කලාඔය නිම්නයේ වාරි විශ්මය

- මතුගම සෙනෙවිරුවන් මාතලේ කඳුවැටි ඔස්‌සේ ගලාවිත් දඹුල්ලේ නිම්නය තෙත් කරමින් ඇදෙන කලාඔය පුත්තලම කලපුවට ඉහළින් වයඹදිග...

-මතුගම සෙනෙවිරුවන්
මාතලේ කඳුවැටි ඔස්‌සේ ගලාවිත් දඹුල්ලේ නිම්නය තෙත් කරමින් ඇදෙන කලාඔය පුත්තලම කලපුවට ඉහළින් වයඹදිග තැනිතලාවේ මහා වරායක්‌ව තිබූ මාන්තොටදී මුහුදට වැටේ. ධාතුසේන රජු විසින් ඉදිකළ මහා වාපිය කලා වැවයි. ඔහුට එය මහාර්ග වස්‌තුවක්‌ විය. සිය ජනතාවට බත සපයා ගන්නට ඉදිකළ මේ මහා වාරි කර්මාන්තය දර්ශනය කරමින් සිය ජීවිතයේ අවසන් මොහොතේදී ද හේ සතුටට පත් වූයේය.  

ලංකාවේ වාරි ශිෂ්ටාචාරයේ විකාශනය තුළ මහාවාෂි සභ්‍යත්වයක්‌ නිර්මාණය කළ දෙවැන්නා ධාතුසේන රජුය. එකල සිය මෞර්ය වංශයට හිමිව තිබූ රාජ්‍ය බලය මගින් ඔහු මහා විප්ලවවාදී තීරණයක පිහිටියේය. ද්‍රවිඩ බලයෙන් සීසීකඩව තිබූ රජරට යළි නිදහස්‌ කොටගෙන රටේ ආර්ථික සමෘද්ධිය උදෙසා අලුතින් කල්පනා කරන්නට හේ කටයුතු කළේය. කලාවැව බඳවන ලද්දේ මධ්‍ය කඳුකරයේ සිට පහත් වන ජලය ගබඩා කොට ගෙන අනෙක්‌ සියලු වැව් පෝෂණය කරලීම පිණිසය. මිරිස්‌ ගෝනිය ඔය දඹුළු ඔය සහ කණ්‌ඩලම වැවෙන් පාත්වන ජලය ගෙන යන තම්මැන්නා ඇළ ආදියෙන් ද කුඩා වැව් මගින් ද කලාවැව පෝෂණය වෙයි.  

වැව් ශිල්පය පුරාණ රාක්‍ෂ ගෝත්‍රිකයන්ගේ සොයාගැනීමකි. කලාවැවේ පුරාවෘත්තය සමඟ කඩවර දෙවියන් ඈඳී ඇත්තේ ඔහු පුරාණ රාක්‍ෂ ගෝත්‍රිකයකු බැවිණි. රාවණා ආදී අසුරයින්ගේ පරපුරේ විශ්වකර්ම "මය" වැනි ඉසිවරුන්ගේ මඟ ගනිමින් ලොව තාක්‍ෂණය නිර්මාණය කළ මේ පරපුර වැවේ ද ආරම්භකයින් විය. ධාතුසේන රජුගෙන් පසු බලයට පත් කාශ්‍යප රාජ්‍යත්වය තුළ මේ රාක්‍ෂයින්ගේ බලය ඉහළ අඩියක තිබූ බව වෙස්‌සගිරියෙන් හමු වූ සෙල් ලිපියෙන් පැහැදිලි වේ. ඒ අනුව අපට නිගමනය කළ හැක්‌කේ ධාතුසේන රාජ්‍ය අවදියේදී වාරි සභ්‍යත්වය ඉහළ තලයකට ගෙන යන්නට මේ ස්‌වදේශිකයන්ගේ උදව් උපකාර ලැබුණු බවයි. මහා ඝන වනයේ සැඟවී තිබූ විශාල කල වැලකට සිරවී ඇති පතහක හෝඩුවාවක්‌ දැනගත් රජු කඩවරයාගේ උදව්වෙන් එම වැව විශාල කොට මහ වැවක්‌ බැඳවීය. පසුව වැව ආරක්‍ෂා කර ගැනීමට ද එම ප්‍රදේශ අස්‌වැද්දීමට ද කඩවරයාටම බාර දුන්නේය. එක්‌ වැසි සමයක වැවේ බැම්මේ ජල කාන්දුවක්‌ දුටු කඩවර එයට පිට දී වැව ආරක්‍ෂා කර ගත්තේය. එහෙයින්ම ඔහු දේවත්වයට ද පත්විය.  

මේ වැව පිළිබඳ පුරාවෘත්තවල සඳහන් වෙසෙසි කවියක්‌ මෙසේ වෙයි.  
කලා වැවට කල වැල් දිගිලිය සිටියා - බළලු වැවට බළලෙක්‌ අඬ අඬ සිටියා 
එහෙව් වැවට ගල් ගිගිරන් දෙක සිටියා - බලන් නෑනා වැව් දෙක එක තැන සිටියා  

ධාතුසේන රජු මේ වැව බැඳවීමට සැලසුම් කිරීමේදී අනුරාධපුර නගරයට අවශ්‍ය ජලය සපයා ගැනීම ද ප්‍රමුඛ කාරණයක්‌ බවට පත්කරගෙන ඇත. ඒ සඳහා තනවන ලද ජය ගංගාව ලෝකයේ විශිෂ්ට නිර්¨මාණයක්‌ ලෙසට සැලකේ. පසුකාලීනව කලාවැව විශාල කරන්නට යෙදුණු බව වංශ කතාවල සඳහන් වෙයි. ක්‍රි.ව. 777 - 97 කාලයේදී දෙවැනි මහින්ද රජු අඹන් ගඟේ ශාඛාවක්‌ වූ දෙමළ ඔය නාලන්දේදී හරස්‌ කොට දඹුල්ල හරහා ඇළක්‌ තනවා ජලය සැපයුම් මාර්ගයක්‌ තනවා ඉන්පසු කලාවැවෙන් නිකුත් වූ ජලය සියඹලන්ගමු වැවට ගෙන ගොස්‌ ඇත. මේ සඳහා විශාල ඇළ මාර්ගයක්‌ ඉදිවී තිබිණි. එය සැතපුම් දහසයක්‌ දිග යෑයි පැවසේ. පසුගිය කාලයේදී මහවැලි ව්‍යාපාරය තුළ මේ ඇළ මාර්ග පමණක්‌ නොව කුඩා වැව් ද විශාල ප්‍රමාණයක්‌ කප්පවා දමන ලද්දේ මේ වාරි මාර්ග පිළිබඳ කිසිම අවබෝධයක්‌ නොමැතිවයි. වෙසෙසින්ම උතුරුමැද පළාතට අයත් කිරළව කෝරලයේ දුනුමඩලාඔය තුලානට අයත් වේ. ප්‍රදේශයේ කුඹුරු අක්‌කර 7280 ක්‌ පිහිටා තිබිණි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය අනුව දකුණු ඉවුර සහ වම් ඉවුර වශයෙන් බෙදා වෙන් කරන ලද කණ්‌ඩලම කලාපයේ අලුතින් අක්‌කර 8695 ක්‌ අස්‌වැද්දීමට යෝජිතව තිබිණි. පැරණි ගම්මානයේ ගොඩ ගොවිතැනට අක්‌කර 17000 ක්‌ වෙන් වී තිබූ අතර ඉන් සියයට 15 ක්‌ ගෙවතුවලට ද සියයට 22 ක්‌ පලතුරු හා පොල් වැවිල්ලට ද සියයට 63 ක්‌ හේන්වලට ද වෙන් වී තිබිණි. ඒ ඉඩකඩම් සියල්ල සමතලා කොට මේ ප්‍රදේශයේ පිහිටා තිබූ මේ වැව් 70 ක්‌ පමණ අතරින් මඩාටුගම සහ මහ ඇළගමුව යන වැව් දෙක පමණක්‌ ගබඩා ජලාශ වශයෙන් ඉතිරි කොට අනෙක්‌ සියල්ල උළුප්පවා දමන ලද්දේය. මේ නිසා පුරාණයේ කලා වැවට අයත්ව තිබූ සියලු පෝෂක ප්‍රදේශයන් ද අලි ඇතුන්ගේ වාසභූමි ද උල්පත් ප්‍රදේශයන් ද අද සදහටම අහිමි වී ඇත්තේය.  

කලා වැව යටතේ කළ අස්‌වැද්දීම් පමණක්‌ නොව එකල සියඹලන්ගමුව දක්‌වා ගෙන ගිය මහා ඇළ මාර්ගය වැටී තිබුණේ මැදලස්‌ස තුලාන හරහාය. එය වත්මන් ලී කොළ වැව රක්‍ෂිතය ද පසුකරමින් ගමන් කරයි. වෙසෙසින්ම කලාඔයට සමාන්තරව ගමන් කරයි. ප්‍රදේශයේ ලොකු කුඩා වැව් රාශියක්‌ පුරවාලමින් මේ ඇළ මාර්ගයෙන් ඉටුකළ මෙහෙය තවමත් තක්‌සේරු කර නොමැත. මේ වාරි මාර්ගය තැනවීමට පසුබිම වූයේ හුදෙක්‌ සියඹලන්ගමු වැවට ජලය ලබාදීමේ අරමුණින්ම නොවේ. එම වැවෙන් නිකුත් වන ජලය ගිරිබා රට අස්‌වැද්දීම පිණිසත් අංගමු රට අස්‌වැද්දීම පිණිසත් භාවිත කර තිබේ. දැනට අනුරාධපුර - කුරුණෑගල මාර්ගයේ මැදගම අසල වර්තමාන රාජාංගන ව්‍යාපාරයට යට වී තිබෙන ගල් අමුණ මගින් මේ නිදහස්‌ කරන ලද ජලය අංගමු රටට හරවා ඇත. ඒ මගින් ආයාසයකින් තොරව ඇළ මාර්ගයකින් අංගමු වැවට ජලය ගෙන ගිය ආකාරය නිරීක්‍ෂණය කළ හැකිය. අංගමු වැව අසල තිබෙන ආඬිගල රජ මහා විහාර සෙල් ලිපිවල සඳහන් පරිදි එම ප්‍රදේශය පුරාණ සශ්‍රීක නගරයකි. එයින් ජලය ගෙන ගොස්‌ මහා වාපිය නොහොත් පනික්‌කන්කුලම නමින් වර්තමානයේදී හඳුන්වන වැවට ගෙන යැමට විශාල යෝධ ඇළක්‌ තනවා ඇතැයි සඳහන් වේ. මේ පිළිබඳව මුල් කාලීන මිනින්දෝරු වාර්තාවල නිවැරැදිව සඳහන්ව තිබෙන්නේ ආර්. එල්. බ්‍රොaහියර් මහතාගේ මහත් පරිශ්‍රමය නිසා යෑයි කිව යුතුය. නමුත් වර්තමාන මිනුම්දෝරුවන් පමණක්‌ නොව වාරිමාර්ග නිලධාරීන් පවා මේ විශිෂ්ට වාරිමාර්ග ක්‍රමයන් නොසලකා තිබේ. 

කලාඔය හරස්‌ කොට වර්තමාන රාජාංගන ජලාශය නිර්මාණය කිරීමේදී එය තනා තිබෙන්නේ නුසුදුසු තැනක බව පෙනේ. එම නිසා මේ ජලාශයට පුරා වස්‌තු රාශියක්‌ ද අමුණු කීපයක්‌ ද යට වී විනාශමුඛයට පත්වී තිබේ. කලාඔය නිම්නය අතිශය සාරවත් නිම්නයකි. එම නිම්නය වතුරෙන් යට කර දමනවාට වඩා ජලය ඉහළට ගෙන ඉන් පහළ ඔය දෑල තෙක්‌ම අස්‌වැද්දීම පැරණියන්ගේ බලාපොරොත්තුව විය. නමුත් වර්තමාන ඉංජිනේරුවන් මේ ශිල්ප ක්‍රම ගැන නොදැනීම නිසා ලංකාවේ වාරිමාර්ගයන්ට විශාල හානියක්‌ කර ඇතැයි කිව යුතුය. ඇමරිකාවේ ටෙනසි නිම්නයේ ආකෘතියන් සිහියට නගමින් කළ මේ සංවර්ධනය මගින් වැඩිතර ඉඩම් අස්‌වැද්දීමට බලාපොරොත්තුව තිබුණ ද නියන් කාලයට මේ ක්‍රමයේ අසාර්ථකත්වය කැපී පෙනේ. මැදගම අමුණෙන් පටන්ගත් ඇළ යට කරමින් රාජාංගන ජලාශයේ වතුර පිරී තිබුණද ජලාශය හිඳුන කල්හි මේ අමුණ මතු වේ. එය ස්‌වාභාවික ගල්වැටියක්‌ හරස්‌ කරමින් තනවන ලද අමුණකි. රාජාංගන වැව් බැම්ම පහළින් ද මේ හා සමාන අමුණු කීපයක්‌ බවතින බව පෙනේ. ඉන් එක අමුණක්‌ රාජාංගන වැව් බැම්ම පහළින් ආසන්නයේම තිබේ. නමුත් එය අමුණකට වඩා පාළමක්‌ ලෙස දිස්‌වේ. පෙර අංගමු රට හා ගිරිබා රට එක්‌ කරන මාර්ගයක්‌ මේ හරහා තිබූ හෙයින් විශාල ගල් වැටක්‌ ලෙස සකස්‌ කරමින් අමුණ නිර්මාණය කර තිබේ. රාජංගනයේ වාන් දොරටු විවර කරන සෑම විටම මේ අමුණුවලට හානි පැමිණෙන අතර මේවා සංරක්‍ෂණයට පවා මෙතෙක්‌ පියවර ගෙන නැත.  

අංගමු වැවෙන් පටන්ගත් ඇළ මාර්ගයේ නටබුන් තවමත් රාජංගනය යාය 6 සහ 8 ප්‍රදේශවල දක්‌නට ඇති අතර පනික්‌කන්කුලම මහා වැව කුඹුරු යායක්‌ බවට පත්කර ඇත. මේ වැවෙන් නිකුත් වන ජලය නැවතත් කලාඔයේදී අමුණකින් හරස්‌ කරලීම සිදුව තිබෙන්නේ සුපුරුදු පරිදි ඔය දෑලේ සාරවත් ඉඩම් අස්‌වැද්දීම පිණිසයි. මේ අමුණ අදත් හඳුන්වන්නේ නීල බැම්ම නාමයෙනි. ඒ මගින් පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ විශාල ප්‍රදේශයක්‌ ද අස්‌වද්දවා තිබී ඇත. ඒ ආසන්නයේ විරඳගොඩ "වෙළෙඳගොඩ" නමින් තිබෙන පුරාවිද්‍යා ස්‌ථානය සම්පූර්ණ වෙළෙඳ නගරයක්‌ යෑයි කිව හැකිය. ගල් ඇතිරූ මාර්ගයක්‌ පවා එහි තිබී ඇතැයි පැවසේ. පුරාණ රාක්‍ෂ ගෝත්‍රිකයන් ගේ රාජ්‍යය තුළ පැවති වෙළෙඳ සම්බන්ධකම් මත මෙය පොදි ලිහන හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ ලෙසට ප්‍රකටව තිබෙන්නට ඇත. එම නිසා වසර දහස්‌ ගණනාවක ඈත අතීතයට හිමිකම් කිව හැකි කලාඔය නිම්නය ඇළ මාර්ගවලින් පමණක්‌ සම්බන්ධ කරමින් නිවැරදිව කළ අස්‌වැද්දීම තේරුම් ගතහොත් වර්තමාන වියුක්‌ත සංවර්ධනයේ විනාශකාරී අත්දැකීම් නිවැරදි කර ගැනීමට ආරම්භයක්‌ ඇති කරගත හැකි වේ යෑයි කිව යුතුය.

-මතුගම සෙනෙවිරුවන්
 උපුටා ගැනීම
දිවයින
2011-12-28

Related

මතුගම සෙනෙවිරුවන් 2609870995063141572

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item