බෙදා වෙන් කළ නොහැකි බිමක්‌ සහ විනාශ නොවන ජාතියක්‌

-අනගාරික ධර්මසේකරතුමා බුදු පා පහසින් හා සර්වඥධාතු නිධන් කර මහා ස්‌ථූප තැනීමෙන් පූජනීය වූ බුදුන්ගේ දේශය ලෙස ජන හදවත් තුළ තහවුරු...

-අනගාරික ධර්මසේකරතුමා

බුදු පා පහසින් හා සර්වඥධාතු නිධන් කර මහා ස්‌ථූප තැනීමෙන් පූජනීය වූ බුදුන්ගේ දේශය ලෙස ජන හදවත් තුළ තහවුරු වූ අපේ ශ්‍රේෂ්ඨ මාතෘභූමිය බෙදා වෙන්කළ නොහැක. ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශය ලෙස ජනහදවත් තුළ තහවුරුවූයේ ඉතිහාසයේ අවස්‌ථා ගණනාවකදී අප මාතෘදේශය බුදු සසුනට පිදූ නිසා පමණක්‌ නොවේ. බුදු සසුනට පිදූ මේ පතිරූපදේශය රැකගන්නට යුග ගණනාවක්‌ තිස්‌සේ කළ මහා පරිත්‍යාගයන් තුළින් ගොඩනැඟුණු උතුම් මුතුන් මිත්තන්ගේ උරුමය පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙනයන්නට කැපවුණු මේ උදාර ජාතිය විනාශ කළ නොහැක. ඒ බව අපේ ඇස්‌පනාපිටම ඔප්පු වූයේ නව යටත් විජිතවාදී ලෝක බලවේගයන්ගේ ආධාර අනුබල ලැබූ කොටි ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය වූ ආකාරයෙනි. ලතින් ඇමෙරිකාවේ රටවල් බොහොමයක විසූ මායා, ඉන්කා, ඇස්‌ටෙක්‌ හා මෙස්‌ටිසෝ වැනි ඉපැරැණි ජනවර්ග රැසක්‌ මුළුමනින්ම පාහේ විනාශ වී බ්‍රසීලය වැනි සුවිශාල රටක්‌ පෘතුගීසි භාෂාව කතාකරන කතෝලික ආගම අදහන දේශයක්‌ බවට පත්වී මෙක්‌සිකෝ, කොළොම්බියා, වෙනිසියුලා, පෙරූ, චිලී, ආර්ජන්ටිනා ආදී රටවල් ස්‌පාඤ්ඤ භාෂාව කතාකරන රෝමානු කතෝලික ආගම අදහන දේශයන් බවට පත්වෙද්දී පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආදී ලෝක බලවතුන්ව වැජඹුණු කිසිම බලවතෙකුට අපේ ජාතික, ආගමික, සංස්‌කෘතික අනන්‍යතාව විනාශ කළ නොහැකි විය.


නව යටත් විජිතවාදයේ ආධාර අනුබල ලැබූ දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදය අපේ පරපුරේ ඇස්‌පනා පිට යුදමය වශයෙන් මුලිනුපුටා දමා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය රැකගත හැකිවූයේ ඉතිහාසය යුග ගණනක්‌ තිස්‌සේ රටදැය සමය වෙනුවෙන් කැපවුණු උදාර මුතුන් මිත්තන්ගේ උරුමය ඉදිරියට ගෙන යන්නට ආත්ම පූජාවෙන් සටන් කළ රණවිරුවන් විසින් කරන ලද මහා පරිත්‍යාගයන් නිසා බව නිසැකය. තමන් සතු සියල්ල රට, දැය, සමය වෙනුවෙන් කැපකරමින් දිවිපුදන්නට රණවිරුවන්ට ආධ්‍යාත්මික ශක්‌තිය දෙමින් ආත්ම හරණයේ මඟගෙන නිස්‌සරණාධ්‍යාශයෙන් සේවයට කැපවුණු පූජනීය මහා සංඝරත්නයේ මාර්ගෝපදේශක නායකත්වය ලැබෙනතාක්‌ බුදු සසුනට පූජා කළ ශ්‍රී ලංකා භූමිය බෙදා වෙන්කළ නොහැක. බටහිර අනුකාරක දේශපාලනයේ වැරැදි නිසා හමුදාව අතහැර දහස්‌ ගණනින් පැනයන තත්ත්වයට පත්වී සිටි සෙබළු අතරින් මරණය පෙනි පෙනී බිහිසුණු රණබිමේ ඉදිරියටම යන වීරෝදාර රණවිරුවන් බිහිවූයේ ජාතියට ආධ්‍යාත්ම ශක්‌තිය දෙමින් දිවිපිදූ අපේ පරපුරේ සංඝ පීතෲන් වහන්සේ වන තන්තිරිමලේ විහාරාධිපති පූජ්‍ය මහකෝන්ගස්‌කඩවල විමලCදාණ නාහිමි, පූජ්‍ය පදවිය ධර්මාලෝක හිමි, පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි හා දිඹුලාගල විහාරාධිපති පූජ්‍ය කිතලගම ශීලාලංකාර නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආදර්ශය නිසාය. අපේ යුගයේ මහා සංඝරත්නයේ ආදර්ශය වූයේ එළාරගේ බලගතු හමුදා වලින් එල්ලවන මරණ තර්ජනය නොතකා දුටුගැමුණු රජතුමාගේ සේනාවේ පෙරමුණ ගෙන ජාතිය අවදි කරමින් මාගම සිට රජරට දක්‌වා වැඩමකළ ඉතිහාසගත වීරෝදාර භික්‍ෂූන් වහන්සේලාය.


ජාතියේ අනුත්තර ගුරුවරයාණන් වහන්සේ වූ අනුබුදු මිහිඳු මා හිමියන්ගේත් මිහිඳු මා මිහියන්ගේ භක්‌තිමත් දායකයනාණන් බවට පත්වී වැවයි, දාගැබයි, කෙත්යායයි පිළිවෙතට ජීවය දුන් දේවානම්පියතිස්‌ස රජතුමාගේත් ජාතියේ පියාණන් වූ කාවන්තිස්‌ස මහ රජතුමාගේත් ජාතියේ අසහාය වීරයා වූ දුටුගැමුණු රජතුමාගේත් බිහිසුණු පරාජයන් අභිබවා නැවත නැඟීසිටීමට ජාතියට නායකත්වය දුන් වලගම්බා රජතුමාගේත් වළගම්බාවන්ට නිවැරැදි මඟ පෙන්වා ආධාර අනුබලදුන් මහාතිස්‌ස හිමියන්ගේත් දාඨිය, පීඨිය, පාරින්ද ආදීන් ප්‍රමුඛ ද්‍රවිඩයන් අතින් පරාජය වී සිටි ජාතියට විමුක්‌තිකාමී ධාතුසේනයන් වැනි වීරෝදාර නායකත්වයක්‌ ගොඩනඟා දුන් ජාතියේ මහා ලේඛක මහාවංශ කර්තෘ මහනාම හිමියන්ගේත් මුන්මඩිචෝළ මණ්‌ඩල ආධිපත්‍යයට එරෙහිව නැඟීසිටින්නට කීර්ති කුමාරයාට ආධ්‍යාත්ම ශක්‌තිය දුන් වනරතන නාහිමියන්ගේත් නැවත නැවතත් මුහුණ පෑ පරාජයන්ගෙන් පසුබට නොවී ඉදිරියටම ගිය කීර්ති කුමරුන් ප්‍රමුඛ දේශප්‍රේමී වීරයන්ගේත් විජයබාවන්ගෙන් පසු බේද භින්නවූ රට එක්‌සේසත් කර ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්කරන්නට මහ පැරකුම්බාවන්ට මඟ පෙන්වූ චූලවංශ කර්තෘ ධර්මකීර්ති හිමියන්ගේත් කාලිංගමාඝගේ විනාශකාරී ආක්‍රමණයෙන් රට බේරාගන්නට දෙවැනි පැරකුම්බාවන්ට ආධ්‍යාත්ම ශක්‌තිය දුන් පූජාවලී කර්තෘ මයුරපාද පරිවෙණාධිපති බුද්ධපුත්‍ර හිමියන්ගේත් ළාබාල පැපිලියානේ කුමාරයාට රැකවරණ දී ශිල්ප ශාස්‌ත්‍ර උගන්වා හයවැනි ශ්‍රී පැරකුම්බා නමින් රජවී රට එක්‌සේසත් කර සමෘද්ධිමත් නවයුගයක්‌ උදාකරන්නට මඟපෙන්වූ වීදාගම මහනාහිමියන්ගේත් රණශූර කොනප්පු බණ්‌ඩාරට විමලධර්මසූරිය නමින් රජවී මහනුවර යුගය ආරම්භ කරන්නට මඟපෙන්වූ දෙවනගල රතනාලංකාර නාහිමියන්ගේත් සීතාවක රාජසිංහ, දෙවැනි රාජසිංහ ආදීන් ප්‍රමුඛ දේශප්‍රේමී මුතුන්මිත්තන්ගේත් සිංහලේ රදළ නායකයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග ගිවිසුමකට එළැඹී ජාතික පරාධීනත්වය ප්‍රකාශ වූ මොහොතේ බ්‍රිතාන්‍ය කතිරකොඩිය බිම දමා සිංහ කොඩිය ඔසවා අධිරාජ්‍ය විරෝධී විමුක්‌තියේ කාහල නාදය නැඟූ වාරියපොළ සුමංගල හිමියන්ගේත් විමුක්‌තිකාමී මහ සටන් මෙහෙයවා සතුරාට හසුවී මරණ වධයට ලක්‌වන මොහොතේ පවා බුදුගුණ ගයමින් අභීතව ආදර්ශවත් ලෙස දිවිපිදූ කැප්පෙටිපොළ වීරයා ප්‍රමුඛ විමුක්‌තිකාමීන්ගේත් ඉර නොබස්‌නා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අභියෝග කරමින් සිංහල ජාතියේ ඊළඟ පරපුර කෙරේ විශ්වාසය පළකරමින් ගිණියම් වෙඩි උණ්‌ඩයට ළයදුන් පුරන්අප්පු වීරයාගේත් තම බුද්ධි ප්‍රභාවෙන් බටහිර බුද්ධිමතුන් අවනත කරගනිමින් හෙළ බොදු උරුමය ලොවට ප්‍රකාශ කළ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේත් මහාවාද මගින් අධිරාජ්‍යවාදී මිෂනාරි බලවේගයන් දමනය කර හෙළ බොදු අභිමානය නඟාසිටුවූ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේත් අධිරාජ්‍ය විරෝධී හඬ නඟමින් ජාතිය අවදි කරමින් පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැඟීමට නායකත්වය දුන් අනගාරික ධර්මපාලතුමාගේත් වීරෝදාර උරුමය හදවත දරාගෙන ඉදිරියට යන්නට කැපවන දේශප්‍රේමී, ජාතිහිතෛශී ශාසනමාමක ජනතාවගේත් ආත්මහරණයේ මග ගනිමින් නිස්‌සරණධ්‍යාසයෙන් සේවයට කැපවීම සඳහා දහම් ගුරුවරුන් ප්‍රමුඛ හෙළ බොදුනුවන්ට මඟපෙන්වන මහා සංඝරත්නයේත් ශ්‍රේෂ්ඨ මාතෘභූමිය වන ශ්‍රී ලංකාව බෙදා වෙන්කළ නොහැකි බවට හා අපේ උදාර ජාතිය විනාශ කළ නොහැකි බවට සැකයක්‌ නැත.


වලගම්බා රජතුමා ජාතික විමුක්‌ති වීරයෙකු ලෙසත් ලොව විශාලතම දාගැබ සමග දහස්‌ ගණන් භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විහාර සංකීර්ණයක්‌ හා ලෝක උරුමයක්‌ බවට පත්වූ රංගිරි දඹුළු ලෙන් විහාරය වැනි ලෙන්විහාර රැසක්‌ රටපුරා කරවූ සංස්‌කෘතික වීරයකු ලෙසත් ලෝක ඉතිහාසයට එක්‌වූයේ මහාතිස්‌ස හිමියන්ගෙන් ලැබුණු මාර්ගෝපදේශක නායකත්වය නිසා බව ඉතිහාස ගතවී ඇත. තිස්‌ස බමුණාගේ කැරැල්ලත් සමග සිදුවූ පිලහත්ථ, භාහිය, පිලයමාර හා පණයමාර ආදීන් ප්‍රමුඛ සත්මහා දෙමළ ආක්‍රමණය නිසා රටේ මහා සාගත තත්ත්වයක්‌ ඇති වුවත් ඒ විපත තුළින්ම ලොවටම සෙතක්‌ ශාන්තියක්‌ වූ ත්‍රිපිටකය සහ ඒ හා සම්බන්ධ ඓතිහාසික තොරතුරු ලේඛනගත කර ශ්‍රී ලංකාව ලෝකයේ ධර්මද්වීපය බවට පත්කරන්නටත් සමත්වූ මහා සංඝරත්නයෙන් ආධ්‍යාත්ම ශක්‌තිය ලැබූ සිංහල ජාතිය විනාශ කළ නොහැකි බව ඉන්පසුවද දිගින් දිගටම එල්ලවූ සතුරු ආක්‍රමණ පරදවා ලැබූ ජයග්‍රහණයන්ගෙන් ඔප්පු වී ඇත. සාමකාමී වංකනාසික තිස්‌ස රජු දවස ලංකාව ආක්‍රමණය කළ කරිකාලන් ප්‍රමුඛ ද්‍රවිඩ ආක්‍රමණයේ ප්‍රතිඵලය වූයේ, වංකනාසික පුත් ගජබාවන් හා ඔහුගේ සේනාපතියා වූ නීල මහ යෝධයා දකුණු ඉන්දියාවට අමතක නොවන පාඩමක්‌ ඉගැන්වූ හෙළ ජාතික වීරයන් බවට පත්වීමයි. රට ආක්‍රමණය කර වාරිකර්මාන්ත ශිල්පීන් දොළොස්‌ දහසක්‌ ඇතුළු සජීවී අජීවී වස්‌තු කොල්ලකැගෙන ගිය කරිකාලන්ගේ රාජ්‍යයට කඩාවැදී ලංකාවෙන් ගෙනගිය වස්‌තුවත් වාරිකර්මාන්ත ශිල්පීනුත් කළ වරදට දඬුවමක්‌ වශයෙන් දෙමළ දේශයේ පූජිත පත්තිනි සළඹත් විසිහතර දහසක්‌ දෙමළ ශිල්පීනුත් ගෙන එන්නට සමත්වූ ගජබා රජතුමාගේ විජයග්‍රහණයේ ප්‍රතිඵලයක්‌ වූයේ පත්තිනි සළඹ සමග ගෙනා තේවා බාර කපුවන් හා කලාකරුවන් නිසා ගම්මඩු, පාන්මඩු, දෙවොල්මඩු හා තෙල්මේ නැටුම් ආදී අභිචාරවිධි හා කලා ශිල්ප සම්ප්‍රදායකින් ශ්‍රී ලංකා සමාජය පෝෂණය වීමයි. කරිකාලන්ගේ ආක්‍රමණයෙන් හා ගජබාවන්ගේ විජයග්‍රහණයෙන් යළිත් වරක්‌ පැහැදිලි වූයේ විපත සැපතට හරවා ගන්නා සිංහල ජාතිය විනාශ කළ නොහැකි බවයි.


ද්‍රවිඩ බලය අභිබවනය කළ ගජබා රජතුමාගේ මුණුබුරු වසභ රජතුමා රටේ සියලු පළාත් එකමුතුවන සේ සොළොස්‌ මහා වැව් කරවා ඇළවේලි බඳවා යාපාපටුන පාලනය කිරීමේ දී අනුගමනය කළ යුතු උපදෙස්‌ ඇතුළත් රන්සන්නසක්‌ යාපනය පාලනය කළ ඉසිගිරි ඇමැතියා වෙත යෑව්වේ රන්තහඩුවක ලේඛනගත කළ ශ්‍රී ලංකාවේ දිදුලන ඉතිහාසය මතු පරම්පරාවන්ටද දැකගත හැකිවන අයුරිනි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ යාපන අර්ධද්වීපයේ වල්ලිපුරම් ප්‍රදේශයේ කුඹුරකින් සොයාගත් වල්ලිපුරම් රන්තහඩුවෙන් කියෑවෙන්නේ හෙළ ජාතික දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික ක්‍රියාදාමයෙන් බැඳුණු ශ්‍රී ලංකාවෙන් යාපන දර්ධද්වීපයද වෙන්කළ නොහැකි බවයි. දුටුගැමුණු රජතුමන්ගේ නායකත්වයෙන් එක්‌සේසත් කළ ශ්‍රී ලංකාව ජලයෙන් ඈ» වසභ රජතුමාගේ දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික සංවර්ධන පිළිවෙත ඉදිරියට ගෙනයමින් අඹන්ගඟ හරස්‌ කර අංගමැඩිල්ල වේල්ල බඳවා ඇලහැර ඇළ ඔස්‌සේ මින්නේරි මහවැව දක්‌වා ජලය ගෙනගිය මහසෙන් රජතුමා මින්නේරිය දෙවියන් ලෙස ජනහදවත් තුළ වැජඹෙන්නේ මින්නේරි මහවැව නිසා මිස ලොව උසම ස්‌ථූපය වූ ඡේතවන දාගැබ කරවීම නිසා නොවේ. ඇලහැර ඇළ හා මින්නේරි මහවැව ඇතුළු වැව් ඇළවේලි පද්ධතියක්‌ කරවා ජනහදවත් තුළ දේවත්වයට පත්වූ මහසෙන් රජතුමාගේ විනාශකාරී ආගමික සංස්‌කෘතික වැඩපිළිවෙළට එරෙහිව නැඟී සිටින්නට අධිෂ්ඨාන සහගත වූ දේශප්‍රේමී ජාති හිතෛශී ශාසනමාමක ජනතාවගේ විරෝදාර ක්‍රියාමාර්ගය නිසා ජනතාවට හිසනමා තම වරද නිවැරැදි කරගනිමින් ජනතාවගේ ඉල්ලීම අනුව තමන්ගේ මෙහෙයවීමෙන්ම කඩා බිඳදැමූ මහාවිහාරය නැවත ගොඩනැඟීමට එකඟවූ මහසෙන් රජුගේ ක්‍රියාමාර්ගයෙන් පෙනීයන්නේ ජනමතයට ගරුකරන ජන හිතකාමී නායකයන් සහිත ජාතියක්‌ විනාශකළ නොහැකි බවයි. ජනතාව සමග එකහදින් එක්‌වී දියත්කළ සංවර්ධන ක්‍රියාමාර්ග පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙනයාහැකි බව දෙවැනි අග්‍රබෝධි රජ සමයේ ඇලහැර ඇළ, කන්තලේ මහවැව දක්‌වා සැතපුම් අනූගණනක්‌ දුරට දීර්ඝ කිරීමෙන් පැහැදිලි වේ. එවන් මහා නිර්මාණ කළ ජාතියක්‌ විනාශ කළ නොහැක.


වැවයි දාගැබයි කෙත්යායයි මත පදනම් වූ සාමකාමී ශ්‍රී ලංකාව සිව්වැනි වරටත් ආක්‍රමණය කළ දාඨිය, පීඨිය, පාරින්ද, තිරීතර ආදීන්ට රජරට යටත්කර ගත හැකි වුවද වීරෝදාර සිංහල ජාතිය දශක දෙකකට වැඩි කලක්‌ යටත්කර තබාගත නොහැකි බව පෙන්වූයේ පරසතුරන් විසින් ඝාතනය කරන ලද දාඨාවන්ගේ පුත් ධාතුසේන කුමාරයාට රැකවරණ දී ශිල්ප ශාස්‌ත්‍ර උගන්වා සැබෑ ජාතික වීරයකු බවට පත්කරන්නට සමත් වූ මහවංශ කර්තෘ මහානාම හිමියන්ගේ මගපෙන්වීම ඔස්‌සේ සංවිධානයවී ඉදිරියට ගිය විමුක්‌තිකාමී ජනතාව විසිනි. මහනාම හිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ධාතුසේන කුමාරයාගේ නායකත්වයෙන් පරසතුරෙන් පරදා ජයගෙන සුවිසාල කලා, බලලු වැව් බඳවා කාලාවැවේ සිට යෝධඇළ ඔස්‌සේ තිසාවැව දක්‌වා සැතපුම් පනස්‌ හතරක්‌ (කිලෝ මීටර් අසූහයක්‌) දුරට ජලය ගෙනයමින් තවත් ලෝක උරුමයක්‌ නිර්මාණය කරමින් ජලය තම වස්‌තුව යෑයි විශ්ව කීර්තියට පත්වූ ප්‍රකාශයක්‌ කරමින් ලෝක ඉතිහාසයට එක්‌වූ ධාතුසේන රජතුමන් විසින් පෙන්නුම් කරන ලද්දේ ලොවටම නිවැරැදි මඟ පෙන්වීමට සමත්වන මහා සංඝරත්නය ප්‍රමුඛ සිංහල ජාතිය වහල්කර තබාගන්නට නොහැකි බවයි. කලාවැව හා යෝධ ඇළ වැනි මහා නිර්මාණ කළ ජාතිය විනාශ කළ නොහැක. පරන්තකගේ හා ශ්‍රීමාර ශ්‍රීවල්ලභගේ නායකත්වයෙන් සිදුවූ ආක්‍රමණ වලදී කොල්ලකාගෙන ගිය වස්‌තුවත් කළ වරදට වන්දිත් ලබාගන්නට දෙවැනි සේන රජතුමා හා සේන සෙනෙවියා ප්‍රමුඛ රණවිරුවන්ටත් හතර වැනි මහින්ද රජතුමා හා විදුරඟ සෙනෙවියා ප්‍රමුඛ භීම වික්‍රමාන්විත දේශප්‍රේමීන්ටත් හැකිවූයේ, ඕනෑම සතුරු බලවේගයක්‌ හමුවේ අභීතව ඉදිරියට යන්නට අධිෂ්ඨාන සහගත වූ මුතුන්මිත්තන්ගෙන් උරුම වූ ජාතිහිතෛශීභාවය නිසා බව නිසැකය.


ශ්‍රී ලංකාවට කාඩාවැදුණු අටවැනි ආක්‍රමණිකයා ලෙස යාපන අර්ධදවීපයෙන් ගොඩබට ස්‌ථානයේදීම පරාජය වූ තුන්වැනි ක්‍රිෂ්ණ පරාජිතව පසුබැසගොස්‌ දකුණු ඉන්දියානු රජ්‍යතාන්ත්‍රිකයන් හමුවේ ප්‍රකාශකර සිටියේ සිංහල ජාතිය පරාජය කළ නොහැකි බවයි. පරාජය වී දිවි රැකගෙන පසුබැස ගිය තුන්වැනි ක්‍රිෂ්ණගේ ප්‍රකාශය ප්‍රචාරයවීමේ ප්‍රතිඵලය වූයේ, සියවසක්‌ තරම් කාලයකට ශ්‍රී ලංකාවට පරසතුරු තර්ජනයක්‌ එල්ල නොවීමයි. ආත්ම හරණයෙන් සේවයට කැපව මහා සංඝරත්නයේ මාර්ගෝපදේශකත්වය ලබා ජීවිත පරිත්‍යාගයෙන් රට දැය සමය රැකගන්නට කැපවන අපේ වීරෝදාර ජනතාව පරාජය කර විනාශ කළ නොහැකි බව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පළමුවැනි ආක්‍රමණික සේනාව සමූලඝාතනයෙන් පරාජයවීම දක්‌වාවූ පරසතුරු ආක්‍රමණ දහසයක්‌ අභිබවනය කිරීමට සමත් වූ වසර දෙදහස්‌ ගණනක වීරෝදාර හෙළයේ ඉතිහාසයෙන් මනාව පැහැදිලි වී ඇත. මුළුමහත් ඉන්දියානු අර්ධමහාද්වීපයම තමන් යටතටගෙන ඉන්දියන් සාගර කලාපය පුරා අණසක පතුරුවන්නට සමත් වූ මුන්මඩිචෝල මණ්‌ඩල නායකයන් වූ රාජරාජ හා රාඡේන්ද්‍ර අධිරාජයන්ට වුවද ශ්‍රී ලංකාවේ පස්‌වැනි මහින්ද රජු සිරකරුවෙක්‌ බවට පත්කර ගතහැකිවූයේ පොත්ථකූට්‌ඨ වැනි දෙමළ ඇමැතියන්ගේ කූට උපදෙස්‌වලට රැවටුණු දුර්වල පාලකයන්ගේ වැරැදි ක්‍රියාමාර්ගය නිසාය. අනුරාධපුර යුගයේ අවසාන භාගයේ රජවූ ඇතැම් නායකයන් මතට ලොල් වූ දුර්වලයන් වීම නිසා අනුරාධපුර රාජධානිය සතුරු බලයට යටවුවද කීර්ති කුමාරයාගේ නායකත්වයෙන් ගෙනගිය දිග් ගැසුණු දුෂ්කර විමුක්‌ති සටන් ක්‍රියාදාමය තුළ ආත්ම පරිත්‍යාගයෙන් අභීතව ඉදිරියට ගිය දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක වීරයන්ට වුළුමහත් දකුණු ආසියාවටම ආදර්ශයක්‌ වන විජයග්‍රහණයක්‌ ලබා සිය ජාතික ආගමික සංස්‌කෘතික උරුමය රැකගත හැකි විය. නීලකණ්‌ඨශාස්‌ත්‍රී වැනි ඉන්දියානු ඉතිහාසඥයන් විසින් පවා ශ්‍රේෂ්ඨ විමුක්‌තිකාමියකු ලෙස හඳුන්වන ලද මහවිජයබා නමින් රජවූ කීර්ති කුමාරයා වැනි වීරයන් බිහිකරන ලද සිංහල ජාතිය විනාශ කළ හැකි ආක්‍රමිණික බලවේගයක්‌ ඇති විය නොහැක. එසේවුවත් පරසතුරන් විසින් පතුරුවන මත් උවදුරට වහල් වුවහොත් බොහෝ හානි සිදුවිය හැකි බවද රහසක්‌ නොවේ.


සතුරන් විසින් බිඳහෙළන ලද වැව් ඇළවේලි හා විහාර දාගැබ් පිළිසකර කරමින් පනස්‌ හතර වසක්‌ සාමයෙන් රට කරවූ මහ විජයබාවන්ගෙන් පසු රජ්‍ය උරුමක්‌කාරයන් අතර ඇති වූ අර්බුද නිසා රට කොටස්‌ කීපයකට බෙදාගෙන පාලනය කරන්නට දැරූ බේදවාදී ප්‍රයත්නයන් පරාජය කර මව්බිම එක්‌සේසත් කර පැරැණි වැව් තුන්දහස්‌ හයසිය ගණනක්‌ පිළිසකර කරවා අලුතෙන් ලොකු, කුඩා, මධ්‍යම ප්‍රමාණ වැව් එක්‌දාස්‌ හාරසිය හැත්තෑ අටක්‌ බඳවා ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට හරවා තුන්නිකාය සමගිකර ගල්විහාරය වැනි ලෝක පූජිත විහාර කර්මාන්ත කරවා දහම් දිවයින ලෙසින් ප්‍රකටව පැවති අපේ මාතෘ භූමිය ආසියාවේ බෞද්ධ සංස්‌කෘතික මූලස්‌ථානය බවට පත්කරන්නට නායකත්වය දුන් මහපැරකුම්බා වැනි විශාරද වික්‍රමාන්විත රජුන් බිහිකළ ජාතියක්‌ විනාශකළ නොහැකි බවට සැකයක්‌ නැත. නිශ්ශංකමල්ල රජතුමාගෙන් පසු රජවූ කල්‍යාණවතී රැජින වැනි දුර්වල නායිකාවන්ගේ අසාර්ථකභාවය තම වාසියට හරවාගෙන රජරට තමන් යටතට ගත් කාලිංග මාඝගේ කුරිරු ක්‍රියාමාර්ගයෙන් වුවද විමුක්‌තිකාමී සිංහල ජාතිය විනාශකළ නොහැකි වූයේ දෙවැනි පැරකුම්බාවන් තුළින් ශූරවීර බෝධිසත්ව නායකත්වයක්‌ මතුකරගන්නට කටයුතු කළ පූජාවලී කර්තෘ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් හා සද්ධර්මරත්නාවලී කර්තෘ ධර්මසේන හිමියන් ප්‍රමුඛ ආත්ම හරණයෙන් සේවයට කැපවුණු මහාසංඝරතනයේ මාර්ගෝපදේශකත්වය ලැබූ වීරබාහු ඈපා සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත පැරකුම් පුත් බුවනෙකබාහු සේනාපතීන්ගේ මෙහෙයවීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන්කළ දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක රණවිරුවන් විසින් කරන ලද කැපකිරීම නිසාය. පොළොන්නරුව සතුරන්ට යටවන විට දඹදෙණිය මුල්කරගෙන නව සමෘද්ධිමත් රාජධානියක්‌ ගොඩනඟන්නට අධිෂ්ඨාන සහගත වූ වීරෝදාර ජාතිය විනාශ කළ නොහැක. ඒ උදාර ජාතියේ කීර්ති රාවය ආසියාව පුරා පැතිරීගියේ, වීදාගම මහනාහිමි සෙවනේ හැදීවැඩී ශිල්ප ශාස්‌ත්‍ර ඉගෙනගෙන හයවැනි පැරකුම්බා නමින් රජ වී රට එක්‌සේසත් කළ සුනේත්‍රාදේවී පුත් පැපිලියානේ කුමාරයා ප්‍රමුඛ දේශප්‍රේමී ජාති හිතෛෂී මුතුන්මිත්තන් විසින් දරණ ලද මහා ප්‍රයත්නයන් නිසාය.


හයවැනි ශ්‍රී පැරකුම්බාවන්ගේ නායකත්වයෙන් පැවති සමෘද්ධිමත් සමයේ බිහිවූ ගුත්තිලය, කාව්‍යශේඛරය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව, සැලලිහිණිය වැනි ශ්‍රෝෂ්ඨ සාහිත්‍ය කෘතීන්ගෙන් පැහැදිලි වන්නේ එවන් විශ්මිත විදග්ධ සාහිත්‍යයක්‌ බිහිකළ හැකි ජාතියක්‌ විනාශකළ නොහැකි බවයි. ලොව ශ්‍රේෂ්ඨතම ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථය වූ මහාවංශය වැනි මහා කෘතීන් බිහිකළ, බුදුන්වහන්සේගේ මහා පෞරුෂය ප්‍රකට කරන අව්කන පිළිමය, අනුරාධපුර සමාධි පිළිමය හා මාලිගාවිල බෝසත් පිළිමය වැනි මහා නිර්මාණ කළ ජාතියක්‌ විනාශකළ නොහැකි බවට සැකයක්‌ නැත. මුළුමහත් සුවිසාල බ්‍රසීලය යටත්කළ, පෘතුගීසින්ට ආසියා, අප්‍රිකා ඉතිහාසයේ ලොකුම පරාජයන් අත්කරදුන් අපේ ශ්‍රේෂ්ඨ ජාතිය විනාශකළ හැකි බලවතෙක්‌ නැති බව ලොකු කුඩා දූපත් දහස්‌ ගණනින් සැදි ඉන්දුනීසියාව යටත් කළ ලන්දේසීන් ලංකාවේදී ලැබූ පරාජයන්ගෙන් මනාව පෙන්නුම්කර ඇත. යුදබිමේ පරාජය කළ නොහැකි ඉර නොබස්‌නා අධිරාජ්‍යයේ ආධ්‍යාත්ම බලය පානදුරා වාදයේදී පරදවන්නට සමත් වූ හෙළ බොදු ජනතාව අධ්‍යාත්මිකව පරාජය කළ නොහැකි බව මහාදාර්ශනික වාද පහක්‌ විජයග්‍රහණයන්ගෙන් තහවුරු වී ඇත.


ලොව සියලු නව යටත් විජිතවාදී බලවේගයන්ගේ ආධාර අනුබල ලැබූ දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදය යුදබිමේදී මුළුසුන් කිරීමෙන් පෙන්නුම් කරන ලද්දේ අනාගාරික ධර්මපාලතුමන් ලෝක දෘෂ්ඨි සම්මේලනයේදී ලැබූ දාර්ශනික විජයග්‍රහණය රණවිරුවන් යුදබිමේදී අධ්‍යාත්මිකව මෙන්ම භෞතිකවද ලබාදුන් බවයි. අනගාරික ධර්මපාලතුමන් පුංචි ශ්‍රී ලංකාව වටා බුදුදහම මුල්කරගෙන ගොඩනැඟූ ජාත්‍යන්තර බලවේගය රාජ්‍යතාන්ත්‍රික ක්‍ෂේත්‍රයට ගෙන එන්නට නොබැඳි සමුළුවට නායකත්වය දුන් බණ්‌ඩාරනායක මැතිනිය ප්‍රමුඛ සමගි පෙරමුණ නායකත්වය දුන් ත්‍රස්‌ත විරෝධී දේශපාලන පෙරමුණ ගොඩනැඟූ මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ දේශප්‍රේමීනුත් සමත් වී ඇති හෙයින් පූජනීය ශ්‍රී ලංකා භූමිය බෙදා වෙන්කළ නොහැකි බව සහතික වී ඇත. බුද්ධශාසනය ලක්‌බිම තුළ සුරක්‍ෂිතව පවතිනතාක්‌ බුදු සසුන රැකගන්නට කැපවුණු ශ්‍රේෂ්ඨ ජාතිය විනාශ කළ නොහැකි බව ඒකාන්තය, නිසැකය.

-අනගාරික ධර්මසේකරතුමා
උපුටා ගැනීම
දිවයින
2010/11/09

දිවයින පුවත්පතේ  2010/11/09 දින පලවූ ලිපියකි

Related

අනගාරික ධර්මසේකර තුමා 8446892600284173605

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item