තේ කර්මාන්තය බිඳවැටීමේ අවදානමක්‌

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දැන් මේ රටේ විශාලතම අපනයන කර්මාන්තය නොවේ. විශාලම අපනයන කර්මාන්තය වන්නේ නිමි ඇඳුම් කර්මාන්තයයි. න...

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය දැන් මේ රටේ විශාලතම අපනයන කර්මාන්තය නොවේ. විශාලම අපනයන කර්මාන්තය වන්නේ නිමි ඇඳුම් කර්මාන්තයයි. නමුත් මේ රටේ දේශපාලනිකව වැදගත්ම අපනයන කර්මාන්තය වන්නේ තේ කර්මාන්තයයි. තේ කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ජීවිකාව කරගන්නා ජනගහන ප්‍රතිශතය සලකා බැලූ විට නිමි ඇඳුම් කර්මාන්තයට වඩා කීප ගුණයකින් වැඩිය. එපමණක්‌ ද නොව ලංකාව වෙත බලපෑම් එල්ල කිරීමට බටහිර රටවල්වලට නිමි ඇඳුම් කර්මාන්තය මිරිකා දැමීමට හැකි වුවත් තේ කර්මාන්තයට එම රටවලට ඒ ආකාරයට බලපෑම් කළ නොහැක. එයට හේතුව, නිමි ඇඳුම් කර්මාන්තය ප්‍රධාන වෙළෙඳපොළ බටහිර රටවල් වුවත් තේ කර්මාන්තයේ ප්‍රධාන වෙළෙඳපොළ බටහිර රටවල් නොවීමයි. මේ නිසා යම් හෙයකින් නිමි ඇඳුම් කර්මාන්තය බටහිර රටවල් විසින් විනාශ කරනු ලැබුවත් එයින් රැකියා අහිමි වන ජනගහනයට පිහිටට ඇත්තේ ද තේ ඇතුළු වෙනත් වැවිලි බෝග කර්මාන්තයයි. මේ නිසා තේ කර්මාන්තය රැකබලා ගැනීම ආර්ථික මෙන්ම දේශපාලන වැදගත් කමකින් ද යුක්‌තය.

දශක ගණනක්‌ මුළුල්ලේ තේ කර්මාන්තය තුළ ලියලමින් පැවැති අර්බුදයක්‌ දැන් කරලියට පැමිණ පුපුරා ගොස්‌ ඇත. තේ අපනයනකරුවන් එක පැත්තකත් තේ නිෂ්පාදකයන් තවත් පැත්තකත් දැන් පෙළගැසෙමින් සිටී. විෂය භාර ඇමැතිවරයා විසින් මුළු තේ කර්මාන්තයම එක්‌ කරන තේ සභාවේ සභාපතිත්වය දැරූ ලංකාවේ කීර්තිමත් අපනයනකරුවකු වන මෙරිල් ඡේ. ප්‍රනාන්දු මහතා සිය තනතුරින් දොට්‌ට දමා ඇත. තේ කර්මාන්තයේ අනාගතය කුමක්‌ විය යුතුදැයි පරස්‌පර විරෝධී මත ලිපිවලින් හුවමාරු වී ඇත. තේ කර්මාන්තය මේ පා තබා ඇත්තේ තීරණාත්මක අවධියකට බව පැහැදිලිය.

මේ අර්බුදයේ මුල කුමක්‌දැයි අයෙක්‌ විමසුවොත් එය ලංකාවේ තේවලට ඇති වෙළෙපොළ ප්‍රතිශතය වැදගත් රටවල් ගණනාවකම අඩුවී යැමයි. ලෝකයේ මිල වැඩිම තේ ලංකාවේ තේ වන නිසා බොහෝ වෙළෙඳපොළවල්වල ලංකාවේ තේ භාවිතය අඩුකර මිල අඩු තේ පානය කිරීමේ ප්‍රවණතාවක්‌ මතුවී ඇත. වත්මන් පිපිරීමට ප්‍රධානම හේතුව මේ තිබෙන ප්‍රශ්නයට ඇතැම් අපනයනකරුවන් පිරිසක්‌ යෝජනා කර ඇති පිළියමයි. මෙකී තේ අපනයනකරුවන් පිරිස යෝජනා කර ඇත්තේ බොහෝ වෙළෙඳපොළවල්වලට ලංකාවේ තේ මිල වැඩි නිසා පිටරටින් ලාබ තේ ගෙන්වා මේ රටේ තේ සමඟ මිශ්‍ර කොට අපනයනය කළයුතු බවයි.

මේ සඳහා ඔවුන් ලිතව නොවුවත් වාචිකව යෝජනා කර ඇත්තේ හම්බන්තොට වරාය ආශ්‍රිත මේ තේ කලවම් කිරීමේ ව්‍යාපෘතිය සඳහාම වෙන් වූ විශේෂ නිදහස්‌ වෙළෙඳ කලාපයක්‌ ආරම්භ කළ යුතු බවයි. හම්බන්තොට වරාය හරහා පිටරටින් ලාභ තේ තීරුබදු රහිතව ගෙන්වා එය ලංකාවේ තේ සමඟ මිශ්‍ර කොට හම්බන්තොට වරායෙන්ම තොග හා අසුරන ලද තේ වශයෙන් නැවත අපනයනය කිරීම එම යෝජනාවේ හරයයි. දැනුදු ලංකාවට පිටරටින් තේ ගෙන්වීමේ තහනමක්‌ නැත. නමුත් එසේ ගෙන්වන තේවලට 28% ක තීරු බද්දක්‌ අයකරනු ලැබේ. මෙම යෝජනාවෙන් කෙරෙන්නේ හම්බන්තොට යෝජිත තේ මිශ්‍රණ කලාපය තුළට පමණක්‌ තීරුබදු රහිතව පිටරටින් තේ ගෙන්වීමට ඉඩ දීමයි. මෙවැනි කලාපයක්‌ හම්බන්තොට වරාය ආශ්‍රිතව ඇතිකළහොත් එක පෑන් පහරකින් එම වරායට එන යන නැව් ගණන වැඩි කළ හැක. හම්බන්තොට වරාය සුදු අලියෙක්‌ නොවේ යෑයි විපක්‍ෂයට ඔප්පු කර පෙන්වීමට විශාල පීඩනයකින් සිටින ආණ්‌ඩුව වෙන කිසිවක්‌ ගැන නොසිතා ඒ හේතුව මතම පමණක්‌ ක්‍රියා කොට මෙකී තේ මිශ්‍රණ මධ්‍යස්‌ථානයට අවසර දෙනු ඇතැයි ඇතැම් අපනයනකරුවන් තුළ බලාපොරොත්තුවක්‌ ඇත.

නමුත් මෙකී ලාභ තේ ගෙන්වීමේ යෝජනාවට දැනටමත් කුඩා තේ වතු හිමියන්ගේ සංගමය විරෝධය පළකොට ඇත. පිටරටින් ලාභ තේ ගෙන්වා එය මිශ්‍රණය කොට පිටරට යවන්නේ මේ රටින් අපනයනය වන තේවල ලංකාවේ නිෂ්පාදිත තේ ප්‍රමාණය අඩු කිරීමට බව පැහැදිලිය. එවිට සිදුවන්නේ දේශීයව නිෂ්පාදනය වන තේවලට ඇති ඉල්ලුම අඩුවීමයි. දැනට සිදුවන්නේ මේ රටේ තේ මිශ්‍රණයක්‌ සිදුවනවා නම් ඒ සිදුවන්නේ ලංකාවේම තේ මිශ්‍ර කොට පිටරට පැටවීමයි. එනම් උඩරට තේ හා පහතරට තේ මිශ්‍රකොට යෑවීමයි. එයට අමතරව තේ මණ්‌ඩලයේ අධීක්‍ෂණය හා අනුමැතිය ඇතුව පමණක්‌ ලංකාවේ තේ සමඟ මිශ්‍ර කිරීමට පිටරටින් මිල අධික තේ වර්ග කීපයක්‌ ගෙන්වනු ලැබේ. ඒ මිල අධික තේ ලංකාවේ තේ සමඟ මිශ්‍ර කිරීම සිදුවන්නේ මිල අඩුවීමක්‌ නොව තවත් මිල වැඩිවීමකි. එවැනි සුඛෝපභෝගී තේ වර්ග නිෂ්පාදනයට මුළු අපනයන ප්‍රමාණයෙන් 1.5% ක පමණ සුළු ප්‍රමාණයක්‌ පමණක්‌ මේ රටට ගෙන්වීමට ඉඩ ලැබේ.

ඇතැම් තේ අපනයනකරුවන් විසින් ශ්‍රී ලංකාවේ තේවලට ඇති ඉල්ලුම අඩුවීමේ ප්‍රශ්නය විසඳීමට යෝජනා කර ඇති පිළියම ප්‍රශ්නයට වඩා අන්ත බව ඉතාමත්ම පැහැදිලිය. ඔවුන් යෝජනා කරන ආකාරයට මහා පරිමාණයේ පිටරටින් ලාභ තේ ගෙන්වා මේ රටේ තේ සමඟ මිශ්‍ර කොට අපනයනය කළහොත් එක රැයක්‌ තුළ මේ රටේ තේවලට ඇති ඉල්ලුම බරපතළ ලෙස පහත වැටෙනු ඇත. මේ යෝජනාවට පක්‍ෂ අපනයනකරුවන් නම් පවසන්නේ මේ රට තුළ තේ මිශ්‍රකොට පිටරට යෑවීමටත් අවසර දෙනු ලැබුවහොත් මෙරටින් අපනයනය කරන තේ ප්‍රමාණය මහා පරිමාණයෙන් වැඩි වී ඒ වැඩිවීම නිසාම ලංකාවේ තේවලට ඇති ඉල්ලුම ද වැඩිවනු ඇති බවයි. නමුත් කුමන ආකාරයට ගණන් බැලුවත් මෙවැන්නක්‌ සිදුවිය නොහැක. දැනට සිදුවන්නේ සියයට සීයක්‌ම එසේ නැත්නම් 90% ක්‌ම ලංකාවේම නිෂ්පාදිත තේ පමණක්‌ පිටරට යෑවීමයි.

දැන් ඔය පිටරටින් තේ ගෙන්වා ශ්‍රී ලංකාවේ තේ සමඟ මිශ්‍ර කොට පිටරට යෑවිය යුතු යෑයි කියන්නේ ලංකාවේ තේ පාවිච්චිය අඩුකිරීමේ පරමාර්ථයෙනි. මේ සියල්ල කරන්නේ වෙළෙඳපොළට ලාභයට තේ විකිණීමේ අරමුණින් වන නිසා මිල වැඩි ලංකාවේ තේ හැකි තරම් වැඩිකිරීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. යම් අපනයන කරුවකුට අල්ලපු වැටේ සිටින අපනයන කරුවාට වඩා අඩුවෙන් තේ විකිණීමට උවමනා වූ විට ඔහු කරන්නේ ශ්‍රී ලංකාවේ තේ පාවිච්චිය අඩුකොට පිටරට තේ පාවිච්චිය වැඩි කිරිමයි. මෙවැනි ක්‍රියාදාමයක්‌ හටගන්නා තැනකින් ශ්‍රී ලංකාවේ තේ වලට වැඩි ඉල්ලුමක්‌ ඇති වන්නේ කෙසේද? මේ යෝජනාව ගෙන එන අපනයනකරුවන් මොන සුරංගනා කථා කීවාත් කුඩා තේ වතු හිමියන් සිදුවීමට යන්නේ කුමක්‌කැයි හොඳින් අවබෝධ කරගෙන මේ යෝජනාවට එක හෙළාම විරුද්ධ වී සිටී.

නමුත් අපනයනකරුවන් ගෙනහැර දක්‌වන ප්‍රශ්නයත් අප සැලකිල්ලට ගතයුතුය. ශ්‍රී ලංකාවේ තේ මිල අධික වීම හේතුවෙන් බොහෝ වෙළෙඳ පොළවල්වල ලංකාවේ තේ පාවිච්චිය අඩුකිරීමේ ප්‍රවණතාවයක්‌ දක්‌නට ඇත. ඒ ප්‍රශ්නයටද පිළියමක්‌ අවශ්‍යවේ. නමුත් මෙයට එක්‌වරම දිය හැකි කෙටි කාලීන විසඳුමක්‌ නම් නැති බව පැහැදිලිය. ලංකාවේ තේ භාවිතය විවිධ වෙළෙඳපොළවල්වල ක්‍රම ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රපංචයට ප්‍රධානම හේතුව මේ රටේ තේ අපනයන ක්‍ෂේත්‍රයේ පවතින නිදන්ගත දුර්වලකමයි. මේ දුර්වලකම වන්නේ මෙරටින් තේ අපනයන කරනවා යෑයි කියන පිරිස්‌ බොහෝවිට කරන්නේ තමන්ගේ වෙළෙඳනාමයක්‌ යටතේ ලංකාවේ තේ පිටරට අලෙවි කිරීම නොව පිටරටට අයිති වෙළෙඳ නාම සහිත විශාල කොම්පැණිවල ඒජන්තවරුන් හැටියට ලංකාවේ තේ මිලට ගෙන එය අනුන්ගේ වෙළෙඳ නාමයක්‌ යටතේ අසුරා පිටරට යෑවීමයි.

පාරිභෝගිකයා ගනුදෙනු කරන්නේ පිටරට වෙළෙඳ නාමය සමඟය. බොහෝ විට සිදුවී ඇත්තේ මේ වෙළෙඳ නාම හිමිකරුවන් මුලදී ලංකාවේ මිල අධික ඉස්‌තරම්ම තේ තම වෙළෙඳ නාමය යටතේ පාරිභෝගිකයන්ට සපයා වෙළෙඳ පොළේ ප්‍රතිශතයක්‌ අල්ලා ගැනීමයි. වෙළෙඳපොළ තහවුරු කරගත් පසු ඔවුන් කරන්නේ තම ලාභය වැඩිකර ගැනිම සඳහා ලංකාවේ ඉස්‌තරම්ම තේ භාවිතය අඩුකොට එයට වැඩි වැඩියෙන් වෙනත් රටවලින් ගෙන්වන බාල තේ මිශ්‍ර කිරීමයිs. මෙය කාලයක්‌ මුළුල්ලේ දැනෙන නොදැනෙන ප්‍රමාණයට කෙරෙන නිසා පාරිභෝගිකයාටද වෙනස එතරම් දැනෙන්නේ නැත. ඔවුන් මිලදී ගන්නේ අර පරණ වෙළෙඳ නාමය යටතේ විකිණෙන තේ මය. එහි අඩංගු තේ මිශ්‍රණය සෑදී ඇත්තේ කෙසේ දැයි ඔවුන් දන්නේ නැත. කාලයක්‌ ගිය පසු බොහෝ වෙළෙඳපොළවල් තුළ ලංකාවේ තේ භාවිතය ක්‍රම ක්‍රමයෙන් අඩුවන්නේ මේ කාරණය නිසාය.

ලංකාවේ අපනයනකරුවන් අනුන්ගේ වෙළෙඳ නාම යටතේ තේ අසුරන්නේ නැතිව ලංකාව ගැන කිසිම කැක්‌කුමක්‌ නැති පිටරට වෙළෙඳනාම හිමියකුට තම ඉරණම බාරදී සිටින්නේ නැතුව තමන්ගේම වෙළෙඳ නාමයක්‌ යටතේ පිටරටවලට තේ අලෙවි කළේ නම් මේ එක ප්‍රශ්නයක්‌ වත් හට ගන්නේ නැත. ලංකාව දැන් මේ වැටී ඇති වලෙන් ගොඩ ඒමට නම් එහෙන් මෙහෙන් ගසා කෙටි කාලීන විසඳුම් සොයාගත නොහැක. විසඳුම ඇත්තේ මධ්‍යම හා දිගුකාලීන පදනමක්‌ තුළ පමණි. එක්‌ පැත්තකින් ලංකාවේ තේ වල මිල අඩුකර ගැනීම අවශ්‍ය වේ. මේ අධික මිලට හේතුව ප්‍රධාන වශයෙන්ම මේ රටේ විශාල වතුයායවල්වල අඩු නිෂ්පාදනයයි. කුඩා තේ වතු හිමියන් කොම්පැණි වතුවලට වඩා දෙගුණයකටත් වැඩියෙන් අස්‌වැන්න ලබාගන්නා බව කිවහොත් බොහෝ දෙනෙකු මවිතයට පත්වනු ඇත. එය සිදුවිය යුත්තේ අනෙක්‌ පැත්තට නොවේදැයි ඔවුන් තමන්ගෙන්ම අසනු ඇත.

වැඩි අස්‌වැන්නක්‌ ලබා ගැනීමට නම් කොම්පැණි වතුකාරයන් කළ යුත්තේ සුළු ගොවීන් කර ඇතිදේ පමණි. එනම් වැඩි අස්‌වැන්නක්‌ ලබාදෙන වීපී තේ වගාකිරීම, නිසිකලට පොහොර දැමීම හා පසෙහි ආම්ලික ගතිය පාලනය කිරීම පමණි. නිසි සාත්තුවක්‌ නොකර තියන දේ පමණක්‌ අනුභව කිරීමේ මානසිකත්වය නිසා විශාල වතු හිමියන් නිෂ්පාදනයට මරු පහරක්‌ එල්ලකොට ඇත. ලංකාවේ නිෂ්පාදිතයට ගතයුතු සුළු පියවරවල් කීපය ගන්නේ නම් තේ කිලෝවක මිල සාධාරණ මට්‌ටමකට පහළ වැටෙනු ඇත. එවැන්නක්‌ නොකර කෙටිකාලීන විසඳුමක්‌ සොයමින් පිටරටින් ලාභ තේ ගෙන්වා මිශ්‍රකොට අපනයනය කිරීමෙන් මුළු තේ කර්මාන්තයම විනාශ වීමට ඉඩ ඇත. මීළඟට අනිවාර්යයෙන්ම ගතයුතු පියවර වන්නේ ලංකාවේම වෙළෙඳනාම පිටරට ප්‍රචලිත කිරීමයි. එම වෙළෙඳනාම යටතේම අලෙවි විය යුත්තේද ලංකාවේම නිෂ්පාදිත තේ පමණි. තවද මෙහිදී අප වටහා ගත යුතු කාරණයක්‌ වන්නේ ලංකාවෙන් මිල අඩු දේවල් අපනයනය කළ නොහැකි බවයි. ලංකාවේ නිෂ්පාදන වියදම කොහොමටත් වැඩිය. යාපනයේ ලූණු ඉන්දියාවට අපනයනය කළ නොහැක. ඒ ඉන්දියාවේ ලූණු නිෂ්පාදන වියදම අපේ රටට වඩා බෙහෙවින්ම අඩු නිසාය. ඇඟලුම් කර්මාන්තය සම්බන්ධයෙන්ද එසේමය. බංගලිදේශයට අපට වඩා අඩු වියදමින් ඇඟලුම් නිෂ්පාදනය කිරීමට හැකිය. මේ අපේ රටේ සාමාන්‍ය ප්‍රවනතාවයි. අප දැන් මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටක්‌ මිස දුප්පත් රටක්‌ නොවේ. එම නිසා මේ රටේ නිෂ්පාදන වියදම වැඩිය.

තේ කර්මාන්තයද මේ යථාර්තයට මුහුණ දිය යුතුය. අපට වඩා නිෂ්පාදන වියදම අඩු රටවල්වලට වඩා අඩු මිලට ලංකාවෙන් තේ අපනයනය කළ හැකි යෑයි සිතීSම අතහැරදමා ඇඟලුම් කර්මාන්තය කර ඇති ආකාරයට අඩුමිල මත නොව භාණ්‌ඩයේ ප්‍රමිතිය මත නව වෙළෙඳපොළවල් සොයාගෙන යැම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයකි. වෙනත් රටවල් වල නිෂ්පාදිත ලාබ තේ පරිභෝජනය කරන ඕනෑම වෙළෙඳපොළකට ලංකාවේ තේ කෝප්පයක්‌ දුන් විට එක්‌වරම ඔවුන් වෙනස හඳුනාගනී. ලංකාවේ තේ හොඳ තේ බව තේ පරිභෝජනය කරන ඕනෑම රටක නිරායාසයෙන්ම පිළිගැනෙන දෙයකි. ලංකාවේ ගැලවුම ඇත්තේද මෙතැනය. ලංකාවේ තේ දැන් අලෙවි විය යුත්තේද මිල මත නොව ප්‍රමිතිය හා රසය මත වැඩි මිලකට අලෙවි වන භාණ්‌ඩයක්‌ හැටියටය. මේ ආකාරයේම නිර්මාණශීලිත්වයක්‌ අපේ ඇඟලුම් කර්මාන්ත හිමියන්ට නොතිබුණේ නම් අද මේ රටේ ඇඟලුම් කර්මාන්තයක්‌ නොමැත.

ලංකාවේ තේ කර්මාන්තයේ අර්බුදයක්‌ තිබුණත් මේ වනතුරුත් වෙළෙඳපොළට එන හැම තේ කිලෝවක්‌ම වැඩි මිලට වුවත් විකිණේ. එපමණක්‌ද නොව තවත් තේ සඳහා ඉල්ලුමද ඇත. මේ තත්ත්වය තවත් අවුරුදු කීපයක්‌ යනතුරු හෝ ඉදිරියට පවතින බව කර්මාන්තයේ නියෑළි උදවියගේ විශ්වාසයයි. මේ ලැබී ඇති සහන කාලයෙන් එක්‌ පැත්තකින් ලංකාවේ විශාල තේ වතුවල නිෂ්පාදන වැඩිකර ගැනීමත් ලෝකයේ වැදගත් වෙළෙඳපොළවල් කීපයක්‌ හෝ ඉලක්‌ක කර ලංකාවේ වෙළෙඳ නාම ප්‍රචලිත කිරීමත් කළ යුතුය. අපගේ ගැලවීම ඇත්තේ එවැනි ක්‍රියාදාමයක්‌ තුළ පමණි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම
උපුටා ගැනීම
දිවයින
2012/04/23

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 6199107497313392244

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item