ආණ්‌ඩුවට පාඩමක්‌

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව තදින් ක්‍රියාකළ යුතුය. කිහිප දෙනකු සිරභාරයට ගෙන ඇතත් ජනතාවගෙන්...

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව තදින් ක්‍රියාකළ යුතුය. කිහිප දෙනකු සිරභාරයට ගෙන ඇතත් ජනතාවගෙන් අති විශාල බහුතරයක්‌ සිතන්නේ ප්‍රධාන සැකකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවය. එය ඇත්තක්‌ විය හැකිය. ඇතැම්විට ආණ්‌ඩුවට, එහිදී නෛතික හා වෛද්‍ය ගැටලු තිබෙනවා විය හැකිය. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සිංහල ජාතිකත්වයට පටහැණිව විජය කුමාරතුංග සමග එකතු විය. ඔහු (භාරත) උපාසකයෙක්‌ ද නොවීය. එහෙත් දුමින්ද සිල්වාට දඬුවම් දීමට වේ නම්, ආණ්‌ඩුව කිනම් පසුබිමකවත් එසේ කිරීමට පසුබට නොවිය යුතුය.

ලෝකයේ බිහිවූ දරුණුම ත්‍රස්‌තවාදී නඩයක්‌, බටහිරයන්ගේ හා ඉන්දියාවේ සහාය ලැබූ ත්‍රස්‌තවාදී නඩයක්‌, මානුෂික මෙහෙයුම්වලින් පරාජය කළ ආණ්‌ඩුවක්‌ පාතාලයට, මැරයන්ට බිය වී ඇතැයි සිතිය නො හැකිය. ආණ්‌ඩුව මේ අවස්‌ථාවේ දී ජනතාවට තමන් සැකකිරීමට ඉඩ නොතැබිය යුතුය. පාතාලය හා මැරයන් පරාජය කිරීමට මුල් පියවර ගැනීමට ආණ්‌ඩුව කටයුතු කළ යුතුය. එහෙත් අප නොදන්නා යම්කිසි රහසක්‌ රැකීමට ආණ්‌ඩුව උත්සාහ ගන්නා බවක්‌ පෙනෙයි. රාජ්‍ය රහසක්‌ ඇත්නම් එය රැකීමේ වරදක්‌ නැත. ඒ හෙළි කළයුතු යෑයි බලකළ යුතු නොවේ. කොටි ත්‍රස්‌තවාදය පරාජය කළ ආණ්‌ඩුවට විවිධ අභියෝග රැසකට එක්‌වර මුහුණ දීමට සිදු වී ඇත. පළමුවෙන්ම දෙමළ ජාතික සන්ධානය සමග පැවැත්වීමට බලකෙරෙන ඊනියා සාකච්ඡාය. අප කිහිප වතාවක්‌ කියා ඇති පරිදි දෙමළ නායකයන් සමග දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න ගැන කතාකිරීම දිවිහිමියෙන් සටන් කළ රණවිරුවන් පාවාදීමකි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වූ ප්‍රශ්නයක්‌ නැති බවත් මේ ඊනියා ප්‍රශ්නය දෙමළ වෙල්ලාලයන් රටේම නායකයන් කිරීමට තැත්කළ ඉංගිරිසි ආණ්‌ඩුකාරයන් හා නිලධාරීන් විසින් ඇතිකරන ලද ප්‍රශ්නයක්‌ බවත් ඉංගිරිසීන්ට හා දැන් ඔවුන්ගේ නායකත්වයෙන් බටහිරයන්ට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්‌කෘතියට, ඉතිහාසයට, ජීවන ක්‍රමයට, දැනුමට ආදී වශයෙන් ජාතිකත්වයට හිමි තැන අහිමි කිරීම බවත් අපි කරුණු සහිතව තර්කානුකූලව පෙන්වා දී ඇත්තෙමු. එංගලන්තයේ පමණක්‌ නොව බිරිතානියේත්, ඇමරිකාවේත්, කැනඩාවේත්, ඕස්‌ටේ්‍රලියාවේත්, නවසීලන්තයේත් ජාතිකත්වය පදනම් වී ඇත්තේ ඇංග්ලො සැක්‌සන් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය මතය. යුරෝපයේ සෙසු රටවල ජාතිකත්වය පදනම් වන්නේ වෙනත් ක්‍රිස්‌තියානි සංස්‌කෘති මතය. ඒ රටවල ජාතිකත්වයෙහි වෙනත් කිසිම සංස්‌කෘතියකට අබමල් රේණුවක ඉඩක්‌ නැත. එහෙත් කසිකබල් ඉංගිරිසි අධ්‍යාපනයක්‌ ඉංගිරිසි හෝ සිංහල හෝ මාධ්‍යයෙන් පාසල්වලින් හෝ විශ්වවිද්‍යාලවලින් හෝ ලබාගත් මෙරට පඬියන්ට බහු සංස්‌කෘතික බහුබූතය නොමැතිව හුස්‌ම ගැනීමටවත් නොහැකිය. විශේෂයෙන්ම තුට්‌ටු දෙකේ මාක්‌ස්‌වාදීහු මෙහිදී දෙමළ ජාතිවාදී කවටයෝ බවට පත්වී සිටිති. ජනමාධ්‍ය නොවන්නට ඔවුන්ට මේ රටේ කිසිම තැනක්‌ තැන. ජ. වි. පෙරමුණේ කුමාර ඕපාත කණ්‌ඩායමට ද ඒ ඉරණම වැඩිකල් නොගොස්‌ අත්වනු ඇත. ඔවුන්ට කළ හැකි වන්නේ ට්‍රොට්‌ස්‌කිවාදී මැත දොඩවන්නන් සමග මැයි දිනයක්‌ පැවැත්වීම හා පුවත්පත් සාකච්ඡා පැවැත්වීම පමණකි. ඊනියා ශිෂ්‍ය නායකයන් ඔවුන් සමඟ සිටිය ද එකී නායකයන්ට නායකකම් මිස ශිෂ්‍යයන් නැතිවනු ඇත. මෙරට ශිෂ්‍යයෝ දෙමළ ජාතිවාදයට ආවඩන්නෝ නොවෙති.

අවුරුදු දෙසියයකට ආසන්න කාලයක්‌ ඉංගිරිසින්ගේ හා බටහිරයන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය ඊනියා දෙමළ ප්‍රශ්නය සාකච්ඡා මගින් විස¹ගත නොහැකි වූයේ පළමුවෙන්ම ප්‍රශ්නයක්‌ නැතිවීමත් දෙවනුව දෙමළ ජාතිවාදී නායකයන් බටහිරයන්ගේ අතකොලු වී සිංහල බෞද්ධත්වය නැතිකිරීමට කටයුතු කිරීමත් හේතුවෙනි. බටහිරයෝ හා කසිකබල් මාක්‌ස්‌වාදීන්ද ඇතුළු දෙමළ ජාතිවාදීහු කිසි විටෙකත් සිංහලයන්ගේ හඬට කන්දීමට කැමති නොවූහ. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක්‌ ලෙස අවසානයේදී මානුෂික මෙහෙයුම මගින් දෙමළ ජාතිවාදීන් බටහිරයන්ගේ ආධාරයෙන් අඩුම තරමෙන් ඉංගිරිසීන් නිර්මාණය කළ උතුරු හා නැගෙනහිර පළාත්වල තම බලය තහවුරු කිරීමට යොදාගත් දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කෙරිණි. එමගින් ඊනියා දෙමළ ප්‍රශ්නය ද විසඳනු ලැබිණි. හමුදා ක්‍රියාමාර්ග යනු දේශපාලන ක්‍රියාමාර්ගය වන අතර හමුදා විසඳුම් ද දේශපාලන විසඳුම් වෙයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ධනවාදීහු හා ලෙනින් ස්‌ටෑලින්වාදී සමාජවාදීහු ලෝකය බෙදාගත්හ. නැගෙනහිර යුරෝපය සෝවියට්‌ කඳවුරට එකතු වූයේ අවසන් වශයෙන් ගත්කළ එහි ප්‍රතිඵලයක්‌ ලෙසය. එය වෙනස්‌කිරීමට සාකච්ඡා පැවැත්වීමට කිසිවෙක්‌ කටයුතු නො කළහ. අවසානයේ දී වෙනස්‌ වූයේද බර්ලින් තාප්පය කඩා වැටුනේද චෙකොස්‌ලෝවේකියාවේ හා යුගොස්‌ලාවියාවේ ඇති වූ ක්‍රියාදාමවල ප්‍රතිඵල ලෙසය. අද ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳීමට නැවතත් සාකච්ඡා ආරම්භ කළ යුතු නොවේ. ඒ සියලු සාකච්ඡා අසාර්ථකවී ඇත. සාකච්ඡා නැවත ඇරඹුවත් ඒ අසාර්ථක වනු ඇත්තේ විසඳීමට දෙමළ ප්‍රශ්නයක්‌ නැති බැවිනි. මානුෂික මෙහෙයුම අවශ්‍ය වූයේ ම සාකච්ඡා අසාර්ථක වීම නිසාය. හමුදාව දැන් දේශපාලන විසඳුමක්‌ දී ඇත. එය පිළිගැනීමට දෙමළ ජාතිවාදීන්ද කුමාර් ඕපාත කණ්‌ඩායම ඇතුළු කසිකබල් මාක්‌ස්‌වාදීන් ද අකමැති වන්නේ ඔවුන්ට බටහිරයන්ගෙන් හා රෝ ඔත්තු සේවයේ අනුග්‍රහය ලැබෙන බැවින් මිස ඔවුන්ට ඇති ශක්‌තියක්‌ නිසා නොවන බව පැහැදිලිය.

අද ආණ්‌ඩුව කළ යුත්තේ ඊනියා සාකච්ඡා සඳහා කාලය නාස්‌තිකරමින් රණවිරුවන් පාවාදීම නොව පැරැණි රජදරුවන් කළ ආකාරයෙන් රට කරවීමය. එහෙත් ආණ්‌ඩුවට ඒ සඳහා ජාතික වූ වැඩපිළිවෙළක්‌ නැත. එපමණක්‌ නොව එවැනි ක්‍රියාදාමයකට එළඹීමට නමින් සිංහල බෞද්ධ වූ ඕල්කට්‌ බෞද්ධයෝ ද අකමැති වෙති. ඡේ. ආර්. ජයවර්ධන ඕල්කට්‌ බෞද්ධයන්ගේ ද ඊනියා යථාර්ථවාදී උගතුන්ගේ ද ආධාරය ඇතිව එතෙක්‌ කොළඹට පමණක්‌ සීමා වූ අධාර්මික බව මුළු රටට ම ගෙන ගියේය. අද පොදුවේ ගත්කළ රට ම අධාර්මික වී ඇත. ධර්මය වල් වැදී ඇත. බොරුව, කුහක කම ව්‍යාජය, දූෂණය, නාස්‌තිය, අල්ලස කොමිස්‌ කෑම, බොරු ආඩම්බරය, පවට ලඡ්ජාව බය නැතිවීම ආදිය රටපුරා පැතිරී ඇත. මේවා දේශපාලඥයන්ට පමණක්‌ සීමා වී නැත. නිලධාරීහු හා වෙනත් සේවකයෝ ද තම තමන්ට හැකි අයුරෙන් රජයේ හා වෙනත් ආයතනවල වස්‌තුව ගසා කති. නිලධාරියාට කම්කරුවා පෙනෙන්නේ තරාතිරමෙන් පහත් අයකු ලෙසය. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට විරුද්ධ අනධ්‍යයන සේවකයන් පැමිණිලි කිරීම පවා වරද වෙයි. ස්‌ත්‍රී දූෂණය මෙන්ම ලාභ ප්‍රයෝජනය සඳහා ස්‌ත්‍රීන් ඇඟ විකිණීමද අද සුලභ වී ඇත. ඒ හැරෙන්නට හුදෙක්‌ ඉන්ද්‍රීය පිනවීම සඳහා අනාචාරයේ හැසිරීමද අද ප්‍රචලිත වී ඇත. රටපුරා නගරවල කාමර කුලියට දෙන තැන් බිහිවී ඇත්තේ හුදෙක්‌ දේශීය හෝ විදේශීය හෝ සංචාරකයන් සඳහා නොවේ. මිනීමැරුම්, කොල්ලකෑම්, පවුල් පිටින් ඝාතනය කිරීම් වාර්තා නොවන දවසක්‌ නැත. මේ සියල්ල හුදෙක්‌ ඊනියා යුද්ධයක්‌ නිසා ඇති වූ බව පෙන්වීමට සිංහල බෞද්ධ සංස්‌කෘතියට එදා සිට වෛර කරන කසිකබල් සතිඅන්ත පුවත්පතක හිටපු කතුවරයෙක්‌ උත්සාහ දරයි. ඡේ. ආර්. ජයවර්ධන, ඕල්කට්‌ බෞද්ධයන් හා ඊනියා යථාර්ථවාදී විද්‍යාත්මක බටහිර උගතුන් සමඟ එක්‌වී කරන ලද ව්‍යාපෘතියක අනිටු ඵල දැන් ලැබෙමින් පවතී.

රට කරවීම යන්න වෙනුවට බටහිරයන්ගේ සංවර්ධනය යන සංකල්පය අද මුල් බැස ගෙන ඇත. ආණ්‌ඩුව අද රට සංවර්ධනය කරයි. තැන තැන පාරවල් ගොඩනැගිලි ඉදිකෙරෙයි. එහෙත් ඒ සමඟ මිනිස්‌සු ඇති නො කෙරෙති. රටේ සංවර්ධනය හා පෞද්ගලික සංවර්ධනය වෙනුවෙන් මිනිස්‌සු තනි තනිව හා සාමුහිකව පරිසරය ගසාකති. ඊනියා සංවර්ධනයක්‌ අපේක්‍ෂා කරන ජනතාවට ඒ සංවර්ධනය ලබාදීමට කොහෙන් නමුත් ආයෝජන ලබාගැනීමට ආණ්‌ඩුව පෙළඹෙයි. එහි දී දූෂණ සිදුවීම ද වැළැක්‌විය නොහැකිය. බටහිර සංවර්ධනය සමඟ දූෂණය අත්වැල් බැඳගෙන ඇත. අප රටේ පමණක්‌ නොව දියුණු යෑයි සම්මත රටවල ද දූෂණ මහා පරිමාණයෙන් සිදුවෙයි. එහෙත් ඒ දූෂණ ඔවුන්ගේ දළ ජාතික ආදායම සමඟ සැසඳු විට එතරම් විශාල නොවෙයි. එසේ වුවත් අප වැනි රටවල දූෂණ රටට ම දැනෙයි. බටහිර සංවර්ධනය සමඟ ඇත්තේ විනාශය මිස අනෙකක්‌ නොවේ. ස්‌වභාව ධර්මය මිනිසා වෙනුවෙන් මවා ඇතැයි සලකන බටහිරයන්ට සම්පත් ගසාකෑම හා නැතිකිරීම හැරෙන්නට වෙනත් දෙයක්‌ කළ නොහැකිය. තිරසාර සංවර්ධනය යන්න මිනිසුන් මූළාකිරීමට බටහිර බුද්ධිමතුන් නිර්මාණය කර ඇති ව්‍යාජ සංකල්පයක්‌ පමණකි. බටහිර සංවර්ධනයට කිසි දිනෙක පරිසරය රැකිය හැකි නොවේ. පරිසර සංරක්‍ෂණය, පරිසර කළමනාකරණය ආදී සංකල්පවලින් හෙළිවන්නේ බටහිරයන්ගේ උද්ධච්ඡ භාවය පමණකි. පරිසරය සමඟ සහජීවනය මිස පරිසර සංරක්‍ෂණය, කළමනාකරණය ආදිය කළහැකි දේ නොවේ. බටහිර දැනුම විසින් මිනිසුන්ගේ නිහතමානී බව නැතිකර ඔවුන් උද්ධච්ච තකතීරුවන් බවට පත්කෙරී ඇත. ආණ්‌ඩුව මෙන්ම මිනිසුන් ද අමාරුවට පත්වී ඇත්තේ ඡේ. ආර්. ගේ ඔලමොට්‌ටල අදහස්‌ අනුව ලංකාව සිංගප්පූරුවක්‌ බවට පත්කිරීමට යැමෙනි. ඒ සඳහා මුදල් ලබා ගැනීමට ආණ්‌ඩුව ද මිනිස්‌සු ද කටයුතු කරති. අධික මුදල් ලැබෙන්නේ අධික දූෂණ ඔස්‌සේය. කුඩු විකුණා වුවත් මුදල් ලබාගෙන පෞද්ගලික ව හෝ රට වශයෙන් හෝ සංවර්ධනය වීමට යන්නේ නම් එහි කෙළවර භයංකාර ය. මිනිසුන්ට නිදහස හා විමුක්‌තිය ලැබෙන්නේ අයිතිකර ගැනීමෙන් නොව අත්හැරීමෙනි. මෙරට සිංහල බෞද්ධ සංස්‌කෘතිය නැතිකිරීමට ප්‍රභාකරන්ට ද වඩා ක්‍රියාත්මක වූයේ ඡේ. ආර්. ය. ආණ්‌ඩුව ඡේ. ආර් ගේ ව්‍යාපෘතිය අත්හැරිය යුතුය.

මහාචාර්ය නලින් ද සිල්වා
-දිවයින 2011-10-22

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 7271261182828008733

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item