භූමි පුත්‍රයන් සතු පාරම්පරික බීජ අයිතිය සමාගම්වලට

-මතුගම සෙනෙවිරුවන් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවයේ පදනම සකස්‌ව තිබෙන්නේ පාරම්පරිකව පවත්වාගෙන පැමිණි බීජ සහ බිත්තර වී නිසාවෙනි. ...

-මතුගම සෙනෙවිරුවන්
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවයේ පදනම සකස්‌ව තිබෙන්නේ පාරම්පරිකව පවත්වාගෙන පැමිණි බීජ සහ බිත්තර වී නිසාවෙනි. සුවිශාල ජෛව විවිධත්වයකින් හෙබි ලංකාද්වීපය තුළ මෙම පාරම්පරික බීජ පමණක්‌ නොව ඖෂධ වශයෙන් පරිහරණය කළ හැකි ආවේණික ශාකයන්ද හමුවේ. එය මේ රටේ අතීත මුතුන්මිත්තන්ගේ උරුමයයි. අවිච්äන්නව පැවතෙන ජාතිකඋරුමයක්‌ ලෙසට සැලකිය හැකි මේ වටිනාකම් කිසිවකුටත් අන්සතු කළ නොහැකිය. කළ හැක්‌කේ එම උරුමයන් සංරක්‍ෂණයට දායකවීම පමණකි. එදා දේවානම්පියතිස්‌ස රජ පවසා සිටියේ ඔහු මේ රටේ අයිතිකරුවා නොව භාරකරුවා පමණක්‌ බවය. මහින්ද චින්තන ලියවිල්ල තුළද එම සංකල්පය පිළිගැනී ඇත.

1912 දී ආරම්භ කරන්නට යෙදුනු වත්මන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයකි. ඔවුහු ලංකාවේ පාරම්පරික උරුමයන් නැති භංගස්‌ථාන කරමින් වැව් අමුණු බිඳ හෙළමින් කළ විනාශය කිසිවකුටත් අමතක කළ නොහැකිය. එපමණටම ඔවුන්ගේ බලහත්කාරය විනාශකාරී විය. නමුත් කලකදී වෙසෙසින්ම පළමුවැනි ලෝක මහා යුද්ධ වලින් පසුව ඇති වූ ආහාර හිඟයේදී තමන් කළ විනාශයේ තරම ඔවුන්ට හොඳින් වැටහුණි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් වාරිමාර්ග කෘෂිකර්ම ආදී රාජ්‍ය අංශ ඇතිකර ආහාර නිෂ්පාදනය වේගවත් කරලීමට පියවර ගැනිණි. ලංකාවේ පැවැති පාරම්පරික බීජ වෙසෙසින්ම වී වර්ගවල නොමුහුන් පෙළපත සකස්‌ කර ගොවීන් වෙත බෙදාදීම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද්දේ එහි පියවරක්‌ වශයෙනි. එය සාධනීය ආරම්භයක්‌ විය. නමුත් පනහේ දශකයේදී මෙම සුදු නිලධාරීන්ද ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන්ද නව බීජ විප්ලවයක්‌ රට පුරා දියත් කළේය. හුදෙක්‌ වානිජ අරමුණින් සිදුකරන ලද මේ ක්‍රියාවලිය කෘෂි රසායන ගෙන්වන සමාගම් විසින් යෝජනා කරන ලද්දකි. එම තත්ත්වය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන්නේ බහුජාතික සමාගම්වල නියෝජිතයකු විලසිනි.

2012 වර්ෂය වන විට මෙම දෙපාර්තමේන්තුවට සියවසක්‌ ගත වෙයි. අඩ සියවසකට එහා කාලයේදී පාරම්පරික බීජ සහ භාවිතයන් කෙරෙහි අවඥවෙන් බැලූ නිලධාරීන් දැන් එම උරුමයන් සංරක්‍ෂණය කරලීමට සහ බලධාරීත්වය ඇතිකර ගැනීමට ප්‍රතිපාදන සපයන පනතක්‌ සකස්‌ කරමින් සිටී. එය නම් කර තිබෙන්නේ බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක භාවය විධිමත් කිරීම සඳහා ද බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කරන්නන් හසුරුවන්නන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම හා ඊට සම්බන්ධ හෝ අනුෂාංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්‌වීම මත 2003 අංක 22 දරන බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත පරිච්äන්න කිරීම යනුවෙනි.

පාරම්පරික බීජ සහ තෝරා ගත් විදේශීය බීජ මුහුම් කිරීමෙන් රසායනික පොහොරට වැඩි ප්‍රතිචාරයක්‌ දක්‌වන එච් 4 වැනි අභිජනන වී වර්ග ලංකාවේදී භාවිතයට ගැනෙන්නේ 1959 වැනි ඈත කාලයකදීය. පසුව පිලිපීනයේ අන්තර් ජාතික සහල් පර්යේෂණායතනයේ උපදෙස්‌ පිට ජැපොනිකා නම් ප්‍රභේදයන්ට අයත් වී වර්ග සමග දෙමුහුන් කිරීමෙන් සාදා ගන්නා ලද විස්‌මිත බීජ යෑයි කියාගන්නා අභිජනන වර්ග ගොවීන් අතර ප්‍රචලිත කරන ලද්දේය. මෙම ව්‍යාපෘතිය ඉටුකරලීම පිණිස සම්පූර්ණ රාජ්‍ය බලයම එකළ යෙදවූහ. ඒ අතර පාරම්පරික බීජගොවීන් අතරින් ඉවත් කරලීමට ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. වෙසෙසින්ම ජනපද ව්‍යාපාර ආරම්භ කිරීමෙන් පසුව වී මිලදී ගැනීමේ වැඩසටහන් වලදී ප්‍රමුඛතාව දෙන ලද්දේ නව අභිජනන වී වර්ගයන් සඳහා බිත්තර වී වර්ග මෙන්ම පාරම්පරික එළවළු බීජ නව ආරකින් අභිජනනයට ලක්‌ කරන ලද්දේ මහ ඉලුප්පල්ලම පර්යේෂණ මධ්‍යස්‌ථානය තුළදීය. මිරිස්‌, බටු මෙන්ම ධාන්‍ය වර්ගද එලෙස තෝරා බේරා ගෙන ක්‍ෂේත්‍ර පර්යේෂණ කරන ලද්දේය.

වෙළෙඳපොළ ආර්ථිකය සමග රාජ්‍ය ප්‍රතිපත්ති ගැට ගැසීමෙන් පසු කෘෂිකර්ම ක්‍ෂේත්‍රයද නවීකරණය විය. රාජ්‍ය දේපළ පුද්ගලීකරණය ඇරැඹිණි. මේ තත්ත්වය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු බිත්තර වී ගොවිපළවල් රාශියක්‌ බහුජාතික සමාගම් වෙත විකුණා ඇත. එහි ප්‍රතිඵලය වූයේ රජයේ බිත්තර වී වැඩසටහන සම්පූර්ණයෙන්ම අඩාල වී ගොවීන්ට පෞද්ගලික අංශය වෙතින් යෑපීමට සිදුවීමයි. එසේම රජයේ නිලධාරීන් මෙම බහුජාතික සමාගම් සමග එකඟතාවන්ට පැමිණ බීජ බෙදා හැරීමේ අයිතිය රජයෙන් බැහැර කරන්නට පවා සැලසුම් කළේය. මේ නිසා කෘෂි පර්යේෂණායතන සඳහා වෙන් කරන ලද මුදල් වාර්ෂිකව අඩුවිය. එළවළු බීජ සකස්‌ කිරීමද පර්යේෂණ කිරීමද අඩාල විය. මෙතෙක්‌ සොයා දැන ගන්නා ලද බීජ වර්ග අතුරුදන් විය. දැනට එළවළු බීජ වැඩි වශයෙන් ගෙන එන්නේ පිට රටිනි. ඒවාද දෙමුහුන් බීජ වෙයි.

ජපන් ආධාර මත තැනූ ගන්නෝරුවේ පැළෑටි ජාන සම්පත් මධ්‍යස්‌ථානය පාරම්පරික බීජ සංරක්‍ෂණය කරන ලද රාජ්‍ය ආයතනයයි. ඊට අමතරව බතලගොඩ වී පර්යේෂණ මධ්‍යස්‌ථානය තුළද විවිධ බීජ වර්ගවල එකතුවක්‌ වෙයි. මේ ජාන සම්පත් සියල්ල තිහේ දශකයේ සිටම ගොවීන්ගෙන් එකතු කර ගත් දැ වෙයි. මේ අතර ජාතික ව්‍යාපාරයේ පිබිදීමත් සමග ගොවීන් පාරම්පරික ගොවිතැන පිළිබඳව නැවතත් කතාබහ කරන්නට විය. එසේම ගොවීන් අතර ඒ වන විටත් ඉතිරිව තිබූ පාරම්පරික බීජ බෙදා හදා ගනිමින් නව පාරිසරික දැනුමද එකතු කර ගනිමින් තිරසර ගොවිතැනේ යෙදීමට බොහෝ පිරිසක්‌ උත්සුක විය. මා විසින් හැත්තෑව දශකයේ සිටම එසේ එකතු කරන ලද පාරම්පරික බිත්තර වී වර්ග රැසක්‌ වෙයි. ඒවා ගුණනය කොට ගොවීන්හට බෙදා දීමෙන් පාරම්පරික ගොවීන් අතර නව පිබිදීමක්‌ ඇතිවිය. එසේම මෙම වී පදනම් කර ගත් සහල් නිපදවීමේ ක්‍රියාකාරීත්වය අනුව දශකය තුළදී සක්‍රීය විය. රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම මත මෙම වැඩසටහන වේගවත් විය. සහල් ඇසුරුම් කිරීම ලේබල් කිරීම, මේ සියල්ල නව වෙළෙඳ පොළට ගැලපෙන පරිදි වැඩිදියුණු වීම නිසා පාරම්පරික සහල් වලට නොසිතූ ඉල්ලුමක්‌ ඇතිවිය. එම නිසා සහල් කිලෝවක මිල රුපියල් හැටේ සිට එකසිය පණහ දක්‌වා වැඩි විය. වී කිලෝවකට ලැබෙන මුදල ද රුපියල් විසිපහේ සිට හැට දක්‌වා වැඩි විය. මේ ක්‍රමය තුළ ගොවීන්ටද ස්‌ථාවර මිලක්‌ වෙළෙඳපොළේ දී ඇති වූ බව කිව යුතුය.

මෙම පරිවර්තනය දෙස ඇස ගසා බලා සිටි කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක්‌ තමන්ට ලැබෙන වාසි පිණිස බහුජාතික සමාගම් සමග එකතු වී උතුරුමැද පළාතේ පාරම්පරික වී වගා කිරීමේ ව්‍යාපාරයක්‌ ආරම්භ කරන ලද්දේය. ඒ මගින් ලබා ගන්නා ලද සහල් යටකී බහු ජාතික සමාගම විසින් ද වෙළෙඳ පොළට ඉදිරිපත් කරන ලදහ. අද ඔවුන්ට එයද වෙසෙසි ලාභ දනවන ව්‍යාපාරයක්‌ බවට පත්වී ඇත්තේය.

වර්තමාන බීජ කෙටුම්පතට පසුබිම් වී ඇත්තේ මේ පරිවර්තනයයි. 2001 වසරේදී ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තිස්‌එක්‌ වැනි සැසි වාරයේදී ආහාර හා කෘෂිකර්මයට අදාළ ශාක ජාන සම්පත් පිළිබඳ අන්තර් ජාතික ප්‍රතිපත්තියක්‌ ඇති කිරීමට එකඟ විය. මේ ප්‍රතිපත්තියට පක්‍ෂව රටවල් 116 ක්‌ ඡන්දය භාවිත කළහ. ඇමරිකාව සහ ජපානය ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඉන්පසු රටවල් හතළිහක්‌ ගිවිසුමකට අත්සන් කර ඇත. නමුත් ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට මෙතෙක්‌ බැඳී නැත. එහෙත් මෙම ගිවිසුමට අදාළව ඡායාත්මක පනත් කෙටුම්පත් ඇති කරගන්නට එකඟව සිටී. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අන්තර් ජාතික ගිවිසුමේ 6(2) ජී වගන්තිය ප්‍රකාරව 2003 අංකත 22 දරන බීජ පනත සකස්‌ විය. මෙම පනතේ අරමුණ වන්නේ බීජ ඇතුළු රෝපණ ද්‍රව්‍යයන් ගුණාත්මක තත්ත්වයන් වන පාරිශුද්ධත්වය මෙන්ම ප්‍රරෝහන ප්‍රතිශතයන් නිර්ණය කිරීමයි. ඒ පනත මගින් විශාල බලයක්‌ නිලධාරීන්ට ලබාදී ඇත. එහෙත් එහි විසිවැනි වගන්තියෙන් වැදගත් ව්‍යාපෘති රේඛයක්‌ දක්‌වා ඇත. එනම් යම් තැනැත්තකු විසින් තම ඉඩමේ වගාකොට ඇති බීජ හෝ ශාක ප්‍රභේද තම භූමිය තුළදී ලබා ගැනීම, විකිණීම හෝ වගා කටයුතු සඳහා සෘජුව කරන්නේ නම් මෙම පනතේ විධිවිධාන ඊට අදාළ නොවන බවයි. මේ නිසා ගොවීන් විසින් සම්ප්‍රදායිකව වගා කළ බීජ ඉතිරි කිරීමේ පුරුද්ද මෙන්ම තමන් වගා කළ ප්‍රභේදවල බීජ අන් අය සමග බෙදා ගැනීම හුවමාරු කර ගැනීම හා අලෙවිය යන කරුණුවලට බාධා නොකර ඒවා තවදුරටත් පැවතීමේ ඉඩ ප්‍රස්‌ථාව සහතික කර තිබේ. (නීතිඥ ජගත් ගුණවර්ධන)

නව බීජ කෙටුම්පතේ දෙවැනි වගන්තියට අනුව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පාරම්පරික බීජ හා පැළෑටි ජාන සම්පත් සුරැකීමේ වගකීම දරන බලධාරියා වනු ඇත. එසේම විසිවැනි වගන්තිය ඉතා සූක්‍ෂම ආකාරයකින් වෙනස්‌ කර තිබේ. එය මෙසේය, යම් තැනැත්තකු විසින් වවනු ලැබූ හා තමාගේ පරිශ්‍රය තුළදී ඔහු විසින් වානිජමය අරමුණකින් තොරව වෙනත් පුද්ගලයකුට වැපිරීමේ හෝ රෝපණය කිරීමේ කාර්යය සඳහා ඒ තැනැත්තාට සෘජුව භාර දෙනු ලැබූ යම් වර්ගයකට හෝ ප්‍රභේදයකට අයත් බීජ හා රෝපණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ පනතේ කිසිවක්‌ අදාළ නොවන්නේය. බැලූ බැල්මට මෙය සාධනීය වෙයි. එහෙත් මේ වගන්තිය අනුව ගොවියෙකුට බිත්තර වී හෝ බීජ ලබාදිය හැක්‌කේ තමන්ගේ පරිශ්‍රය තුළදී පමනි. එවිට මේ සම්බන්ධව කටයුතු කරන ගොවි සංවිධාන පාරිසරික සංවිධාන හෝ ස්‌වාධීන සහල් අලෙවිකරුවන් කිසිවකුටත් බීජ තබා ගැනීමට හෝ ප්‍රවාහනයට අවසරයක්‌ නැත්තේය.

මේ තත්ත්වය තුළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මෙතෙක්‌ නොතිබූ හිමිකමක්‌ පැවරෙයි. ඒ පාරම්පරික බීජ සුරැකීමේ බලධාරීත්වයයි. එය පාරම්පරික අයිතීන් ඉක්‌මවා යැමකි. රජය කළ යුත්තේ ගොවීන් සතු සම්පත් සුරක්‍ෂිත කොට එය පැතිරවීමට පහසුකම් සැලැස්‌වීමයි. නමුත් මෙහිදී පාරම්පරික බීජ අවශ්‍ය පරිදි හැසිරවීමේ භූමිපුත්‍ර අයිතියට සීමා මායිම් නිර්ණය කර ඇත. 18(13) වගන්තියෙන් එම ක්‍රියා පටිපාටි සකස්‌ කිරීමට බලයක්‌ දී ඇත්තේය.

ලංකාවේ බීජ හැසිරවීම, ශාක බෝ කිරීම, අභිජනනය කිරීම ආදී සියල්ල පෞද්ගලික අංශයට භාරදී ඇති අවස්‌ථාවක පාරම්පරික බීජ හැසිරවීමේ සහ පාලනය කිරීමේ අයිතිය ද රජයට තබාගෙන අවශ්‍ය වූ විට සමාගම්වලට ලබාදීමේ සූක්‍ෂම පියවරකි මෙය. රජයේ අරක්‌ගෙන සිටින ආර්ථික ඝාතක නිලධාරීන් මෙවැනි නීති කෙටුම්පත් සකස්‌ කරන්නේ දේශපාලනඥයන්ට ද නොදැනෙන පරිදිය. කාලයක්‌ තිස්‌සේ ජාත්‍යන්තර සංවිධාන සමග එකතුවී ලංකාව අස්‌ථාවර කරලීමේ යෙදී සිටින මේ නිලධාරීන් ඕනෑම පාවා දීමකට සූදානම්ය. එදා 1818 ජාතික විමුක්‌ති අරගලය පරාජයට පත් වූයේ මෙවැනි පාවා දෙන්නන් නිසාය. මේ තත්ත්වය වෙනස්‌ කරලීමට දැන් කාලය පැමිණ ඇතැයි අවසාන වශයෙන් කිව යුතුය.

මතුගම සෙනෙවිරුවන්

උපුටා ගැනීම
දිවයින
2011-01-23

Related

මතුගම සෙනෙවිරුවන් 4062954050379666929

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item