ඕස්‌ටේ්‍රලියානු විප්ලවවාදියාගේ ජවනිකාව

සිංහල අවුරුද්දට පෙර සිදු වූ ප්‍රේමකුමාර ගුණරත්නම් ජවනිකාව ගැන යමක්‌ කීමට මට ද දැඩි වුවමනාවක්‌ තිබුණ ද ඊට වඩා වැදගත් මාතෘකා ...

සිංහල අවුරුද්දට පෙර සිදු වූ ප්‍රේමකුමාර ගුණරත්නම් ජවනිකාව ගැන යමක්‌ කීමට මට ද දැඩි වුවමනාවක්‌ තිබුණ ද ඊට වඩා වැදගත් මාතෘකා පැන නැගි නිසා පසුගිය සති 2-3 තිස්‌සේ ඒ ගැන කිසිවක්‌ ලිවීමට ඉඩක්‌ ලැබුණේ නැත. මේ දෙසැම්බර් මස වන විට මම පුවත්පත් කලාවේදියකු හැටියට මුල් පියවර තබා වසර 30 ක්‌ වනු ඇත. මේ මුළු කාලය තුළ ගුණරත්නම් සිද්ධිය තරම් ජුගුප්සාජනක ජවනිකාවක්‌ මා කිසිදාක දැක නැත. එම සිදුවීමත් අදත් අතර විවිධ පුද්ගලයන් මේ ගැන විවිධ කතා පළකොට ඇත. එයට මගේ මතය ද එක්‌ කළ යුතු බව මම කල්පනා කරමි.

ප්‍රේමකුමාර ගුණරත්නම් පැහැරගෙන ගියා. නැතිනම් අත්අඩංගුවට ගත්තා යෑයි කතා පැතිරීමට ගත් මුල් අවස්‌ථාවේදී මගේ සිතට ආ පළමු දෙය වූයේ මෙය ඒකාන්තයෙන්ම තවත් දවස්‌ දෙකකින් එළිදැක්‌වීමට යන ජ.වි.පෙ. කැරලිකාරී කණ්‌ඩායමේ අලුත් පක්‍ෂය දෙසට කාගේත් අවධානය යොමු කරවා ගැනීමට ප්‍රචාරක උපක්‍රමයක්‌ හැටියට ඔවුන් විසින්ම රඟදක්‌වන ජවනිකාවක්‌ බවයි. එපමණක්‌ ද නොව සියවස්‌ කාලකට වඩා සැඟවී සිටි පුද්ගලයෙක්‌ එකවරම එළියට දමනවාට වඩා මෙවැනි ජවනිකාවකින් තව ටිකක්‌ පුම්බා එළියට දැමීමට ඔවුන් උත්සාහ කරනවාය යන අදහසත් මට පහළ විය. මට සිතුණු තවත් දෙයක්‌ වූයේ මෙතෙක්‌ කල් සැඟවී සිටි ඔවුන්ගේ නායකයා එළියට නොදමා කවුරුන් හෝ ඉස්‌සුවා යෑයි කියා අලුත් පක්‍ෂය එළිපිට ක්‍රියාත්මක වද්දී නායකයා දිගටම සඟවාගෙන සිටීමට උත්සාහ කරනවා ද විය හැකි බවයි.

නමුත් මේ ජවනිකාවෙන් ජ.වි.පෙ. කැරලිකාරී කණ්‌ඩායමට සිදුවී ඇති හානිය දෙස බලන විට මෙය කිසිසේත්ම තමන් විසින් තමන්ට කරගත් දෙයක්‌, එසේත් නැත්නම් රඟදක්‌වන ලද ජවනිකාවක්‌ නම් නොවන බව මගේ විශ්වාසයයි. මෙය ඒකාන්තයෙන්ම ආණ්‌ඩුවේ වැඩක්‌ය යන්න මම විශ්වාස කරමි. ගුණරත්නම්ගේ පැහැර ගැනීම ගැන ජ.වි.පෙ. කැරලිකාරී කණ්‌ඩායම තුළින්ම ප්‍රශ්න පැන නැගී ඇති බවට ද මට ආරංචි ලැබී ඇත. ඒ අනුව එම කණ්‌ඩායමේම ඇතැම් පිරිස්‌ ගුණරත්නම්ට දී තිබුණු ආරක්‍ෂාව ගැන ඔවුන් හොඳින් දන්නා නිසා, කියා සිටින්නේ කිසිසේත්ම ගුණරත්නම්ව තනියෙන් අත්අඩංගුවට ගත නොහැකි බවයි. ඔහුව අත්අඩංගුවට ගත්තේ නම් අඩුම වශයෙන් තවත් එක්‌ පුද්ගලයෙක්‌වත් ඔහු සමග සිරභාරයට ගත යුතු බවයි. එසේ නැත්නම් ඔහුව අත්අඩංගුවට ගත් මොහොතේම ඔහුගේ ආරක්‍ෂාවට යොදවා ඇති පිරිස විසින් එය ක්‍ෂණිකවම සෙසු උදවියට දන්වා සිටිය යුතු බවයි. එමෙන්ම ගුණරත්නම් ඔස්‌ටේ්‍රලියාවට ගිය පසු තමන්ගේ පාක්‍ෂිකයකුට දුරකථනයෙන් කතා කොට එම පැහැර ගැනීම ගැන දන්වා සිටි තොරතුරු හැටියට ලක්‌බිම පුවත්පතේ පළවූ කතාව ගැන ද ඇතැම් අය සැක පහළ කර සිටී. ගුණරත්නම් තම පක්‍ෂයේ සගයන්ට කියා ඇත්තේ ඔහු නිදාගෙන සිට ඇහැරෙන විට ඇඳ වටේ 5 - 6 දෙනකු සිටගෙන සිටි බවයි. ඔහුට දී තිබුණු ආරක්‍ෂාව දන්නා පක්‍ෂයේ අභ්‍යන්තරයේ උදවිය කියා සිටින්නේ තව දෙතුන් දෙනකුවත් පසු කරන්නේ නැතුව කිසිසේත්ම ගුණරත්නම්ගේ ඇඳ ගාවට ඔය කියනා විදියට යැමට නොහැකි බවයි. මෙවැනි සැක සහිත තැන් තිබුණ ද මම ඒත් විශ්වාස කරන්නේ මෙතරම් හානියක්‌ තමන් විසින් තමන්ට කරගත්තා විය නොහැකි බවයි.

මෙකී ජවනිකාවෙන් ගුණරත්නම්ට සිදුවී ඇති හානිය එසේ මෙසේ නොවෙයි. අවුරුදු 24 ක්‌ පමණ සැඟවී සිටි ඔහු ගොඩ නඟාගත් මුළු ප්‍රතිරූපයම පැය 24 කින් විනාශ වී ගියේය. විඡේවීර හෝ ප්‍රභාකරන්වත් අවුරුදු 24 ක්‌ සැඟවී සිටියේ නැත. ගුණරත්නම් අවුරුදු 24 ක්‌ සැඟවී සිට ජනතාව ඉදිරියට පැමිණ කළ පළමු කතාවෙන්ම ඔහු කියා සිටියේ තමන් අත්අඩංගුවේ සිටියදී තමාට අස්‌වාභාවික ලිංගික ක්‍රියාවක්‌ කරන ලද බවයි. මෙවැනි දෙයක්‌ ඇත්තටම සිදුවූවත් ලංකාවේ කිසිම දේශපාලන නායකයෙක්‌ තමන්ට එවැන්නක්‌ සිදුවූ බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. මේ රටේ ජනතාව සොයන්නේ රටටම ආරක්‍ෂාව සැපයිය හැකි නායකයෙක්‌ මිස තමන්ගේම පස්‌ස පැත්තවත් ආරක්‍ෂා කර ගත නොහැකි නායකයින් නොවන නිසාය. මම ද අවුරුදු 30 ක්‌ කැරලි කෝලාහල හා යුද්ධ 2 ක්‌ ගැන පොත් ලියා තිබියදී ලංකාවේ ආරක්‍ෂක හමුදාවල උදවිය විසින් සැකකරුවකුට අස්‌වාභාවික ලිංගික ක්‍රියාවක්‌ කළා යෑයි ඇසුවේ පළමු වතාවටය. මේ ලිංගික අතවරයක්‌ ගැන කියන කතාව ලංකාව තුළ ඔහුගේ දේශපාලන අනාගතය රැකගැනීමට කී කතාවක්‌ නොව ඔහුගේ ඕස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය රැක ගැනීමට කී කතාවක්‌ බව මගේ මතයයි.

ගුණරත්නම් අත්අඩංගුවට පත්වීමෙන් පසු කාටත් තහවුරු වූ කාරණය වූයේ ඔහු ව්‍යාජ නමක්‌ හා ව්‍යාජ ලියකියවිලි පෙන්වා ඕස්‌ටේ්‍රලියාවට ඇතුළුවී බොරු නමක්‌ යටතේ ඕස්‌ටේ්‍රලියානු පුරවැසිභාවය ලබාගෙන ඇති බවයි. ඕස්‌ටේ්‍රලියානු ආණ්‌ඩුවට මේ ගැන අනිවාර්යයෙන්ම පරීක්‍ෂා කර බැලීමට සිදුවනු ඇත. පුද්ගලයකුට ව්‍යාජ නම් හා ලිපි ලේඛන උපයෝගී කරගෙන ඕස්‌ටේ්‍රලියානු පුරවැසි භාවය ලබාගැනීමට උදව් උපකාර දුන්නා යෑයි චෝදනාවක්‌ ඔහුගේ බිරිඳට ද එල්ල විය හැක. ගුණරත්නම් ආපසු ලංකාවට පටවා එවන්නේ නැති තැනට කටයුතු සැලැස්‌වීමට නම් ඔප්පු කළ යුතු කාරණයක්‌ වන්නේ ඔහු ආපසු ලංකාවට පිටුවහල් කළහොත් ඔහු මෙහිදී වධ බන්ධනයට ලක්‌විය හැකි බව ඔප්පු කර පෙන්වීමයි.

වධ බන්ධනයට ලක්‌විය හැකි බව ඔප්පු කිරීමට ඇති පහසුම කාරණය වන්නේ කලින් වධ බන්ධනයට ලක්‌වී ඇති බවට වෛද්‍ය සහතික ලබාගැනීමයි. වෛද්‍ය සහතිකයකින් තමන්ට වධ බන්ධන පමුණුවා ඇති බවට ඔප්පු කළ නොහැකි උදවිය සියලු දෙනාම පවසා සිටින්නේ තමන්ට "ලිංගික වධ" පමුණුවන ලද බවයි. එයින් කරන්නේ වෛද්‍ය වාර්තාවකින් මතුවන කිසිදු හානියක්‌ ශරීරයට සිදු නොවී දැඩි මානසික පීඩනයක්‌ හා ලැඡ්ජාවක්‌ ඇති වූ බව කීමයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් සිරියාවෙන් එළියට පැනගත් සරණාගතයින්ට කතා කරන විට එහි සිටින පිරිමින් සියලු දෙනාම එනම් 10 - 12 කොලුවාගේ සිට අවුරුදු 40 - 50 - 60 වයස පිරිමින් දක්‌වා හැමදෙනාම කියන්නේ තමන් සිරියානු හමුදාව අතින් ලිංගික අතවරවලට ලක්‌ව ඇති බවයි. එවැනි දෙයක්‌ වාර්තාවක ලියවීම ඔවුන් දේශපාලන රැකවරණය ඉල්ලා බටහිර රටවලට යවන ඉල්ලුම්පත්‍රවලදී බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙයි. මෙතැනදී ද අවුරුදු 24 ක්‌ සැඟවී සිටි පුද්ගලයෙක්‌ ජනතාව ඉදිරියට පැමිණ කළ පළමු කතාවෙන්ම තමන්ට ලිංගික අකරතැබ්බයක්‌ වූ බව කීම ලංකාවේ දේශපාලනය ගැන සිතා කරන ලද්දක්‌ නොව ඔස්‌ටේ්‍රලියාවේදී නීතිය පැත්තෙන් පැමිණිය හැකි ප්‍රශ්න අඩු කර ගැනීමට කියන ලද්දක්‌ බව පැහැදිලිය.

ගුණරත්නම්ට මෙන්ම ඔහු පසුපස ජනතා විමුක්‌ති පෙරමුණෙන් ඉවත්ව ආ අනෙක්‌ අසරණයින්ට මේ ජවනිකාවෙන් සිදුවූ තවත් මහා විනාශයක්‌ වූයේ ඕස්‌ටේ්‍රලියාවේ සිටින ගුණරත්නම්ගේ පවුලේ රූපරාමු මාධ්‍යය තුළින් විකාශය වීමයි. ඔහුව පැහැරගත් පසුත් ලංකාවෙන් පිටමං කළ පසුත් පවුලේ විවිධ ඡායාරූප පළ වූ අතර ඉන් වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත් වූ ඡායාරූපයේ මුලින්ම ඇස යන්නේ ලංකාවේ අවුරුදු 24 ක්‌ සැඟවී සිටි මහා විප්ලවවාදියාගේ පවුලේ සාමාජිකයන්ගේ ඇඳුම් විලාසය දෙසය. එම ඇඳුම් විලාස සහ ඉරියව් ද තනිකරම ඕස්‌ටේ්‍රලියාවට ආවේණික ඉරියව් මිස ලංකාවේ පවුලක්‌ ඡායාරූපයකට පෙනී සිටින ඉරියව් නම් නොවන බව පැහැදිලිය. මේ රටේ සිටින ඉංග්‍රීසි කතා කරන පැලැන්තියේ විජාතික සාමාන්‍ය ජනතාව දෙස අවඥවෙන් බලන "කොල්ලුපිටිය" තාලයේ ධනපති දේශපාලනඥයකුගේ පවුලක්‌වත් ඔය ආකාරයේ ඇඳුම් විලාස හා ඉරියව් වලින් ඡායාරූප වලට පෙනී සිට නැත.

මීට මාස කීපයකට පෙර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්‌මාරකයකට රුපියල් 2,000 කට අඩු සුළු හානියක්‌ වූවා යෑයි කියා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් එළියට බස්‌සවා පැය ගණනක්‌ යනතුරු හයිලෙවල් පාර, ගාලු පාර අවහිර කොට අරලියගහ මන්දිරය තුලටද කඩාවැදීමට උත්සාහ කළේ ගුණරත්නම්ගේ කණ්‌ඩායමයි. ඒ අවස්‌ථාවේදී ඔවුන්ගේ උපරිම උත්සාහය වූයේ පොලිස්‌ වෙඩි තැබීමකින් සිසුවෙක්‌ මරවාගෙන තව තවත් උද්ඝෝෂණ වලට නිsමිත්තක්‌ සාදවා ගැනීමටයි. මේ රටේ සිසු අරගල හා පෙළපාලි කොතරම් තිබුණත් රුපියල් 2,000 ක තරම් සුළු හානියක්‌ කොන්ක්‍රීට්‌ ස්‌මාරකයකට සිදුවූවායෑයි කියා අරලියගහ මන්දිරය තුළට කඩා වැදීමට කිසිදාක ශිෂ්‍ය සංගමයක්‌ උත්සාහ කොට නැත. මෙවැනි අන්තගාමී ක්‍රියාවන් වලින් ගුණරත්නම්ගේ කණ්‌ඩායම උත්සාහ කළේ ආණ්‌ඩු පෙරළියක්‌ වීදි සටන් තුළින් ඇති කිරීමට හැකි වාතාවරණයක්‌ නිර්මාණය කිරීමයි.

ලංකාවේ තරුණයන් වීදි බස්‌සවා ඔවුන්ව බිල්ලට දී දේශපාලන බලය ඩැහැගැනීමට උත්සාහ කළ මේ මහා විප්ලවවාදියාගේ ළමයි දෙදෙනාගේ ජීවන රටාව හා සංස්‌කෘතිය ඉහත සඳහන් කරන ලද ඡායාරූප වලින් මුළු ලංකාවටම දැකගත හැකි විය. තමන්ගේ ළමයින් අරගල වලින් තොර, පන්ති වර්ජනවලින් තොර, සාමකාමී සැපවත් ජීවිත පිටරට ගෙවන අතරතුර ලංකාවේ තරුණයන්ට ඔවුන් උරුම කර දීමට උත්සාහ කළේ පංති වර්ජන, වීදි සටන්, වෙඩි තැබීම්, මළගෙවල් හා සිරගෙවල්ය. කිසිදු විප්ලවවාදියකුට මෙවැනි දෙබිඩි ජීවිත තිබිය නොහැක. අනුන්ගෙන් කැපවීම් ඉල්ලන නායකයන් ඒ කැපවීම් තමන්ගේ පවුලටත් පොදු බව හැමෝටම පෙන්විය යුතුය. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ බිරිඳ ද තමන්ගේ ළමයි පිටරට යවා ඉගැන්වීමට වුවමනාවක්‌ තිබුණද ප්‍රභාකරන් එයට ඉඩ දුන්නේ නැතැයි කුමරන් පද්මනාදන් පවසා තිබුණි. ප්‍රභාකරන් තමන්ගේ ළමයින් පිටරට යවන්නේ නැතුව ලංකාවේම තබා ගත්තේ ඔවුන් පිටරට ඇරියේ නම් තමාගේ ප්‍රතිරූපයටත් තමන්ගේ ව්‍යාපාරයටත් සිදුවන හානිය හොඳින් දන්නා නිසාය. ගුණරත්නම් උත්සාහ කළේ රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමටය. තමන්ගේ ළමයින්ට සම්පූර්ණ සුරක්‍ෂිත හා සැපවත් වාතාවරණයක්‌ පිටරට සාදා දී ලංකාවට අවුත් මෙහි සිටින තරුණයන් බිල්ලට දී තමාගේ දේශපාලන අත්හදා බැලීම් නිදහසේ කරගෙන යැමටය. මේ දෙබිඩි ජීවිතය ගත කිරීමට ඔහුට මහත් රුකුලක්‌ වූයේ ඔහු ගැන කිසිම විස්‌තරයක්‌ ලංකාවේ මිනිසුන් නොදැන සිටීමය. සැඟවී සිටීමේ ප්‍රයෝජනය එයයි. ඔහු කවුදැයි කියාවත් නොදන්නා ජනතාව ඔහුගේ පවුලේ විස්‌තර කොහොමටත් දන්නේ නැත.

නමුත් ඔහුගේ අත්අඩංගුවට ගැනීමත් සමගම මේ සියල්ල එක්‌වරම පුපුරා ගියේය. සියලු තතු හෙළිවිය. පවුලේ ඡායාරූප පුවත්පත්වල පළවිය. සියල්ල වූ පසු ගුණරත්නම් කටයුතු කළේ අඩුම වශයෙන් තමන්ගේ ඕස්‌ටේ්‍රලියානු පුරවැසිභාවයවත් රැක ගැනීමටය. ඔහුව ලංකාවට ආපසු පටවා එවීමට නොහැකි වන ආකාරයට අත්අඩංගුවේදී ඔහුට ලිංගික අපයෝජනයක්‌ කළා යෑයි ප්‍රසිද්ධියේම කියා සිටියේය. මේ සිදුවූ සියල්ලෙන් ඔහු සමග ජනතා විමුක්‌ති පෙරමුණෙන් එලියට ආ අසරණයින් අන්ද මන්ද වී ඇති බව පෙනේ. මේ ජ.වි.පෙ. තුළ සිටි වාමවාදී කල්ලියයි. මට ලැබුණු එක්‌ ආරංචියක්‌ අනුව මෙම පිරිසගේ එක්‌ යෝජනාවක්‌ වී තිබුණේ ජ.වි.පෙ. දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනා පාර්ලිමේන්තු භෝජනාගාරයේ ලබාදෙන ධනපති ආහාර වේල අනුභව කරන්නේ නැතුව තම තමන්ගේ නිවෙස්‌වලින් බත් පාර්සලයක්‌ රැගෙන පාර්ලිමේන්තුවට යා යුතු බවයි. මෙවැනි ස්‌ථාවරයක්‌ දැරූ මේ අන්ත වාමාංශික නායකයාගේ පවුලේ විජාතික ජීවන රටාව මුළු රටටම දැන් හෙළිවී ඇත. මෙයත් සමගම ඔහු සමග සිටි දේශපාලන සගයන්ට සිදුවී ඇත්තේ අල්ලපු අත්තත් නැති පයගහපු අත්තත් නැති තත්ත්වයකට වැටීමයි.

ලබන සතියේ ප්‍රේමකුමාර ගුණරත්නම්ගේ අතීතයෙන් බිඳක්‌ බලාපොරොත්තු වන්න.

සී. ඒ. චන්ද්‍රප්‍රේම 
උපුටා ගැනීම
දිවයින
2012/04/30

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 4675766536791796913

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item