රාජ්‍යතන්ත්‍රය පණගන්වන දේපළ පවරා ගැනීමේ පනත

-සී. ඒ. චන්ද්‍රප්‍රේම ඉකුත් සතියේ කාගේත් අවධානයට යොමු වූ කාරණය වූයේ ඊනියා දේපල පවරා ගැනීමේ පනත් කෙටුම්පතයි. මෙම සතියේ පාර්...

-සී. ඒ. චන්ද්‍රප්‍රේම
ඉකුත් සතියේ කාගේත් අවධානයට යොමු වූ කාරණය වූයේ ඊනියා දේපල පවරා ගැනීමේ පනත් කෙටුම්පතයි. මෙම සතියේ පාර්ලිමේන්තුව ඉදිරියට ගෙන ඒමට ඉඩ තිබෙන මෙකී පනත් කෙටුම්පත බොහෝ දෙනකුගේ විවේචනයට ලක්‌ වී ඇත. විපක්‍ෂය විසින් එය සමාන කරන්නේ සිරිමා බණ්‌ඩාරනායක ආණ්‌ඩුව විසින් ගෙන එන ලද 1971 අංක 35 දරණ ව්‍යාපාර පවරා ගැනීමේ පනතටයි. මේ විවේචන මධ්‍යයයේ විපක්‍ෂය විසින් කියන දෙය ඒ ආකාරයෙන්ම සනාත කරවන ආකාරයේ සිද්ධියක්‌ ද හටගෙන ඇත.
ඒ යෝජිත දේපළ පවරා ගැනීමේ පනතට අදාළ වන සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට පසුගියදා නාඳුනන පිරිසක්‌ කඩාවැදීමයි. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව පාලනය කරන්නේ එ.ජා.ප. යේ දේශපාලකයකු වන දයා ගමගේ මහතාය. මෙවැනි මැරකම් නිසා ආණ්‌ඩුවේ යෝජිත දේපල පවරා ගැනීමේ පනතට සම්පූර්ණයෙන්ම 1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනතේ ස්‌වරූපය ආරූඪ වී ඇත. මෙය විපක්‍ෂයට කියලවත් කරගත නොහැකි දෙයකි. 1970 ගණන් වලද සිරිමා බණ්‌ඩාරනායක මැතිනිය යම් ව්‍යාපාරයක්‌ පවරා ගැනීමට සූදානම් වූ විට එකී ව්‍යාපාරය තුළට මුලින්ම පනින්නේ ආණ්‌ඩු පක්‍ෂයේ මැරයෝය. වර්තමානයේ ගෙන ඒමට නියමිත දේපල පවරා ගැනීමේ පනත 1970 ගණන් වල සිදුවූ දෙයට ඈ¹ කථා කිරීමට විපක්‍ෂයට තිබූ වුවමනාව ආණ්‌ඩු පක්‍ෂය විසින්ම ඉටුකරදී ඇත.

පසුගියදා නිතර නිතර නීතිය අතට ගෙන මැර පිරිස්‌ සමග මහපාරේ ගැවසුණු රජයේ ඇතැම් ඇමැතිවරුන් සම්බන්ධයෙන් අප කළ අනතුරු හැඟවීම ද මේ තත්ත්වයට අදාළ වෙයි. මේ රටේ වැඩියෙන්ම නීතිය අතට ගෙන හැසිරෙන දේශපාලනඥයෙක්‌ වැඩියෙන්ම ජනාධිපතිවරයා සමග එකට පෙනී සිටින පුද්ගලයාද වූ විට එයින් ආණ්‌ඩු පක්‍ෂයේ සෙසු දේශපාලනඥයන්ට ද යන සංඥාව වන්නේ ජනාධිපතිතුමාගේ හිත දිනා ගැනීමට නම් මැරකම් කර ප්‍රසිද්ධියට පත්විය යුතු බවයි. මේ වගේ ඉල්ලන් කන ආණ්‌ඩුවක්‌ මීට කලින් අප කිසිදාක දැක නැත. විපක්‍ෂය විසින් හා ලංකාවට එරෙහි බලවේග ගෙන යන ප්‍රචාරය වන්නේ යෝජිත දේපල පවරා ගන්නා පනත විසින් රටේ ඕනෑම පුද්ගලික ව්‍යාපාරයක්‌ හෝ දේපලක්‌ රජයට පවරා ගැනීමට හැකි වන ආකාරයට නීතිය වෙනස්‌ වන බවයි. මෙවැනි නීතියක්‌ පවතින රටකට විදේශීය ආයෝජකයන් ඒමට මැලිවන බවද ඔහු කියති. එපමණක්‌ ද නොව තමන් මහන්සියෙන් ගොඩනගාගත් ව්‍යාපාර හා දියුණු කරපු දේපල එක රැයකින් ආණ්‌ඩුවට පවරා ගැනීමට හැකි නිසා දේශීය ව්‍යාපාරිකයන් ද ආයෝජනය කිරීමෙන් වැලකී සිටීමට ඉඩ තිබෙන බවද ඔවුහු කියති.

ලංකාවට එරෙහි සියලුම බලවේග අද සැදී පැහැදී සිටින්නේ යෝජිත දේපොල පවරා ගැනීමේ නීතිය 1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනතට සමාන කොට ඒ 1970 ගණන් වල තිබුණු භීෂණකාරී වාතාවරණය නැවතත් ඇතිකොට ලංකාව ආර්ථික වශයෙන් මකබෑවී යන තැනට වැඩ සැලසීමයි. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට කඩාවැදුනු මෝඩයින්ද ඒ 70 ගණන් වල චිත්‍රය ලෝකයට සම්පූර්ණ කරදීමට විදේශ ඔත්තු සේවාවක්‌ විසින් මුදල් ගෙවා යොදවා ඇති කඩාකප්පල්කාරින් මෙන් කටයුතු කර ඇත.

යෝජිත දේපල පවරා ගැනීමේ පනත 1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනතට සමාන වූයේ නම් මේ සිදුවන දේවල් සිදුවුණාට කමක්‌ නැත. නමුත් ඇත්ත තත්ත්වය වන්නේ මෙකී දේපල පවරා ගැනීමේ පනත 1971 පනතට කිසිම සමානකමක්‌ නැති බවයි. මේ දේපල පවරා ගැනීමේ පනත වශයෙන් හඳුන්වන්නේ ආණ්‌ඩුව විසින් ගෙන ඒමට සැලසුම් කර තිබෙන උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොවන ව්‍යාපාර හා නිසි ලෙසට ප්‍රයෝජනයට නොගන්නා දේපල නැවත "පණ ගැන්වීමට" ගෙන ඒමට යන නීතියයි. මෙසේ ආණ්‌ඩුව විසින් පණගැන්වීමට උත්සාහ දරන්නේ පුද්ගලික අංශයට අයිතිව තිබූ දේපල හෝ ව්‍යාපාර නොව හුදෙක්‌ම ආණ්‌ඩුවට අයිතිව තිබී යම් යම් කොන්දේසි මත පුද්ගලික අංශයට පවරා දී ඇති ඉඩකඩම්, ගොඩනැගිලි හා ව්‍යාපාර පමණි. ආණ්‌ඩුව ව්‍යාපාරික ආයතනවලට කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට හා වෙනත් කටයුතුවලට ඉඩම් ලබාදෙන බව කවුරුත් දනී. එපමණක්‌ ද නොව ආණ්‌ඩුවට අයිතිව තිබුණු විශාල ව්‍යාපාරික ආයතන ද යම් යම් කොන්දේසි මත කරගෙන යැමට පුද්ගලික අංශයට බදු දෙන බවත් කවුරුත් දනී. ආණ්‌ඩුවේ යෝජිත මේ "පණගැන්වීමේ" පනත බලපාන්නේ මෙවැනි රජයේ දේපලවලට පමණි. පුද්ගලික අංශයට අයිති දේපල වලට මේ යෝජිත පනතෙන් අතපෙවිය නොහැක.

1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනත නම් ඇත්ත වශයෙන්ම ඉලක්‌ක කළේ පුද්ගලික අංශයයි. ඒ බව එම පනතේ ප්‍රස්‌තාවනාවේම සඳහන් වෙයි. එකී පනතට අනුව එවැනි පවරාගැනීම් එකඟත්වයෙන් හෝ එකඟත්වයක්‌ නැතුව හෝ ආණ්‌ඩුවට කළ හැක. එයට අංශය වන්නේ මුදල් ඇමැතිවරයා විසින් භාණ්‌ඩාගාර ලේකම්වරයාට කරන ලිත දැන්වීමක්‌ පමණි. මෙවැනි දැන්වීමක්‌ මුදල් ඇමැතිවරයාට තම තනි අභිමතය පරිදි කර හැකිව තිබුණි. වෙනත් ඇමැතිවරයකුගේ ඉල්ලීම පරිදි ද ඔහුට එවැනි නියෝගයක්‌ නිකුත් කළ හැකිය. එවන් නියෝගයක්‌ නිකුත් කළ පසු කිසිදු උසාවියකට ඒ තීරණය ප්‍රශ්න කළ නොහැක. අභියාචනයක්‌ ඉදිරිපත් කළ හැක්‌කේ මුදල් ඇමැතිවරයාටම පමණි. මුදල් ඇමැතිවරයා කැමැති නම් පමණක්‌ එකී අභියාචනය ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ත්‍රිපුද්ගල උපදේශක මණ්‌ඩලයකට යොමු කළ හැක. මේ යොමුකිරීමද අනිවාර්ය දෙයක්‌ නොවන බවද සැලකිය යුතුය.

1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනත යටතේ අත්පත්කර ගන්නා දේපල හා ව්‍යාපාරවලට වන්දි ගෙවීමේ රෙගුලාසි ද සම්පාදනය කරන්නේ මුදල් ඇමැතිවරයාය. වන්දි මුදල් හැටියට ලබාදෙන ගණනද, ගෙවීම් කරන ආකාරය ද තීරණය කරන්නේත් ඔහුමය. එපමණක්‌ නොව මුදල් ඇමැතිවරයාගෙන් බලය ලත් ඕනෑම නිලධාරියකුට ඕනෑම අවස්‌ථාවක ව්‍යාපාරික ආයතනයක්‌ තුළට කඩාවැදී එහි මුදල් වාර්තා හා පොත් බැලීමටද එම ව්‍යාපාරයට අයිති චංචල හා නිශ්චල දේපල ලැයිස්‌තු ගත කිරීමට ද සම්පූර්ණ බලය තිබුණි. මෙය සැබවින්ම පුද්ගලික අංශය ඉලක්‌ක කරගත් නීතියක්‌ විය. එය දේශපාලන සතුරන්ට හිරිහැර කිරීමට ද පාවිච්චි කළ හැකි නීතියක්‌ විය. එ.ජා.ප. ය විසින් පසුව මෙකී 1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනත අහෝසි කර දමන ලදී.

වර්තමානයේ ආණ්‌ඩුව ගෙන ඒමට උත්සාහ දරන දේපළ හා ව්‍යාපාර පණගැන්වීමේ පනත ඉහත සඳහන් කරන ලද 1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනතට වඩා හාත්පසින්ම වෙනස්‌ දෙයකි. අප කලින් පෙන්වාදුන් පරිදි යෝජිත නව නීතිය බලපාන්නේ පෞද්ගලික අංශයට ලබාදී ඇති ආණ්‌ඩුවේම දේපළ හා ව්‍යාපාර වලට පමණි. රටේ තිබෙන සියලුම ව්‍යාපාර මේ යෝජිත නීතිය යටතට ගෙන ඒමට හැකි බවට අදහසක්‌ ප්‍රචාරය කිරීමට විපක්‍ෂය උත්සාහ දරමින් සිටියද එය කිසිසේත්ම කළ නොහැක. යෝජිත පනත 1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනත මෙන් "විවෘත නීතියක්‌" නොවේ. 1971 ව්‍යාපාර පවරා ගැනීමේ පනතින් සිදුවූයේ නීතිය මුලින් සම්පාදනය කොට එම නීතිය යටතට එන ව්‍යාපාර මොනවාදැයි තීරණය කිරීම මුදල් ඇමතිවරයාට පැවරීමයි. නමුත් යෝජිත පණගැන්වීමේ නීතිය බලපාන්නේ එම පනතේම උප ලේඛණවල නමින්ම සඳහන් කොට ඇති ඉඩ කඩම් හා ව්‍යාපාර සම්බන්ධයෙන් පමණි. මෙකී පනතට තවත් උපලේඛන එකතු කරමින් වෙනත් ව්‍යාපාරද ඒ යටතට ගෙන ඒමට හැකිවේ යෑයි විපක්‍ෂය කීවද එය බොරු කථාවකි. යෝජිත පනතේ නමින්ම සඳහන් වන පරිදි එය ගෙන එන්නේ නිසි ආකාරව ක්‍රියාත්මක නොවන ව්‍යාපාර හා නිසිලෙස ප්‍රයෝජනයට නොගන්නා දේපළ නැවත පණ ගැන්වීමටය.

මෙම පනත් කෙටුම්පතේම "නිසි ආකාරව ක්‍රියාත්මක නොවන ව්‍යාපාර" හා "නිසි ලෙස ප්‍රයෝජනයට නොගන්නා දේපළ" හැටියට හඳුන්වන්නේ මොනවාදැයි ඉතාමත්ම පැහැදිලිව නිර්වචනය කොට ඇත. යම් ආයතනයක්‌ නිසි ආකාරව ක්‍රියාත්මක නොවන ව්‍යාපාරයක්‌ හැටියට මෙම පනත ප්‍රකාරව සැලකීමට නම් කොන්දේසි 3 ක්‌ සම්පූර්ණ විය යුතුය.

ඉන් පළමු කොන්දේසිය වන්නේ ආණ්‌ඩුවට එම ව්‍යාපාරයේ කොටස්‌ අයිතිව තිබිය යුතුය. දෙවනුව ආණ්‌ඩුව යම් අවස්‌ථාවකදී එකී ව්‍යාපාරයේ ණය ගෙවා තිබිය යුතුය. තුන්වනුව එකී ව්‍යාපාරය ක්‍රියාත්මක කරන පුද්ගලික කළමනාකරණය සමඟ ආණ්‌ඩුව නඩු හබයක පැටලී සිටිය යුතුය. මේ කොන්දේසි පුද්ගලික ආයතනවලට කොහෙත්ම බලපාන්නේ නැති බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. මෙකී යෝජිත පනතට අනුව යම් දේපළක්‌ නිසිලෙස ප්‍රයෝජනයට නොගන්නා දේපළක්‌ ලෙස නිර්වචනය වීමට නම් එකී දේපළ ආණ්‌ඩුවට අයිතිව තිබී යම් යම් කොන්දේසි මත රැකියා උත්පාදනය කිරීමට හා විදේශ විනිමය උපයා ගැනීම ඉලක්‌ක කරගෙන පුද්ගලික අංශයට බදු දී දැනට එම ඉලක්‌ක සම්පූර්ණ නොකරන දේපළ විය යුතුය. එමනිසා කිසිවකුගේ පුද්ගලික ඉඩම් මෙකී පනතට ඇතුලත් කළ නොහැක.

ආණ්‌ඩුවෙන් යම් කොන්දේසි හා ඉලක්‌ක පෙරදැරි කරගෙන පුද්ගලික අංශයට පවරා දී ඇති දේපළ වලින් ඒ ඉලක්‌ක සපිරෙන්නේ නැතිනම් නැවත පවරා ගැනීමට ආණ්‌ඩුවට අයිතියක්‌ ඇත. මෙකී පනතෙන් අපේක්‍ෂා කරන්නේ ඒ දෙයයි. මෙවැනි අවස්‌ථා වලදී පවා මෙකී පුද්ගලික ව්‍යාපාරිකයන්ට අසාධාරණයක්‌ නොවන ආකාරයට "ක්‍ෂණික" හා "ප්‍රමාණවත්" වන්දියක්‌. මාස 6 ක කාලයක්‌ තුල ලබා දියයුතු බව මේ නීතියේම සඳහන් වෙයි. වන්දි මුදල තීරණය වන්නේ ඉඩමක්‌ නම් ඉඩමේ වටිනාකම අනුවත් ව්‍යාපාරයක්‌ නම් එහි කොටස්‌වල වටිනාකමත් අනුවය. තවද අදාළ ව්‍යාපාරිකයන්ට දුක්‌ ගැනවිල්ලක්‌ තිබේ නම් එය අභියාචනාධිකරණය ඉදිරියට ගෙනයැමට මෙම නීතියෙන් ඉඩදෙනු ලැබේ. වන්දි මුදලේ ප්‍රමාණයද එසේ සාකච්ඡාවට බඳුන් කළ හැකි කාරණයකි. අපි කලින් දුටු පරිදි 71 නීතිය යටතේ නම් කිසිදු උසාවියකට දේපළ පවරා ගැනීමක්‌ විභාග කළ නොහැකි විය. මේ අනුව බලන කල යෝජිත පනත අසාධාරණ පනතක්‌ යෑයි කිසිසේත්ම කිව නොහැකිය.

මෙකී පනත සම්බන්ධයෙන් ප්‍රශ්නයක්‌ පැන නැගී ඇත්තේ පැල්වත්ත සීනි සමාගම හා සෙවනගල සීනි සමාගම සම්බන්ධයෙන් පමණි. මේ දෙකම ලාභ ලබන ආයතන නිසා ඒවා නිසිලෙස ක්‍රියාත්මක නොවන ව්‍යාපාර හෝ නිසිලෙස ප්‍රයෝජනයට නොගැනෙන දේපළ හැටියට නම් කළ නොහැක. ඒවා මෙකී පනත තුලට ගෙන තිබෙන්නේ පැවරීම කරන විට ඔවුන්ට දුන් ඉලක්‌කය සපුරන්නේ නැතුව වෙනත් ආකාර වලින් ලාභ ඉපයීමේ චෝදනාව මත බව කියෑවෙයි. නමුත් කුමන ආකාරයකින් හෝ ලාභ ලබමින් පවත්වාගෙන යන ආයතනයක්‌ පවරාගත යුතුද යන්න ප්‍රශ්නකාරී වේ. මේ අවස්‌ථාවේදී රටේ ව්‍යාපාර සංගම් හා ආණ්‌ඩුව අතර මේ ගැන සාකච්ඡාවක්‌ පැවැත්වෙයි. මෙතනදී ඇති ඉලක්‌ක හා ලාභ යන ප්‍රශ්නය පමණක්‌ නිරාකරණය කර ගතහොත් අදාළ නීතිය ගෙන ඒමේදී ඇතිවන ප්‍රශ්න සියල්ල නිරාකරණය වෙයි. ආණ්‌ඩුව පැත්තෙන් බලන විට යෝජිත පනතට පක්‍ෂව කිවහැකි බොහෝ දේ ඇත. නමුත් සෙවනගල සීනි, කර්මාන්ත ශාලාවට මැරයන් කඩා වැදීම නිසා මේ මුලු සාකච්ඡාවම ව්‍යාකූල තැනකට පැමිණ ඇත. ආණ්‌ඩුවේ සිටින මේ ගොන්නු පාලනය කර ගැනීමට නොහැකි නම් මේ ආණ්‌ඩුව මකබෑවෙන්නේ එයින්ම මිස ඔවුන් ගෙන එනු ලබන පනත් කෙටුම්පත් වලින් නම් නොවන බව කිව යුතුය.


සී. ඒ. චන්ද්‍රප්‍රේම
උපුටා ගැනීම
දිවයින සඳුදා
2011-11-07

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 5746787530625445953

Post a Comment

  1. පෞද්ගලික දේපළ රජයට පවරා ගන්නේ නෑ
    -ජනපති අවධාරණය කරයි

    පෞද්ගලික අංශයේ දේපළ රජය වෙත පවරා ගැනීමක් කිසි විටෙකත් සිදු නොවන බව රජය අවධාරණය කරයි.

    ඌන කාර්යසාධන ව්‍යාපාර සහ ඌන යෝජිත වත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීම සඳහා වූ යෝජිත පනතට අනුව කිසියම් අරමුණක් සඳහා රජය විසින් පෞද්ගලික අංශය වෙත පවරා ඇති දේපළ එම අරමුණ වෙනුවෙන් නොයොදවා වෙනත් කටයුතුවල යොදා ඇත්නම් පමණක් එම ව්‍යාපාර යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පවරා ගැනීමක් සිදුවන බවද රජය පවසයි. එසේම යෝජිත පනත් කෙටුම්පතේ ලේඛනගත ව්‍යාපාර හැරුණුවිට වෙනත් කිසිදු ව්‍යාපාරයක් හෝ දේපළක් සඳහා යෝජිත පනත බල නොපැවැත්වෙන බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    මහතා මේ බව අනාවරණය කළේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳව දේශීය ව්‍යවසායකයන් සමඟ අරලියගහ මන්දිරයේ දී පෙරේදා (5) පැවැති සාකච්ඡාවක දීය.

    මේ පිළිබඳ වැරැදි මතයක් පැතිර යන බව පෙන්වා දුන් ව්‍යවසායකයෝ අදාළ පනතට තමන් එකහෙළා එකඟ වන බවත්, රජයේ දේපළ යම් අරමුණකට ලබා දුන් විට ඉන්බැහැරව වෙනත් කාර්යයන් සඳහා යොදවන්නේ නම් ඒවා පවරා ගැනීම පිළිබඳව තමන්ගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් පැවැසූහ.

    යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව වාණිජ මණ්ඩල සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පෙන්වා දුන් ව්‍යවසායකයෝ, ආයෝජකයන් තුළ මෙන්ම ජනතාව තුළ ද මේ පිළිබඳව වැරැදි චිත්‍රයක් ඇති නොවන ආකාරයටත්, ආයෝජකයන්ට වඩා හොඳ පණිවුඩයක් ලැබෙන ආකාරයටත් පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියහ.තවද, ව්‍යවසායකයන් වැඩිදුරටත් පැවැසුවේ රටක ආර්ථිකයක් ශක්තිමත්ව දියුණු වීමට නම් පවතින නීතිරීති ඊට අනුකූලව වෙනස් විය යුතු බවයි.දේපළ නියමිත අරමුණු කරා නොයොදවන ව්‍යාපාර වෙත තමා පසුගිය අයවැයේ දී අවවාද කළ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඔවුන්ට ඒ සඳහා වසරක කාලයක් ලබාදුන් බව ද පැවැසීය.

    මෙම දේපළ රටේ ජනතාවට අයත් දේපළ බව සඳහන් කළ ඒ මහතා, ව්‍යාපාර සඳහා පුද්ගලික අංශයට දේපළ පවරා දීමේදී ඔවුන්ගේ ව්‍යාපාර තුළින් රටේ නිෂ්පාදන ධාරිතාවයට සහ රැකියා සඳහා ඉලක්කයක් ලබා දී තිබුණ ද එම දේපළ වෙනත් අරමුණු වෙනුවෙන් යොදවා අයථා ලෙස ලාභ ඉපයීම නිසා රටටත්, ආර්ථිකයටත් බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවන බවද පෙන්වා දුන්නේය.ඇතැම් ව්‍යාපාර වසර 20කටත් වැඩි කාලයක් තිස්සේ ඒවායේ අරමුණින් බැහැරව කටයුතු කර ඇති ආකාරය ද මෙහිදී අනාවරණය වූ අතර ඇතැම් ව්‍යාපාර ආයතන සේවක අර්ථසාධක සම්බන්ධ කම්කරු නීති රීති පවා උල්ලංඝනය කර ඇති බව ද හෙළි විය.

    යෝජිත පනත් කෙටුම්පත තුළ කිසිදු දේශපාලන පසුබිමක් නොමැති බව ද මෙහිදී අවධාරණය කෙරුණ අතර රටේ ආර්ථිකයට වැදගත් තීරණ ගැනීමේ දී ඒවා පටු දේශපාලන අරමුණු මත හැසිරවීමට යාමෙන් ඇතිවන හානිදායක තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.යෝජිත පනත් කෙටුම්පතේ කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර පවරා ගැනීමට අදාළ ව්‍යාපාරවල සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පනතේ විධිවිධාන මගින් තහවුරු වී ඇති බව ද පැහැදිලි කෙරිණි.

    රටේ ආර්ථිකයට බෙහෙවින් වැදගත් වන ව්‍යාපාර ආයතන අරමුණින් බැහැරව යාමේ දී ඉන් පාඩු සිදුවන්නේ රටටත්, ජනතාවටත් වන බැවින් එවැනි ආයතන පිළිබඳව තීන්දුවක් ගැනීමේ වැදගත්කම මේ සාකච්ඡාවට එක් වූ ඇමැතිවරුන් මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද වැඩිදුරටත් පෙන්වා දුන්හ.

    මේ සාකච්ඡාව සඳහා ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, ඇමැතිවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, අනුර පි‍්‍රයදර්ශන යාපා, බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ, නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායක මිලින්ද මොරගොඩ මහත්වරුන් ද, නීතිපති ඊවා වනසුන්දර මහත්මිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්වරුන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයෝ පිරිසක් ද සහභාගී වූහ.
    උපුටා ගැනීම
    http://www.dinamina.lk/2011/11/07/_art.asp?fn=p1111071

    ReplyDelete

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item