ධර්ම විජය ගැන කියෑවෙන කිරින්ද සෙල්ලිපිය

අකුරුගොඩ සෙල් ලිපිය දිග් විජය ට පසු ධර්ම විජයෙහි ඇති වූ සතුට ප්‍රකාශ කරමින් අශෝක අධිරාජයා පිහිට වූ ධම්ම ලිපි රාශියක්‌ ඉන්දියාවේ ඇත. ම...

අකුරුගොඩ සෙල් ලිපිය
දිග් විජය ට පසු ධර්ම විජයෙහි ඇති වූ සතුට ප්‍රකාශ කරමින් අශෝක අධිරාජයා පිහිට වූ ධම්ම ලිපි රාශියක්‌ ඉන්දියාවේ ඇත. මේ ඉන් එකක අර්ථයයි "දෙවියනට ප්‍රිය වූ අශෝක රජ මෙසේ කියයි. මම මීට අවුරුදු දෙකහමාරකට පෙර බුදු සමය පිළිගෙන සංඝයාගේ ආශ්‍රයට පැමිණ උපාසක භවෝපගත වීමි" මේ ලිපියෙහි එන අදහසට සමාන වන සෙල් ලිපි දෙකක්‌ රුහුණේ තිස්‌සමහාරාමයේද කිරින්දේ ද තිබේ. උප රාජ නාග විසින් සකස්‌ කරන ලද මේ සෙල් ටැඹ රුහුණේ ඉතිහාසය සොයා යන්නෙකුට ඉතා වැදගත් යෑයි සිතමි. තිස්‌ස වැවට නුදුරින් පිහිටා ඇති අකුරුගොඩ ගමේ තිබෙන මෙම අටපට්‌ටම් සෙල් ටැඹේ ලියා තිබෙන ලිපියේ අර්ථය මෙසේය.

ගිජු බව බියට කාරණා වේ. සංගය වැඩි වීම මිසදිටුවක්‌ නොවේ ද ජනයා ඇල්මෙන් හා ආශාවෙන් වෙන් කළ නොහැකි ද මෙසේ සිතා රාජකීය ග්‍රාමයේ රජ තෙමේ මිසදිටු අදහස්‌ බිඳ දැමීමේ අදහසින් නාග නම් බුද්ධිමත් යුව රජ වන මම යුව රජ කාලයෙහි බුදුන් සරණ ගියෙමි.

මෙම සෙල් ටැඹ පාමුළ තවත් ගල් පුවරුවක සෙල් ලිපියක්‌ වෙයි. අශ්ව ලාඩමක හැඩයෙන් පවතින එම සෙල් ලිපිය ද ඉහත කී සෙල් ටැඹ ද එකම ස්‌ථානයක තැන්පත් කරන්නට ඇත්තේ ඇයි දැයි වටහා ගත නොහැකිය. ඇතැම් විට මෙම ලිපිය වෙනත් ප්‍රදේශයකින් ගෙන එන්නට ඇත. එම සෙල් ලිපි දෙකේම අක්‍ෂර සස¹ බලන කල්හි ලිපි දෙකේ කාල පරාසයේ වෙනසක්‌ තිබෙන බව වටහා ගත හැකිය.

අනුරාධපුරයේ තිස්‌ස මහරජාණන්ගේ සහෝදරයා ද උප රාජ මහා නාග නමින් සිටී. නමුත් ඒ වන විට ද අනුරාධපුරයේ භාවිත කළ 'ම' අක්‍ෂරය මදක්‌ කවාකාරය. නමුත් මෙම සෙල් ටැඹේ ම අක්‍ෂරය කේතුකාකාර වෙයි. එයින් හැඟවෙන්නේ මේ ලිපි දෙක යුග දෙකකට අයත් වන බවය. එම නිසා මේ දෙදෙනා එක්‌ අයෙකු නොවන බව ද පැහැදිලිය.

අශෝක අක්‍ෂර මගින් ලංකාවේ අක්‍ෂර භාවිතය ආරම්භ වූයේ යෑයි කියෑවෙන මතය දැන් බිඳී ඇත. අනුරාධපුරයේ සහ තිස්‌සමහාරාමයේ කරන ලද කැණීම්වලින් ඒ බැව් සනාථ වී තිබේ. එසේම බුදුන් වහන්සේගේ ජීවමාන කාලයේදී දඹදිව සොළොස්‌මහ ජනපදවල අක්‍ෂර භාවිතය ද ඉතා දියුණු තත්ත්වයක පැවැත තිබේ.බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු නිධානයන් පිළිබඳ විස්‌තර එසේ සිතීමට අපට අනුබල දෙයි. කපිලවස්‌තු නගරයේ කැණීම් වලින් හමු වූ ධාතු කරඬුව සහ ඒ කරඬුවේ සඳහන්ව තිබූ ගීතවත් ගාථාව මෙසේ අක්‍ෂර භාවිතයේ දියුණුම අවධියක්‌ තිබූ බවට සාක්‍ෂි සපයයි.

ඉයං සලිල නිධානේ බුදස භගවතො සකියානං - සුකිති භතානං සහගිනිකානං සසුන දලන යනුවෙන් මාගධී භාෂාවෙන් රචිත මේ ලිපියේ කාලය ක්‍රි. පූ. පස්‌වැනි ශත වර්ෂයයි. ඊට සමකාලීනව ලංකාවේ අපට ලෙන් ලිපි රාශියක්‌ ද හමුවන බව සඳහන් කළ යුතුය. බුදුන් වහන්සේ තෙවරක්‌ම ලංකාවට වැඩිය අතර එවක ලංකාවේ සිටි යක්‌ රකුස්‌ ගැමි ජනතාව බුදුන් වහන්සේ ගේ ලංකා ගමනය එතරම් ගෞරවයෙන් සැලකූ බවක්‌ නොපෙනේ. එහෙත් එවක ලංකාවේ පාලකයන් වූ ශාක්‍යයන් සහ රාවණ රකුස්‌ ගෝත්‍ර මිසදිටු බව බිඳ බුදුන් සරණ ගොස්‌ උපාසකයන් බවට පත් වූ බවට තිබෙන සාක්ෂ්‍ය ද අති විශාල සංඛ්‍යාවකි.

නැගෙනහිර පළාතේ බඹරගස්‌තලාව සෙල්ලිපි අතර අපට පරුමක රාවණ කෙනෙකු හමුවෙයි. ඔහුගේ දියණිය නමින් එම ලෙන මහා සංඝයා වහන්සේට පූජා කර ඇත.

පරුමක රාවණ ක්ජිති ශොහිලි ලෙනෙ ශගශ (I C 515) යනුවෙන් සටහන් එම ලිපිය මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ සෙල් ලිපි සංග්‍රහයේ සඳහන් කර ඇත්තේ පරුමක වණිජ තිශ ලෙනෙ ශගශ යනුවෙනි. මෙය පෙර පරිදි නිවැරැදි විය යුතු යෑයි සිතමි. එසේ නිවැරැදි කළ යුතු ලිපි කීපයක්‌ ම එම සංග්‍රහයේ අඩංගුව ඇත. එසේ නිවැරැදි කිරීම එතුමාට කරන අගෞරවයක්‌ ද නොවේ. කෙසේ වෙතත් මෙම පරුමක රවනයන් රාවණ රජු ද යන්න පැහැදිලි කර ගත යුතුය. පරුමක අභිධානයෙන් රාවණ රජු හැඳින්වූවා ද යන්න ද විමර්ශනය කළ යුතුය. නමුත් ශාක්‍යයන් යටතේ පරුමක නාමය ලබාගෙන ලංකාව පාලනය කළ රකුස්‌ ගෝත්‍රයන් හි සාමන්තයින් මෙහි සිටි බවට ද මෙහි සාධක පවතින බව කිව යුතුය.

ප්‍රාග් ඓතිහාසික සොහොන් භූමි ලෙසින් සැලකෙන පොම්පරිප්පුව ඉබ්බන්කටුව වඩිග වැව රංචමඩම මෙන්ම මෑතකදී සොයා ගත් හල්දුම්මුල්ල සොහොන් භූමිය ද ලංකාවේ පුරාණ මිනිසා පිළිබඳ හෝඩුවාවන් සපයයි. මේවා ප්‍රාථමික ද්‍රවිඩ සංස්‌කෘතීන් ලෙසට හැඳින්වීමට ඇතැම් අය උත්සාහ දරති. එහෙත් ඉබ්බන් කටුවේ ගල් පුවරුවක සඳහන් බරතවරුන් සහ අනෙකුත් සෙල් ලිපිවල සඳහන් බරතවරුන් කිසිසේත්ම ක්‍ෂුද්‍ර සංස්‌කෘතීන්ට අයත් යෑයි සැලකිය හැකි නොවේ. ඉන්දු දේශයේ එවකට පැවැති දේශපාලන අරගල මත ව්‍යාප්ත වූ මහා සංස්‌කෘතියකට අයත් පිරිසක්‌ ලෙසට මේ අය සැලකිය යුතුය. ඒ අතර දඹදිව සොළොස්‌ මහ ජනපද අතර යුද කෝලාහල නිසා ලංකාවට පැමිණි ශාක්‍යයන් රහතුන් වහන්සේට ලෙන් පූජා කරමින් ඒ අසල පදිංචිව සිට ප්‍රදේශ පාලනය කළ බව සිතීම ද යුක්‌ති යුක්‌තය. සෙල් ලිපි කෙටවූවන් ස්‌වදේශිකයන් පමණක්‌ නම් මේසා අති විශාල සංඛ්‍යාවක ලිපි ලංකාවෙන් හමුවීමට නුපුළුවන. එසේම ලිපි කෙට වූ අයගේ පුරපුර ලියා තැබීමට ද අවශ්‍යතාවක්‌ නැත. ඔවුන් අශෝක සමයට ද පෙරාතුව ලංකාවේ ධර්ම විජය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් දිග් විජයෙහි යෙදුණු බවට මේ සාධක මගින් ඉඟි සපයා ඇත.

අනුරාධපුරයේ සිට දඹුල්ල හරහා නුවර තෙල්දෙණියටත්, අවිස්‌සාවේල්ල රත්නපුර හරහා සපරගමුවටත් එතනින් පහළ සපරගමුව බින්තැන්නටත් රුහුණටත් දිගාමඩුල්ලටත් ව්‍යාප්ත වී ඇති මේ සෙල් ලිපි නිසැකවම බුද්ධ කාලීන ලංකාව ප්‍රකට කරවන අක්‍ෂර සාධක වෙයි. විජයාගමනය සිදුවන විට බුදු සරණ ගිය ස්‌වදේශිකයන් සංඛ්‍යාව අති විශාල විය. එහෙත් දේශපාලන බල තරගයට මුහුණදී ගත නොහැකිව ඔවුන් හුදකලා වී ඇත. පසුව මේ සියලු පිරිස්‌ එක්‌ තැනකදී හමුවෙයි. ඒ අනුරාධපුරයේ බෝධි රෝපණ උළෙලෙහිදීය. චන්දන ග්‍රාම ක්‍ෂත්‍රියන් ද බෝධි අංකුර භාර ගැනීමට පැමිණියේ බුදු දහම පිළිබඳ කිසිවක්‌ දැන නොසිට නොවේ. ඔවුන් අවංක ශ්‍රද්ධාභක්‌තියෙන් එහි පැමිණියහ. එහෙත් ඔවුහු අශෝක අධිරාජයාට ඉහළින් දේශපාලන බලය භාවිත කළ නොහැකිව අසරණ වූ මාණ්‌ඩලිකයන් ය.

මොට්‌ටයක්‌කල්ලු ලිපියෙහි ද උපරාජ නාග පිළිබඳ සඳහන් වන නමුත් 'ම' අක්‍ෂරයේ වෙනස අනුව අනුරාධපුරයෙන් පලා ආ උපරාජ මහානාග මොහු නොවන බව කල්පනා කළ හැකිය. මෙම ලිපිය ක්‍රි. ව. පළමුවැනි සියවසට අයත් කරන්නට ද උත්සාහයක්‌ ගෙන ඇත. එහෙත් මේ නාග රජ නිසැකවම ඉන්දියාවේ ශාක්‍ය ගෝත්‍රයට අයත් කුමාරයෙකු වෙයි. එවක ෙච්ර රාජ්‍යයන් තුළ පැතිර පැවැති නාග ගෝත්‍රික බලය මත මහා නාග නාමය ගෙන කිරින්දට ගොඩබැස ස්‌වදේශිකයන්ගේ දහම ගෙන ධර්ම විජයෙහි යෙදුන බවට යම්කිසි මතයක්‌ ඉදිරිපත් කළ හැකිය. අශෝක ධම්ම ලිපි වල ආභාෂය ලබා මෙය කරවන්නට ඇතැයි යන නිගමනයට ද අප එළැඹිය හැක්‌කේ එම අර්ථයන් හා සංකල්පනාවන් මෙහි ද ගැබ් වන බැවිනි.

කෙසේ වෙතත් මිසදිටු බව බිඳ බුදු සරණ යැමට තරම් බෞද්ධ බලයක්‌ එදා රුහුණේ තිබුණේ යෑයි අපට නිගමනය කිරීම අපහසු නොවේ. සිරිපතුල් වන්දනාව ස්‌වදේශිකයන් අතර ජනප්‍රිය වූවකි. කිරින්ද ලිපියේ මෙය ඇතුළත් ය. එහෙත් ආගන්තුක රජෙකුගේ සාමන්තයෙකු පැමිණ බුදු දහම ආරෝපණය කර ගැනීමෙන් රුහුණට සෙතක්‌ වී යයි සිතිය නොහැකිය. පසු කාලයේදී රුහුණේ දශ බෑයින් ඝාතනය වන්නේ මේ දේශපාලන අරගලය නිසාවෙන් ද.

බුදුÊදහම අනුගමනය කිරීම වත්මන් දේශපාලනඥයන්ට නම් මෝස්‌තරයකි. සියලු ආගම් එක තන්හි ලා සැලකීම ද පහසුකම් සැලසීම ද ජනතාව දිනා ගැනීමට කරන උප්පරවැට්‌ටියකි. අල්ලා දෙවියන්ටත් යොහෝවා දෙවියන්ටත් මහා බ්‍රහ්මයාටත් මෙහිදී විශේෂ තැනකි. මේ සියලු දෙවියන් බුදුන් වහන්සේට සම කරයි. එහෙත් රුහුණේ එදා සිටි උපරාජ මහා නාග සෘජුවම ප්‍රකාශ කොට ඇත්තේ මෙසේය.

"අපිරිමිත ලෝකයෙහි බුදුන්ට සම කෙනෙක්‌ නැත. සියලු අස්‌ථානයක්‌ අතරෙන් අති දුර්ලභය. උන්වහන්සේ සර්වඥතා ඥානයට පැමිණ අනුත්තර ශාස්‌තෘ වූ මහා සරණ වූ ලොවට ඇසක්‌ බඳු වූ ස්‌වයංභූ බුදුන් වහන්සේ වන සේක" (කිරින්ද ලිපිය) සිංහල රාජ්‍යත්වය ශක්‌තිමත් වීමේලා බුද්ධ ධර්මයේ ආභාෂය කෙතරම් අවශ්‍ය දැයි මේ ලිපිය පෙන්වා දෙයි. පසු කාලීන රජවරු බෝධි සත්ත්වයන් ලෙස හඳුනා ගැනීමට අපට සිදුවන්නේ මේ නිසාය. මේ ස්‌වභාවය වර්තමානයට ද එකසේ වලංගුය. ලංකා රාජ්‍යයට විදෙස්‌ සතුරන්ගෙන් මිදී ස්‌වාධීනව සිටින්නට වරම් ලැබී තිබෙන්නේ බුද්ධ බලයෙන් බව ඉතිහාසය විසින් පසක්‌ කර දී ඇත. ධර්ම විජයෙහි අවකංව සිටියහොත් ඕනෑම සතුරු බලවේගයක්‌ අභිබවා යැම එතරම් අපහසු නොවන බව ද මෙහිදී පෙන්වා දී තිබේ.

මතුගම සෙනෙවිරුවන් 


උපුටා ගැනීම
දිවයින
2011-09-14

Related

මතුගම සෙනෙවිරුවන් 6713060618025407663

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item