සෝබන වැඩ නිසා රටට වැටෙන ලෙඩ!

මුලික ජනතා අවශ්‍යතා වන්නේ ආහාර, ඇඳුම්, නිවාස හා බේත්හේත් ලබාගැනීමයි. බෞද්ධ ජීවන දර්ශනය අනුව සිව්පසය ලෙසින් හැඳින්වෙන ...

මුලික ජනතා අවශ්‍යතා වන්නේ ආහාර, ඇඳුම්, නිවාස හා බේත්හේත් ලබාගැනීමයි. බෞද්ධ ජීවන දර්ශනය අනුව සිව්පසය ලෙසින් හැඳින්වෙන මේ මූලික ජනතා අවශ්‍යතා ඉටුකර ගැනීම සමගම ආරක්‍ෂාව සලසා ගැනීමද අනිවාර්ය අවශ්‍යතාවකි. දේවානම්පියතිස්‌ස රජතුමන්ට අනුබුදු මිහිඳු මාහිමියන් දුන් පළමුවැනි උපදේශය වූයේද රටේ භාරකාරයා ලෙස රජු රටත් ජනතාවත් රටවැසි සිව්පා පක්‍ෂි ආදී සතුනුත් ගස්‌වැල් පැළෑටිත් ඇළදොළ ගංගාදියත් අහසින් එන වැසිදියත් රැකගත යුතු බවයි. මිහිඳු මාහිමියන්ගේ අනුශාසනය පිළිගෙන මුව දඩයම නවත්වා සියලු සත්වයන්ට අභයදානය දුන් රජතුමා අහසින් එන වැසි ජලය රැස්‌කර ගැනීම සඳහා වැව් කරවීය. දෙවනපෑතිස්‌ රජතුමන් විසින් කරවන ලද ප්‍රධාන වැව තිසා වැවයි. තිසාවැව කරවූ රජුගේ ආදර්ශය අනුගමනය කළ ඇමැතිවරුත්, ගම්ප්‍රධානීනුත් මධ්‍යම ප්‍රමාණයේ ගබඩාවැව් හා ගම්මට්‌ටමේ කුඩා වැව් කරවූහ. මහවැව්වල ජලය මධ්‍යම හා කුඩා වැව්වලටත් කුඹුරුවලටත් ගෙනයාම සඳහා මහඇළවල්, ඇළවල් හා හීන් ඇළවල් කරවූ රජ, ඇමැති හා ගම් නායකාදීන් සමග එක්‌වූ ජනතාව රටවැසි සැමට අවශ්‍ය සිව්පසය නිපද වූහ. පාලි මහාවංශයේ මහාමාතිකා, මාතිකා හා ශුදා මාතිකා යනුවෙන් හැඳින්වෙන්නේ පරපුරින් පරපුරට රජරටත් උතුරු වයඹත් රුහුණත් ඇතුළු වියළි කලාපය පුරා මිනිස්‌ ශරීරයක ලේ නහර වැල් මෙන් කරවන ලද ලොකු කුඩා ඇළවල්ය.

පරපුරින් පරපුරට අලුතෙන් වැව්. ඇළවේලි තනමින් ඇළවේලි මනාව නඩත්තු කරමින් වගා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලැසීම රජ, ඇමැති හා ගම් දෙටුවන් ඇතුළු ජනතා නායකයන්ගෙන් ඉටුවිය යුතු මෙහෙවර විය. අලුතින් වැව් එක්‌දාස්‌ හාරසිය හැත්තෑ අටක්‌ කරවූ මහා පරාක්‍රමබාහු රජතුමා පැරණි වැව් තුන්දාස්‌ හයසිය අසූහතරක්‌ පිළිසකර කරවා අත්‍යවශ්‍ය වනබිම් හා ආකරබිම් හැර මුළුරටම වගා බිමක්‌ කරවීයයි මහාවංශයේ දෙවැනි කොටසේ සඳහන් වේ. දෙවනපෑතිස්‌, වසභ. මහසෙන්, ධාතුසේන, අග්‍රබෝධි ආදී ශ්‍රේෂ්ඨ ජාතික නායකයන්ගේ දේශප්‍රේමී ජනහිතකාමී පිළිවෙත්වලට පිටුපා නිදහස ලැබූදා පටන් අනුගමනය කළ වෙළෙඳ වැවිලිවලට, මහා මාර්ගවලට හා වරායට ප්‍රමුඛත්වය දී අධිවේගී මාර්ගවලටත්, අලුත් වරාය වලටත්, අලුත් ගුවන්තොටුපළ වලටත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණවලටත් දෙවැනි තැනදී වැව් හා වාරිමාර්ග තුන්වැනි තැනට දමා, පරිසරය සිසිල් කරන විල්, පොකුණු හා ඇළවල් පිළිසකර නොකර, ඒවා ගොඩවන්නට හැරීමේ ප්‍රතිවිපාක වශයෙන් අවුරුදු පතා එන නියඟයටත්, ගංවතුරටත් දරාගත නොහැකි උණුසුමටත් විනාශකාරී මහා ජල ගැලීම් වලටත් මුහුණපාන්නට ජනතාවට සිදුවී ඇත. එහෙයින් අලුතෙන් අධිවේගී මාර්ග හැදීම හා ගම්බද පාරවල් කොන්ක්‍රීට්‌ කිරීම සඳහා ජාතික ධනය නාස්‌ති නොකර වහාම කළ යුත්තේ නටබුන්වූ වැව් ඇළවේලි මනාව පිළිසකර කර විල් පොකුණු හා තෙත් කලාපීය ඇළවල් පාදා පුළුල්කර උයන්වතු වවා හිතකර පරිසරයක්‌ ගොඩනැගීමයි.

වගා පිළිසකර කළ යුත්තේ ඉතාම මෑතදී ඇතිවූ මහා ජලගැලීම් වලින් කැඩීබිඳී ගිය වැව් ඇළවේලි පමණක්‌ නොවේ. රජරට, රුහුණේ හා වයඹ පළාතේ සියලු නටබුන් වැව් ඇළවේලි මනාව ප්‍රතිසංස්‌කරණය කළ යුතුය. සැතපුම් සියයක්‌ පමණවූ (කිලෝමීටර් එකසිය හැටක්‌) දක්‍ෂිණ අධිවේගී මාර්ගය සඳහා යෙදවූ කළුගල්, රතුපස්‌, වැලි, සිමෙන්ති හා බරවාහන ඇතුළු යන්ත්‍ර සූත්‍රත් ශ්‍රමයත් මහා ධනස්‌කන්ධයත් වැව් හා වාරිමාර්ග සඳහා යෙදවූවා නම් රජරට, වයඹ හා රුහුණේ ප්‍රධාන වැව් සියල්ලත් ප්‍රධාන වාරිමාර්ග සියල්ලත් අවුරුදු සියගණනක්‌ නොබිඳී පවත්නා අයුරින් ශක්‌තිමත් ලෙස ප්‍රතිසංස්‌කරණය කළ හැකිව තිබිණි. එසේ වී නම් වැව් ඇළ වේලි බිඳී ජලකඳ පාරවල් දිගේ ගලාගෙන ගොස්‌ කෝටි දහස්‌ ගණන් යොදවා තැනූ මාර්ග අබලන් වන්නේ නැත. එසේ සිදුවී තිබියදී තවත් මහා පරිසර විකෘතියකට හා මහා ධන නාස්‌තියකට හේතුවන අන්දමින් කොළඹ - නුවර අධිවේගී මාර්ගයක්‌ තනන්නට දරන සියලු උත්සාහයන් ජනතා විරෝධී සොබා පරිසර විරෝධී ක්‍රියාමාර්ගයක්‌ වනු නිසැකය. වාර්ෂික ගංවතුර හා විනාශකාරී මහා ජල ගැලීම් වළක්‌වා විසිපන් දහසක්‌ පමණ වූ ලොකු කුඩා මධ්‍යම ප්‍රමාණ වැව් පිළිසකර කර දියෙන් පුරවා වැඩි ජලය මුහුදට බැසයනසේ වියළි කලාපයේ වාරිමාර්ග හා තෙත් කලාපයේ අනෙකුත් ඇළවල් පළල්කර පැරණි විල්, පොකුණු පාදා මනාව සකසා ගතහොත් වගාකටයුතු සඳහා හිතකර පරිසරයක්‌ ගොඩනැගෙනු ඒකාන්තය.

වගා කටයුතු සඳහා අවශ්‍ය වැව් ඇළවේලි හා විල් පොකුණු ආදී යටිතල පහසුකම් සකසා, ගොවීන්ට අවශ්‍ය බිත්තර වී හා උදලු නඟුල් ආදී ගොවි උපකරණ මෙන්ම මී ගවයින්ද ලබාදී ගොම, දහයියා අළු, කුකුල්පෝර හා අනෙකුත් කාබනික පෝර ක්‍රම භාවිතය සඳහා ජනතාවට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදුනහොත් ආහාරයේ රසගුණ හා පසේ සාරය විනාශකරන රසායනික පෝර සඳහා ප්‍රකෝටි ගණන් ධනය නාස්‌ති කරන්නට සිදුනොවේ. මහවැව්, ගබඩා වැව්, උල්පත් වැව් හා ගම්මට්‌ටමේ කුඩා වැව් හා ලොකු කුඩා මධ්‍යම ප්‍රමාණ ඇළවල් මනාව පිළිසකර කර, මඩ සොරොව්ව හා මඩ ඇළවල් පාදා නැවත ක්‍රියාවට නැංවිය හැකි තත්ත්වයක්‌ උදාකළහොත් අවුරුද්ද පුරා වැව්වල එක්‌රැස්‌වන ගස්‌වැල් පැළෑටිවල හා සතුන්ගේ ජීර්ණකර ද්‍රව්‍ය ඇතුළු රොන්මඩ මී හරකුන් දමා මඩවා වැව් දිය කලතා කුඹුරු සරුකරන දියර පොහොර ලෙස මඩ ඇළවල් ඔස්‌සේ වගාබිම්වලට යෑවිය හැකිවේ. වැව්, ඇළවේලි හා විල් පොකුණු පිළිසකර කරන අතරම වැව්, වාරිමාර්ග හා විල්පොකුණු ගොඩවීම වළක්‌වන අන්දමින් වැව් තාවලු හා වාරිමාර්ග ආශ්‍රිත කුඩා වන ළැහැබ ආරක්‍ෂා කළ යුතුය. වැව් විල් පොකුණු වටා හා ඇළකණ්‌ඩි දෙපස ද මී, කුඹුක්‌, ගිනිසිරියා ආදී පරිසරය සිසිල්කරන, ජලය පිරිසිදු කරන, පස සරුකරන ගස්‌වැල් පැළෑටි වැවිය යුතුය. මහවනාන්තරත්කුඩා කඳු ගැටවල කුඩා වන භූමිත් ලඳු කැලෑත් ආරක්‍ෂා කරන අතරම රටපුරා හැකි හැම තැනම වායුගෝලයේ කාබන් ප්‍රතිශතය අඩුකිරීමට ආධාරවන ගස්‌වැල් පැළෑටි වලින් සමන්විත උයන්වතු වැවිය යුතුය. ගම්බද හා අර්ධ නාගරික ප්‍රදේශවල ගෙවතු ආහාර පැළෑටි හා ඖෂධීය ගස්‌වැල් පැළෑටි වලින් සැදි උයන්වතු බවට පත්කළ යුතුය.

"ආරාමරෝපා වනරෝපා" දී වශයෙන් දේශනාකර වදාළ බුදුන්වහන්සේගේ ඉගැන්වීම් අනුව ලොවපුරා සෑම ගෙවත්තක්‌ම අරණක්‌ හෙවත් උයනක්‌ බවට පත්කළහොත් අපේ රටේ මෙන්ම ලෝකයේ සෑම රටකම විනාශ වූ හා විනාශකරන ලද වන පරිසරයන් වෙනුවට ගෙවතු මගින් ආරණ්‍ය (උයන්) පරිසරයක්‌ නිර්මාණය වේ. ගෙවත්තක්‌ ආහාර පැළෑටි වලින් හා ඖෂධීය පැළෑටි වලින් සුසැදි උයනක්‌ බවට පත්කිරීම නිතර පින් වැඩෙන මහා පිංකමකි. ගම්බද ගෙවතුවල වවන කොස්‌, පොල්, කිරිඅල, හිඟුරල, කොඬොල, රාජා අල. අඹ, බෙලි, දිවුල්, දෙහි, නෙල්ලි, දොඩම්, දෙළුම්, උගුරැස්‌ස, පේර, වෙරළු බටු, වම්බටු, තිබ්බටු, මිරිස්‌, බණ්‌ඩක්‌කා, දඹල, මෑ, බෝංචි, වට්‌ටක්‌කා, පුහුල්, කැකිරි, කොමඩු, පතෝල, වැටකොළු, තම්පල, මුගුණුවැන්න, ගොටුකොළ, කංකුං, ඉඟුරු, ඉරිවේරිය, කටුවැල්බටු, හාතවාරිය, ඉරමුසු, අඟුණ, කොහොඹ, තොටිල, පලොල්, සේපාලිකා, සමන් පිච්ච, ඉද්ද, බෙරලිද්ද, වතුසුද්ද, බුත්සරණ ආදී ආහාරමය හා ඖෂධීය ගස්‌වැල් පැළෑටි වලින් මෙන්ම දේශීය සුවඳ මල්වර්ග වලින්ද ගැමි පරිසරයේ ජනජීවිතයට හා මිනිසාට හිතකර සතුනට සෙත සලසන සුවදායක වටාපිටාවක්‌ බවට පත්වේ. ගැමි පරිසරයෙන් ඈත් නොවූ අර්ධනාගරික පරිසරයන්හිද ගෙවතු රසගුණ පලදෙන, සුවඳ සුන්දර වටාපිටාවක්‌ නිර්මාණය කිරීම ජාතික අවශ්‍යතාවකි. තමන්ගේ ගෙවතු රසගුණ ආහාරමය ගස්‌ වැල් පැළෑටි හා ඖෂධීය ගස්‌වැල් පැළෑටි මෙන්ම හිතකර සුවඳ හමන මල්ගස්‌ ආදියෙන් සමන්විත සුන්දර උයන් පරිසරයක්‌ බවට පත්කර ගැනීම සඳහා එක්‌වන දෙමාපිය-වැඩිහිටි, දූදරු සියල්ලන් අතර ළෙන්ගතුකම් වර්ධනය වේ. ආච්චිලා, සීයලා, අම්මලා, තාත්තලා හා තරුණ දූ පුතුන්, ළමා ළපටින් එක්‌වී තම ගෙවතු රසගුණ පල ලබාදෙන, ඖෂධ ලබාදෙන ගස්‌වැල් හා සුවඳ මල් සහිත සුන්දර උයන් බවට පත්කරන්නට දරන සාමූහික ප්‍රයත්නය නිසා පවුලේ හා ගමේ නෑදෑ හිතවතුන් අතර ළෙන්ගතුකම් හා සමගිය වර්ධනය වේ.

තම ගෙවත්තේ වැවෙන ආහාර හා ඖෂධ අසල්වැසි නෑදෑ හිතවතුන් අතර බෙදාහදා ගැනීමත් හුවමාරුකර ගැනීමත් පැළෑටි හා බීජ සමග වගා ඥනය ද බෙදාගැනීමත් නිසා මුළු ගමම එකම පවුලක්‌ සේ සමගි වේ. එසේ කෘෂි ජීවිතය මගින් ගම්වල හා අර්ධනාගරික පෙදෙස්‌වල ජනතාව අතර සමගිය වර්ධනය වනවිට හොර මැරකම් ඇති නොවේ. විෂ මත්පැන් නිෂ්පාදනය හා මත්ද්‍රව්‍ය ජාවාරම් නැතිවී ගමේ සාමය, සදාචාරය හා සංස්‌කෘතිය වර්ධනය වේ. ගෙවතු වගාවේදී ගමේ පන්සලෙන් හා දහම් පාසලෙන් ලැබෙන නායකත්වය හා මාර්ගෝපදේශකත්වය ප්‍රමුඛ සාධකයක්‌ වනු නිසැකය. නොමිලේ නිස්‌සරණාධ්‍යාශයෙන් සේවය කරන දහම් ගුරුවරුන් හා දහම් පාසල් සිසුන් එක්‌වී පන්සලේ භූමිය ගමේ හොඳම උයන (අරණ) බවට පත්කිරීම මගින් ගමේ හැමටම ලැබෙන ආදර්ශය ගම පුබුදුවන ප්‍රමුඛ සාධකය බවට පත්වනු ඒකාන්තය. ගම්බද හා අර්ධනාගරික ගෙවතු සරුවී ජනජීවිතයේ ආර්ථික බර අඩුවන අතර වසවිස නැති ගෙවතු වගාවේ ආහාර භාවිතයෙන් රෝගාබාධ අවම වීමෙන් බේත්හේත් සඳහා යන වියදම් අඩුවීම ජනතාවට ඉමහත් සහනයක්‌ වනු නිසැකය. ගෙවතු පරිසරය පලබර හා සුන්දර වන විට ලේනුන්, ගිරවුන්, කහ කුරුල්ලන් හා මීමැසි, බඹර සමනල් ආදී සතුන් ඇදී ඒමෙන් වටාපිටාව වඩාත් විචිත්‍රවේ. ලේනුන්ගේ ටිං ටිං හඬත් කුරුලු ගී නාදයත් සමග එක්‌වන මීමැසිබඹර ගුමු ගුමුවෙන් පරිසරය ගීතවත් වේ. පොළොවට පොහොර දැමීමත් පැළෑටිවලට වතුර දැමීමත් නිතිපතා කෙරෙන හොඳම බහිරව (මහීකාන්තා) පූජාව බවට පත්වී හින්දු "ඕම්" කාරයට මුල්වූ මීමැසි බඹර ගුමුගුමුවෙන් ගෙවතු පරිසරයේ සියලු වස්‌ දොස්‌ දුරුවේ. පන්සලෙන් හා දහම් පාසලෙන් ලැබෙන විශ්වන්තරවාදී ආදර්ශය ලොවටම යහපතක්‌ වේ.

නව යටත් විජිතවාදී ගෝලීය කරන මිථ්‍යාවන් පතුරුවන විද්යුත් ජනමාධ්‍ය මගින් කැරෙන ප්‍රචාරවලට වහල්වී අතපය වෙහෙසා වැඩකිරීම වෙනුවට කොතෙකුත් පහසුකම් සොයමින් බහුභාණ්‌ඩික වාදය පසුපස ඇදී යන ජනජීවිතයට වැඩදායක වන ලෙසට විවේකය අර්ථවත්කරන කය වෙහෙසා වැඩ කිරීමෙන් ලැබෙන නිරෝගීභාවය කරා ජනමනස යොමු කිරීම ජාතික අවශ්‍යතාවක්‌ වී තිබේ. කය වෙහෙසා වැඩකරන හා ක්‍රීඩාශීලී තරුණයා කාම විෂමාචාරයන්ට ගොදුරු නොවන හෙයින් ගෙවතු වගාදී කයවෙහෙසා කරන වැඩ සදාචාර වර්ධනයට හේතුවේ. විවේකය අවශ්‍යවන්නේ කය හා මනස වෙහෙසා වැඩ කරන්නවුන්ට මිස කොතෙකුත් පහසුකම් සොයමින් යානවාහන, රෙදිසෝදන යන්ත්‍ර ආදී යන්ත්‍ර සූත්‍රවලට හා තාක්‍ෂණයට වහල්වී ඉන්ධන දවමින් නිමක්‌ නැතිව විදුලිය වැය කරන්න වුන්ට නොවේ. හැතැම්ම භාගයක්‌වත් පා ගමනින් යන්නට ධෛර්යයක්‌ නැතිව මෝටර් සයිකලය හෝ ත්‍රීවීලරය හෝ මෝටර් රථයම සොයන්නවුන් තමන්ගේත් තම දූ දරුවන් ඇතුළු මානව සමාජයේත් සතුරන් බවට පත්වන්නේ පරිසරයට කාබන් සහිත හරිතාගාර වායු එකතු කරන්නන් වීමෙනි. පන්මල්ල, පන්පැදුර, පොල් කෙඳි කොස්‌ස, පොල් ඉරටු ඉදල හා කොහු ලණුව වෙනුවට පොලිතින් බෑග්, ප්ලාස්‌ටික්‌ පැදුරු, ප්ලාස්‌ටික්‌ කොහු, ඉදල් හා නයිලෝන් කඹ සොයන්නෝ දේශීය පන් කොහු කර්මාන්ත වලට එරෙහිව යමින් සොබා පරිසරයට හානි කරන්නෝ වෙති. දේශීය පන් හා කොහු කර්මාන්ත නගාසිටුවීම සඳහා පොලිතින් හා ප්ලාස්‌ටික්‌ භාවිතය තහනම් කළ නොහැකිනම් අවම කිරීමේ ක්‍රමෝපක්‍රම යෙදිය යුතුය.

ඉරිදා උදේවරුවේ ඊනියා උපකාරක පංති මගින් දරුවන් දහම් පාසලෙන් ඈත් කරමින් දෙමාපියන් සූරාකමින් සිසුනට අපචාර මාර්ග සඳහා දොරටු විවෘත කරන ක්‍රියාමාර්ගය වෙනුවට දරුවන් දහම් පාසලට යොමුකරන පිළිවෙතක්‌ රජය මගින් දියත් කළ යුතුව තිබේ. ඊනියා ජාත්‍යන්තර පාසල් මගින් සිසු පරපුර ජාතික උරුමයෙන් ඈත් කරනවා වෙනුවට රටපුරා ග්‍රාම රාජ්‍ය හා නගර රාජ්‍ය තුන්දහසක්‌ පිහිටුවා බෙදුම්වාදයේ දොරටු වසන අතර ජාතිකවූ සංවර්ධන මාවතක්‌ ඔස්‌සේ ඉදිරියට යාමට සිසු පරපුර මෙහෙයවන සැබෑ ජාතික පාසල් තුන්දහසක්‌ පිහිටුවිය යුතුය. එය ඓතිහාසික ජාතික අවශ්‍යතාවකි. එසේ ග්‍රාම රාජ්‍ය මගින් අධ්‍යාපනයේදී ඇතිවන ප්‍රවාහන තදබදය හා රාජ්‍ය පරිපාලනය ගම්මට්‌ටමට ගෙන ඒමෙන් නිලධාරි වාහන භාවිතය ද අවමය කළ යුතුය. කුඩා කර්මාන්තාදී සංවර්ධන කටයුතු ද ග්‍රාමරාජ්‍ය මට්‌ටමට ගෙන ඒම වාහන තදබදය තවත් අවමය කරන මගක්‌ බවට හරවාගත යුතුය. ඒ සමග අවිචාරවත්ව සිදුකරන මහා පරිමාණ වාහන ගෙන්වීම දැඩි පාලනයකට ලක්‌කළ යුතුය. එසේ නොකළහොත් වායු සමීකරණය කළ වාහනවල යන්නවුන්ට කෙසේ වෙතත් වාහන තදබදයට මුහුණ දෙන පොදු මහජනතාවගේ ජීවිතය වධයක්‌ වනු නිසැකය. වාහන තදබදය නිසා නගරවල යාර සියයක්‌වත් පා ගමනින් යන්නට බැරි තත්ත්වයක්‌ උදාවීම නිසා නාගරික ජනතාව විවිධාකාර රෝගාබාධයන්ට ගොදුරු වනු නිසැකය. ග්‍රාමරාජ්‍ය ක්‍රමය මගින් කැරෙන විමධ්‍යගතකරණය ප්‍රශ්න රාශියකට විසඳුමක්‌වනු ඒකාන්තය. ඒ පිළිබඳ වැඩි විස්‌තර "අපි ඔක්‌කොම රජවෙමු" පොතින් ලබාගත හැක.


අනාගාරික ධර්මසේකරතුමා
උපුටා ගැනීම
දිවයින
2011/03/17

Related

අනගාරික ධර්මසේකර තුමා 973537919238475303

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item