ඌව වෙල්ලස්‌සේ මරුවා කෙහෙල් ගස් අස්‌සේ!
ලංකාවේ ස්‌වාධීනත්වය වෙනුවෙන් ජාතිය ගොනුකළ එක් දහස් අටසිය දහ අටේ ජාතික විමුක්‌ති සටන අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජි...
http://weadikawa.blogspot.com/2012/01/blog-post_4223.html
ලංකාවේ ස්‌වාධීනත්වය වෙනුවෙන් ජාතිය ගොනුකළ එක් දහස් අටසිය දහ අටේ ජාතික විමුක්‌ති සටන අවසානයේ බ්‍රිතාන්‍ය යටත් විජිත වාදීන් ගේ කඩුපහරට සහ බයිනෙත්තුවට ලක් නොවූ කිසිවෙකුට ඌව වෙල්ලස්‌සේ යහතින් සිටිය නොහැකි විය. ඉංග්‍රීසීන් එහි කෙත් වතු ගිනි තබා ළිං වලට වස දමා ගව සම්පත වඳකර දමා කළ විනාශය වර්තමානයේ වුවද කිසිවෙකුටත් අමතක කළ හැකි දෙයක් නොවේ. ශිෂ්ටාචාරයක මළගම මතින් සියක් වසරක යටත් විජිත භාවයක ගිලී යන්නට අපගේ මුතුන් මිත්තන්ට සිදු විය. බටහිර ජාතීන් ට සුවචව කීකරුව සිටින්නා වූ දේශීය පාලක පැලැන්තියක් ස්‌ථාපිත කිරීමේ විපාක වශයෙන් වර්තමාන පරපුරට ද අති බිහිසුණු ත්‍රස්‌තවාදී ආක්‍රමණයකින් බැට කන්නට සිදු විය. දෙමළ ත්‍රස්‌තවාදියා ලවා හෝ සිංහල ජාතිය වඳකර දැමීමට ඉංග්‍රීසීන් ඇතුළු බටහිරයන්ට තිබූ නොතිත් ආශාව මේ යුද්ධයෙන් පෙන්නුම් කළහ.
රණවිරුවන් යෑයි අප අද හඳුනා ගන්නා වූ ගැමි තරුණ සමූහය සිය ජීවිත පූජා කරන ලද්දේ පැරණියන් කළ පරිදිම රටේ ස්‌වාධීනත්වය වෙනුවෙනි. දකුණේ කිරිඳි ඔය නිම්නයේ මැණික් ගඟ නිම්නයේ සියවස් ගණනාවකට එපිට සිටන් සංවර්ධනය වූ මහා සිංහල සභ්‍යත්වය අද වුවද මහ පොළවේ දක්‌නට හැකිය. කැඩී බිඳී ගොස් තිබුණද ඉංග්‍රීසින් වුවද ඌව වෙල්ලස්‌සේ වාපී ශිෂ්ටාචාරය උගුළුවා දමන්නට කටයුතු කළේ නැත.
නිදහසින් පසු වසර හැටක් ඉකුත් වුවද නැවතත් මේ වාරි ශිෂ්ටාචාරය නැවත පූර්ණ වශයෙන් පණ ගන්වන්නට අපට හැකි වී නොමැත. ලුණුගම්වෙහෙර රක්‍ෂිතය, යාල අභය භූමිය ඒ සියල්ල අද නෂ්ඨාවශේෂ වලින් පිරුණු තැන් පමණි. මෑතක් වන්තුරුම මේ ගිරුවා පත්තුවේ ජනතාවට හිසට වහළක් නොවීය. කුරහන් ඔවුන්ගේ ප්‍රධානතම ආහාරය විය. කුරහන් පිට්‌ටුත් මී කිරිත් නොඅඩුව තිබූ බැවින් ඔවුහු තමන්ගේ අභිමානය යම් තරමකින් හෝ ආරක්‍ෂා කර ගෙන සිටියහ.
දකුණේ හම්බන්තොට වරායක් ද ඉදි වෙයි. එයද මේ ප්‍රදේශවල වැසියන්ට ආඩම්බරයකි. එම වරායෙන් පිට රට පැටවිය යුත්තේ මේ අහිංසක ජනතාවගේ නිෂ්පාදනයන්ය. ඒ සඳහා අවශ්‍ය ඉඩම් ජල පහසුකම් ලබා දුනහොත් වසර දෙකක් ඇතුළත අපනයන ඉලක්‌කයන් සපිරීමට ඔවුනට හැකි වනු නියතය. එහෙත් සිදුවී ඇත්තේ අනෙකකි. ඌව ජනතාව දිවි පුදා රැක ගත් නිජභූමිය බහුජාතික සමාගමකට බද්දට ලියා දීමයි. බුත්තල වෑකඩ වැවෙන් අක්‌කර පන්සීයයක් ද කුඩා වැවෙන් අක්‌කර දෙදහසක් ආදී වශයෙන් දැනටමත් බදු දී අවසන්ය. මේ සමාගම ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ පලතුරු අපනයන සමාගමකි. නවසීලන්තය, චීනය, දකුණු කොරියාව, පිලිපීනය, තායිලන්තය, ඔස්‌ටේ්‍රලියාව, තායිවානය ආදී රටවල් ගණනාවක මේ සමාගමේ පලතුරු වතු පිහිටා තිබේ. පිලිපීනයේ පමණක් අන්නාසි හෙක්. 33900 ක් පිහිටා තිබෙන අතර කෙසෙල් හෙක්. 32400 ද ඇත.
ත්‍රස්‌තවාදී යුද්ධයෙන් පසු ලංකාවට පැමිණ මෙරට සමාගමක් ද සම්බන්ධ කරගෙන ඉඩම් ලබාගෙන ඇති අතර ගොවීන්ගෙන් අඩු මුදලට ලබා ගත් ඉඩම් සහ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ඊට අයත්ය. සඳපානාගල කුඩා ඔය පෙදෙසින් ලබා ගෙන ඇති ඉඩම් සපයා දීමට පළාත් සභාව මැදිහත් ව සිටින අතර දේශපාලන අනුග්‍රහයද එයට හිමිව තිබේ. බුත්තල වෑකඩ වැව වැව් එල්ලංගාවක කොටසකි. එක් පසෙකින් මැණික් ගඟ ද අනෙක් පසින් තවත් ආරකින් ද වටවුණු වෑකඩ වැව වටකොට මෙම කෙසෙල් අක්‌කර පන්සීය පිහිටුවා ඇත. වැවෙන් ලබාගන්නා ලද ජලය එක එල්ලේ කෙසෙල් ව්‍යාපෘතියට යොදා ගනී. පාරම්පරිකව ගොවිතැන් කරන කිසිවෙකුට මේ ජලය භාවිත කිරීමට දැන් කිසිම අවසරයක් නැත. මෙම පරිසර පද්ධතිය වෙනස්‌කර ඉඩමේ සියලුම වනස්‌පතීන් ද උගුළුවා කෙසෙල් ප්‍රභේදයක් වගා කර ඇත. රාත්‍රි කාලයට යන්ත්‍ර සූත්‍ර යොදා කෘෂි රසායන ඉසීම මෙහි පවත්නා බරපතළම කාරණයයි.
කුඩා ඔය කෙසෙල් ව්‍යාපෘතිය ද මෙලෙස වැදගත් පරිසර පද්ධතියක පිහිටා තිබෙන අතර කෙසෙල් වගාවට එළි පෙහෙළි කිරීමට පෙර සේම විශාල ගහ කොළ සියල්ල ඉවත්කර ඇත. අක්‌කර දෙදහසක් පුරාවට පැතිරෙන වගා බිම් තුළ කැවන්ඩිෂ් කෙසෙල් ප්‍රභේදය වගා කර ඇත. නුවරඑළියේ පටක රෝපණ මධ්‍යස්‌ථානයෙන් ලබා ගන්නා මෙම කෙසෙල් පැළ සොබා දහමේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට සමපාත නැත. එම නිසා ලෙඩ රෝග වැළඳීමේ අවදානම හිමිය. සාමාන්‍යයෙන් මෙම සමාගම සිය කෙසෙල් වතු වලදී කෘෂි රසායන ඉසීමේ දී ගුවන් යානාද භාවිත කරති. මෙහි හෙලිකොප්ටර් අංගනයක් ඉදිකර තිබෙන අතර ඉදිරියේ දී ඒ මගින් පළිබෝධනාශක ඉසීම බලාපොරොත්තුවයි. පිලිපීනය, තායිලන්තය වැනි රටවල මෙලෙස කෘෂිරසායන ඉසීමෙන් විශාල සෞඛ්‍ය අර්බුද හටගෙන ඇත. කෘෂි රසායන වලට නිරාවරණය වීමෙන් නිතිපතාම ගොවීන් රෝගාතුර ව මිය යන අතර කෙසෙල් වතු අසල දිවි ගෙවන ජනතාවට ද මේ ව්‍යාපෘතීන් බලවත් තර්ජනයක් වී ඇත. පිළිකා පෙනහලු රෝග බහුලව පැතිරෙන බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. සේවකයන්ට සහ කාර්ය මණ්‌ඩලයන්ට හොඳ ජීවන තත්ත්වයන් ලබාදෙන බව පෙන්වා දීමට සමාගම නිරන්තරයෙන් උත්සාහ කරන නමුත් වස විස සහිත පරිසරයක නිති දිවි ගෙවුමෙන් විශාල ජනතාවක් අනතුරට පත් වී තිබේ.
ලංකාවේ කෙසෙල් වතු අධිරාජ්‍යය පිහිටුවීමේ මුල් පියවර ලෙසින් සැලකෙන මෙම ව්‍යාපෘතිය ට ඉඩම් ලබා ගෙන ඇති පරිසරය අතිශයින් සංවේදී පද්ධතියකි. එය ඉස්‌මත්තේ උඩවලව රක්‍ෂිතයයි. පහළින් ලුණුගම්වෙහෙර රක්‍ෂිතයයි. එසේම කිරිඳි ඔයට මෙම ව්‍යාපෘතිය සහමුලින්ම නිරාවරණය වී තිබේ. රනවරා වැව, දෙමලිය වැව ආසන්නයේ වැව් එල්ලංගා රාශියක් ද පිහිටා ඇත. වෙහෙසින්ම උඩමත්තල එල්ලංගා පද්ධතිය සඳහන් කළ හැකිය. වීරවිල වැව ද බඳගිරිය වැව ද පහළින් පිහිටා තිබේ.
මෙලෙස අධික ලෙස කෘෂි රසායන භාවිත කිරීම පිළිබඳ විධිමත් ඇගැයීමක් මෙතෙක් සිදුකර නොමැත. එයට හේතුව මෙම ව්‍යාපෘතිය උදෙසා පරිසර ඇගැයීම් වාර්තාවක් සකස් නොකිරීමයි. මෙම ව්‍යාපෘතිය දියත් කිරීමේ දී තනිකරම දේශපාලන අධිකාරියේ මැදිහත් වීම සිදු වී ඇති බව මෙයින් පෙනී යයි. කිරිඳි ඔය නිම්නය මලල ආර මැණික් ගඟ නිම්නය වනාහි පුරාණ රෝහණ රාජධානියේ තොටිල්ලයි. එහි තැනින් තැන යාබදව පවතින පුරාවස්‌තු සහ බෞද්ධ සිද්ධස්‌ථාන රාශියෙකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇති අවම පහසුකම් නිසා මේ ප්‍රදේශ පිළිබඳ කිසිම ගවේශනයක් ද කෙරී නොමැත. කෙසෙල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී භූමිය ඩෝසර් කිරීමේ දී දැනටමත් විශාල පුරාවස්‌තු සංඛ්‍යාවක් විනාශ වී ඇතිවාට නිසැකය.
ඌව වෙල්ලස්‌ස ජාතික විමුක්‌ති සටනට මැදිව සිය ගම්බිම් අහිමි කරගත් වීරෝදාර ජනතාවකට ලබා දෙන දායාදය මෙය නම් ලංකාවේ අනාගතය පිළිබඳ අවබෝධ කර ගැනීම එතරම් අපහසු නොවේ. කොටි ත්‍රස්‌තවාදය දියත් කර රට දෙකඩ කොට බටහිරට ගැති ස්‌වයං පාලනයක් ඇති කර ඔවුනගේ ධනවාදී ආර්ථික අධිරාජ්‍යය දියත් කර ගැනීමේ වුවමනාව දැන් වෙනත් ස්‌වරූපයකින් ස්‌ථාපිත වී ඇති බව පැහැදිළිය. ලොකු කුඩා වැව් සියල්ල ප්‍රතිසංස්‌කරණය කරමින් වැව් එල්ලංගා පද්ධති යාවත්කාලීන කරමින් ග්‍රාමීය ගොවි ජනතාවගේ අදීනත්වය ආරක්‍ෂා කර ගනිමින් දේශීය පලතුරු සහ ධාන්‍ය අතිරික්‌තයන් අපනයනය කරමින් දියත් කරනු ලබන සංවර්ධනයක් කෙරෙහි මහත් බලාපොරොත්තු තබා ගෙන සියලු කැපකිරීම් කළ ද බලධාරීන් හට එවැනි හැඟීමක් නැතිවා සේය.
කුරිරු කොටි ත්‍රස්‌තවාදයට උදව් උපකාර කළ ඇමරිකාව ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදයට නැවතත් මේ නොයිඳුල් භූමියේ සිතුවක් කරලීමට අවසර දීමෙන්ම එම බලාපොරොත්තු සියල්ල බිඳවැටී ඇති බව ද ප්‍රකාශ කළ යුතුය. මේ වනවිට ද සමාගමට පුත්තලම ප්‍රදේශයෙන් අක්‌කර දසදහසක් ද සෝමාවතී රක්‍ෂිතයෙන් අක්‌කර දසදහසක් ද ලැබදීමට කටයුතු සූදානම් කර අවසන්ය. මේ ඉඩම් වල බිම් බෝම්බ ඉවත් කරන්නේ යුද හමුදා රණවිරුවන්ය. ඔවුන් ජීවිත පරදුවට තබා මේ රටේ පාරම්පරික උරුමයන් රැක දීමට කටයුතු කළේ මේ රටේ සාමාන්‍ය ජනතාවට සාමයෙන් සැනසීමෙන් ජීවත් වීමටයි. දැන් ඔවුන්ගේම ශ්‍රමය යොදවා මේ ඉඩම් නිරවුල් කොට ඒ සැණින් බහු ජාතික සමාගම් වලට පවරා දීම සිදු කරනු ලැබේ. පරිසර ඇගැයීමක් හෝ ප්‍රාදේශීය ලේකම් වරයාගේ අවසරයක් ලබාගෙන නොමැත. මෙම කන්දකාඩු ප්‍රදේශය වනජීවි රක්‍ෂිතයක් නොවන බව වනජීවි අධ්‍යක්‍ෂවරයා දැනටමත් ප්‍රකාශකොට ඇත. කොටි අරමුණු පරාජය වුවද නව යටත් විජිත අරමුණු වත්මන් පාලකයන් ගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙන බවට මෙය හොඳම උදාහරණයෙකි.
මතුගම සෙනෙවිරුවන්
උපුටා ගැනීම
දිවයින
2011-08-02
(කලකට පෙර දිවයින පලකල මෙම ලිපිය අදටද ඇති අදාලත්වය සලකා නැවත පල කර ඇත )
දිවයින
2011-08-02
(කලකට පෙර දිවයින පලකල මෙම ලිපිය අදටද ඇති අදාලත්වය සලකා නැවත පල කර ඇත )