ෆොන්සේකාගේ හෙට දවස

- මනෝජ් අබයදීර සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේ වැරදිකරු වීම හේතුවෙන් වසර තුනක සිර දඬුවමක්‌ හිමිවීම, අධිකරණ ක්‍රියාදාමයේදී එක්‌ සිද්ධියක්...

-මනෝජ් අබයදීර
සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේ වැරදිකරු වීම හේතුවෙන් වසර තුනක සිර දඬුවමක්‌ හිමිවීම, අධිකරණ ක්‍රියාදාමයේදී එක්‌ සිද්ධියක්‌ වුවද, දෙමළ වර්ගවාදය සම්බන්ධයෙන් එය සුවිශේෂීභාවයක්‌ උසුලයි.
සරත් ෆොන්සේකා නෛතික තීන්දුවකින් බන්ධනාගාරගත වී සිරකරුවකු බවට මීට ටික කාලයකට පෙර පත්වුවද ඔහු දේශපාලන සිරකාරයකු බවට පත්වූයේ 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විටදීය. එකල සරත් ෆොන්සේකා දේශපාලන පක්‍ෂයක නායකයකු නොවීය. අවම වශයෙන් ඡන්දදායකයකුවත් නොවීය. එසේ තිබියදී ඔහු ජනාධිපතිරණයට ඉදිරිපත් වූයේ ප්‍රධාන "කරු" දෙකක ආධාරයෙනි. ඒ එජාපය හා ජවිපෙ ය. මෙම දේශපාලන ප්‍රවාහයන් දෙකම ලබා සිටි බංකොලොත්භාවය හේතුවෙන් සරත් ෆොන්සේකා "අත්තට නග්ගවා" තමන්ගේ බේරීම සරිකර ගැනීමට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා ඒ ප්‍රවාහයන් දෙකටම අවශ්‍ය විය. දේශපාලන යාන්ත්‍රණයක්‌ නොතිබුණු, දේශපාලන උපාය මාර්ග පිළිබඳ වැටහීමක්‌ නොතිබුණු සරත් ෆොන්සේකා දේශපාලනයට පිවිසීමත් සමඟ මෙම දෙපාර්ශ්වයේ සිරකරුවකු බවට පත්විය. ඒ තත්ත්වය කෙතරම් බරපතළ ද යත් තවමත් ඔහුට මේ දෙපාර්ශ්වය නොමැතිව තමන් වෙනුවෙන් හඬක්‌ නැගිය හැකි තත්ත්වයක්‌ නිර්මාණය කරගත හැකි මට්‌ටමක්‌ නැත.

ජ.වි.පෙ. විසින් මෑතකදී හෙළිකර ඇති අන්දමට සරත් ෆොන්සේකාට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදීම ඔවුන් විසින් සිදුකර ඇති වරදකි. 2005 ජනාධිපතිවරණයේදී ද මෙයට සමාන තත්ත්වයක්‌ ජ.වි.පෙ. විසින් සිදු කළේය. චන්ද්‍රිකා විසින් ශ්‍රීලනිපයේ සහයෝගය මහින්දට නොදෙන විට මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් ජ.වි.පෙ. සිය සහයෝගය පළ කළේය. මහින්ද ජයග්‍රහණය කළ පසුව ඔවුන් මහින්ද සමඟ නොසිට ජ.වි.පෙ. ලෙස ඉදිරියට කටයුතු කරගෙන යන්නට තීරණය කළේය. මහින්ද ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර සිටි හෙයින් ඒ මොහොතේ ජ.වි.පෙ. විසින් මහින්ද අතහැර ගියද ජ.වි.පෙ. නොමැතිව තමන්ගේ ගමන සඳහා ශක්‌තිමත් බලවේගයක්‌ බිහිකර ගැනීමට මහින්දට හැකිවිය. සරත් ෆොන්සේකා මුහුණදුන් පරාජය සමඟත්, ඔහුටම අයත් දේශපාලන කණ්‌ඩායමක්‌ නොමැතිවීමත් නිසා 2010 ජනාධිපතිවරණයෙන් පසු සරත් ෆොන්සේකාට සිදුවූයේ නූල කැඩුණු සරුංගලයක්‌ සේ දේශපාලන තලයේ අතරමං වන තැනට පත්වීමටය. ජ.වි.පෙ. හා එ.ජා.ප.ය අද තරමකට හෝ සරත් ෆොන්සේකා ගැන කතා කරන්නේ ඔහුට ඇති ආදරයට නොව ඔහුගේ සිද්ධිය මගින් තමන්ට දේශපාලන සටන් පාඨයක්‌ නිර්මාණය කර ගැනීමටය. මේ නිසා අද සරත් ෆොන්සේකා පත්ව සිsටින්නේ, 2010 තමන්ව යොදාගත් බලවේගවල සටන් පාඨයකට සිරවීමටය. ඉදිරි දේශපාලනය සඳහා සරත් ෆොන්සේකා සමඟ සන්ධානගතවීමකට අද ජ.වි.පෙ. නැත. එය ජ.වි.පෙ. විසිsන් ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීන්දුවකි. එජාපය තුළ දැන් ඇතිවී තිබෙන නායකත්ව අර්බුදයේදී තමන් එදා රටේ නායකයා කරන්නට ගෙන ආ සරත් ෆොන්සේකාට නි. නායකකමක්‌වත් ලබාදිය යුතු යෑයි කිසිම පාර්ශ්වයක්‌ යෝජනා නොකළේය. මෙයින් පෙනී යන්නේ එදා සරත්ට "කරු" වූ යුගලය අද සරත්ව තනිකර තිබෙන බවය.

2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ජ.වි.පෙ. හා එජාපයේ දේශපාලන බංකොලොත්භාවය හේතුවෙන් එම පක්‍ෂ දෙකට සිරකරුවකු වූ සරත්, අද නීතියෙන් ද සිර දඬුවම් විඳින තැනට පත්ව සිටියි.

මෙය අවාසනාවන්ත කාර්යයක්‌ වන්නේ, ඔහු එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය නිමා කිරීමේ කාර්යයේදී, හමුදා ක්‍රියාමාර්ගවලදී කැපවීමෙන් කටයුතු කළ ජයග්‍රාහී නායකයන්ගෙන් කෙනකු වීම නිසාය. යුද ජයග්‍රහණයෙන් වසර දෙකක්‌ ගතවන විට ඔහු අත්පත් කරගෙන තිබෙන තත්ත්වය ජාතියක්‌ ලෙස ඔහු දෙස බලනවා නම් ශෝකජනකය. නමුත් ඒ සඳහා මඟ විවර කර ගැනීමේදී මහත් කර්තව්‍යයක්‌ ඉටුකරන ලද්දේ ද ඔහු විසිනි. මාණ්‌ඩලික හමුදා ප්‍රධානී තනතුරෙන් ඉල්ලා අස්‌වී දේශපාලනයට පැමිණි දිනයේ සිටම සරත් ෆොන්සේකා විසින්ම දිනෙන් දිනම කප්පාදු කරගත්තේ ඔහුවය. ඔහුට රටේ හිමි වී තිබූ, ඉතිහාසයේ හිමිවීමට තිබූ වීර චරිතය තමා විසින්ම කප්පාදු කර ගත්තේය.
ඒ සඳහා පිහි පොරෝ සපයා දීමෙන් ජ.වි.පෙ. හා එ.ජා.ප.ය දායක විය. පසුගිය සිකුරාදා කොළඹ මහාධිකරණයේදී ලැබුණු තීන්දුව ද ඔහු විසින් තමාව කප්පාදු කර ගැනීමෙන් ලබාගත් ප්‍රතිඵලයකි. අපරිනත දේශපාලන ලක්‍ෂණ විහිදාපාමින් ඔහු විසින් පවසන ලද සුදු කොඩි කතාව විසින් ජනාධිපතිවරණයේදී ඔහුට විශාල දේශපාලන අවාසියක්‌ මෙන්ම නීතියෙන් වසර තුනක සිර දඬුවමක්‌ ද හිමිවිය.

2010 ජනාධිපතිවරණයේදී දෙපාර්ශ්වයෙන්ම එකිනෙකා වෙත චෝදනා ගොනු විය. රටේ තිබෙන විශාල නිවාස, කර්මාන්ත ආදිය රාජපක්‍ෂලාට අයත් යෑයි කියමින් ෆොන්සේකා පාර්ශ්වය විසින් රාජපක්‍ෂ පාර්ශ්වයට චෝදනා කළේය.
මහින්ද රාජපක්‍ෂ විශාල ඡන්ද ගණනාවකින් ජයග්‍රහණය කළ ද එය මැතිවරණ කොමසාරිස්‌ කාර්යාලයේ සිට බැසිල් රාජපක්‍ෂ විසින් සිදුකළ කොම්පියුටර් ජිල්මාට්‌ එකක්‌ බවට ද චෝදනා එල්ල විය. සෝමවංශ අමරසිංහ විසින් ප්‍රසිද්ධියේම කොම්පියුටර් ජිල්මාට්‌ චෝදනාව එල්ල කළේය. නමුත් ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමේදී මෙම චෝදනාව ගැන ෆොන්සේකා පාර්ශ්වය කිසිදු සඳහනක්‌ නොකළේය.

රාජපක්‍ෂ පාර්ශ්වය විසින් ද ෆොන්සේකා සම්බන්ධයෙන් විවිධ චෝදනා රාශියක්‌ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළේය. හයිකොප් සිද්ධිය එහිදී ප්‍රධාන විය. සුදු කොඩි කතාව ද එහි එක්‌ තැනක්‌ විය. රාජපක්‍ෂ පාර්ශ්වය විසින් එදා ෆොන්සේකාට එරෙහිව සිදුකළ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබේ. එයින් පෙනී යන්නේ ෆොන්සේකා පාර්ශ්වය අභූත චෝදනා ඉදිරිපත් කරමින් රාජපක්‍ෂට චෝදනා කළ ද රාජපක්‍ෂ පාර්ශ්වය විසින් තමන් ඉදිරිපත් කළ චෝදනා එවැනි තත්ත්වයකට යොමු නොකර අවසානය තෙක්‌ ගෙන යන බවය.

එය සැලකිය හැක්‌කේ වගකීම් සහගතව රාජපක්‍ෂ පාර්ශ්වය ජනාධිපතිවරණයේදී හැසිරී ඇති ලක්‍ෂණයක්‌ ලෙසය. එම අධිකරණ ක්‍රියාමාර්ගවල ඵලයක්‌ ලෙස ෆොන්සේකා සිරගත වී තිබේ.
ෆොන්සේකාට ලැබුණු තීන්දුව සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ කෝණයෙන් බලන විට විවිධ විචාර තිබිය හැකිය. ෆොන්සේකා විසින් තමන්ව කප්පාදු කර ගැනීමේ ප්‍රතිඵලයක්‌ ලෙස එය ගත හැකිය. නමුත් දෙමළ වර්ගවාදයේ අභියෝගය හමුවේ ජාතියක්‌ ලෙස ෆොන්සේකා සිරගතවීම දෙස එසේ බැලිය නොහැකිය.

අධිරාජ්‍යවාදයේ අනුග්‍රහය ලබමින් ලන්දේසි පාලන කාලයේ සිටම දෙමළ වර්ගවාදය බිහිවී විනාශ වූයේ ශ්‍රී ලංකාව දෙකඩ කර ඊළමක්‌ බිහිකර ගැනීමේ අභිප්‍රායෙනි. එහි ප්‍රචණ්‌ඩාකාරය ලෙස එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය හැඳින්විය හැකිය. එල්. ටී. ටී. ඊ. ය විසින් දෙමළ වර්ගවාදය තම ප්‍රචණ්‌ඩත්වය හා කාර්යශූරත්වය හරහා තමන් වෙතම ලඝූ කර ගත්තේය. 2002 සටන් විරාම ගිවිසුම අවධිය වන විට දෙමළ වර්ගවාදය යනු එල්. ටී. ටී. ඊ. ය වන තැනටම පත්වී තිබිණි. ඒ තුළ එල්. ටී. ටී. ඊ. ය යුදමය ලෙස පරාජය කිරීම ජාතිය හමුවේ තිබූ අත්‍යවශ්‍යතාවයක්‌ විය. 2005 මහින්ද රාජපක්‍ෂ බලයට පත්වන්නේ ජාතිය විසින් මෙම අත්‍යවශ්‍යතාවය අවධාරණය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙසය. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සටන දියත් වීම ඇරඹුණි. එහිදී යුද හමුදාවට නායකත්වය දීම සඳහා තෝරා ගනු ලැබුවේ සිය හමුදා ඉතිහාසය පුරාම එල්. ටී. ටී. ඊ. යට එරෙහිව අභීත නායකයකු ලෙස සටනේ නියෑලුණු සරත් ෆොන්සේකාය. සරත් එහිදී සිය කාර්යය මැනවින් ඉටු කළේය. ඒකීය ශ්‍රී ලංකාව වෙනුවෙන් තමන් සටන් කරන බව නිර්භවයම ඔහු ප්‍රකාශ කළේය. එපමණක්‌ නොව දේශපාලකයන් විසින් ප්‍රකාශ නොකරන සත්‍යයක්‌ ද ඔහු ලෝකයාට නිර්භයව ප්‍රකාශ කළේය. කැනේඩියන් ටයිම්ස්‌ පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින්, ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට බව කියන තැන දක්‌වාම සරත් පෙනී සිටියේය.

එල්. ටී. ටී. ඊ. ය පරාජය කරන සටන ජයගන්නා තැනට රට ගෙන ඒමට හැකි වුවත්, එම ජයග්‍රහණය පළුදු නොමැතිව විඳ ගැනීමේ වාසනාව ජාතියට අහිමි කරමින් මහින්ද රාජපක්‍ෂට එරෙහිව සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. මෙය වඩාත්ම සතුට ගෙන දෙන කාරණය බවට පත්වූයේ ඉතිරි වී සිටි දෙමළ වර්ගවාදීන්ටය. එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීමට හැකි වුවත් දෙමළ වර්ගවාදය මුළුමනින්ම විනාශ නොකළ තත්ත්වයක්‌ තුළ තමන්ගේ ඉදිරි ගමන සඳහා වන ආශ්වාදජනක තත්ත්වයක්‌ දෙමළ වර්ගවාදීන් මෙමගින් නිර්මාණය කරගත්තේය. ශ්‍රී ලංකාව සිංහලයන්ගේ රට කියූ හමුදාපතිවරයා එතෙක්‌ මෙතෙක්‌ කිසිම රාජ්‍ය නායකයකු නොකළ අන්දමට එල්. ටී. ටී. ඊ. ය විනාශ කරන්නට නායකත්වය දුන් නායකයා සමඟ තරග වැදීම දෙමළ වර්ගවාදයට සැලසුම් ලක්‍ෂයකින්වත් බෝaම්බ දසදහසකින්වත් ඉටුකරගත නොහැකි තරමේ කර්තව්‍යයක්‌ විය.

ඒ සඳහා ප්‍රමුඛ දායකත්වය ලබාදුන්නේ සරත් ෆොන්සේකාය. ෆොන්සේකා කළ ඒ අවරගණයේ ක්‍රියාව සඳහා රටෙන් ඔහුට ප්‍රතිචාර ලැබුණේ මහින්ද රාජපක්‍ෂට ජය අත්කර දෙමිනි. ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම විසින් ජාතියට සිදුකළ හානියට ජාතිය ඔහුට හොඳින් "සැලකුවේය". මේ නිසා යළිත් ඔහුට අමුතු ආකාරයේ "සැලකිල්ලක්‌" අවශ්‍ය නැත. නමුත් තවදුරටත් ෆොන්සේකාට "සැලකීමක්‌" කළයුතු නොවන්නේ, ඔහු කළ වරදට වන්දිය දැනටමත් ඔහු ගෙවා ඇති බැවින් හා ඔහු විසින් එල්. ටී. ටී. ඊ. ය විනාශ කිරීමේදී කළ මෙහෙය වෙනුවෙන් ඔහුට තවදුරටත් දඬුවම් ලබාදීම නොහොබිනා බැවිනි.

දැන් කොහොමටත් ෆොන්සේකා දේශපාලන චරිතයක්‌ නොවේ. ඔහු වෙනුවෙන් අද කතා කරන්නේ, ඔහු දේශපාලන සටන් පාඨයක්‌ කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙන විපක්‍ෂයේ පිරිස්‌ය. නමුත් ෆොන්සේකා සිර ගෙය තුළ සිටීමෙන් සතුටු වන්නේ දෙමළ වර්ගවාදයය. එදා ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විටත් ඔවුන් එවැනිම සතුටක්‌ ලැබුවේය.

එල්. ටී. ටී. ඊ. ය නිමාකර, දෙමළ වර්ගවාදය මුළුමනින්ම පරාජය කිරීමේ අත්‍යාවශ්‍යතාවය ජාතිය ඉදිරියේ තිබෙන මොහොතක, දෙමළ වර්ගවාදය තවදුරටත් සතුටු කරනා කටයුතුවල ජාතිය නියෑළිය යුතු නැත. ආණ්‌ඩුව ද නියෑළිය යුතු නැත. අද මේ ආණ්‌ඩුවට එරෙහිව සිටිනා ප්‍රධාන බලවේගය වන්නේ දෙමළ ජාතිවාදයය. ඔවුන්ට සතුටු වන්නට අවස්‌ථා දෙන තැනට ආණ්‌ඩුව පත්විය යුතු නැත.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස සරත් ෆොන්සේකා සිටින විට ඔහු හමුදා සේවයෙන් ඉල්ලා අස්‌වී ජනාධිපති අපේක්‍ෂක වීමට නම් එම ඉල්ලා අස්‌වීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් අනුමත කළයුතු තත්ත්වයක්‌ මතු විය. සරත් ෆොන්සේකාගේ ඉල්ලා අස්‌වීම නොපිළිගන්නා ලෙස සමහර පාර්ශ්ව මහින්දගෙන් ඉල්ලා සිටියේය. එසේ වුවහොත් ඔහුට ජනාධිපතිවරණයට තරග කිරීමේ අවස්‌ථාව නැතිවන බව පෙන්වා දෙමිනි. නමුත් මහින්ද එම ඉල්ලා අස්‌වීම පිළිගත්තේය. සරත් ෆොන්සේකා වෙනුවෙන්, එජාපය, ජවිපෙ යන ප්‍රධාන විරුද්ධ පක්‍ෂ සියල්ලම සිටින විටදී සැකයකින් තොරව සරත්ගේ ඉල්ලා අස්‌වීම පිළිගන්නා තැනක මහින්ද සිටියේය. ඒ මොහොතේ මහින්ද විසින් සරත්ගේ ඉල්ලා අස්‌වීම භාර නොගත්තා නම්, විපක්‍ෂයේ සටන් පාඨය වන්නට තිබුණේ "සරත්ව පරාජය කරන්න බැරි නිසා, මහින්ද ඉල්ලා අස්‌වීම පිළිගත්තේ නැහැ" යන්නය. නමුත් ඊට අවස්‌ථාව නොදී සරත්, පරාජය කිරීමේ සටනට මහින්ද එළඹුණේ ඔහුගේ ඉල්ලා අස්‌වීම එකහෙළාම පිළිගැනීමෙනි.

අද යළිත් මහින්ද අතට පත්වී තිබෙන්නේ එවැනි අවස්‌ථාවකි. එදා සරත් මෙන් අද සරත් ප්‍රබල නැත. ඔහු වෙනුවෙන් අද ප්‍රධාන දේශපාලන පක්‍ෂ කිසිවක්‌ නැත.

සරත් ෆොන්සේකා තවදුරටත් සිරගතවී සිටීමෙන් ආශ්වාදයක්‌ ලබන්නේ අන් කිසිවකු නොව දෙමළ වර්ගවාදයය. මේ සතුටට ඉඩ නොදී ජනාධිපති බලතල යටතේ සරත්ට නිදහස ලබාදීම මහින්ද සතුව ඇති යුතුකමකි. මහනුවර මහ නගර සභාවේ පුරපති වූ කේසර සේනානායක, සිය බිරිඳ සමඟ විදේශ සංචාරයක නිරත වී අයථා ලෙස මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ වැරදිකරුවකු විය. පසුව මහින්ද රාජපක්‍ෂගේ ජනාධිපති බලතල යටතේ සමාව ලැබ නිදොස්‌ව නිදහස්‌ විය. කේසර සේනානායකට සමාව ලබාදෙන්නට ජනාධිපති සමාව, මහින්ද විසින් පාවිච්චි කළා නම් එල්. ටී. ටී. ඊ. යට එරෙහි සටනේදී හැබෑවටම කේසර සේනානායකයකු වූ සරත්ට එම අවස්‌ථාව අනිවාර්යයෙන්ම ලබාදිය යුතුය. එය දෙමළ ජාතිවාදය මුළුමනින්ම පරාජය කරන සටනටත්, මහින්දගේ මහත්මා දේශපාලනයටත් හොඳ තත්ත්වයක්‌ උදාකරනු ඇත.

මනෝජ් අබයදීර

උපුටා ගැනීම
දිවයින
2011-11-23

Related

මනෝජ් අබයදීර 8871672158965651603

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item