විජේවීරගේ උරුමය
-මනෝජ් අබයදීර ජනතා විමුක්‌ති පෙරමුණේ මතු වී ඇති තත්ත්වය සමඟින්, විජේවීර පිළිබඳව යළිත් දේශපාලන කතිකාවතක් නිර්මාණය වෙමින්...
http://weadikawa.blogspot.com/2011/11/blog-post_1209.html
-මනෝජ් අබයදීර
ජනතා විමුක්‌ති පෙරමුණේ මතු වී ඇති තත්ත්වය සමඟින්, විජේවීර පිළිබඳව යළිත් දේශපාලන කතිකාවතක් නිර්මාණය වෙමින් පවතින බව පෙනේ. පාර්ශ්ව දෙකම විජේවීරගේ උරුමය ඇත්තේ තමන්ට බව පෙන්වන්නට කාරණා ඉදිරිපත් කරමින් පවතියි. ඒ අතරම මෙම විභේදනය පිළිබඳව සංවේදී වූ විචාරකයන් ද සිය කතිකාවත අරඹා තිබෙන්නේ විජේවීර පිළිබඳව විචාරය කරමිනි.
ජ.වි.පෙ තුළ අද මතුවී තිබෙන තත්ත්වය මත එහි ජයග්‍රාහකයා තීරණය වීමට නියමිතව ඇත්තේ විජේවීරගේ උරුමය සමඟිනි. ඝාතනය වී වසර 22 ක් පිරෙන කාලයේ විජේවීර පිළිබඳව නිර්මාණය වී ඇති කතිකාවත විජේවීරගේ දේශපාලනය පිළිබඳව අවලෝකනය කිරීමට ලැබුණු හොඳ අවස්‌ථාවක් යෑයි සිතමි.
එජාපය හා සමසමාජ කොමියුනිස්‌ට් නම් ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක අතරින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිකර ගැනීම සුළුපටු කාර්යයක් නොවීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පෝෂණය වූයේ සිංහල ජාතික ව්‍යාපාරය ඇසුරෙන්ය. 1956 දී සිංහල ජාතික ව්‍යාපාරයේ සහාය ශ්‍රීලනිපයට ලැබීමත් සමඟ නව පමණක් ඉතිහාසගත වන්න තිබූ පක්‍ෂයක් වූ ශ්‍රීලනිපය රටේ ආණ්‌ඩු බලය අත්කරගන්නා තත්ත්වයකට පත්විය. එ.ජා.පය, වාමාංශික පක්‍ෂ සහ ශ්‍රීලනිපය තිබෙන තැනක, දේශපාලන පක්‍ෂයක් නිර්මාණය කර ගත හැකි වුවත් රටට දැනෙන දේශපාලනයක් සඳහා පක්‍ෂයක් නිර්මාණය කරගැනීම ලෙහෙසි පහසු තත්ත්වයක් නොවේ. ජ.වි.පෙ. බිහිවන්නේ එවැනි තත්ත්වයක් තුළය. පැරණි වම තිබියදීම එහි නායකයන් බැබලෙන යුගයකදීම තවත් වමේ ව්‍යාපාරයක් බිහිකර ගැනීම ද එවැනිම අපහසු කාර්යයකි. රෝහණ විජේවීර විසින් එම අසීරුතා දෙකම ජයගනු ලැබීය.
විජේවීර විසින් නිර්මාණය කරනු ලැබූ දේශපාලන ව්‍යාපාරය මාක්‌ස් - ලෙනින්වාදය න්‍යායික පදනම කරගත් පක්‍ෂයක් ලෙස හැඳින්වුවත් එය එවැනි වමේ ව්‍යාපාරයට වඩා සුවිශේෂතාවයක් උසුලනු ලැබීය. ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතුව වූයේ විජේවීර පැරණි වම විසින් සිංහල ජාතික ව්‍යාපාරය කෙරෙහි තිබූ විරුද්ධ ස්‌ථාවරයේ නොසිට, ජාතික ව්‍යාපාර පැත්තට බරව කටයුතු කිරීමය. ෂන්මුගන්ගේ චීන පිලේ සිටි විජේවීර එයින් වෙන්වන්නේ ප්‍රධාන කාරණා දෙකක් මතය.
ෂන් සැබෑ මාක්‌ස් ලෙනින්වාදියකු නොවීමත්, දෙමළ වතු කම්කරුවන් ලාංකේය විප්ලවයෙන් පෙරමුණු බලඇණිය ලෙස විස්‌තර කරමින් ඔහු විසින් දෙමළ ජාතිවාදී ලෙස කටයුතු කිරීමත් ඊට හේතු ලෙස විජේවීර දක්‌වා තිබිණි. ෂන් ගේ දෙමළ ජාතිවාදී බව පෙන්වන කාරණා ගණනාවක් පිළිබඳව විජේවීර දැනුවත්ව සිටි බව ඩී. ජී. විමලගුණ විසින් අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාවේ දෙන ලද සාක්‍ෂියෙන් පැහැදිලි වේ.
ෂන් විසින් උතුරු නැගෙනහිර පළාත්වල සාමාජිකයන් වර්ණනා කිරීම, කුල වීරසිංහම් නමැත්තෙක් භාණ්‌ඩාගාරික වීම, පක්‍ෂයට අයත් චීනයෙන් පොත් ලැබුණු සාප්පුව දෙමළ මිනිසුන් යටතේ පැවතීම යනාදියෙන් තමන්ට පෙනී යන්නේ, සිංහලයන් පක්‍ෂයේ වැඩවලට සහභාගි කරවාගෙන දෙමළ මිනිසුන්ව රටෙහි බලකොටුවක් තනාගැනීමට යටින් ඉඩ දීම බව විමලගුණ විසින් විජේවීරට පවසා තිබිණි. විජේවීර සමඟ මෙවැනි සාකච්ඡාවක් විමල ගුණ පැවැත්වීමටත් ෂන්ගේ පක්‍ෂයෙන් ඉවත්ව විජේවීර ජ.වි.පෙ. නිර්මාණය කර ගන්නා විට විමලගුණ ද එහි ප්‍රධාන ක්‍රියාකාරිකයකු බවට පත්වීමත් තුළ පෙනී යන්නේ විජේවීර පැවැති වමට වඩා සිංහල ජාතිකත්වය පැත්තට බරව සිය පක්‍ෂය නිර්මාණය කරගත් බවය. පක්‍ෂ නායකයා සුළු ජාතිකයකු වීම බහු ජනතාව විප්ලවය වෙත දිනා ගැනීමට බාධාවක් බවට විජේවීර පැවසූ බව එස්. වී. ඒ. ජයතිලක අපරාධ යුක්‌ති විනිශ්චය සභාව වෙත ලබාදුන් කටඋත්තරයේදී සඳහන් කර තිබේ.
විජේවීරට එරෙහි චෝදනා ඉදිරිපත් කර ඔහු චීන පිලෙන් නෙරපීමට තීරණය කරන ලද්දේ ප්‍රධාන වශයෙන්ම 1966 ජනවාරි අටවැනිදා පැවැති විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම හේතුවෙනි. එදින ඩඩ්ලි සේනානායක ආණ්‌ඩුව විසින් දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ජාතික ව්‍යාපාරය හා විපක්‍ෂය විසින් ඊට එරෙහිව මෙම පෙළපාලිය සංවිධානය කර තිබිණි. තමන් මෙම පෙළපාලිය බලන්නට ගියමුත් වෙනත් ආකාරයකින් ඊට සම්බන්ධ නොවූ බව විජේවීර විසින් පවසා තිබුණද, පෙළපාලිය පැවැති දින සවස තමාට හමු වූ විජේවීර විප්ලවය දැනටමත් කොළඹින් ඇරඹී ඇති බව තමා සමඟ කී බව ලොකු අතුල විසින් පසු කාලයේදී තමාට කියා ඇති බව පොඩි අතුල සඳහන් කර තිබේ.
මෙම සාධක මගින් පෙන්නුම් කරන කාර්යයක් වන්නේ පැවැති වමට වඩා දේශපාලන වශයෙන් මූලික වශයෙන්ම ජ.වි.පෙ, සිංහල ජාතික ව්‍යාපාරය පැත්තේ සිටි බවය. මාක්‌ස් ලෙනින්වාදය තම දේශපාලන න්‍යාය ලෙස පිsළිගන්නා අතරේම සිංහල ජාතික ව්‍යාපාරය සමඟ එකට ගමන් ගන්නා දේශපාලන ක්‍රියාමාර්ගවල බොහෝ විට ජ.වි.පෙ. නියෑලුනේ මෙම තත්ත්වය මතය. පැරණි වම බොහෝ අවස්‌ථාවල ජාතික ව්‍යාපාරයට එරෙහිව සිටියදී ජ.වි.පෙ. බොහෝ විට ජාතික ව්‍යාපාරය සමඟ සිටියේය.
විජේවීර විසින් නිර්මිත දේශපාලන ව්‍යාපාරයේ තිබූ මෙම ජාතික ව්‍යාපාරයට හිතවත්භාවය, පැවැති වම විසින් ජ.වි.පෙ. ජාතිවාදී ව්‍යාපාරයක් බවට හඳුන්වන තැනට පත් වීමෙන් ද පෙනී යයි. විජේවීර උරුමයේදී මෙය කැපී පෙනෙන කාර්යයක් වුවත් අද ජවිපෙ තුළ පවතින බෙදීමේදී දෙපාර්ශ්වයම මෙම කාරණය කෙරෙහි සැලකිල්ලක් නොදක්‌වන බව පෙනී යයි. මෙම නොගැලපීම මගින් සිදුවන්නේ ජවිපෙ තමන් අන් වමේ ව්‍යාපාර අතරින් සුවිශේෂ වූ හේතුව අතහැරීමත්ය. එවිට ඉතිරි වන්නේ ජ.වි.පෙ නොව යළිත් පැරණි වමේ පන්නයේ පක්‍ෂයකි.
ජවිපෙ දිගින් දිගටම ලද අසාර්ථකත්වයට හේතු සෙවීම මගින් දැන් ජවිපෙ තුළ උද්ගත වී තිබෙන තත්ත්වය ඇතිවී තිබෙන බව පෙනී යයි. තමන්ට වැරදුණු තැන් සොයා යැමේදී තමන්ගේ අනන්‍යතාවය සමඟ එම තැන් සොයා යැමක් සිදුකිරීමට මෙම අවසථාවේදී ජ.වි.පෙ. සමත්ව නැත. කණ්‌ඩායම් දෙකම වැරදුණු තැන් හා ඉදිරි මාර්ගය ගැන කතා කරන්නේ මාක්‌ස් ලෙනින්වාදයේ සිට බලමින් මිස විජේවීර බිහි කරගත් සුවිශේෂී දේශපාලන ව්‍යාපාරයේ අනන්‍යතාවය මත සිට නොවේ. තරුණ සහභාගිත්වය, නිර්ප්‍රභූ දේශපාලන නායකත්වය ආදී ජ.වි.පෙ. උපන් ලක්‍ෂණවලට ඉහළින්, එහි තිබූ සිංහල ජාතික ව්‍යාපාරයේ ආභාෂය ලැබීම, එය පැවැති වමෙන් වෙන්කළ ප්‍රධාන කාරණය බවට පත්විය. ඒ ස්‌වභාවටය දකිනවා වෙනුවට අද ජ.වි.පෙ. කණ්‌ඩායම් දෙකම අඩු වැඩි වශයෙන් සිටින්නේ තමන් "සිංහල ජාතිවාදය" සමඟ කිසිම සම්බන්ධයක් නැතැයි කියන තැනට පත්වීමේ අභිප්‍රායෙනි. මෙම ලක්‍ෂණය වැඩිපුර භාවිත කරන්නේ කැරළිකාර පාර්ශ්වයය. කැරළිකාර කණ්‌ඩායමේ නායකයකු පවසා තිබුණේ, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සෑදීම ද ජ.වි.පෙ. විසින් කරන ලද වැරදි කර්තව්‍යයක් ලෙසය. ජාතික ව්‍යාපාරයෙන් ලද ආශ්වාදය හේතුවෙන් ජ.වි.පෙ. පැවැති වමට වඩා වෙනස් ආකාරයක් ගත්තා සේම, ඒ හේතුව නිසාම එයට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ නොසිතූ ඉඩක් ද වෙන් විය. ඒ දිශානතිය ඔස්‌සේ ජ.වි.පෙ. ගිය හැම විටම ජ.වි.පෙ.ට රට තුළ ජන ප්‍රසාදය ඇතිවිය. 83 දී තහනමට ලක්‌වන විට ජ.වි.පෙ. සිටි තත්ත්වයට වඩා වැඩි බලයක් 87 වන විට ජවිපෙට ලැබෙන්නේ ඉන්දු - ලංකා ගිවිසුමට, පළාත් සභාවලට එරෙහිව ජ.වි.පෙ. සිටි ස්‌ථාවරය හේතුවෙනි. පැරණි වම මාක්‌ස් - ලෙනින්වාදය අනුව යෑයි කියමින් මේ දෙකටම පක්‍ෂව සිටින විට ජ.වි.පෙ. මාක්‌ස් ලෙනින්වාදය අනුවම යෑයි කියමින් ජාතික ව්‍යාපාරය ගත්මඟ අනුව ඒ දෙකටම විරුද්ධව සිටියේය. විශාල මර්දනයකට පසුවත් ජ.වි.පෙ. පැරණි වමට වඩා ජනතාව අතර රැඳී සිටින්නට සමත් වූයේ මෙම භාවිතාව හේතුවෙනි. අවසානයේ පැරණි වම ද චන්ද්‍රිකා සමඟ එකතු වී ඇමැතිකම් ගන්නට පාවිච්චි කළේ එදා තමන් පක්‍ෂව සිටි ඉන්දු ලංකා ගිවිසුම, පළාත් සභා ආදියට එරෙහිව ජ.වි.පෙ. විසින් සිය ජීවිතයෙන් වන්දි ගෙවමින් කළ කැපකිරීම්ය. එදා මියගිය තරුණයන්ගේ මළමිනී වෙළෙ¹ම් කර 1994 වන විට පැරණි වම ඇමැතිකම් ගත්තේ තමන්ගේ ස්‌ථාවරයට එරෙහිව දිවි පිදූ තරුණයන්ට පිංසිදුවෙන්නටය.
2004 අප්‍රියෙල් පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසන 41 ක් දිනාගන්නා තැනට ජ.වි.පෙ. පැමිණියේ රනිල් - ප්‍රභා ගිවිසුම හා පැවැති එ.ජා.ප. ආණ්‌ඩුව ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහිකිරීමට තැත්කිරීමට විරෝධය පෑමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ මොහොතේ ජ.වි.පෙ. එයට විරෝධය පෑවේ ජාතික බලවේගය සමඟ එකට හිඳිමිනි. 2005 මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණයට ජවිපෙ සම්බන්ධවීම ද එසේය. ඒ සියලු තැන්වලදී ජ.වි.පෙ. ජයග්‍රාහී වූවා සේම රටේ ජනප්‍රියතාවය ද දිනාගත්තේය. නමුත් ඉන්පසුව ජ.වි.පෙ. දිගටම නිරත වූයේ ජාතික ව්‍යාපාරයේ මතයට එරෙහි ක්‍රියාමාර්ගවලය. එහි අවසානය වී ඇත්තේ දේශපාලන වශයෙන් බලාත්මක නොවන තැනකට ජ.වි.පෙ. පත්වීමය. එම පත්වීම මගින් අවසානයේ පරාජයට හේතු කියන්නට ජ.වි.පෙ.ට සිදුවිය. සභාගගතවීම තමන්ගේ ඇදවැටීමට මූලික හේතුව ලෙස ජ.වි.පෙ. එතැනදී තීරණය කර තිබිණි. නමුත් තමන් එතැනට වැටෙන්නට පෙර ජනතා කැමැත්ත ලැබුණේ කෙසේදැයි ජ.වි.පෙ. තේරුම් ගෙන නැත.
වලෙන් ගොඩ ඒම සඳහා ජ.වි.පෙ. දැන් සොයමින් සිටින්නේ පැරණි වම තත්ත්වයේ දේශපාලන ස්‌ථාවරයක් ගන්නා ආකාරය බව පෙනී යයි. සිංහල ජාතික ව්‍යාපාරයට අනුකූල තත්ත්වයකට ජ.වි.පෙ. යළි පත් නොවුනහොත් එයට සිදුවන්නේ පැරණි වමේ තැනටම වැටීමටය. විජේවීර පැවැති වමට වෙනස් ආකාරයකින් ජ.වි.පෙ. බිහිකරගත් ආකාරයත්, ජ.වි.පෙ. රට තුළ ප්‍රබල වූ ආකාරයත් සිතියම්ගත නොකර එළඹෙන තීන්දු තීරණවලින් ජ.වි.පෙ.ට සිදුවනු ඇත්තේ පැරණි වමට එක්‌වන නවතම වම බවට පත්වීමටය.
-මනෝජ් අබයදීර
-මනෝජ් අබයදීර
උපුටා ගැනීම
දිවයින බදාදා සංග්‍රහය
2011-11-08
දිවයින බදාදා සංග්‍රහය
2011-11-08