පෙරළු නැවුම් ලොව-2011

- කතිකාචාර්ය මහින්ද පතිරණ  ඔබ පිට වන්නේ ඇතුළු වූ වසරින් නොවේ. 2011 වසර යනු ලෝකයට අතිශය වැදගත් සිදුවීම් දාමයක්‌ එකතු කළ වස...

-කතිකාචාර්ය මහින්ද පතිරණ 
ඔබ පිට වන්නේ ඇතුළු වූ වසරින් නොවේ. 2011 වසර යනු ලෝකයට අතිශය වැදගත් සිදුවීම් දාමයක්‌ එකතු කළ වසරකි. ඕනෑ ම වසරක්‌ එසේ වන නමුදු මේ අන්තිම දින කිහිපය ගෙවී යන 2011 වසරේ සිදු වූ සිදුවීම් සියල්ල ම පාහේ අනාගතයෙහි උදාවන ලෝකයට දැමූ අත්තිවාරම් වැන්න. මීට වසර කිහිපයකට පෙර තිබූ ලෝකය දැන් නොසිතූ නොවිරූ ලෙස කණපිට පෙරළී ඇත. නැතිනම් ඇස්‌ පනාපිට එසේ වෙමින් තිබේ. තුන්වැනි ලෝකය ලෙස බටහිර ආර්ථික පාඨ ග්‍රන්ථවල හැඳින් වූ ආසියාව හිටි හැටියේ පළමු ලෝකයට අයත් රටවල නායකයන්ගේ හා ඔවුන්ගේ ප්‍රධාන පෙළේ මූල්‍ය සංවිධානවල කළමනාකාර ආධ්‍යක්‌ෂවරුන්ගේ ප්‍රමුඛතම ගමනාන්තය බවට පත්විය. හිස්‌ වැසුම් අතට ගෙන පැමිණි ඒ ගමන් අන් යමක්‌ සඳහා නොව ගිලී යන තම 'ටයිටැනික්‌ ආර්ථිකයන්' බේරා ගැනීම සඳහා කීයක්‌ හෝ ඉල්ලා ගන්නට ය. මේ අතර, අරාබි නැඟිටීම හා වෝල් විදී විරෝධතා යනු ද එක්‌ වසරක පමණක්‌ නොව කිසි කලෙකත් සිදු වෙතැයි අපේක්‌ෂා නොකළ තරමේ දේවල් ය. බින් ලාඩන් ඝාතනය හා මුවමර් ගඩාපි ඝාතනය පවා මේ වසර තුළ සිදුවීම කෙතරම් ඓතිහාසික ද?

2010 දෙසැම්බරයේ දී ආරම්භ වී 2011 දී මුදුන්පත් වූ අරාබි විප්ලවය විසින් ද ලෝකයට රැගෙන ආවේ නව මානයකි. එක්‌ අතකින් විප්ලවය විසින් එකී විප්ලවය සිදු වූ රටවල පමණක්‌ නොව කලාපයේ සෙසු රටවල ද ජනමතය පිළිබඳ වැදගත් සාක්‌ෂි ඉදිරිපත් කරන්නේ ය. විප්ලවයේ ගොදුරු බවට පත් මුල් ම රටවල් දෙක වන ටියුනීසියාවේ හා ඊප්තුවේ පැවති මැතිවරණවලින් මේ වන විටත් ජයග්‍රහණය කර ඇත්තේ අහ්නදා හා මුස්‌ලිම් සහෝදරත්වය වැනි පක්‌ෂයන් ය. ඊප්තුවේ මුබාරක්‌ සමයේ මුස්‌ලිම් සහෝදරත්වය තහනම් කොට තිබූ පක්‌ෂයකි. එනම් ඇමරිකාවේ හා ඊශ්‍රායලයේ ඉල්ලුම මත හොස්‌නි මුබාරක්‌ විසින් තහනම් කොට තිබුණේ අන් යමක්‌ නොව ඊප්තුවේ ජනමතයයි. හුදු දේශපාලනික ව අතිශය සංවේදී කරුණු පවා පසෙක තබා හුදු කෙටි කාලීන පළිගැනීම හා සම්පත් කොල්ලය සඳහා පමණක්‌ ම බටහිර විසින් දියත් කළ ලිබියා ආක්‍රමණය විසින් පවා මඟ පෑදුවේ අල් ඛයිඩා හා සෙසු අන්තවාදී මුස්‌ලිම් කල්ලිවලට පක්‌ෂපාතී කණ්‌ඩායම් එරට තුළ බලය අත්කර ගැනීමට ය. හිටපු මුජහිදීන් සටන්කරුවකු වූ හා එනිසා ම ගඩාපි යටතේ ඔහුගේ සිරකරුවකු වූ අබ්දුල් හකීම් බෙල්හා- ටි්‍රපොලි හමුදා කවුන්සිලයේ නායකත්වයට පත්වීම මීට කදිම උදාහරණයකි. ලිබියාව තුළ ක්‍රියාත්මක වනු ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නොව ෂරීයා නීතිය ම බව එරට අන්තර්වාර පාලකයන් විසින් ප්‍රකාශ කිරීම දෙවැනි උදාහරණයයි. දැනට විප්ලවය පවතින සිරියාව හා යේමනය තුළ ද ඇමරිකාවේ හුරතලා වන බහරේනය තුළ ද ඉදිරියේ දී බලය අත්කර ගනු ඇත්තේ බටහිරට හා ඊශ්‍රායලයට කිසිදු පක්‌ෂපාතීකමක්‌ නොදක්‌වන රජයන් බවට අතිශය පැහැදිලි සාධක තිබේ. නැඟෙමින් එන නව තත්වය හමුවේ පසුගිය දා ඇමරිකානු ආරක්‌ෂක ලේකම් ලියෝන් පැනේටා ඊශ්‍රායලට ප්‍රසිද්ධියේ ම කියා සිටියේ හුදකලාවෙන් බේරීමට නම් චණ්‌ඩිකම් පසෙක තබා මැදපෙරදිග නව දේශපාලය සමග ප්‍රායෝගික මිතුරුකමකට යන ලෙස ය. කලෙක ඇමරිකානු ඉත්තෙකු වූ තුර්කිය විසින් ද මේ වන විට ඇමරිකාවට හා යුරෝපයට දෙන සංඥා පෙර නොවූ විරූ ඒවා ය. විශේෂයෙන් ම ෂියා තුර්කිය හා ෂියා ඉරානය අතර ගොඩ නැඟෙන නව සබඳතාව කිසිසේත් ම බටහිරට දිරවිය නොහැකි තරම් ය.

ඇමරිකානු පිටවීම හා ඉරාක-ඉරාන නව සබඳතා

වසර 9 කට පසු මේ වසරේ දෙසැම්බර් 18 වන දින සිදු වූ ඇමරිකානු හමුදා ඉරාකයෙන් පිට ව යැම මැදපෙරදිග ලෝකයට හා සෙසු ලෝකයට දේශපාලනික ව අතිශය වැදගත් වනු නියත ය. එහි පළමු ලකුණු පෙනුනේ ඇමරිකානු හමුදා රැගත් අන්තිම ගුවන් යානය පිට ව ගියපසු ඉරාක ෂියා අග්‍රාමාත්‍ය නූර් අල් මලිකි විසින් තම සුන්නි උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීම හා ඒත් සමග ම ෂියා ප්‍රදේශවල පිපිරී යන ලදු ව සියයකට ආසන්න සංඛ්‍යාවක්‌ සාමාන්‍ය ජනතාව මරා දැමූ බෝම්බ ප්‍රහාරයන් ද සමග ය. ඉරාක අර්බුදය යනු මුල සිට ම ඇමරිකානු නිර්මාණයකි. හිටපු අල් ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් සේ ම හිටපු සුන්නි ඉරාක ජනාධිපති සදාම් හුසේන් ද ඇමරිකාව විසින් නිර්මාණය කර දියත් කළ සී අයි ඒ ඉත්තෙකි. සුන්නි නිකායට අයත් සදාම් හුසේන් ඇමරිකාව විසින් නිර්මාණය කළේ ඉරානයේ ෂියා පාලනයට එරෙහිව ඉත්තෙකු ලෙස යොදා ගැනීම සඳහා ය. ඇමරිකාව එවකට සදාම් හුසේන්ට හැකි සෑම සහායක්‌ ම ලබාදුන් අතර ඔහුගේ ඊනියා ජනසංහාරක අවි අපේක්‌ෂා පවා මතුවන්නේ මෙකල ඇමරිකානු අනුදැනුම යටතේ ය. එහෙත් මෙහි දී පාලක සදාම් හුසේන් ව ඉරාකයේ සුළුතර සුන්නි නිකායට අයත්වීම එරට බහුතර ෂියා මුස්‌ලිම්වරුන්ගේ නිරන්තර අසහනයට හේතුවක්‌ විණි. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට සුන්නි පාලක සදාම් හුසේන් බලයෙන් පහකිරීම හරහා නැවත වරක්‌ ඉරාකයේ බලයට පැමිණියේ බහුතර ෂියා මුස්‌ලිම්වරුන් ය. සුන්නි සුළුතරය යටතේ කොන්ව සිටි ෂියාවරු බලය අතට ගැනීමත් සමග ම තම පැරැණි ගනුදෙනු බේරා ගැනීමට මේ සුදුසුම කාලය යෑයි සිතූහ. එහෙත් ඇමරිකානු හමුදා ඉරාකය තුළ සිටින තාක්‌ එය කිරීම පහසු නොවූ අතර පසුගිය දා ඇමරිකානු හමුදා පිට ව ගිය සැණින් ඇරැඹුණේ ඒ කල් දැමූ වාඩුව පසු වී හෝ ගැනීමයි. මේ අතර, සැමදා පරිදි ම ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ කෙටිකාලීන හා ජනප්‍රිය තීරණ නිසා කළ ඉරාක ආක්‍රමණය මගින් ඇමරිකාව කර ගත්තේ එක්‌තරා සියදිවි හානිකර ගැනීමක්‌ බව දැන් පෙනේ. කොටින් ම ඉරාකයේ ෂියා බහුතරය පාලන බලය අතට ගැනීම යනු අසල්වැසි ෂියා ඉරානය සමග එරට පෙර නොවූ විරූ සබඳතාවකට ගමන් කිරීම ය. සදාම් හුසේන් යටතේ කියලාවත් කර ගත නොහැකි වූ දෙය ඇමරිකාව විසින් ඉරානයට බන්දේසියක තබා පූජා කරන ලදී. වත්මන් සිරියා අර්බුදයේ දී ෂියා රටවල් වන ඉරානය, ඉරාකය හා තුර්කිය යන සෑම රටක්‌ ම සිටින්නේ අසාද් පාලනය සමග ය. ඇමරිකාව විසින් අරාබි ලීගය හරහා සිරියාවට සම්බාධක පැනවීමට ක්‍රියා කරන්නේ ද මෙම බල අරගලයේ දී ඇමරිකාව සුන්නි පාර්ශ්වයේ සිටින නිසා ය. සුන්නි නිකායට අයත් මෙන් ම ඇමරිකානු ගුවන් හමුදා මධ්‍යම අණ මූලස්‌ථානය පිහිටුවා තිබෙන කටාර රජ කිරුලට අයත් අල් ජසීරා වැනි මාධ්‍ය මෙම ව්‍යාපෘතියේ දී සුන්නි නිකාය වෙනුවෙන් සිරියාවට එරෙහි ව සෑහෙන කාර්යභාරයක්‌ ඉටුකරන්නේ මෙම පසුබිම තුළ ය. කෙසේ වෙතත්, අන්ග්ලෝ සැක්‌සන් බෙදා වෙන්කර පාලනය කිරීමෙ යටත් විජිත ප්‍රතිපත්තියේ විපාකය විඳින ලෝකයේ සෙසු රටවල් සේ ම ඉරාකය ද ඉදිරියේ දී සැලකිය යුතු අභ්‍යන්තර සිවිල් යුද්ධයකට තල්ලු වීම කිසිවෙකුටත් වැළකිය හැකි නොවේ.

බින් ලාඩන් ඝාතනය හා ඇමරිකාව

වත්මන් ලෝකයේ සිදුවීම් හැඩ ගස්‌වන්නේ ආර්ථිකය විසිනි. පෙරදිග ලෝකය මෙහෙය වූ ආධ්‍යාත්මික හෝ දාර්ශනික කාරණාවක්‌ විණි නම් ඒ සියල්ල ආර්ථික ප්‍රවාහහය විසින් යටපත් තර තිබේ. මේ අනුව, ගෙවී යන වසර වඩාත් ම ඉතිහාසගත වනු ඇත්තේ දශකයක්‌ තිස්‌සේ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ කේන්ද්‍රය වූ බිල් ලාඩන් සෙවීමේ හා ඝාතනය කිරීමේ ජයග්‍රහණය විසින් නොව එසේ ඝාතනය කිරීමට යැමේ දී ඇමරිකාවට හා එහි මිතුරන්ට අත් වූ ආර්ථිත පරාජය විසිනි. පසුගිය දශකය තුළ ඇමරිකානු අනන්‍යතාව සැකසූ එක ම සාධකය නම් බිල් ලාඩන් බව පැහැදිලි ය. එහෙත් එකී ඝාතනය ඇමරිකාවට ගෙන දුන් එක ම සහනය වූයේ ආර්ථික වශයෙන් කිසිදු වැදගැම්මකට නැති පළිගැනීම තුළින් ලැබෙන 'භාවමය වමනය' කිරීමක්‌ පමණක්‌ වීම zෙ€දයකි.' වමනය කිරීමෙන් පසු හිස්‌ වූ බඩට කලකට පසු හරි හමන් කෑමක්‌ ගැනීමට සාක්‌කුවට අත දැමූ ඇමරිකාව දුටුවේ එහි තඹ දොයිතුවක්‌ හෝ නැති බවත් තිබෙන තඹය ද හෙට චීනයට දියයුතු ණය පොලිය බවත් ය. මීට අමතරව බින් ලාඩන් ඝාතනය කිරීම හරහා ඇමරිකාව ආසියාවේ තම ප්‍රබලම හා නැතිව ම බැරි මූලෝපායික මිතුරා වන පාකිස්‌ථානය අහිමි කර ගැනීමට 'සමත්' වන්නේ ය.

වෝල් වීදි තරුණයා හා බටහිර ඉච්ඡාභංගත්වය

ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ඇතුළු බොහෝ බටහිර රටවල් කල්පනා කළේ ලෝක බැංකුව හා අන්තර් ජාතික මූල්‍ය අරමුදල වැනි නවලිබරල් යටත් විජිත ආම්පන්න තුළින් ගෝලීය දකුණ පාලනය කිරීම හරහා තම රටවල අභ්‍යන්තර ගැටලු විසඳා ගත හැකි බව ය. ඇත්ත ය. එය සැලකිය යුතු අර්බුදයක්‌ නොමැති ව උපරිමයෙන් දශක දෙකක්‌ තිස්‌සේ 'වැඩ' කළේ ය. එහෙත් ඉන් එහාට යැමට ඊට නොහැකි බව පසුගිය අගොස්‌තුවේ දී බ්‍රිතාන්‍ය හෙල්ලුම් කැවූ ජන කෝලාහලවලින් හා තාමත් ඇමරිකාවට හා බ්‍රිතාන්‍යයට උත්තර නැති වෝල් වීදි විරෝධතාවලින් පෙනේ. ලිබරල් ආර්ථික හා දේශපාලන කුණු කන්දල් වෝල් වීදියට හා ලන්ඩනයේ සාන්ත පාවුළු පල්ලි පරිශ්‍රයට ගෙනවිත් දශක ගණනාවක්‌ තිස්‌සේ වසා තැබූ සැරව පෙරන තුවාලයේ ඔඩුව මනාකොට පෙන් වූ මෙම විරෝධතා දියුණු යෑයි සම්මත රටවල හෘද සාක්‌ෂිය පසාරුකරගෙන යන ලද කටු කම්බියක්‌ බව කිවයුතු ය. එය ගොන්තනාමෝ හා ඉරාකයේ අබු ග්‍රයිබ් සිර මැදිරිවල දී රැඳවියන්ගේ අධෝමාර්ගයෙන් යවා මුඛයෙන් පිටට ගත් කටු කම්බියට වඩා ප්‍රබල වන්නේ රැඳවියා සැණෙකින් මියයැම නිසා ද 'ලිබරල් ප්‍රජාතාන්ත්‍රිකයන්' තාමත් විඳවමින් ජීවත් වන නිසාත් ය. කෙසේ වෙතත්, මූල්‍ය අර්බුදය නිසා බටහිර ලෝකය තුළ සිදු වීමට නියමිත සමාජ හා දේශපාලන අර්බුදයේ නියම ස්‌වභාවය ලෝකයට දැනගත හැකි වනු ඇත්තේ එකී රටවල ජාතික අයවැයවලින් කපා දැමූ සුබසාධක හා වෙනත් සේවා 2012 වසරේ දී අදාළ සමාජයේ ඇ`ගට නිය ම වශයෙන් ම දැනෙන්නට ගන්නා විට ය. එහි නවතම නිදසුන ලෙස මේ බදාදා වාර්තා වූයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය සෞඛ්‍ය වියදම් කප්පාදුව හේතුවෙන් රෝගී ප්‍රතිකාර ප්‍රමිතිය අතිශයින් ම පහළ බැස ඇති බව සෑම වෛද්‍යවරු පස්‌ දෙනෙකුගෙන් හතරදෙනකු පවසන බව ය.

බටහිර බැසීම හමුවේ ආසියාව නැඟෙන්නේ ඇයි ?

1990 දශකයේ අග හා 2000 දශකයේ මුල හරියට වන්නට ආසියාව තුළ සිදු වූ දැවැන්ත මූල්‍ය අර්බුදය හමුමේ ආසියාතිකයා මනා පාඩමක්‌ ඉගෙන ගත්තේ ය. ඒ තමන් අර්බුදයට වැටී අවස්‌ථාවේ දී මිතුරෙකු ලෙස පිහිට වෙන්නට කිසිවකුත් නැති වග ය. බටහිර පිහිට ලැබෙන්නේ තම වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ බහුජාතික සමාගම්වල පිණුම් ගසන්නට දෙන කොන්දේසිය මත පමණක්‌ බව ආසියාව දුටුවේ ය, වින්දේ ය. ආසියාතිකයා තාවකාලික ව මෙහි දී පසුබැස්‌සේ ය. එහෙත් මතුදින ආසියාවෙන් ම හිරු නැඟෙන බව දැන එවර සටන් කිරීමේ අදිටනින් ය. අසියාව මින්මතු කළේ අර්බුදයක දී යොදාගත හැකි වන පරිදි දැවැන්ත මූල්‍ය සංචිත තම රටවල් තුළ ඒකරාශී කර ගැනීම ය. වර්තමාන ආසියාව ඩොලර් ටි්‍රලියන ගණනක මුදල් සංචිතවල හිමිකරුවා වන්නේ මෙම දිගු කාලීන සැලැස්‌මේ ප්‍රතිඵල ලෙස බව සිහිකළ යුතු ය.

ආසියාව මුදල් ඉතිරි කරන විට බටහිර කළේ හැකි තරම් මුදල් වියදම් කිරීම ය. 2000 දශකය ලබන විට බිල් ක්‌ලින්ටන් විසින් ඇමරිකානු ආර්ථිකය ද ඉතා සුවදායක මට්‌ටමකට ගෙනවිත් තිබිණි. කොටින් ම 2000 හා 2001 වසරවල ඇමරිකානු අයවැය තුළ අතිරික්‌තියක්‌ ද දක්‌නට ලැබිණි. එහෙත් ජෝර්- ඩබ්ලිව්. බුෂ් මේ සියල්ල කණපිට හැරවීමට සමත් වූවෙකි. ඔහුගේ වීරතම ක්‍රියාව වන්නේ මහ පරිමාණ ව්‍යාපාර සම්පූර්ණයෙන් ම බද්දෙන් නිදහස්‌ කිරීම ය. මෙසේ බදු කපන අතර ඔහු සුපර්මෑන් චරිතය ර`ගමින් රටවල් දෙකක යුද්ධ දෙකකට අණ දෙන්නේ "මං පෙන්වන් නම් තාත්තේ ඇමරිකාව මෙයෑයි කියා" තම පියා වූ හිටපු ජනාධිපති ජෝර්- බුෂ්ට ද වෙට්‌ටුවක්‌ දමමිනි. 2011 වන විට මෙම යුද්ධ දෙකෙහි වියදම ඩොලර් බිලියන 1000 ඉක්‌මවා තිබීම ම මේ 'වීර ක්‍රියාවේ' තරම කියා පාන්නේ ය. තම පොකැට්‌ටුවේ සල්ලි නැති වන විට ඇමරිකාව කළේ 'පස්‌සේ දෙන්නම්' කියා චීනය හා රුසියාව වැනි රටවලින් මුදල් ණයට ගැනීම ය. එහෙත් පස්‌සේ දෙන්නට තරම් මුදල් උපයන්නට ඇමරිකාවට හැකියාවක්‌ නොතිබිණි. චීනය හා වෙනත් ආසියාතික රටවල් මේ වන විට තමා හුදු බටහිර භාණ්‌ඩවල පාරිභෝගිකයා වනු වෙනුවට නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කර තිබිණි. බටහිර වෙළෙඳපොළ වෙනුවෙන් නිෂ්පාදනය කළ භාණ්‌ඩ එම රටවලට විකුණා දැවැන්ත ඩොලර් කන්දරාවක්‌ තම රටවලට ගෙන ඒමට මෙම රටවල් සමත් වෙති. ආසියාතික නිෂ්පාදන බටහිරට කෙතරම් ආකර්ෂණීය වීද කිවහොත් බටහිරයා තම රටවල අධික මිල සහිත භාණ්‌ඩ වෙනුවට මිලෙන් පහළ එහෙත් තත්වයෙන් උසස්‌ ආසියාතික භාණ්‌ඩවලට ම යොමුවූහ. අද බටහිර රටවල සුපිරි වෙළෙඳසල්වල චීන භාණ්‌ඩ නොමැති ව වැසී යන මට්‌ටමට දුරදිග ගියේ ආසියානු නිහඬ විප්ලවයේ ප්‍රතිඵලයක්‌ ලෙස ය. මේ අනුව බටහිර මුදල් එන්න එන්න ම ආසියානු රටවල භාණ්‌ඩාගාරවලට ගලා එන විට ඇමරිකාව හා යුරෝපය එකතු වී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉරාකයේ හා ඇµaගනිස්‌ථානයේ මිනී මරමින් සිටියහ. 19 වැනි සියවසේ දී බටහිරයන් විසින් චීනය සමග වන වෙළෙඳ ශේෂය තුලනය කර ගත්තේ චීනයට අබින් කවා ය. එවන් දුෂ්කර හා පීඩිත අතීතයක්‌ සහිත ව ගොඩනැඟුණු චීනය අද ලෝකයේ දෙවැනි විශාලත ම ආර්ථිකය බවට පත්වූයේ දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් යුතු ව කළ යුත්ත කිරීමෙනි. එහි මස්‌තකප්‍රාප්තිය සිදු වූයේ ද මේ ගෙවීයන 2011 වසර තුළ වීම මෙම වසරට තවත් වටිනාකමක්‌ එකතු කරනු ඇත.

චීනය ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වීම මෙන් ම බොහෝ යුරෝපීය රටවල් පරදමින් ගෝලීය දකුණ නියෝජනය කරන රටවල් ආර්ථික ඉනිමඟෙහි ඉහළට යැම නැවත වරක්‌ තහවුරු කරන්නේ බටහිර බැසයන කතාව ය. මේ සතියේ දී ම නිකුත් වූ ලෝක ආර්ථික දත්ත පර්යේෂණ වාර්තාවකින් කියවුණේ බ්‍රිතාන්‍යයට ලෝකයේ හයවැනි විශාලතම ආර්ථික තත්වය අහිමි කරමින් බ්‍රසීලය එම තත්වයට පත් වූ බව ය. වාර්තාව නිකුත් කළ ආර්ථික හා ව්‍යාපාර පර්යේෂණ මධ්‍යස්‌ථානයේ ප්‍රධාන විධායක ඩග්ලස්‌ මැක්‌විලියම්ස්‌ බීබීසියට ප්‍රකාශ කළේ "මං හිතන්නේ මේ මහා ආර්ථික වෙනස්‌වීමක කොටසක්‌ කියල. එහි දී අපට පේන්නේ බටහිර සිට ආසියාවට ආර්ථික බලය තැන්මාරුවක්‌ ගන්නවා පමණක්‌ නෙවෙයි, වැදගත් පාරිභෝගික භාණ්‌ඩ එනම් අහාර හා තෙල් වැනි දේ නිෂ්පාදනය කරන රටවල් ආර්ථික ඉනිමඟේ එන්න එන්නම ඉහළට යන බවයි" යනුවෙනි. මෙම වාර්තාවට ම අනුව, 2020 වන විට ආර්ථික 'ටොප් ටෙන්' ලැයිස්‌තුවේ තාමත් ඉහළින්ම සිටින ඇමරිකාව හැරුණු විට සෙසු රටවල් වන්නේ චීනය, ජපානය, රුසියාව, ඉන්දියාව හා බ්‍රසීලයයි. ජර්මනිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ඉතාලිය යන වත්මන් ආර්ථික දැවැන්තයන්ට හිමිව ඇත්තේ පිළිවෙළින් 7, 8, 9 හා 10 යන ස්‌ථාන ය. දැනට නිකුත් ව තිබෙන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දත්තවලට අනු ව 2020 න් පසු උදාවන ඕනෑ ම මොහොතක චීනය විසින් ඇමරිකානු ආර්ථිකය අභිබවා යනු ඇත.

"ඔක්‌කොම රජවරු" මොහොත හා අභියෝග

මේ සියවස්‌ පහකට පමණ පසු උදාවන බල මාරුවේ වැදගත්කම වන්නේ මේතාක්‌ ලෝකය හැසිර වූ 'ලොක්‌කන් සොක්‌කන්' වී 'ඔක්‌කොම රජවරු' විම ය. පශ්චාත්නූතනවාදීන් මෙය හඳුන් වන්නේ මහාඛ්‍යාන චූලාඛ්‍යාන බවට පත්වීම ලෙස ය. ජීන් ප්‍රංශුවා ලියොතා නැමැති ප්‍රංශ චින්තකයෙකු 1979 දී පමණ බටහිර කලාපයේ රටවල උද්ගත වූ දියුණුව බලා එය පශ්චාත්නූතන බව ප්‍රකාශ කළේ ඓතිහාසික අත්වැරුද්දක්‌ කරමිනි. ඇත්ත වශයෙන් ම එය පශ්චාත්නූතන නොවූ බව අප පවසන්නේ ඔහු විසින් එසේ විණැයි සැලකූ සියලු ඊනියා පශ්චාත්නූතන ලක්‌ෂණවල තෝන් ලනු ඇමරිකාව සතු වූ නිසා ය. එහෙත් දැන් උදාවෙමින් පවතින ලෝකය තුළ ලෝකය පාලනය කළ හැකි තෝන් ලණු ඇමරිකාවට පමණක්‌ නොව සෙසු රටවලට ද ලැබී ඇත. පසුගිය අ`ගහරුවාදා නිකුත් වූ නිවේදනයට අනුව දැන් ඇමරිකාවට සේ ම චීනය සතුව ලෝකයේ ඕනෑම තැනක සිදුවන දෙයක්‌ ඒ මොහොතේ ම චන්ද්‍රිකා තාක්‌ෂණ ඔස්‌සේ බලත හැකි ජීපීඑස්‌ පහසුකම ලබාගෙන ඇත. හමුදාමය හෝ අන් කිසිදු අවශ්‍යතාවක්‌ උදෙසා දැන් චීනයට අන් රටවල් මත යෑපිය යුතු නොවේ. ඇමරිකාව ඇතුළු සෙසු තර`ගකාරී රටවල් විසින් චීනයේ මේ නව හැකියාව දැනගෙන ඉදිරියේ දී කටයුතු කරනු ඇත. මෙවන් තත්aවයන් තුළ ලෝකය පාලනය කළ යුතු නැත. පාලනය වේ. ඒ තුළ අනෙකා කෙරෙහි වන ඉවසීම හා ගෞරවය ඉල්ලා සිටිය යුතු දෙයක්‌ නොවන අතර එය ස්‌වයංක්‍රීය ව ලැබෙන දෙයකි. අමතක නොකරන්න. මේ කිසිදු රටක බලපුළුවන්කාරකමකට යටත් නොවන සුපිරි බලයක්‌ ලෝකය තුළ අනෙත් දෙසින් නැඟෙමින් තිබේ. ඒ මගින් අනාගතයේ නුදුරු ම දිනෙක ලෝකය ඉරණම තීරණය කරනු ඇත. ඒ නම් අන් කිසිත් නොව ඔබ ගණනකටවත් නොගන්නා ගෝලීය උණුසුම විසිනි. ඒ 2011 වසරේ පමණක්‌ නොව සකලවිධ නූතනත්වයේ ම අභියෝගයයි. 

කතිකාචාර්ය මහින්ද පතිරණ  
-උපුටා ගැනීම
දිවයින
2011-12-30

Related

කතිකාචාර්ය මහින්ද පතිරණ 7629457436003688405

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item