කළුගං ජලකඳේ ඛෙදවාචකය

කළුගං ඉවුරේ ගං මෝයට නොදුරින් ගඟත් මුහුදත් අතර පටු බිම් තීරයේ පුංචි කුටියේ වෙසෙන මගේ ඇස්‌ පනාපිට කළු ගඟේ මහා ජලකඳ නිකරුණේ ...

කළුගං ඉවුරේ ගං මෝයට නොදුරින් ගඟත් මුහුදත් අතර පටු බිම් තීරයේ පුංචි කුටියේ වෙසෙන මගේ ඇස්‌ පනාපිට කළු ගඟේ මහා ජලකඳ නිකරුණේ මුහුදට ගලායයි. රසායන වස විෂ වලින් එතරම් දූෂණය නොවූ කළු ගං ජලකඳ රැළි නගමින් නිකරුණේ මුහුදට ගලා යන්නේ, අහසින් එන දිය බිඳක්‌ පවා ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවන්නැයි ප්‍රකාශ කළ මහ පැරකුම් රජතුමාගේ චින්තනය ගැන කතාකරමින් අධි වේග මාර්ග තනන්නට කඳු පහත් කරමින් අක්‌කර සිය ගණන් පහත් බිම් ගොඩකරමින් මාතර, ගාලු, කළුතර, කොළඹ දිස්‌ත්‍රික්‌ක හතරේ ප්‍රධාන පාරවල් රැසක්‌ මතින් (ගංගා මතින් නොවේ) කොන්ක්‍රීට්‌ පාලම් සිය ගණනක්‌ තනන්නට ප්‍රකෝටි සියගණනින් ධනය වියදම් කරන දේශපාලනඥයන් දෙස බලමින් උපහාසයෙන් සිනාසෙන්නාක්‌ මෙනි. මාස හයක්‌ තිස්‌සේ නැවත නැවතත් ගංවතුර ඇතිකරමින් පළල් වෙමින් කැඩෙන කළුගං මෝය නැවත ස්‌වභාවිකව ගොඩවන්නට අවස්‌ථාවක්‌ නොදෙන තරමට එක දිගට ගංවතුර ඇති වූයේ රජරට නියඟින් දැවෙන තත්ත්වයක්‌ පවතිද්දීය. මාතර කොට්‌ටාව අධිවේගී මාර්ගය සඳහා දැනටමත් කර ඇති වියදමින් භාගයක්‌ යෙදවූවා නම් මෝසම් වැසි සමයේ මෙන්ම අන්තර් මෝසම් වැහි කාලවලදීත් බස්‌නාහිර පලාත ගංවතුරින් යටකරන කළු ගං ජලකඳ කැලණි ගඟේ පිටාර ජලයත් මහඔයේ පිටාර ජලයත් එකතුකරගෙන උතුරේ අලිමංකඩ දක්‌වා ගෙනයමින් වයඹත් උතුරු මැදත් උතුරත් ඇතුළු මුළු රජරටම නියඟ දුරුකර රටම බත බුලතින් සරුකරන්නට මගපෑදෙනු ඒකාන්තය.

කළු ගඟේ ජලකඳ උතුරේ අලිමංකඩ දක්‌වා ගෙන යැමේ අවශ්‍යතාව හා හැකියාව පෙන්වා දෙමින් අප නැවත නැවතත් පුවත්පත් සඟරාදියට ලිපි ලියද්දී ඒවා කියවූ ජනතාවත් පොදුවේ රටේ අනෙකුත් ජනතා කොටසුත් විශ්මයෙන් විමසන්නේ කළු ගං මෝය මේ වාරකං සමය ආරම්භයත් සමගම මෙතරම් අසාමාන්‍ය ලෙස විශාල වූයේ මක්‌නිසාද යන්නයි. වසර පහක්‌ තිස්‌සේ කළු ගං ඉවුරේ ගඟට මුහුණපා මුහුදට පිටුපා ජීවත් වන මම මේ අවුරුදු පහ තුළ හෝ වයස හැට අටක්‌ වන මගේ ජීවිතයේ කිසිම දිනක හෝ කළු ගඟේ මෝය මෙතරම් අසාමාන්‍ය ලෙස විශාලවනු දැක නැත. එසේ වුවත් සිදු වූයේ කළු ගඟේ ජලකඳ ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙළක්‌ නැතිකමේ විපාකයයි. හතළිස්‌පන් දහසකට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ උන්හිටිතැන් නැති වූ ප්‍රකෝටි සිය ගණන් දේපළ විනාශ වූ සුනාමියේදීවත් කළු ගං මෝය මෙතරම් විශාල වූයේ නැත. කෙසේ වුවත් මෙවර මෝය විශාල වීම නිසා කිසිවකුගේ ජීවිත වලට හෝ දේපළ වලට හානියක්‌ වූයේ ද නැත. සිදුවූ ලොකුම හානිය නම් උතුරු වයඹ, උතුරු මැද හා උතුර නියඟින් දැවෙද්දී කළු ගං නිම්නබද ජනතාව එක දිගට මාස හයක්‌ තරම් කාලයක්‌ තුළ නැවත නැවතත් සිදුවූ ජල ගැලීම් වලට ගොදුරුවීමයි. ගං මෝය අසාමාන්‍ය ලෙස පළල් වූයේ එක දිගට මාස හයක්‌ තිස්‌සේ උග්‍ර වූ කළු ගඟේ ජල ප්‍රවාහය නිසා කළු ගඟේ මෝය ටිකෙන් ටික විශාල වී වාරකං සමය එළඹීමත් සමග දෙසතියක්‌ තුළ මෝය එකවර දෙගුණයකින් විශාල වීමයි.

කළු ගඟේ ජල ප්‍රවාහය උග්‍ර නොවන ගංවතුරක්‌ නැති සාමාන්‍ය කාලයේදී වලාල සමය එළඹීමත් සමග කළු ගං මෝය අඩි සියයටත් අඩු මට්‌ටමට කුඩාවේ. මුහුදේ වලාල තත්ත්වය තිබුණ ද ගංවතුර තත්ත්වයක්‌ ඇතිවූ විට මෝය ටිකෙන් ටික විශාල වේ. කළු ගඟ ගලා රත්නපුර නගරය යටවන තත්ත්වයේදී මෙන්ම කළු ගඟේ ප්‍රධාන ශාඛාව වූ කුකුළු ගඟට මගුරු ගඟත්, පැලැන්ගඟත්, යටගම්පිටිගඟත් එක්‌වීමෙන් පසු සෑදෙන කුඩා ගඟ අවට පෙදෙස්‌ ගංවතුරින් යටවී ජන ජීවිතයට හානි සිදුවන තත්ත්වයක්‌ උදාවන විට ද කළුතර දිසාපතිවරයාගේ මෙහෙයවීමෙන් බුල්ඩෝසරයක්‌ යොදවා කළු ගං මෝය කෘත්‍රිමව විශාල කරනු ලබයි. ඒ කිසිවකුත් නැතිව සුනාමි තත්ත්වයකුත් නැතිව කළු ගඟේ මෝය මෙතරම් අසාමාන්‍ය ලෙස විශාල වූයේ එක දිගට මාස ගණනක්‌ තිස්‌සේ උග්‍රව පැවැති කළු ගං ජල ප්‍රවාහය නිසා මාස හයක්‌ තරම් කාලයක්‌ තුළ මෝය ටිකෙන් ටික පළල් වූ හෙයිනි. ගංවතුරත් නැති වලාල කාලයේදී අඩි සීයක්‌ තරම් පළල අඩුවන කළු ගං මෝය මෙවර එක දිගට පැවැති ගංවතුර තත්ත්වය නිසා මෝය අඩි හයසීයක්‌ තරම් පළල් වූද එය කිසිවකුගේ විශේෂ අවධානයට ලක්‌ වූයේ නැත. දිනපතා කළු ගං මෝය ටිකෙන් ටික පළල් වනු දකින මගේ ද විශේෂ අවධානය කළු ගං මෝය වෙත යොමු වූයේ වාරකං සමය එළඹී සති කීපයකදී මෝය අසාමාන්‍ය ලෙස අඩි දහසක්‌ ඉක්‌මවා පළල් වී තිබෙනු දැකීමෙනි. අඩි දහසක්‌ ඉක්‌මවා පළල් වූ මෝය මේ වන විට ස්‌වාභාවිකව යළිත් ටිකෙන් ටික පටුවෙන්නට පටන්ගෙන ඇත. එහෙත් ලෝක කාලගුණ විපර්යාසය අනුව ලබන වසරේ වැස්‌ස වැඩිවී කළු ගඟේ ජල ප්‍රවාහය උග්‍රවී ඊළඟ වාරකං සමයේ සමහර විට මගේ ආවාස භූමියත් මහා සාගරයට ගොදුරුවන්නට ඉඩ තිබේ.

සුනාමි තත්ත්වයකුත් නැතිව මීට වසරකට පමණ පෙර ද කළු ගං මෝය අඩි අටසීයක්‌ තරම් පළල් වූ අවස්‌ථාවක්‌ ඇති වූයේ කුකුළු ගඟ හරස්‌ කර මැද ඇති මාකෙලිය ජලාශයේ දොරටු විවෘත කළ අවිචාරවත් ආකාරය නිසාය. සිංහරාජ වනයෙන් පෝෂණය වන කුකුළු ගඟේ ජලකඳ හරස්‌ කර ජල විදුලිය සඳහා සාදා ඇති මාකෙලිය ජලාශය ගංවතුරින් පිරෙද්දී කුඩා ගඟට එක්‌වන ශාඛා ගංගා වූ පැලැන් ගඟ, යටගංපිටි ගඟ හා මගුරු ගඟ පිරී තිබියදී එම ගංවතුර තත්ත්වය සැලකිල්ලට නොගෙන මාකෙළිය ජලාශය උපරිම මට්‌ටමට පිරෙන තුරු බලා සිට ජලාශයේ බැම්මට හානි සිදුවීම වැළැක්‌වීම සඳහා උපරිම මට්‌ටමේදී වාන් දොරටු විවෘත කිරීමේ ප්‍රතිඵලය වූයේ හිටිහැටියේ ගලා ආ ජලකඳින් පරගොඩ, මෝල්කාව, නිග්ගහ, යටගම්පිටිය හා පාහියන්ගල අවට ගම් රැසක්‌ දරුණු ගංවතුරට යටවීමයි. එම ගංවතුර සමග ජල ප්‍රවාහය වේගවත් වීම නිසා රාත්‍රියේ සමහර අයට ගෙවල් වලින් එළියට වන්නට සිදු වූයේ වහලවල්වල උළු ඉවත්කරගෙනය. ගෙවල්වල දොරවල් අරින්නට බැරි තරමට එකවර ගලා ආ ජලකඳ කඩිනමින් බැස්‌සවීම සඳහා කළුතර දිසාලේකම්වරයාගේ මෙහෙයවීමෙන් මෝය පළල් කරන්නට බුල්ඩෝසරයක්‌ එව්වද බුල්ඩෝසරය මෝය වෙත ළංවන්නට සැතපුම් භාගයක්‌ තරම් තිබියදී මෝය කට දෙපැත්තෙන් අඩි හයසීයක්‌ තරම් කුට්‌ටි ගැලවී මෝය අඩි නවසීයක්‌ තරමට පළල් වූයේ දුටුවන් විශ්මයට පත්කරමිනි. කෙනකු විශ්මයට පත්විය හැකි වුවත් කළු ගඟේ මහා ජල ප්‍රවාහයේ ස්‌වභාවය එයයි. එහෙයින් කළ යුත්තේ කළුගං නිම්නය නිතර ගංවතුර විපත් වලට ලක්‌වීම වළක්‌වා රජරට නියඟය දුරුකිරීම සඳහා කළුගං ජලකඳ වයඹ හා උතුරු මැද ඔස්‌සේ උතුරට ගෙන යැමයි.

අනගාරික ධර්මසේකරතුමා

උපුටා ගැනීම
දිවයින
 

2009/08/02


Related

අනගාරික ධර්මසේකර තුමා 1532378628576764975

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item