාගර කලාපය තුළ ව්‍යාප්ත වන චීන තර්ජනයට මුහුණ දීමට ඇති එකම මඟ එය වෙයි.

ඇමරිකාව සිය සතුරන් වන චීනය, රුසියාව, ඉරානය, උතුරු කොරියාව යන මේ රටවල මිතුරන්ට එරෙහිව යුද වැදීමට දැන් සූදානම් බව අපට පෙනී යා යුතුයි. පසුගිය මාර්තු 16 දා නිකුත් කරන ලද සුවිශේෂ ජනාධිපති ප්‍රකාශය මගින් බැරක්‌ ඔබාමා යුදමය තත්ත්වයක්‌ ඇමරිකාව තුළ ඇති කිරීමට පියවර ගෙන තිබේ. රුසියාවට, චීනයට, ඉරානයට, උතුරු කොරියාවට එරෙහිව යුද වැදීම සඳහා අවශ්‍ය වන නවීනතම ප්‍රහාරක අහස්‌ යාත්‍රා (F- 35 Stealth Fighter
Jet) 2443 මේ මස මුලදී ඇමරිකාව ආයෝජනය කර තිබේ. ඒ සඳහා වියදම් කරන ලද ඩොලර් ටි්‍රලියන එකහමාර (1 1/2 Trillions) නිසා ඇමරිකාවේ ජන ජීවිතය කඩා වැටෙනු ඇතැයි පවසනු ලැබේ. මේ ප්‍රහාරක යානාව මිලදී ගන්නා ලෙස ඇමරිකාව සිය මිතුරන් වන ඊශ්‍රාලයට, එංගලන්තයට, කැනඩාවට, ඕස්‌ටේ්‍රලියාවට දන්වා ඇත. දැන් C I A මධ්‍යස්‌ථානය බවට පත්ව ඇත්තේ කුමාර් ගුණරත්නම් මෙහි එවූ ඕස්‌ටේ්‍රලියාවයි. කොටින් කියතොත් අප අද ඉන්නේ තෙවැනි ලෝක යුද්ධයේ දොරකඩ බව අපට පෙනී යා යුතුයි. එබැවින් අප කරන කියන හැම දෙයක්‌ම මේ පසුබිම මත තබා සලකා බැලීමට අප තැත් කළ යුතුයි.

- ආචාර්ය ගුණදාස අමරසේකර
දිවයින
2012-04-28

Related

ගුණදාස අමරසේකර 4789768511183302968

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item