පෝස්ටර් යුද්ධය පිටුදැකිය යුතුයි
මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමග ඡන්ද දායකයා තුළත් අපේක්ෂකයින් තුළත් ප‍්‍රශ්න ගණනාවක් පැන නැඟී ඇත. එනම් සිය ප‍්‍රචාරක ව්...
http://weadikawa.blogspot.com/2012/03/blog-post_1094.html
මහා මැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වීමත් සමග ඡන්ද දායකයා තුළත් අපේක්ෂකයින් තුළත් ප‍්‍රශ්න ගණනාවක් පැන නැඟී ඇත. එනම් සිය ප‍්‍රචාරක ව්‍යාපාරය සඳහා යොදාගන්නා මාධ්‍යය කුමක්ද යන්නය. පසුගිය කාලයේ දී ප‍්‍රචාරක මාධ්‍යය සඳහා වැඩි වශයෙන් යොදා ගත්තේ අත් පත‍්‍රිකා හා පෝස්ටර්ය. පසුව පුවත්පත් දැන්වීම් හා කට් අවුට් කරළියට ආවේය. විශේෂයෙන් ඩිජිටල් තාක්ෂණයෙන් සමග පී.වී.සී. තිර මුද්‍රණය ඇරැඹීමත් සමග පැරැණි රෙදි බැනරය ඉවත් විය. විද්‍යූත් මාධ්‍යවල දැන්වීම් විසින් ඇතිකරනා බලපෑම ඉතා ප‍්‍රබල වීමත්, ඉන්පසු ඇති වූ වෙබ් අඩවි සයිබර් අවකාශය මත සිදුකරනා ප‍්‍රචාරණයත් විසින් නව මාධ්‍ය කලාවක් ද බිහි විය. වෙබ් අඩවි හා සයිබර් අවකාශය හරහා ඕනෑම අසත්‍යයක් ප‍්‍රචාරය කළ හැකි දේශපාලන ගරිල්ලාවාදයක් ද ඇති වී ඇත.
මේ මහා මැතිවරණයේ දී ප‍්‍රධාන ලෙසම නගර ආශ‍්‍රිතව ඇති වී ඇත්තේ පෝස්ටර් යුද්ධයයි. පවතින මනාප ක‍්‍රමය නිසා දිස්ත‍්‍රික්කය පුරා සිය ලකුණ හා අංකය ප‍්‍රචාරය කිරීමේ පහසුම මග ලෙස පොදුවේ පිළිගැනීමට ලක්වී ඇත්තේ පෝස්ටරයය. එහෙත් මේ මැතිවරණයේ දී අපේක්ෂකයින් විසින්, දියත් කර ඇති පෝස්ටර් සංග‍්‍රාමය දෙස බලනාවිට එය සිය ඡන්ද ලකුණ හා අංකය ප‍්‍රදර්ශනයට ගත් උත්සාහයකට වඩා සිය බලය ප‍්‍රදර්ශනය කරනා එක්තරා දුරකට ඡන්ද දායකයා භීතියකට පත්කරනා සිය සාමාජිකයන් අතර, උද්වේගය පවත්වාගන්නා උපක‍්‍රමයක් වී ඇත. අසීමාන්තික පෝස්ටර් පොලිතීන් හා පී.වී.සී තිර මත නිර්මාණය වන කට් අවුට්වලින් ප‍්‍රශ්න කීපයක් මතු වී ඇත.
ඉන් පළමුවැන්න සම්පත් නාස්තියයි. සාමාන්‍යයෙන් කොළඹ වැනි දිස්ත‍්‍රික්කයක එක් වර්ගයකින් පෝස්ටර් ලක්ෂයක් පමණ අසීමිත ප‍්‍රචාරණය බලාපොරොත්තු වන අපේක්ෂකයෝ අලවති. එක් පෝස්ටරයක මුද්‍රණ වියදම හා ඇලවීමට යන වියදම ගත්කළ එය රුපියල් තිහකට (30/-* ආසන්න මුදලකි. එනම් එක් පෝස්ටර් වටයක් සඳහා ලක්ෂ තිහක මුදලකි. එවැනි පෝස්ටර් වට දහයක් සිදුකළහොත් ලක්ෂ තුන්සීයයක මුදලකි. එක් ප‍්‍රධාන මට්ටමේ පී.වී.සී කට් අවුට් එකක් සඳහා රුපියල් 50,000 සිට ලක්ෂයක මුදලක් වැය වේ. එවැනි කට් අවුට් පන්සියයක් දැමුවහොත් එයට වැයවන මුදල ලක්ෂ 250ක් සිට ලක්ෂ පන්සීය දක්වා වේ. මේ අනුව සම්පත් නාස්ති කරනා අපේක්ෂකයෝ අඩුතරමින් මිලියන 50 සිට 80 දක්වා මුදලක් පෝස්ටර් හා කට්අවුට් සඳහා වියදම් කරති. මොවුනට මේ සඳහා වසර හයටම වැටුප ලෙස ලැබෙන්නේ මිලියන 3.8ක් පමණි. එයින්ම පෙනී යන්නේ තමනට වැටුප ලෙස ලැබෙනා මුළු මුදල මෙන් සිය ගුණයක් තරම් මැතිවරණයට නාස්ති කරනා අපේක්ෂකයින් සිටිනා බවය. මෙහි පාරිසරික සම්පත් වැනසී යෑමක් ද ඇත. සාමාන්‍යයෙන් පෝස්ටරයක් ග‍්‍රෑම් 08ක් තරම් බරින් යුතුය. එනම් කඩදාසි ටොන් එකකින් නිර්මාණය කළ හැකි පෝස්ටර් ප‍්‍රමාණය 120.000ක් පමණ වේ. එනම් එක් පෝස්ටර් වටයක ප‍්‍රමාණයයි. මේ කඩදාසි ප‍්‍රමාණය සඳහා වැයවන ලී ප‍්‍රමාණය අඩි 08ක් දිග, අඩි 04ක් පළල, අඩි 04ක් උස ලී කුට්ටියකට සමානය. මේ සඳහා ඉතා විශාල ප‍්‍රමාණයේ ගස් නම් 20ක් පමණ ද සාමාන්‍ය ප‍්‍රමාණයේ නම් ගස් 30ක් පමණ ද අවශ්‍ය වේ. ඉතා අසීමිත ලෙස පෝස්ටර් වනසන අපේක්ෂකයින් අඩුම තරමින් ගස් 300ක් පමණ පෝස්ටර් සඳහා යොදා ගනිති.
මේ අසීමිත සම්පත් විනාශය කෙතරම් ප‍්‍රයෝජනවත් ලෙස යොදාගත හැකිදැයි සිතා ගත හැක. එක් මිලියනය බැගින් දී දුගීයන්ට නිවාස 50ක් 80ක් තැනීමට එයින් හැකියාව ලැබේ. දෙවනුව සිදුවන පරිසර දූෂණයයි. පොලිතීන් හෝ පොලිමර් නම් පසට එකතු වුවහොත් දිරායන්නේ නැත. ජලයට එකතු වුවහොත් එහි ඇති ආම්ලික ගතිය නිසා මාරක වස විස ඇතිවේ. ගිනි තැබුවහොත් එයින් නිකුත් වන විෂ වායූන්ගෙන් පිළිකා කාරක ඇතිවේ. පෝස්ටර්වල ඇති නොදිරන තීන්ත ජලයට, පසට, එකතු වූවද ඇතිවන්නේ මේ තත්ත්වයකටය. පරිසර දූෂණය තුළම පැන නගිනා අනෙක් �ෂණය දෘෂ්‍ය දුෂණයයි. එකම රූපය බලහත්කාරයෙන් සමතැනම දැකීමට සැළැස්වීමෙන් නිදහසේ පරිසරය දැකීමට අපට ඇති අයිතිය උදුරා ගැණේ. ඇතැම් රටවල මැතිවරණ ව්‍යාපාර නිසා නගරය වඩාත් ලස්සන වෙයි. සිංගප්පූරුව හොඳම උදාහරණයයි. එහෙත් ලංකාවේ සිදුව ඇත්තේ මැතිවරණය විසින් නගරය තවත් අවලස්සන වීමයි. එමෙන්ම පෝස්ටර් එළුවන්ට නගරයේ දී රස අහරකි. වෙනත් සතුන් ද දැන් මෙයට හුරු වෙමින් ඇත. එමගින් සතා සීපාවාට වන හානිය ද පරිසර හානියකි.
මෙහි සමාජීය ගැටළු කීපයක් ද පවතී. ඉන් එකක් නම් අවසර නැතිව අනුන්ගේ තාප්ප, අනුන්ගේ දේපොල භාවිතා කිරීමය. එය බලහත්කාරයේ මුල් ගලය. මෙහි ඊළඟ පියවර වන්නේ අනුන්ගේ දේපොළ බෙදාගැනීමේ දී සිදුවන අරගලයයි. එයම අපේක්ෂකයින් අතර ප‍්‍රචණ්ඩත්වයට හේතු වේ. බොහෝදුරට වෙඩි තැබීම්, මරාගැනීම් ආදිය සිදු වී ඇත්තේ පෝස්ටර් හා පොලිතීන් මත ඇතිවන ගැටුම් දුරදිග යෑමෙනි. අනෙක් අතින් මෙය මැතිවරණ නීති උල්ලංඝනයකි. එමෙන්ම මේ නීතිවිරෝධී පෝස්ටර් කට්අවුට් ඉවත් කිරීමට වැයවන්නේ ද මහජන මුදල්ය. එය ද තවත් සමාජීය ප‍්‍රශ්න ඇතිකරයි.
මනාප ඡන්ද ක‍්‍රමය මේ ක‍්‍රියාවලියේ දී මුල බීජය ලෙස ක‍්‍රියා කළ ද ඉදිරියේ දී මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ ද බලය පෑම මගින් මනස වෙනස් කිරීමේ බලහත්කාරය පැවැතීමට ඉඩ ඇත. මේ තත්ත්වය වෙනස්කර ගැනීමට නම් සමාජය බලාත්මක විය යුතුය. අධික ලෙස වියදම් කර ඡන්දය සොරාගන්නා අපේක්ෂකයින් වෙනුවට ධාර්මික වැදගත් අපේක්ෂකයින් ඉහළින් දිනවීමෙන් ඡන්ද දායකයාට මේ වගකීම පැවැරී ඇත.
කෙසේවෙතත්, පෝස්ටර්, පොලිතීන් හා කට්අවුට් ප‍්‍රශ්නයේ දී ප‍්‍රාදේශීය සභා නගරසභා වලට ද කාර්ය භාරයක් පැවැරී ඇත. එයනම් තම බල ප‍්‍රදේශවල පෝස්ටර්, පොලිතීන් පාලනය කිරීමය. පසුගිය ජනාධිපතිවරණයේ දී බලන්ගොඩ නගරාධිපතිවරයා එයට ආදර්ශය දුන්නේය. එනම් පොලිතීන් තම බල ප‍්‍රදේශය තුළ තහනම් කිරීමය. එමෙන්ම තම බලප‍්‍රදේශය තුළ ඇති පොලිතීන් හා පී.වී.සී කට්අවුට් එක්කර ප‍්‍රතිචකීයකරණයට එක්කිරීම ද ඔවුනට කළ හැකිය. ඒ සඳහා ඔවුනට අවශ්‍ය තොරතුරු අපේ මධ්‍යම පරිසර අධිකාරීයෙන් ලබාදීමට දැනටමත් කටයුතු යොදා ඇත. සම්පත් වනසමින්, පරිසරය වනසමින්, ප‍්‍රචණ්ඩත්වය වපුරමින් කරනා පෝස්ටර් පොලිතීන් රැල්ලේ උඩුගං බලා යෑමට ජනතාව ද සූදානම් විය යුතුය.
-පාඨලී චම්පික රණවක
දොරමඩලාව
2010-03-10 දින පළවූ ලිපියකි
දොරමඩලාව
2010-03-10 දින පළවූ ලිපියකි