ආසනික් සටන පාවා දුන්නේ කෙසේද?

පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් ...

ආසනික් සටන පාවා දුන්නේ කෙසේද?
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇතිකල ආසනික් විරෝධී සටන ශ‍්‍රී ලංකාවේ මිනිස් ජීවිත වලට සහ පරිසරයට ආදරය කරන මිනිස්සුන්ට පරාජය අත්පත් කර දෙමින් අවසන් විය.  එහෙත් ඒ අදුරුවලාවේ රිදී රේඛාවක් මතු කරමින් කොළඹ මහාධිකරණය තීන්දුවක් ප‍්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නියෝගය මත රේගුව විසින් නිදහස්කල ආසනික් අඩංගු පළිබෝධනාශක වෙළඳපලට නිකුත් කිරිම තහනම් වේ. එම තත්ත්වය තුළ සමාගම් හිතවාදී සහ එ් නිසාම ආසනික් හිතවාදී වු නිලධාරී ත‍්‍රන්තය ඇතුලූ විද්වතුන් මෙන්ම කෘෂි යෙදවුම් සමාගම් අත්පත්කරගත් ජයග‍්‍රහනය බොහෝ දුරට තාවකාලික දෙයක් බවට පත්වී ඇත. එහෙත් මේ ක‍්‍රියාවලිය තුළ අප රටේ නීතිමය රාමුව, පරිපාලන ක‍්‍රම වේද සහ නිලධාරීතන්ත‍්‍රයේ සංස්කෘතිය පිළිබඳ මහජනයාගේ සිත්තුල කළ කිරීම සහ පිලිකුළ ජනිත වීම වැලැක්විය නොහැක. ‘‘කවුරු කෑගැසුවත් අපට මොකද ? අපි නෑ සුනාසේ අපේ වැඬේ කරගෙන යමු’’ යන ආදර්ශපාඨය අනුව ක‍්‍රියා කරන අතිබහුතරයක් නිලධාරීන්ට මහජනයාගේ සිත්වල පහල වන එවැනි හැඟීම් සහ අදහස් වැදගත් වන්නේ නැත. එ නිසා නැවත වටයකින් සටන් කොට ආසනික් විරෝධි සමන ස්ථිරසාරව ජයග‍්‍රහණය කිරීමට නම් පොදු මහජනයාට තම සිත්වල පහල වන අදහස් ක‍්‍රියාවට නන්වා පෙන්වීමට සිදුවනු ඇත.
කෙසේ වෙතත් මේ වන විට රේගුව විසින් අත්අඩංගුවේ තබා ගෙන සිටි ආසනික් සහ රසදිය නැමැති උග‍්‍ර විෂ අඩංගු පලිබෝධනාශක තොග සියල්ල නිදහස් කොට ඇත. අදාල සමාගම් වලට දඩුවම් කොට ඇත්තේ උග‍්‍ර විෂ සහිත රසායන ද්‍රව්‍යන් ආනයනය කිරීමේ වරදට නොව වෙනත් සුළු වැරදි සඳහාය. ආසනික් විරෝධී සටනේදී රේගු නිලධාරීන් මහජනයාගේ  පැත්තේ සිට නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රභල උත්සාහයක් ගත්බව රහසක් නොවේ. එ් පිළිබඳව පොදුමහජනතාවගේ අවංක ප‍්‍රණාමය එම ආයතනයට පුද කල යුතු වේ. එහෙත් රේගු නිලධාරීන්ට නීතියේ පවතින අඩුපාඩු සකස් කල නොහැක. පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා ඇතුලූ නිලධාරීතන්ත‍්‍රය නීතියෙන් රිංගා ගොස් පලිබෝධනාශක වෙලෙන්දන්ට උදව් කර ඇති බව පැහැදිලි වුවත් රේගුවට නීති වෙනස් කිරීමේ බලයක් නැත. එ් බලය ඇත්තේ දේශපාලකයින්ටය. දැන් මහජනයා ගනුදෙනු  බේරාගත යුත්තේ ඔවුන් සමගය. ඒ සඳහා පුර්විකාවක් ලෙස මේ නිශ්චිත මොහොතේදී මහජනයාට වැදගත් වන්නේ සටනේ පරාජය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් සිදු කිරීමය.
රේගුව විසින් ආසනික් සහ රසදිය අඩංගුවේ යයි සැකකල ආනයනික පලිබෝධනාශක තොග අත් අඩංගුවට ගත්තේ ආසනික් විෂ සහ රජරට වකුගඩු රෝගය අතර යම් පර්යේෂණාත්මක සම්බන්ධයක් ගොඩනැගීමට විද්වතුන් පිරිසක් කටයුතු කිරීම සමගය. එ් විද්වතුන් අතර මහාචාර්ය නලින් ද සිල්වා, වෛද්‍ය චන්න ජයසුමන, මහාචාර්ය ප‍්‍රියානි පරණගම මහත්මිය වැනි පිරිසක් ඉදිරියෙන් සිටියෝය. එ් වන විට ඔවුන් පලිබෝධනාශක වර්ග 30කට අධික ප‍්‍රමාණයක විවිධ මට්ටම් වලින් ආසනික් සහ රසදිය නැමැති තහනම් කල උග‍්‍ර විෂ අඩංගු වන බව පරීක්‍ෂණ මගින් ඔප්පු කොට තිබුනි. මේ තත්වයට ප‍්‍රතිචාර දක්වමින් අදාල පලිබෝධනාශක වෙළදුන් මාධ්‍ය මගින් තමාගේම සුදුහුණු ගා ගැනීමේ ව්‍යාපෘතියක නියැලූනද මහා සටනකට අවි එසවූයේ නැත. නමුත් ආසනික් විෂ සහ වකුගඩු රෝගය ආශ‍්‍රිත විද්වත් ප‍්‍රවාදයට එරෙහිව සමහර විද්වතුන් සහ රාජ්‍ය නිලධාරීතන්ත‍්‍රය මරාගෙන මැරෙන මට්ටමින් අවි එසවිය.
පලමු වටයේදීම මේ විද්වතුන් සහ නිලධාරීන් කියා සිටියේ එසේ ආසනික් හො ්රසදිය අඩංගු පලිබෝධනාශක ශ‍්‍රී ලංකාවට ආනයනය කරන්නේ නැති බවයි. නමුත් ආසනික් අඩංගු පලිබෝධනාශක පිළිබඳ පර්යේෂණවල නියැළුනු විද්වතුන් එ් පිළිබඳ සාක්‍ෂි දැඩි ලෙස ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට අඩියක් පිටුපසට ගැනීමට සිදුවිය. එහෙත් පෙරලා ඔවුන් වෙනත් අවියක් ඔසවා පහරදීමට පටන්ගත්තේ පෙරටද වඩා වේගයෙනි. ඔවුන්ගේ දෙවැනි අවිය හෙවත් තර්කය වූයේ පනතේ රෙගුලාසි අනුව නීති විරෝධි වන්නේ ආසනික් ප‍්‍රධාන සංඝටකයක් ලෙස අඩංගු වුවහොත් පමණි යන්නයි. එ් අනුව ආසනික් ‘අපද්‍රව්‍ය හෝ වෙනත් ලේබලයක් යටතේ අඩංගු වුවහොත් එය නීතිවිරෝධි නැත. එසේම ඔවුන් තවත් අතයටින් පහරදීමක් ද සිදුකලේය. එ් රසදිය විෂ පිළිබඳව කිසිවක් කථා නොකර සිටීමය. එයට හේතුව රසදිය කුමන තත්වයක් යටතේ හෝ පලිබෝධනාශක වල අඩංගු නොවිය යුතු බවට ජාත්‍යන්තර සම්මුති පවා පැවතීමයි (රොටර්ඩෑම් සම්මුතිය*. ලෝක ආහාර සංවිධානයේ නිර්දේශය අනුව අප‍්‍රද්‍රව්‍යයක් ලෙස ආසනික් සුළු වශයෙන් හෝ තිබිය හැක්කේ තඹ සංඝටක අඩංගු පලිබෝධනාශක වල පමණය. නමුත් එවැනි පලිබෝධනාශක කිසිවක් ශ‍්‍රී ලංකාවට ආනයනය කරන්නේ නැත. එ් අනුව ආසනික් ඉතාම සුළු වශායන් අඩංගු වුවත් එය කුමන හේතුවක් යටතේ ලේබල් කලත් ශ‍්‍රී ලංකාවේ නීතියට අනුව සම්පූර්ණයෙන්ම නීති විරෝධී විය යුතුය.
එ ආකාරයට ආසනික් හිතවාදී පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ තර්ක වලට ප‍්‍රතිතර්ක ඉදිරිපත් වන විට ඔහු තුන්වැනි අවිය ලෙස තවත් තර්කයක් ඉදිරිපත් කලේය. එ් පලිබෝධනාශකවල අඩංගු වන ආසනික් ප‍්‍රමාණය ඉතා සුළු ප‍්‍රමාණයක් නම් එ් මගින් මහජන සෞඛයයට හානියක් නොවන බවයි. එ් තර්කය තහවරු කිරීම සඳහා කොන්දේසි දෙකක් සැපිරීම අවශ්‍ය විය. පලමුවැන්න පනත අනුව පරීක්‍ෂණ කල යුත්තේ කාර්මික තාක්‍ෂණික ආයතනයේදී පමණක් බව පවසමින් ස්වාධීන ආතන 3 කින් එකම සාම්පලය තුන් වරක් පරීක්‍ෂා කිරීම සඳහා ගෙන ආ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමයි. එ් මගින් ඔවුන් අරමුණු තුනක් ඉටුකර ගත්තේය. එ් අනුව 30 අධ්ක ආසනික් සහ රසදිය අඩංගු වූ පලිබෝධනාශක ලැයිස්තුව 9 දක්වා අඩුකර ගැනීමට ඔවුන් සමත් විය. ඊට අමතරව එ්වා තුල අඩංගු වූ විෂ ප‍්‍රමාණයන් කලින් කැලැණි විශ්වවිද්‍යාලයේ දී  ඔප්පු කර පෙන්වූ ප‍්‍රමාණයන්ට වඩා ඉතා අඩු ප‍්‍රමාණයක් බව පෙන්වීමද ඔවුන් සමත් විය. තුන් වන අරමුණ ලෙස එම ආයතනයේ රසදිය පරීක්‍ෂා කිරීමට පහසුකම් නොමැති බව පවසා රසදිය ප‍්‍රශ්නය යටගසා ආසනික් ගැන පමණක් කථාකිරීමේ අවස්ථාවද ඔවුන් නිර්මාණය කරගත්තේය. එම ක‍්‍රියාවලිය තුළ ඔවුන් සපුරාගත යුතු වූ දෙවන කොන්දේසිය වූයේ පලිබෝධනාශක තාක්‍ෂණික උපදේශක කම්ටුව හරහා ආසනික් සුළු ප‍්‍රමාණයක් තිබීම මහජන සෞඛ්‍යයට හානිකර නොමැති බව ප‍්‍රකාශ කරවා ගැනීමයි.
එ අතර පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා මහජන විරෝධය සමනය කිරීම සඳහා තවත් දේශපාලනමය පරිපාලන ක‍්‍රියාවක්ද සිදුකළේය. ඔහු ආසනික් අඩංගු යයි ඔප්පු වූ බවට තමා ප‍්‍රකාශයට පත්කළ පලිබෝධනාශක වර්ග 9 තාවකාලිකව තහනම් කරමින් නියෝගයක් නිකුත් කලේය. එ් නියෝගයට අනුව එ්වා ආනයනය කිරීම හෝ විකිණීම තාවකාලිකව නැවැත්විය යුතුය. නමුත් ඔහු තම නියෝගය ක‍්‍රියාත්මක වන බව සහතික කර ගැනීම සඳහා පරිපාලනමය යාන්ත‍්‍රණයක් හදුන්වාදීම හෝ එ් පිළිබඳව මහජනයා අතර පුළුල් දැනුවත් කිරීමක් සිදුනොකලේය. එ් නිසා එම නියෝගය හුදු කොල කැබැල්ලක ලියැවුනු  වගන්තියකට පමණක් සීමාවිය.
කෙසේ වෙතත් පලිබෝධනාශක රෙජිස්ටාර්වරයාට පලිබෝධනාශක වෙලදුන් බාරදුන් අභියෝගය වූයේ තාවකාලික තහනම් නියෝගය ඉවත්කර ගනිමින් රේගුව රදවාගෙන ඇති තොගද නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමයි. එ් සඳහා නීතිය අනුව ඔහු යොදාගත යුත්තේ පලිබෝධනාශක තාක්‍ෂණික උපදේශක කම්ටුවය. එ් අනුව ඔහු 2011 අගෝස්තු 5 වැනි දින 55 වැනි තාක්‍ෂණික උපාදේශක කමිටුව කැදවිය. කමිටුවේ රබර් සීල් එක ගසා ගැනීමට අවශ්‍ය තීන්දුව බොහෝ නිලධාරීන් තනි තනිව කථා බහ කොට තිබුනි. ආසනික් හිතවාදී සහ  සමාගම් හිතවාදී විද්වත් නිලධාරීතන්ත‍්‍රය කම්ටුව කැදවීමට බොහෝ කලකට පෙර සිටම කියාසිටියේ ඉතා සුළු වශයෙන් ආසනික් අඩංගු වේ නම් ඒ මඟින් මහජන සෞඛ්‍යයට හානියක් නොවන බවය. එ් සඳහා තර්කයක් ලෙස ඔවුන් ඉදිරිපත් කලේ ජලයේ අඩංගු විය හැකි උපරිම ආසනික් ප‍්‍රමාණය ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් නිර්දේශකර ඇති බැවින් පලිබෝධනාශක වලට අදාලවද එවැනි ප‍්‍රමාණාත්මක සීමාවක් පැනවිය හැකි බවයි. නමුත් පනත අනුව මෙන්ම විවිධ ජාත්‍යන්තර සංවිධාන වල නිර්දේශ අනුවද එවැනි අවම හෝ උපරිම සීමා පනවා නැත. එසේම එ් කමිටුව හමුවට රසදිය විෂ පිළිබඳව වචනයක්වත් ඉදිරිපත් නොකර කිරීමද රෙජිස්ටාර්වරයා පරිස්සම් විය.
කෙසේවෙතත් අවසානයේදී කමිටුව තීරණය කලේ අදාල පලිබෝධනාශක වර්ග 9 යේ අඩංගු වන ආසනික් ප‍්‍රමාණය විශාල ප‍්‍රතිශතයක් නොවන බැවින් එ්වා නිසා මහජන සෞඛයයට හානියක් සිදුනොවන බවය. නමුත් එහිදී ඔවුන් අවම හෝ උපරිම ප‍්‍රමාණයන් පිළිබඳව කිසිවක් සඳහන් නොකල අතර තවත් පරස්පර තීන්දුවක්ද ගත්තේය. එ් තීන්දුව අනුව ආසනික් දීර්ඝකාලයක් පොලොවතුල එක්රැුස් විය හැකි බැවින් මීට පසුව පලිබෝධනාශක ආනයනය කිරීමේදී ආසනික් ඇතුලූ තවත් මූලද්‍රව්‍ය කිහිපයක් අඩංගු නොවන බව සහතික කල යුතුය. එහිදී සඳහන් වන්නේ අංශු මාත‍්‍ර හෝ කිසිදු මැනිය හැකි ප‍්‍රමාණයක් අඩංගු නොවිය යුතු බවයි. එ් අනුව ඊට පෙර ආසනික් විරෝධී විද්වතුන් ඉදිරිපත් ‘‘ආසනික් බිඳක්’’ හෝ  අඩංගු නොවිය යුතුය යන තර්කය මෙම කමිටුව පිලිගෙන ඇත. එසේ නම් එම කමිටුව මගින් අවසර දී ඇත්තේ දැනට තහනම් කොට ඇති පලිබෝධනාශක වල තහනම ඉවත් කිරීමට සහ රේගුවේ රදවාගෙන තිබෙන තොග නිදහස් කිරීමට අදාලවය. වෙනත් වචන වලින් කියනවා නම් වෙලදුන්ට සමාව ලැබී ඇත්තේ මේ වතාවට පමණී. එනම් තාවකාලික ජයග‍්‍රහණයක් පමණී. එ් අනුව පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා ඇඹරූ ලණුව  සම්පුර්ණයෙන්ම ගිල නොදමා එයින් කොහු ටිකක් පමණක් ගලවා ගිලාදමා කමිටුව තම ගරුත්වය අල්පමාත‍්‍ර වශයෙන් හෙවත් නොගිනිය හැකි ප‍්‍රමාණයකින් බේරාගෙන ඇත.
එහෙත් ආසනික් සහිත පලිබෝධනාශක දිගින් දිගටම භාවිතා කිරීම අනතුරුදායක බව පිලිගැනීම නිසා දැනට රටතුලට ආනයනයකොට ඇති තොගය නිදහස් කිරීම ඉතා පැහැදිලිවම සාධාරණීයකරණය කලනොහැකි  අතාර්කික තීන්දුවක් බවට පත්වේ. එවැනි තීන්දුවක් ගැනීම වැලැක්වීමේ ප‍්‍රධාන වගකීම තිබූ නිලධාරියා වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් කමිටුවට සහභාගීවූ පාරිසරික සහ වෘත්තිය සෞඛ්‍ය පිලිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාය. ඔහු එම කමිටුවේදී ගොළුවෙකු සේ වචනයක් වත් කථානොකර  අන් අයගේ බලහත්කාරය ඉවසාදාර ඇත. එම නිලධාරියා කමිටුවට සහභාගී වන බව හෝ සහභාගි වීමෙන් පසුව ලේකම්වරයාට වාර්තා කොට නැත. ඔහු ඉතා හොදින්ම දන්නා පරිධි සෙැඛ්‍ය ලේකම්වරයා විසින් විෂවේදයට අදාල නිර්දේශ ලබාගැනීම සඳහා විශේෂඥ කමිටුවක්  පත්කොට ඇත. එ් නිසා ආසනික් සුළු ප‍්‍රමාණවලින් තිබුනහොත් ගැටළුවක් නැති බවට තීන්දුව ගන්නා විට එ් පිළිබඳව අදාල විශේෂඥ කමිටුවෙන් උපදෙස් පැතිය යුතු බව ඔහු කිවයුතුව තිබුනි.
මහජන සෞඛ්‍යයට සහ පරිසරයට අදාලව ඉතා බරපතල තීන්දුවක් සඳහා තම අනුමැතිය දීමට ප‍්‍රථම අඩුතරමින් එහි බරපතලකම සලකා සෞඛ්‍ය ලේකම්තුමාගේ උපදෙස් පැතීමට මෙම නිළධාරියාට යුතුකමක් ඔහුට තිබුණි. නමුත් මහජනයා වෙනුවෙන් ඔහු තම යුතුකම ඉටුකලේ නැත. එ් පිළිබඳව ලේකම්තුමා ගන්නා තීන්දුව දෙස මුළු රටම විමසිලිවත්ව බලාසිටිනු ඇත. ගරු කටයුතු වෛද්‍යවරයෙකු වන ලේකම්තුමා අඩුවශයෙන් තම ගරුත්වය රැුක ගැනීම සඳහා හෝ ක‍්‍රියාමාර්ගයක් ගත යුතුව ඇත. එ් අනුව ඔහු තම නිලධාරියාට යම් දඩුවමක් ලබාදෙන අතර කමිටුව විසින් ගන්නා ලද තීන්දුව නැවත සලකාබැලීම සඳහා ඉල්ලීමක් කල යුතුව ඇත. එ් මගින් සමහර විට ආසනික් හිතවාදී නිලධාරීතන්ත‍්‍රය සහ සමාගම් විසින් තාවකාලිකව අත්පත්කර ගත් ජයග‍්‍රහණය ආපසු හැරවීමේ ඉඩකඩක්ද ඇත. මේ වන විට මහාධිකරණය ලබා දී ඇති තීන්දුවද ඊට සහය වනු ඇත. මේ වන පාරිසරික යුක්තිය සඳහා වන ආයතනය විසින් පවරා ඇති එම නඩුවට අමතරව ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය විසින්ද අභියාචනා අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත.
මෙහිදී ආසනික් විරෝධී සටනට දායක වූ පිරිස එම යුතුකම ඉටුකලේ තම හෘදයක්‍ෂියේ පෙලඹවීම නිසා මිස වෙනත් කිසිදු පුද්ගලික හේතු නිසා නොවේ. කෘෂිකර්ම නිළධාරින් තමා නිතර ඇසුරු කරන කෘෂි රසායන සමාගම්වලට ඇති හිතවාදි බව සහ තම හෘද සාක්‍ෂිය යන දෙකෙන් පළමුවැන්න තෝරාගැනීම පිළිබඳව අපට විශාල කණගාටුවක් නැත. එසේ වන්නේ ඔවුන්ගේ සමාගම් හිතවාදී ප‍්‍රතිපත්ති නිසා රටේ කෘෂිකර්මාන්තයට සිදුවන බොහෝ අකටයුතුකම් නිතර දෙවේලේ අප අත් දකින නිසාය. විශේෂයෙන්ම සමාගම් විසින් කෘෂිකර්ම නිළධාරිතන්ත‍්‍රයේ ඉහළ පිරිස්වල හිසට ඉදිරියෙන් එල්ලා ඇති ‘‘අනාගත රැුකියා අවස්ථා’’ නැමැති කැරට් අලය නිසා වන පෙළඹවීමද අපට තේරුම්ගත හැක. (එවැනි රැුකියා අවස්ථා සමාගම්වලට කඬේ යන සියලූ දෙනාටම නොලැබීම වෙනම කාරණයකි.* නමුත් අපට ඇති ප‍්‍රශ්නය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළධාරියා එවැනි පාවාදීමක් කළේ කුමක් සඳහාද යන්නයි. එම කමිටුවේ සිටි අනෙක් විද්වත් නිළධාරින් ද තමන් සමාගම් හිතවාදි සහ ආසනික් හිතවාදි නිළධාරින්ට යටත්වුයේ කුමක් නිසාද යන්න තමාගේම හෘද සාක්‍ෂියෙන් විමසා දැනගත යුතුය. එසේම ආසනික් සහ රසදිය වැනි උග‍්‍රවිෂ වර්ග ශරීරගතවීම නිසා රෝගීවන සහ මියයන සියලූ ජනතාවගේ සාපයෙන් බේරිමේ මඟක්ද ඔවුන් සොයා ගත යුතුය.
අවසාන වශයෙන් කිවයුත්තේ සමාගම් හිතවාදි නිළධාරින්ගේ ආසනික් හිතවාදය පිළිබඳව අපට කණගාටුවක් නැතත් ආසනික් හිතවාදි විද්වතුන්ගේ විද්වත්භාවයේ දුප්පත්කම පිළිබඳව අපට බලවත් කණගාටුවක් තිබෙන බවය. පළිබෝධනාශක වල ආසනික් නැති බව මේ විද්වතුන් මුලින්ම තර්ක කළේය. පසුව පරික්‍ෂණ මගින් ඔප්පු වූ පසුව ඒවා ටිකක් තිබුණාට කමක් නැතැයි ඔවුන් පැවසුවේය. ඉන්පසු එසේ තිබුණාවුවත් රජරට වකුගඩු රෝගය සහ ආසනික් අතර සම්බන්ධයක් නැතැයි ඔවුහු තරයේ කියා සිටියෝය. ඊට අමතරව එවැනි සම්බන්ධයක් ඇතැයි කියන පිරිස් දෙවියන් බුදුන් අදහන අය බැවින් ඔවුන්ගේ මතවාද විද්‍යාත්මක ක‍්‍රමවේදවලට පටහැනි බවද ප‍්‍රකාශ විය.
නමුත් ආසනික් සහ රසදිය මාරාන්තික විෂ වර්ග බවත් ඒවා බිඳක් හෝ අඩංගු පළිබෝධනාශක ආනයනය නීති විරෝධී බවද ඔවුහු ඉතා හොඳින් දැන සිටියහ. රජරට වකුගඩු රෝගය සහ ආසනික් අතර සම්බන්ධය තහවුරු කිරිම සඳහා තවදුරටත් පර්යේෂණ අවශ්‍ය බව පැවසීම කිසිදු විවාදයක් නොමැතිව පිළිගත හැකි දෙයකි. එසේම ආසනික් අංක එකේ පිළිකාකාරකයක් බව සහ දියවැඩියාව සහ සමේ රෝග ආදී රෝග රාශියකට හේතුවන රෝගකාරකයක් බව ලෝකය පුරා පර්යේෂණවලින් ඔප්පු වී ඇති බව මේ විද්වතුන් ඉතා හොඳින් දනිති. ඊට අමතරව මේ විෂ වර්ග මුලද්‍රව්‍යය බැවින් ඒවා විනාශ නොවී ජීව ෙසෙලවල සහ මහපොලවේ එක්රැුස්වන බවත් ඒ නිසා ඒවා ආහාර දාමයට ඇතුලූවන බවත් සාමාන්‍යපෙළ සිසුන්ට වුවද අවබෝධකරගත හැක. එසේ නම් මේ සියලූ විනාශකාරි තත්ත්වයන් දැනුවත්ව නොසලකාහරිමින් මේ විද්වතුන් ආසනික් හිතවාදි නිලධාරි තන්ත‍්‍රය සමඟ එක පෙළට සිටගන්නේ කුමක් නිසාද? ඒ ඉතා පැහැදිලිවම රජරට වකුගඩු රෝගය සහ ආසනික් අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කිරිම සඳහාය. ඒ මඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? එමගින් ඊට පෙර තමන් ඉදිරිපත්කළ වකුගඩු රෝග ආශ‍්‍රිත ප‍්‍රවාදය අවලංගු නොවන බව තහවුරුකරගැනීමට මේ විද්වතුන් දුප්පත් උත්සාහයක යෙදේ. වෛද්‍යවරුන් බොහෝමයක් ඇතුලූ විද්වතුන් ආසනික් සටනේදි නිහඬව සිටියේ හෝ ඊට පිටුපෑවේ එවැනි සරල පුද්ගලික කරුණු නිසාය. එක් වෛද්‍යවරයෙක් ආසනික් පර්යේෂණවලට සම්බන්ධ වෛද්‍යවරයකු පිළිබඳ අදහස් දක්වමින් කියා සිටයේ ‘‘ඌ ජන්දේ ඉල්ලපු එකෙක් උගේ කටත් වැඩියි.’’ යනුවෙනි. ඔහු ආසනික් වාදී වන්නේ ඒ වෛද්‍යවරයා සමඟ තිබෙන පුද්ගලික වෛරයක් නිසාය. මේ සියල්ල පිළිබඳ මෙනෙහි කිරිම පශ්චාත් මරණ පරීක්‍ෂණයටම අයත් කාර්්‍යයකි. තාවකාලික පරාජය ජයග‍්‍රහණයක් බවට පරිවර්තනය කරගත හැක්කේ ඒ සියලූ අත්දැකිම් වලින් පාඩම් ඉගෙන ගැනීමෙන් පමණි.


වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

උපුටා ගැනීම
LakaCnews
2012-02-09

Related

වෛද්‍ය වසන්ත බණ්ඩාර 5819130480310656093

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item