මාක්‌ස්‌ ගේ රූපය හරහා සැබෑ මාක්‌ස්‌වාදය සෙවීම!

කාර්ල් මාක්‌ස්‌ගේ ජීවිතයත් ඔහුගේ බිරිඳ හා දරුවන්ගේ තොරතුරුත් ඇතුළත් ග්‍රන්ථයක්‌ පසුගියදා නිකුත් විය...

කාර්ල් මාක්‌ස්‌ගේ ජීවිතයත් ඔහුගේ බිරිඳ හා දරුවන්ගේ තොරතුරුත් ඇතුළත් ග්‍රන්ථයක්‌ පසුගියදා නිකුත් විය. Love and Capital : Karl and Jenny Marx and the Birth of a Revolution මැයෙන් වූ මේ ග්‍රන්ථය රචනා කර ඇත්තේ මාරි ග්‍රේබියෙල් විසින්. කාර්ල් මාක්‌ස්‌ගේ අන්ත දිළිඳු භාවය නිසා ඔහුගේ බිරිය ජෙනී හා දරුවන් පීඩාවට පත්වූ ආකාරයත් ක්‍ෂය රෝගයෙන් පීඩා විඳි මාක්‌ස්‌ගේ අටහැවිරිදි පුතුණුවන් මියගිය ආකාරය ගැනත් මේ පොතේ තොරතුරු ඇතුළත්ය. සැබවින්ම මාක්‌ස්‌ගේ දිළිඳු භාවය නිසා ඔහුට දාව ජෙනී බිහි කළ දරුවන් කිහිප දෙනෙකුටම කුඩා කාලයේදීම මෙලොව හැරයන්නට සිදුවිය. මේ ග්‍රන්ථයට අනුව මාක්‌ස්‌ පවුල බඩගින්නේ මියයැමෙන් වලක්‌වා ගත් ශාන්තුවරයා වූයේ එංගල්ස්‌ය. ලෝකයාටම ආර්ථික උපදෙස්‌ ලබාදීමට "දාස්‌ කැපිටාල්" ග්‍රන්ථය මාක්‌ස්‌ විසින් රචනා කළද ඔහුගේ ගෙදර ආර්ථිකයව අතිශයින් බංකොලොත්විය. මේ නිසා දරුවන්ට ශීතලෙන් මෙන්ම බඩගින්නේද පීඩා විඳින්නට සිදුවූ ආකාරය Love and Capital ග්‍රන්ථයෙන් මාරි විස්‌තර කර ඇත. මාක්‌ස්‌වාදය ගැන උනන්දුව දක්‌වන අය මෙන්ම මාක්‌ස්‌වාදයට විරුද්ධ අය පවා මේ පොත කියවන්නට උනන්දුවන බව නම් පැහැදිලිය.

ඇත්තෙන්ම අද අපට මාක්‌ස්‌ ගැන කථාකරන්නට සිතුනේ මේ ග්‍රන්ථය නිසා නොවේ. මාක්‌ස්‌ගේ අජර මජර ජීවිතයත් දුගීකමත් නිසා ඔහුගේ රදල බිරියත් දරුවනුත් අන්ත දුක්‌ත ජීවිත ගත කළ බව රහසක්‌ නම් නොවේ. එහෙත් මේ දිනවල ශ්‍රී ලංකාවේද මාක්‌ස්‌වාදය ගැන යළි කථාබහ වන්නේ ජනතා විමුක්‌ති පෙරමුණේ කැරලිකාර කණ්‌ඩායමක්‌ද බිහිවී එම පක්‍ෂය පැහැදිලිවම දෙකඩ බෙදී ඇති නිසාය. කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් කැරලිකාර කණ්‌ඩායම බත්තරමුල්ලේ පිහිටි ජ. වි. පෙ. ප්‍රධාන කාර්යාලයේ එල්ලා තිබුණු මාක්‌ස්‌ගේ ඡායාරූපයද රැගෙන ගොස්‌ තිබුණේ එම පක්‍ෂයේ දැන් මාක්‌ස්‌වාදය නැතැයි කියමිනි. දැන් මාක්‌ස්‌ගේ පින්තූරය ගුණරත්නම් පිළ සතුවන අතර ෙµඩ්රික්‌ එංගල්ස්‌ගේ හා වී. අයි. ලෙනින්ගේ පින්තූර සෝමවංශ පිල සතුව ඇත. ඉහතින් සඳහන් කළ මාරි ග්‍රේබියෙල්ගේ පොත අනුව නම් එංගල්ස්‌ නොවන්නට මාක්‌ස්‌වාදය ලොවපුරා පැතිර යන්නේත් නැත. මන්ද මේ ඉංග්‍රීසි ජාතිකයා නොවන්නට යුදෙව් මාක්‌ස්‌ බඩගින්නේ මියයන්නට ඉඩ තිබිණි. ගුණරත්නම් පිළ එංගල්ස්‌ගේ රූපයද රැගෙන ගියා නම් වඩාත් හොඳය. මේ බව හොඳින් දන්නා සෝමවංශ අමරසිංහ පසුගිය ඉරිදා ප්‍රකාශ කර තිබුණේ මාක්‌ස්‌ගේ පිංතූරය ඉවත් කරනවා නම් එංගල්ස්‌වත් අයින් කළ යුතු බවය.

දේශපාලනික වශයෙන් ගත් කළ 1965 සිට ජනතා විමුක්‌ති පෙරමුණ මාක්‌ස්‌වාදය ගැන නොයෙක්‌ කථා කීවද ක්‍රියාත්මක කළේ ජාතිවාදී දේශපාලනයයි. මාක්‌ස්‌වාදී හැව

පොරවාගෙන සිටියේ අපවාදයෙන් බේරෙන්නට වෙති. ජ. වි. පෙ. මාක්‌ස්‌වාදී හැව ඉවත්කර දමා ජාතිකවාදී දේශපාලනයට පිවිස ඇති බව 2004 දී ජනතාවට අවබෝධ වූ නිසා ඔවුනට ආසන 41 ක්‌ ලැබිණි. ඇත්තෙන්ම ඒ ශ්‍රිලනිප පාක්‌ෂිකයන්ගේ මනාප නිසාය. කෙසේ නමුත් පසුකාලීනව තවත් වැරැද්දක්‌ කළ බව ශ්‍රිලනිප පාක්‌ෂිකයන්ට අවබෝධ විය. ජ. වි. පෙ. නායක සෝමවංශ අමරසිංහ ඉකුත් ඉරිදා දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ජ. වි. පෙ. නිසා වම පවතින බවයි. ඒ ගැන තර්කයක්‌ නැත. අනෙක්‌ වාමාංශික පක්‍ෂ සියල්ලම බෝඩ්ලෑලි බවට පත්වී ඇති බව නම් රහසක්‌ නොවේ. එහෙත් ජ. වි. පෙ ටත් දැන් වාමාංශික දේශපාලනය ක්‍රියාත්මක කිරීමෙන් වැඩි දේශපාලන වාසි ලබා ගත නොහැක. කුමාර් ගුණරත්නම්ගේ බොල්ෂවික්‌වරුන්ට නම් අවශ්‍ය සැබෑ වමේ පක්‍ෂයක්‌ නිර්මාණය කරන්නටය. මේ සැබෑ වම තවත් කුමන්ත්‍රණයක්‌ වීමට ඉඩ ඇති බව මීට සති කිහිපයකට පෙර අපි සටහන් කළෙමු.

සෝමවංශ අමරසිංහ මහතා නම් දැන් පවසන්නේ කුමාර් ගුණරත්නම් කියන කෙනෙක්‌ ගැන තමා නොදන්නා බවයි. ජ. වි. පෙ. රහස්‌ ඉදිරියටත් ආරක්‍ෂා කිරීම සඳහා ඔහු ගුණරත්නම්ව සඟවනවාද නැත්නම් ලැ-ජාවෙන් බේරීමට බොරු කියනවාද යන්න පැහැදිලි නැත. "සිරි අයියා" ඔලුවෙන් හිටගෙන කීවද දැන් ජ. වි. පෙ. කැරලිකරුවන්ගේ නායකයා වන්නේ ගුණරත්නම්ය. එය රටම පිළිගෙන හමාරය. නමුත් ගුණරත්නම්ලා මාක්‌ස්‌ගේ පින්තූරයද පැහැරගෙන ගොස්‌ පිහිටුවන "හාවා" ගේ ලකුණෙන් යුත් එක්‌සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉදිරියේදී කවරක්‌ කරයිද යන්න පිළිබඳව නම් රටම අවධානයෙන් සිටින බව පැහැදිලිය. සැබෑ මාක්‌ස්‌වාදී පක්‍ෂයකට මෙරට දේශපාලනයේ යම් ස්‌ථාවරභාවයක්‌ හෝ ජනප්‍රියභාවයක්‌ ලබා ගැනීමට හැකිවේද යන්න පිළිබඳව නම් බරපතළ ප්‍රශ්නයකි. මාක්‌ස්‌ගේ පිංතූරය පැහැරගෙන ගොස්‌ මාක්‌ස්‌වාදී විය නොහැකිය. ජ. වි. පෙ. මේ ගැටුම ඇත්තෙන්ම වාසිදායක වන්නේ රාජපක්‍ෂ රෙජිමටම මිස මාක්‌ස්‌වාදී ව්‍යාපාරයට හෝ සැබෑ වමට නම් නොවේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයකට මෙරට දේශපාලනයේ යම් ඉඩකඩක්‌ පැවතියද මාක්‌ස්‌වාදී පක්‍ෂයක්‌ සඳහා දේශපාලන රික්‌තයක්‌ මතුවී ඇතිද යන්න නම් බරපතළ ප්‍රශ්නයකි. මේ බව එක්‌සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉදිරියට ගෙන ඒමට උත්සහ කරන ජ. වි. පෙ. කැරලිකරුවන් හොඳින්ම සිතා බැලිය යුතු කරුණයි.

සැබෑ මාක්‌ස්‌වාදී පක්‍ෂයක්‌ බිහිකරන බවට පුරසාරම් දොඩවන ගුණරත්නම් කණ්‌ඩායම ජ. වි. පෙ. මූලස්‌ථානයේ පරිගණක දත්ත සොරාගෙන ගොස්‌ ඇතැයි සෝමවංශ පිල කියයි. එම පරිගණක දත්තවල සැබෑ මාක්‌ස්‌වාදය තිබුණේදැයි අප පැහැදිලිව දන්නේ නැත.

චතුර පමුණුව

-ඉරිදා දිවයින 2011-10-22

Related

චතුර පමුණුව 4942294623459197794

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item