දෙස රැස රකින්න කළයුතු කුමක්‌ද?

-අනගාරික ධර්මසේකර තුමා අධිපතිවාදී බටහිර බලවතුන් ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේෂසහගත ක්‍රියාමාර්ගයක්‌ දියත් කරන විට ශ්‍රී ලංකාවේ එක්‌සත් ජාතීන්ගේ ...

-අනගාරික ධර්මසේකර තුමා

අධිපතිවාදී බටහිර බලවතුන් ශ්‍රී ලංකාවට එරෙහිව ද්වේෂසහගත ක්‍රියාමාර්ගයක්‌ දියත් කරන විට ශ්‍රී ලංකාවේ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සටන්පාඨ හඬනැගීමට හා බටහිර බලවතුනට එරෙහිව රටපුරා නගරවල උද්ඝෝෂණ කිරීමට වඩා වැඩි බලපෑමක්‌ කිරීමට ඇති හොඳම ක්‍රියාමාර්ගය ආගමික සිද්ධස්‌ථාන රැසක කරන ලද අධිෂ්ඨාන පූජා වැනි ආධ්‍යාත්මික ප්‍රකාශනයන් වඩා පුළුල් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. ප්‍රාණ ඝාතයෙන් වැළකීම, අන්සතුදේ අයුතු ලෙස නොගැනීම, කාම මිථ්‍යාචාරයෙහි නොයෙදීම, බොරු නොකීම, පරුෂවචන භාවිත නොකිරීම හා සුරාපානාදී මත්වන දෙයින් වැළකීම මුල්කොටගත් උසස්‌ සීලයක පිහිටා කටයුතු කරන භික්‍ෂුන් වහන්සේලා දහස්‌ගණනක්‌ තවමත් රටපුරා වැඩ වෙසෙන හෙයින් එම භික්‍ෂුන් වහන්සේලාගෙන් දාහකට වැඩි සංඛ්‍යාවක්‌ හා උන්වහන්සේලා අනුව යන දසලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ සුදුවතින් සැරසී සිල් සමාදන්වී අනුරාධපුර ජය ශ්‍රීමහා බෝධිය, රුවන්වැලිසෑය, මහනුවර දළදා මාළිගය, පොළොන්නරු ගල්විහාරය, කැලණි රජමහා විහාරය, රංගිරි දඹුලු ලෙන්විහාරය, කෝට්‌ටේ රජමහා විහාරය, විද්‍යාලංකාර මහ පිරිවෙන, විෙද්‍යාaදය මහ පිරිවෙන, මහරගම වජිරඥන ධර්මායතනය, බෙල්ලන්විල රජමහා විශාරය, සුනේත්‍රාදේවි පිරිවෙන, රත්මලාන පරමධම්මෙච්තිය පිරිවෙන, පානදුර රන්කොත් විහාරය, රයිගම රජමහා විහාරය, පොකුණුවිට විනයාලංකාරාම මහා විහාරය, හොරණ විද්‍යාරතන පිරිවෙන, රත්නපුර සමන් දේවාලය, මාතලේ අලුවිහාරය, මහියංගණය, මුතියංගණය, දීඝවාපිය, සෝමාවතිය, සේරුවාවිල මංගල රජමහා විහාරය, තන්තිරිමලේ රජමහා විහාරය, ගිරිහඬුසෑය, කතරගම කිරිවෙහෙර, තිස්‌සමහාරාම මහා විහාරය, අත්තනගලු රජමහා විහාරය, වාරියපොළ සුමංගල පිරිවෙන, ගැටඹේ බෝධිය, කළුතර බෝධිය, මාතර බෝධිය, දෙවුන්දර දේවාලය, අලුත්නුවර දේවාලය ආදී වශයෙන් බෞද්ධ ප්‍රජාව විශාල වශයෙන් එක්‌වන විහාරාරාම පිරිවෙන් ආදී සිද්ධස්‌ථානවලත් කොළඹ දවටගහ පල්ලිය, තලවිල දේවස්‌ථානය හා නල්ලූර් කෝවිල ආදී හින්දු, මුස්‌ලිම්, කතෝලික සිද්ධස්‌ථානවලත් දසදහස්‌ ගණනින්, ලක්‍ෂගණනින් දේශප්‍රේමී ජනතාව රැස්‌වී අහිංසාවාදීව, ශාන්තව ජාතික ආධ්‍යාත්ම ශක්‌තිය පෙන්වා විදේශීය අධිපතිවාදී බලවේගයන්ට ලක්‌වැසි ජනතාවගේ අධිෂ්ඨානය ප්‍රකාශ කරන්නේ නම් දැවෙන ලොව නිවාසනසන විශ්වමිත්‍ර බුදුදහම ලේඛනගතකර ලොවට බෙදාදී ආගමික සහජීවනයෙන් කටයුතු කරන විමුක්‌තිකාමී ලක්‌වැසි ජනතාවට එරෙහිව ආක්‍රමණික ක්‍රියාමාර්ග දියත් කරන්නට තරම් නව යටත් විජිතවාදී අධිපති බලවේගයන් වුවද සාහසිකව හා අවිචාරවත්ව ක්‍රියාකරන්නට පසුබට වනු නිසැකය.

එසේ මහා කාරුණික බුදුන් වහන්සේගේ මෛත්‍රී ක්‍රියාමාර්ගයත් මහත්මාගාන්ධිගේ අහිංසාවාදී ක්‍රියා මාර්ගයත් අනුව කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකාවේ උතුරේ හා තමිල් නාඩුවේ අන්තවාදීන් කෙතරම් අවිචාරවත්ව ක්‍රියාකළත් ඉන්දියාවේ නායකයන් ලොව සියළු අධිපතිවාදී බලවේගයන්ට එරෙහිව අධිෂ්ඨානසහගතව නැගීසිටින දේශප්‍රේමී, විමුක්‌තිකාමී ලක්‌වැසියන්ට එරෙහිව කටයුතු කරන්නට තරම් අගතිගාමී නොවනු නිසැකය. ලක්‌වැසි දේශප්‍රේමී ජනතාව එක්‌ අතකින් ජාත්‍යන්තර ප්‍රජාව අතර වන සාමකාමී සාධාරණය, යුක්‌තිගරුක, ධාර්මික ජනතා බලවේග කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන අතර අනෙක්‌ අතින් වසර දෙදහස්‌ තුන්සිය ගණනක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවට එරෙහිව ආ ආක්‍රමණික බලවේගයන්ට එරෙහිව අධිෂ්ඨාන සහගතව නැගී සිටියාසේ ඉරාකයේ හෝ ලිබියාවේ කළා මෙන් ශ්‍රී ලංකාවට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග දියත් කරන්නට තරම් නව යටත්විජිතවාදී, අධිපතිවාදී බලවේග අවිචාරවත් ලෙස සාහසික වුවහොත් වියට්‌නාමයේදී මෙන් දිග්ගැසුණු විමුක්‌තිකාමී මහජන යුද්ධයේ ක්‍රියාමාර්ගය තුළ සතුරු හමුදාවන් තීරණාත්මකව පරාජය කරන්නට ලක්‌වැසි අප අවදිමත්ව පෙළගැසිය යුතුය. නව යටත් විජිතවාදී, අධිපතිවාදී බලවේගයන් සතු ගුවන් හා නාවික බලය යොදා ශ්‍රී ලංකාවේ ගුවන් හා නාවික බලය විනාශ කළ හැකි වුවත් දිග්ගැසුණු විමුක්‌තිකාමී මහජන යුද්ධයේ මග ගන්නා ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ජනතා හමුදාවක්‌ අප මවුබිමේ අපට හුරුපුරුදු, අපට හිතකර සොභාවික පරිසරයේදී පරාජය කරන්නට කිසිදු බලවතකුට නොහැකිවන බව ඒකාන්තය. ඒ බව සේන, ගුත්තික, එළාර, පුලහත්ත, භාහිය, පිලයමාර, පණයමාර, තිරිතර, කරිකාලන්, දාඨිය, පීඨිය පාරින්ද, පරන්තක, ශ්‍රීමාර ශ්‍රීවල්ලභ, රාජරාජ, රාඡේන්ද්‍ර, කාලිංගමාඝ, ජාවක චාන්ධුභාන්ද්‍ර හා ආර්ය චක්‍රවර්තීවරුන් මෙන්ම පෘතුගීස,s ලන්දේසි හා ඉංග්‍රීසි යටත් විජිතවාදීන් ලංකාවේදී ලැබූ පරාජයන්ගෙනුත් ඒ සියල්ලටම වඩා ලොව සියලු අධිපතිවාදී බලවේගයන්ගේ ආධාර අනුබල ලැබූ කොටි ත්‍රස්‌තවාදීන්ට අත්වූ මහා පරාජයෙනුත් මනාව පෙන්නුම් කර ඇත. ලොවම විස්‌මයට පත්කරන අන්දමින් කොටි ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකා භූමිය තුළ තීරණාත්මකව පරාජය කළ අපේ රණවිරුවන් නගරවල කුණු ඇළවල් පිරිසිදු කිරීමේ ආදී කටයුතුවල නොයොදා ඔවුන්ගේ භීම වික්‍රමාන්විත අත්දැකීම්වලින් හා ඔවුන්ගේ රණවිරු ජීවගුණයෙන් හමුදාවේ අලුත් තරුණ පිරිස්‌ තියුණු ලෙස මුවහත් කළ යුතුය. පාසල්වල (කැඩෙට්‌) ශිෂ්‍යභට කණ්‌ඩායම්වලට පවා රණවිරුවන් යුද බිමේ ලැබූ විජයග්‍රාහී අත්දැකීම්වල ජීවගුණය උරුමකරදිය යුතුය. ශ්‍රී ලංකා හමුදාවන් සතු හැකියාවන් උතුරට ජලය ගෙනයැම සඳහා යොදාගතහොත් අපේ හමුදාවෝ උතුරේ මිතුරෝ වෙති. එක්‌ අතකින් අපේ සාමකාමී, අහිංසාවාදී ධාර්මික ජාතික අධිෂ්ඨානය යුක්‌තිකාමී ලෝක ප්‍රජාව ආකර්ෂණය කරන අයුරින් ප්‍රදර්ශනය කරමින් අවිචාරවත් අධිපතිවාදී සාහසික ආක්‍රමණික බලවේගයන්ට එරෙහිව අපේ දේශප්‍රේමී හමුදාවන්ගේ යුදමය පන්නරය උසස්‌ මට්‌ටමකට නංවන අතර අනෙක්‌ අතින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න විස¹ ජනතාව ආර්ථික හා සංස්‌කෘතික වශයෙන් එක්‌සේසත් කළයුතුය. අපේ රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න විස¹ ජනතාව ආර්ථික, සංස්‌කෘතික වශයෙන් එක්‌සේසත් කිරීමේදී ලක්‌වැසි අපට ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හෝ නෝර්වේ කේවට්‌ටයන්ගේ කූටෝපායික උපදෙස්‌ අවශ්‍ය නොවන්නේ අපේම වූ ඓතිහාසික ජාතික පරමාදර්ශයන් අපසතුව තිබෙන හෙයිනි. වසර දෙදහස්‌ ගණනකට පෙර වළගම්බා රජු දවස විශ්වන්තරවාදී බුදුදහම ලේඛනගත කර ලොවට බෙදාදුන් මහාසංඝරත්නයත්, ජලයෙන් රට එක්‌සේසත් කළ වසභ රජතුමා, මින්නේරියේ දෙවියන් ලෙසින් ජනහදවත් තුළ වැජඹෙන මහසෙන් රජතුමා, කලාවැව හා යෝධඇළ ඇතුළු වැව්, ඇළවේලි පද්ධතියක්‌ කරවා ජලය තම වස්‌තුව යෑයි ප්‍රකාශකළ ධාතුසේන රජතුමා, ලොකු කුඩා වැව් එක්‌දාස්‌ හාරසියහැත්තැ අටක්‌ කරවා ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරයේ තත්ත්වයට නැංවූ මහා පරාක්‍රමබාහු රජතුමා, රට එක්‌සේසත්කර සංවර්ධනය කරවා සංස්‌කෘතිය නගාසිටුවා දියනාවන් (දියසේන) යනුවෙන් ලෝක නායකයකු ලෙසින් ආසියාවේ උගතුන් අතර සම්මානයට පත්වූ හයවැනි ශ්‍රී පැරකුම්බා රජතුමා, ආසියාවේ ඉතිහාසයට ආලෝකයක්‌වූ මහාවංශ කර්තෘ මහානාම හිමි, ධර්මකීර්ති හිමි, විද්‍යා චක්‍රවර්ති, ගුරුළුගෝමී, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, වෑත්තෑවේ හිමි, වීදාගම මෛත්‍රිය හිමි, අසරණ සරණ සරණංකර සඟරාජ හිමි, වාරියපොළ සුමංගල හිමි, හික්‌කඩුවේ සුමංගල හිමි, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා, ඇස්‌. මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, ආරුමුග නාවලර් තුමා, සිද්දි ලෙබ්බේ හා මර්සලින් ජයකොඩි පියතුමා ආදී ජාතික, ආගමික සංස්‌කෘතික වීරයින්ගෙන් ප්‍රඥව හා පන්නරය ලැබූ අපට නව යටත් විජිතවාදී, අධිපතිවාදී කේවට්‌ටයන්ගේ කූඨෝපායික උපදෙස්‌ අවශ්‍ය නැතත් හෙන්රි ස්‌ටීල් ඕල්කොට්‌ තුමා, රීස්‌ ඩේවිස්‌ තුමා, ජෝර්ඡ් ටරිනරි, විල්හෙල්ම් ගයිගර් වැනි ධර්මකාමී යුක්‌තිගරුක බටහිර බුද්ධිමතුන්ගේත් මාක්‌ස්‌, ලෙනින්, මාඕසේතුං ආදී ජාත්‍යන්තර විප්ලවවාදීන්ගේත් උපදෙස්‌ හා ඉගැන්වීම් අපි ප්‍රතික්‍ෂේප නොකරන්නෙමු. අපි සැමවිටම අපේ රටේ අපේ ජනතාවගේත් ලෝක ප්‍රජාවගේත් යහපතට හා ඉදිරිගමනට වැඩදායක වන දේ විචාරශීලීව නිර්මාණාත්මක ලෙස ප්‍රයෝජනයට ගන්නෙමු. එහිදී අපේ ශ්‍රේෂ්ඨතම ආදර්ශ ග්‍රන්ථ රත්නයක්‌ වන්නේ පන්සිය පනස්‌ ජාතක පොතයි.

ජාතක පොතේ පළමුවැනි කථා වස්‌තුව වූ අපණ්‌ණක ජාතකය පමණක්‌ වුවද ලෝක ප්‍රජාව අධිරාජ්‍යවාදී, අධිපතිවාදී කූටෝපායයන්ගෙන් හා මංකොල්ලයෙන් බේරාගැනීමට ප්‍රමාණවත්ය. අපණ්‌ණක ජාතකයෙන් පෙන්වාදෙන ආකාරයට දුෂ්කරවූ සංසාර ගමනේදී නිවැරැදි මග ගන්නට, නිවැරැදි උපදෙස්‌ පිළිගන්නට මෙන්ම වැරැදි උපදෙස්‌ ප්‍රතික්‍ෂේප කරන්නට අපි ප්‍රඥවන්ත වෙමු. මේ දේශපාලන සංසාර ගමනේදී අධිරාජ්‍යවාදී, අධිපතිවාදී කුමන්ත්‍රණකරුවෝ විවිධ වෙස්‌ගෙන, සිත්ගන්නා වේශයෙන් පැමිණ විනාශයට හේතුවන හානිකර වැරැදි උපදෙස්‌ දෙති. මානව අයිතිවාසිකම් රැකීමේ ව්‍යාජයෙන් හෝ නව යටත් විජිතවාදී බටහිර වර්ගයේ ගෝලීය සංවර්ධනයේ නාමයෙන් හෝ දෙන අධිරාජ්‍යවාදී කූටෝපායික උපදෙස්‌ පිළිගන්නට තරම් අපේ නායකයන් අවිචාරවත් වුවහොත් යක්‍ෂ උපදෙස්‌ පිළිගෙන නිරුදක කාන්තාරයේදී විනාශවූවන් මුහුණපෑ ඉරණමට ගොදුරුවන්නට ලක්‌වැසි අපටද සිදුවනු ඇත. අප නව යටත්විජිතවාදී, අධිපාතිවාදී යක්‍ෂයන්ගේ කූටෝපායික උපදෙස්‌ ප්‍රතික්‍ෂේපකර, විශ්වාන්තරවාදී බෝධිසත්ව උපදෙස්‌ ක්‍රියාවට නැගුවහොත් අපණ්‌ණක ජාතකයේ එන කාන්තාරය ජයගත් බෝසත් පිරිස මෙන් අපද ජයග්‍රාහීවනු නිසැකය. අපේ පුංචි ශ්‍රී ලංකාව සියලු සතුරු බලවේගයන්ගෙන් බේරාගන්නට ජාතක පොතේ එන ලොකුම කථා වස්‌තුව වූ උම්මග්ග ජාතකයේ ආදර්ශය පමණක්‌ වුවද ප්‍රමාණවත් වේ. උපාය කෞශල්‍යයෙන් හා සටන් හැකියාවෙන් අනූන හමුදා බලයකින්, ආහාරයෙන් ස්‌වයංපෝෂිත වීමෙන්, ජල හිඟය ජයගන්නා පිළිවෙතකින් හා ඉන්ධන (එදා දර) අවශ්‍යතාවන්ගෙන් අප සම්පූර්ණයෙන්ම අපට ඕනෑම සතුරු බලයකට මුහුණදී ජයගත හැකිබවට සැකයක්‌ නැත, අධිපතිවාදී කේවට්‌ට උපදෙස්‌ ලැබූ එදා සමස්‌ත ඉන්දියානු බලවතාවූ බ්‍රහ්මදත්ත අධිරාජයාගේ සැලැස්‌ම උමං ජාලයක්‌ මගින් පරාජය කළාසේ අපද උතුරේ ජනතාවට නව යටත් විජිතවාදී කූටෝපායික උපදෙස්‌ දෙන අධිපතිවාදී බලවේගයන් පරාජය කිරීම සඳහා උම්මග්ග ජාතකයේ එන උමං ජාලය වෙනුවට පානීය ජලනළ මාර්ගයක්‌ හා වාරිමාර්ග ජාලයක්‌ නිර්මාණය කිරීමට දක්‍ෂ විය යුතුය. අප්‍රසන්න කිවුල් රසැති ප්ලෝරයිඩ් හා රෝග කාරක මුසුවූ ජලය පානය කරන උතුරේ ජනතාවට සිංහරාජ වනයෙන් හා සිරිපා සමනල අඩවියන් එන පළිබෝධනාශක වසවිස නැති කළුගඟේ පිරිසිඳු ජලය ලබාදෙන්නට නළමාර්ගයක්‌ සකස්‌ කළහොත් උතුරේ ජනතාව කිසිදිනෙක ශ්‍රීලංකාවෙන් වෙන්වන්නට කූටෝපායික උපදෙස්‌ දෙන කුමන්ත්‍රණකාරයන්ට ගොදුරක්‌ වන්නේ නැත. ශ්‍රී ලංකා හමුදාවන් සතු හැකියාවන් යොදවා උතුරට ජලය සැපයුවහොත් අපේ හමුදාවන්ට එරෙහිව උතුරේ ජනතාව උසිගැන්වීමේ බටහිර බලවතුන්ගේ කූටෝපක්‍රම අසාර්ථකවනු ඒකාන්තය.

උතුරේ ගොවි ජනතාව සඳහා බස්‌නාහිර පළාත ගංවතුරෙන් යටකරන කළු, කැලණි ගංගාවලත් අත්තනගලු ඔයේත් මහඔයේත් පිටාර ජලකඳ වාරිමාර්ග පද්ධතියක්‌ මගින් වයඹ ඔස්‌සේ උතුරට ගෙනයන්නේනම් උතුරේ ගොවීන් ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට කූඨෝපායික උපදෙස්‌ දෙන අධිපතිවාදී කුමන්ත්‍රණකරුවන්ට එරෙහිවනු ඇත. උතුරේ ළමා ළපටින් හා තරුණ තරුණියන් ඇතුළු මුළුමහත් ජනතාවට කළුගඟින් පිරිසිදු පානීය ජලය ලබාදී උතුරේ ගොවීන්ට වාරිමාර්ග මගින් ජලය සපයන උතුරු නැගෙනහිර කෘෂි නිෂ්පාදන සඳහා රටපුරා නගරවල වෙළෙඳ පොළ අවස්‌ථා සකසා දෙන්නට තරම් අපේ රටේ නායකයන් දූරදර්ශීව කඩිනම් ක්‍රියාමාර්ගයක්‌ දියත් කළහොත් ලක්‌වැසි ජනතාව මත බලහත්කාරයෙන් පටවන ලද දහතුන් වැනි ආණ්‌ඩුක්‍රම සංශෝධනය හෝ ඉන්එහාට යන භේදවාදී සංශෝධන හෝ අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ ග්‍රාමරාජ්‍ය දහස්‌ ගණනක්‌ හා නගර රාජ්‍ය සිය ගණනක්‌ මගින් රටපුරා ජනතාවට තමන්ගේ ප්‍රාදේශීය ආර්ථික, සංස්‌කෘතික අවශ්‍යතා මුදුන්පත් කරගන්නට අවස්‌ථාව ලබාදීමයි. ග්‍රාම රාජ්‍ය හා නගර රාජ්‍ය ක්‍රමය බුද්ධකාලයේ ලිච්ඡවීන්ගේ පටන් මහත්මා ගාන්ධිගේ ග්‍රාම රාජ්‍ය යෝජනාව දක්‌වාවූ දිගු ඉතිහාසයකින් පෝෂණය වූවකි. එහෙයින් දහතුන්වැනි සංශෝධනය වෙනුවට ග්‍රාමරාජ්‍ය දහස්‌ ගණනක්‌ හා නගර රාජ්‍ය සියගණනක්‌ මගින් ප්‍රාදේශීය සංවර්ධන අවශ්‍යතා ඉටුකර ගැනීමේ ක්‍රියාමාර්ගයකට ජාතිභේදවාදී බෙදුම්වාද ප්‍රශ්නවලට මුහුණපා සිටින ඉන්දියාවේද සහයෝගය ලැබෙනු නිසැකය.

ජල සම්පාදනයෙන් හා ග්‍රාමරාජ්‍ය පිළිවෙත මගින් උතුරේ අර්බුදය විස¹ මුළු රටේම ආර්ථික, සංස්‌කෘතික දියුණුව මගින් ඒකීය ශ්‍රී ලංකාව රැකගෙන ජාතික සමගිය හා ජාතික අභිවෘද්ධිය උදාකරන ආකාරය ම විසින් ලියන ලද "ජලකඳින් ගිනි නිවමු" පොතෙනුත් "දියෙන් සනහා රකිමු ලංකා" නමැති මගේ ලිපි එකතුවෙනුත් ග්‍රාමරාජ්‍ය හා නගර රාජ්‍ය පිළිබඳ වැඩපිළිවෙළ විස්‌තර කරන "අපි ඔක්‌කොම රජවෙමු" නමැති කෘතියෙනුත් වඩා පුළුල් ලෙස පැහැදිලිකර ඇති හෙයින් මෙහිදී ඒ ගැන වැඩිදුර කරුණු ඉදිරිපත් කළ යුතු නොවේ. "උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය" පිළිබඳ කොමිසමට මවිසින් ලියන ලද එම පොත් පිළිගන්වා මා ඒ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ජාතික සමගිය රකිමින් ආර්ථික, සංස්‌කෘතික අභිවෘද්ධිය සලසා ගන්නා ආකාරය පැහැදිලි කරදී ඇති හෙයින් කොමිසමේ වාර්තාවෙන් ඒ කොටස්‌ මතුකරගත යුතුව තිබේ. එහෙත් බටහිර බලවතුන් කොමිසම් වාර්තාවෙන් මතුකර දක්‌වන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මගපාදා ගතහැකි කොටස්‌ මිස පොදුවේ ලක්‌වැසි ජනතාවට වැදගත්වන දේ නොවේ. උතුරට ජලය සැපයීම සඳහා ශ්‍රී ලංකා හමුදාවන් සතු හැකියාවන් යොදා ගැනීමෙන් අපේ හමුදාවෝ උතුරේ ජනතාවගේ මිතුරෝ බවට පත්වෙති. ලක්‌වැසි ජනතාවගේ ප්‍රශ්න විසඳන නිවැරැදි පිළිවෙත ලොවටම වැඩදායකවූ අපණ්‌ණක ප්‍රතිපදාව අනුව කටයුතු කිරීමයි. පාලි භාෂාවෙන් අපණ්‌ණක පටිපදා යනුවෙන් දැක්‌වෙන ඒ නිවැරැදි පිළිවෙත ක්‍රියාත්මක කළහොත් අපට මෙන්ම ලොවටද යහපතක්‌ම වනු ඒකාන්තය.

-අනගාරික ධර්මසේකර තුමා
 උපුටා ගැනීම
දිවයින
2012-03-17

Related

අනගාරික ධර්මසේකර තුමා 3895034089703276479

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item