ඉන්දීය ආණ්‌ඩුව කැළඹු ජෙනරාල්ගේ උපන් දිනය

-චතුර පමුණුව   ජෙනරාල් විඡේ කුමාර් සින් ඉන්දියා හමුදාවේ 26 වැනි හමුදාපතිවරයාය. ඔහුගේ පියා මෙන්ම, සීයා ද හමුදා නිලධාරීන් වන අතර ...

-චතුර පමුණුව
 ජෙනරාල් විඡේ කුමාර් සින් ඉන්දියා හමුදාවේ 26 වැනි හමුදාපතිවරයාය. ඔහුගේ පියා මෙන්ම, සීයා ද හමුදා නිලධාරීන් වන අතර මේ හමුදාපතිවරයා උපන්නේද පූනේහි පිහිටි කඩ්කි හමුදා රෝහලේය. 1970 දී ඉන්දීය හමුදාවේ දෙවැනි රාඡ්පුට්‌ රෙජිමේන්තුවට සම්බන්ධ වූ මොහු ජෙනරාල් දීනක්‌ කපූර් විශ්‍රාම ගැනීමෙන් පසු ඉන්දීය හමුදාවේ 26 වැනි හමුදාපතිවරයා ලෙස 2010 මාර්තු මාසයේ වැඩ භාර ගත්තේය. ජෙනරාල් සින් මිලියන 1.2 කට අධික හමුදා පිරිසකගේ නායකයා වන අතර ලොව විශාලතම ස්‌වෙච්ඡා බලසේනාව අයත් වන්නේද ඉන්දීය හමුදාවටය.

ඉන්දියානු හමුදාපතිවරයා මෙන්ම පාකිස්‌තාන හමුදාපතිවරයා ද මේ දිනවල මාධ්‍යයන්හි කතාබහට ලක්‌ වේ. ඉන්දීය හමුදාපතිවරයා කතාබහට ලක්‌වෙන්නේ ඔහුගේ වයස පිළිබඳ ඇති ප්‍රශ්නයක්‌ නිසාය. එහෙත් පාකිස්‌තාන හමුදාපති ගැන සාකච්ඡා වන්නේ ඔහු එරට නැවතත් හමුදා කුමන්ත්‍රණයක්‌ ඇති කරයිද යන සැකයෙනි.

ජෙනරාල් සින් වයස පිළිබඳ අර්බුදයක පැටලී ඇති නිසා මන්මෝහන් සින්ගේ ආණ්‌ඩුව ද තරමක්‌ අපහසුතාවට පත්වී ඇත. ඉන්දීය ආරක්‍ෂක ඇමැති ඒ. කේ. ඇන්තනී පවසන්නේ මේ වයස පිළිබඳ අර්බුදයට වගකිවයුත්තේ හමුදාව මිස ඉන්දීය රජය නොවන බවයි. වසර 36 ක්‌ තිස්‌සේ ඉන්දීය හමුදාවේ අංශ දෙකක්‌ මේ ජෙනරාල්වරයාගේ උපන්දිනය ලෙස දින දෙකක්‌ තබා ගැනීමට ආණ්‌ඩුව වගකිව යුතු නැති බව ඉන්දීය ආරක්‍ෂක ඇමැතිවරයා කියයි.

ඇත්තෙන්ම ඉන්දීය හමුදාපතිවරයා පවසන්නේ ඔහුගේ උපන්දිනය 1951 මැයි 10 වැනිදා බවයි. මෙය සහතික කිරීමට ඔහු උප්පැන්න සහතිකය ඇතුළු ලිපි ගණනාවක්‌ ඉදිරිපත් කරයි. කෙසේ නමුත් ඉන්දීය හමුදා ලේකම්වරයා සතු වාර්තාවල දැක්‌වෙන්නේ ජෙනරාල්වරයා උපන් වර්ෂය 1950 මැයි 10 වැනිදා බවයි. හමුදාවේ සේවා දීර්ඝ කිරීම් උසස්‌වීම් සියල්ල තීරණය කෙරෙන්නේ හමුදා ලේකම්වරයා සතු ලිපි ලේඛන අනුවයි.

ජෙනරාල්වරයා 1950 උපන්නේ නම් ඔහු මේ වසරේ 31 වැනිදා විශ්‍රාම යා යුතුය. 1951 උපන්නේ නම් ඔහු විශ්‍රාම යා යුත්තේ 2013 වසරේදී. ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය පවසන්නේ හමුදාපතිවරයා මේ වසරේ විශ්‍රාම යා යුතු බවයි. මේ ගැන උරණ වී ඇති ජෙනරාල් සින් සිය වයස තහවුරු කිරීමට ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක්‌ පවරා ඇත.

සින් පවසන්නේ තමා විශ්‍රාම යා යුත්තේ මේ වසරේදී නොව ලබන වසරේදී බවයි. තමා උපන්නේ 1950 බවට වාර්තා කර ඇත්තේ වැරැදීමකින් බවත් එම වැරැද්ද සිදු කර ඇත්තේ වයස 14 දී තමා ඉගෙන ගත් ජාතික ආරක්‍ෂක ඇකඩමියේ ගුරුවරයකු විසින් බවත් හෙතෙම කියයි. මේ වයස ප්‍රශ්නය විසඳන ලෙස තමා හිටපු හමුදාපතිවරුන් වන දීනක්‌ කපුර්ට හා ජෙනරාල් ඡේ. ඡේ. සින්ට දැන්වූවත් ඔවුන් එය නිවැරැදි කිරීමට උනන්දු නොවූ බව හමුදාපති පවසයි. ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශය නම් පවසන්නේ ජෙනරාල් සින් බොරු කරන බවයි.

වර්තමාන හමුදාපතිවරයා මේ වසරේ මැයි මාසයේදී විශ්‍රාම ගතහොත් හමුදාපති ලෙස පත්වන්නේ ඉන්දීය හමුදාවේ නැගෙනහිර ආඥාපති ලුතිනන් ජෙනරාල් බික්‌රම් සින් ය. ඔහු 2013 දී විශ්‍රාම ලැබුවහොත් උතුරු ආඥපති ලුතිනන් ජෙනරාල් කේ. ටී. පාර්නයින් පත්වනු ඇත. ජෙනරාල් සින්ට සිය ධුර කාලය සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් එනම් ලබන මැයි මාසයට පෙර විශ්‍රාම යන්නට සිදුවුවහොත් එවිට ඉන්දීය හමුදාවේ 27 වැනි හමුදාපතිවරයා වන්නේ ලුතිනන් ජෙනරාල් "ශන්කර් ජොශ්ය." ඔහු බස්‌නාහිර ආඥපතිවරයා ය.

වර්තමාන හමුදාපතිවරයා දූෂණයට, වංචාවට එරෙහි තදින් ක්‍රියාකරන නිසා ඔහුට හමුදාවේ මෙන්ම ආණ්‌ඩුවේ ද ප්‍රධානීන් අකැමැති බව මේ සිද්ධිය පිළිබඳ ලිපියක්‌ ලියන සුධා රාමචන්ද්‍රන් පවසයි. විශේෂයෙන්ම හිටපු හමුදාපතිගේ හිතවතෙකු වූ ජෙනරාල් අවදේශ් ප්‍රකාශ් බටහිර බෙංගාලයේ හමුදාව සතු ඉඩමක්‌ පෞද්ගලික ආයතනයකට පැවරීමට එරෙහිව ජෙනරාල් සින් තදින්ම ක්‍රියා කළේය. එවක ඔහු ඉන්දීය හමුදාවේ නැගෙනහිර ආඥපති විය.

හිටපු හමුදාපති දීනක්‌ කපුර් මේ ප්‍රශ්නයේදී ජෙනරාල් අවදේශ් ප්‍රකාශ්ගේ පැත්ත ගත්තද ජෙනරාල් සින් නීතිය තදින්ම ක්‍රියාත්මක කළේය.

ඉදිරියේදී ඉන්දීය හමුදාපතිවරයා වීමට සිටින ජෙනරාල් "රික්‌රම් සින්ට එරෙහිව කාශ්මීර් මහාධිකරණයේ නඩුවක්‌ පවරා ඇත. මෙයද ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශයට තවත් හිසරදයක්‌. කෙසේ නමුත් මේ අර්බුදය ඉන්දීය හමුදාවට මෙන්ම රජයටද නින්දාවකි.


චතුර පමුණුව

උපුටා ගැනීම
ඉරිදා දිවයින
2012-02-05

Related

චතුර පමුණුව 1363617131829511339

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item