නාථ දෙවියන්ගේ බලය සහ රයිගම නාථ පිළිමය

-මතුගම සෙනෙවිරුවන් කෝට්‌ටේ ජයවර්ධනපුර බලකොටුව නිර්මාණය කොට උතුරේ ආර්ය චක්‍රවර්තී පාලනයට අභියෝගයක්‌ වූ නිශ්ශංක අලකේශ්වර (ප්‍රභූ ...

-මතුගම සෙනෙවිරුවන්
කෝට්‌ටේ ජයවර්ධනපුර බලකොටුව නිර්මාණය කොට උතුරේ ආර්ය චක්‍රවර්තී පාලනයට අභියෝගයක්‌ වූ නිශ්ශංක අලකේශ්වර (ප්‍රභූ රාජ) සිංහල රජ පෙළපතේ පඬුවස්‌ දෙව් පරම්පරාවට අයත් වේ. දළ සෙන් (දාපුලුසෙන් ගිරි වංශ) ගමු මිගන්තරු (මැණික්‌ ඔටුනු දරන්නා) නම් පල්ලව රටේ අලකේශ්වර පරම්පරාවේ වීර කේරළ රජුගේ මුණුබුරා වශයෙන් හේ සැලකේ. සතුරන්ට බියෙන් පල්ලව රටට පැන ගොස්‌ එහි සේනාවන්ගේ ද රජුගේ ද සහායෙන් නැවතත් සිය උරුමය වන ලංකාවේ රාජ්‍ය බලය ලබාගත් මාන නොහොන් මාන වර්මන් රජුගේ පරම්පරාවට මේ අලකේශ්වර පෙළපත අයත් ය. උතුරේ ආර්ය චක්‍රවර්තී බලපෑම නිසා අවතැන් වූ සිංහල රජ පෙළපත ස්‌ථාවර කිරීමට නිභයව අනලස්‌ව කටයුතු කළ නරපතියකු ලෙසට ඔහු සැලකේ.

මැඬියකුට පැරදුණු නයකු පැන යන ආකාරය නිරීක්‍ෂණය කිරීමෙන් කෝට්‌ටේ දරගම නම් නියම් ගම ජය භූමියක්‌ යයි නිශ්චය කොට එහි බලකොටුවක්‌ තනවන්නට මේ අලකේශ්වරයන් කළ උත්සාහය ඉතිහාසයක්‌ වෙනස්‌ කළේය. ඉන්දියාවේ විජය නගර අධිරාජ්‍යයේ හරිහර මහ රජුහු විසින් උතුරේ ආර්ය චක්‍රවර්තීන් යටත් කර ගැනීම නිසා කලින් වීර අලකේශ්වර හා කරන ලද යුද්ධයේ දී කරන ලද පක්‍ෂපාතී දිවුරුම අහෝසි වූ වායි සලකා නිශ්ශංක අලකේශ්වරයන් ස්‌වාධීන වන්නට උත්සාහ ගත් බව මහාචාර්ය පරණවිතාන සිය ලිපියකින් අවධාරණය කර ඇත. අලකේශ්වරයන්ගෙන් ලද සංදේශය නිසා කිපුණු මර්තාණ්‌ඩ ආර්ය චක්‍රවර්තී මහසේනා දෙකක්‌ මාතලේටත් පාණදුර හා කොළඹටත් එවූවත් රයිගම සිටි අලකේශ්වර සොහොයුරු දේව මන්ත්‍රී මේ සේනාව පරාජය කොට නැව් පවා පොඩි පට්‌ටම් කරන ලද බව පැවසෙයි. මින්පසු විජය නගරේ හරිහර රජුගෙන් ආධාර උපකාර ගත් මර්තාණ්‌ඩ ආර්ය චක්‍රවර්තී යාපා පටුනට මහ සේනාවක්‌ ගෙන්වා ගෙන අලකේශ්වර සමඟ සටනට සූදානම් වන අතර නිශ්ශංක අලකේශ්වර සිය බෑයා සමඟ සේනා සංවිධාන කොට යාපනයට ගොස්‌ එම සේනාව හා යුද්ධ කොට පරාජයව සෙංකඩගල ශ්‍රී වර්ධනපුරයට විත් කඳවුරු බැඳගෙන සිටියහ. සෙංකඩගල නාථ දේවාලය පුරාණ රජවරුන්ගේ අභිෂේක ස්‌ථානය බැවින් අලකේශ්වරයන් එහි පුද පූජා පවත්වමින් තමන් විසින් බුද්ධ ශාසනයට කරන ලද මෙහෙවර සිහිපත් කරමින් සිටිනා එක්‌ දවසක මැදියම් රැය ගත වූ පසු නාථ දෙවියන් නා ගහේ දෙවියනුත් සමඟ සිහිනෙන් පෙනී සිට යුද්ධය දිනා ගත හැකි ආකාරය කියා දී අතුරුදන් විය.

මාර්තාණ්‌ඩ ගේ සේනාව මාතලේ සිට කටුගස්‌තොට හරහා මහවැලි ගඟෙන් එතෙරව සෙංකඩගලට ප්‍රවිෂ්ට වන්නට එන විට අලකේශ්වරයන් මේ සේනාවට පහර දුන් අතර නැවත මාතලේ කඳවුරට පසුබස්‌නා ද්‍රවිඩ සේනාවට පිටුපසින් සිට පහර දීමට දේව මන්ත්‍රී සෙන්පතියා ද මේ වන විට මාතලේට පැමිණ සිටියහ. දෙපැත්තකින් පහර කෑ ආර්ය චක්‍රවර්තී සේනාව පරාජයට පත් වූ බව ඉතිහාසයේ සඳහන් ය.

මේ නිශ්ශංක අලකේශ්වර බෙදී බිඳී තිබූ මුළු රටම නැවත එකසේසත් කිරීමට ගත් මහන්සිය ඉතිහාසයේ එතරම් වර්ණනා කර නැත. ඔහු අනුරාධපුර ඇතුළු බෞද්ධ පුරවරයන් නැවත පුනරුත්ථාපනය කොට ගංපළ දී පස්‌වන බුවනෙකබාහු නමින් ඔටුනු පළන් බව ද ඉතිහාසයේ සඳහන් ය. මේ රජු විසින් සිය නව වැනි රාජ්‍ය වර්ෂයේදී පිහිට වූ පාතහේවාහැට සපුතලසගම සෙල් ලිපිය මෙහි ඉහත සඳහන් කළ පුරාවෘත්තය සනාථ කරවන සටහනක්‌ වෙයි. සිය රාජ්‍ය පාලනයට උදව් උපකාර කළ නාථ දෙවියන් සිහිපත් කිරීමක්‌ මෙහිදී වෙයි. මෙහි සඳහන් වන්නේ එම ලිපියයි.

"ශ්‍රී සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක - ත්‍රී සිංහලාධීස්‌වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරිනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක්‌ ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශ්වර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක්‌ දිව් ලො සසුන් වැඩ සඳහා කරනා උත්සාහය ට පිහිටැ ව ස්‌වප්නයෙන් පෙනී ජය කාරණා දක්‌වා ශශත්‍රැ පක්‍ෂ අපර පක්‍ෂ චන්ද්‍රයා සේ කර මිත්‍ර පක්‍ෂ පූර්ව පක්‍ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්‌වාමීන්ටත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක්‌ මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලු වූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ආදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක්‌ පවත්වා ලිය යුතු.

නිශ්ශංක අලකේශ්වරයන්ට රට එක සේසත් කරලීමට කරන ලද වෑයම පල දැරීමට අවශ්‍ය වූ ප්‍රධාන සාධක දෙකක්‌ විය. ඉන් ප්‍රධාන සාධකය වූයේ දළදා වහන්සේගේ භාරකාරත්වයයි. දෙවැන්න නාථ දෙවියන්ගේ ආශිර්වාදයයි. අලකේශ්වර පරම්පරාවේ බොහෝ ප්‍රභූවරු දසවන සියවසෙන් පසුව ලංකාවට පැමිණ ලංකාවේ රාජ්‍ය බලය හා සමගාමී වන්නට ගත් උත්සාහය ඵල දරන්නේ පොලොන්නරු යුගයේදී ය. ලක්‌දිව දකුණු දෙස පාලනයට උරදුන් රක්‌ඛ කංචුකී නායක ද මේ අලකේශ්වර පරම්පරාවට අයත් ය. මේ අවදියේ රයිගම වීදාගම පෙදෙස පාලනයට ද අලකේශ්වර පරම්පරාවේ මාණ්‌ඩලිකයකු පත් කර තිබී යෑයි පැවසේ. නිශ්ශංක අලකේශ්වරයන්ගෙන් පසුව දිගින් දිගටම රයිගම පාලනයට මේ අලකේශ්වර රාජකීයන් පෙළඹෙන්නේ එහි මේ පෙළපතට යම්කිසි ස්‌ථාවරත්වයක්‌ තිබූ හෙයිනැයි සිතිය හැකිය. මේ නිසා රයිගම දළදා වහන්සේ වැඩම වීමට සුදුසු ස්‌ථානයන් ද නාථ දේවාලයක්‌ ද පිහිටා තිබිණි.

වර්තමානයේ රයිගම් පුරවරයේ නාථ දේවාල දෙකක්‌ වෙයි. එකක්‌ වීදියගොඩ දේවාලය වන අතර අනෙක දාමින්ගමුවේ දේවාලයයි. කොන්ස්‌තන්තීනු සටනෙන් පසු වල්වැදුණු සිංහල රජ පරපුර වරින්වර වීදියගොඩ නාථ දේවාලයට පැමිණ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර ගිය බව එහි ඉතිහාසය දන්නා අය පවසයි. නමුත් දාමින්ගමුවේ නාථ දේවාලය පිළිබඳ එවැනි සම්ප්‍රදායක්‌ නොපැවති බව පෙනේ. මෙහි කපු පරපුර හොබවන හඳපාන්ගොඩ ගේ පෙළපතේ ක්‍රිස්‌තියන් අප්පු නමැත්තෙක්‌ යටත් විජිත යුගයෙන් පසුව දේවාල භූමියට පැමිණ කටුකොහොල් හෙළි කර එම ස්‌ථානයේ වාර්ෂික දෙවොල් මඩු ආදිය පවත්වමින් චාරිත්‍ර ඉටු කළ බවක්‌ පෙනේ.

දේවාලය භූමියේ තිබෙන නාගස්‌ විශාල ප්‍රමාණයකි. ඒවායේ ආයුෂ ද කිව නොහැකි තරම් ය. දහනවවන සියවසේදී මෙම ස්‌ථානයේ තිබෙන පැරැණි වරිච්චි දේවාලය කඩා වැටී ජරාවාසව තිබූ අතර, නව දේවාලය තැනීම සඳහා කටයුතු කරමින් සිටින අවස්‌ථාවේදී පසට යට වී තිබූ ලෝකඩ නාථ හිටි පිළිමයක්‌ මතු වී ඇත. අඩි එකහමාරක්‌ පමණ උසින් යුතු එම පිළිමය දකුණතින් අභය මුද්‍රාව ද වමතින් වරද මුද්‍රාව ද දරයි. හින්දු දේව සංකල්පයට නෑකම් කියන මුහුණුවරක්‌ එහි දක්‌වයි. මෙම පිළිමය දාමින්ගමුවේ දේවාලයේ තැන්පත් කොට තබා පුද පූජා පැවැත්වීමට කටයුතු සැලස්‌වුණි. එහෙත් දාමින්ගමුවේ නාථ දේවාලයේ සිදු වූයේ රාජකීය චාරිත්‍ර නොව කෝට්‌ටේ යුගයෙන් පසු කලකදී ඇති වූ පත්තිනි දේව චාරිත්‍ර වීදියයි. එම දේවාල භූමියේ තිබූ හාස්‌කම් ද රාශියෙකි. මෙහි ගම්මඩු නටන අවස්‌ථාවකදී එම ස්‌ථානට වන්දනාවට පැමිණි ගැහැනු ළමයකු වැඩිවිය පත්වීමෙන් මල් යහන්වලට ගිනිගත් බව පැරැණියන් පවසයි. දේවාල වත්ත එළිකරන විට කුඩා නයි පැටියකු උදැල්ලට කැපීම නිසා මහ නයි විශාල ප්‍රමාණයක්‌ විත් වත්ත සුද්ද කළ පුද්ගලයා වට කර ගත් බව ද අනතුරුව එකල කපු තනතුරු දැරූ ඡේමිස්‌ කපු මහතා දෙවියන් ඉදිරියට පැමිණ ඇස්‌ පේන්නේ නැද්ද මේක වැරදිලා කරපු වැඩක්‌ යෑයි ප්‍රකාශ කළ බව ද ඉන් පසු එම නයි පෙරහැර ඉවත්ව ගිය බව ද පැවසේ. එම නිසා පොදු ජනතාව මෙම ස්‌ථානයට වෙසෙසි ගෞරවාදරයක්‌ දක්‌වයි.

නිශ්ශංක අලකේශ්වරයන් විසින් ජය භූමියක්‌ බවට පත් කළ කෝට්‌ටේ රාජධානියට ප්‍රථම රයිගම හෙවත් වීදාගම පෙදෙස ජය භූමියක්‌ ව පැවැති බව පෙන්වන්නට තිබෙන හොඳම සාක්‍ෂිය මෙම නාථ පිළිමයයි. එහි පවත්නා මුද්‍රා ස්‌වරූපයෙන් එය ලෝකේශ්වර නාථ පිළිමයක්‌ බවට සනාථ වෙයි. බෞද්ධ නාථ සංකල්පය ශාරිපුත්‍රය නම් වාස්‌තු විද්‍යා ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය.

ද්යිභූජං ශෙවත වර්ණණඤව - අභයං වරදං තථා

අක්‍ෂ මාලා කිරීටඤච - ශෙවතාඞගං ස්‍යාම වස්‌ත්‍රකම්
පද්මාසනං තථා වාපී - බෞද්ධ නාථස්‍ය ලක්‍ෂණම්

පොලොන්නරු යුගය සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයේ පරාධීන යුගයෙකි. දේව සංකල්පයන්ට එහි බලවත් තැනක්‌ හිමිව පැවතුණි. බොහෝ ප්‍රතිමා ද තනවන ලද්දේ ඒ ආභාෂයෙන්මයි. එකළ නාථ දේව මණ්‌ඩලයට අධිගෘහිතව සිටි ලෝකේෂ්වර නාථයන් බෞද්ධ පක්‍ෂයට වඩා හින්දු පක්‍ෂයට බර වූ අදහස්‌ ඇති ප්‍රධානියකු යයි සඳහන්ය. දාමින්ගමුවෙන් සොයා ගන්නා ලද නාථ පිළිමය ද මේ ලක්‍ෂණ දක්‌වන අතර එය වර්තමාන නාථ පිළිම අතර සුවිශේෂී ප්‍රතිමාවක්‌ බව ද කිව යුතුය.

-මතුගම සෙනෙවිරුවන්
උපුටා ගැනීම
දිවයින
2011-11-23 

Related

මතුගම සෙනෙවිරුවන් 2617621082262289598

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item