මැර බලය හා ඡන්දය

පසුගිය දිනවල අපට එක දිගටම සාකච්ඡා කිරීමට සිදුවූයේ ආණ්‌ඩු පක්‍ෂයේ මෝඩයින් අතළොස්‌සකගේ මැරකම් ගැනය. එම නිසා පසුගිය පළාත් පාලන ආයතන...

පසුගිය දිනවල අපට එක දිගටම සාකච්ඡා කිරීමට සිදුවූයේ ආණ්‌ඩු පක්‍ෂයේ මෝඩයින් අතළොස්‌සකගේ මැරකම් ගැනය. එම නිසා පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද ප්‍රතිඵලය වත් නිසි ආකාරව විශ්ලේෂණය කිරීමට අපට නොහැකි විය. අප ඒ ඡන්ද ප්‍රතිඵලය ගැන පවසා සිටි එක්‌ කාරණයක්‌ වූයේ එ.ජා.ප. ය කොළඹ මහ නගර සභාව දිනන අවස්‌ථාවේදී වත් ආණ්‌ඩු පක්‍ෂය කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ පූන්කරි ප්‍රාදේශීය සභාවේ ගත්තු ඡන්ද ප්‍රතිශතය වත් ලබා ගන්නේ නැති බවයි. තවද අප පෙන්වා දුන් කාරණයක්‌ වූයේ ආණ්‌ඩු පක්‍ෂයට යාපනය දිස්‌ත්‍රික්‌කයේ වත් ලැබුණු ඡන්ද ප්‍රතිශතය එ.ජා.ප. යට දකුණේ නාගරික ප්‍රදේශවල පවා ලැබී ඇත්තේ අතරින් පතර බවයි. එ.ජා.ප. යේ හොඳම ප්‍රතිශතය සමාන වන්නේ ආණ්‌ඩු පක්‍ෂයට මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේදී ලැබුණා වැනි ප්‍රතිශතයකි.

මෙවැනි කාරණා අපි ජනතාවගේ අවධානයට යොමු කළ ද අපට පෙන්වා දීමට නොහැකි වූ එක්‌ කාරණයක්‌ වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණ අදියරේදී එ.ජා.ප. යට හොඳම ඡන්ද ප්‍රතිශතය වාර්තා වූයේ කොලොන්නාව නගර සභාවෙන් බවයි. කොලොන්නාවේදී එ.ජා.ප. යට ලැබුණු ඡන්ද ප්‍රතිශතය 44.3% කට වැඩිය. කොලොන්නාව නගර සභාව තුළ එ.ජා.ප. යට පාලනයක්‌ පිහිටුවා ගැනීමට නොහැකි වුවත් ඔවුන් පාලනයක්‌ පිහිට වූ කොළඹ මහ නගර සභාවට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක්‌ ඔවුන්ට කොලොන්නාවෙන් ලැබී ඇත. එපමණක්‌ ද නොව රටේ වෙනත් එ.ජා.ප. නාගරික බළකොටු වන මහනුවර මහ නගර සභාව, හම්බන්තොට මහ නගර සභාව, නුවරඑළිය මහ නගර සභාව, දෙහිවල - ගල්කිස්‌ස මහ නගර සභාව යන සියලුම පළාත් පාලන ආයතනවලටත් වඩා කොලොන්නාවේ ලැබුණු ප්‍රතිශතය වැඩිය. මේ කාරණය කොලොන්නාව ආසනයේ එ.ජා.ප. සංවිධායක ආචාර්ය කරුණාසේන කොඩිතුවක්‌කු මහතාගේත් කොලොන්නාව එ.ජා.ප. නගරාධිපතිව සිට දැන් එහි විපක්‍ෂ නායක වන චිත්‍රා ඩයස්‌ මහතාගේත් පෞද්ගලික ජයග්‍රහණයක්‌ ලෙස සැලකිය හැක. වඩාත්ම සැලකිය යුතු කාරණය වන්නේ මේ ජයග්‍රහණය ඔවුන් ලබා ඇත්තේත් හරියටම යුද පිටියේ මැදම වීමයි.

කොලොන්නාව යනු පසුගිය දිනවල කාගේත් අවධානයට යොමු වූ ස්‌ථානයකි. රාජපක්‍ෂ ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසු ආණ්‌ඩුවේ ලොකුම මැර සංදර්ශනය පවත්වනු ලැබුවේ කොලොන්නාවේදීය. ඒ මැර සංදර්ශනය පවත්වනු ලැබුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබුණු අවසන් පැයේදී නිසා ආණ්‌ඩුවට එයින් විශාල පාඩුවක්‌ සිදුවූයේ නැත. ජනතාවට, ආණ්‌ඩුවට පාඩමක්‌ ඉගැන්වීමට වත් වෙලාව තිබුණේ නැත. ආණ්‌ඩු පක්‍ෂය විසින් එමනිසා කොලොන්නාව නගර සභාවත්, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවත් යන දෙකම ජය ගත්තේය. කොලොන්නාව නගර සභාව එ.ජා.ප. යෙන් පිට ගියේ අවුරුදු 33 කට පසුවය. ඉකුත් සතියේ කොලොන්නාව නගර සභාව මුල් වරට හමු වූ අවස්‌ථාවේදී එහි එ.ජා.ප. විපක්‍ෂ නායක චිත්‍රා ඩයස්‌ පවසා සිටියේ කොලොන්නාව නගර සභාව මෙවර එ.ජා.ප. ය පැරදුණේ ඔවුන්ට දුමින්ද සිල්වාගෙන් එල්ලවූ මැර තර්ජන නිසා බවයි.

එ.ජා.ප. යෙන් කියන්නේ දුමින්ද සිල්වා ඡන්දය දවසේදී කොළොන්නාවේ සුප්‍රසිද්ධ තමිල්නාඩුව තුළ පෞද්ගලිකවම පෙනී සිටිමින් දෙමළ ඡන්දදායකයන් බලහත්කාරයෙන්ම ඡන්ද පොළ වලට යෑවූ බවයි. මේ හේතුවෙන් කොලොන්නාව නගර සභා බලප්‍රදේශය තුළ දෙමළ බහුතරයක්‌ වාසය කරන ඡන්ද පළවල වැටී ඇති ඡන්ද ප්‍රතිශතය 74% ක්‌ වන බවත් සිංහල ඡන්ද පළවල ප්‍රතිශතය ඊට බෙහෙවින්ම අඩු මට්‌ටමකින් එනම් 62% ත් 65% ත් අතර මට්‌ටමකින් පවතින බව ඔවුන්ගේ තර්කයයි.

එම නිසා එ.ජා.ප. ය කොලොන්නාව නගර සභාව පැරදුණේ දුමින්දගේ මැරකම් නිසාද නැතිනම් වෙනත් කාරණයක්‌ නිසාද යන්න අප සොයා බැලිය යුතුය.

මෙම පළාත් පාලන ආයතනයේ ඡන්ද ප්‍රතිඵලය දෙස බැලූ විට අපට එක්‌ වරම පෙනී යන්නේ එ.ජා.ප. යේ පරාජයට හේතුව මනෝ ගනේෂන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ වෙනම තරග කිරීම බවයි. ආණ්‌ඩු පක්‍ෂයට ලැබුණේ ඡන්ද 11303 කි. එ.ජා.ප. යට ඡන්ද 10667 ක්‌ ලැබිණි. මනෝ ගනේෂන්ගේ පක්‍ෂයට ඡන්ද 938 ක්‌ ලැබිණි. ඔවුන් එ.ජා.ප. ය හා එකට තරග කළේ නම් කොලොන්නාව නගර සභාව එ.ජා.ප. ය නැවත වරක්‌ දිනනු ඇත. තවද එ.ජා.ප. ය පැරදුණේ හුදෙක්‌ම මැරකම නිසා යෑයි කියනවා නම් එය ද ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි විය යුතුය. නමුත් එ.ජා.ප. යේ ඡන්ද අඩුවී ඇත්තේ ඉතාමත්ම සුළු ප්‍රමාණයකිනි. 2006 දී එ.ජා.ප. ය කොලොන්නාව නගර සභාව දිනන විටත් ඔවුන්ට ලැබුණේ ඡන්ද 11845 කි. මෙවර ඔවුන්ට ඡන්ද 10667 ක්‌ ලැබී ඇති නිසා ඡන්ද අඩුවී ඇත්තේ 1178 ක්‌ පමණි. මුළු දිවයින පුරාම එ.ජා.ප. යේ ඡන්ද ප්‍රතිශතය පමණක්‌ නොව ලැබෙන මුළු ඡන්ද සංඛ්‍යාව ද අඩු වීමේ ප්‍රවණතාවක්‌ දක්‌නට ලැබිණි. එ.ජා.ප. ය දිනපු කොළඹ මහනගර සභාවේ ඒ ප්‍රවණතාව පෙනෙන්නට තිබෙනවා නම් කොලොන්නාවේ පමණක්‌ ඡන්ද වැඩිවේ යෑයි බලාපොරොත්තු වීම බොරු කතාවකි. එපමණක්‌ ද නොව 2006 දී මුස්‌ලිම් කොංග්‍රසය වෙනම ලැයිස්‌තුවක්‌ කොලොන්නාව නගර සභාවට ඉදිරිපත් කළේ නැත. නමුත් මෙවර ඔවුන් වෙනම ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කරමින් ඡන්ද 565 ක්‌ ලබා ගත්තේය. ඒවා ඒකාන්තයෙන්ම එ.ජා.ප. යට ලැබිය යුතු ඡන්දයි. මනෝ ගනේෂන් මහතාගේ පක්‍ෂය 2006 දීත් වෙනම තරග කළේය. එවර ඔවුන්ට ඡන්ද 429 ක්‌ ලැබිණි. මෙවර ද ඔවුන් වෙනම තරග කරමින් ඡන්ද 938 ක්‌ ලබා ගත්තේය. එනම් ඔවුන්ටද ඡන්ද 509 ක්‌ වැඩියෙන් ලැබී ඇත. මේවාද එ.ජා.ප. යට ලැබිය යුතු ඡන්දය. ඒ අනුව මනෝ ගනේෂන්ගේ පක්‍ෂයට වැඩියෙන් ලැබුණු ඡන්දත් මුස්‌ලිම් කොංග්‍රසයට ගිය ඡන්ද ටිකත් මුළු දිවයින පුරාම එ.ජා.ප. යට ඡන්ද අඩුවීමට ඇති ප්‍රවණතාවයත් එකට ගත් කල එ.ජා.ප. යට මෙවර අඩුවෙන් ඡන්ද ලැබුණේ මන්දැයි පැහැදිලිය.

දුමින්දගේ මැරකම් නිසා ඔවුන්ට එක ඡන්දයක්‌ වත් අඩුවී ඇති බවක්‌ පෙනෙන්නට නැත. මෙය ආණ්‌ඩු පක්‍ෂය විසින් ඉගෙනගත යුතු වෙනමම පාඩමකි. මැරකමින් ඡන්ද දිනාගත නොහැකි බව මේ රටේ 2001 දෙසැම්බර් මාසයේදීත් ඔප්පු විය. කොලොන්නාව නගර සභාව තුළ ද සිදුවී ඇත්තේ මැරකම්වල සාර්ථක බව නිසා නොව වෙනත් හේතුවලට එ.ජා.ප. ය පරාජයට පත්වීමයි. ඇතැම් විට ආණ්‌ඩු පක්‍ෂයේ මැර ප්‍රතිරූපය නිසා එ.ජා.ප. යට නැති වීමට ගිය ඡන්ද ප්‍රමාණයකුත් ආපසු ලැබුණා විය හැක. වැඩියෙන්ම මැර බලය තිබුණු තැන එ.ජා.ප. යට වැඩිම ප්‍රතිශතය ලැබුණේත් ඒ හේතුව නිසාම විය හැක.

-සී.ඒ. චන්ද්‍රප්‍රේම
වම්ඉවුර
සඳුදා දිවයින
http://www.divaina.com/2011/10/31/feature.html

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 3475077843528511319

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item