වී අර්බුදයට පිළියම් මොනවාද?

මාස්‌ කන්නයේ වී අස්‌වනු නෙළමින් පවතින මේ කාල වකවානුවේ යළිත් වී මිල ප්‍රශ්නය කරළියට පැමිණ තිබේ. ඇතැම් පළාත්වල ගොවීන් සිය ද...


මාස්‌ කන්නයේ වී අස්‌වනු නෙළමින් පවතින මේ කාල වකවානුවේ යළිත් වී මිල ප්‍රශ්නය කරළියට පැමිණ තිබේ. ඇතැම් පළාත්වල ගොවීන් සිය දිවි නසාගැනීමට පවා පෙළඹී ඇතැයි කියෑවෙන සිද්ධි දඩමීමා කරගෙන, දේශපාලන කලබැගෑනි ඇතිකරලීමේ උත්සාහයන් ද පවතී. මේ වන විට වී ගැණුම් මිල රුපියල් දාසයට බැස ඇත. රජයේ මිල රුපියල් විසිඅටත් තිහත් අතර ප්‍රමාණයක තිබුණද වී අලෙවි මණ්‌ඩලය මිලදී ගන්නේ සමස්‌ත වී අස්‌වැන්නෙන් සියයට දහයකට ආසන්න ප්‍රමාණයක්‌ පමණි. 1995 වර්ෂයේ එවකට චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය යුගයේදී වත්මන් අගමැතිවරයා කෘෂිකර්ම ඇමැතිව සිටි කාලවකවානුවේ වී අලෙවි මණ්‌ඩලය අහෝසි කරලීමට කෙටුම්පත් සකස්‌ කළ අතර පසුව එය කළ නොහැකි වූ තැන මණ්‌ඩලය අක්‍රිය කර නිලධාරීන් කීපදෙනකුට පමණක්‌ පඩි ගෙවමින් තබා ගත්හ. එසේම වී අලෙවි මණ්‌ඩලය සතු ගබඩා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා විකුණා දැමීමට කටයුතු කළහ. (එක්‌සත් ජාතික පක්‍ෂ රජය කාලයේ සිට එය සිදුවිය.) එහිදී ඉන් වැඩි ප්‍රතිලාභ ලැබුයේ බහුජාතික සමාගම්ය. රජය විසින් ගොඩනඟා නඩත්තු කරනු ලැබූ රාජ්‍ය සම්පත් වන බිත්තර වී ගොවිපළවල පරම අයිතිය පවා ලබාගන්නට මේ සමාගම් සමත් විය.

ලංකාවේ වී නිෂ්පාදනය මෙටි්‍රක්‌ ටොන් දශලක්‍ෂ 3.8 ක්‌ පමණ වේ. මේ අස්‌වැන්නෙන් රජය මිලදී ගන්නා ප්‍රමාණය ඉතාමත් සීමිතය. ගබඩා විකුණා දැමූ හෙයින් ඒ සම්පූර්ණ ප්‍රමාණය වුවද දැනට මිලදී ගත නොහැකිය. එම නිසා ගන්නා වී සමුපකාරවල ද ගබඩා කරන්නට දැනට සිදුවී ඇත. රජයේ නියම මිලට වී මිලදී ගැනීම පිණිස කළ යුත්තේ වී ගබඩා ප්‍රමාණය වැඩි කර ගැනීම නොවේ. එය දිගටම කළ නොහැකි දෙයකි. නමුත් පෞද්ගලික අංශය මිලදී ගන්නා ප්‍රමාණය මගින් ගොවියාට සහන අත්කර දීමේ ක්‍රියාවලියට රජයට සෘජුව මැදිහත් විය හැකිය. ඉන් එක්‌ ක්‍රමයක්‌ නම් වී සඳහා පාලන මිලක්‌ ඇතිකරලීමයි. දැනට රුපියල් විසිඅටට තිහට තිබෙන මිල තව වැඩි කිරීමේ යම්කිසි සාධාරණත්වයක්‌ ඇත. එයට හේතුව ඉන්ධන මිල වැඩිවීම හා ශ්‍රමයට ගෙවන මිල වැඩිවීම නිසාය. පොහොර සහනාධාරය දුන්නද ඒ මගින් සමස්‌ත නිෂ්පාදන වියදම අඩු කරලීමට එතරම් බලපෑමක්‌ සිදුවන්නේ නැත.

දැනටමත් පාරම්පරික දේශීය සහල්වලට රුපියල් පනහේ සිට රුපියල් හැට දක්‌වා ශක්‌තිමත් මිලක්‌ ලැබෙන අතර එය ස්‌ථායීව පවතී. ඒ නිසා ඒ සහල්වල මිල ද රුපියල් සියයට වඩා ඉහළින් පවතී. සාමාන්‍ය වී වල මිල රුපියල් තිස්‌පහේ මට්‌ටමේ පැවතුනහොත් සහල් මිල රුපියල් හැත්තෑවකට ආසන්නයේ තබා ගත හැකිය. මෙහිදී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට එයින් ලැබෙන රුකුල සුළුපටු නොවේ. දැනට රජය සිදුකරනු ලබන්නේ පිටරටින් ණය ලබාගෙන ඩොලර් මුදාහැරීමයි. නමුත් ආනයනය සීග්‍ර ලෙසට ඉහළ ගොස්‌ ඇති නිසා විශාල වෙළෙඳ ශේෂයක්‌ පවතින බව කිව යුතුය. එවිට ඩොලර්වලින් රුපියල ස්‌ථායි ලෙස තබාගැනීමට රුපියලේ අගය අඩුකර ගනිති. මෙම ක්‍රියාවලිය ආර්ථික විද්‍යාවේ නරකම පියවරකි.

නමුත් සැබෑ ලෙසටම කළ යුත්තේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරලීම උදෙසා කියාමාර්ග ගැනීමයි. වී නිෂ්පාදනය ගතහොත් එය කළ හැක්‌කේ හාල් වශයෙන් රට පැටවීම නොව නිමි ආහාර වශයෙන් රට පැටවීමෙනි. එවිට අපනයනයන් වැඩිවී අපගේ ගිණුම් සංචිතයන් පොහොසත් කරගත හැකිය. පාරම්පරික සහල් මගින් නිමි ආහාර නිෂ්පාදනය කරන්නේ නම් විශාල අපනයන වෙළෙඳපොළක්‌ ඇතිවනවා නිසැකය. 1972 දී වී අලෙවි මණ්‌ඩලය පිහිටුවාලීමෙන් පසුව මේ අරමුණ උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක විය. එහිදී වී තැම්බීමේ ක්‍රියාවලිය පෙන්වා දිය හැකිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්මාණකරුවකු විසින් සෑදූ එකවර වී තම්බන වියළන යන්ත්‍රය ඒ කාලයේ හැටියට විශාල පරිවර්තනයක්‌ සිදු කළේය. නමුත් ආර්ථික ඝාතක නිලධාරීන් විසින් මේ වැඩසටහන කලකදී කඩාකප්පල් කරන ලදී. වී අලෙවි මණ්‌ඩලයේ පර්යේෂණ අංශයක්‌ විලසට ඇරඹූ අනුරාධපුර සහල් සැකසුම් මධ්‍යස්‌ථානය සහල් ආශ්‍රිත නිෂ්පාදන ඇතිකරලීමේ පුරෝගාමීන් වෙයි. එම ආයතනය 1991 වර්ෂයේදී පමණ නිපද වූ රතු සහ සුදු සහල් පිටි නූඩ්ල්ස්‌ සියයට සියයක්‌ම සහල් පිටි ලක්‌ ජනතාව අතර ඉතා ඉක්‌මණින් ජනප්‍රිය විය. එහෙත් මේ නිපැයුම් අපනයනය සඳහා යොමුකරලීමට වැඩසටහනක්‌ ඇති නොවීය. එයට හේතුව වී අලෙවි මණ්‌ඩලය අක්‍රිය වීම විය හැකිය.

එසේම චීන ආධාර යටතේ ලැබුණු එහි නිෂ්පාදන යන්ත්‍රයක්‌ එම ආයතනය තුළ තවමත් ක්‍රියාත්මක කරනවා විනා ලෝකයේ නව තාක්‍ෂණයට අනුව වැඩි දියුණු වී නැත. එහෙත් එම ආයතනය විසින් ඔවුන්ගේ තාක්‍ෂණය නොයෙකුත් ව්‍යාපාර ආයතනවලට ලබාදී තිබේ. සම්පූර්ණ කුරක්‌කන් යොදා නූඩ්ල්ස්‌ නිෂ්පාදනය කිරීමට ද ඒ තාක්‍ෂණය රටට දීමට ද ඔවුන් සමත්ව තිබේ. ඒ අනුව දේශීය ධාන්‍ය මත පදනම්ව ආහාර සකස්‌ කරන විවිධ සමාගම් රාශියක්‌ සහල් පිටි ආශ්‍රිතව ආහාර නිපදවීමේ ක්‍රියාවලියට දැනට අවතීර්ණ වී ඇත. නමුත් ලෝකයේ ඒ සඳහා තිබෙන දියුණු යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගැනීමේදී මේ ආයතන දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙති. එයට වගකිවයුත්තේ රජයේ ආර්ථික ඝාතක නිලධාරීන්ය. කොමිස්‌ කුට්‌ටිවලට යට වූ බොහෝ නිලධාරීන් මෙවැනි දේශප්‍රේමී ක්‍රියාවලීන්ට කැමැති නොවේ. ඒ නිසා සහල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තවමත් ලංකාවේ පවතින්නේ ළදරු තත්ත්වයකය.

අනුරාධපුර සහල් සැපයුම් ආයතනය ඇරුණු කොට කාර්මික තාක්‍ෂණ ආයතන හා කාර්මික සංවර්ධන මණ්‌ඩලය ද මේ නව නිෂ්පාදනයන් ගැන විශාල වැඩ කොටසක්‌ සිදුකර ඇත. ඇඹිලිපිටියේ කැතිරිච් ආයතනය තුළ ද මේ නිර්මාණ රාශියක්‌ කලඑළි දක්‌වා තිබේ. ඒ අතර සහල් පිටි, පාන්, විස්‌කෝතු, ළදරු ආහාර, බීම වර්ග ආදී කෑම රාශියක්‌ ඇත. පාරම්පරික සහල් පදනම් කරගෙන නිෂ්පාදනය කරන ලද වියළි කැඳ චූර්ණය හා කුරුඳු සාරය අඩංගු සහල් බීම වර්ගය මෑතකදී කාර්මික තාක්‍ෂණ ආයතනයේ ආහාර තාක්‍ෂණ අංශයේදී නිර්මාණය විය. එකස්‌කෘඩර් වැනි යන්ත්‍ර භාවිත කොට මේ ආහාර නිෂ්පාදනය කෙරේ. එහිදී පීඩනයකට ලක්‌වූ සහල් පොරි බවට පත්වී ඉන් පිට වේ. මෙවැනි ආහාර ශරීරය තුළදී ඉතා ඉක්‌මණින් ජීර්ණයට පත්වන අතර ක්‍ෂණිකව සාදා දිය හැකිය. කැඳ සකස්‌ කරලීම පිණිස සාදා ඇති චූර්ණය ද විශේෂත්වයක්‌ ගනී. එය රෝගීන්ට ද ඉතා ඉක්‌මණින් සාදා දිය හැකි ආහාරයකි. මෙම නිර්මාණයන් අපනයනයට යොමුකරලීමේ කර්මාන්ත ඇති කිරීම කාලීන අවශ්‍යතාවකි. රජය තවමත් එයට සූදානම් නොමැත.

පාන් සෑදීම උදෙසා සහල් යොදාගැනීමේ පර්යේෂණයක්‌ ද ආරම්භ කර ඇත්තේ මීට දශක දෙකකට පමණ ඉහත සිටය. තිරිඟු පිටිවලට සහල් පිටි කලවම් කළ හැක්‌කේ සියයට විසිපහේ සිට පනහ දක්‌වා ප්‍රමාණයක්‌ පමණි. පාන් නිපදවීමේ ප්‍රචලිත තාක්‍ෂණයන් වැඩි දියුණු කර එසේ කළ හැකිය. සහල්වල ගලූටන් නොමැති හෙයින් සියයට සියයක්‌ම සහල් පිටි යොදාගැනීම කළ නොහැකි බව ඇතැම් පර්යේෂකයන්ගේ මතයයි. එහෙත් සාම්ප්‍රදායික පාන් ගෙඩිය වෙනුවට පෝෂ්‍යදායී නිමි ආහාරයක්‌ හඳුන්වා දුන් පුද්ගලයකු ගැන ද මේ අවස්‌ථාවේ මතක්‌ කළ යුතුය. මාතර රීගල් බේක්‌ හවුස්‌ අධිපතිව සිටි වීරසේකර මහතා මේ නිර්මාණකරුවාය. ඔහු දේශීය ධාන්‍ය වර්ග රාශියක්‌ යොදා බනිස්‌ හා පාන් ආහාර වැඩි දියුණු කළේය. එහිදී යොදාගත් තාක්‍ෂණයේදී බහුලව පොල් කිරි යොදාගත් බව සඳහන්ය. අද මේ නිර්මාණකරුවා ජීවතුන් අතර නැතත් ඔහුගේ වෑයම ආදර්ශයට ගෙන දේශීය පාන් ගෙඩියක්‌ සෑදීමට උත්සාහයන් ගත හැකිය. අවශ්‍ය වන්නේ නව ආරකින් සිතන්නට පෙළඹීමයි. එසේම සුදු පාන් රුචිකත්වය වෙනස්‌ කරලීමේ පරිවර්තන ක්‍රියාමාර්ගයක්‌ ද රටට අවශ්‍ය වේ. වී නිෂ්පාදනය හා පරිභෝජනය සමබර කරගත හැක්‌කේ එවිටයි.

මතුගම සෙනෙවිරුවන්

උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-03-11

Related

මතුගම සෙනෙවිරුවන් 8663014322092381912

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item