එජාපයේ සැබෑ අර්බුදය හඳුනා ගනිමු.

-පාඨලී චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයේ නිලවරණය දා සවස ඒ පක්ෂයට හිතවත් හිමිනමක් මා හට දුරකතනයෙන් ඇමතුමක් ගෙන අන්න රනිල් මහත්මයගේ බෙන්ස් එකට...

-පාඨලී චම්පික රණවක
එක්සත් ජාතික පක්ෂයේ නිලවරණය දා සවස ඒ පක්ෂයට හිතවත් හිමිනමක් මා හට දුරකතනයෙන් ඇමතුමක් ගෙන අන්න රනිල් මහත්මයගේ බෙන්ස් එකටත්,කාර්යාලයටත් මිනිස්සු ගහල.උන්නැහේට ඔය කර්මයක් පලදුන්නේ එල්ලාවල නායක හාමුදුරුවන්ගේ කාර් එක අරගෙන මාධ්‍ය සංදර්ශන පැවැත්වූවට" කියා ප්‍රකාශ කලහ.එදින මා මදක් අසනීප තත්වයෙන් සිටි නිසා යූඇන්පී නිලවරණය ගැන මට හාංකවිසියක මතකටක් නොවිණි.

එල්ලාවල හිමියන්ට කළ අවමානය අප සියලුදෙනාම ඒ දිනවලම අමතක කෙරුවෙමු.නමුත් මේ සියල්ල යූ ඇන් පී පාක්ෂිකයන්ට නම් ගිහි පැවිදි භේදයකින් තොරව මතකය.රනිල් වික්‍රමසිංහ මහතා අනුන්ගේ පක්ෂවලට අත දැමීමෙන් කලේ වැරදි වැඩකි.එතුමා නායකත්වය ලබාගැනීමෙන් පසු සිදු වූ ප්‍රචන්ඩ ක්‍රියාද හෙළා දැකිය යුතු වැරදි වැඩය.පසුදින මට ආරංචි වූයේ යූ ඇන්පියේ උගත්,තරුණ නායකයින් තිදෙනෙකු වන මෛත්‍රී,ශිරාල් ,ජයවර්ධන අතඩංගුවට ගත් පුවතය.පළිගැනීම් ඇරඹී තිබූ අතර මට සිහි ගැන්වූයේ 1980 දශකයේ ශ්‍රීලනිප මූලස්ථානයේ අයිතිය ගැන සිරිමාවෝ හා වියජ චන්ද්‍රිකා පිළ අතර ඇති වූ ගැටුමය.

යූඇන්පියේ නායකත්ව අරගලයත්,දියවී ගොස් තිබූ පක්ෂය එයින් දෙකඩ වීමත් ප්‍රචන්ඩ අයුරින් දෙපිරිස ප්‍රතිචාර දක්වා ගැනීමත්,වත්මන් ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලන ප්‍රවනතාවක් පෙන්වයි.මෙයට මාස කිහිපයකට පෙර ජවිපෙ දෙකඩ වූ අතර ,පක්ෂ කාර්යාලයේ අයිතිය සම්බන්ධ ගැටුම් ඇති විය.එජාපයේ සජිත් පිළ මෙන්ම ජවිපෙ ජන අරගල පිළද තමන්ගේ පිරිස් අතඩංගුවට ගන්නවාය,තම සාමාජික ලයිස්තු ආණ්ඩුවට ලබා දෙන්නේය ආදී ලෙස සිය පක්ෂ නායකයින්ටදොස් නගා තිබිණි.වඩාම වැදගත් දෙය නම් මේ කාලය තුල විදේශගතව සංවිධානය වූ කොටි සංවිධානයද මේ ලෙසම නෙදියවන් කල්ලිය හා විනයගම් කල්ලිය ලෙස බිඳී යෑමය.එහි බලපෑම ඔවුන්ගේ ප්‍රකාශකයන් වන දෙමළ සංධානයටද එල්ල වී ඇත.

මෙය ඉතා භයානක ප්‍රවනතාවයක් වන්නේ එකම කාලයක එල්ටීටීඊ , ජවිපෙ ,හා යූඑන්පී පක්ෂ බිඳී යෑමත්,ආණ්ඩුව සමග ප්‍රජාතන්ත්‍රවාදීව නොව ප්‍රචණ්ඩ ජන අරගලවලින් ප්‍රශ්න විසඳ ගත යුතුය යන මතවාදය කරළියට ඒමත්ය.කලකට පෙර පොලිසිය සමග ප්‍රචණ්ඩ අයුරින් ගැටුනේ සරසවි සිසුන් පමණි.පසුගිය වසරක පමණක කාලයක සිට සරසවි නිහඬ වෘතයක පැවතිණි.ලැබුණු නායකත්ව පුහුණුවත් සමග නවක වධය නතර වනු ඇතැයි දෙමාපිය සිසු සියල්ලෝ බලාපොරොත්තු වූහ.දැන් නවක වධය පෙරට වඩා උත්සන්නය.නමුත් මාස ගණනක සිට පොලිසිවලට පහර දෙන ප්‍රචණ්ඩ කලාවක් බිහි වී තිබේ.මෙය පටන් ගත්තේ කටුනායක සේවක විශ්‍රාම වැටුප් පිළිබඳ වූ උද්ඝෝෂණයෙන්.ඊලඟට එය කවුරුවත් දැක නැති 'ග්‍රීස් යකා' විය.ඊට පසු රට පුරාම මතු වූ අමානුෂික මිනිස් ඝාතන (කහවත්ත,කරන්දෙනියා සඳහා උද්ඝෝෂණයක් වීය.එයිනුත් පසු ප්ලාස්ටික් ඇසුරුම් පිළිබඳව වූ ගොවි උද්ඝෝෂණයේදී ද ප්‍රචණ්ඩ ත්වය මතු විඅ.ඒ හා සමගම සරසවිවලද පැරණි උපක්‍රම භාවිතා කරමින් උපකුලපතින් පත්කිරීම,තම ඊනියා අරගලවලට සහය නොදුන් මහාචාර්‍යවරුන්ට පහර දීම,කෙළින්ම පොලිසිය සමග ගැටීම ආරම්භ විය.ෆොන්සේකා මහතා දඟ ගෙට යැවුණු විට නීතිවේදීන් පවා ප්‍රචණ්ඩව හැසිරුණු බව විනිසුරුවරිය ප්‍රකාශ කර තිබිණි.

මෙය බාහිරින් ඇති කරන ලද ක්‍රියාවලියක්ද,නැත්නම් මැතිවරණවලින් ආණ්ඩුව පරාජය කල නොහැකි බව අවබෝධ කරගත් ආණ්ඩු විරෝධී දේශපාලකයින් හා ක්‍රියාකාරීන්ගේ අසහනය පිටවීමක්ද,නැත්නම් ලොව පුරා මතුව ඇති පාර්ලිමේන්තුවෙන් පිටත බලය තීරණය කරනා නව සයිබර් යුගයේ විරෝධාකල්ප අරගලයක්ද කියා විමසිල්ලෙන් බැලිය යුතුය.එකක් පැහැදිලිය.මේ ප්‍රචණ්ඩ ප්‍රවනතාවය නතර කලේ නැත්නම් එය ක්‍රමයෙන් සංවිධානාත්මක ප්‍රචණ්ඩතාවයක් බවට පත්වීමට ඉඩ ඇති බවය.රට ලේ විලක් කිරීමට මාන බලනා බොහෝ බලවේග මේ ප්‍රචණ්ඩ රැල්ල සමග ලේ සුවඳට ඉව අල්ලමින් සිටිති..ඔවුන්ගේ එක ඉලක්කයක් ලබන ජනවාරියේ එනවාය කියනා පෞද්ගලික විශ්ව විදැයාල පනතය.ඊලඟ ඉලක්කය ලබන මාර්තු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියය.

යූඇන්පියේ ප්‍රශ්නය රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයාම නොවේ.රනිල් කෙතරම් උගත් පුද්ගලයකු උවත් එකදිගට 17 වසරක් පරාජය වීම නිසා ඔහු කෙරේ පරාජිත නායකත්වයක් ආරෝපණය වී ඇති බව සත්‍යකි.ඔහු කෙරේ විශ්වාසනීයත්වයක් නැති බවත් සත්‍යකි.ඔහු විසින් නම් කල කෘත්‍යාධිකාරී සභාවේ නිළවරණයෙන් ඔහු ජය ගැනීම පරාජිත ජයග්‍රහණයක් බවද සත්‍යකි.එහෙත් යූඇන්පියේ ප්‍රශ්නය නායකත්වය දරනා පුද්ගලයාට වඩා ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයකි.

සජිත් ප්‍රේමදාස මහතාද තවම සිටින්නේ ප්‍රේමදාස යුගයේය.ප්‍රේමදාස මහතා ගම් උදව ගෙන එන විට ගමට පාරවල්,විදුලිය තිබුනේ නැත.ගමේ විරැකියාව හා දුප්පත්කම තිබුණේ අහස උසටය.ගම ජවිපෙ සමග නගරයට එරෙහිව කැරළි ගසමින් තිබිණි.ජනපති මහින්ද ගමට පාරවල්,විදුලිය,ජලය ගෙන ගියේය.අපේ කෘෂිකර්මය දැන් බෙහෙවින් යාන්ත්‍රික වී ඇත.දරුවන් උගතුන් වී පැරනි හේන් ගොවි මානසිකත්වයෙන් මිදී ඇත.ජවිපෙ හම්බන්තොට,මොණරාගල, අනුරාධපුරය චන්ද පරදින්නේ එහෙයිනි.දැන් ගමට ගම් උදාව ගෙන එන ප්‍රේමදාස යුගයක් අවශ්‍ය් නැත.එය අතීතයට එක් වී හමාරය.

පොදුවේ ගත් කල යූඇන්පිය අගය කල රාජ්‍යය දුර්වල කෙරුණු නව ලිබරල් ප්‍රතිපත්ටි වෙනුවට දැන් ලෝකය ඉල්ලා සිටින්නේ පෞද්ගලික කළමනාකරණය සහිත ශක්තිමත් රාජ්‍ය ආයෝජන ක්‍රියාවලියකි.(චීනය සිංගප්පූරුව මෙන් ) අනෙක් අතින් යූඇන්පිය වැඳපුදාගෙන සිටින ලන්ඩන් - නිව්යෝක් - වොෂින්ටන් චින්තනය දැන් ලොව පුරා පරාජය වී බීජින් - දිල්ලි - ජකර්තා - රියෝද ජනෙයිරෝ නව චින්තනයකට ලොව ගමන් කර ඇත.මේ එඓතිහාඉක තත්වය යූඇන්පිය තවමත් තේරුම් ගෙන නැත.ඔවුන් නව නායකයින් නොව නව ප්‍රතිපත්ති සකස් කරගත යුත්තේ මේ සඳහාය.

පාඨලී චම්පික රණවක
-උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2012-01-01

Related

රනිල් වික්‍රමසිංහ 5870071748352593932

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item