ඉන්දියාව, චීනය හා 13 වැනි සංශෝධනය

මේ මොහොතේ ඉන්දියාව විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කරවීම සඳහා ශ‍්‍රී ලංකාව වෙත පීඩනය මුදාහරිමින් සිටින බව වාර්...


ඉන්දියාව, චීනය හා 13 වැනි සංශෝධනයමේ මොහොතේ ඉන්දියාව විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කරවීම සඳහා ශ‍්‍රී ලංකාව වෙත පීඩනය මුදාහරිමින් සිටින බව වාර්තා වේ. ඉන් දිරිමත් වී දෝ දෙමළ ජාතික සංධානය දැන් පොලිස් හා ඉඩම් බලතල ඉක්මවා මූල්‍ය බලතල ද ඉල්ලන බව දැනගන්නට තිබේ. ඇතැම් පාර්ශව වල අදහස් වී ඇත්තේ ඉන්දියාව ශ‍්‍රී ලංකාවට කරන බලපෑම යුක්ති යුක්ත බව ය. කොටි සංවිධානය පරාජය කිරීමේ ව්‍යාපෘතියේ දී  නිහඬ ව සිටිමින් ඉන්දියාව ශ‍්‍රී ලංකාවට නොසෑහෙන මෙහෙයක් ඉටු කළ හෙයින් දැන් ඉන්දියාව විසින් කරන බලපෑමට අප ගොදුරු විය යුතු බව ඔවුන්ගේ මතයයි. එහෙත් පවතින භූමි යථාර්ථය නොසලකා හරිමින් ඉන්දියාව වෙනුවෙන් එවැනි කැපකිරීමක් කිරීම සාධාරණ ද?  ඇරත් කොටි සංවිධානයට එරෙහි අවසන් ශ‍්‍රි ලංකා මෙහෙයුමේ  දී ඉන්දියාව නිහඬ ව සිටියේ අන් කාරණයක් නිසා නොව, ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම ශ‍්‍රී ලංකාවට වඩා තමාට වාසිදායක බව නව දිල්ලි පාලනය කල්පනා කළ නිසා ය. නව දිල්ලියට උතුරින් තිබෙන කාශ්මීරයක් ඊට දකුණින් ද ඇවිලෙනු ඉන්දියාවට දරාගත නොහැකි ය. දමිළ බහුතරයක් වෙසෙන තමිල්නාඩු වැනි ප‍්‍රාන්ත පිළිබඳ හින්දු බහුතර උතුරට හා ඉන්දියානු මධ්‍යම රජයට ඇත්තේ සුළුපටු සැක සංකා නොවේ. තමින්නාඩු වැනි ප‍්‍රාන්තවල තිබෙන බෝර්ඞ් ලෑලිවල හින්දි දේවනාගරී අකුරු මැකෙන්නේ නිකං නොවන බව මධ්‍යම රජය මනාව දැන සිටී. මේ අනුව, චෙන්නායි සිට නව දිල්ලියට වඩා කිලෝමීටර් දහස් ගණනක් මෑතින් පිහිටි ලංකාවේ උතුරු කෙරවලේ ඊළාම් රාජ්‍යක් බිහිවීම ඉන්දියාවේ තමිල්නාඩුව වෙනම රාජ්‍යක් වීමේ පළමු පියවර බව ඉන්දියානු අවබෝධයයි. ඒ අනුව, කොටි සංවිධානය මෙල්ල කිරීම සඳහා ඉන්දියාව විසින් ලංකවට ලබාදුන් සහාය තුළ වැඩි වැඩියෙන් ම කැපී පෙනෙන්නේ සහෝදර පේ‍්‍රමය නොව ආත්මාර්ථයයි. ශ‍්‍රී ලංකාව විසින් කොටි සංවිධානය පරාජය කිරීම පිළිබඳ ඉන්දියානු යටි සිත එක් අතකින් සතුටු වන විට තවත් විටෙක එය ම ලංකාවට ඊර්ෂ්‍යා කිරීම ද කරන්නේ ය. ඒ තමාගේ දකුණතින් පිහිටි මූලෝපායික ව වැදගත් රට චිනයේ දේශපාලන හා රාජ්‍ය තාන්ත‍්‍රික සහාය ඇති ව ලොව දරුණුතම සන්නද්ධ සංවිධානය සහමුළින් ම පරාජය කළ නිසා පමණක් ම නොවේ, ලොව සුවිසල් ම හමුදාවලින් එකක් වන තමාට එය කිරීමට වරෙක නොහැකි වූ ද නිසා ය.
දැන් ශ‍්‍රී ලංකාව විසින් ඉන්දියානු ස්වෛරීත්වයට එරෙහි ව නැගී සිටිය හැකි ව තිබූ කොටි සංවිධානය පරාජයට පත්කොට තිබේ. එවැන්නකින් දැන් අබමල් රෙනුවක හෝ තර්ජනයක් නොමැති බව දන්නා ඉන්දියාව දැන් තනන්නේ තම යටි සිතේ නලියන දෙවැනි සිතුවිල්ල* එනම් ඊර්ෂ්‍යා සාධකය කැටිකරගත් චීන ෆෝබියාවට ඉඩ දීමට ය. පූර්ණ වටයක් ගසා නැවත පැමිණ තිබෙන විට ඉන්දියාවේ එවකට සතුරා වූ ඇමරිකාව දැන් මිතුරා වී තිබේ. සතුරු ග‍්‍රහස්ථානයේ ඉන්නේ චීනයයි. කොටි සංවිධානය පුහුණු කිරීම, මුදල් සැපයීම හා භූමි භාවිතය සඳහා ඉඩ දීම මෙන් ම 13 වැනි සංශෝධනය බලෙන් පැටවීම ඇතුළු සකල විධ අඩංතේට්ටම් එදා ඉන්දියාව විසින් ශ‍්‍රී ලංකාවට කළේ ජේ ආර්ගේ ශ‍්‍රී ලංකාව තම සතුරු ලිබරල් ඇමරිකාව දෙසට තල්ලූ වීම නිසා ය. එහෙත් දැන් ඉන්දියාව එසේ කරන්නේ ශ‍්‍රි ලංකාව ලිබරල් ඇමරිකා*බටහිර දෙසට තල්ලූ නොවීම නිසා ය. අහෝ ඛේදයකි
වත්මන් ඉන්දියානු බලපෑම අවම වශයෙන් දෙයාකාර විය හැකි ය. එකක් නම් 13 ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රතිවිපාක දැන දැන ම හා ශ‍්‍රි ලංකාව විසින්  එවැන්නක් ක‍්‍රියාත්මක නොකරතැයි ද දැන, එහෙත් සිංහලයා බියට පත් කරමින් තවදුරටත් ශ‍්‍රි ලංකාවේ වෙළඳ පොල තුළට ඇතුළු වීම සඳහා රජය හරහා පහසුකම් ලබා ගැනීම ය. විශේෂයෙන් ම චීන ව්‍යාපාරික පංගුව තරම්ම කොටසක් තමන්ට ද ලබා ගැනීම ඉන්දියානු අරමුණ විය හැකි ය. දෙවැන්න තම තමිල්නාඩු සාධකය, දමිළ  දේශපාලකයින් හා දමිළ ඩයස්පෝරාව සිත් හි දරා ඇත්ත වශයෙන් ම ශ‍්‍රි ලංකාව බලය බෙදීමකට තල්ලූ කොට අවසන් මෙහෙයුම කාලයේ කිසිවක් නොකර තමා නිහඬ ව සිටි බවට වන වරදකාරී හැ`ගීම තුරන් කිරීම ය. මේ දෙකින් කොයි එක යටතේ බලපෑම් එල්ල කළ ද ප‍්‍රතිඵලය වන්නේ පසුගිය කාලයේ ඉන්දියාව පිළිබඳ බහුතර සිංහල ජන මනස තුළ ඇති වෙමින් තිබූ සුබ අපේක්ෂාව අසුබ වීම ය. මෙය ශ‍්‍රි ලංකාවේ ඉන්දියානු අභිලාෂයන්ට දැඩි ප‍්‍රති විපාක සදනු ඇත.
ඉන්දියාව  නැගී එන කලාපීය බලයක් බව නොකිවමනා ය. එහෙත් ගෝලීය බලයක් ලෙස චිනයේ නැගීම නැමැති යථාර්ථය ඉන්දියාව විසින්  පිළිගැනීම අත්‍යාවශ්‍ය වේ. එම නැගීම ඉන්දියාවට මාර්ග බාධක දමා නැවතිය හැකි එකක්  නොවේ. බටහිරට, විශේෂයෙන් ඇමරිකාවට චීන නැගීම දිරවාගත හැකි කල්කයක් නොවන බව ඇත්තකි. බැසයන ඇමරිකාවේ නවතම බල ඇස යොමුව තිබෙන්නේ චීනය දෙසට ය. ඒ බව පසුගිය දා හෙළි වූ පෙන්ටගනයේ මිලිටරි සැලසුමෙන් ම ද සනාථ විය. මේ වන විට ඇමරිකාවේ බලගතු ම ආසියානු මිතුරා වූ පාකිස්ථානය ද දැන් ඇමරිකාවට අහිමි ව චීනය දෙසට ගමන් කරමින් තිබේ. වරක් නීච ලෙස සලකා ප‍්‍රතික්ෂේප කොට තිබූ ඉන්දියාව දැන් ඇමරිකාවට හොඳ වී තිබේන්නේ මේ බල හිඩැස වසා ගැනීම සඳහා ය. මේ වන විට ඉන්දියාව චීනය සමග වඩාත්  හැප්පීමට සූදානම් වන්නේ නම් ඒ ඉන්දියානු අවශ්‍යතා වෙනුවෙන් නොවන බව නම් පැහැදිළි ය. ඒ වරක් මුළු ආසියානු කලාපයම පෙලූ ඇමරිකා-බටහිර මිලිටරි/ආර්ථික ව්‍යාපෘථිය වෙනුවෙනි. බටහිරයන්ගේ බෙදාවෙන් කර පාලනය කිරීමේ උගුලෙහි නවතම පෙනී සිටීම වන එය වත්මන් ආසියානු නැග්ම කුරවල් කරනු ඇත.
තවත් කරුණක් අවධාරිත ය. ශ‍්‍රි ලංකාව ඉන්දියානු ප‍්‍රාන්තයක් නොවේ, ස්වෛරී රටකි. ඒ අනුව, ශ‍්‍රි ලංකාව තම නොබැඳී විදේශ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාමත්ක කිරීමේ දී ඉන්දියාවෙන් උපදෙස් පැතීම අවශ්‍ය නොවේ. ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය වෙනස් වෙනස් ස්වරූප ගන්නා විට  ශ‍්‍රී ලංකාව ද එසේ කිරීමට සූදානමින් සිටිය යුතු ද නොවේ. වරක් ඉන්දියාවට තිත්ත කඳුරු ඇමරිකාව දැන් රසගුලාවක් වී තිබුණ ද හෙට අනිද්දා එය වෙනස් කොට චීනය දෙසට යාමේ අවස්ථාව ද තිබේ. ඒ සඳහා ඉන්දියාවට පූර්ණ අයිතිය තිබේ. එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ ශ‍්‍රී ලංකාවට ද ඔවුන් සමගින් යාමට කතා කිරීම ය. කිසියම් රටක් තම විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වන්නේ එම රටේ ජනතා අභිලාෂ වෙනුවෙන් වන අතර සෙසු රටක අභිලාෂ වෙනුවෙන් නොවේ. ශ‍්‍රි ලංකාව බටහිර අතහැර චීනයට ලැදි අවස්ථාවෝචිත ප‍්‍රායෝගික ප‍්‍රතිපත්තියට තල්ලූ ගියේ ශ‍්‍රි ලංකාවේ අභිලාෂවලට එය වඩාත් ගැලපෙන නිසා ය. ලොවට ම හිසරදයක් ව තිබූ කොටි සංවිධානය මුලිනුපුටා දැමීමේ ‘වරදට‘ දඬුවමක් ලෙස බටහිර රටවල් විසින් කප්පරක් මානව හිමිකම් ප‍්‍රශ්න ඉදිරිපත් කරමින් ලංකාව දඬු කඳේ ගැසීමට උත්සාහ කිරීමේ දී ඊට එරෙහි ව ප‍්‍රති බලයක් පැතීම ස්වභාවික ය. කෙසේ වෙතත්, එසේ චිනය දෙසට ගිය පමණින්, ශ‍්‍රි ලංකාව ඉන්දියානු අභිලාෂයන්ට කිසිදු ආකාරයක හෝ හානියක් කරතැයි නවදිල්ලිය සැක කළ යුතු නැත. රාජපක්ෂ පාලනය විසින් මේ සඳහා කදිම රූපකයක් ගෙන විත් තිබේ. එනම් ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ ඥාතියා ද චීනය මිතුරා ද යන්න ය.
ශ‍්‍රී ලංකාව මත නැවත වරක් හෙළිමට යන 13 වැනි සංශෝධනය යනු ශ‍්‍රි ලංකා පාර්ලීමේන්තුව විසින් සිය කැමැත්තෙන් කෙටුම්පත් කොට අනුමත කරගත් ව්‍යවස්ථාවක් නොවේ. පරිප්පු ද සමග එය ශ‍්‍රි ලංකාව මතට  උඩින් පතිත කළ එකකි. එහි උපත ඇත්තේ නවදිල්ලියේ ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ය. ඒ අනුව, දැන් ශ‍්‍රි ලංකාව විසින් කළ යුතු වන්නේ අන් සෑම තැනක දී ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය යොදා  ගත යුතු බව දේශනා කරන්නාක් සේ ම මෙහි දී ද එම ක‍්‍රමය යොදා ගණිමින් මීට වසර 22 කට පෙර අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇª එකී සංශෝධනය පිළිබඳ  අලූතින් සිතා බැලීමට ජනතාවට ඉදිරිපත් කිරීම ය.  ඕනෑම රටක ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා බිම් මට්මේ ජන පදනමක් තිබිය යුතු අතර එසේ නොමැති තැන එවන් සංශෝධනයක් යනු ගැටම හා අසහනය නැවත නැවතත් ජනමන තුළ අවුලන උල්පතකි.
වර්ගවාදී පදනමින් ජන කණ්ඩායම් බෙදා දක්වන 1990 දී හඳුන්වා දුන් 13 වැනි සංශෝධනය යන්න අවුල් උල්පතකි. පොලිස් හා ඉඩම් බලතල නොමැතිව වුව මෙම සංශෝධනය ක‍්‍රියාත්මක කළ දා සිට එහි කාර්යභාරය වූයේ ආණ්ඩුකරණය සඳහා අමතර බරක් දැරීමට ශ‍්‍රී ලංකාවේ බදු ගෙවන්නට සිදුවීම ය. ඉන්දියාව  වැනි රටකට මෙම ක‍්‍රමය මගින් සුභ ප‍්‍රතිඵල ගෙන දෙන්නේ නම් ඒ එම රට භූ ගෝලීය වශයෙන් අපගේ කුඩා රටට වඩා අතිශයින් ම සුවිසල් වීම ය. කොටින් ම එවැනි රටක 13 වැනි බලය බෙදීමක් තිබීම මූල්‍යමය හෝ දේශපාලනමය වශයෙන් අනිවාර්ය කොන්දේසියකි. නිදසුනක් ලෙස ඉන්දියාව යනු ශ‍්‍රී ලංකාවට වඩා හැට ගුණයකින් පමණ විශාල  රටකි. එනම් ලංකාවවල් 60 ක් ඉන්දියාව තුළ තිබේ. එවැනි ජනවාර්ගික වශයෙන් පැහැදිළි වෙනස්කම් සහිත දැවැන්ත රටකට ගැලපෙන ක‍්‍රමයක් ලංකාවට ගැලපීමට යාම අඩි පහක් දිග බූවල්ලෙක අඩි බාගයේ ටැංකියකට  එබ්බ වීම තරම් මෝඩ ක‍්‍රියාවකි. වර්තමාන ලංකා සමාජය තුළ අනර්ථාකාරී ලෙස ඔඩුදුවා තිබෙන ‘දේශපාලනීකරණයට‘ මූලික ම හේතුව ඇත්තේ ද මෙහි මෙම සංශෝධනය තුළ ය. ප‍්‍රාදේශීය දේශපාලකයා මෙන් ම ජාතික මට්ටමේ දේශපාලකයා ද කිසියම් කලාපයක් තුළ තම බලය පතුරුවාලීවේ ස්වභාවික අවශ්‍යතාවෙන් පෙළෙන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ දෙදෙනාම එකී  ජන ගොදුරු බිම් දිනා ගැනීමේ අටියෙන් අනවරත තර`ගයක නිරත වේ.
ඉන්දියාව විසින් පොලිස් හා ඉඩම් බලතල ශ‍්‍රි ලංකාවේ පළාත්සභාවලට දීම සඳහා කරනු ලබන රාජ්‍ය තාන්ත‍්‍රික පීඩනයන්  ස්වයංඝාතක බව ද කිව යුතු ය. විශේෂයෙන් ම එවැන්නක්  ඕනෑම තරමක ගිනි අවියක් සුලබ වර්තමාන යුගයේ ඉතා අවදානම්කාරී පියවරකි. වත්මන් ලෝකයේ බොහෝ සටන් පවතින්නේ ජනතා අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා නොවේ. එහෙත් වෙනත් රටක අභිලාෂයන් ක‍්‍රියාත්මක කරවීම සඳහා ය. මේ බව පසුගිය කාලය පුරාම අපි මැදපෙරදිග දුටුවෙමු. ගඩාපිට එරෙහි අංශ යොදාගෙන ලිබියානු කැරැුල්ල පූර්ණ වශයෙන් මෙහෙයවන ලද්දේ බටහිර රටවල් හා කටාරය වැනි බටහිර ගැති පාලනයන් විසිනි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එවකට ඉන්දියාව එම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළා ය. ප‍්‍රතිඵලය වූයේ තම අගමැතිවරයාගේ මරණයෙන් ඊට වන්දි ගෙවීම ය. පොලිස් හා ඉඩම් බලතල සහිත පළාත් සභාවක්  ඕනෑම අවස්ථාවක ඉන්දියාවේ මෙන් ම ශ‍්‍රී ලංකාවේ ද භෞමික අඛණ්ඩතාවට තර්ජනයක් එල්ල කිරීම සඳහා කිසියම් තෙවැනි පාර්ශවයකට යොදාගත හැකි කදිම අවියකි. වර්මානයේ ද බටහිර රටවල් විසින් කොටි සංවිධානය පෝෂණය කරනු ලබන්නේ තමන්ට කැමති අයුරින් කැමති තැනක එය යොදා ගැනීම සඳහා ය. මේ අනුව, බියට පත්කොට තම අරමුණු දිනා ගැනීම සඳහා හෝ ඇත්ත ම බලය බෙදීමකට ශ‍්‍රී ලංකාවට බලපෑම් කරන ඉන්දියාව වත්මන් ශ‍්‍රි ලංකාවේ භූමි යථාර්ථය අලූත් තක්සේරුවක් කළ යුතු ය. පරිප්පු යුගයේ රාජ්‍ය තාන්ත‍්‍රික හණමිටිවලින් මිදී ඉන්දියාව තම ඥාතියා දෙස අලූතින් බැලිය යුතු ය.

- මහින්ද පතිරණ
උපුටා ගැනීම
lankacnews
2012-02-04

Related

කතිකාචාර්ය මහින්ද පතිරණ 2263301086026405425

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item