උගත් පාඩමෙන් ජන සභාවට

ජගත් මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව රටේ අනාගතය සම්බන්ධයෙන් මෙන්ම රාජපක්‍ෂ ආණ්‌ඩුව...

ජගත් මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව රටේ අනාගතය සම්බන්ධයෙන් මෙන්ම රාජපක්‍ෂ ආණ්‌ඩුවේ අනාගතය සම්බන්ධයෙන්ද සන්ධිස්‌ථානයක්‌ ලකුණු කර තිබේ. යෝජනාව ඉදිරිපත් කරන මුල් අවස්‌ථාවේදී යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වූ නමුත් අවසානයේදී ඉදිරිපත් කර තිබෙන යෝජනාව මගින් ඇමරිකාව ප්‍රධාන වශයෙන්ම ඉල්ලා සිටින්නේ, උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීම හා ඒ සඳහා අවශ්‍ය කාල රාමුවක්‌ ඉදිරිපත් කරන ලෙසය. ඊට අවශ්‍ය මග පෙන්වීම, උපදෙස්‌ හා තාක්‍ෂණික සහය එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලබා දෙන ලෙසද සිය යෝජනාව මගින් ඇමරිකාව ඉල්ලා සිටියි.

ඇමරිකාව ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එකඟ නොවන තැන වී ඇත්තේ, "අපගේ ප්‍රශ්න සඳහා අප විසඳුම් සකස්‌ කර ගනිමු" යන රාජ්‍යයේa ස්‌වෛරීභාවය පිළිබඳව ඇති ස්‌ථාවරයය. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම තුළින් ස්‌වෛරී රටකට අත පෙවීම සඳහා ඇමරිකාව ගෙන යන වෑයමක්‌ ලෙස ශ්‍රී ලංකාව තමන්ට එරෙහිව එන යෝජනාවට එරෙහිව සිටියත් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා ශ්‍රී ලංකාව සිය කැමැත්ත පළ කර තිබේ. ඇමරිකාව විසින් ඉදිරිපත් කරන යෝජනාවට එරෙහිව ජිනීවා නුවරදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කළ අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේද, උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන්ම ඉදිරිපත්ව සිටින බවය.
මේ අනුව බලන විට ඇමරිකාව විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විරෝධය ප්‍රධාන වශයෙන්ම මෙසේය.

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වැනි යාන්ත්‍රණයක්‌ ඉදිරිපිට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අර්බුදයක්‌ සම්බන්ධයෙන් ජාත්‍යන්තරව බලහත්කාර ප්‍රයත්නයක්‌ ඇති කිරීමට ශ්‍රී ලංකාව එකඟ නැත.

ඒ සඳහා වන විසඳුම මග පෙන්වීම උපදෙස්‌ දීම, ක්‍රියාත්මක කිරීම සඳහා තාක්‍ෂණික සහාය ලබාදීම ආදී ලෙස අන්තර්ජාතික සංවිධාන යාන්ත්‍රණයක්‌ තුළින් තම ස්‌වෛරීභාවට බලපෑම් කිරීමට ද ශ්‍රී ලංකාව එකඟ නැත.

දෙමළ ඩයස්‌පෝරාව තම වර්ගවාදී පිළිවෙත අනුව ජාත්‍යන්aතරය හසුරුවමින් ඇමරිකාව වැනි රටවල සහාය ද ලබාගෙන තමන් ලද පරාජය සඳහා ශ්‍රී ලංකාවෙන් පිළිගැනීම් කරනවාට ද ශ්‍රී ලංකාව කැමැති නැත.

ඒ හැරුණු විට උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අකැමැත්තක්‌ නැත.

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාව පරාජය වුවද, උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක වීම අහෝසි වන්නේ නැත.

මේ නිසා ත්‍රස්‌තවාදය නිමා කිරීමෙන් පසු ලබාදෙන "විසඳුම" ලෙස ක්‍රියාත්මක වනු ඇත්තේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ බව පෙනී යයි.

කොමිසමේ තිබෙන නිර්දේශ අතරින් වැදගත්ම තැන හිමිවනුයේ, බලය බෙදීම සම්බන්ධයෙනි. බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තුළ සංවේදී භාවය මතු වන්නේ Z87 ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමත් පළාත් සභා ඇති කිරීමත් සමගය. එතැන් සිට ශ්‍රී ලංකාවේ බලය බෙදීම සනිටුහන් වුණේ, රට බෙදීම හෙවත් ෙµඩරල් කරණය දිසාවටය. උගත් පාඩම් කොමිසම මගින් නිර්දේශ කර තිබෙන බලය බෙදීම එවැනි තැනකට නොයවා, මෙතෙක්‌ බලය බෙදීම මගින් දෙමළ වර්ගවාදයට අවශ්‍ය ආකාරයට ෙµඩරල්කරණයට රට යොමු නොකිරීම ජාතිය සතුව ඇති වගකීමය.

උගත් පාඩම් කොමිසම යනු ඉගෙන ගත් පාඩම් මගින් සංහිඳියාවක්‌ ඇති කර ගැනීම සඳහා පත් කළ කොමිසමකි. බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉගෙන ගෙන තිබෙන පැහැදිලිම පාඩම වී තිබෙන්නේ, පළාත් සභා මගින් බලය බෙදීම රට බෙදීමක්‌ බවටත්. උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම මගින් ඊළමක්‌ සඳහා පාර කපන තත්ත්වයක්‌ නිර්මාණය වූ බවත් ය. උගත් පාඩම් කොමිසම නිර්දේශ කර තිබෙන්නේ පහළම මට්‌ටමට බලය බෙදන ක්‍රියා පිළිවෙතකි. එය සාමාන්‍ය ලෙස ජන සභාව ලෙස ගත හැකිය. පැරැණි ගම් සභා ආකෘතියට ආසන්න තත්ත්වයක ඒකකයට බලය ලබාදීම උගත් පාඩම් කොමිසමේ නිර්දේශයයි. එසේම බලය බෙදීය යුත්තේ රටේ ඒකීය භාවය ආරක්‍ෂා වන පරිදි බවද කොමිසම නිර්දේශ කර තිබේ.

මීට සෑම අතින්ම සමාන ආකෘතියක්‌ 2010 ජනාධිපතිවරණයට මහින්ද චින්තන ඉදිරි දැක්‌මේදී ඉදිරිපත් විය. එම ජනාධිපතිවරණයේදී එය ජයග්‍රාහී වූ අතර, උගත් පාඩම් කොමිසමේ නිර්දේශයත්, ජන කැමැත්තත් තිබෙන එම ඒකකයට බලය බෙදීම ඒ අනුව යෝග්‍යතම විසඳුම බව පෙනේ. එය විසඳුමක්‌ වන්නේ, දෙමළ වර්ගවාදය සම්බන්ධයෙන් නොවේ. කුමන අන්දමින් ආණ්‌ඩුව හා ජාතික ක්‍රියාකලත්, දෙමළ වර්ගවාදී අදහස්‌ ඇති තනි පුද්ගලයකුට වුවද පැයකට හෝ කළහකාරී තත්ත්වයක්‌ ඇති කළ හැකිය. නමුත් ව්‍යවස්‌ථාපිත මාර්ගයෙන්, පියවරෙන් පියවර දෙමළ වර්ගවාදයට හෝ අන් කවර කණ්‌ඩායමකට ශ්‍රී ලංකාවේ ඒකීය භාවය බිඳ දමන්නට ජන සභා ඒකකයට බලය බෙදීමෙන් හැකියාවක්‌ ලැබෙන්නේ නැත.

මහින්ද චින්තන ඉදිරි දැක්‌මේ එන පරිදි ජන සභාව පිහිටුවන ආකාරයත් එහි ක්‍රියාත්මක වීමත් මෙසේය.

ගමට බලය - ජන සභාව

සාම්ප්‍රදායික නිජබිම, ස්‌වයංනිර්ණ අයිතිය වැනි මූලධර්මයන් හි සිර නොවී, සියලු පුරවැසියන් සතු බලය උපරිම ලෙස ශක්‌තිමත් කෙරෙන සාමකාමී දේශපාලන විසඳුමක්‌ ඇති කර ගැනීම මගේ ප්‍රමුඛ ඉලක්‌කය බවත්, මා බලය පිරිනමන්නට බලාපාරොත්තු වන්නේ පුරවැසියා අතට බවත්, මම එදා මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළෙමි.

  •  ඒ අනුව, අපේ ප්‍රාදේශීය පාලනයේ මුල්ගල වන අපේ ගම නැංවීම සඳහා "ජන සභා ක්‍රමය" ගම නැඟුමට සමාන්තරව ක්‍රියාත්මක කළෙමි. 
  • දැන් මගේ අරමුණ ජන සභාව ව්‍යවස්‌ථාපිත කිරීමයි. එමගින් සෑම ග්‍රාම සේවක වසමකම පිහිටුවන ජන සභාව එකී ප්‍රදේශයේ සංවර්ධනයේ, සහජීවනයේ, සදාචාර සමාජයේ, පළමු මුරගල බවට පත් කිරීමය. 
  • ගම නැඟුමේ සියලු සංවර්ධන කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීම, ක්‍රියාවට නැංවීම, නඩත්තුව සේවාවන් සහ දූෂණ වංචා වැළැක්‌වීම, ආදි සියලු කටයුතු මම එකී ජන සභාවට පවරමි.

ජන සභාවෙන් ගම් සභාවට

ජන සභා කීපයක එකතුවෙන් සකස්‌ වන ගම්සභාව ප්‍රාදේශීය නියෝජනයේ පළමු ඒකකය ලෙස ස්‌ථාපිත කරමි. ගම් සභාව සඳහා දේශපාලන නියෝජිතයකු පත් කර ගැනීමේ අයිතිය ගම් වැසියාට ලබා දෙන්නෙමි.

ගම් සභාවෙන් ප්‍රාදේශීය සභාවට -නගර සභාවට

ගම් සභා ගණනාවක්‌ එක්‌කර සකස්‌ වෙන ප්‍රාදේශීය සභා හා නගර සභා ජාතික පරිපාලනයේ මූලික සහ ශක්‌තිමත් ඒකකය ලෙස පවත්වා ගන්නෙමි. ප්‍රාදේශීය සභා හා නගර සභාවල තම සීමා මායිම් නිර්ණය කිරීමේ කටයුත්ත විධිමත් කර නූතන ජනගහනය, සමාජය, සංස්‌කෘතිය, පරිසරය ආදි මූලධර්ම මත නව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ බිහි කරමි.

ප්‍රාදේශීය සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වූ නව යෝජනා ක්‍රියාත්මක කරමි. ඒ අනුව ප්‍රාදේශීය සභාව සඳහා බහුතර නියෝජනය ගම් සභා බල ප්‍රදේශවලින් ද සුළුතර නියෝජනය අනුපාත ක්‍රමයෙන් ද පත් කෙරෙන නව මැතිවරණ ක්‍රමයක්‌ සකස්‌ කරමි.

ප්‍රාදේශීය සභා සහ නගර සභා ආඥ පනත සංශෝධනය කර නව බලතල මෙන්ම අෙන්‍යාන්‍ය කටයුතු පහසු කිරීමේ වැඩසටහන් ද බලාත්මක කරමි.

2005 බහුතර ජනතාව අනුමැතිය ලබා දුන් මහින්ද චින්තනයෙන් 2010 බහුතර ජනතාව අනුමත කළ මහින්ද චින්තන ඉදිරි දැක්‌මෙනුත් උගත් පාඩම් කොමිසම මගිනුත් බලය බෙදන ලෙස කියා ඇත්තේ ජන සභා වෙතය. ආණ්‌ඩුව විසින් දෙන "විසඳුම" සඳහා ජනසභා සුදුසු වන්නේ මෙසේ වට ගණනාවකින්ම එයට රටේ අනුමැතිය හිමිව තිබීම නිසාය.

නමුත් සමහර පාර්ශ්ව තැත් කරන්නේ මේ අවස්‌ථාවේදී බොරදියේ මාළු බාන ආකාරයෙන පළාත් සභා වෙත තව තවත් බලතල ලබා ගැනීමටය. උගත් පාඩම් කොමිසම නිර්දේශ කර තිබෙන්නේ බලය බෙදීමක්‌ පමණක්‌ බව පෙන්වා පළාත් සභා තවත් බල ගැන්වීමට රට කැබැලි කිරීමකට යොමු කිරීම ඔවුනගේ උපාය වී තිබේ. උගත් පාඩම් කොමිසම නිර්දේශ කර ඇත්තේ, ඒකීය රාජ්‍ය සුරක්‍ෂිත වන ලෙසත් අධ්‍යයන මට්‌ටම හෙවත් පුරවැසියාට බලය ලබාදීමටත් හෙයින් ජන සභා වැඩපිළිවෙළ මිස අන් යමක්‌ විසඳුම නොවන්නේය. ඒ අතරම ඊළමට දුන් කප්පම් වූ පළාත් සභා ද අහෝසි කර දමා ඒවා නඩත්තු කරන්නට යන ජනතා මුදල් ද රටට ඉතිරි කර දිය හැකිය. මහබැංකු වාර්තාව මගින් වසර ගණනාවක්‌ම පළාත් සභාහි ඇති අකාර්යක්‍ෂමතා නාස්‌තිකාර බව අවධාරණය කර තිබුණි. රටට ඉදිරියක්‌ සහිත විසඳුමක්‌ වන ජන සභා පිහිටුවීමටත් රටට විනයක්‌ වූ පළාත් සභා අහෝසි කිරීමටත් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ යොදා ගත යුතුව තිබේ.

මනෝජ් අබයදීර 
උපුටා ගැනීම
දිවයින
2012-03-14

Related

මනෝජ් අබයදීර 5940813938517755025

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item