පෝෂණ ප්‍රතිපත්තියක් වෙනුවට ආහාර ප්‍රතිපත්තියක් අවශ්‍ය ඇයි?

රජයේ ගබඩාවේ සහල් ටොන් 3500 ක් සත්ව ආහාරයට මේ වන විට වාර්තා වී ඇති තොරතුරු වලට අනුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා කර තිබු සහල් තොග මෙ.ටො 35000 කට ...

රජයේ ගබඩාවේ සහල් ටොන් 3500 ක් සත්ව ආහාරයට
මේ වන විට වාර්තා වී ඇති තොරතුරු වලට අනුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා කර තිබු සහල් තොග මෙ.ටො 35000 කට ආසන්න ප‍්‍රමාණයක් සත්ව ආහාර සඳහා පාන්පිටි සමාගමට විකුණා දමා ඇත. මට්ටක්කුලියේ පිහිටි එම සමාගමේ සත්ව ආහාර කර්මාන්තශාලාවට එම සහල්තොග ප‍්‍රවාහනය කොට ඇත්තේ ඉතා රහසිගතවය. එම සත්ව ආහාර කර්මාන්තශාලාව ජේ.ආර් ජයවර්ධන ආණ්ඩු සමයේ රජයේ පිටි කර්මාන්ත ශාලාවයි. එදා රජය තුට්ටු දෙකට එම මෝල විකුණා දැමු පසු එය සත්ව ආහාර මෝලක් බවට පත්කළේ යම් කොන්දේසි යටතේය. (ව්‍යාජ කොන්දේසි) එම කොන්දේසිවලට අනුව සත්ව ආහාර වලට අවශ්‍ය බඩ ඉරිඟු එම සමාගම විසින් දේශියව වගාකළ යුතුය. නමුත් ඔවුන් ඉතා කූඪ ලෙස අඩු මිලට බඩ ඉරිඟු ආනයනය කිරිමට පටන් ගත්තේය. එමගින් දේශිය බඩ ඉරිඟු ගොවියා අමාරුවේ වැටෙන බැවින් වර්තමාන රජය ආනයනික බඩඉරිඟු සඳහා යම් බද්දක් පැනවීය. දැන් මිල අධික බඩඉරිඟු වෙනුවට එම සමාගම මිනිස් ආහාර සඳහා ගබඩාකර තිබු සහල් සත්ව ආහාර ලෙස අවතක්සේරු කරමින් ඉතා අඩු මිලට මිලදි ගැනීමට පටන්ගෙන ඇත.

රජයේ ආර්ථික ඝාතක නිළධාරින් සමග එක්ව සිදුකරන එම කූඨ ක‍්‍රියාව මගින් ජාතික අපරාධ 3ක් සිදුවේ. පළමුවැන්න මිනිස් ආහාර විධිමත් අනුමත කිරිමේ ක‍්‍රමයක් නොමැතිව සත්ව ආහාරබවට පත්කොට එම සහල් තොගය වෙළඳපලෙන් ඉවත් කිරිමයි. එවිට වෙළඳපලේ සාපේක්‍ෂ සහල් හිඟයක් ඇතිවන අතර ඊට සරිලන ප‍්‍රමාණයකට තිරිඟුපිටි පරිභෝජනය වැඩිවේ. දෙවැන්න බඩ ඉරිඟු වෙනුවට ඊට වඩා අඩු මිලට සහල් භාවිතා කිරිම මඟින් සමාගම අයුතු ලාභයක් උපයාගන්නා අතර බඩ ඉරිඟු වල වෙළඳපල මිල වැට්ටවීමයි. ඒ තුළ අතුරු අරමුණක්ද ඉටුවේ. ඒ ආනයනික බඩ ඉරිඟු වලට බදු ගැසීම මඟින් දේශිය ගොවියා රැකීමට රජය කුමන හෝ උත්සාහයක් ගත්තා නම් එය හාස්‍යයට ලක් කිරීමයි. තුන්වැන්න ව්‍යාජ අතිරික්තයක් නාමයෙන් සහල් සත්ව ආහාර වලට විකිණීම දිරිගැන්වීම මගින් දිර්ඝ කාලීනව ආහාර සුරක්‍ෂිතතාවයට අහිතකර පරිපාලන සංස්කෘතියක් සහ වෙළඳපලක් බිහි කිරිමයි.

වී අලෙවි මණ්ඩලය මඟින් සත්ව ආහාර වලට විකුණාදැමූ සහල් තොග ගඩබාකර තිබුණේ අම්පාර සහ වේයන්ගොඩ ගබඩාවලය. වේයන්ගොඩ ගබඩා ආහාර දෙපාර්තමේන්තුවට අයත් වේ. ඒවා කිසිසේත්ම මිනිස් ආහාරයට ගන්නා කිසිවක් ගබඩා කිරිමට සුදුසු තත්ත්වයක නැත. ඒ නිසා ඉතා අහිතකර තත්ත්වයන් යටතේ සහල් ගබඩා කිරිම මඟින් ඉතා පහසුවෙන් ගුල්ලන් විදීමට ලක්වේ. සමහර විට ඒ ක‍්‍රියාවලිය ඒ ආකාරයෙන්ම සිදු කරන්නේ සහල් නරක් වී ඇති බව පවසා පාන්පිටි සමාගමට විකිණීමටද යන සාධාරණ සැකයද මතුවේ. ඒ ආකාරයට එක් තොගයක් නරක් වූ විට නරක් නොවූ තොගද ඊට මිශ‍්‍රකර අඩු මිලට විකණා දැමීමට ආර්ථික ඝාතකයින්ට හැකියාව ලැබේ.

එක්තරා කාලයක නව අස්වැන්න යන්තම් වී පොතු ගැලවීමෙන් පමණක් (ඊ නියා ‘‘පීකොක්’’ සහල්) සත්ව ආහාර ලෙස අඩු මිලට මිලදී ගැනිමටද මෙම සමාගම ක‍්‍රියා කළේය. ඔවුනට එසේ කළහැකි වූයේ වී මිල ඉතා පහළට වැටී තිබු කාලයකදීය. ඒ නිසා මේ සමාගම ගබඩාවල තිබෙන සහල් සත්ව ආහාර බවට පත් කිරිම සඳහා අදාල නිලධාරින් සමඟ එක්ව ක‍්‍රියාත්මක විය හැකිය යන කාරණය බැහැර කළ නොහැක. මෙහිදි වී මිලදි ගැනීම ගබඩා කිරිම, සහල් සකස් කිරිම, යළි ගබඩා කිරිම මෙන්ම ප‍්‍රවාහණය ආදි වශයෙන් වන ක‍්‍රියාවලියට වැය වන පිරිවැය දරන්නේ රජය මඟින්ය. ඒ නිසා පාන් පිටි සමාගමට ඒ මඟින් වක‍්‍ර සහනාධාරයක්ද ලැබේ.

පසුගිය දිනවල රාජ්‍ය නිළධාරින් මෙන්ම දේශපාලකයින්ද ව්‍යාජ සහල් අතිරික්ත ලනුව ගිලිම නිසා වැරදි රාශියක් සිදුකොට ඇත. පාන් පිටි මෙ.ටො ලක්‍ෂ 8ක් ගිල දමන රටක සහල් අතිරික්තයක් ගැන කථා කිරිම මොන තරම් හාස්‍ය ජනක දැයි මොවුන් තේරුම් ගන්නේ නැත. වී වගාව පිළිබඳව කිසිවක් නොකර පාන් පිටි වලට දෙන සහනාධාර වැඩි කළහොත් ඊ නියා අතිරික්තය තව දුරටත් වැඩි කල හැකි බව ද ඔවුන් තේරුම් ගන්නේ නැත. දැන් භාණ්ඩාගාර ලේකම් තුමා සහල් මෙ.ටො 250ක් පිටරට පැටවීම ගැන උදම් අනන විට එතුමාගේ ගෝලයෝ සහල් මෙ.ටො 35,000 ක් (මේ ප‍්‍රමාණය ඉදිරියේදි තව වැඩිවනු ඇත.) කුකුලන්ට කන්නට දී ඇත. උතුරු නැගෙනහිර අස්වැන්න සමඟ පසුගිය දිනවල වී අස්වැන්න යම් ප‍්‍රමාණයකින් වැඩි වුවද එය කිසිසේත්ම අතිරික්තයක් නොවේ. දැන් මේ අතිරික්ත කථාව නිසා රටේ ඉහල නිළධාරි තන්ත‍්‍රයේ මෙන්ම මහජනයා අතරද ව්‍යාජ සුභවාදී මනසක් ඇතිවේ. ඒ මඟින් තිරිඟු පිටි පරිභෝජනය නිසා දිර්ඝකාලිනව ආහාර සුරක්‍ෂිතතාවට සිදුවන අගතියද අවතක්සේරු වේ. එපමණක් නොවේ ඒ මඟින් ධාන්‍ය නිෂ්පාදනය වැඩි කිරිම සඳහා ගත යුතු උපායමාර්ගික ප‍්‍රවේශයද අවතක්සේරු වේ. පසුගිය දිනවල දිසාපතිවරුන් සහ පශු වෛද්‍යවරියන් කුඹුරු වල තණකොළ වැවිය යුතු බවට අමන ප‍්‍රකාශ කිරිමට නිර්භීත වුයේද ඒ තත්ත්වය තුළය.

හේන් ගොවිතැන තහනම් කිරිම මගින්ද වියලි කලාපීය ධාන්‍ය නිෂ්පාදනයට බරපතල ප‍්‍රහාරයක් එල්ල විය. වල් අලි ප‍්‍රහාර නිසා වියළි කලාපයේ බොහෝ ප‍්‍රදේශවල ගොවීන් ගෙවත්තේ සිදුකළ (විශාල ගෙවතුවල) ධාන්‍ය මෙන්ම අල වර්ග වගාවද අත්හරිමින් ඇත. එවැනි බොහෝ ප‍්‍රදේශවල පරිපාලන නිළධාරින්ද ගොවීන්ට උපදෙස් දෙන්නේ අලි-මිනිස් ගැටුමට පිළිතුරක් ලෙස ගොවීන් අලියා කැමැති බෝග වගානොකළ යුතු බවයි. මේ වන විට මුං ඇට සහ කුරක්කන් ඔස්ටේ‍්‍රලියාවෙන් ආනයනය කරන තත්ත්වයන් උදා වී ඇත්තේ ඒ සමස්ථයේ ප‍්‍රතිඵලයක් ලෙසය. අපේ රාජ්‍ය නිළධාරින් උදු අතිරික්තයක් ඇති නිසා උදු වගාව අත්හරින ලෙස උපදෙස් දෙන්නේද ඉන්දියාවෙන් උදු ආනයනය කරමින් තිබියදීය. ඒවා එසේ වන්නේ ආහාර සුරක්‍ෂිතතාවට අදාළ ජාතික ප‍්‍රතිපත්තියක සිට රජය කටයුතු නොකරන නිසාය. අප රටේ ආහාර ආනයනයට අදාළ තීන්දු ගැනීම භාණ්ඩාගාර නිළධාරින් විසින් සිදුකරන අතර ආහාර වගා කිරිමට අදාල තීන්දු ගැනීම ගොවිජන කොමසාරිස්ගේ සිට දිසාපති දක්වා විවිධ නිළධාරිහු විසින් පුද්ගලිකව සිදු කරති. අපේ රටට ඊ නියා පෝෂණ ප‍්‍රතිපත්තියක් ඇතත් ආහාර ප‍්‍රතිපත්තියක් නැත. ආහාර ප‍්‍රතිපත්තියක් වෙනුවට පෝෂණ ප‍්‍රතිපත්තියක් එන්නේද මේ ආර්තික ඝාතක ක‍්‍රියාවලිය පහසු කිරිම සඳහාය.

ආහාර නිෂ්පාදනයට අදාළව නිළධාරින් පුද්ගලිකව හිතුමතේ තීන්දු ගන්නා ආකාරය පසුගියදා රූපවාහිනියෙන් ප‍්‍රදර්ශණය විය. ඒ ගොවීන් පපුවේ අතගසා ගනිමින් විරෝධය පලකරද්දි රාජ්‍ය නිළධාරින් යන්ත‍්‍ර සුත‍්‍ර යොදාගෙන අස්වනු නෙලීමට ආසන්න බඩ ඉරිඟු වගාවක් විනාශ කරන පිළිකුල් සහගත දර්ශන පෙළක් මඟිනි. ඒ වගාව එසේ විනාශ කළේ ගොවීන් වැව් තාවුල්ල වගාකොට තිබු නිසාය. එහිදි ප‍්‍රශ්න දෙකක් මතුවේ. පළමු වැන්න එසේ බඩඉරිඟු ථල දරණ තෙක් මේ නිළධාරින් සිටියේ කොහේද යන්නයි. දෙවැන්න වැව් තාවුලූ වගාව පිළිබඳ ඒ අඳබාල නිළධාරින් දන්නේ මොනවාද යන්නයි. අදවන විට ‘‘වාරී පොලීසියක්’’ ලෙස ක‍්‍රියාකරන මේ ඉන්ජිනේරුවන් ඉපදීමට වසර දහස් ගණනකට පෙර වැව් හැදු ඉංජිනේරුවන් වැව් තාවුලූ වගාවට අවසර දී තිබුණි. එදා අදාල පරිසර පද්ධතිය විනාශ නොවන ආකාරයට වැව් තාවුල්ලේ ආහාර බෝග වගාවට ගොවීන්ට ඉඩ දුන්නේ පරිසර පද්ධතිය සහ ආහාර සුරක්‍ෂිතතාව එකවිට රැුකගන්නා ජිවන ක‍්‍රමයක් තුළය. මේවා සුළු කාරණා ලෙස මතු පිටින් පෙනුනත් දිර්ඝ කාලිනව රටේ ආහාර සුරක්‍ෂිතතාවට අදාළ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් නැති වීමේ ගැටළුව එයින් පිළිබිඹු වේ.

ඉහත සඳහන් කළ ආකාරයට රටේ දැන් බීජ හිඟයක් ඇතිවන්නේද රජය විසින් දීර්ඝ කාලිනව බීජ සුරක්‍ෂිතතාව නොසලකා හැරිම තුළය. රටක ආහාර සුරක්‍ෂිතතාව රැුකීමට අදාල මුලිකම කොන්දේසිය බීජ සුරක්‍ෂිතතාව රැුකීමයි. මේ වන විට කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ බීජ නිෂ්පාදන වැඩ සටහන බොහෝ සෙයින් බිඳ වැටී ඇත. අද අප ඒ බුක්ති විදින්නේ ලෝක බැංකු උපදෙස් මත චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව සිදුකල විනාශයන්ගේ ප‍්‍රතිඵලයි. රජයේ හොඳම බීජ ගොවිපලවල් බහුජාතික සමාගම් වලට විකුණා දැම්මේ ඒ කාලයේදීය. ඉන් පසුව මහලූප්පල්ලම සහ බතලගොඩ පර්යේෂණ ආයතන ක‍්‍රමයෙන් ඇඳ වැටීමට සැලැස්වීය. මීට වසර 30-40 කට පෙර එම ආයතන විසින් ඉටුකළ මෙහෙය සමඟ සසඳා බැලිමේදි අද තිබෙන තත්ත්වය ඒවා වසාදැමුවාට සමාන තත්ත්වයකි. ඒවායේ සිටි පළපුරුදු අභිජනන විද්වතුන් අද කුලියට වැඩ කරන්නේ බහු ජාතික සමාගම් වලටය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බොහෝ උසස් නිළධාරින් ‘‘අනාගතයේදී රැකියා අවස්ථා’’ නැමැති කැරට් අලය පෙන්වා තම ග‍්‍රහණයට ගැනීමට මෙම සමාගම් සමත් වී ඇත. දැනට ක‍්‍රියාත්මක වන බීජ පනත මඟින්ද බීජ ගොවීන් දිරිගැන්වෙන්නේ නැත. එම පනතේ මූලික අරමුණ මහා පරිමාන බීජ ඒකාධිකාරියක් සහිත සමාගම් බිහිකිරිමයි. මේ සියල්ල මඟින් අවසානයේ සිදුවන්නේ රටේ බීජ සුරක්‍ෂිතතාව බහුජාතික සමාගම් විසින් තීන්දු කිරිමයි. එය ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙලන භයානක තත්ත්වයකි.

අප වැනි රටවල බීජ සුරක්‍ෂිතතාව මෙන්ම ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ වැටීම ඉබේ සිදුවන්නක් හෝ හුදු වෙළඳපල ක‍්‍රියාකාරිත්වය නිසාම සිදුවන්නක් නොවේ. එය ඉතා සැලසුම් සහගතව අධිරාජ්‍යවාදි ඒජන්සි ආයතන සහ බහු ජාතික සමාගම් විසින් දියත්කරන මහා පරිමාන ජාත්‍යන්තර මෙහෙයුමකි. යම් රටක ආහාර සුරක්‍ෂිතතාව තීරණාත්මක ලෙස අනතුරේ හෙලිම යනු සැබෑ ලෙසම දේශපාලන හෝ යුදමය යටත් කිරිමකට සමාන තත්ත්වයකි. වෙනත් වචන වලින් කියන්නේ නම් රජයකට තම වැසියන්ට අවශ්‍ය මුලික ආහාර ප‍්‍රමාණය තම රටේ නිපදවාගත නොහැකි නම් ඒ රට ජාතික ආරක්‍ෂාව සලසාගත නොහැකි රටකි. ඒ ආකාරයට ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙලිමේ උපක‍්‍රම නිෂ්පාදන පැත්තේ සිට මෙන්ම ඉල්ලූම පැත්තේ සිටද ක‍්‍රියාත්මක වේ. බීජ සුරක්‍ෂිතතාව අනතුරේ හෙලිම, ආහාර වගා බිම් වල වෙනත් බෝග වගා කිරිම දිරිගැන්වීම (විශේෂයෙන්ම අපනයන බෝග), පොහොර සහ පළිබෝධනාශක මත යැපීම දිරිගැන්වීම, ආදිය නිෂ්පාදන පැත්තේ උපක‍්‍රම ලෙස හඳුනාගත හැක. ඒ අනුව දේශියව ආහාර නිපදවිය හැකි බිම් වල අපනයනය සඳහා මහා පරිමාණ මට්ටමින් කෙසෙල් වගාව ව්‍යාප්ත කිරිමද ආහාර සුරක්‍ෂිතතාව අනතුරේ හෙලන ක‍්‍රියාමාර්ගයක් ලෙස හඳුනා ගත යුතුය.

එහි අනෙක් පැත්ත, එනම් ආනයනික ආහාර වලට බදු සහන ලබාදීම මිනිස් ආහාර වලින් සත්ව ආහාර මෙන්ම ජෛව ඉන්ධන නිපදවීම, ආහාර ආනයනය සඳහා සහන කොන්දේසි යටතේ ණය ලබාදීම සහ ‘‘ආහාර සැතපුම් ප‍්‍රමාණය’’ වැඩි කිරිම හෙවත් ආහාර බෙදාහැරීම මධ්‍යගත කිරිම ආදිය ඉල්ලූම පැත්තේ උපක‍්‍රමයි. මේවා ඉතා සුක්‍ෂම උපක‍්‍රම ලෙස ක‍්‍රියාත්මක වෙන බව තේරුම් ගැනිමේ අපහසුවක් තිබේද? අප රටේදි ඉල්ලූම පැත්තේ දුෂ්ඨතම උපක‍්‍රමයක් ලෙස හඳුනාගත හැක්කේ පී.එල්. 480 ට ගිවිසුම යටතේ සහනාධාර ලබාදෙමින් ඉතා අඩුමිලට තිරිඟු පිටි ප‍්‍රචලිත කිරිමයි.

ඉතා කණගාටුවට කාරණය වන්නේ අධිරාජ්‍ය විරෝධය වෙනුවෙන් පෙනී සිටින වාමාංශික පක්‍ෂ අධිරාජ්‍යවාදි උපක‍්‍රම වලට සහය දැක්වීමයි. දේශීය නිෂ්පාදනය දිරිගැන්වීම මඟින් මහජනයාට සහන සැපයීමට රජයට බලකෙරෙන සටන් පාඨ ඔවුන් ඉදිරිපත් කරන්නේ නැත. ඔවුනට එවැනි සටන් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයේ අඩංගු නොවේ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ බහු ජාතික සමාගම් වලට සහන දෙන ලෙස රජයට බල කිරිමයි. වෙනත් වචන වලින් කියනවා නම් ඔවුන් කරන්නේ ඉබ්බා දියේ දමන ලෙස ඉල්ලීමයි. පාන් පිටි සමාගම ආණ්ඩුවේ දේශපාලකයින්ට ඡුන්ද වලට සල්ලි දෙන නිසා පාන් පිටි වලට බදු ගසන්න එපා කියා මොවුන් බල කරති. ඒ අනුව ඔවුන් එක්කෝ ආණ්ඩුවේ තැරැුව්කරුවන් විය යුතුය. නැතිනම් පාන් පිටි සමාගමේ ඔත්තුකරුවන් විය යුතුය.

අවශ්‍ය නම් දේශීය නිෂ්පාදන දිරිගන්වමින් සහ ජාතියේ ස්වාධිපත්‍යය අධිරාජ්‍ය වාදින්ට යටත් නොකරන ලෙස ඉල්ලමින් රජයට බලකිරිම සඳහා කොතරම් සටන්පාඨ ඇත්ද? නමුත් උදාහරණ ලෙස ‘‘බීජ ගොවිපල ආපසු රජයට පවරාගෙන රටේ බීජ සුරක්‍ෂඅිතතාව තහවුරු කරනු’’ හෝ ‘‘දේශීය බීජ ගොවීන්ට සහනාධාර දියව්’’ කියා ඔවුන් ඉල්ලා සිටින්නේ නැත. ‘‘පාන් පිටි වලට බදු ගසා වී ගොවියා රැක ගනිව්’’ හෝ ‘‘වී ගොවියාට සෘජුව සහනාධාර ලබාදී සහල් මිල අඩුකරනු’’ කියා ඔවුන් ඉල්ලා සිටින්නේ නැත. ඒ වෙනුවට ඔවුන් ඉල්ලන්නේ ‘‘පාන් පිටි වලට බදු ගසමින් බහුජාතික සමාගම් වලට කරදර නොකරව්’’ කියාය. එසේ නැතහොත් ඔවුන් ඉල්ලන්නේ’’ කිරිපිටි වලට බදු නොගසනු – නවසිලන්ත කිරි ගොවියා රැුක ගනිව්’’ යනුවෙනි. එසේ නැතහොත් ඔවුන් ඉල්ලන්නේ ‘‘පිට රට දේට සහනාධාර ලබාදී අපේ ගොවියා වලපල්ලට යවනු’’ යනුවෙනි. එසේම ‘‘අධිරාජ්‍යවාදී සමාගම් වල වියගසට අපේ ගොවියා ගැටගසන ඊ නියා පොහොර සහනාධාරය වෙනුවට සෘජු මුල්‍ය සහනාධාර දියව්’’ කියා ඔවුන් කිසිදිනක ඉල්ලන්නේ නැත.

ආහාර සුරක්‍ෂිතතාවට අදාල ප‍්‍රධාන උපායමාර්ගික තින්දුවක් ගැනීම සඳහා අප රටේ දේශපාලකයින්ට කිරීමට තිබෙන්නේ ඉතා සුළු පරිත්‍යාගයකි. ඒ එක රු. 10 කින් (කි.ග‍්‍රෑම් 1කට) තිරිඟු පිටි වලට සෙස් බද්දක් පැනවීමයි. එහිදී කොන්දේසියක් වන්නේ ඒ බද්දෙන් ලැබෙන සෑම සතයක්ම සහල් සහ සහල්පිටි කර්මාන්තය දියුණු කිරිමට සඳහා යෙදවීමයි. කෙසේවෙතත් ඔවුන්ගෙන් බලාපොරොත්තුවන පරිත්‍යාගය වන්නේ පාන් පිටි සමාගමෙන් ඡුන්ද වලට දෙන ඊ නියා ආධාර මුදල් ප‍්‍රතික්‍ෂේප කිරිමයි. ශ‍්‍රී ලංකාවේ පොදු මිල මට්ටමට සාපේක්‍ෂව සහල් මිල පහළ මට්ටමක තිබෙන බැවින් පාන් පිටි මිල සුළු වශයෙන් ඉහළයාම නිසා කිසිවකුට ආහාර වේලක් අහිමි වන්නේ නැත. පාන් පිටි ආහාර මිල වැඩිනම් කළයුත්තේ හිත හදාගෙන ජිවන පුරුදු වෙනස්කර ගැනීමයි. ඉතා සරලව කිවහොත් පැයක් වේලාසනින් අවදි වී දරුවන්ට බත් වේලක් සකස් කිරිම වැනි සරල පුරුදු ඇතිකර ගැනීමයි. ඒ නිසා පාන් පිටි වලට රු. 10ක සෙස් බද්දක් ගසා ඒ අරමුදල් වී ගොවියාට, කුඩා පරිමාන සහල් මෝල් හෝ සහල් පිටි මෝල් හිමියාට සහ බේකරි හිමියාට සහනාධාර ලෙස ලබාදුන්නාට සමාජ අසාධාරණයක් සිදුවන්නේ නැත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර

මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය

උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2011-11-06

අකුරු නොපෙනේ නම් මෙතනින් කියවන්න
සම්පූර්ණ ලිපිය

Related

වෛද්‍ය වසන්ත බණ්ඩාර 5394803505931303346

Post a Comment

  1. සහල් මිල වැඩි කරන ‘බෙන්ගාසි’ කුමන්ත‍්‍රණයක්

    මහා පරිමාන මෝල් හිමියන් සහ වී වෙළඳුන් ඉතා විශාල වශයෙන් වී තොග රැුස්කිරිමට පටන් ගෙන ඇති බවත් මේ නිසා ඉදිරියේදී දේශීය සහල් වෙළඳපල පාලනය ඔවුන් අතට පත්විය හැකි බවත් පවසමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.

    සියළු මාධ්‍ය වෙත පිටපත්ද සහිතව එම ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති එහි මෙසේද දැක්වේ.

    සාමාන්‍යයෙන් ඕනෑම වසරක නොවැම්බර් මාසයේ සහල් මිල යම් පමණකින් ඉහළ යාමක් සිදුවන්නේ යල් කන්නයේ අස්වනු අඩුවුවහොත්ය. නමුත් බොහෝ විට සහල්මිල ක‍්‍රමයෙන් ඉහළ යාමට හේතුව මහා පරිමාන මෝල් හිමියන් සහ වී වෙළඳුන් ඉතා විශාල වශයෙන් තොග රැුස්කිරිමට පටන් ගැනීමයි. සාමාන්‍යයෙන් නම් කලබලයේ තොග රැස් කිරිමට උත්සාහ කලහොත් වී මිල ඉහළ යායුතුය. නමුත් විවිධ උපක‍්‍රම හරහා වී මිල ඉහළ යාමට ඉඩ නොදි තොග රැස්කිරිමට ඔවුන් සමත් වී ඇත.

    කුඨ වෙළඳුන්ට එසේ කිරිමට පහසුවෙන් ඉඩ ලැබෙන්නේ රජයේ වී මිලදි ගැනීමේ යාන්ත‍්‍රණය ඉතා දුප්පත් මට්ටමක තිබිම නිසාය. රජය වසරකට අවම වශයෙන් වී.මෙ.ටො ලක්‍ෂ 4ක්වත් මිලදි ගත යුතුය. (අවම ආරක්‍ෂණ තොගයක් සඳහා) නමුත් රජය ඉන් අඩක්වත් මිලදි ගන්නේ නැත. ඒ වාසිය එසේ තිබියදිම මේ වෙළඳුන් වෙනත් කුඩා සහ මධ්‍යම පරිමාන මෝල් හිමියන් විසින් වී මිලදි ගැනීම අඩපන කිරිමටද කටයුතු කරයි. එහිදි ඔවුන් ඉතා විවෘතවම මැර බලය භාවිතා කරන බවද රහසක් නොවේ. ඊට අමතරව මහා පරිමාන මෝල් හිමියන්ට රජය මඟින් මහා පරිමාන ණය ලබාදීම සහ ඔවුනට මහා පරිමාන ගබඩා පහසුකම් අයත්වීම නිසාද වී තොග රැස්කිරිමේ මෙහෙයුම් සාර්ථකව සිදු කෙරේ. බොහෝ විට රජය මඟින් ගබඩා කරන වී තොගද අවසානයේ මිලදි ගන්නේ මේ මහා පාරිමාන මෝල් හිමියන් විසිනි.

    පසුගිය වසරේදි මේ මහා පරිමාන වෙළඳුන් වී තොග රැස්කරන අතර සහල් හිඟයක් මවා පාමින් සහල් වල පාලන මිල ඉවත් කිරිමට රජයට බලකළ බව රහසක් නොවේ. නමුත් ජාතික බලවේගවල මැදිහත් වීම මත අතිගරු ජනාධිපති තුමා ඊට ඉඩ ලබාදුන්නේ නැත. ඔවුන් ඉදිරිපත්කල තර්කය වූයේ ‘‘මිල පාලනය නිසා සහල් සැඟවීම මඟින් සහල් හිඟයක් ඇතිවී කළු වෙළඳපලක් තහවුරු වන බව සහ අවසානයේ ඒ නිසා සහල් මිල ඉතා විශාල වශයෙන් ඉහල යන බවයි. ’’ නමුත් ඇත්ත තත්ත්වය ඊට සම්පුර්ණයෙන්ම ප‍්‍රතිවිරුද්ධ දෙයයි. එනම් තොග සැඟවීම දිරිගැන්වෙන්නේ අනාගතයේ වැඩි මිලකට විකිණීම සහතික වූ විටය. වෙනත් වචන වලින් කිය්නනේ නම් මිල පාලනය ඉවත් කිරිම මඟිනි.

    එදා ජනාධිපතිතුමා ඔවුන් ඇට වු උගුලට පය නොතබා පාලන මිල නැවත පැනවීමට තීරණය කළ බැවින් වෙනත් කිසිදු වසරක සිදු නොවු ආකාරයට සහල් මිල පාලන මිලට වඩා අඩු මට්ටමක තබාගත හැකි විය. මිල ඉහළ නොයන බැවින් වෙළදුන් තොග රැුස්කිරිම හෝ සැඟවීම සිදුකලේ නැත. නමුත් අපට වාර්තාවන ආකාරයට මේ වටයේදි මේ සහල් මාෆියාව භාණ්ඩාගාර නිළධාරින් සමග එක්ව සහල් මිල පාලනය ඉවත් කර ගැනීමට උත්සාහයක් ගනිමින් ඇත. ඔවුන් උත්සාහ කරන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ පය ඔසවා උගුල මත තැබීමටය. ඔවුන් සාර්ථක වුවහොත් ඊනියා සහල් හිඟයක් සහ මිල වැඩිවීම යන දෙකම සිදුවනු ඇත. මේ කූඨ වෙළඳුන් උත්සාහ කරන්නේ මේ වසරේ නොවැම්බර් මස අගදි තම අරමුණු ඉටුකර ගැනීමටය. රජය මේ උගුලට පය නොතබනු ඇතැයි අපි සද්භාවයෙන් විශ්වාස කරමු. ඒ වැඩි කල් නොගොස් බෙන්ගාසි කාරයින් රජයට එරෙහිව අටවන්නට උත්සාහ කරන උගුල් පිළිබඳව රජයට අවබෝධයක් ඇතැයි අප අවංකව කල්පනා කරන බැවිනි. එනිසා මේ උගුල පිළිබදව අවධානයෙන් සිටින ලෙස අපි ඔබ තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

    http://lankacnews.com/sinhala/news/bengasi/

    ReplyDelete

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item