අඟලක්‌ උසට පලු නැංවිය යුතු ප්‍රශ්නය!

ඉකුත් බ්‍රහස්‌පතින්දා කොළඹ පුරාම පැවතියේ අදහාගැනීමටවත් නොහැකි ආකාරයේ වාහන තදබදයකි. එම වාහන තදබදයට මමද හසුවී අන්තිමට කොළඹ ද...

ඉකුත් බ්‍රහස්‌පතින්දා කොළඹ පුරාම පැවතියේ අදහාගැනීමටවත් නොහැකි ආකාරයේ වාහන තදබදයකි. එම වාහන තදබදයට මමද හසුවී අන්තිමට කොළඹ දෙසට යැමට නොහැකිව ආපසු වාහනය හරවාගෙන ගෙදර ගියෙමි. එදා ලක්‍ෂ ගණනක්‌ මිනිස්‌සු කොළඹ නගරය අවට පාරවල්වල ඒ ආකාරයටම රස්‌තියාදු වූහ. ඒ පැවැති අසාමාන්‍ය තදබදයට හේතුව කුමක්‌දැයි පසුව සොයා බලන විට මට දැනගැනීමට ලැබුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ එම විශ්වවිද්‍යාලයේ සිට හයිලෙවල් පාර දිගේ පා ගමනින් පැමිණ එතැනින් ගාලු පාරට මාරුවී අරලියගහ මන්දිරය තුළට කඩා වැදීමට ගත් උත්සාහය නිසා මේ වාහන තදබදය ඇතිවූ බවයි. පොලීසියද එම පෙළපාලියට කිසිදු බාධාවක්‌ නොකර පාරවල් වසා අරලියගහ මන්දිරය අසලට ඔවුන්ට සුවසේ පැමිණීමට සියලු පහසුකම් සලසාදීමෙන් මේ වාහන තදබදය ඇතිවී ලක්‍ෂ ගණනක්‌ මිනිස්‌සු එදා මහ පාරේ පැය ගණනක්‌ රස්‌තියාදු වූහ. එම වාහන තදබදය ඇතිවූයේද වැඩියෙන්ම වාහන ගමන් කරන දවල් 12 වැනි වෙලාවකය. අප මෙයින් දුටුවේ සංවිධානාත්මක සුළු පිරිසකට ලක්‍ෂ ගණනක්‌ මිනිසුන්ගේ ජීවිත කාලකණ්‌ණි කළ හැකි ආකාරයයි.

මෙවැනි දෙයක්‌ හටගැනීමට හේතුව කුමක්‌දැයි සොයා බලන විට එය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති සිසු ස්‌මාරකයට සිදුවූ රුපියල් 2,000 කටත් අඩු සුළු හානියක්‌ නිසා සිසුන් සිය ගණනක්‌ එකතුවී මුළු කොළඹම ඇනහිටින තත්ත්වයකට හැඩගස්‌වා අරලියගහ මන්දිරය තුළටත් කඩා වැදීමට උත්සාහ ගැනීමයි. අප විශ්වවිද්‍යාලයේ සිටින සමයේද දැවැන්ත ශිෂ්‍ය උද්ඝෝෂණ පැවතුණි. පන්ති වර්ජන පැවතුණි. පෙළපාලි පැවතුණි. නමුත් කිසිම දවසක සිමෙන්ති ගොඩකට රුපියල් 2,000 කට අඩු හානියක්‌ වුණා යෑයි කියා මුළු කොළඹම ඇනහිටින තත්ත්වයකට පත්කොට අරලියගහ මන්දිරයටත් කඩා වැදීමට එකල කිසිම ශිෂ්‍ය සංවිධානයක්‌ උත්සාහ කළේ නැත. බ්‍රහස්‌පතින්දා කොළඹදී සිදුවූ දෙය කිසිසේත්ම ඇතිවූ ප්‍රශ්නයකට සද්භාවයෙන් පවත්වන ලද උද්ඝෝෂණයක්‌ යෑයි අපට කිසිසේත්ම හැඟෙන්නේ නැත.

මෙකී උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණේ ජනඅරගල ව්‍යාපාරය නමින් ජනතා විමුක්‌ති පෙරමුණෙන් වෙන්වුණු පිරිසක්‌ විසිනි. ඔවුන් ඒ සිදුකළ දෙය පිළිබඳව සංවාදයක්‌ එම ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක්‌ රඟපාන උදුල් ප්‍රේමරත්න මහතා සමඟ "ද සන්ඩේ අයිලන්ඩ්" දේශපාලන විචාරය සඳහා කළ යුතු යෑයි මට හැඟුණි. ඒ කළ සංවාදය මෙතැනදී මුළුමනින්ම ලිවිය නොහැකි වූවත් එහිදී උදුල් ප්‍රේමරත්නත් මමත් ප්‍රකාශ කර සිටි අදහස්‌ කිහිපයක්‌ ඉදිරිපත් කිරීම කළ හැක.

මා මුලින්ම උදුල්ට ඉදිරිපත් කළ ප්‍රශ්නය වූයේ සිමෙන්ති ස්‌මාරකයට සිදුවූ සුළුහානියත් එයට ඔවුන් දැක්‌වූ ප්‍රතිචාරයත් අතර ඇති නොගැලපීම ගැනයි. එහිදී උදුල් පවසා සිටියේ ඇතැම් සංකේත ඇතැම් පුද්ගලයන් වැදගත් කොට සලකන බවත් බුද්ධ ප්‍රතිමාවක්‌ හෝ ඡේසුස්‌ වහන්සේගේ ප්‍රතිමාවකට කවුරුන් හෝ බෝම්බයක්‌ ගැසුවේ නම් එය සිමෙන්ති ගොඩකට සිදුවූ හානියක්‌ ලෙස සැළකිය නොහැකි බවත්ය. අදාළ ස්‌මාරකය මියගිය සිසුන් සිහිපත් කිරීමට ඉදිකර තිබූවක්‌ බවද ඔහු කීය. නමුත් මා පෙන්වා දුන්නේ අදාල පිළිරුව ආගමික නායකයකුගේ පිළිරුවක්‌ නොවන බවත්, සිසුන් එයට වන්දනාමාන කරන්නේ නැති බවත්, එවැන්නක්‌ එතැන තිබෙන බවවත් ඔවුන්ට මතක්‌ වන්නේ අවුරුද්දකට වරක්‌ සැමරැමක්‌ පවත්වන අවස්‌ථාවකදී පමණක්‌ බවයි. එපමණක්‌ද නොව මෙම ස්‌මාරකයට කිසිදු අදාලත්වයක්‌ නැති පිටස්‌තර පුද්ගලයන් ලක්‍ෂ ගණනකට ඒ නිසා කරදර පමුණුවන්නේ මන්ද යන්න මගේ තවත් ප්‍රශ්නයක්‌ විය. එමෙන්ම මේ රට යන්තම් යුද්ධයකින් ගොඩ ඇවිත් තිබෙන අවස්‌ථාවක නැවත වරක්‌ මේ ආකාරයේ සුළු නොවැදගත් සිද්ධීන් වලට මහා පරිමාණයෙන් ජනජීවිතය අවුල් වීම අපට කිසිසේත් ඉවසිය නොහැකි බවයි.

රටේ පවතින විපක්‍ෂ දේශපාලන පක්‍ෂ විසින් කිසිදාක ඉකුත් බ්‍රහස්‌පතින්දා දවසේදී කොළඹ සිදුවූ ආකාරයේ දෙයකට මුලපුරන්නේ නැති බව මගේ මතය විය. එයට හේතුව ඒ ආකාරයට ජන ජීවිතය අවුල් කිරීම තුළින් එම පක්‍ෂ වලට ජනතාව අතර ඇති පිළිගැනීම පලුදු වන බව ඔවුන් ඉතා හොඳින් දන්නා නිසාය. නමුත් ජන අරගල ව්‍යාපාරය ඡන්ද වලට ඉදිරිපත් වන්නේ නැති නිසා ඔවුන් සාමාන්‍ය දේශපාලන පක්‍ෂ ඇතිකර ගන්නා හික්‌මීම තරම්වත් සංවර භාවයකින් කටයුතු නොකරන බවයි. සාමාන්‍ය දේශපාලන පක්‍ෂයක්‌ තම සාර්ථකත්වය මනින්නේ දිනා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුව වුවත් ජන අරගල ව්‍යාපාරය වැනි සංවිධාන තම සාර්ථකත්වය මනින්නේ පුළුවන් තරම් ජන ජීවිතය අවුල්කොට ඡන්ද බලයෙන් නොව රටේ කඩා වැටීම තුළින් තම බලය තහවුරු කර ගැනීමෙන් බවයි. මෙතැනදී උදුල් ප්‍රේමරත්න මහතා පවසා සිටියේ ඔවුන්ගේ සිසු විරු ස්‌මාරකය නිකම්ම සිමෙන්ති ගොඩක්‌ නොවන බවත් එදා සිදුවූයේ විශ්වවිද්‍යාල ආරක්‍ෂකයන් බලාසිටියදීම පුද්ගලයන් දෙදෙනෙක්‌ බයිසිකලයකින් පැමිණ එම ස්‌මාරකයේ බෝම්බයක්‌ අටවා පලායැම බවයි. මේවග සිසුන් විසින් පොලිසියට දැන්වූවද ඔවුන් එතැනට පැමිණියේ පැය 2 ක්‌ ප්‍රමාද වී බවයි. එපමණක්‌ද නොව අදාළ ස්‌මාරකය එතැනින් ඉවත්කළ යුතු බවට උපකුලපතිවරයා ඊට කලින් පවසා තිබුණු බවත් ඔහු කියයි.

මා එතනදී පවසා සිටියේ සිදුවූ හානියට සාපේක්‍ෂව ඔවුන් විසින් කරන ලද ජන ජීවිතය අවුල් කිරීම කිසිසේත්ම නොගැලපෙන බවත් ඔවුන්ට උපකුලපතිවරයා සමඟ ප්‍රශ්නයක්‌ තිබුණේ යෑයි කියා ඒ හේතුවට මිනිසුන් ලක්‍ෂ ගණනක්‌ පැය ගණනක්‌ මුළුල්ලේ මහපාරවල රස්‌තියාදු නොකළ යුතු බවත්ය. උදුල් මට කියා සිටියේ ලෝකය පුරාම අරගල හා උද්ඝෝෂණ හට ගන්නා බවත් මිනිසුන් පාරට බැස උද්ඝෝෂණය කිරීම අමුතු දෙයක්‌ නොවන බවයි. එපමණක්‌ ද නොව නුගේගොඩ යනු සාමාන්‍ය දවස්‌වලටත් වාහන තදබදයක්‌ පවතින ස්‌ථානයක්‌ බවයි. එකී වාහන තදබදය තුළ මාද සිටි නිසා පාරේ සිටි මිනිසුන් පොලිසියට පඩි ගෙවන්නේ පාරවල් වසා උද්ඝෝෂණකරුවන්ට පෙළපාලි යැමට සැලැස්‌වීමටද යන ප්‍රශ්නයත් ඔවුන්ගෙන් ඇසූ බව මම දනිමි. උදුල්ට එයටද පිළිතුරක්‌ තිබුණි. සාමාන්‍ය මිනිසුන් එවැනි ප්‍රශ්න අසන්නේ නැති බවත් පසුගිය වකවානුවේ පදික වෙළෙඳුන් හා පැල්පත්වාසීන් ඉවත් කරන විටද මිනිසුන් පාරට බැස උද්ඝෝෂණය කළ බවත්ය. මා එතනදී ප්‍රකාශ කර සිටියේ වෘත්තීය සමිති පවා ජන ජීවිතය අවුල් කිරීමට කටයුතු කරන අවස්‌ථාවලදී මහජනතාව එයට එරෙහි වන බවයි. සිසුන්ට හා උද්ඝෝෂණකරුවන්ට ඉකුත් බ්‍රහස්‌පතින්දා සිදුවූ දෙය "ජොලියක්‌" වුවත් අපට නම් එය ඒ ආකාරයට දිස්‌වන්නේ නැත.

මෙයට ඔහුගේ පිළිතුර වූයේ ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ පවතින ආකාරයේ තත්ත්වයක්‌ ලෝකයේ කොතැනකවත් නැති බවත්, උප කුලපතිවරයා උමතුවෙන් මෙන් කටයුතු කරන බවත්, ඔවුන් ඉල්ලා සිටින්නේ ඔහුව අයින් කරන ලෙස බවත්ය. සිසුන් 350 කගේ ශිෂ්‍ය භාවය අත්හිටුවා ඇති බවත්, ඇතැම් අයට එරෙහිව නඩු පවරා ඇති බවත්, ශිෂ්‍ය සංවිධාන තහනම් කර ඇති බවත්, සිසුන් සමග කතා කරමින් සිටින ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කෙරෙන බවටත් ඔහු චෝදනා කරයි. ඒ සම්බන්ධයෙන් මගේ අදහස වූයේ එවැනි ප්‍රශ්න මත විශ්වවිද්‍යාල තුළ හෝ ඒ අවට උද්ඝෝෂණය කළත් විශ්වවිද්‍යාලයෙන් පිට සිටින මිනිසුන් ඒ හේතුවෙන් දරුණු අපහසුතාවයන්ට ලක්‌ නොවිය යුතු බවත්ය. එවිට උදුල් මගෙන් අසා සිටියේ මේ උද්ඝෝෂණය පවත්වනු ලැබුවේ උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නම් මම ඒ අවස්‌ථාවේදී මේ ආකාරයටම එකී උද්ඝෝෂණය විවේචනය කරනවාද යන්නයි. මා එහිදී කියා සිටියේ උසස්‌ පෙළ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ජනමාධ්‍යය ඒ ප්‍රශ්නය ඉතා හොඳින් විමර්ශනය කරමින් සිටින බවත්, සියලුම විපක්‍ෂ දේශපාලන පක්‍ෂ ද එය ජාතික කර්තව්‍යයක්‌ හැටියට බාරගෙන ඇති නිසාත්, ඒ සම්බන්ධයෙන් මහපාරේ උද්ඝෝෂණ පවත්වා නිකරුණේ සිසුන්ගේ ජීවිත අනතුරේ හෙලීමටත් ජන ජීවිතය අවුල් කිරීමටත් කිසිදු හේතුවක්‌ නැති බවයි. එවිට ඔහු මගෙන් අසා සිටියේ මගේ දරුවෙක්‌ මෙවර උසස්‌පෙළ කළා නම් මා ඒ අවස්‌ථාවේදීත් ඔය ස්‌ථාවරයම දරනවාද යන්නයි. මගේ දරුවෙක්‌ මෙවර උසස්‌ පෙළ කර තිබුණා නම් මා විශේෂයෙන්ම ඒ ස්‌ථාවරයම දරන බවත්, ඒ කෙසේ වෙතත් ජන ජීවිතය අවුල් කරන උද්ඝෝෂණවලට මා මූලධර්මයක්‌ වශයෙන්ම එරෙහි වන බවත් මා එවැනි අවස්‌ථාවලදී පොලිසියෙන් ඉල්ලා සිටින්නේ එවැනි පිරිස්‌වලට අඟලක්‌ උසට පලු නැගෙන ආකාරයට හරක්‌ දඬු වලින් පහරදී පන්නා දැමිය යුතු බවයි. ඒ පහරදීමද පුළුවන් තරම් "නියෑන්ඩර්තාල්" ආකාරයට කරන මෙන්ද මගේ විශේෂ ඉල්ලීම වනු ඇත. එහිදී උදුල් කියා සිටියේ විරෝධතා පැවැත්වීමටත් අදහස්‌ ප්‍රකාශ කිරීමටත් පෙළපාලි යැමටත් නීතියෙන්ම ඉඩකඩ සලසා ඇති බවත් එවැන්නකට එරෙහිවන්නේ නම් ව්‍යවස්‌ථාවේ 12 -13 හා 14 වගන්තිද උල්ලංඝනය වන බවයි. එතනදී මා කියා සිටියේ එසේනම් ආණ්‌ඩුව විසින් කළ යුත්තේ සියලු දෙනාට මහ පාරේ යැමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා ආණ්‌ඩුව විසින් වාහනවල සිටින අයට හරක්‌ දඬු බෙදා දිය යුතු බවයි. එවිට ඔවුන් තමන්ට පුළුවන් ආකාරයට මහපාර එලිපෙහෙළි කරගෙන තමාගේ ගමන යනු ඇති බවයි. එයට උදුල් පවසා සිටියේ එය මහ ම්ලේච්ඡ කතාවක්‌ බවත් ඒ දෙය මහින්ද රාජපක්‍ෂට කිව්වත් "අපොයි ඔයා කියන දේ කරන්න බෑ" යෑයි ජනාධිපතිවරයාද පවසනු ඇති බවයි. ජනාධිපතිවරයාට දේශපාලනය තේරෙන බවත් ඒ නිසා ඔහු එවැනි දේ අනුමත නොකරන බවත් උදුල් කියයි.

උදුල් ප්‍රේමරත්න මහතා සමග සංක්‍ෂිප්ත වශයෙන් ඉංග්‍රීසි පුවත්පත සඳහා මා කළ දෙබස එබඳු විය. මෙහිදී මගේ අවධානයට යොමු වූ කාරණය වූයේ ජන අරගල ව්‍යාපාරයේ ප්‍රබලයකු වන උදුල් ප්‍රේමරත්න මහතා ද, මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනය තේරෙන දරදඬු නොවන පාලකයකු හැටියට හඳුනාගෙන තිබීමයි. ජනාධිපතිවරයා එවැනි පුද්ගලයකු බව දැන දැනත් මේ ප්‍රශ්නය කීප දෙනකු සමග ගොස්‌ ජනාධිපතිවරයා සමග කතා කොට විස¹ ගැනීමට උත්සහ ගන්නේ නැතුව රුපියල් 2,000 ක පමණ අලාභයකට මුලු කොළඹට ඇනහිටින තත්ත්වයකට කටයුතු සලසා අරලියගහ මන්දිරයටත් කඩාවැදීමට උත්සහා කිරීමෙන් පෙනෙන්නේ මේ උද්ඝෝෂණය කිසිසේත්ම සද්භාවයෙන් පවත්වන ලද්දක්‌ නොවන බවයි. මේ නිසා මා නැවත වතාවක්‌ පවසන්නේ දශක 4 ක බෙදුම්වාදී ප්‍රචණ්‌ඩත්වයෙන් මිදී යන්තම් ඔලුව ඔසවා ගැනීමට උත්සහ දරන මේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් කිරීමට උත්සහ දරන සියලු බලවේග අඟලක්‌ උසට පලු නැගෙන ආකාරයට හරක්‌ දඬු වලින්, නියෑන්ඩර්තාල් ආකාරයට පහරදී පන්නා දමා, රටේ මිනිසුන්ට සහනයක්‌ සැලැස්‌වීම ආණ්‌ඩුවේ යුතුකම වන බවයි.

සී. ඒ . චන්ද්‍රප්‍රේම 
උපුටා ගැනීම
දිවයින
2012-01-09

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 6215441877659431889

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item