ඇමැතිවරුන් ලණු අඹරාගෙන ගිලීම

එළවළු කූඩ ආන්දෝලනය යන්තම් තාවකාලිකව සමනය වීමත් සමඟ තවත් එවැනිම තත්ත්වයකට තුඩුදිය හැකි පරිපාලන තීන්දුවකට රජය අවතීරණ වී ඇත. ඒ පාන්වලට හාල් ප...

එළවළු කූඩ ආන්දෝලනය යන්තම් තාවකාලිකව සමනය වීමත් සමඟ තවත් එවැනිම තත්ත්වයකට තුඩුදිය හැකි පරිපාලන තීන්දුවකට රජය අවතීරණ වී ඇත. ඒ පාන්වලට හාල් පිටි දැමීම සඳහා ආහාර පනත යටතේ රේගුලාසියක් නිකුත් කිරීමට අදාලවය. නමුත් වාසනාවකට හෝ අවාසනාවකට ඒ දෙවැනි තීන්දුව පිළිබඳව මහජන අවධානය එතරම් යොමුවුයේ නැත. කෙසේවෙතත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ගරු ඇමැතිතුමා නිළධාරින් දුන් ‘‘ලණුව’’ කිසිදු සොයාබැලීමකින් තොරව ගිල දැමීම නිසා හොඳ පාඩමක් ඉගෙන ගත්තේය. නමුත් ගරු සෞඛ්‍ය ඇමතිතුමාට එවැනි පාඩමක් ඉගෙන ගැනීමට අවස්ථාවක් නොලැබෙන්නේ පාන්පිටි වලින් බැටකන ගොවියන් පිටකොටුවේ වෙළෙන්දන් තරම් බලවත් නොවන නිසාය. කෙසේවෙතත් මෙහිදි ‘‘ලණුව’’ යන වචනයද තවදුරටත් විග‍්‍රහ කිරිමේ අවශ්‍යතාවක් පැනනගී. ඒ අනුව ලණුව යන්න පශ්චාත් අස්වනු විද්වතුන් විසින් තලාදුන් කොහු වලින් කූඨ කොම්පැනි කාරයින් සහ නිළධාරින් දෙපස සිට අඹරාදුන් ලණුව ලෙස සංශෝධනය විය යුතුය.
එළවළු සහ පලතුරු වල පශ්චාත් අස්වනු නාස්තිය සැම වර්ගයකටම පොදුවේ 30-40% තරම් ඉහළ අගයක් ගන්නවාය යන ඊනියා විද්වත් මතය ඉතා කුඩා ප‍්‍රමාණයේ නියැදි පරික්‍ෂා කිරිමකින් හදාගත් එකක් බව පැහැදිලිය. අප රටේ කෘමීන් සහ වෙනත් සතුන්ගේ, ගොවීන්ගේ, අතරමැදි වෙළෙන්දන්ගේ, ප‍්‍රවාහනය කරන්නන්ගේ, මෙන්ම තොග සහ සිල්ලර වෙළදුන්ගේ සමස්ථ ක‍්‍රියාකාරකම් වලින් විවිධ මට්ටමේදි පශ්චාත් අස්වනු නාස්තිය සිදුවේ. ඒ මහා පින්තූරය වඩාත් පුළුල්ව සහ දීර්ඝකාලීනව අධ්‍යනය කොට නැත. ඔවුන්ගේ විවිධ හැසිරිම්, උපකරණ හෝ උපාංග මෙන්ම ප‍්‍රවාහනය කරන ආකාරය සහ දුර ප‍්‍රමාණය, වේගය, මහ පාරේ ස්වාභාවය ආදි සාධක රාශියක් අවසාන ප‍්‍රතිඵලයට බලපාන බව තේරුම් ගැනීම අපහසු නැත. ඒ අනුව එවැනි කාරණා පදනම්කොට ගෙන විවිධ එළවළු සහ පළතුරු වර්ග වලට අදාලව ගැඹුරු අධ්‍යනයක් අනාගතයේදී සිදුකල යුතුව ඇත. එතෙක් එක් නිශ්චිත හැසිරීමකට අදාලව ඒ අකාරයට අතිශයොක්තියෙන් හුවා දක්වන නාස්තිය පිළිබඳ සංඛ්‍යා ලේඛන පිළිගැනීමට මහජනයාට හැකියාවක් නැත. අනෙක් කාරණය ඒ පොදුවේ තිබෙනවා යයි කියන නාස්තියෙන් කොතරම් ප‍්‍රතිශතයක් ප්ලාස්ටික් කූඩ භාවිතයෙන් පමණක් අඩුකරගත හැකිද යන්න පිළිබඳවද මේ විද්වතුන් අදහස් පළකල යුතුය. දැනටමත් ගොවීන්, ප‍්‍රවාහකයන් සහ වෙළෙන්දන් ආදි වශයෙන් වන පුළුල් පිරිසක් නාස්තිය පිළිබඳව ඉදිරිපත් කෙරෙන සංඛ්‍යාලේඛන ප‍්‍රතික්‍ෂ්ප කොට ඇත. ඒ නිසා පශ්චාත් අස්වනු නාස්තිය යන්න නැවත නිර්වචනය කලයුතු බව සහ එවැනි නාස්තියක් තිබෙන බව මෙන්ම ඊට පිළියම් යෙදිය යුතු බවටද කිසිදු විවාදයක් නැත. විවාදය ඇත්තේ කාඞ් කුට්ටමෙන් කොළයක් ඇද ගසන්නා සේ හදිසියේ මහා ප‍්‍රශ්නයක එක කොනකින් අල්ලා ගැනීම පිළිබඳවය. එමෙන්ම එමගින් අමාරුවේ වැටීම පිළිබඳවයි.
පශ්චාත් අස්වනු නාස්තිය යන්නට ගොවිපලේදි කුරුල්ලන් හෝ මීයන් විසින් කා දමා විනාශකරන පරිනත වූ අස්වැන්නේ ප‍්‍රමාණයේ සිට කුස්සියේදී අනවශ්‍ය ලෙස කපා ඉවත්කරන හෝ විනාශකරන ආහාර ප‍්‍රමාණය දක්වා වන පුළුල් පරාසයක නාස්තිය අයත් වේ. උදාහරණයක් ලෙස අනවශ්‍ය ප‍්‍රමිතීන් (විශේෂයෙන්ම නාගරික මධ්‍යම පන්තිය සතුටු කිරිම සඳහා) නිසා කපා ඉවත්කරන එහෙත් පරිභෝජනයට ගත හැකි කොටස් නිසා සිදුවන නාස්තියද ඊට අයත් විය යුතුය. ගෝවා ගෙඩියක් තැලී පොඩි වී නොතිබුනත් ගොවිපලෙන් කපාගත් දින සිට ආහාරයට ගන්නා දින දක්වා කී වරක් පිටත කොළ කපා ඉවත් කරනවාද? ඒ අනුව පාශ්චාත් අස්වනු නාස්තිය වැලැක්වීම පිළිබඳ වඩාත් පුළුල් නිර්ණායක සකස් කිරිම මෙන්ම ඒ පිළිබඳ මහජනයා දැනුවත් කිරිමද එක හා සමානව වැදගත් බවද විවාදයක් තිබිය නොහැක.
‘‘කූඩ අවුල’’ හදාගැනීමට පෙර අඹ සහ ගස්ලබු වැනි පළතුරු වර්ග කාඞ්බෝඞ් පෙට්ටි වලින් සහ තක්කාලි වැනි එළවළු වර්ග ලෑලි පෙට්ටිවලින් ප‍්‍රවාහනය කෙරිනි. එම හැසිරිම කිසිදු බලපෑමක් නොමැතිව ගොවියන් සහ වෙළෙන්දන් තම භාවිතාවෙන් ලබාගත් අධ්‍යාපනය නිසා සිදුවුවක් බව පැහැදිලිය. එ සේම අවුල හැදීමෙන් පසුව ගන්නා ලද ලිහිල් කිරිමේ තීරණ අනුව පෙනී යන්නේ සමහර එළවළු වර්ග කූඩ නොමැතිව සුපුරුදු පරිධි ප‍්‍රවාහනය කලත් විශාල ගැටළුවක් සිදුනොවන බවයි. ඒ අනුව මුලින්ම නීතිය හැදිමේ නිර්ණායක හෝ පසුව එය ලිහිල් කිරිමේ නිර්ණායක යන දෙකෙන් එකක් වැරදී ඇති බව පැහැදිලිව පෙනේ.
පශ්චාත් අස්වනු නාස්තිය නිළධාරින් කියන තරමටම තිබෙනවා යන්න මෙන්ම ගොවීන් සහ වෙළෙන්දන් ස්වේච්ජාවෙන් ඒ පිළිබඳව කිසිවක් නොකරනවා යන්න සහ කූඩ මගින් ප‍්‍රශ්නයේ බරපතලම කොටස විසදෙනවා යන්න මොහොතකට පිළිගනිමු. එහෙත් ඇසිය යුතු තවත් ප‍්‍රශ්න රාශියක් ඉතිරිව ඇත. ඉන් පළමු වැන්න ප‍්‍රවාහනයේදී යම් පමණකට තැලී පොඩිවන එළවළු කිසිදු මිල වෙනසකින් තොරව මහජනයා මිලදි ගන්නා බව සහ එයින් කිසිවක් ඉවත්නොකට ආහාරයට ගන්නා බව නිළධාරින් පිළිගන්නවාද? දෙවෙනි ප‍්‍රශ්නය අනුව, ඊට ටිකක් වැඩියෙන් තැලී පොඩිවන එළවළුද විනාශ නොකර යම්  අඩු මිලකට විකුණන බව සහ ඒවා ගැටළුවකින් තොරව ආහාරයට ගන්නා බව ඔවුන් දන්නවාද? (බොහෝවිට හෝටල් සහ ‘‘බෝඞ්ම්’’ අයිතිකරුවන් මිලදි ගන්නේ එවැනි වඩාත් තැලි පොඩිවී ඇති ඒවාය.) ඒ අනුව හොඳම එළවළු මිලදි ගන්නා පාරිභෝගිකයාට එසේ අඩුකරන මිල සහ සම්පුර්ණයෙන්ම වෙළදපලෙන් ඉවත්කරන යම් අස්වනු කොටසක මුල්‍යමය වටිනාකමට සමාන වන්දියක් ගෙවීමට සිදුවේ. නමුත් සමාජයේ පහල ස්ථර විසින් කූඩ නැති නිසා නාස්තිවනවා යයි කියන ප‍්‍රමාණය ද යම් ප‍්‍රමාණයකට පරිභෝජනය කරන බැවින් ජාතියට සැබෑ ලෙසම දැරිමට සිදුවන පශ්චාත් අස්වනු නාස්තියේ ආර්ථික සහ පාරිසරික පිරිවැය කියන තරම් විශාල නැත. නමුත් කූඩ හඳුන්වාදීම සමඟ ජාතියට අමරතව දැරිමට සිදුවන ආර්ථික සහ පාරිසරික පිරිවැයක් ඇත. මේ පිරිවැය දෙක නිළධාරින් විසින් සංසන්දනය කර බැලූවාද? කූඩ හඳුන්වාදිමෙන් පසුව තමාට දැරිමට සිදුවන මුල්‍යමය පිරිවැය නම් ගොවීන් සහ වෙළඳුන් විසින්ම සංසන්දනය කොට ඇත.
පසුගිය දිනවල මාධ්‍ය අවධානයට ලක්වූ ගොවීන්ගේ සහ වෙළෙන්දන්ගේ කථා අනුව ප්ලාස්ටික් කූඩ නිසා ඔවුන්ගේ ප‍්‍රවාහනය වියදම දෙගුණයක් වේ. එයට හේතුව කූඩ භාවිතයෙන් ප‍්‍රවාහනය කල හැක්කේ ඊට පෙර ප‍්‍රවාහනය කල ප‍්‍රමාණයෙන් අඩක් පමණක් වීමයි. එසේම ප‍්‍රවාහනයකල වාහනය ආපසු යෑමේදී කූඩ ආපසු ගෙනයාම සඳහාද ඉඩ ප‍්‍රමාණයක් වැය වන බැවින් ආපසු ගමනේදි ප‍්‍රවාහකයාට අමතර මුදලක් උපාය ගැනීමට ඇති හැකියාව අඩු වීමද ඊට හේතුවේ. ඊට අමතරව කූඩ එසවීම සඳහා ‘‘නාටාමි කුලිය ’’ වැඩිවිම නිසාද වියදම තවදුටත් ඉහල යාමේ ප‍්‍රවනාතාවයක් ඇතිවේ. එසේ ඉහළ යන ප‍්‍රවාහන වියදමට සාපේක්‍ෂව පශ්චාත් අස්වනු නාස්තිය නිසා ගොවියාට සහ වෙළෙන්දාට අහිමි වන ආදායම හෝ පාරිභෝගියාට පැටවෙන මිල ඉහලයාම නොසැලිකය හැකි තරම් සුළු ප‍්‍රමාණයක් බවටද ඔවුහු තර්ක ඉදිරිපත් කරති. සාමාන්‍ය දැනුම අනුවද ගොවීන්ගේ සහ වෙළෙදුන්ගේ තර්කය පිළිගැනීමේ අපහසුතාවයක් නැත. නමුත් ඇත්ත තත්ත්තවය ඊට වෙනස් නම් එය ඔප්පු කල යුත්තේ අදාල නිළධාරින් විසිනි.
ඇත්ත වශෙයෙන්ම පශ්චාත් අස්වනු නාස්තිය රටක ආහාර සුරක්‍ෂිතතාවයට අදාල ප‍්‍රශ්නයකි. එය පාරිභෝගිකයාට අදාල වන්නේ හෝ පාරිභෝගික පනත යටතට වැටෙන්නේ පශ්චාත් අස්වනු නාස්තිය නිසා භාණ්ඩවල ගුණාත්මකභාවය හීනවීම සහ මිල ඉහල යාම සිදුවනවා යන තර්කය මතය. එහෙත් පාශ්චාත් අස්වනු නාස්තියේ සැබෑ ආර්ථික සහ පාරිසරික පිරිවැය පාරිභෝගිකයාට මුල්‍යමය වශයෙන් කෙටිකාලීනව බැරවන්නේ නැත. එසේ බැරවුවත් එය දිර්ඝ කාලීන පිරිවැය සමඟ සැසදීමේදී ඉතා සුළු ප‍්‍රමාණයකි. එම පිරිවැය සැබැවින්ම බැරවන්නේ දැනටමත් අනතුරරේ වැටී ඇති ආහාර සුරක්‍ෂිතතාවය මතටය. ඒ නිසා ජොන්සට්න් ප‍්‍රනාන්දු ගරු අමාත්‍යවරයා නිළධාරින්ගේ ලනු ගිලන්නේ නැතිව පළමුව කලයුතුව තිබුණේ කෘෂිකර්ම අමාතයවරයා සමඟ’ එක්ව ආහාර සුරක්‍ෂිතතා පනතක් ගෙන ඒම සඳහා සමාජය තුළ සහ ආන්ඩුවතුළ කතිකාවක් ගොඩනැගීමයි. එසේ කලා නම් ඊ නියා ’’කූඩ නියෝගයට’’ අමතරව තවත් බොහෝ විසදුම් සඳහා නීතිමය රාමුවක් සකස්කර ගැනීමට ඉඩ තිබුණි. බොහෝ විට එසේ කලානම් කූඩ මගින් පමණක් ලබාගන්නා ප‍්‍රතිඵලයට වඩා බොහෝ වැඩි ප‍්‍රතිශතයකින් සාර්ථක ප‍්‍රතිඵල අත්පත්කර ගැනීමට හැකි බවටද සැකයක් නැත.
ආහාර සුරක්‍ෂිතතාවයේ මූලධර්ම අනුව පශ්චාත් අස්වනු නාස්තිය වඩාත් අදාල වන්නේ රටේ ප‍්‍රධාන ධාන්‍ය නිෂ්පාදනය වන වී අස්වැන්නටය. ඒ අනුව රටේ වී අස්වැන්න කොපමණ ප‍්‍රමාණයක්ද යන්න සහ ඒ අස්වැන්න නෙලා ගැනීමේ ක‍්‍රියාවලිය තුල සහ ඊට පසුව එම අස්වැන්නට නිදුවන්නේ කුමක්ද යන කාරණය ජාතික ආරක්‍ෂාව තරම්ම වැදගත් ප‍්‍රශ්නයකි. එයට හේතුව ‘‘වී’’ අප රටේ ආහාර සුරක්‍ෂිතතාව තීන්දු කෙරෙන ප‍්‍රමුඛතම බෝගය වීමයි. නමුත් එළවළු කූඩ ප‍්‍රශ්නයක් හදිිසියේ මතුකරගෙන රට හොලවන්න ධෛ්‍යර්ය ඇති ඇමැතිවරයා සහ නිළධාරින් වී අස්වැන්න ආශ‍්‍රිත පශ්චාත් අස්වනු නාස්තිය පිළීබඳ වචනයක්වත් කථා කන්නේ නැත. පසුගිය දිනවල වෙළඳ අමාත්‍යාංශය යටතේ ඇති ආහාර දෙපාර්තමේන්තුවේ සහ වී අලෙවි මණ්ඩලයේ ගබඩාකොට තිබු සහල් මෙ.ටො. 200කට අධික ප‍්‍රමාණයක් විනාශවිය. ඒවා ගුල්ලන් විදිම යන ලේබලය යටතේ තුට්ටු දෙකට පාන්පිටි සමාගමේ සත්ව ආහාර මෝලට විකුණා දැමුනි. සහල් ආශ‍්‍රිත පශ්චාත්් අස්වනු නාස්තිය අවම කිරිම සඳහා පශ්චාත් අස්වනු පර්යේෂණ ආයතනය හුදකලාව බොහෝ හොඳ දේ අත්හදා බලා ඇති බව රහසක් නොවේ. එහෙත් ඒ සොයා ගැනීම් වඩාත් පුළුල්ලෙස ප‍්‍රායෝගිකව සහ වානිජව යොදාගැනීම සඳහා අනෙකුත් ආයතන වලට දැක්මක් හෝ වැඩ පිළිවෙලක් නැත. ඇත්තවශයෙන්ම ආහාර සුරක්‍ෂිතතා පනතක් අවශ්‍ය වන්නේ ඒ අඩුව පිරවීම සඳහාය. නමුත් භාණ්ඩාගාර නිළධාරින්ගේ ලණු කන ඇමැතිවරු කරන්නේ ඒ මහා වැඩ වෙනුවට වෙනත් ‘‘සිල්ලර’’ ‘‘කූඩ’’ වැඩය. කෙසේවෙතත් තමාගත් තීන්දුවක් ක‍්‍රියාත්මක කිරිම සඳහා නිර්භීතව පෙනී සිටිම මගින් සහ ඒ හරහා ඇන ගැනීම මගින් එතුමා අනෙක් අමාත්‍යවරන්ට ආදර්ශයක් සපයා ඇත. එහෙත් කණගාටුවට කාරණය වන්නේ භාණ්ඩාගාර නිළධාරින්ගේ ‘‘ලණු නිර්දේශ’’ ක‍්‍රියාත්මක කිරිමට ඇති ධෛ්‍යර්ය හොද දේ කිරිම සඳහා යොදා නොගැනීමය.
කෙසේවෙතත් දැන් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ගරු අමාත්‍යවරයා ගත් මඟ යමින් මෛත‍්‍රිපාල සිරිසේන අමාත්‍යතුමාද නිර්භීත තීන්දුවක් ගෙන ඇත. එතුමා අමාත්‍යංශයට පිටින් තිබෙන ආයතන වල නිළධාරින් දුන් කොහු වලින් තම  අමාත්‍යාංශයේ නිළධාරින් අඹරාදුන් ලනුවක් ගිලදමා ඇත. එහෙත් එතුමාගේ වාසනාවට එය සමාජයේ එතරම් ප‍්‍රභලව කථාබහට ලක්වුයේ නැත. එතුමාද තමා යටතේ ඇති ආහාර පනත මගින් රෙගුලාසි පනවා තිරිඟු පිටි වලින් සෞඛ්‍යයට සහ පෝෂණයට සිදුවන හානිය අවම කිරිම සඳහා අහිංසක දුප්පත් උත්සාහයක් දරා ඇත. ඒ අනුව 2001-11-16 දින එතුමා නිකුත්කල නියෝග මගින් පාන් වලට සහල් පිටි දැමීමට අදාල නීතිමය රාමුවක් පනවා ඇත. එය ඉතා සද්භාවයෙන් කරන නියෝගයක් බවට කිසිදු සැකයක් නැත. එතුමාගේ උතුම් අරමුණ තිරිඟු පිටි අධෛර්්‍ය කිරිම සහ සහල් පිටි ප‍්‍රචලිත කිරිමය. එතුමා එසේ කිරිමට උත්සාහ කරන්නේ සහල් පිටි තිරිඟු පිටි වලට වඩා පෝෂණයෙන් උසස් නිසා පමණක් නොව තිරිඟුපිටි දියවැඩියාව සහ ගැස්ට‍්‍රයිටිස් වැනි නිදන්ගත රෝග වලට හේතුවන බව ඉතා ප‍්‍රභල ලෙස ඔප්පු වී ඇති බැවිනි. ඒ පිළිබඳ අපට වාදයක් නැත.
නමුත් ඒ නීතිමය රාමුව මගින් කරන්නේ කුමක්ද? එම නියෝගවලින් කරන්නේ මෙතෙක් 50% දක්වා ඉතා ඉහළ ප‍්‍රමාණවලින් පාන්පිටි වලට සහල්පිටි එකතුකොට පාන් හැදු බේකරි හිමියන් විසින් එසේ වැඩි වශයෙන් පාන් වලට සහල්පිටි යෙදිම අධෛර්්‍යයමත් කිරිමයි. ඒ අනුව දැන් අවම වශයෙන් 10% සහල්පිටි දමා පාන් හදන බේකරි හිමියන්ට එම පාන්වලට ‘‘සහල්පිටි පාන්’’ යන ලේබලය ඇලවීමට නීතියෙන් බලය ලැබේ. කලින් නීතියක් නොතිබු බැවින් සදාචාරය ක‍්‍රියාත්මක විය. ඒ අනුව බේකරි හිමියන් සහල් පිටි පාන් යන ලේබලය යොදාගත්තේ උපරිම වශයෙන් සහල්පිටි යොදාගත හැකි ප‍්‍රමාණය යොදා ගැනීමෙන් පසුවය. යම් බේකරි හිමියන් පිරිසක් විසින් (සහල්පිටි මිල යම් පමණකට තිරිඟුපිටි මිලට වඩා අඩු බැවින්) ලේබලයක් නැතිව හොර රහසේ සහල්පිටි 10% පාන් වලට එකතුකොට විකිණිමට කටයුතු කළේය. එසේ සුළු ප‍්‍රමාණයක් එකතුකල විට පාන් ගෙඩියේ පෙනුමේ වෙනසක් ඇතිවන්නේ නැති අතර අමතර සුළු ලාභයක්ද ලැබේ. ඒ නිසා ඒවා ‘‘සහල්පිටි පාන් ’’ යන ලේබලය අලවා අමාරුවෙන් ‘‘සන්නාමකරණය’’ කිරිමට ඔවුන් උත්සාහ කළේද නැත. අනෙක් කාරණය ඔවුන් කල්පනා කළේ සහල්පිටි පිටි පාන් යන ලේබලය ඇලවීමට නම් සහල්පිටි  40-50% එකතු කොට අමාරු ක‍්‍රියාවලියක් හරහා පාන් හැදිය යුතු බවයි. ඒ නිසා අමාරු වැඬේට වඩා හොර රහසේ සහල්පිටි ටිකක් එකතු කර සුළු ලාභයක් ලබාගැනීමේ අතරමැදි සමාදානය තේරුම් ගැනීම අමාරු නැත.
නමුත් දැන් නව රෙගුලාසිවලින් සිදුවන්නේ වෙනත් දෙයකි. ඒ අනුව හොර රහසේ සහල්පිටි ටිකක් දැමු (10%) අයටද තම නිෂ්පාදනයට සහල්පිටි ලේබලය ඇලවීමට ධෛර්්‍යය ලබාදී ඇත. එවිට සිදුවන්නේ කුමක්ද? මහජනයා ‘‘සහල්පිටි පාන් ’’ යන ලේබලය සහිත එහෙත් සුපුරුදු හැඩය සහිත පාන් ගෙඩිය තේරීමට පුදුරු වේ. එවිට 40%-50% සහල්පිටි දැමු හැඩය යම් පමණකට විකෘතිි වූ හෝ කුඩා වූ ‘‘ඇත්ත සහල්පිටි පාන්’’ වලට වඩා ව්‍යාජ සහල්පිටි පාන් වලට වැඩි ඉල්ලීමක් ලැබේ. (සහල්පිටි පාන් ඉල්ලන පිරිස් අතර) එසේ නම් අමාරුවෙන් 50% දක්වා සහල් පිටි දැමිමට උත්සාහ කරන්නේ කුමකටද? සමහර විට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම රෙගුලාසිය නීතිගත කිරිමෙන් පසුව ප‍්‍රතිශතයක් ගැන නොකියා ඊනියා සහල් පිටි ලේබලය ඇලවූ පාන් පරිභෝජනය කරන ලෙස ප‍්‍රචාරණ ව්‍යාපෘතියක්ද දියත් කරනු ඇත. එවිට යම් වැඩි මිලකට ව්‍යාජ සහල්පිටි පාන් විකුණා ලාභයක් ලබාගත හැක. එසේනම් වැඩි සහල්පිටි දමා විකිණිමට අමාරු හැඩය වෙනස් පාන් හදන්නේ කුමකටද? එවිට ජාතික මට්ටමින් අවසාන ප‍්‍රතිඵලය වන්නේ අමාත්‍යවරයා අවංකව කල්පනා කරන දේට වඩා වෙනස් දෙයකි. ඒ රටක් ලෙස පාන්වලට එකතු කරන සහල්පිටි ප‍්‍රමාණය දැනට වඩා අඩු වීමයි. ඒ අනුව මුලික අරමුණට සාපේක්‍ෂව මේ රෙගුලාසිය ඇති තත්ත්වය එය නැති තත්ත්වයට වඩා නරක බව ඉතා පැහැදිලිය. පාන් පිටි සමාගම මෙතෙක් උත්සාහ කළේ ‘‘සහල් පිටි පාන් සන්නාමකරණය’’ අවතක්සේරු කරන එවැනි තත්ත්වයක් වානිජ වශයෙන් නිර්මාණය කිරිමටය. නමුත් දැන් එම තත්ත්වය ‘‘පිනා පාරෙන්ම’’ නීතිය මගින්ම ඔවුනට ලැබී ඇත.
අප රටේ ඊ නියා පාන් පනත අනුව පාන් සෑදීමේදි ඊට තිරිඟුපිටි වෙනුවට වෙනත් කිසිදු පිටි වර්ගයක් අංශුමාත‍්‍ර ලෙස හෝ එකතු කිරිම නීති විරෝධි වේ. ඒ අනුව එදා සිටි නීති සම්පාදකයින් අද දින අප ජාතියේ අවශ්‍යතාවයට සාපේක්‍ෂව ඔඵුවෙන් සිටගෙන සිට ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත් පාන් පනත අද ප‍්‍රායෝගිකව වලංගු නැති මිය ගිය පනතකි. ඒ පනතට අනුව අවශයනම් පසුගිය කාලයේ සහල්පිටි යොදා පාන් නිෂ්පාදනය කල බේකරි හිමියන්ට නඩු පැවැරිය හැක. ඒ ඊට උඩින් තිබෙන ආහාර පනත යටතේ එසේ වෙනත් පිටි වර්ග එකතු කිරිමට අවසර දී තිබුණෙ 2% ක් දක්වා පමණක් වීමය. නමුත් පාන්පිටි සමාගම ඒ නීතිවිරෝධි ක‍්‍රියාවට එරෙහිව අධිකරණයට ගියේ නැත. එසේ ගියා නම් තිරිඟු පිටි කොතරම් සෞඛ්‍යයට අහිතකරද යන්න (අප වැනි තිරිඟු වැවෙන්ගේ හානි රටවල මහනජයාට) සහ විදේශියව සහ දේශිය සහනාධාර සහ බදු සහන ලබාගනිමින් ඒවා අපට රටට ප‍්‍රතාපනය (ඩම්පින්) කරන බව අධිකරණය ඉදිරියේ සංවාදයට ලක්වනු ඇත. පාන් පනත ක‍්‍රියාත්මක නොවීමේ රහස ඇත්තේ එතැනය.
කෙසේ වෙතත් මේ අවුල නිසා සිදුවන්නේ රෙද්ද බැනියම අදින ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා ගේ ජාතිකවාදි ප‍්‍රතිරූපයට හානිකර දේය. එනම් එතුමා විදේශිය පාන්පිටි සමාගමට වාසිදායක වන ලෙස පාන්වලට සහල්පිටි එකතු කිරිමේ ප‍්‍රතිශතය 50% සිට 10% දක්වා පහල අගයකට ගෙන එන ලෙස නීති පැනවීමේ අපවාදයට ලක්වීමයි. එසේ එතුමාගේ අරමුණට ප‍්‍රතිවිරුද්ධ දේ සිදුවන්නේ අමාරුවෙන් හෝ හරිදේ නොකර කෙටි මාර්ග වලින් උත්තර සෙවීමට යාම තුළය. ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා දැන් කලයුතුව ඇත්තේ ගොවීන්ගේ සහ වෙළෙන්දන්ගේ පහර කෑමට ලක්ව අධෛර්ය වී සිටින ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිතුමා සමඟ එක්ව හරිදේ කිරිමය. එනම් ඉතා කඩිනමින් ආහාර සුරක්‍ෂිතතා පනතක් ගෙන ඒමය. ඒ මගින් ආහාර නිෂ්පාදනයේ තීරණාත්මක සාධකය වන බීජ සුරක්‍ෂිතතාවයේ සිට දේශිය ආහාර පරිභෝජනය දිරිමත් කිරිම සඳහා වෙළඳපල හැසිරවීම දක්වා පරාසයක බොහෝ දේ ඉටුකරගතක හැක. එපමණක් නොව නිෂ්පාදනයට තීරණාත්මක වන පාංශු සංරක්‍ෂණයට අදාල කරුණු පවා ඒ මගින් ආවරණය කල හැක. එසේම මහජන සෞඛ්‍යයට අදාල වන තිරිඟුපිටි අධෛර්ය කිරිමේ සිට දේශිය කිරි ගොවියා රැක ගැනීම සහ කිරිවලින් ස්වයංපෝෂිත වීමට අවශ්‍යවන ආනයනික කිරිපිටි වලට සෙස් බදු පැනවීම දක්වා දේ ඉටුකරගත හැක. ඊට අමතරව ඒ මගින් සෞඛ්‍යයට සහ ආහාර සුරක්‍ෂිතතාවයට හිතකර ආහාර පරිභෝජනය සංස්කෘතියක් දිරිමත් කිරිමට අවශ්‍ය බොහෝ මැදිහත් වීම් කිරිමටද මඟ පෑදෙනු ඇත.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

Related

වෛද්‍ය වසන්ත බණ්ඩාර 1620201752273420080

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item