සමානයකු නැත -

විමල් වීරවංශ කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කළ කෘතහස්‌ත දේශපාලනඥයකු වූ ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 59 වන ජන්ම දිනය අදට (ජ...

විමල් වීරවංශ
කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කළ කෘතහස්‌ත දේශපාලනඥයකු වූ ජෙයරාඡ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 59 වන ජන්ම දිනය අදට (ජනවාරි 11) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ජනතා විමුක්‌ති පෙරමුණ චන්ද්‍රිකා බණ්‌ඩාරනායකගේ පොදු පෙරමුණ සමග එක්‌ව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ගොඩනගන අවස්‌ථාවේදී මට ඔහු හමුවිය.
ඊට පෙර අපි පාර්ලිමේන්තුවේ දෙපක්‌ෂයේ සිට හරි හරියට වාද විවාද කරගත් අය වීමු. සුහද බව රැකගෙන ප්‍රතිවාදියා දුබල කරන්නට ඔහු දැක්‌වූයේ විශ්වාස කරන්නට බැරි තරම් දක්‌ෂතාවක්‌. සන්ධානය හදන අවස්‌ථාව වන විට ඔහු සිටියේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හා විරසකයෙනි.
මා ඔහුගේ ප්‍රබලකම හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ඔහුගේ තිබූ හද බැඳීම දුටුවෙ 2005 ජනාධිපතිවරණයේදීය.
ශ්‍රී.ල.නි.ප. බොහෝ දෙනා මහින්ද රාජපක්‌ෂ ජනපති කරන භාරධුර සටන හෑල්ලු කරද්දී...... මහින්ද රාජපක්‌ෂ වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රමුඛයා ඔහුය. විපක්‌ෂ අපේක්‌ෂකයා දුර්වල කළේ ඔහුය. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහින්ද රාජපක්‌ෂට හීන් නූලෙන් පීඩා කරද්දී මහින්ද රාජපක්‌ෂ ප්‍රබල කළේ ඔහුය.
ශ්‍රී.ල.නි.ප. අරමුදල තරකරමින් මහින්දට පක්‌ෂපාත සෙසු නායකයන් එක පොකුරට ගෙන.මහින්ද රාජපක්‌ෂගේ ජනපති සටන තියුණු ලෙස ඉදිරියට ගෙන ගිය අංක එකේ පුරෝගාමී ශ්‍රී.ල.නි. පාක්‌ෂිකයා ඔහුය. 2005 ජනාධිපතිවරණයේදී ඔහු පෙරමුණු ගණනාවක්‌ යටතේ සටන ක්‍රියාත්මක කළේය. ශ්‍රී.ල.නි.ප.යේ සෙසු නායකයන් බලවත් කළේය. ජනාධිපතිවරණ අරමුදල ශක්‌තිමත් කළේය.
ප්‍රතිවාදීන් දුර්වල කළේය.
ප්‍රචාරක අංශයක්‌ දියත් කළේය.
සන්ධානයේ අනෙකුත් පක්‌ෂ ධෛර්යමත් කළේය.
චන්ද්‍රිකා බණ්‌ඩාරනායකගේ පීඩනයට මුහුණ දීමට ශ්‍රී.ල.නි. පාක්‌ෂිකයන් සූදානම් කළේය.

තමා ගත් පැත්තේ ඉඳුරාම සිටගත් ඔහු අරමුණ දිනාගැනීම සඳහා වේගයෙන් වැඩ කළේය. ඔහු හැර එබඳු දේශපාලකයෙක්‌ මට මේ රටේදී මුqණගැසී නැත.ඔහු සෘජුය.
ගත යුතු තීන්දු ගත් පසු කොන්දේසි විරහිතව ඒ තීන්දු වෙනුවෙන් පෙනී සිටියේය.
2005 ජනාධිපතිවරණයේදී කතෝලික සභාව ප්‍රමුඛ මෙරට ක්‍රිස්‌තියානි සංස්‌ථාවේ මූලිකයන්, සෙලින්කෝ අධිපති ලලිත් කොතලාවල සමග ගත්තේ රනිල් වික්‍රමසිංහගේ පැත්තය.
කතෝලික ඔහු ඒ ව්‍යාපෘතීන් විවේචනය කළේය.
ක්‍රිස්‌තියානි සංස්‌ථාව මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජය පිළිබඳව සිටියේ හොඳ ආකල්පයක නොවේ. ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ශ්‍රී.ල.නි.ප. නායකත්වය තම උරමතට ගත් ඔහු රටේ බහුතරම ක්‍රිස්‌තියානි ජනගහනයේ මනාප මහින්ද රාජපක්‌ෂ මහතාට පක්‌ෂපාත කරන්නට එළිදරව්වේම ක්‍රියා කළේය. ශ්‍රී.ල.නි.පයේ වෙනත් ක්‍රිස්‌තියානි නායකයන්, ක්‍රිස්‌තියානි සංස්‌ථාවේ මහින්ද රාජපක්‌ෂ විරෝධී ආකල්ප ගැන එක වචනයක්‌ මුවින් බිනුවේ නැත.
ස්‌වයං ආරක්‌ෂාව ගැන නොසිතා ඔහු ක්‍රියා කළේ වෙනස්‌වය. ඇසුරට වැටුණු පසු මා ඔහු දුටුවේ ආණ්‌ඩු පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරයා ලෙසය. බොහෝ මැති ඇමැතිවරුන්ගේ දුක්‌ අමාරුකම්වලට සවන් දුන්නේ ඔහුය. විස¹ දීමට පියවර ගත්තේ ඔහුය.
පාර්ලිමේන්තුවේ සිටි බොහෝ මැති ඇමැතිවරුන්ගේ ලෙංගතු මිතුරා ඔහුය.

ආණ්‌ඩු පක්‌ෂයේ සංවිධායක ලෙස ඉතා මනරම් වැඩ කොටසක්‌ කළේ ඔහුය. එ.ජා.පය නම් ප්‍රධාන විපක්‌ෂය හා ගැටුණු ශ්‍රී.ල.නි.ප.යේ තනි බලවතා ඔහුය.
අප විපක්‌ෂයේ සිටියද ආණ්‌ඩුව අසාර්ථකවීම දකින්නට අකමැති වීමු. හේතුව ඔහු බදු සෘජු, එඩිතර, වාදාභිමුඛ තොරතුරුවලින් පිරුණු ප්‍රශ්න කල් නොදමන දේශපාලන මිතුරෙකු ආණ්‌ඩුවේ සිටි නිසාය.
වරක්‌ රවි කරුණානායක ලංකාවේ ගංගාවල දිග පළල විමසමින් පාර්ලිමේන්තුවේදී හරබර කතාවක්‌ කරමින් සිටියේය.මා සිටියේ විපක්‌ෂයේය."පනින්න ගඟක්‌ හොයනවාද?" යි රවීගෙන් විමසන ලෙස චිට්‌ එකක්‌ ලියා මම ඔහුට යෑවීමි. ඔහු මහ හඬින් සිනාසෙමින් "මෙන්න මෙයා පනින්නද කොහෙද ගඟක්‌ හොයනවා........"යි උපහාසයෙන් පැවැසීය. රවි කරුණානායක වාඩිගත්තේය.

ජවිපෙ සිටියදී මා පක්‌ෂය වෙනුවෙන් සමහර පාර්ලිමේන්තු ප්‍රකාශ කළේ ස්‌ථාවර නියෝගවලට අනුව නොවේ. එබඳු ප්‍රකාශ හදිසියේ නැගිට කරනාවිට කතානායකතුමා ප්‍රශ්නයක්‌ අසන්නේය.
"ඔබ ඔය ප්‍රකාශය කරන්නේ ආණ්‌ඩු පක්‌ෂ සංවිධායකතුමා දැනුවත් කරලාද? මා එසේ කර නැත. මම එසේ යයි කියමි. ඔහු ද ඊට.......... එසේ යෑයි පවසන්නේය.
අප අතර එබඳු අවබෝධයක්‌ පැවතුණි. මම එදා කනිටු මන්ත්‍රීවරයකු පමණක්‌ වීමි.ඔහු ජවිපෙ විවේචනය කළේය. එහෙත් විවේචනය තුළ ජවිපෙ පිළිබඳ කිසියම් ඇගයීමක්‌ විය. ඔහු හැඟීම හංගාගෙන සිටි කෙනෙකු නොවේ.

ඔහු සතුටු වෙනවා අපි දුටිමු. ඔහු කේන්ති ගෙන සිටිනවා අපි දුටිමු. ඔහුගේ රසමුසු ක්‍ෂණික පිළිතුරු අපි අසා සිටියෙමු. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක වැනි ශ්‍රී.ල.නි.ප. බොහෝ නායකයන් තුළ නොතිබුණේ ඒ ගුණාංගය. චන්ද්‍රිකා ඔහු හා ගැටුණේ ඔහුගේ ඒ ගුණාංග නිසා විය හැකිය.ඔහු කිසිවිටක එහෙයියෙකු වූයේ නැත. චන්ද්‍රිකා හා චන්ද්‍රිකාවාදීන් ඉදිරියේදී ඔහු මහින්දවාදියෙකු වූයේ නැත. ඔහු හරි දේ කිරීම සඳහා මහින්ද රාජපක්‌ෂ ජනපති හා වාද කළ අන්දම ද මම දැක ඇත.

තාමට අවාසියක්‌ වූවද ඔහු තම වැටහීම් බිය හැක නැතිව හෙළිදරව් කළේය.ඔහු මුලදී එක්‌තරා ප්‍රමාණයකට LTTE ය තක්‌සේරු කළේ අඩු ලංසුවෙනි. සිය එදා වැටහිSම පරිදිය. 2005 ජනාධිපතිවරණයෙන් පස ඔහුq LTTE ය පරාජය කළ යුතුය යන තීන්දුවට එකඟ වූයේය. එකඟ වුවා පමණක්‌ නොව තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා බරපතළ ලෙස පෙනී සිටියේය. මහින්ද රාජපක්‌ෂ හා පිරබාහරන් අතර අතරමැදි සාමාදානයක්‌ ගැන ඔහු සිතුවේ නැත. අධික විවෘත ක්‍රියාකාරිත්වයත් විවෘත මනසත් නිසා ඔහු සිය ආරක්‌ෂාව ගැන සැලකිලිමත් වූයේම නැත.

ඔහු පාර්ලිමේන්තු කටයුතු භාර ඇමැති කාලේ එක්‌ සිද්ධියක්‌ මට මතකය.
මා එදා ජවිපෙ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායකයාය. රජය ගෙන ආ.... එක්‌ පණතක්‌......රටට ඉතා අනතුරුදායක හා අවාසි සහිත බවත්..... ලෝක වෙළෙඳ සංවිධානයේ වුවමනාවට රජය එය ගෙන එන බවත් අපට වැටහුණි. අපි බරපතළ ලෙස එය පෙන්වා දී වාදාභිමුඛ වීමු. පනත එදින සම්මත නොකර කල් දමා යළි එක්‌ව අධ්‍යයනය කරමු......යි යෝජනා කළෙමු.එදින පාර්ලිමේන්තුවේ උදේ වරුවම ගෙවුණේ..... එකී පනත එදින සම්මත නොකර කල් දමමුයි කී අපේ යෝජනාව ගැනය.දහවල් කෑම පැයේදී ඔහු මා සොයා පැමිණියේය. "විමල් ආණ්‌ඩුවට නොවෙයි මේ පනත අද ම සම්මත කරගන්න ඕන වෙලා තියෙන්නේ........වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන්ට" යෑයි පැවසීය. මම නිලධාරීන් හමුවීමි."ඇයි මේ පනත කලබලේ සම්මත කරගන්න බලපෑම් කරන්නේ"
නිලධාරීන් දුන්නේ අපූරු උත්තරයකි."පනත අදම සම්මත කළොත් අපට විදේශ සංචාරයක්‌ ලැබෙනවා."
පාර්ලිමේන්තුවේ හවස විවාදයේදී ඒ උත්තරය හෙළි කළෙමි. ඔහු හුනස්‌නෙන් නැගී සිටියේය. මෙසේ ප්‍රකාශ කළේය. "ඒ වගේ නිලධාරීන් එක්‌කනේ ආණ්‌ඩුවේ අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ." පනත කල් දැමුණි......

ජනාධිපතිතුමාටත් ශ්‍රී.ල.නි.පක්‌ෂයටත් කතෝලික හා ක්‍රිස්‌තියානි සංස්‌ථාවටත් එකවර ආමන්ත්‍රණය කළ හැකි මෙරට ප්‍රධාන චරිතය ඔහු විය. එපමණක්‌ නොවේ. ඔහු මල්වතු අස්‌ගිරි ප්‍රමුඛ මෙරට සියලු මහානායක හිමිවරුන්ගේ කුළුපග දායක දේශපාලකයකු විය.ඒ වගේ දේශපාලකයකු රටට ඕනෑම කර තිබූ මොහොතක ඔහු රටට අහිමි විය. ඔහු හා එක්‌ව ජනපති මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුව ඉතා ප්‍රබල කරන වෑයම් දැරීමට මම ඉතා කැමැත්තෙන් සිටියෙමි.

එහෙත්...... මට ඒ වාසනාව හිමි නොවීය.
මා ජවිපෙන් එලියට බසින ප්‍රකාශය පාර්ලිමේන්තුව හරහා රටට හෙළි කරන්නට නියමිතව තිබුණේ 2008 අප්‍රේල් 08 දාය.2008 අප්‍රේල් 06 දා ඔහු දිවියෙන් සමුගත්තේය. අපේ කණ්‌ඩායම ජවිපෙන් ඉවත්වන පාර්ලිමේන්තු ප්‍රකාශය කරන විට මා දිරිමත් කරන්නෙකු ලෙස ඔහු පාර්ලිමේන්තුවෙ සිටින බව මම සිතා සිටියෙමි. එදින ඒ සඳහා මට සමීපව උදව් කිරීමට සිටි ශ්‍රී.ල.නි.ප. මිතුරන් ඔහු අතර ප්‍රමුඛයා විය. එහෙත් · ඔහු නැති පාර්ලිමේන්තුවේ...... ඔහුගේ නිසල දේහය...... වැලිහේන නිවසේ තැන්පත්ව තිබියදී ඒ ප්‍රකාශය කරන්නේ කෙසේදැයි මම තැවුණෙමි.
ඒ සුවිශේෂ මිනිසකු නිසා මා තුළ ඇතිවූ කම්පනයක්‌ම විය.
ඒ සුවිශේෂ මිනිසා ඔහුය.ඔහු මගේ හිත මිතුරු ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ මහතාය.
 
ජෙයරාඡ් රුදුරු L.T.T.E ය බිලිගත් ජාතික නායකත්වය ග්‍රන්ථයෙන් 

විමල් වීරවංශ  
උපුටා ගැනීම
දිවයින
2012-01-16

Related

විමල් වීරවංශ 2027812727378689913

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item