වමට වැළඳී ඇති ‘‘උපන් ගෙයි දෝෂය’’ – ගුණදාස අමරසේකර
කෙනෙකු උපතින්ම ලබා ගන්නා රෝගය – ව්‍යාධිය හඳුන්වනු ලබන්නේ ‘‘උපන් ගෙයි දෝෂය’’ යනුවෙනුයි. අද ජනතා විමුක්ති පෙරමුණ පෙළනු ලබන අර්බුදය මේ රටේ පහ...
http://weadikawa.blogspot.com/2011/12/blog-post_10.html
කෙනෙකු උපතින්ම ලබා ගන්නා රෝගය – ව්‍යාධිය හඳුන්වනු ලබන්නේ ‘‘උපන් ගෙයි දෝෂය’’ යනුවෙනුයි.
අද ජනතා විමුක්ති පෙරමුණ පෙළනු ලබන අර්බුදය මේ රටේ පහළ වූ සියලූ වාමාංශික පක්ෂවලට වැළඳී තිබුණු උපන් ගෙයි දෝෂයේ – රෝගයේ තවත් එක් අවස්ථාවක් ලෙස අපි දකිමු.
මේ රටේ වාමාංශික දේශපාලනය ආරම්භ වූයේ තිස් ගණන්වල බිහි වූ සමසමාජ පක්ෂයේ බිහිවීමත් සමග යි. ඒ පක්ෂය බිහි කිරීමට මුල් වූයේ උසස් අධ්‍යාපනය සදහා එංගලන්තයට ගිය ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා සහ එස්. ඒ.වික‍්‍රමසිංහ යන විද්වතුන් විසිනි. මොවුන් ඒ අවදියේදීම වැඩිදුර අධ්‍යාපනය සදහා එංගලන්තයට ගිය ප‍්‍රභූ පංතියේ සාමාජිකයන් ගෙන් වෙනස් වූයේ ඔවුන් දැරූ මාක්ස්වාදී දර්ශනය අතින් පමණි. අනිත් සියලූ අතින් මේ මාක්ස්වාදී මත දැරූ පිරිසත්, ලිබරල්වාදී මත දැරූ ප‍්‍රභූ පිරිසත් අතර වෙනසක් නොතිබිණි. මේ දෙපිරිසම තමන්ගේ රටෙහි සභ්‍යත්වය – සංස්කෘතිය තුළින් බිහි වූ කොටසක් නොවී ය. ඒ සදහා අවශ්‍ය අවම සුදුසුකම වන සිය මව්බස පවා මොවුහු නොදත්හ. මේ දෙපිරිස ම එකම කාසියේ දෙපැත්ත ලෙස හැඳින්විය හැකියි. මෙරටට පෙරළා පැමිණි මේ මාක්ස්වාදීන්, මාක්ස්වාදී මතාන්ධයන් ලෙස ලෙනින්වාදීන් වී, ට්‍රොස්කිවාදීන් වී අවසානයේ දශක තුනකට පසුව මේ රටේ දේශපාලන ක්‍ෂෙත‍්‍රයෙන් අතු ගෑවී යාම අපගේ පුදුමයට හේතු විය යුතු නොවේ.
හැට ගණන්වන විට ජනතා විමුක්ති පෙරමුණ බිහි වූයේ මේ අවකාශය තුළින් යයි නිගමනය කළ හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ බිහි කළ රෝහණ විජේවීරට පෙර කී නායකයින්ට නොතිබූ වාසනා ගුණයක් තිබිණි. එනම් මේ සභ්‍යත්වය – සංස්කෘතිය තුළින් උපත ලැබීමේ වාසනාව යි. ඔහු පෙර කී නායකයන් මෙන් මේ රටේ පසින් වියෝවූ පුද්ගලයෙක් නොවී ය. එමෙන්ම ඔහු දේශපාලන ක්‍ෂෙත‍්‍රයට පිවිසෙන විට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණයත් සමග මේ රටේ ජාතික බලවේගවල ශක්තිය දැක ගැනීමේ අවස්ථාව ද ඔහුට අත් වී තිබිණි.
56 දී මේ රටේ බහුතර ජනතාව, මේ රටේ සංස්කෘතියේ වාහකයන්වන ගැමි ජනතාව බණ්ඩාරනායක මහතා බලයට ගෙන එන ලද්දේ, විදේශිකයන් විසින් වනසා දමන ලද සිය අතීත උරුමය වෙත ගොස්, අපගේ සංස්කෘතිය අනුදක්නා මානව හිතවාදී, සමාජවාදී සමාජයක් බිහි කරනු සදහා යි. එහෙත් බණ්ඩාරනායක මහතාට හෝ එතුමා බිහිකළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ ඒ කටයුත්ත ඉටු කිරීමට නොහැකි විය. මේ හිඩැස ද රෝහණ විජේවීරට අවස්ථාවක් සපයන්නක් විය. ඒ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය නිසා අපේක්‍ෂා භංගත්වයෙන් අසහනයෙන් පෙළෙන විශාල තරුණ පිරිසක් මේ රට තුළ විය. රෝහණ විජේවීරගේ මූලික ආමන්ත‍්‍රණය වූයේ මේ පිරිසට යි.
රෝහණ විජේවීරට සිය ජනතාවගේ ආධ්‍යාත්මය හදවතින් වටහා ගැනීමේ ශක්තිය තිබුණද, ජනතාවගේ විමුක්තිය සඳහා අවශ්‍ය දේශපාලන දර්ශනය සඳහා මාර්ගය නිර්මාණය කර ගැනීමේ ශක්තිය ඔහු සතුව තිබුණේද? මේ ප‍්‍රශ්නය අද වන විට එදාට වඩා අප විසින් ඇසිය යුතු ප‍්‍රශ්නයක් බවට පත් වී ඇතැයි අපි සිතමු. අද ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇති පිල් බෙදීමෙන් මෙන්ම, රෝහණ විජේවීර බෙදාගැනීමට කරන අරගලයෙන්ද, පෙන්නුම් කරනු ලබන්නේ මෙය නොවේ ද? මේ දෙපිරිසම කරනු ලබන්නේ රෝහණ විජේවීර සිය පිලට ඇද ගැනීමට යි. එය කරනු ලබන්නේ අන් කිසිවක් උඩ නොව මාක්ස්වාදයේ නාමයෙනුයි. කුමාර්ගේ පිලට ඔහු සන්නද්ධ විප්ලවයේ නියමුවා වන අතර සෝමවංශ පිලට ඔහු අවිහිංසාවාදී – ඇල්මැරුනු මාක්ස්වාදියකු වී ඇති බව පෙනේ. රෝහණ විජේවීර කෙරෙහි මාක්ස්වාදයේ ප‍්‍රතිරූපය ඇරෙන්නට අන් කිසිදු ප‍්‍රතිරූපයක් මතුකර ගැනීමට මොවුහු අසමත්ව ඇත. ඊට හේතුව මාක්ස්වාදී ප‍්‍රතිරූපය ඇරෙන්නට වෙන අන් ප‍්‍රතිරූපයක් විජේවීර සතුව නොතිබීම ද? මෙය ගැඹුරින් සලකා බැලිය යුතු ප‍්‍රශ්නයක් ලෙස අපි දකිමු. එවැනි වෙනත් ප‍්‍රතිරූපයක් ඔහු සතු වී යයි අනුමානය කිරීමට තරම් වන සාධක අපි දකිමු.
අද කරනු ලබන මේ හාස්‍යෝත්පාදක කඹ ඇදිල්ලෙන් පෙන්නුම් කරනු ලබන්නේ, මෙරට බිහි වූ අන් සියලූ වාමාංශික පක්‍ෂවලට පොදු වූ උපන් ගෙයි දෝෂයට ජනතා විමුක්ති පෙරමුණ ද බිලි වී ඇති බව නොවේ ද? ඒ දෙපිරිස තුළ ම මාක්ස්වාදය බරවා බැස ඇති බව නොවේ ද?
මේ අතීත කතාවලින් දැන් වැඩක් ඇතැයි අපි නොසිතමු. එහෙත් මේ ඉතිහාසය විසින් අප උගත යුතු පාඩමක් තිබේ. එනම් මේ රට තුළ ජනතා ආශීර්වාදයට ලක්වන මානව හිතවාදී සමාජවාදී සමාජයක් බිහිකර ගැනීමට නම් මාක්ස්වාදී බරවය පසෙකලා ජනතා සිතුම් පැතුම් පදනම් කරගත් දේශපාලන දර්ශනයක් අප විසින් ගොඩනගා ගත යුතු බව යි. ඒ සඳහා කාලය දැන් උදා වී තිබේ.
ආචාර්ය ගුණදාස අමරසේකර
සභාපති, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
-මුරගල දෙසැම්බර් කලාපය.