ඉන්දීය ක්‍ෂේත්‍ර චාරිකා

ඉන්දීය ඇමැතිවරු මන්ත්‍රීවරුන් තනි තනිව මෙන් ම කණ්‌ඩායම් වශයෙන් ද සති දෙකකට වරක්‌ පමණ ලංකාවට පැමිණීම දැන් පුරුද්දක්‌ බවට පත් වී ඇ...

ඉන්දීය ඇමැතිවරු මන්ත්‍රීවරුන් තනි තනිව මෙන් ම කණ්‌ඩායම් වශයෙන් ද සති දෙකකට වරක්‌ පමණ ලංකාවට පැමිණීම දැන් පුරුද්දක්‌ බවට පත් වී ඇත. ඔවුන්ට අමතරව එරට නිලධාරීහු ද මෙරටට පැමිණෙති. ඔවුන් මෙරටට එන්නේ අපේ සුව දුක්‌ බැලීමට නොවන බව පැහැදිලි ය. ඉන්දියාව හෝ එයට පෙර එහි තිබූ ප්‍රදේශ හෝ අපේ ලොකු අයියා හෝ සහෝදරයකු හෝ ලෙස ක්‍රියා කර නැත. ඉන්දියාවට නිදහස ලැබෙන කාලයේ සිට ම තිබුණේ ලංකාව ද එයට ඈ¹ ගැනීමේ අවශ්‍යතාව ය. යම් අයුරකින් පෝක්‌ සමුද්‍ර සන්ධිය නොතිබෙන්නට අප ඇතැම් විට ඉන්දියාවේ තමිල්නාඩුවේ ම කොටසක්‌ හෝ වෙනත් ප්‍රාන්තයක්‌ හෝ බවට පත්වීමට ඉඩ තිබිණි. එසේ වී නම් සිංහලයන්ට අත්වීමට තිබූ ඉරණම සිතාගත හැකි ය. ඉන්දියාව තවමත් ඒ අදහස නැතිකරගෙන ඇතැයි සිතිය නො යුතු ය. නේරුලාට ඉන්දිරා ගාන්ධිලාට රජිව්ලාට ද ඒ අදහස තිබුණු අතර දැනටත් සෝනියාලා හා මංමෝහන්සිංලා මෙන් ම කරුණානිධිලා හා ජයලලිතලා ද ඒ අදහස දරති. පසුව කී දෙදෙනා වඩාත් කැමැතිවනු ඇත්තේ ලංකාව තමිල්නාඩුවේ ම කොටසක්‌ කර ගැනීමට ය. මේ අදහස නොදැරූ රාජ්‍ය නායකයකු ඉන්දියාවේ සිටියේ නම් ඒ ලාල් බහදූර් ශාස්‌ත්‍රී මහතා විය යුතු ය. ඉන්දීය නියෝජිතයන් මෙරටට පැමිණෙන්නේ දෙමළ ජනතාවට ඇතැයි කියන ප්‍රශ්නය විසඳීමට ය. ඔවුහු බලය බෙදීම ගැන කතා කරති. දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් එහා යන විසඳුම් ගැන කතා කරති. උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට බල කරති. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව බැඳී නැති බව ඉන්දියාව, බටහිරයන් හා අනෙක්‌ සිංහල විරෝධීන් ඉගෙන ගන්නේ කවදාද?

මේ අතර රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග ද ඉන්දියාවට යති, එති. ඇයට අමතක වී ඇත්නම් මතක්‌ කළ යුත්තේ ඇගේ මව සිරිමා - ශාස්‌ත්‍රි ගිවිසුම අත්සන් කළේ බමුණු කුලයේ ගාන්ධිලා සමඟ නොවන බව ය. බටහිරයන්ගේ කීමට මෙරට ක්‍රියා කරන පක්‍ෂ මෙරට තිබේ. ඒ අතර බටහිරයන් විසින් මෙහෙයවනු ලබන ඊනියා රාජ්‍ය නොවන සංවිධාන මගින් නඩත්තු කෙරෙන පක්‍ෂ ද වෙයි. දෙමළ ජාතික සන්ධානය පසුගිය ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකාට ආධාර කළේ ද බටහිරයන්ගේ අවශ්‍යතාවට ය.

ඉන්දියාවේ ක්‍රියාකාරකම් විහිළු නො වේ. මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය ඇති කළෝ බටහිරයෝ ය. නිදහසෙන් පසුව ඒ ප්‍රශ්නය පවත්වාගෙන යැමට හා ගින්නට පිදුරු දැමීමට ඉන්දියාව ක්‍රියා කර ඇත. ප්‍රභාකරන්ට මෙන් ම උමා මහේෂ්වරන්ට ද ආයුධ සපයා දෙමළ ත්‍රස්‌තවාදය නිර්මාණය කළේ ඉන්දියාව ය. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක්‌ වූ අතර දෙමළ ත්‍රස්‌තවාදය ඉන්දියාව විසින් බිහි කෙරිණි. එහි දී ද ඉන්දියාවට බටහිරයන්ගේ සහාය ලැබිණි. ඉන්පසු ඒ ත්‍රස්‌තවාදය නැතිකිරීම සඳහා යෑයි විවිධ අවස්‌ථාවල ඊනියා විසඳුම් ඉන්දියාවෙන් ඉදිරිපත් කෙරිණි. ඉන්දු - ලංකා ගිවිසුම හා ඒ මත පදනම් වූ දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඊනියා විසඳුම් අතර වෙයි. අප අමතක නොකළ යුත්තක්‌ නම් පසුගිය කාලයෙහි ඉන්දියාව ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය සමබන්ධයෙන් බටහිර සමඟ ඉතා කිට්‌ටුවෙන් කටයුතු කළ බව ය. ඉන්දියාව නොදැනුවත්ව බටහිර රටවල් ඒ සම්බන්ධයෙන් කිසිවක්‌ නො කළේ ය. අද ද එසේ ම ය. ජෙනීවා යෝජනා ඉන්දියාවේ සහභාගීත්වයෙන් කෙටුම්පත් කෙරී ඇති අතර ඒ යෝජනා සම්මත කර ගැනීම සඳහා ඉන්දියාව ආසියාතික රටවලට, විශේෂයෙන් ම දෙමළ ජනයා යම් ප්‍රමාණයක්‌ සිටින රටවලට බලපෑම් කර ඇති බව දැන් හෙළිවෙමින් පවතියි. මැලේසියාව හා මුරුෂියස්‌ දූපත් එහි දී කැපී පෙනෙයි. එහෙත් බොහෝ ආසියාතික රටවල්, විශේෂයෙන් ම දකුණු ආසියාතික රටවල් ඉන්දියාවට ඇහුම්කන් නො දිනි. අද ඉන්දියාවට ඔවුන් සිතන ආකාරයේ නායකත්වයක්‌ දකුණු ආසියාවේවත් නැත. ඉන්දියාව ආර්ථික අතින් දියුණු යෑයි කීව ද මිසයිල තිබුණ ද දුර්වල රාජ්‍යයකි. බටහිර නොමැතිව ඉන්දියාවට පැවැත්මක්‌ නැත. මෙරට දෙමළ ජනයා සිටින්නේ යෑයි කියමින් අපේ කටයුතුවලට ඇඟිලි ගසන ඉන්දියාවට එහි බෞද්ධයන් සිටින බව පමණක්‌ දැනට මතක්‌ කරමු.

බටහිරට මෙන් ම ඉන්දියාවට ද අද අවශ්‍ය ලංකාව අස්‌ථායී කිරීමට ය. එයට හරස්‌ව සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාය.

අද බටහිරට මෙන් ම ඉන්දියාවට ද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැට්‌ටවීමට ය. ඉන්දියාවේ දේශපාලනඥයන්ගේ ක්‍ෂේත්‍ර චාරිකා ඒ සඳහා ය. උගත් පාඩම් කොමිසමේ යෝජනා හෝ දහතුනට එහා යන ඊනියා විසඳුමක්‌ හෝ ක්‍රියාත්මක කිරීම යනු ආණ්‌ඩුව සිය දිවි නසා ගැනීමකි. ආණ්‌ඩුවේ සිටින වමේ යෑයි කියන තුන් බෑ ජටිල (මාක්‌ස්‌වාදය ද ජටාවකි. එකල මාක්‌ස්‌වාදය තිබිණි නම් එය ද බ්‍රහ්මජාල සූත්‍රයෙහි නම් කෙරෙනු ඇත.) ඇමැතිවරුන් ගේ කැමැත්ත සත පහකට මායිම් කළ යුතු නැත. ඔවුන් අද ඇමැතිකම් දරන්නේ ඔවුන් විරුද්ධ සිංහල විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද නිසා ය. මහින්ද රාජපක්‍ෂ මහතාට අනුපාත ක්‍රමය යටතේ ද තුනෙන් දෙකක ඡන්ද ලබාගත හැකි බව අපි කලකට පෙර පෙන්වා දුනිමු. ඒ සිංහල ඡන්දවලින් සියයට හැත්තෑපහකට වැඩි ඡන්දයක්‌ ලබා ගැනීමෙනි. ඒ සඳහා සිංහලයන් එකතු කරන සටන්පාඨ අවශ්‍ය විය. අද බටහිර, ඉන්දියාව හා මාක්‌ස්‌වාදී තුන් බෑයන් ආදීන් උත්සාහ කරන්නේ ආණ්‌ඩුව ලවා දෙමළ ජාතිවාදී ඉල්ලීම් ලබා ඉඩ දී ආණ්‌ඩුවට ඡන්දය දෙන සිංහලයන් ආණ්‌ඩුව කෙරෙහි කලකිරවීමට ය. ඒ සමඟ කෙකරගාමීන් ලවා තැන තැන සිද්ධි ඇතිකර මානව අයිතිවාසිකම් වෙනුවෙන් යෑයි කියමින් ආණ්‌ඩුව පෙරළා දැමීම බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ උත්සාහය ය. මෙහි ඇති සරදම නම් එමගින් මාක්‌ස්‌වාදී තුන් බෑයන්ට ද ඇමැතිකම් අහිමි වීම ය. තමන්ට අවශ්‍ය ඇමැතිකම් නොව රටට සේවය කිරීමට යෑයි මේ තුන් බෑ ජටිලයන් කීමට ඉඩ ඇත. එහෙත් ඒ බයිලා පමණ ය. තුන් බෑ ජටිලයන් දමනය කර ආණ්‌ඩුව පවත්වාගෙන යැම ජනාධිපතිතුමාට අපහසු කාර්යයක්‌ නො වේ.

ඒ සඳහා කළ යුත්තේ උගත් පාඩම් කොමිසමේ ජනතාවට පිළිගත හැකි යෝජනා පමණක්‌ ක්‍රියාත්මක කිරීම ය. ආණ්‌ඩුව විසින් පත්කළ පමණින් කොමිසමක යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව බැඳී නැති බව අමතක නොකළ යුතු ය. ඒ අතර දහතුන ධන සෘන සම්පූර්ණයෙන් අමතක කිරීම ය. පළාත් සභා අසාර්ථක බව උගත් පාඩම් කොමිසම ද කියයි. ආණ්‌ඩුව එය හිතට ගත යුතු ය. අසාර්ථක වූවක්‌ දිගට ම ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය ය. මේ ජයවර්ධන ව්‍යවස්‌ථාව එහෙන් මෙහෙන් තළා පෙළා සකස්‌ කර ගැනීමට උත්සාහ කිරීම වෙනුවට කළ යුත්තේ මහින්ද චින්තනයෙහි ද සඳහන් ආකාරයට වෙනත් ව්‍යවස්‌ථාවක්‌ සම්මත කිරීම ය. මහජනයාගේ වරමක්‌ ද ලැබී ඇත්තේ එයට මිස ජයවර්ධන ව්‍යවස්‌ථාව අතනින් මෙතැනින් සංශෝධනය කිරීමට නො වේ. මෙරටට ඔබින ව්‍යවස්‌ථාවක්‌ සකස්‌කර ගැනීමේ දී අප අනුගමනය කළ යුත්තේ අපේ එක්‌සේසත් රාජ්‍යයය. අවාසනාවකට මෙරට ඉතිහාසඥයන් හා දේශපාලන විද්‍යාඥයන් ඒ රාජ්‍යය ගැන වැඩි සැලකිල්ලක්‌ දක්‌වා නැත. එය ලංකාවට ම ආවේණික වූ රාජ්‍යයකි. අවශ්‍ය නම් නූතන වචන යොදා ගනිමින් එය ඒකීය රාජ්‍ය විශේෂයක්‌ ලෙස හඳුනාගත හැකි ය. එහි දේශපාලනය මධ්‍යගත විය. එහෙත් පරිපාලනය උපරිම වශයෙන් විමධ්‍යගත විය. රාජ පුරුෂයෝ රජ අණ එනම් රාජ්‍යයේ අණ ක්‍රියාත්මක කළ පිරිසක්‌ වූහ. ඔවුහු එංගලන්තයේ මෙන් දරදඬු මධ්‍යගත පරිපාලනයකට අයත් පිරිසක්‌ නොවූහ. ජනතාවගේ එදිනෙදා කටයුතු පිළිබඳ තීරණ ගැනුණේ ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ප්‍රධානත්ව යෙන් රැස්‌වූ ගම්සභාවලින්, වරිගසභාවලින් ආදියෙනි. මේ ගම්සභා හා රාජ සභාව අතර සම්බන්ධයක්‌ නො වී ය.

අද වචනවලින් කියන්නේ නම් ගම්සභාවල දේශපාලන ඥයෝ නො වූහ. එකල ෙµඩරල්වාදීන් වූ ඇතැම්හු අද අවස්‌ථාවාදීව ගම්සභා දේශපාලනඥයන්ට හිමිකර දීමට පිඹුරුපත් සැකසීම සිනහවට ලක්‌විය යුතු ය. ඒ අතර වර්තමාන පරිපාලන රටාව ද අනුගමනය කරමින් සංක්‍රමණීය පියවරක්‌ ලෙස දිස්‌ත්‍රික්‌ සභා පිහිටුවා ඒවාට ඇතැම් කාර්යයන් හිමි කර දිය හැකි ය. මේ දිස්‌ත්‍රික්‌ක යථා කාලයේ දී සුද්දන්ගේ මායිම් අනුව නොව භූගෝලීය, පාරිසරික, ඓතිහාසික හා සංස්‌කෘතික කරුණු පදනම් කරමින් රටවල් හා කෝරළ ලෙස (අටදහස්‌ රට, දොළොස්‌දහස්‌ රට, නුවර කලාවිය, පස්‌දුන් කෝරළය ආදී වශයෙන්) සකස්‌ විය යුතු ය. දිස්‌ත්‍රික්‌ සභාවල දේශපාලනඥයන් ක්‍රියාත්මක විය හැකි ය. මේවා කළ නොහැකි කාර්යයන් යෑයි කොටින් පැරදවීමට බැරි බව කී ජටිලයන් හා ඇංකරයන් පවසනු ඇත. එමෙන් ම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළහොත් අපට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියමින් ජනතාව බිය වැද්දීමට ද ඔවුන් කටයුතු කරනු ඇත. එහෙත් උගත් පාඩම් කොමිසමේ යෝජනා හා දහතුන ධන යනු අවසානයක්‌ නොව තව තවත් දෙමළ ජාතිවාදී ඉල්ලීම්වලට මගපෑදීමක්‌ පමණකි. චෙල්වනායගම් ප්‍රතිපත්තිය වූයේ දැන් ටිකක්‌ පසුව හුඟක්‌ යන්න ය.
 
-නලින් ද සිල්වා
උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-04-29

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 1349812308166634225

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item