වම නොදන්න වමේ අවුල

-විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට ඇද වැටීමෙන් පසුව එක්තරා රූපවාහිනී නාලිකාවක් සමග මා කරන ලද සංවාදයකදී එහි නිවේදිකාව මගෙන් විමසා ...

-විමල් වීරවංශ

ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට ඇද වැටීමෙන් පසුව එක්තරා රූපවාහිනී නාලිකාවක් සමග මා කරන ලද සංවාදයකදී එහි නිවේදිකාව මගෙන් විමසා සිටියේ ඔබ දේශප්‍රේමියෙක් ලෙස හඳුන්වනවාට කැමතිද ?මාක්ස්වාදියෙක් ලෙස හඳුන්වනවාට කැමතිද යනුවෙනි.මා එකවරම කියා සිටියේ ."දේශප්‍රේමියකු ලෙස හඳුන්වනවාට කැමති" බවය

සැබැවින්ම ඒ අවස්ථාවේ මා කිවයුතුව තිබුනේ,මා පළමුව දේශප්‍රේමියකු බවත් ,දෙවනුව මාක්ස්වාදියකු බවත්ය.මගේ අවබෝධය අනුව මගේ මේ පිළිතුරෙන් කුමක් වුවද ,ජවිපෙට අනුව වැරදිය.පොතේ සඳහන්වන ආකාරයට නම් මාක්ස්වාදියා ජාත්‍යන්තරවාදියෙකු විය යුතුව තිබේ.එබැවින් ඔහුට ජාතිකවාදියකු වීමට හැකියාවක් නොමැත.
ජවිපෙ තුල " කැරැල්ලක් " ගසන බව කියන කුමර පාර්ශවයේ පාර්ශවයේ ප්‍රධානියකු වන ඕපාත සහෝදරයාද පසුගියදා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ ජ.වි.පෙ ගෙවුණු කාලය තුල සීමාවකින් තොරව ජාතිකවාදයට ගොදුරු වූ බවය.ඇතැම් විට ජාතිවාදි පෙනුමක් ලැබෙන තරමටම එය සිදු වූ බවය.එය වමේ ව්‍යාපාරයකින් නොවිය යුතු වරදක් බවද ඔහු කියා තිබුණි.

ජවිපෙට "ජාතිවාදි" පෙනුමක් ලැබෙන තරමට ,ජාතිකවාදයේ එය රැගෙන ගිය ප්‍රධාන වගෞත්තරකාරයා ලෙස මේ දෙගොල්ලන් එදා නම් කර තිබුණේ මාවය.එළියේ සිටි විවිධ වාම වෙස් පැළඳගත් එන්.ජී .ඕ බුද්ධිමතුන්ද ,ඒ වර්ගයේම ඇතැම් පත්‍රකලාවේදීන්ද මා ඇතුළු පිරිස එළියට දමන විට සතුටු වූයේ එය ජවිපෙ "ජාතිවාදයෙන්"නිදහස් වීමේ අවස්ථාවක් ලෙස හඳුනාගෙනය.සැබැවින්ම ජවිපෙට වැරදුනේ එතනද?පමණ ඉක්මවා ජාතිකවාදී වීම ජවිපෙ වියවුල් හේතුවද?

එයට පිළිතුර "ඔව්" නම් එසේ පවසන අයගෙන් ප්‍රශ්නය වෙනත් විදියකට විමසන්නට අපට සිදු වේ.
"හොඳයි..ඔබ පවසන අන්දමට ගෙවුණු කාලය තුල ජවිපෙ ජාතිකවාදී භූමිකාවක් ඉටු නොකළේ නම් රටට සිදුවිය හැකිව තිබුණේ කුමක්ද?"

ජවිපෙ ජාතිකවාදී වූයේ රනිල්-පිරභාහරන් සටන් විරාම ගිවිසුම සහිත යථාර්ථයක් තුලය.අධිරාජ්‍යවාදයේ සැලසුමට අනුව රට බෙදන මෙහෙයුමක් ජීවමානබ රට තුල පවතිද්දීය.චන්ද්‍රිකා සමග "පරිවාස" එකඟතා ඇතිවන්නේත් ,සන්ධාන එකඟතා ඇතිවන්නේත් ඒ මතුව තිබුණු තර්ජනයට සාපේක්ෂවය.යම් ලෙසකින් එදා ජවිපෙ තමන්ට ජාතිබාදි නමක් ලැබෙනු ඇතැයි බියට පත් වී ගත්,තමන්ට සභාගවාදයට පන්තිසහයෝගීතාවයට ඇදවැටී ඇතැයි යන චෝදනාව සම්බන්ධව බියට පත් වී ගත් 2005 ජනාධිපතිවරණය දක්වා වූ දේශපාලන ක්‍රියා මාර්ග නොලැබුවේ නම් රටට සිදුව තිබෙනු ඇත්තේ කුමක්ද?

එසේ වූවේ නම් ජවිපෙ විප්ලවවාදී අනන්‍යතාව සුපිරි අයුරින් ආරක්ෂා වී නිර්ධන පන්තිය දෙකට බෙදී රටවල් දෙකක් මේ යාඥාව මත නිර්මාණය වී තිබෙනු නිසැකය.සූඩානයට අත් වූ ඉරණම ,ඊට පෙර අත්වන්නට නියමිතව තිබුණේ ලංකාවටය.එය වළක්වාගත හැකි වූයේ ජවිපෙ ජාතිකවාදීව ප්‍රශ්නයට මැදිහත් වූ නිසාය.අමු පන්ති සටන් දෘෂ්ඨියට සියල්ල ඌනනය කර ක්‍රියා මාර්ග නොතෝරන ලද නිසාය.කෙසේ වෙතත් රට බෙදීම වළකාලන්නට,අධිරාජ්‍යවිරෝධීව ,ජාතිකවාදීව තීරණ ගත් ජවිපෙට සිදු වූයේ රට එක්සේසත් වීමෙන් පසුව රට වෙනුවට පක්ෂය මෙදී කැබලි වීමේ ඉරණමට ලක්වීමටය .එය එසේ වූයේ ඇයි.?

2005 ජනාධිපතිවරනය දක්වා ජවිපෙ ජාතිකවාදි පදනම මත පිහිටා දේශපාලන ක්‍රියාමාර්ග නිවරදිව ගනු ලැබුවේය.එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව ජවිපෙ තල්ලු වූයේ සිය විප්ලවීය අනන්‍යතාවය නැවත පිරිපහදු කර ගැනීමේ අවශ්‍යතාවයට වැඩි බර තවා තීරණ ගන්නා කාල පරිච්ඡේදයකටය,පුළුල් ජාතිකවාදී අරගලය වෙනුවට පටු පන්ති සටනේ මාවත සොයා යාමට පටන් ගත්තේ එතැන් සිටය.දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය අතහැර "සිසු-ජන සහයෝගීතා ව්‍යාපාරය" බිහි කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය. අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹි එහි සිටියේ කම්කරු-ගොවි-සිසු ආදී පංතිබලවේග නියෝජනය කරන ජවිපෙ නියමුවන්ය.
ජවිපෙට වැරදුනේ මෙතැන් සිටය.ජාතිකවාදයේ ධජය,මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත බාර දී පන්ති බලවේග සොයා යන්නට එය පෙළඹුනේ කෙසේද?එම ඓතිහාසික වැරැද්ද ජවිපෙට සිදු වූයේ කෙසේද?

ඓතිහාසිකව මතු වූ තත්ව හේතුකොටගෙන ,ජවිපෙට ජාතිකවාදී බලවේග මත පදනම්ව ,අධිරාජ්‍යවිරෝධී දේශපාලන භූම්කාවක නියැලීමට සිදුව තිබුණි.සටන් විරාම ගිවිසුමෙන් පසුව ජවිපෙ අභිමුව වූයේ සරල පන්ති සටන් ක්‍රයාමාර්ග ඔස්සේ ඉදිරියට යා හැකි දේශපාලන පොරපිටියක් නොවේ.ඒ වෙනුවට රට මෙදීමට එරෙහි වූ අධිරාජ්‍යවාදයේ දෙස් විදෙස් බලයට එරෙහිව පුළුල් ජාතිකවාදී භූමිකාවකට අවතීර්ණවීමට අයට බල කෙරිණ.එහෙත් එම ක්‍රියාමාර්ග ඔස්සේ ජවිපෙ ඉදිරියට ගියේ සැබෑ ලෙසම ජාතිකවාදී අධ්‍යාත්මයකින් පණ පෙවුණු කේඩරීය යාන්ත්‍රණයක් සහිතව නොවේ.

ජවිපෙ කේඩරය නිර්මාණය කෙරුනේ බොහෝ විට ශිෂ්‍ය ව්‍යාපාරය හරහා පැමිණි අයගෙනි.ඔවුහු පන්ති සටනේ ආශ්වාදය වියුක්තව සොයමින් සිටින්නෝ වෙති.ඔවුනට අනුව වෙනුසියුලාවේ ජනාධිපති ගියුගෝ චාවේස්ස්ද මෝස්තරකාර ජනප්‍රිය සමාජවාදියෙකි.චාවේස් ,සිමොන් බොලිවර් නැමති ද්ශප්‍රේමියාගේ අධ්‍යාඅත්මය මත වෙනිසියුලානු ජාතිය ගොඩ නැංවීම ඔවුනට අනුව නිර්මාක්ස්වාදීය.ජවිපෙ අධ්‍යාපනයෙන්ද නිර්මාණය කෙරුනේ පන්ති සටනට මිස ජාතික සටනට ගැලපෙන මිනිසකු නොවේ.ඒ පන්ති සටන පෙනුනේ "පංතිසහයෝගීතාව" ලෙසය.අවසානයේ සිදු වූයේ "ජාතික සටන් කාරයන් ගෙන්" "පන්ති සටන" බේරා ගැනීමට අපව නෙරපා හැරීමය.
අප එළියට ඇද දැමීමෙන් පසුවද ඒ "ගැටුම" නිමා නොවූ බව පැහැදිලිය.කුමර පාර්ශවය හා සෝමවංශ පාර්ශවය අතර වන ගැටුම තුළද පවතින්නේ මේ ප්‍රශ්නය බව මගේ විශ්වාසයයි.එහිදී කුමාර පාර්ශවය නිශ්චිතව ,ව්‍යාකූලත්වයකින් හෝ දෙගිඩියාවකින් තොරව සුපිරිසිදු පන්ති සටනේ මාවතට ගැලපෙන විප්ලවවාදී පක්ෂයක අනන්‍යතාව මත දෙපා තබාගෙන ක්‍රියාත්මක වන බව පෙනේ .පමණ ඉක්මවූ ජාතිකවාදයට ඔවුන් බැට දෙන්නේ එබැවිනි. එහෙත් ඊට ප්‍රතිපක්ෂව,සෝමවං ශ පාර්ශවය තුලින් විද්‍යාමාන වනුයේ ව්‍යාකූලතා බහුල,ජාතික සටන හෝ පන්ති සටන හෝ නියමානුකූලව සංකේතවත් නොකරන දේශපාලන හැසිරීමකි."පොඩි කල්ලිවාදයක් ආවා! අපි ඒක ඉවර කලා !මේක පොඩි සුළඟක් පමණයි!" කියමින් අඳුරේ අත පත ගෑම් හැර ප්‍රශ්නයේ පතුලේ පවතින හේතුව හඳුනාගත් හැසිරීමක් ඔවුන් වෙතින් විද්යාමාන නොවේ.


අද අප පසු කරන්නේ අධිරාජ්‍යවාදය,අතීතයේ සිය කොල්ලකාරී මෙහෙයුම් පෙරට ගෙන ගියාටත් වඩා විවෘත්තව,ජාතික රාජ්‍යන් අත් පත් කරගනිමින් සිටින කාල පරිච්චෙදයකි.එමගින් කියවෙන්නේ මෙබඳු අවධියකදී ජාතික සටන යටින් මිස පන්ති සටන ගෙන ආ නොහැකි බවයි.පන්ති සටන පවතින්නේ ජාතික සටන තුළ මිස එයින් පරිභාහිරව නොවේ,මේ යුගයේ බහුජනතාව දිනා ගනිමින් ජයග්‍රාහීව ඉදිරියට යා හැක්කේ,අධිරාජ්‍යවිරෝධී ජාතික සටනට අවශ්‍යවන්නා වූ අධ්‍යාත්මික ගුණයෙන් අනූන මිනිසකු නිර්මාණය කරන, ජාතික සටන මත පෙරට යෑමේ ධෛර්යය සහිත විප්ලවවාදී සංවිධානවලට මිස,මාක්ස්වාදයේ අකුරු වපුරන ,පන්ති සටනේ ආශ්වාදය සොයා යන අදේශපාලනික ඊනියා සංවිධානවලට නොවේ.

අධිරාජ්‍යවාදයද මේ යුගයේ ජාතිකවාදී නොවන වමට දක්වන්නේ පුදුමාකාර කැමැත්තකි.ජාතික සටන වෙනුවට පිරිසිදු පන්ති සටන අතදරාගත් වම අධිරාජ්‍යවාදයට අවශ්‍ය වමකි.එබඳු වමකින් අධිරාජ්‍යවාදයට කරදරයක් නොවේ.ඒ වෙනුවට එයට ලැබෙනුයේ ඒ මගින් අනියම් වාසියක් පමණි.

විජේවීර සහෝදරයාව සමරන්න තරඟකාරීව ස්ථාන දෙකකට එකතුවන ජවිපෙ සහෝදර සහෝදරියන් තේරුම් ගත යුතු ඇත්තක් තිබේ.එයනම් රෝහණ විජේවීරයන් යනු ජාතික සටනට අවශ්‍යලෙස පන්ති සටන කළමණාකරණය කරන ලද නායකයකු වූ බවය.
ඔහු ජාතික ප්‍රශ්නයේදී වරද්දා නොගත්තේ ඒ නිසාය.
උපුටා ගැනීම
ඉරිදා ලංකාදීප
2011-11-06

ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘වම නොදන්න වමේ අවුල’ ප‍්‍රසිද්ධ සම්මන්ත‍්‍රණයේදී (2011-11-7කොළඹ පදනම් ආයතනයේදී)ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැත්වූ සම්පූර්ණ කතාව (වීඩියෝ)
පළමු කොටස :


දෙවන කොටස


අවසාන කොටස


Related

විමල් වීරවංශ 8289621267355578489

Post a Comment

  1. මාක්ස්වාදයේ පොත් කියවමින් ප‍්‍රශ්ණ විසඳන්න බෑ – විමල්
    http://lankacnews.com/sinhala/news/33747/

    ReplyDelete

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item