උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම් වාර්තාව.....

[උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම් සම්පූර්ණ වාර්තාව මෙතනින්] උ ගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අ...

[උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම් සම්පූර්ණ වාර්තාව මෙතනින්]

ගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අද (16) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය සභාවට ඉදිරිපත් කරමින් සභානායක, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළ කතාව පහත දැක්වේ.

මෙරට පැවති දරුණු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමෙන් පසු ජාතික ප්‍රතිසන්ධානය ගොඩනගා ගැනීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවන්ගෙන් එකක් ව පවතී. රටේ සෑම අංශයක ම ආර්ථික හා සමාජ සංවර්ධනයට බලපෑ ප්‍රධානතම බාධකය වූයේ තිස් වසරක් පුරා මෙරට වසා සිටි ම්ලේච්ඡ ත්‍රස්තවාදයයි. මෙම ව්‍යසනයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට හැකිවීම අප රජයට අත් වූ මහත් අස්වැසිල්ලකි. මෙතෙක් කලක් අපට ළඟා කරගැනීමට නොහැකි ව පැවති අප රට සතු ව තිබෙන සියලු ස්වභාවික ශක්තීන් විශේෂයෙන් අපගේ මානව සම්පතෙහි සුවිශේෂ හැකියාවන්ගේ පූර්ණ වාසිය ලබාගැනීමේ අවස්ථාව දැන් අප හමුවේ විවෘත ව පවතී.

මෙම අනගි අවස්ථාව ප්‍ර‍යෝජනයට ගැනීමට නම් එකාවන් ව සිතීමේ ගුණාංගය තිබීම මූලික අවශ්‍යතාවක් වේ. ගැටුමෙන් අප විඳි වේදනා අමතක කර දමා සියල්ලන් ම සමගි සම්පන්න එක් ‍ජාතියක් ලෙස අනාගත අභියෝගයන්ට නොපැකිල ව මුහුණ දිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2010 වසරේ මැයි මස 15 වන දින උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පිහිටවූයේ මේ පසුබිමෙහි සිටයි. මෙම කොමිෂන් සභාව 2011 නොවැම්බර් මස 20 වන දින සිය වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කර ඇත. තමන්ට භාර වූ වෙහෙසකර කාර්යය අවංක ව හා වගකීමෙන් යුතු ව ඉටුකිරීම ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කොමිෂන් සභාවේ සභාපතිතුමාට හා සාමාජික මහතුන්ට සිය අවංක ස්තුතිය පළ කර සිටී.

දැන් මෙම කොමිෂන් සභා වාර්තාව එහි ඇතුළත් ප්‍රධාන නිර්දේශයන් පිළිබඳ ව රජයේ ප්‍රාරම්භක ප්‍රතිචාරය දක්වන ප්‍රකාශයක් ද සමග මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමේ භාග්‍යය මට හිමි වී තිබේ.

ගැටුමේ අවසන් අදියරට සම්බන්ධ ව ජාත්‍යන්තර මානුෂීය නීතියට අදාළ කරුණු පිළිබඳ ව කොමිෂන් සභාව සවිස්තරාත්මක නිරීක්ෂණයන් හා නිර්දේශයන් සිය වාර්තාවෙන් අප වෙත ඉදිරිපත් කර තිබේ. සිවිල් ජනතාවගේ ජීවිතාරක්ෂාව සහතික කිරීම යුදමය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයේ ප්‍රධාන සාධකයක් වූ බවත්, සිවිල් ජනතාව සිතාමතා ම ඉලක්ක කර ප්‍රහාරයන් එල්ල කිරීම කිසිවිටෙකත් එම ප්‍රතිපත්තියේ කොටසක් නො වූ බවත් වාර්තාව පැහැදිලි ව පිළිගනී. යුදමය මෙහෙයුම් වෘත්තීයමය ලෙස ක්‍රියාත්මක කරනු ලැබ ඇත. නමුත් පුද්ගලයන් විසින් සිය බල සීමාව ඉක්මවා යෑමක් පිළිබඳ සාක්ෂි කිසිවක් වේ නම් එය සැබවින් ම පරීක්ෂාවට ලක්විය යුතුය. තව ද රජය ස්වාධීන ව ම ක්‍රියා කරමින් වගකිව යුතු බව සම්බන්ධයෙන් අනුමාන කිරීමක් හෝ හුදෙක් සිතින් මවා ගැනීමක් නො කොට තිරසර ව ඇත්ත නැත්ත විමසා දැනගත හැකි තීරණවලට එළැඹීමට උපයෝගී කොටගත හැකි අංග සම්පූර්ණ ජන සංගණනයක් උතුරු පළාතේ සිදුකිරීම ඇතුළු පියවර රාශියක් දැනටමත් ගෙන තිබෙන බව සඳහන් කිරීම වැදගත්ය.
තමන් හමුවට පමුණුවන ලද සාක්ෂි අනුව යමින් තම අදහසේ හැටියට තවදුරටත් පරීක්ෂණයට ලක්විය යුතු නිශ්චිත සිදුවීම් කිහිපයක් කොමිෂන් සභාව විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. කොමිෂන් සභාව විසින් එම සිද්ධීන් සිය වාර්තාවෙහි සඳහන් කරන අතර එම සිද්ධීන්ට පසුබිම් වන තත්ත්වයන් විවිධාකාර වේ.
මතභේදයට ලක් ව ඇති වීඩියෝ දර්ශන ගැන සඳහන් කරතොත් ඒවායේ සත්‍යතාව හා අන්තර්ගතයේ විශ්වසනීයත්වය ගැන සැලකිය යුතු සැක ඇති කරන තාක්ෂණික හා වෝහාරමය ප්‍රශ්න තිබෙන බව කොමිෂන් සභාව සඳහන් කරයි. එසේ වූ සැකකටයුතු ස්වභාවය නිරවුල් කරගනු පිණිස මෙම කාරණා ගැන ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම කොමිෂන් සභාව විසින් නිර්දේශ කරනු ලබයි.

මේ හැම කාරණයක් ගැනම මතුවන්නා වූ සැකය සදහටම පහවනු පිණිස මේ එක් එක් කරුණ ගැන වූ සත්‍යය හෙළිදරවු කරගැනීම රජයට අතිශයින් ම වැදගත් කරුණක් වන්නේය. නීතිය කඩකිරීම ගැන විශ්වසනීය සාක්ෂි ඇතොත් මෙරට නීතිය ප්‍රකාර කටයුතු කෙරෙන බව අප රජය කීප විටක දී ම ප්‍රකාශ කර ඇත. කොමිෂන් සභා වාර්තාව යම් යම් නිශ්චිත සිද්ධීන් සඳහන් කරමින් ඒවා සිදුවීමට තුඩුදුන් තත්ත්වයන් කෙබඳු දැයි පරීක්ෂා කර බැලීම සුදුසු බව දැන් සඳහන් කරයි. මෙම සිද්ධීන් පළමුකොට තර‍යේ පරීක්ෂාවට ලක්කර වරද සිදුකිරීම ඔප්පු වුවහොත් නීත්‍යනුකූල ව දඬුවම් පැමිණවීම සුදුසු බව රජය තරයේ ම විශ්වාස කරයි.

මෙම තත්ත්වය අනුව ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය වනුයේ සඳහන් කර ඇත්තා වූ සිද්ධීන් ගැන සත්‍ය තොරතුරු එක්රැස් කිරීමට හා ඇගයීම සඳහා යාන්ත්‍රණයක් ඇතිකොට ඊට ශක්තිමත් විමර්ශන ව්‍යුහයක සහය ද ලබාදී එම යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නට සැලැස්වීමයි. එම ක්‍රියාවලිය මත එළැඹෙන තීරණ මත පදනම් ව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සාපරාධී ක්‍රියා ගැන නඩු පැවරිය යුතු ද යන්න තීරණය කළ යුතු වේ. මෙම විමර්ශනයෙන් හෙළිදරවු වන කරුණු නීතිපතිවරයාට ඉදිරිපත් කර සාපරාධී නඩු පැවරීමට හැකි අවස්ථා පිළිබඳ ව ඔහුගේ තීරණය ලබාගත යුතුවේ.

එය නීතිය ක්‍රියාත්මක වීමට සැලැස්වීම සම්බන්ධ අතිශය වැදගත් අංගයයි. ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් තවත් ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් ඇත්තේය. ‘දිගු සංකීර්ණ ගමනක දී චිත්තාවේගී පළමු දුෂ්කර පියවර වන්නේ එහි සමාප්තියයි’ යනුවෙන් සඳහන් කරන කොමිෂන් සභාවේ නිරීක්ෂණය සත්‍යයකි. එබඳු ප්‍රයත්නයක අවසානයට පැමිණි පසු උචිත අවස්ථාවල දී මරණ සහතික නිකුත් කිරීම හා විවිධාකාර සහන සැලසීම කළ යුතු වේ. මුදලින් වන්දි ගෙවීම සහ අධ්‍යාපන හා රැකියා ක්ෂේත්‍රයන්ට ප්‍රවේශය ලබාදීම හදිසි කාර්යයන් සේ සලකා පියවර ගත යුතුය.

කොමිෂන් සභාව විසින් ඉඩම් පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වටිනා නිර්දේශ කීපයක් ගැන ම විශේෂයෙන් ම අවතැන්වූවන් ආපසු පැමිණීම හා නැවත පදිංචි කරවීම සම්බන්ධයෙන් රජය උද්‍යෝගයෙන් ක්‍රියා කර ඇත.

මෙම කාරණා සමූහය ගැන රජය අතිශයින් පැහැදිලි ආකාරයට සිය මූලික ප්‍රතිපත්ති කීපයක් ප්‍රකාශ කොට සිටින්නට කැමතිය. ගැටුම් පැවති ප්‍රදේශවල පෙර පැවති ජනගහන තත්ත්වය වෙනස් කිරීමේ ප්‍රතිපත්තියකට රජය පක්ෂපාතීත්වයක් දක්වන්නේ යයි කීම අසත්‍ය පමණක් නොව දුෂ්ට චේතනාවෙන් ඉදිරිපත් කරන පදනම් විරහිත මුසාවක් බව කියනු කැමැත්තෙමි. ගැටුම් නිසා තම ඉඩකඩම් අහිමි ව ගිය සියලු දෙනාට ම තමන්ට අයිති ව තිබුණ ඉඩකඩම්වල නැවත පදිංචි වීමට ඉඩ සලසාදීම සහතික කිරීම අපගේ තදබල අධිෂ්ඨානය බව කියනු කැමැත්තෙමු. පලාලි හා ත්‍රිකුණාමල - සාම්පූර් අධිආරක්ෂක කලාප දෙක ගැන සඳහන් කළහොත් කොමිෂන් සභාව විසින් ද පිළිගෙන ඇත්තා සේම එම කලාප දෙකට අයත් ඉඩම් ප්‍රමාණය ඉතා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී‍ ගොස් තිබෙන අතර රජය මෙම තත්ත්වය ගැන දැඩි පසුවිපරමින් යුතු ව සිට මෙම ප්‍රවණතාව තවදුරටත් කඩිනමින් සිදුවන්නට සලස්වනු ඇත. අදාළ ඉඩම්වල හිමිකරුවන් තම ඉඩම් විකිණීමට තීරණය කර ඇත්තා වූ අවස්ථාවල හෝ කිසියම් බාධාකාරී තත්ත්වයක් මත ඉඩම්වල සන්තකය නැවත ලබාදීම ප්‍රායෝගික නොවන අවස්ථාවල විකල්ප ඉඩම් ලබාගැනීමට ඔවුන් ඉදිරිපත් වේ නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටුකර දෙනු ඇත. ආගමික සිද්ධස්ථානවලට පිවිසීම සම්බන්ධයෙන් නම් ඉතා සැලකිය යුතු ප්‍රගතියක් සිදුවී තිබේ. දැනට අධිආරක්ෂක කලාපවල එබඳු සිද්ධස්ථාන පිහිටා තිබෙන්නේ සුළු සංඛ්‍යාවකි. ඉතිරි ව තිබෙන එබඳු සිද්ධස්ථාන ගැන කල්ගතවීම සමඟ ලැබෙන ඉඩකඩ අනුව අවශ්‍ය කටයුතු නොපිරිහෙළා සිදුකරෙනු ඇත. තවද අදාළ නීතිරීතිවලට එකඟ ව ශ්‍රී ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයකින් ඉඩම් ලබාගැනීමේ අවියෝජ්‍ය අයිතියක් සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ම ඇත යන මූලධර්මය මූලික අයිතියක් ලෙසින් රජය සලකයි.

කලින් ගැටුම් පැවතුණු ප්‍රදේශවල ඉඩම් හිමිකම සම්බන්ධයෙන් සාධාරණ හා දැඩි තරගකාරී තත්ත්වයන් පවතින විට ඒවා නිරාකරණය කිරීම දැඩි ලෙස සංකීර්ණ කරුණක් බව කිව යුතුය. ඉඩම් පිළිබඳ තොරතුරු රැස්කිරීමට හා පාවිච්චි කරන්නාගේ අයිතිවාසිකම් පිළිබඳ ව පැනනගින ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී ඒ සඳහා ආයතනික යාන්ත්‍රණය භාවිත කරන ලෙස කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන යෝජනාව රජයට උපකාරී වේ. වඩාත් සම්පූර්ණ තොරතුරු ලබාගැනීම සඳහා පදිංචිකරු මධ්‍ය කොටගත් මනාව සැලසුම් කරන ලද සන්නිවේදන ව්‍යාපාරයක් දියත් කිරීමට අප්‍රමාද ව රජය ක්‍රියාකරනු ඇත. උතුරු නැගෙනහිර දෙපළාතේ එක් එක් දිස්ත්‍රික්කය සඳහා ඉඩම් භාවිතය පිළිබඳ ව සැලැස්මක් සම්පාදනය කිරීමට කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ රජය විසින් පිළිගනු ලබන අතර වඩාත් දීර්ඝකාලීන ව ක්‍රියාත්මක වන පියවරක් ලෙසට මුළුමහත් රටට ම බලපාන ජාතික ඉඩම් කොමිෂන් සභාවක් පත්කිරීමේ නිර්දේශය ද රජය විසින් පිළිගනු ලැබේ.

උතුරු නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ සියලු ම පළාත්වලට උචිත වන ආකාරයට ආරක්ෂක හමුදාවන් තවදුරටත් සේවයේ යොදවනු ඇත. එසේ වුවද දැන් රට පුරා සාමාන්‍ය තත්ත්වය නැවත ඇති කොට ඇති බැවින් ආරක්ෂක සේවාවන් රටේ ප්‍රජා ජීවිතයේ සියලු අංශවලින් ඉවත් කොට, ඔවුන්ගේ කාර්යභාරය ආරක්ෂාවට අදාළ කටයුතු සඳහා පමණක් සීමා කිරීම රජය විසින් කල්පනාකාරී ව ගනු ලබන ප්‍රතිපත්තියක් වනු ඇත. මෙය කාර්යභාරයේ විෂය පථයට හා පැතිකඩට සම්බන්ධ කරුණකි. ආරක්ෂක හමුදාව සිවිල් පරිපාලනය සම්බන්ධ කටයුතුවලින්, විශේෂයෙන් ඉඩම් භාවිතය පිළිබඳ වූ තීරණ ගැනීමේ කාර්යයට සහභාගි වීමෙන් ඉවත් වනු ඇත. දැනටමත් දෙමළ බස කතා කරන පොලිස් නිලධාරීන් හය සියයකට (600) අධික සංඛ්‍යාවක් බඳවා ගෙන තිබේ. නීතිය හා සාමය පවත්වා ගැනීමේ කාර්යයන්හි නියුතුවීම සඳහා දෙමළ භාෂා හැකියාව ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව තවත් වැඩි කෙරෙනු ඇත.

මේ සම්බන්ධයෙන් සඵලතාව වැඩි කිරීමේ පියවරක් ලෙසට පොලිස් සේවයට කාර්ය පරිපාටි ගැන මාර්ගෝපදේශකත්වය සැපයීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ඒකක ඒ ඒ පළාත්වල පිහිටුවනු ලබනවා ඇත.

අවසරය නොලත් ගිනිඅවි සන්තකයේ තබාගැනීම සම්පූර්ණයෙන් ම අවසන් කිරීමේ අවශ්‍යතාව රජය අවධාරණය කෙරේ. රජයක් හැටියට අපි තරම් වෙන කිසිවෙකු මේ ගැන ඕනෑකමක් දක්වනු ඇතැයි සිතිය නොහැක. මක්නිසාද යත්, අපගේ හැම ප්‍රධාන අරමුණක් ම ව්‍යර්ථ කරදැමීමට මෙම තත්ත්වයට විභව්‍ය හැකියාවක් තිබෙන බැවිනි. මෙම කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතව තිබෙන අදාළ තොරතුරු සම්බන්ධයෙන් අප රජය විසින් නිසි පියවර ගනු ලබනවා ඇත. මෙරට ගැටුම් බෙහෙවින් උත්සන්න තත්ත්වයක පැවති සමයට ඉතා සමීපතාවක් දක්වන මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දැනටමත් සැලකිය යුතු සාර්ථකත්වයක් ලබා ‍තිබෙන අතර, එය මෙරටින් සම්පූර්ණයෙන් ම අතුගා දැමීමේ පියවර නිසැක ව ම ගනු ලබනවා ඇත. නීතිවිරෝධී ආයුධ යමකු ළඟ තබාගෙන සිටින බවට තොරතුරු ලැබෙන හැම අවස්ථාවක ම කිසිදු අනුකම්පාවක් හෝ බුරුලක් නොපෙන්වා එම තත්ත්වය මර්දනය කිරීමට වැටලීම් සිදුකරනු ඇත. මේ සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු තමාට දන්වා සිටින ලෙස අතිගරු ජනාධිපතිතුමා විසින් ආරක්ෂක බලධාරීන් වෙත දන්වා ඇති අතර, මෙම තොරතුරු ඵලදායී පසු විපරම් ක්‍රියාවලියේ කොටසක් ලෙස සැමදෙනාගේ තියුණු පිරික්සුමට ලක්වනු පිණිස පාර්ලිමේන්තුවට ද දැනුම් දී සිටිනු ඇත.

යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුගමනය කරන උපාය මාර්ගයක අත්‍යවශ්‍ය අංගයක් වනුයේ වැදගත්කමේ ප්‍රමුඛතාව අනුව වැඩ කටයුතු පෙළගැස්වීමය. මානුෂීය අවශ්‍යතා ඉටුකිරීම සඳහා කඩිනමින් ඉටුකර ගත යුතු කරුණුත්, දීර්ඝකාලීන ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන කරුණුත්, වෙන වෙන ම හඳුනාගත යුතුය. ජාතික ප්‍රතිසන්ධානය සඳහා රජයේ ප්‍රවේශයේ ප්‍රධාන ලක්ෂණය ලෙසට සුළු ජන කොටස්වල අභිලාෂයන් ඉටුකිරීම සඳහා කාලානුරූපී ව අවශ්‍ය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සංශෝධන පිළිබඳ ව පොදු එකඟතාවක් ඇතිකර ගනු පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කොට ඇත. මෙම සියලු පක්ෂ යාන්ත්‍රණයට සමගාමී ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල තිරසර පැවැත්ම සහතික කරනු වස් රජය දැන් දමිළ දේශපාලන පක්ෂ සමඟ ව්‍යුහගත පදනමින් පැවැත්වෙන සාකච්ඡා අරඹා තිබේ.

2012 වසර සඳහා වන අපගේ සැලසුම්වල මුල්ගලක් වශයෙන් රජය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කොට තිබෙන ත්‍රිභාෂාමය ප්‍රතිපත්තිය මඟින්, විවිධ ජන කොටස් අතර මිතුරුකමේ පාලම් ගොඩනැගීම, ජාතික සමගිය ශක්තිමත් කිරීමට අවශ්‍ය වටිනා සේවයක් ඉටුවන බවට රජයට සැකයක් නැත.

පුරා තිස් වසරක කාලයක් තුළ දී පැවති ගැටුම් නිසා අප රට ජනතාව තුළ ජනිත වූ දැඩි වේදනාව හා දුක ඉතා කණගාටුදායකය. අප මේ බව ජාතියක් ලෙස සාමූහික ව හඳුනාගන්නා අතර එම අවබෝධය, දැන් අප හමුවේ උදා වී තිබෙන දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අප සිත් තුළ ඇති වන අධිෂ්ඨානය වැඩි වර්ධනය කරගැනීමට උපයෝගී කරගත යුතුය. අප අතර විවිධ භාෂා, විවිධ විශ්වාස සහ විවිධ ආගම් දහම් පාදක කොට විවිධත්වයක් පැවතිය ද, එකමුතුභාවයේ ගුණය මත අප එසේ කළ යුතුය. මෙම සන්දර්භය තුළ මෙරට සියලු දේශපාලන පක්ෂ හුදු සතුරු ආකල්පයෙහි පිහිටා ගෙන යන දේශපාලනය අතහැර දමා ජාතික ප්‍රශ්නවල දී පොදු එකඟතාවයෙන් යුතු ව තීරණ ගැනීමට ඉදිරිපත් විය යුතුය. යනුවෙන් කොමිෂන් සභාව පවසන අදහස අපි සම්පූර්ණයෙන් ම පිළිගනිමු.

එය මේ මොහොතේ අවශ්‍යතාවකි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව ඉතා කෙටි කාලයක් තු
ළදී තමාට පැවරුණු බැරෑරුම් කාර්යය කැපවීමෙන් හා වගකීමෙන් ඉටුකිරීම පිළිබඳ ව ජනාධිපතිතුමා නැවතත් සිය ස්තුතිය එම කොමිෂන් සභාවට පළ කරයි.

තවද, මෙම ගරු සභාවේ සියලු මන්ත්‍රීවරුන්, තම තමන්ගේ පක්ෂ සම්බන්ධතා ඉක්මවා යමින්, යෝජිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යාමට මෙම තීරණාත්මක අවස්ථාවේ දී සහය දෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

උපුටා ගැනීම
රජයේ නිල පුවත් අඩවිය
2011-12-17


Post a Comment

  1. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව
    ප්‍රධාන නිරීක්‍ෂණ හා නිර්දේශයන්හි සාරාංශය

    http://www.divaina.com/2011/12/19/feature02.html

    ReplyDelete

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item