සංවර්ධනයේ ඇත්ත සහ බොරුව
- වසන්ත බණ්ඩාර ආර්ථික වර්ධන වේගය සහ එක පුද්ගල ආදායමේ වර්ධනය ගැන උදම් අනන පිරිස් නොදකින යථාර්තයක් මේ දිනවල අපේ ඇස් ඉදිරිපිට දිග් ගැසෙමින්...
මේ නරක තත්ත්වය දිගින් දිගටම පැවතීම තුල එක්තරා අවස්ථාවකදී ආනයන වියදම පියවා ගැනීම සඳහා රටේ විදේශ සංචිත නොසෑහෙන තත්ත්වයක් ඇති වනු ඇත. කෙසේවෙතත් මහබැංකුව පවසන ආකාරයට දැනට විදේශ විනිමය සංචිත ඇ.ඩොලර් බිලියන 8ක මට්ටමක පවතින නිසා මාස 5ක ආනයන සඳහා එම මුදල සෑහේ. රටක ආර්ථිකයේ ස්ථාවර භාවය මැනීමේදී මාස 5 කට සෑහෙන විදේශ සංචිත තිබීම උදම් ඇනිය යුතු තත්ත්වයක් දැයි අපි නොදනිමු.
කෙසේවෙතත් විදේශ සංචිත එම මට්ටමින් හෝ පවත්වා ගැනීමට හැකිවී ඇත්තේ වෙළඳ හිඟය එසේ වර්ධනය වුවත් ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබීම නිසාය. ගෙවුම් ශේෂ අතිරික්තයට ප‍්‍රධාන හේතුව විදේශ රැකියා නියුක්තිකයින්ගේ ලේ, දහඩිය, කඳුළු තවරා මෙරටට එවන විදේශ විනිමය යම් මට්ටමකින් ඉහල යාමයි. ඊට අමතර විදේශ ණය ගැනීම් සහ විදේශ මුදල් ණය උපාංග විකිණීම වැඩිවීමද ඊට හේතුවේ. විදේශ රැකියා නියුක්තිකයින්ගේ බැරකිරීම් මත ජාතියේ ඉරණම රඳා පැවතීම නිසා ජාතියක් ලෙස අප විශාල දිර්ඝ කාලීන වන්දියක් ගෙවමින් ඇත.
සෑම වසරකම පාහේ මැද පෙරදිග අපාදුක් විදින අපේ කාන්තාවන්ගේ මළමිනී 200 කට අධික සංඛ්‍යාවක් ලංකාවට පැමිණේ. පසුගිය වසරේදි එම ප‍්‍රමාණය 258 දක්වා ඉහල ගියේය. කුවේටය වැනි රටක් උදාහරණයක් ලෙස ගතහොත් ප‍්‍රචන්ඩ ලෙස සැලකීම, වැටුප් ලබා නොදීම, ලිංගික අතවර, ආදි දහසකුත් එකක් හේතු මත මාසයකට 250 ක් පමණ කාන්තාවෝ නිවාස වලින් පැනයති. ඔවුන් ගාල්කරවන රැදවුම් මධ්‍යස්ථානය ඇසින් දුටුවන්නේ සාක්‍ෂි අනුව මිහිපිට අපායකි. ඔවුන් තඹ සතයක් අතේ නැතිව ආපසු ලංකාවට එවන්නේ හිර ගෙදරද සති 3 ක් පමණ නවතා තබා ඊ නියා නිත්‍යානුකූල කටයුතු අවසන් කිරිමෙන් පසුවය.
මොවුන් තම දරුවන්ගේ අධ්‍යාපනය, සුභ සාධනය සහ ඔවුනට ලැබිය යුතු ආදරය ආදි සියල්ල උගසට තබා මේ නර අපායනට පැමිණෙන්නේ රු. 20,000 ක පමණ මුදලක් ඉතිරිකර ගැනීම සඳහාය. ඒජන්සිකරුවන් නිත්‍යානුකූල නොවන ලෙස අයකරන ගාස්තු ගෙවීම සඳහා උගස්කල දේපල හෝ රන්බඩු මුදවාගැනීමේදී එම මුදලේ ශුද්ධ අගය රු. 15,000 ක් පමණ වේ. ඒ මුදල අප රටේ ආර්ථිකයට කොතරම් තීරණාත්මකද යත් අපි ජාතියක් ලෙස ඒ පිළිකුල් සහගත නූතන වහල් වෙළඳාම නොදුටුවා සේ සිටිමු. එසේම අපි ඒ සහෝදර රටවැසියන්ගේ දුක තුනී කිරීම සඳහා දැඩි මැදිගත් වීමක්ද නොකරමු. එසේ නොකරන්නේ, එසේ කිරිමට ගියහොත් මැදපෙරදිග රැුකියා අවස්ථා අහිමි වීම නිසා අප රටේ ඊනියා සංවර්ධන සිහිනය මහ පොළව මතටම කඩාවැටෙන බව හොඳින් දන්නා නිසාය. ඒ රු. 20,000 ලංකාවේදීම ඉපයිම සඳහා අවස්ථා නිර්මාණය කිරීමට හැකි සංවර්ධන මොඩලයක් සිහිනෙන් හෝ දැකීමට අපි බියවෙමු.
කෙසේ වෙතත් නුදුරු අනාගතයේදී මැද පෙරදිග රටවල ආරම්භ වී ඇති දේශපාලන අර්බුද මෙන්ම බටහිර අධිරාජ්‍යවාදි රටවල ආර්ථික අර්බුද අපේ විදේශ විනිමය සංචිත වලට ප‍්‍රභල බලපෑමක් එල්ල කරනු ඇත. ඒ තත්ත්වය විදේශ රැකියා නියුක්තිකයින්ගේ බැර කිරිම් වලට පමණක් නොව තේ අපනයන ආදායම් වලටද බලපානු ඇත. එයට මුහුණදීම සඳහා ජාතියක් ලෙස අප තුළ මානසික සුදානම් කමක් තිබේද? විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවට එරෙහිව දියත් වී ඇති බටහිර කුමන්ත‍්‍රණයේ හැඩ තල දෙස බලන විට පවතින තත්ත්වය ඉතාම නරක අතට හැරිමේ ඉඩ කඩ වැඩිවේ. ඉතා කෙටි කාලයකදී අවම මට්ටමේ ආර්ථික සම්බාධක වලින් වුවත් අපේ ආර්ථිකයේ අත කරකවා අප දණගැස්සවීමේ හැකියාව ඒ තුළ ඇත. එය ඉතා අනතුරුදායක දේශපාලන තත්ත්වයකි.
මේ තත්ත්වයට මුහුණ දීමේදි මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව කටයුතු කරන්නේ පැලැස්තර විග‍්‍රහයන්ට අනුවය. වෙළඳ හිඟය වැඩිවන විට ඔවුන් කියන්නේ ගෙවුම් ශේෂ අතිරික්තයක් තිබෙන බැවින් ප‍්‍රශ්නයක් නැතිි බවයි. ඒ නිසා විදේශ සංචිත තත්ත්වයේද අවුලක් ඇතිවන්නේ නැති බවයි. ආර්ථික මොඩලයේ මූලධාර්මික ප‍්‍රශ්නයකට ඔවුන් උත්තර හොයන්නේ සරල ආර්ථික උපාංග මත පදනම්වය. ආර්ථික කළමණාකරණයේ මේ මූලික ප‍්‍රශ්නය දිගින් දිගටම නරක අතට වර්ධනය වන තත්ත්වයක් මිස ක‍්‍රමයෙන් ඉබේම යහපතක් අතට හැරෙන තත්ත්වයක් නොවේ. එය ඉතා පැහැදිලිවම අනාගත දේශපාලන වහල්භාවයක් දක්වා වර්ධනය විය හැකි ආර්ථික තත්ත්වයකි.
ඒ නිසා ඉතා පැහැදිලිවම අප ජාතියක් ලෙස ඊට මුහුණදීම සඳහා උපාය මාර්ගික ප‍්‍රවේශයකට අවතිර්ණ විය යුතුය. එය දිර්ඝ කාලිනව ප‍්‍රතිඵල ලැබෙන ප‍්‍රවේශයක් වුවත් ඉතා සංවිධිතව ආර්ථිකය ඒ දෙසට හැරවිය යුතුය. ඒ අනුව දේශිය නිෂ්පාදනය වැඩි කිරීම, විශේෂයෙන්ම ආනයන විකල්ප දිරිගැන්වීම ඒ තුල ප‍්‍රධාන අභියෝගය බවට පත්වේ. ඊට සමගාමීව පොසිල ඉන්ධන පරිභෝජනයේ සිට ආහාර පරිභෝජනය දක්වා ජාතියේ පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරිම සඳහා දැනුවත් සහ සබුද්ධික මෙහෙයුමකට ජාතිය යොමුකල යුතුය. තුන්වන ප‍්‍රවේශය විය යුත්තේ අපනයන ආදායම් ව්‍යුහය වෙනස් කිරිමයි. රටේ නිපදවිය හැකි ඕනෑම දෙයක් (කොහුබත් ගුලියේ සිට කෙසෙල්ගෙඩිය දක්වා) තුට්ටු දෙකට පිටරට පැටවීම වෙනුවට තරඟකාරිත්වය දීර්ඝකාලීනව ආරක්‍ෂාකර ගැනීම සහතික කල හැකි නිෂ්පාදන ඉදිරිපත්කල යුතුය. ඒ සඳහා අපටම ආවේනික අපේ නිෂ්පාදන වලට වටිනාකම් එකතු කිරිමේ දියුණු කර්මාන්ත පද්ධතියක් අවශ්‍යවේ. දියුණු නිෂ්පාදන පද්ධතියකින් ව්‍යුක්තව අපනයන සංවර්ධනය කිරිම යනු නැවත වටයකින් උගුලේ වැටීමකි. වෙනත් වචන වලින් කියන්නේ නම් වටිනාකම් එකතු නොකල කෘෂි සහ වැවිලි නිෂ්පාදන සහ ශ‍්‍රමයේ ප‍්‍රතිලාභය පමණක් ලැබෙන ඇගලූම් කර්මාන්තය මත පදනම් වීම සුදුසු නොවේ. ඒවා යම් පමණකට පවත්වාගෙන යාම වරදක් නොවේ.
නමුත් ස්වාභාවිකව අපේම සන්නාම වන ශ‍්‍රී ලංකා කුරුදු සහ ශ‍්‍රී ලංකා තේ වලට වටිනාකම් එකතු කිරිමේ සහ අලෙවිකිරිමේ දැවැන්ත මෙහෙයුමකට අප ඉහළම ප‍්‍රමුඛතාවය ලබාදිය යුතුව ඇත. ඒ මගින් දැනට අප එම ක්‍ෂෙත‍්‍ර දෙකේ ලබන විදේශ විනිමය ආදායම ඉතා පහසුවෙන් දෙගුණයක් කිරිමේ විභවය ඇත. නමුත් අද සිදුවන්නේ තේ පාලන පනත උල්ලංගනය කරමින් ආනයනය කරන බාල තේ මිශ‍්‍ර කර අපේ තේ වල තරඟකාරිත්වය විනාශකිරීමයි. එය ඇත්තවශයෙන්ම අපනයන කර්මාන්ත කුමන්ත‍්‍රණයකි. රබර් ආශ‍්‍රිත නිමි භාණ්ඩ කර්මාන්තයද ඉතා තරඟකාරි ලෙස දියුණ කිරිමේ විභවය අප සතුව ඇත.
රටේ ආර්ථිකය මෙයෙවීමේදි රජයට තිබෙන ප‍්‍රධාන බාධකය ණය උගුලේ පැටලීමයි. දැනට පවතින ණය බර අනුව රාජ්‍ය අය වැයෙන් විශාලම කොටස වැය වන්නේ ණය ආපසු ගෙවීම සඳහාය. දළ වශයෙන් ණය පොලිය ගෙවීම සඳහා පමණක් රජයේ පුනරාවර්තන වියදමෙන් 38%ක් වැයවේ. එවිට ජාතික නිෂ්පාදනය වර්ධනය වන දිශාවට ආයෝජන දිරිගැන්වීම සඳහා ආයෝජනය කරන්නේ කුමක්ද? ණය පොළය ගෙවීම සඳහා එතරම් විශාල මුදලක් වැය කලත් සමෘද්ධි සහනාධාරය සඳහා වැය කරන්නේ 1%කි. සමෘද්ධි සහනාධාරය යනු ග‍්‍රාමීය නිෂ්පාදනය ඉහල නැන්වීම සඳහා ග‍්‍රාමීය ජනතාව නගා සිටුවීමට වැය කරන මුදලකි. එසේම පොහොර සහනාධාරය සඳහා වැය කරන්නේ 3% කි. පොහොර සහනාධාරය වැරදි සහ නුසුදුසු සහනාධාරයක් වුවත් එයින් පෙන්වන්නේ නිෂ්පාදනය නැන්වීම සඳහා ගොවියාට සහනාධාර ලබාදෙන ප‍්‍රතිශතයයි.
ඒ අනුව ඉතා පැහැදිලිවම ජාතියක් ලෙස අප ගමන්කරමින් සිටිනුයේ විශම චක‍්‍රයකටය. එය අඩු ග‍්‍රාමීය අයෝජන – අඩු නිෂ්පාදනය – වැඩි ආනයන – වැඩි ණය ගැනිම් – වැඩි ණය පිරිවැය – අඩු ආයෝජන නැමැති විශම චක‍්‍රයයි. ඒ විශම චක‍්‍රය බිඳීම හුඳු අයවැයි ලේඛනයක ගණන් හිලවු එහා මෙහා කිරිමෙන් සිදුකල නොහැක. ඒ සඳහා ආර්ථික උපායමාර්ගික මොඩලයේම වෙනසක් අවශ්‍ය වේ. එහි පලමු පියවර ලෙස පොදු මහජන බදු මුදලින් ඊ නියා නාගරික සංවර්ධනයට වැය කරන අසාධාරණ යෙදවුම් ප‍්‍රතිශතය වෙනස් කිරිම පුර්ව කොන්දේසියක් වේ. එනම් බහුතරයක් ජනතාවට ආර්ථිකයට දායක විය හැකි සහ රටේ බහුල සම්පත් වලින් ආදායම් උපදවන දිශාවට ආයෝජන ප‍්‍රතිශතය වැඩි කල යුතුය. එය භාණ්ඩාගාර නිළධාරින් විසින් ගත යුතු අංක ගනිතමය තීන්දුවක් නොවේ. එය ඉතා පැහැදිලිවම දේශපාලන – ආර්ථික උපාය මාර්ගික තීන්දුවකි.
ඒ සියලූ උපාය මාර්ගික කොන්දේසි නොසලකා හැරෙන තත්ත්වයක් යටතේ ආර්ථික ඝාතක නිළධාරින්ගේ පරිපාලන තීන්දු මගින්ද දේශීය නිෂ්පාදන ආර්ථිකයට බරපතල ප‍්‍රහාර එල්ල වේ. මේ වන විට වී මිල ඉතා සිග‍්‍රයෙන් පහල වැටෙමින් ඇත. නමුත් රජය වී මිලදී ගැනීම ආර්ම්භ කරන්නේ පුද්ගලික වෙළදුන් වී මිල වට්ටවා අඩු මිලට වී මිලදි ගැනීම ආරම්භ කොට කලක් ගත වූ පසුය. මිලදි ගැනීමට සුදානම් වීම සඳහා ගඩබාවල වී නිදහස් කරන කාලසටහනක් ඔවුනට නැත. ආහාර සුරක්‍ෂිතතාවේ උපාංගයක් ලෙස සැලකෙන ආරක්‍ෂණ තොග සංකල්පය යොදාගෙන වෙළඳපල වී මිලට යම් බලපෑමක් කිරිමට නම් අඩුම වශයෙන් වී මෙ.ටොන් ලක්ෂ 4ක් හෙවත් සමස්ථ අස්වැන්නේ 10%ක්වත් රජය මිලදි ගත යුතුය. නමුත් කිසිදු වර්ෂයකදී ඉන් අඩක්වත් මිලදි ගැනීමට රජය සමත් වී නැත. ඒ නොහැකියාව පිළිබඳව රජය ලැජ්ජාවිය යුතුය.
දැන් ඒ සියලූ ප‍්‍රශ්න වලට නිලධාරින් සතුව එක් උත්තරයක් ඇත. ඒ හැකිතාක් සහල් පිටරට යැවීමට කටයුතු කල යුතු බවයි. මේ ලැජ්ජා නැති මිනිසුන් ඊ ව්‍යාජ අතිරික්තයක් සහ පිටරට පැටවීමක් ගැන කතාකරන්නේ තිරිඟු පිටි මො.ටො. ලක්ෂ 8ක් පමණ ගිල දමන රටක සිටය. සහල් පිටි ප‍්‍රචලිත කිරිම සඳහා ලක්ෂ වාරයක් කතාබහ කල යෝජනා ඉදිරිපත් කලද ඒවා රජයේ පැත්තෙන් ක‍්‍රියාත්මක වන්නේ ගොළුබෙලි ගමනිනි. තිරිඟු පිටි පාරිභෝජනය 25%ක් අඩු කල හැකි නම් සහල් අතිරික්ත කතාවක් කිසිසේත්ම අදාල වන්නේ නැත. නිළධාරින් පාන් පිටි සමාගම්වලට අනුකම්පාවෙන් සහල් පිටි ප‍්‍රචලිත කිරිමේ කිසිදු වැඩසටහනක් දියත් නොකලත් එක් පෑන් පහරකින් ඒ ප‍්‍රශ්නය විසදිය හැක. ඒ වෙළඳපල තුල මිල හැසිරවීම මගිනි. ඒ සඳහා රජය තිරිඟුපිට කිලෝවකට රු. 10ක සෙස් බද්දක් පැනවිය යුතුය. දැන් සහල්මිල පාලන මිලට වඩා පහල මට්ටමක තිබෙන බැවින් තිරිඟුපිටි මිල රු. 10 ක් වැඩිවීම මගින් කිසිදු වැසියකුට අසාධාරණයක් සිදු නොවේ. ඒ පාන් සහ පාන් පිටි ආහාර වෙනුවට බත් සහ සහල්පිටි ආහාර අඩු මිලට තිබෙන බැවිනි. දැවැන්ත ජාතික ආර්ථික ප‍්‍රශ්නයක් පමණක් නොව සෞඛ්‍ය ප‍්‍රශ්නයක් ද විසඳීම සඳහා එම බද්ද පැනවිය යුතු බවට මහජන සංවාදයක් ගොඩ නැගිය යුතුය.
එහිදි ඊට විරුද්ධ විය හැක්කේ තම දරුවන් ගැන නොසලකා එලිවනතුරු නිදාගන්නා අම්මලාට සහ තම සාමාජිකයින්ට සැමදා පාන් කෑමට සලසන වෘතිය සමිති නායකයින්ට පමණි. ආර්ථික ශක්තිය ඇති සමාජ ප‍්‍රතිශතයට එම සුළු මිල වැඩිවීම කෙසේවත් ප‍්‍රශ්නයක් නොවේ. බේකරි හිමියන් බේකරිකරුවන්ගේ භූමිකාවෙන් ආහාර නිශ්පාදකයින්ගේ භූමිකාවට අවතීර්ණ විය යුතුය. එවිට ඔවුනට අඩුවන තරිඟු පිටි ආහාර වර්ග වෙනුවට සහල් පිටි ආහාර වැඩි කල හැක. නමුත් එහිදි මුලික කොන්දේසිය විය යුත්තේ එම සෙස් බද්දට අයත් සෑම සතයක්ම සහල් සහ සහල්පිටි ප‍්‍රචලිත කිරිම සඳහා විනිවිද භාවයෙන් යුතුව යොදවන බවට සහතික වීමයි. සෙස් බද්ද අයතා ලෙස පරිහරණය කරනවායැයි කියමින් ඊට විරුද්ධ වන පිරිස් නිහඬ කළ හැක්කේ ඒ මගින් පමණි.
රටේ විවිධ ආහාර වර්ග වල අතික්තයක් ඇතැයි දොඩවන ආර්ථික ඝාතකයින් මෑතකදි රටේ උඳු අතිරිකතයක් ඇති බවටද ප‍්‍රකාශ කලේය. ඔවුන් එසේ කියන්නේ දිගින් දිගටම උඳු ආනයනය කරන තත්ත්වයක් තුලය. ඔවුන් කියන්නේ දැන් උඳු වගාවත් නවත්වන ලෙසය. කුරක්කන්, මුං, කව්පි, ආදි ධාන්‍ය නිෂ්පාදනය නවත්තා දැන් බොහෝකල්ය. වියළි කලාපීය ධාන්‍ය නිෂ්පාදනයට විශාල දායකත්වය සැපයු මහ ඉලූප්පල්ලම පර්යේෂණාගාරය දැන් වසාදමා ඇති ගානය. හේන් වගාව තහනම් කිරීමේ කුමන්ත‍්‍රණයට අමතරව අලිගම් වැදීම වැලැක්වීමේ උපක‍්‍රමයක් ලෙසද ගොවීන්ට ධාන්‍ය සහ අල වර්ග වගා නොකරන ලෙස උපදෙස් දෙන නිලධාරීන්ද සිටිති. උඳු ධාන්‍යයක් ලෙස සුවිශේෂි වන්නේ තිරිගුපිටි වෙනුවට සහල්පිටි යොදාගෙන ආහාර සකස් කිරීමේදී උදු පිටි එකතු කිරීමෙන් සහල් පිටි ප‍්‍රතිශතය වැඩි කල හැකි නිසාය. ‘‘උදු අතිරික්තයකට’’ මෙන්ම ‘‘සහල් අතිරික්තයටද’’ ඇත්තේ එකම විසදුමකි. ඒ තිරි`ගු පිටි වෙනුවට සහල් පිටි ආහාර දිරිගැන්වීමයි.
අප ජාතියේ පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීමේ අභියෝගයද නිෂ්පාදනය වැඩි කිරීමේ අභියෝගය තරම්ම විහිළුවක් බවට පත්වී ඇත. වාහන සහ ඉන්ධන භාවිතය පිළිබඳව යම් පර්යේෂණ දත්ත මත පදනම්ව නවසීලන්තයේ අගමැති තම රටේ ජනතාවට මෙසේ කියයි. ‘‘නුඹලා වාහන පණගන්වන වාර ගණනින් තුනෙන් දෙවතාවක් එසේ කරන්නේ කි.මි. 2කට අඩු දුරක් යාම සඳහාය. එසේ කිරිමට නුඹලාට ලැජ්ජාවක් නැන්ද? පා ගමනින් හෝ පා පැදියකින් ඒ දුර යනවා නම් නුඹලගේ ශරීර සෞඛ්‍යයට මෙන්ම පරිසරයේ සහ ආර්ථිකයේ සෞඛ්‍යයටද කොතරම් හොඳද? ’’ නමුත් අපේ රටේ අගමැතිතුමාට හෝ ජනාධිපති තුමාට එවැන්නක් කීමට දේශපාලන ධෛර්්‍යයක් උපදින්නේ නැත. එයට හේතුව සම්ප‍්‍රදායානුකූලව අපේ රටේ දේශපාලකයින් මධ්‍යම පන්තියේ අමන ජිවන රටාවට අභියෝග කිරිමට බිය වීමයි.
එපමණක් නොව මිල අධික නව ජංගම දුරකතන මිලදී ගැනීම, ජංගම දුරකතන කිහිපයක් මිලදි ගැනීම, ඒවා නැවත නැවත මාරු කිරිම ආදිය සීමා කිරීම සහ පොදුවේ භාවිතය සීමා කිරිම සඳහා ඉන්දියාවේ විවිධ බදු උපාංග හඳුන්වා දී ඇත. එහෙත් අප රටේ දේශපාලකයින්ට ඒ පුරුෂ ශක්තිය නැත. ඒවා පිළිබඳව මහජනයා සමඟ සංවාදයකට එලඹීමට හෝ ධෛර්්‍යයක් සහ විවේක බුද්ධියක් තිබෙන බවක් ඔවුන් පෙන්වන්නේ නැත. අප රටේ දේශපාලකයින්ගේ මහා වීරයා වන සිංගප්පුරුවේ ලී ක්වාං යු තම රටේ මධ්‍යම පන්තිය අමතර පුද්ගලික වාහනයක් මිලදී ගන්නා විට සිංගප්පුරු ඩොලර් ලක්‍ෂයකට ආසන්න (බොහෝ විට වාහනයේ මිලට වඩා වැඩි මිලක්) බද්දක් ගෙවා ‘‘අයිතිවාසිකම් සහතිකයක්’’ ලබා ගත යුතු බවට නීතියක් ගෙනාවේය. අප රටේ දේශපාලකයින් ඒවා දන්නවාදැයි අපි නොදනිමු. ඒ බව දන්නවානම් ඔහුට වීරයකුට සේ නොසලකන බව නම් අපට අනුමාන කල හැක.
දේශපාලකයින් නිර්භීත තීන්දු නොගන්නේ බිය නිසා යයි කීම යම් පමණකට සාධාරණය. එහෙත් අප රටේ භාණ්ඩාගාර නිලධාරින් දේශපාලකයින්ට කොකා පෙන්වා ඉතා නිර්භීත තීන්දු ගනිති. එසේ වන්නේ බිය සුල්ලන් පය නොගසන තැන්වල යකා නැටීමට ආර්ථික ඝාතකයින් බිය නොවන නිසාදැයි අපි නොදනිමු. මෑතකදි ඉන්ධන කාර්්‍යක්‍ෂමතාව ඉහල මට්ටමක පවතින දෙමුහුන් වාහනවල බදු අඩුකරන්නට රජය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේය. එහෙත් ඊට ටික කලකට පසුව එම බදු සහනය ඉවත්කොට වෙනත් සුබෝපභෝගි සහ ඉන්ධන දහනය අධික වාහනවලට යම් සහනයක් ලබාදුනි. මේ අමන පරිපාලන තීන්දු පිළිබඳව ආණ්ඩුව මෙන්ම මහජනයාද නිහඬ වතක්් අනුගමනය කිරිම පුදුම සහගතය.
යම් පරිභෝජන භාණ්ඩයක මිල ඉහල යන ආහාරයට බදු වැඩි කිරිමේ තීන්දුවක් ගැනීමේදී ලෝකයේ ඕනෑම රටෙ පාලකයින් දෙවරක් සිතිය යුතු බවට විවාදයක් නැත. එහෙත් බදු සහන දිගින් දිගටම ලබාදෙමින් ආනයනික නිෂ්පාදන වල මිල මට්ටම ඉතා පහල මට්ටමක තබාගතහොත් දිර්ඝ කාලීනව දේශිය නිෂ්පාදනය බිඳ වැටේ. එවිට අවසානයේ මිල මට්ටම් පාලනයකල නොහැකි ලෙස ඉහල යන බව මහජනයාට පෙන්වාදීමට සංවාදයක් ඇති කිරීම සඳහා බිය වන්නේ කුමකටද? ආර්ථික මොඩලය වෙනස්කිරිමේ ප‍්‍රභල උපාය මාර්ගික තින්දු ගැනීමේ සඳහා පාලකයින්ගේ මනස සකස්වන්නේ එවැනි මූලික තින්දු ප‍්‍රමාණයක් ගැනීම සඳහා නිර්භීත වීම මගිනි. ඒ සඳහා වන සංවාදය විශ්ව විද්‍යාලයේ සිට ගොවි බිම් දක්වා පැතිරී යායුතු සංවාදයකි. අනාගත ආර්ථික අර්බුදයට මුහුණදීමේදී වැදගත්වන මූලික කොන්දේසිය ඒ සංවාදය දැන්ම ආරම්භ කිරිමයි.
වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය