පිළුණු වූ සටන් පාඨ වෙනුවට!

-මනෝජ් අබයදීර එජාපයේ ඇති වී තිබෙන අර්බුදයට හේතුව ප්‍රධාන වශයෙන්ම සැලකිය හැක්‌කේ, රාජ්‍ය බලය එම පක්‍ෂයට අත්පත් ...

-මනෝජ් අබයදීර
එජාපයේ ඇති වී තිබෙන අර්බුදයට හේතුව ප්‍රධාන වශයෙන්ම සැලකිය හැක්‌කේ, රාජ්‍ය බලය එම පක්‍ෂයට අත්පත් කරගත නොහැකි වීම හේතුවෙන් පැනනැඟුණු තත්ත්වයක්‌ ලෙසය. ජ.වි.පෙ. තුළ පැනනැගුණු අර්බුදයද එලෙසම විග්‍රහ කරගත හැකිය. දීර්ඝ කාලයක්‌ විපක්‍ෂයේ සිටින විට මෙවැනි තත්ත්වයක්‌ මතුවීම අසාමාන්‍ය දෙයක්‌ නොවේ. බලයට පැමිණීමට නොහැකි කාරණා සලකා බලන විට ඒ සඳහා පක්‍ෂ ඇතුළත විවිධ මතවාද මතුවන අතර එය පක්‍ෂ අභ්‍යන්තර අර්බුද ඇති කිරීමේ මූල බීජය බවට පත්වේ.

මෙහිදී පරාජිත සාධක අතරට නායකත්වය පිළිබඳ විවේචන ද එල්ල වීම ස්‌වභාවිකය. පක්‍ෂ යන්ත්‍රණයේ පවතින අඩුපාඩුවලදී සාමාජිකයාට ලැබෙන කොටස කුඩා වෙනවා මෙන්ම නායකයාට ලැබෙන කොටස විශාලවීම ද නිතැතින්ම සිදුවේ. පක්‍ෂයේ පරාජයේ හේතුවලදී ද එහි වැඩි බරක්‌ පැටවෙන්නේ ඒ අනුව නායකයාටය. නායකයාට වැඩි බරක්‌ පැටවුණු පමණින් පක්‍ෂයක පරාජය සඳහා ඇති සම්පූර්ණ වගකීම නායකයා පිට පැවරෙන්නේ නැත. නමුත් පක්‍ෂයක දෙවැනි පෙළ සිටින්නන් මෙවැනි අවස්‌ථාවලදී බොහෝ විට ක්‍රියා කරන්නේ පක්‍ෂයට පරාජිත තත්ත්වයක්‌ උදාකර දීමෙ සම්පූර්ණ බර නායකයා පිට දමා ජයග්‍රහණය සඳහා නායකත්වයේ වෙනසක්‌ අවශ්‍ය යයි යන සටන් පාඨය ඉදිරියට ගැනීමටය. පක්‍ෂ නායකත්වය සඳහා තමන් පැමිණ ගමන් මඟ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගෙන සකසා ගැනීම මෙහිදී ඔවුන්ගේ අරමුණ වෙයි.

එජාපය මතු වූ බරපතළ තත්ත්වයට පාර කපන ලද්දේ දෙවැනියන් විසින් පරාජයේ වගකීම සපුරා නායකයාට පවරා තමන්ගේ නායකත්වයට පක්‍ෂය යටත් කර ගැනීමට දියත් කරන ලද ක්‍රියාදාමයය. එම අර්බුදයට සෑහෙන පමණ විසඳුමක්‌ පසුගිය මාසයේ පැවැත්වූ නිලවරණයෙන් ලැබුණු බව පෙනේ.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට එරෙහිව එජාපය තුළ ජනාධිපති චන්ද්‍රිකාගේ පාලන කාලයේදී පවා කැරලි පැනනැඟුණත් ඒ සියල්ල නිමාවූයේ රනිල්ට ජය හිමිකර දෙමිනි. එසේම රනිල් විරෝධීන් පිල් මාරු කරන තැනට ද පත්වෙමිනි. රනිල්ගේ නායකත්වය වෙනස්‌ කිරීමට ගොස්‌ අවසානයේදී සිදුවූයේ රනිල් පක්‍ෂ නායකත්වයෙන් ඉවත්වීම නොව පක්‍ෂය දේශපාලන තලයෙන් කොන්වීමේ ඉරණමට ළඟාවීමය. දිගින් දිගටම රනිල්ට එරෙහිව කරන සටන පරාජයට පත්වෙද්දීත් තවමත් සටන නිමාවී නැතැයි පවසන පිරිසක්‌ එජාපයේ සිටී නම්, ඔවුන්ගේ කර්තව්‍යය අවසන වනුයේ රනිල් නායකත්වයෙන් ඉවත් කිරීමෙන් නොව, එජාපය දේශපාලනයෙන් අතුගා දැමීමෙන් බව පැහැදිලිය. රනිල්ට එරෙහිව එජාපයේ කටයුතු කරන පිරිස්‌ පවසන්නේ රනිල්ට ආණ්‌ඩු පෙරලා බලය ලබාගැනීමේ හැකියාවක්‌ නොමැති බවය. 2001 දෙසැම්බර් මහ මැතිවරණයෙන් එජාපයට රනිල් ජයග්‍රහණයක්‌ අත්කර දුන් බව අමතක කර කටයුතු කරන මේ පිරිස තවත් පැහැදිලි කාරණයක්‌ ද අමතක කර තිබේ. රනිල් ආණ්‌ඩු පරදවා බලය ගැනීමට නොහැකි වූවා මෙන්ම, රනිල්ට එරෙහිව කටයුතු කළ එජාප පිරිස්‌වලට ද ඔහු පරදවා නායකත්වය ගැනීමට නොහැකි වී ඇති බවය. දිගින් දිගටම පක්‍ෂය පරදින විට රනිල් ඉවත් විය යුතු නම්, එම තර්කය අනුවම දිගින් දිගටම රනිල්ට පරදින විට ඔහු නායකත්වයෙන් ඉවත් විය යුතුය යන මතය ද එජාපයෙන් ඉවත් විය යුතුය.

එජාපයේ පරාජවලියක්‌ ලැබීමේ කරුණු කාරණා පිළිබඳව නියමාකාර අවලෝකනයක්‌ නොකර තිබීම මේ මොහොතේ එම පක්‍ෂය විසින් තමන්ට කරගෙන තිබෙන බරපතළම අපරාධය ලෙස ගිනිය හැකිය. මේ නිසා අවසානයේදී හිස ඇම්මට කොට්‌ට මාරු කරන්නා සේ, ලෙඩේ පැත්තක තිබියදී වෙනත් කාරණාවලට ප්‍රතිකර්ම යෙදීමට යැම තුළ ලෙඩා මරණයට ළඟාවීමට ආසන්න තත්ත්වයක්‌ එජාපය තුළ මතුව තිබේ. දෙසැම්බර් මාසයේදී පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයෙන් තෝරා දෙන ලද නායකයන්ගේ වගකීම විය යුත්තේ පැවැති ප්‍රශ්නකාරී තත්ත්වය එම තීන්දුව මගින් අවසන් කර එජාපය, පළමු කොට ප්‍රබල විපක්‍ෂයක්‌ බවටත් දෙවනුව ආණ්‌ඩු බලය ලබාගත හැකි මට්‌ටමකට ගෙන එන තැනටත් කටයුතු කිරීමය. එසේ කරනවා වෙනුවට එජාපයේ ප්‍රතිසංස්‌කරණවාදීන්ගේ ක්‍රියාපිළිවෙත වී ඇත්තේ ලැබූ අවුරුද්ද පුරාද පක්‍ෂය ඇතුළේ ගාලගෝට්‌ටි නිර්මාණය කර, මේ වසරේ දෙසැම්බර් අග පක්‍ෂයේ තනතුරු සඳහා පවත්වන නිලවරණයේදී රනිල්ට එරෙහිව අපේක්‍ෂකයෙක්‌ ඉදිරිපත් කිරීම බව පෙනේ. මෙසේ ගියහොත් අවසානයේදී එජාප ප්‍රතිසංස්‌කරණවාදීන්ට සිදුවන්නේ වැසියන් නැති රටක රජවන්නා සේ පාක්‍ෂිකයන් නොමැති පක්‍ෂයක බලය අල්ලා ගැනීමට විය හැකිය.

නව වසරේ එජාපය කළ යුතු වන්නේ පරණ අවුරුදුවලදී රටට විහිළු සපයමින් කරගෙන ගිය පැරණි පාරේ යැම නොවේ. පාසල් ළමයාට පවා අලුත් පන්තියට එන විට ගුරුතුමිය කියන්නේ පරණ අවුරුද්දේ වූ අඩුපාඩු හදාගෙන අලුත් පුද්ගලයෙක්‌ වන්නට කියාය. එජාපය තවදුරටත් පරණ සෙල්ලමේම නිරත වුවහොත් දිගටම ලැබෙන්නේ පරණ ප්‍රතිඵලයම බැවින් නව වසරේ නව තත්ත්වයකින් එය නැගිටිය යුතුව තිබේ.

77Z ජයග්‍රහණයෙන් පසු එජාපයේ පරාජය සඳහා බලපෑ ප්‍රධානම කාරණය ලෙස z87 වසරේදී එජාපය මුහුණදුන් අකරතැබ්බය. සැලකිය හැකිය. ඉන්දියානු බලපෑම මත එජාපය ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හානි කරන පක්‍ෂයක්‌ බවට පත්වීම ඇරඹුනේ එම වසරේදීය. ඉන්දු-ලංකා ගිවිසුමට අත්සන් තැබීමත්, පළාත් සභා ඇති කිරීමත් මගින් රට පුරා එජාප විරෝධී රැල්ලක්‌ ඇතිවිය. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන විට එජාපය තුළ ද පැහැදිලි බෙදීමක්‌ ඇති විය. අගමැති ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමණී ජයසූරිය, සිරිල් මැතිව් වැනි එජාපයේ ප්‍රබලයන් ඒ මොහොතේ සිටියේ ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා පිහිටුවීමට එරෙහිවය. ඉන්දු-ලංකා ගිවිසුම කොලයට සීමා වූ තත්ත්වයක්‌ අද වන විට ඇති වී තිබුණ ද එය නිසා එජාපයට වූ හානිය ප්‍ර්‍රබලය. පක්‍ෂය ඇතුළත බෙදුම් ඇතිවන අතරේම බේද භින්න වී සිට විරුද්ධ පක්‍ෂයට එක්‌වීම සඳහා සටන් පාඨයක්‌ බවට පත්වූයේ ඉන්දු-ලංකා ගිවිසුම හා පළාත් සභාවලට එරෙහිවීමය. සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, ජනමත විචාරණය, Z83 ජූලි වර්ජකයන් රැකියාවෙන් එලවීම ආදිය එවැනි ප්‍රබල එජාප ආණ්‌ඩුවට එරෙහි විපක්‍ෂය විසින් යොදාගෙන තිබූ සටන් පාඨ වුවත් ඒවා "යන වාහනය ඉස්‌සර කිරීමට" තරම් බලසම්පන්න භාවයක්‌ නොඉසිලුවේය. එයින් ගත හැකි ප්‍රයෝජනය වූයේ ඉදිරියෙන් යන වාහනයට ඇසෙන්නට "පිටුපස සිට හෝන් ගහන" තරමේ විරෝධයක්‌ පමණය. නමුත් Z87 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ඡේ. ආර්. ගේ ආණ්‌ඩුව සමඟ කරට කර යන තරගයක යෙදීමේ හැකියාව විපක්‍ෂයට ලැබිණි. ජ.වි.පෙ. නැගිටීම සඳහා ලබාදුන් ප්‍රාණ වායුව බවට පත්වූයේ ද ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම හා පළාත් සභා ජනිත කිරීමය. එතැන් සිට එජාපයේ පටන්ගත් වැටීම නැවැත්වීමට තරමේ වෙනසක්‌ එජාපය විසින් තවම ගත්තේ නැත. ගත්තා නම් ගත්තේ තමන් වැටෙන කාරණයට තව තවත් ශක්‌තියක්‌ දෙන තීන්දුය. එජාපය ජයග්‍රහණය සඳහා යනවා නම් ඒ සඳහා වන ගමන පටන් ගත යුත්තේ මෙතැනින්ය. ජාතිකත්වයට, ඒකීය රාජ්‍යයට එරෙහිව තිබූ එජාපයේ ප්‍රතිපත්තිය, ජාතිකත්වයට පක්‍ෂපාතී, ඒකීය රාජ්‍ය රාමුව රකින ප්‍රතිපත්තියක්‌ බවට ගෙන ඒම තුළ තමන්ගේ වැටීම නතර කර ගැනීමට එජාපයට හැකිය. අද එජාපය තුළ සටන දියත් විය යුත්තේ එතැනිනි.

Z87 දී ඇති එජාපයේ වැටීම නතර කිරීමට ප්‍රතිපත්තිමය වෙනසක්‌ කිරීමේ පළමු අවස්‌ථාව උදාවූයේ රණසිංහ ප්‍රේමදාසටය. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව සිටි ප්‍රේමදාස, ජනාධිපති වීමත් සමඟම ඔහුට එජාපයේ පරිහානිය කරා ගෙන යමින් තිබූ ඒකීය රාජ්‍යයට එරෙහි, ජාතිකත්වයට එරෙහි ස්‌ථාවරයෙන් ඉවත් වී ඒකීය රාජ්‍යයට පක්‍ෂපාත ස්‌ථාවරයක්‌ ගන්නට තිබිණි. නමුත් ප්‍රේමදාස එහිදී කළේ ඉන්දු-ලංකා ගිවිසුම අනුව ශ්‍රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය සාමසාධක හමුදාව පිටමං කිරීම පමණය. එය එජාපයට ප්‍රතිපත්තිමය ලෙස වෙනස්‌ මඟකට ගත් පියවරක්‌ වුවත් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය විෂයෙහි ප්‍රේමදාස අනුගමනය කරන ලද "පරිත්‍යාගශීලී" පිළිවෙත, එජාපය යළිත් "පරණ වළටම" ඇද දැමීමට සමත් විය. එල්. ටී. ටී. ඊ. යට අවි ආයුධ සිමෙන්ති ලබාදීම තුළ ඔවුන් ගොඩනගා ගත් බලය, අවසානයේ නිරායුධ පොලිස්‌ භටයන් හයසිය පනහකගේ මිනීවළ කැපීමට දායක වීමෙන් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය නැවත හිස එසවීමත් සමඟ ප්‍රේමදාස ද ගමන් කර තිබුණේ පරණ පාරේම බව රටට පැහැදිලි විය.

ජනාධිපති විඡේතුංග මෙම තත්ත්වය මුළුමනින්ම වෙනස්‌ කිරීම සඳහා කටයුතු කළේය. එල්. ටී. ටී. ඊ. ය ත්‍රස්‌තවාදයක්‌ බවත් එය නිම කළ යුත්තේ යුද්ධයෙන්ම බවත් ඔහු පැවසුවා පමණක්‌ නොව නැගෙනහිර පළාතෙන් ත්‍රස්‌තවාදය අතුගා දමන්නට ද යුද නායකත්වය ලබා දුන්නේය. ඒ මොහොතේ විඡේතුංග ආණ්‌ඩුවේ අගමැති ධුරය දරන ලද්දේ රනිල් වික්‍රමසිංහය.

නමුත් විඡේතුංග ගත් හැරවුම් ක්‍රියාමාර්ගය මහජනයාට ඒත්තු ගැන්වීමට නොහැකි පරිදි, එජාපය විසින් පාර වරද්දාගෙන තිබිණි. ඉන්දු-ලංකා ගිවිසුමටත්, පළාත් සභා පිහිටුවීමටත් එරෙහිව සන්නද්ධ අරගලයක යෙදුණු ජ.වි.පෙ., මැඬපැවැත්වූ ආකාරය පිළිබඳව ඒ වන විට රට තුළ එජාපයට එරෙහිව පුළුල් විරෝධයක්‌ ඇතිවී තිබිණි. එම රැල්ල විඡේතුංගගේ වෑයමෙන් නතර කළ නොහැකි තරම් ප්‍රබල විය.

2001 දී යළිත් එජාපයට පාර්ලිමේන්තු බලය හිමි වුවත් එතැනදී එජාපය හැසිරුණේ Z87 දී ගත් පියවරටත් වඩා දරුණු ලෙස ඊළාම්වාදයට හා දෙමළ වර්ගවාදයට පක්‍ෂ වෙමිනි. රනිල්ගේ ආණ්‌ඩුව විසින් වෙනම රාජ්‍ය තත්ත්වයක්‌ කරා එල්. ටී. ටී. ඊ. යට යැමට අවශ්‍ය මාර්ගය එළි පෙහෙළි කර දෙමින් තිබිණි. ප්‍රභාකරන් සමඟ එළිපිට එකඟතා ගිවිසුම් අත්සන් කරන තැනට රනිල් පැමිණ සිටියේය.

ඒ වරද්දා ගැනීම, තවමත් එජාපයට දේශෙද්‍රdaහී ලේබලය වැදීමට සාධකයක්‌ වී තිබේ.

එල්. ටී. ටී. ඊ. යට එරෙහිව රාජපක්‍ෂ ආණ්‌ඩුව යුද වදින විට එජාපය සිටියේ, එයට සහයෝගය දෙනවා වෙනුවට කකුලෙන් අදින තැනකය. රනිල් ප්‍රමුඛ එජාප නඩයේ පැහැදිලි ප්‍රාර්ථනය වී තිබුණේ, "යුද්ධයෙන් ආණ්‌ඩුව ඇන ගනිත්වා" යන්නය. මේ නිසා එල්. ටී. ටී. ඊ. ය විනාශ කරන ලද යුද ජයග්‍රහණය අවසානයේදී රාජපක්‍ෂ ආණ්‌ඩුවේ හා එය සමඟ ඒ මොහොතේ සහයෝගීව කටයුතු කළ ජාතික බලවේගයේ අයිතියට සින්න විය. එතැනදීද එජාපය වැටුණේ පරණ වළටමය.

දැන් එජාපය ගොඩ ආ යුත්තේ මේ වළෙන්ය. දේශෙද්‍රdaහී පක්‍ෂයක්‌ යන ලේබලය නොගලවා ගතහොත් එජාපයට සිදුවන්නේ, ඉතිරි වී සිටින "උපන් ගෙයි යූ.ඇන්.පී. කාරයන්" ටික දෙනා සමඟ වැළලී යන්නටය. ඒ වෙනුවට නව පිරිසක්‌ තමන් සමඟ එකතු කරගෙන ගමන යැමට නම් එජාපය කළ යුත්තේ Z87 න් පාඩම් ඉගෙන ගැනීමය.

ඉන්දු-ලංකා ගිවිසුම, පළාත් සභා බිහිකිරීමෙන් තමන් ජාතියෙන් කොන්වීම හේතුවෙන් ලැබූ පරාජාවලිය නතර කර ගත හැක්‌කේ, දේශප්‍රෙමී, ජාතිකත්වයට ලැදි, ඒකීය රාජ්‍ය සහතික කරන ස්‌ථාවරයකට එජාපය පැමිණීමෙන් පමණි. ඒ සඳහා ජනාධිපති විඡේතුංග විසින්, ඔහු බලයේ සිටි සුළු කාලයේදී දැමූ පදනම "සුද්ද බුද්ද" කර ඒ මත තම ස්‌ථාවරත්වය එජාපයට ගොඩනඟා ගත හැකිය. විඡේතුංග එම පදනම දමන විට එම ආණ්‌ඩුවේ සිටි අගමැති වූයේ රනිල්ය. 1993-1994 කාලයේ විඡේතුංග ආණ්‌ඩුවේ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ යළිත් පැමිණ, 2000-2004 කාලයේ බෙදුම්වාදයට, දෙමළ වර්ගවාදයට පක්‍ෂපාතී අගමැති රනිල් වික්‍රමසිංහ පරාජය කරතොත් එය 1987 දී එජාපය වරද්දා ගත් තැන නිවැරදි කිරීමක්‌ වනු ඇත.

පක්‍ෂ නායකත්වය වෙනස්‌ කරන සටනට බැස පක්‍ෂය විනාශ කරනු වෙනුවට එජාපය ජයග්‍රාහී පක්‍ෂයක්‌ බවට පත්කිරීමට අවශ්‍ය නම් එජාප හිතවාදීන් අද කළ යුතුව ඇත්තේ මෙම ප්‍රතිපත්ති පෙරළිය සඳහා පක්‍ෂය යොමු කර ගැනීමය.

කොටින්ම කිවහොත් 2001 සිට 2011 වෙනතෙක්‌ සිටි රනිල්ගේ ප්‍රතිපත්තිය වෙනුවට 1993 සිට 1994 තෙක්‌ සිටි රනිල්ගේ ප්‍රතිපත්තියට එජාපය ගෙනයැමට අරගල කිරීමය.

මනෝජ් අබයදීර

-උපුටා ගැනීම
දිවයින
2012-12-04

Related

මනෝජ් අබයදීර 858912653734856042

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item