විසිපස්‌ වසරක අත්දැකීමෙන් උගත යුතු පාඩම්

රාවය පුවත්පත දැන් එළඹ ඇත්තේ විසිපස්‌වන වසරටයි. ඒ කාරණය අරබයා ලබන මස උත්සවයක්‌ පැවැත්වීමට ද නියමිතයි. එක්‌ පැත්තකින් විශාල ...

රාවය පුවත්පත දැන් එළඹ ඇත්තේ විසිපස්‌වන වසරටයි. ඒ කාරණය අරබයා ලබන මස උත්සවයක්‌ පැවැත්වීමට ද නියමිතයි. එක්‌ පැත්තකින් විශාල ව්‍යාපාරයක කොටසක්‌ නොවූ පුවත්පතක්‌ තනිවම මේ තරම් කාලයක්‌ පැවතීම ආශ්චර්යජනකය. ඊට වඩා විශාල මුදල් ප්‍රතිපාදන සමඟ ආරම්භ වූ පුවත්පත් පවා කලකදී වැසී ගියත් පුවත්පතේ අලවියත්, මුද්‍රණාලයේ වානිජ කටයුතුවල ආදායමත් හැරුණුවිට වෙන කිසිවක්‌ නොමැතිව පුවත්පතක්‌ මෙතරම් කලක්‌ පැවතියේ නම් ඒ පාඨකයාගේ ලැදියාවත් කාර්ය මණ්‌ඩලයේ හැකියාවත් නිසා පමණක්‌ විය යුතුය. පසුගිය අවුරුදු 25 පුරා රාවය පුවත්පතේත් එය ආරම්භකොට මේ වන තෙක්‌ ඇදගෙන ආ එහි කත_D වික්‌ටර් අයිවන් මහතාගේත් අත්දැකීම්වලින් මේ වෘත්තියේ සිටින අප කාටත් ඉගෙන ගැනීමට පාඩම් ඇත.

මා ඉකුත් සතියේ වික්‌ටර් අයිවන් මහතාට කතා කළ විට ඔහු කාරණා 2 ක්‌ ගැන පසුගිය අවුරුදු 25 දෙස ආපසු හැරී බලමින් සතුටු වන බව මට වැටහුණි. ඉන් පළමුවැන්න වන්නේ ඉතාමත්ම කුඩා මට්‌ටමින් පටන්ගෙන සියවස්‌ කාලක්‌ මුළුල්ලේ පුවත්පත දිගටම කරගෙන යැමට හැකි වීමයි. දෙවැන්න වන්නේ මේ විසිපස්‌ වසර තුළ පැවැති සියලුම දේශපාලන කුණාටු තුළින් පුවත්පතේ කිසිදු සේවකයකු මිය යන්නේ හෝ තුවාල වන්නේ වත් නොමැතිව අද දක්‌වා ඒමට හැකි වීමයි. පසුගිය වකවානුව තුළ රාවය අතගැසූ දේවල්වල හැටියට එයද ඇත්තටම වෙනම ප්‍රාතිහාර්යකි.

රාවය මුලින්ම ආරම්භ වූයේ පුවත්පතක්‌ හැටියට නොව සඟරාවක්‌ වශයෙනි. මුල් අවස්‌ථාවේ සිටම රාවය සිංහල පාඨකයාගේ අවධානය යොමු කර ගැනීමට සමත්, පාඨකයාගේ නාඩි වැටෙන ආකාරය හඳුනා ගත් සඟරාවක්‌ හැටියට දිස්‌වුණි. ඊට පෙර පුවත්පත් කලාවේදියකු නොවුණු වික්‌ටර් අයිවන් මහතාට මාධ්‍යවේදියකුට තිබිය යුතු දක්‌ෂතාවය සහජයෙන්ම තිබුණු බව ඉන් පැහැදිළි විය. 1980 දශකයේදී බොහෝ දෙනෙක්‌ සඟරා ආරම්භ කළ ද ඒවා වැඩි කලක්‌ පැවතුණේ නැත. නමුත් රාවය සඟරාවක්‌ හැටියට විශාල සාර්ථකත්වයක්‌ ලැබුවේය. පසුකලෙක රාවය සඟරාවක්‌ හැටියට පවතින්නේ නැතුව පුවත්පතක්‌ බවට පත් වූ පසු අර පරණ රාවය සඟරාව අනුගමනය කරමින් ඒ ආකෘතියට වෙනත් සඟරා ගණනාවක්‌ම පළ කිරීමට උත්සාහ ගත්ත ද ඒ කිසිවකුට රාවයට තිබුණු ඒ සුවිශේෂ අවධානය දිනා ගැනීමට නොහැකි විය.

රාවය සඟරාව ප්‍රේමදාස ආණ්‌ඩුව කාලය තුළදී සතිපතා ටැබ්ලොයිඩ් පුවත්පතක්‌ බවට පත්විය. රාවය පළ කිරීමට කලින් ලංකාවේ වෙනත් ටැබ්ලොයිඩ් තිබුණේදැයි මට මතකයක්‌ නැත. 1970 ගණන්වල දවස සමූහ ව්‍යාපාරයේ "වීක්‌aඑන්ඩ්" පුවත්පත ටැබ්ලොයිඩ් ආකාරයෙන් පළකළ බව මට මතකය. නමුත් සිංහල ටැබ්ලොයිඩ් සම්ප්‍රදාය ගැන කතා කරන විට නිතැතින්ම කාටත් මතක්‌ වන්නේ රාවය පුවත්පතයි. ප්‍රේමදාස සමය තුළ රාවය ටැබ්ලොයිඩ් පුවත්පතක්‌ හැටියට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත් සමඟ පවා තරග කළ හැකි මට්‌ටමේ තත්ත්වයක සිටියේය. විශේෂයෙන්ම දේශපාලන ප්‍රවෘත්ති හා මති මතාන්තර සම්බන්ධයෙන් ජාතික පුවත්පත් සමග පවා කරට කර බලපෑමක්‌ කිරීමට එකල රාවයට හැකිවිය. 1990 ගණන්වල මුල් භාගයේදී මේ රට තුළ විකල්ප පුවත්පත් හා ටැබ්ලොයිඩ් වසංගතය පටන්ගත්තේද රාවය පුවත්පතේ සාර්ථකත්වය නිසාද විය හැක. ඉතාමත්ම අඩු පිරිවැයකින් පාරේ යන ඕනෑම කෙනකුට මුද්‍රණාලයක්‌ සොයාගෙන ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට අභියෝගයක්‌ එල්ල කළ හැකි බව මිනිසුන්ට වැටහුණේ එකල රාවයේ සාර්ථකභාවය දැකීමෙන් විය හැක. අද වෙබ්සයිට්‌ වසංගතය මෙන් එදා පැවතියේ මේ විකල්ප පුවත්පත් වසංගතයයි. අද වෙබ් සයිට්‌වලින් කෙරෙන ආකාරයට එදා ද විකල්ප පුවත්පත්වලින් උත්සාහ කළේ කිසිවෙක්‌ නොදන්නා තොරතුරු හෙළිකිරීම, එසේ නැත්නම් එඩිතර අදහස්‌ දැක්‌වීම තුළින් ජනප්‍රියතාවය දිනා ගැනීමටයි. මේ උත්සාහයේදී ඇතැම්විට ඇත්ත සමග බොරු මිශ්‍රකොට ලිවීමද කිසිදු පදනමක්‌ නැති කටකථා ප්‍රවෘත්ති හැටියට ඉදිරිපත් කිරීමද, කිසිදු පදනමක්‌ නැති චෝදනා එල්ල කිරීමද එමට සිදුවිය. පුවත්පත් කලාවේදීන්ගේ ආචාරධර්ම තබා සාමාන්‍ය සදාචාරයවත් එකල රැකුණේ නැති බව කිවහැකිය. අද පවතින වෙබ්සයිට්‌ වසංගතයෙන්ද සිදුවී ඇත්තේ එයම බව කිව හැකිය. අද මේ පවතින වෙබ්සයිට්‌ එකල පැවැති විකල්ප පුවත්පත් මෙන් ඉතාමත්ම අඩු පිරිවැයකින් පුද්ගලයින් කීප දෙනකුට එකතුවී ආරම්භ කළ හැකි දෙයකි. එදා පැවැති විකල්ප පුවත්පත් මෙන්ම අද පවතින වෙබ්සයිට්‌වලින්ද සිදුවී ඇත්තේ රස්‌තියාදුකාරයන් විය යුතු උදවිය මාධ්‍යවේදීන් බවට පත්වීමයි. සදාචාරය යන වචනයේ නාමයත් ඒ තැන්වලට ආගන්තුකය. වෙනකක්‌ තබා මේ රටේ විකල්ප පුවත්පත් සම්ප්‍රදාය ආරම්භ කළ රාවයේ නම පවා වෙනත් වෙබ් අඩවියක්‌ විසින් සොරකම් කරගෙන ඇත. මේ විකල්ප සම්ප්‍රදාය විසින් අවසානයේදී කර ඇත්තේ මේ රටේ මාධ්‍ය කලාව වනචාරී යුගයකට ඇදගෙන යැමක්‌ බව කිව හැකිය.

තමන් විසින් ආරම්භ කරන ලද මේ ප්‍රපංචයේ ස්‌වභාවය ගැන වික්‌ටර් අයිවන් මහතාද පසු කලෙක ලිවීමට පෙළඹුණි. "පෑන අහිංසකද?" යන මැයනේ ඔහු මේ ගැන වෙනම පොතක්‌ද ලියා ඇත. පෑනෙන් හා මාධ්‍යයෙන් සිදුවන සාහසිකකම් ගැන අවසානයේදී වග කියන්නේ කවුද? මේවායින් පුද්ගලයන්ට සිදුවන හානිවලින් ඔවුන්ට ඇති ගැලවීම කුමක්‌ද? යන කාරණා ඔහුගේ අවධානයට යොමු විය.

පසුගිය විසිපස්‌ අවුරුද්ද තුළ රාවය පැමිණීමේ ගමන් මග දෙස ආපසු හැරි බලන විට වික්‌ටර් අයිවන් මහතා තම පුවත්පත් කලා දිවියේදී කළ විශාලම වැරැද්ද වූයේ පුවත්පත් කලාවෙන් ඔබ්බට ගොස්‌ දේශපාලන කටයුතුවලට හවුල් වීමයි. තම ජීවිතය ආරම්භ කළේ විප්ලවවාදියකු හැටියට වීම හේතුවෙන් ආණ්‌ඩු පෙරළිය කෙරෙහි ඔහු නිරායාසයෙන්ම ඇදී ගියා විය හැක. ඔහු රාවය පුවත්පත ආරම්භ කළ පසු ඡේ. ආර්. ජයවර්ධන හා ප්‍රේමදාස ආණ්‌ඩු සමඟ ගැටුණේය. නමුත් ඒ ගැටුම මාරාන්තික ගැටමුක්‌ නොවුණු බව අයිවන් මහතා ද පවසා ඇත. 1987 මුල් භාගයේදී එක්‌ දිනක්‌ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඔහුට අඬගසා පවසා තිබුණේ ඔහුගේ පුවත්පත පළකරන්නේ නම් කාලිංගගේ දේශපාලන විචාරය නොමැතිව එය පළ කළ යුතු බවයි. ඇතැම් එ. ජා. ප. මන්ත්‍රීවරුන් රාවය මුද්‍රණාලයට ගිනි තැබිය යුතු බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන බවත් ජයවර්ධන මහතා අයිවන්ට දන්වා තිබුණි. ඒ අවස්‌ථාවේදීම අයිවන් කර තිබුණේ නමුත් මේ කරන්නේ තුවක්‌කුවෙන් හා උණ්‌ඩයෙන් කෙරෙන විවාදය සාකච්ඡා මට්‌ටමට ගෙනඒම බවත් ඔහු දිගටම කාලිංගගේ දේශපාලන විග්‍රහය පළ කිරීමට අදහස්‌ කරගෙන සිටින බවත්ය. ජයවර්ධන මහතාගෙන් ඉන් පසුව එවැනි බලපෑම් පැමිණ නැත. ප්‍රේමදාස ජනාධිපතිවරයා ද වික්‌ටර් අයිවන් මහතා බිය වැද්දවීම සඳහා වරක්‌ සී.අයි.ඩී. එක යොදවා රාවය කාර්යාලය සෝදිසි කොට එහි ගිණුම් පොත් වගයක්‌ ද රැගෙන ගොස්‌ තිබිණි. නමුත් එය කළේ ද කලින් වික්‌ටර් අයිවන් මහතා සමග සම්බන්ධයක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහ කොට එය ව්‍යර්ථ වූ තැනය. අයිවන් මහතා ද මෙවැනි අවස්‌ථාවලදී කටයුතු කර ඇත්තේ පරීක්‍ෂාකාරීවය. ඡේ. ආර්. ජයවර්ධන මහතා ඔහුට තම දේශපාලන විග්‍රහය නවතා දමන මෙන් කී බවත්, ඔහුගේ මුද්‍රණාලය ගිනි තැබීමට එ.ජා.ප. මන්ත්‍රීවරුන් සැදී පැහැදී සිටින බව ඔහුට කී බවත් ගහක්‌ උඩට නැඟ බෙරිහන්දීමට ගියේ නැත. අද කාලයේ නම් වෙනත් නොමේරූ පුවත්පත් කලාවේදියකුට ඔය වගේ දෙයක්‌ සිදුවූයේ නම් මුලින්ම කරන්නේ පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවීමයි. දෙවනුව සිදුවන්නේ මාධ්‍ය උද්ඝෝෂකයින් එයට එරෙහිව මහපාරේ උද්ඝෝෂණය කිරීමයි. ඉන් පසුව කොළඹ බටහිර තානාපති කාර්යාලවලට මේ ගැන දැනුම්දීමත්, පුවත්පත් කලාවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රකාශ නිකුත් කිරීමත්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ අදාල පුවත්පත් කලාවේදියාගේ කාර්යාලයට පැමිණීමත්, එම පුවත්පත් කලාවේදියා ජාත්‍යන්තර සම්මානයකට නිර්දේශ කිරීමත් යනාදී සියල්ල අනුක්‍රමිකව සිදුවනු ඇත. නමුත් ඡේ. ආර්. ජයවර්ධන තමන්ට කී දෙය ගසක්‌ උඩට නැඟ බෙරිහන් දීමට ගියහොත් ඒ තිබෙන එදිරිවාදිකම් තවත් වැඩි වන බව වටහාගත් වික්‌ටර් අයිවන් මහතාත් ඒ ගැන බෙරිහන් නොදී පෙර සේම තමාගේ වැඩකටයුතු කරගෙන ගියේය. ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් ද අනුගමනය කළේ ද ඒ හා සමාන පිළිවෙතකි. මේ නිසා ඔවුන් ද ඔහුට යම් ඉඩ ප්‍රස්‌තාවක්‌ ඉතුරු කර දුන් බව අයිවන්ගේ මතයයි. පෘථග්ජන මිනිසුන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී රටක පුවත්පත් කලාවේදියෙක්‌ තම ව්‍යවහාර බුද්ධිය පාවිච්චි කොට තම ස්‌වාධීනත්වය රැක ගන්නා ආකාරය රාවයේ මෙම අත්දැකීම අද මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින තරුණ උදවිය ද ආදර්ශයට ගැනීම සුදුසු යෑයි මම සිතමි. විකල්ප පුවත්පත් සම්ප්‍රදායේ පුරෝගාමියකු ලැබූ මේ අත්දැකීම් ඔවුන් ගුරුකොට ගත යුතුය. වික්‌ටර් අයිවන් මහතා විසින් එ.ජා.ප. ආණ්‌ඩුව සමයේ මෙවැනි ඉඩකඩක්‌ හා පෞරුෂයක්‌ ගොඩනඟාගෙන සිටිය ද ඔහු ගත් වැරදි තීන්දුවකින් ඒ සියල්ල නැති වන තැනට වැඩ සැලසිණි. ඒ පුවත්පත් කලාවෙන් ඔබ්බට ගොස්‌ ආණ්‌ඩු පෙරළිවලට අත ගැසීමයි. 1994 ආණ්‌ඩු පෙරළියේ ප්‍රධාන කොටස්‌කරුවෙක්‌ හැටියට වික්‌ටර් අයිවන් මහතා ඉස්‌මතු විය. එ.ජා.ප. ආණ්‌ඩුවේ ඔහු දුටු අගතීන් පිටු දැකීමට හැකි නායිකාව ලෙස චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංගව තෝරා ගත්තේ කුමන පදනමක්‌ මත ද යන්න අපැහැදිලිය. නමුත් එම ආණ්‌ඩු පෙරළියෙන් ඉතා කෙටි කලකට පසු අයිවන් මහතාට පෙනුණු කාරණය වූයේ එ.ජා.ප. යේ අගතීන් පිටුදැකීම වෙනුවට ඊට වඩා අන්ත ආණ්‌ඩුවක්‌ බලයට පැමිණ ඇති බවයි. ඒ ආණ්‌ඩු දෙකේ වෙනස වික්‌ටර් අයිවන් මහතාට ද ඇඟටම දැනුණු වෙනසක්‌ විය. ඡේ. ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරුන් සමග ඔහුට මොන වෙනස්‌කම් හා එදිරිවාදිකම් තිබුණත් කිසිම දිනක ඔවුන්ගෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක්‌ තිබෙන බව ඔහුට නොදැනුණු බව අයිවන් මහතා කියයි. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුවෙන් ඔහුට ජීවිත තර්ජන පවා එල්ල වූ බවත්, අවසන් වකවානුවේ එක දිගටම ආණ්‌ඩුවේ චරපුරුෂයන් ඔහු යන යන තැන වාහනවලින් ලුහුබැඳීමට පටන් ගත් බවත්, එක්‌ අවස්‌ථාවකදී ඔහු ගමන්ගත් වාහනය හැප්පීමට ගත් උත්සාහයක්‌ තම රියෑදුරාගේ දක්‍ෂතාව නිසා ව්‍යර්ථ වූ බවත් ඔහු පවසා ඇත. තමන්ගේ ද වරදින් බිහිවූ ඒ දුර්දාන්ත පාලනය අවසන් කිරීමට තම ජීවිත ආරක්‍ෂාව ද නොතකා 2001 දී නැවත වරක්‌ ආණ්‌ඩු පෙරළියකට සහභාගිවීමට ඔහුට සිදුවිය. මේ සියල්ලෙන්ම මතුවෙන ප්‍රශ්නයක්‌ වන්නේ පුවත්පත් කලාව අවසන් වන්නේත් දේශපාලනය ආරම්භ වන්නේත් කොතනින් ද යන්න සෑම මාධ්‍යවේදියකුම වටහාගත යුතු බවයි. තමන් විසින් බලයට ගෙන එනු ලබන ආණ්‌ඩුවක්‌ තමා දේශනා කළ සාරධර්ම අනුව යොමු කරවිය නොහැකි නම් මොන පුවත්පත් කලාවේදියකුවත් ආණ්‌ඩු පෙරළිවලට සහභාගි නොවිය යුතු බව රාවයේ අත්දැකීම්වලින් අපට පැහැදිලි වෙයි. ආණ්‌ඩු පෙරළි යනු දේශපාලනඥයන් විසින් මිසක්‌ මාධ්‍යවේදීන් විසින් නොකළ යුත්තක්‌ බව මගේ අදහසයි. මාධ්‍යවේදියාගේ යුතුකම වන්නේ වැරැද්දක්‌ වන තැන ඒ වැරැද්ද පෙන්වා දීමයි. ඊළඟට බලය ගන්නා උදවිය ඒ වැරැද්දම නොකරාවිය යන සහතිකය නොමැති නිසා දේශපාලනඥයින්ගේ කොස්‌ඇටබෑම කිසිසේත්ම මාධ්‍යවේදියකු විසින් නොකළ යුතුය. 1994 දී තමන් කළ වරද නැවත නිවැරදි කිරීම සඳහා වික්‌ටර් අයිවන්ට 2001 ආණ්‌ඩු පෙරළිය තුළින් යම් කාර්යභාරයක්‌ සිදු කිරීමට විය. එය රටේ උන්නතිය සඳහා පමණක්‌ නොව ඔහුගේ ද ජීවිතාරක්‍ෂාව සඳහා කිරීමට සිදුවූ දෙයක්‌ විය. නමුත් ඒ ආණ්‌ඩු පෙරළිය ද එක්‌ සුවිශේෂ ලක්‍ෂණයක්‌ වූයේ දේශපාලකයන්ට වඩා මාධ්‍යවේදීන් ආණ්‌ඩු පෙරළියට මුල පිරීමයි. මාධ්‍යවේදීන් මුල්වී මේ රටේ සිදුවූ 1994 හා 2001 යන ආණ්‌ඩු පෙරළි දෙකම අතිශයින්ම අසාර්ථක විය. මාධ්‍යවේදීන්ගේ මූලිකත්වය නොමැතිව හටගත් 1977 ආණ්‌ඩු පෙරළියත් 2005 ආණ්‌ඩු පෙරළියත් සාර්ථක ආණ්‌ඩු බිහි කළ පෙරළි විය. 1977 ට පෙර පැවැති ආණ්‌ඩු එකක්‌වත් මාධ්‍ය මූලික වී කළ ආණ්‌ඩු පෙරළි නොවේ.

මාධ්‍යවේදීන්ට ආණ්‌ඩුව පෙරළන තෙක්‌ වැඩ රැගෙන යැමට හැකි වුවත් ඉන් පසුව සුක්‌කානම ඔවුන්ගේ අතින් ගිලිහෙයි. සැබවින්ම බලය හොබවන්නේ ආණ්‌ඩුව පෙරළීමටවත් හැකියාවක්‌ නැති කොන්දක්‌ නැති දූෂිත, අනුන් ලවා කොස්‌ඇටබාවා ගන්නා, මුදලට මුල්තැන දෙන පිරිසකි. මෙන්න මේ පාඩම රාවයේ විසිපස්‌ වසරක අත්දැකීම් තුළින් අපට පැහැදිලි වෙයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම
උපුටා ගැනීම
දිවයින
2012-01-30

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 616182915405507877

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item