ස්‌ථිර ජයග්‍රහණයක්‌ සඳහා...

දෙමළ වර්ගවාදීන් විසින් ඉල්ලා සිටින 13 ප්ලස්‌ හා ආණ්‌ඩුව විසින් යෝජනා කරන 13 ප්ලස්‌ අතර තිබෙන වෙනස විසින් දෙපිරිස එකඟතාවකට පැමිණ...


දෙමළ වර්ගවාදීන් විසින් ඉල්ලා සිටින 13 ප්ලස්‌ හා ආණ්‌ඩුව විසින් යෝජනා කරන 13 ප්ලස්‌ අතර තිබෙන වෙනස විසින් දෙපිරිස එකඟතාවකට පැමිණීම වෙනුවට විරසකයකට පැමිණ තිබේ. ආණ්‌ඩු පාර්ශ්වය යෝජනා කරන 13 ප්ලස්‌ වී ඇත්තේ, පළාත් සභා සඳහා ඉඩම් බලතල, පොලිස්‌ බලතල ලබා නොදීම හා පළාත් සභා හා මධ්‍යම ආණ්‌ඩුව අතරට සෙනට්‌ මණ්‌ඩලයක්‌ පත්කිරීමය. ආණ්‌ඩුව විසින් ප්ලස්‌ ලෙස හඳුන්වනු ලබන්නේ අමතරව එකතු කරනු ලබන ව්‍යqහය වන සෙනට්‌ සභාවය. ඒ අතරම ආණ්‌ඩුව විසින් කියා සිටින්නේ, මෙම විසඳුම ද ලබාදෙනු ලබන්නේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ මගින් ලැබෙන අවසාන නිගමනය හරහා සමස්‌ත රට පුරා පැවැත්වෙන ජනමත විචාරණයක අනුමැතියකින් පසුව බවය.

දෙමළ සංවිධානය ලබාගැනීමට බලාපොරොත්තු වී සිටින 13 ප්ලස්‌ වන්නේ පළාත් සභා සතු විෂය ක්‍ෂේත්‍රයේ බලතල මුළුමනින්ම ඊට පවරනවාට අමතරව සමගාමී ලැයිස්‌තුවේ ඇති බලතල ද පළාත් සභාව හා මධ්‍යම ආණ්‌ඩුව අතර බෙදී යන සේ, 13 වැනි ව්‍යවස්‌ථාවෙන් පළාත් සභාවලට වැඩි බලයක්‌ හිමිවන ආකාරයකි. 13 ප්ලස්‌ ලෙස දෙපිරිසම විසින් හඳුන්වා දුන්න ද එය එක්‌ එක්‌ පාර්ශ්වය භාවිතා කර තිබෙන්නේ වෙනස්‌ අර්ථකථන සහිතවය.

ආණ්‌ඩුව විසින් දී ඇති විසඳුම දෙමළ වර්ගවාදය සෑහීමකට පත් නොකරන්නක්‌ වුවත් එය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් ඉදිරිපත් වී තිබේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා අවසානයේ ජනමත විචාරණයකට ලක්‌වන විසඳුමක්‌ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අනුකූලත්වය දක්‌වන්නකි. ප්‍රශ්නය වී තිබෙන්නේ මෙම විසඳුම් යෝජනා කරන්නේ කුමන ප්‍රශ්නයක්‌ සඳහා ද යන්නය.

ඉංග්‍රීසීන් විසින් සිය අධිරාජ්‍යවලදී අනුගමනය කරන ලද බෙදා වෙන් කිරීමේ පාලන ක්‍රමවේදය තුළ, ශ්‍රී ලංකාවේ සිටි දෙමළ ජනයාට සුවිශේෂ තත්ත්වයක්‌ හිමිවුණි. එම සුවිශේෂ තත්ත්වය දෙමළ ජනයාට හිමිවූයේ ඔවුන්ගේ දක්‍ෂතාවයක්‌ හෝ ඔවුන්ට හිමිව තිබෙන උරුමයක්‌ හේතුකොටගෙන නොව සිංහලයන්ට එරෙහිව භාවිත කළ හැකි උපකරණයක්‌ ලෙස ඉංග්‍රීසියට ඔවුන්ගේ තිබූ වටිනාකම නිසාය. ශ්‍රී ලංකාව කඩා දමා ඊළමක්‌ ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයට දෙමළ වර්ගවාදීන් යොමුවන්නේ ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු මෙම සැලකිල්ල හේතුවෙනි.

දෙමළ නිජභූමි මිථ්‍යාව මත පදනම්ව, ඉංග්‍රීසීන්ගෙන් ලැබුණු ශක්‌තියෙන් දෙමළ වර්ගවාදය විසින් ගිය ගමන අද පැමිණ ඇත්තේ 13 ප්ලස්‌ ලබාගන්නා තැනටය. එහි කඩඉම වන්නේ ඊළමක්‌ බිහිකර ගැනීමය. රට තුළ වසර 40 කට වඩා ලේ ගලාගිය තත්ත්වයක්‌ ඇතිවූයේ දෙමළ වර්ගවාදයට තිබූ මෙම වුවමනාව හේතුවෙනි. රටට ස්‌ථිරසාර සාමයක්‌ ඇති කිරීමට නම් ඊට ඇති පිළිතුර දෙමළ වර්ගවාදය විනාශ කිරීමය. එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය විෂයෙහි ද මෙවැනිම තත්ත්වයක්‌ මතුව තිබුණි. ත්‍රස්‌තවාදීන් අඩපණ කර ඔවුන් විසඳුමක්‌ පිළිගන්නා තැනකට ගෙනඒම, ත්‍රස්‌තවාදය සමඟ සාකච්ඡා කර සම්මුතියකට පැමිණීම ආදී වූ ත්‍රස්‌තවාදයට තම ඉලක්‌කය සඳහා කල් අල්ලාගත හැකි මට්‌ටමේ විසඳුම් කාලයක්‌ තිස්‌සේ අත්හදා බලමින් තිබිණි. අද දෙමළ වර්ගවාදය බලාපොරොත්තු වන ආකාරයේ 13 ප්ලස්‌ "විසඳුමක්‌" ලබාදීම සඳහා පෙරැත්ත කිරීම්වල නිරත සියලු දෙනා, යුද්ධයෙන් සාමය දිනිය නොහැකි බවටත්, සාමය සඳහා ත්‍රස්‌තවාදීන් සමඟ සාකච්ඡා කළ යුතු බවටත් කියා සිටි පිරිසය. වසර 30 ක්‌ පුරා ඔවුන් විසින් අනුදත් ආකෘතිය රට විසින් අත්හදා බැලුවද ත්‍රස්‌තවාදය තව තවත් ඉදිරියට යන තත්ත්වයක්‌ හා ඒ හේතුවෙන් මේ සාමය පිරිහී වේගවත් පරිහානියක්‌ ඇතිවන තත්ත්වයක්‌ උද්ගත වූවා මිස සාමයක්‌ ඇති නොවීය. යුද්ධයෙන් ත්‍රස්‌තවාදය විනාශ කිරීම තුළ සාමය දැන් බිහිවී තිබේ. ආයුධ රහිතව වුවත් ත්‍රස්‌තවාදයක්‌ කලක්‌ තිස්‌සේ පැවැති බිමක ත්‍රස්‌තවාදය සම්බන්ධ අදහස්‌ පැවැතීමේ ඉඩකඩ තිබේ. එම තත්ත්වය ද මුළුමනින්ම නැති කළ පසු ත්‍රස්‌තවාදයක්‌ යළි රටේ ඇතිවීම පිළිබඳ විමසිල්ලෙන් සිට එය මුල් අවස්‌ථාවේම නැති කර දමන්නේ නම් ස්‌ථිරසාර සාමය සඳහා පදනම තිබෙන්නේ එතැනය. දෙමළ වර්ගවාදය යනු ආයුධ රහිතව සිටිය ද යළි ත්‍රස්‌තවාදයක්‌ ඇති කළ හැකි අදහස්‌ සහිත තත්ත්වයකි. රටේ සාමයට, සෞභාග්‍යයට ඇති තිර විසඳුම ඔවුන්ගේ දෙමළ වර්ගවාදය නැති කිරීම සඳහා ගනු ලබන පියවරයන්ය.

මෙම තත්ත්වය කරා ආණ්‌ඩුවට යැමට අවශ්‍ය වුවත් ඉන්දියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය ආදී රටවලින් දෙමළ වර්ගවාදයට තිබෙන සහයෝගය හේතුවෙන් ආණ්‌ඩුව ද අපහසුතාවකට පත්ව තිබේ. රටක්‌ ලෙස එක්‌ව කටයුතු කරනා තත්ත්වයකට පැමිණ රටේ සාමය සහතික කරගන්නා තත්ත්වයක්‌ බිහිකර නොගතහොත් යළිත් සිදුවනු ඇත්තේ ත්‍රස්‌තවාදයක්‌ හිස එසවීම සඳහා ගොස්‌ රටේ එක්‌ ප්‍රදේශයක්‌ වෙන්කර ඊළමක්‌ පිහිටුවීම සඳහා හෝ අවස්‌ථාවක්‌ උදාවීමය.

1947 නොවැම්බර් 26 වැනි දින පළමු නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ පළමු රාජාසන කතාවට ඉදිරිපත් කෙරුණු ස්‌තුති යෝජනාවට සංශෝධනයක්‌ යෝජනා කරමින් එස්‌. ඡේ. වී. චෙල්වනායගම් විසින්, "ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් වෙන්වීමට සටන් කරන්නේ නම් එසේ වෙන්වීමේ කැමැත්තක්‌ දෙමළ ජනතාවගේ ද හද තුළ ඇත්නම් ඔවුන් රටේ සෙසු කොටස්‌වලින් වෙන් නොවිය යුත්තේ කුමක්‌ නිසාද? යනුවෙන් ප්‍රශ්න කළේය. ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය ප්‍රදානය කිරීම සඳහා බ්‍රිතාන්‍යය කටයුතු කරමින් සිටින අවස්‌ථාවක, චෙල්වනායගම් මෙම යෝජනාව තුළින් මතු කරන ලද්දේ, ඒ සමඟම ඊළමක්‌ ද බිහිකර ගැනීම සඳහා වූ දෙමළ වර්ගවාදයේ අවශ්‍යතාවයය. පියවරෙන් පියවර ඊළාම් ඉලක්‌කය කරා දෙමළ වර්ගවාදය ගිය ගමන අද නතර වී ඇත්තේ 13 ප්ලස්‌ (දෙමළ වර්ගවාදී අර්ථයෙන්) ලබාගැනීමේ ඉලක්‌කය සහිත තැනකය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා ජනමත විචාරණයකට අවසන් විසඳුම ආණ්‌ඩුව විසින් බාර දී තිබෙන විට එය දෙමළ වර්ගවාදයට මෙතෙක්‌ ලබාදුන් කප්පම් සියල්ල අහෝසි කර යළි දෙමළ වර්ගවාදයක්‌ බිහි නොවන තත්ත්වයක්‌ ඇති කර ගැනීමේ පදනමක්‌ බවට පත්කර ගැනීමේ අවස්‌ථාවක්‌ රටට ලැබී තිබේ.

එජාපය විසින් ද වර්තමාන තත්ත්වය අරඹයා 13 ට එහා යන බලතල පළාත් සභාවලට ලබාදීම පිළිබඳව කැමැත්තක්‌ පළකර නැත. 13 ප්ලස්‌ දීමට පෙර ඩිමොක්‌ක්‍රොටික්‌ ප්ලස්‌ ලබාදෙන ලෙස ආණ්‌ඩුවෙන් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටීම තුළ පෙනී යන්නේ දෙමළ වර්ගවාදයට කප්පම් දෙන ආකාරයේ විසඳුමක එජාපය ද දැන් නොමැති බවය. ජවිපෙ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට ද එරෙහි බලවේගයක්‌ බැවින් ඔවුන් ද එතැන නැත. ආණ්‌ඩුව සිටින්නේ ද දෙමළ වර්ගවාදයට අවශ්‍ය පරිදි පළාත් සභා බලතල සක්‍රිය නොකළ යුතු යෑයි කියන තැනකය. එසේ නම් මෙම ප්‍රවාහයන් එක්‌ව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ තුළදී දෙමළ වර්ගවාදයට එරෙහි වූ නිගමනයකට පැමිණියහොත් විදෙස්‌ බලපෑම් ආදිය තිබුණද රටේ ඇති සැබෑ ප්‍රශ්නයට විසඳුම ලබාගැනීමේ හැකියාව රටට ලැබෙනු ඇත. ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ සිටින දෙමළ වර්ගවාදී පක්‍ෂ මෙම විසඳුමට එකඟ නොවීමය.

1972 ජනරජ ව්‍යවස්‌ථාව ඇති කරගත් ආකාරය උදාහරණයකට ගනිමින් මෙතැනදී පාර්ලිමේන්තුවට ක්‍රියා කළ හැකිය. 1970 ජූලි මාසයේදී නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආණ්‌ඩුක්‍රම සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවා ගැනුණි. මාක්‌ස්‌වාදියකු වූ කොල්වින් ආර්. ද සිල්වා ව්‍යවස්‌ථා සම්පාදක අමාත්‍යවරයා විය. මෙහිදී තීරණාත්මක කර්තව්‍යය බවට පත්වූයේ සැබෑ නිදහසක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ඇති කර ගැනීමටය. 1948 දී රටට නිදහසක්‌ ප්‍රදානය කළ ද ඒ තුළ රටේ අවසාන වගකිවයුත්තා බවට පත්වූයේ එංගලන්තයේ මහා රැජනය. පක්‍ෂ, විපක්‍ෂ භේදයකින් තොරව මෙම තත්ත්වයෙන් මිදීම සඳහා ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ බවට පාර්ලිමේන්තුව තේරී පත්විය. එජාපය ද ඒ සඳහා සිය සහයෝගය පිරිනැමුවේය. 1948 ශ්‍රී ලංකාවට "නිදහස" ලැබෙන මොහොතේ ඊළමක්‌ බිහිකර ගැනීම සඳහා උත්සාහ කළ දෙමළ වර්ගවාදීන් මෙතැනදී ද හරහට සිටියේය. බ්‍රිතාන්‍ය කිරිටයෙන් සම්පූර්ණයෙන්ම නිදහස්‌ වී 1815 ට පෙර රට තුළ තිබූ තත්ත්වය නෛතික ලෙස බිහිකර ගැනීමට පක්‍ෂ විපක්‍ෂ භේදයෙන් තොරව පාර්ලිමේන්තුව ක්‍රියා කරන මොහොතේ තමන්ගේ මිථ්‍යාව තහවුරු කරගෙන ඊළමක්‌ ගොඩනැගීමට මෙම නව තත්ත්වය බාධාවක්‌ වන බව දෙමළ වර්ගවාදීහු තේරුම් ගත්තෝය. නව ව්‍යවස්‌ථාවට එරෙහි මතයකට ඔවුහු පැමිණියහ. නමුත් ඉතිරි පක්‍ෂවල ආධාරය ඇතිව සිරිමාවෝ ආණ්‌ඩුව විසින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරන ලදී. මාක්‌ස්‌වාදියකු වූ කොල්වින් ආර්. ද සිල්වා විසින් මෙම ආණ්‌ඩුක්‍රමය කෙටුම්පත් කළද, බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය ලබාදීම, සිංහල භාෂාවට පමණක්‌ රාජ්‍ය භාෂාතත්ත්ව ලබාදීම ද මෙමගින් සිදුවිය. තමන් කුමන මතයක්‌ දැරුවත්, ස්‌වෛරී රාජ්‍යයක්‌ සඳහා ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කර ගැනීමටත්, 1815 ට පෙර තිබූ නිවහල් තත්ත්වයට රට ගෙන ඒමටත් සියලු පක්‍ෂ එකඟාවයකින් කටයුතු කළේය. එම අවස්‌ථාවේදී දෙමළ වර්ගවාදීන්ගේ විරෝධය අනුව කටයුතු කරන්නට ගියේ නම් තවමත් ලංකාව පාලනය සඳහා වන අවසන් තීරකයා වනු ඇත්තේ එංගලන්තයේ මහ රැජනය.

1972 ව්‍යවස්‌ථාව සම්පාදනය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබී තිබුණේ 1970 බලයට පත්වූ ආණ්‌ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රාජාසන කතාව මගිනි. එම රාජාසන කතාව සඳහා ස්‌තුති යෝජනාව ගෙන එනු ලැබුවේ බෙලිඅත්ත ආසනයේ මන්ත්‍රීවරයා වූ මහින්ද රාජපක්‍ෂ විසිනි. එදා මහින්ද විසින් ගෙන එනු ලැබූ ස්‌තුති යෝජනාව මගින් බ්‍රිතාන්‍ය රැජනගේ අවසාන බලාධිකාරිත්වයට යටත්ව තිබූ ලංකාව, එයින් මිදී ශ්‍රී ලංකා ජනරජය බවට පත්වීම සිදුවිය. අද මහින්ද හමුවේ තිබෙන්නේ එවැනිම වූ කර්තව්‍යයකි. ජනාධිපතිවරයා ලෙස අද මහින්දට සිදුවී තිබෙන්නේ 1947 දී ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ රාජාසන කතාවේ ස්‌තුති යෝජනාවට සංශෝධනයක්‌ යෝජනා කරමින් චෙල්වනායගම් විසින් දෙමළ වර්ගවාදී අරමුණින් හෙවත් ඊළම ලබාගැනීමට කළ යෝජනාව පැරදවීමට පියවර ගැනීමය. විපක්‍ෂයට ඇත්තේ 1972 දී කළා මෙන් රටේ ස්‌වෛරීභාවය හා ඒකීයභාවය සහතික වන පරිදි ආණ්‌ඩු ක්‍රමයක්‌ ඇති කිරීමට පක්‍ෂ බේදයෙන් තොරව කටයුතු කිරීමය. ඒ මොහොතේදී රටේ සතුරන් වී සිටින දෙමළ වර්ගවාදීන් කුමන ක්‍රියාපිළිවෙතකට ගිය ද ඔවුන්ට සතුරුව අනික්‌ පිරිස එක්‌වී සිටින්නේ නම් රටට ජයග්‍රහණය ස්‌ථීරය.

මනෝජ් අබයදීර

උපුටා ගැනීම
දිවයින
2012-02-08


Related

මනෝජ් අබයදීර 8314460000570904543

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item