ප්‍රචණ්‌ඩ දේශපාලනය සහ අසත්‍ය දේශපාලනය

භාරත ලක්‍ෂ්මන් ඝාතනය වීමත් දුමින්ද සිල්වා මාරාන්තික වීමත් අහම්බයක්‌ ලෙස සැලකිය නොහැකිය. දේශපාලන ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇති වූ මුල් කා...

භාරත ලක්‍ෂ්මන් ඝාතනය වීමත් දුමින්ද සිල්වා මාරාන්තික වීමත් අහම්බයක්‌ ලෙස සැලකිය නොහැකිය. දේශපාලන ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇති වූ මුල් කාලයේ එය භාවිත වුණේ ප්‍රතිවාදියාට එරෙහිවය. නමුත් එය දැන් පක්‍ෂ තුළම ආරාවුල් සඳහාද උපයෝගී වන ආකාරයක්‌ දැකිය හැකිය. මනාප ක්‍රමය විසින් මේ සඳහා අනගිs රුකුලක්‌ දී තිබෙන අතරම වර්තමාන රාජපක්‍ෂ පාලනයේ ප්‍රබලතාව ද ඒ සඳහා තවත් හේතුවක්‌ සපයමින් තිබේ. මීට පෙර පැවැති ශ්‍රී ලනිප මූලික වූ සන්ධානවලදී සියලු දෙනා මූලිකත්වය ලබාදී තිබුණේ එජාපය පැරදවීමේ සටනටය. නමුත් රාජපක්‍ෂ ආණ්‌ඩුව දිනෙන් දිනම වර්ධනය කර ගන්නා ජයග්‍රහණ තුළ සන්ධාන අපේක්‍ෂකයන්ගේ අවශ්‍යතාව විපක්‍ෂය පැරදවීමේ සිට තමන්ගේම පිලේ පුද්ගලයා පරදවා ජයග්‍රහණය කිරීම දක්‌වා මාරු විය.

මෙතැනදී සංවරයක්‌ ඇති දේශපාලකයන් වාග් සංග්‍රාමයකින් තමන්ගේ සටන දියත් කළ අතර අනිකුත් පිරිස්‌ අවි භාවිත කරන තැනට සටන දියත් කළේය. භාරත ගත්තද දුමින්ද ගත්තද ඔවුන් දෙදෙනාම යම් තාක්‌ දුරකට අවිය පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කළේය. මොවුන් දෙදෙනාම ඒ හේතුව නිසාම සමාජයෙන් යම් ගර්හාවකටද ලක්‌වී සිටියේය. භාරත ප්‍රචණ්‌aඩ දේශපාලනයේ නිරත වූයේ දුමින්දට පෙරය. ඒ අර්ථයෙන් ගත් විට භාරත හැඳින්විය හැක්‌කේ දුමින්දට පෙර පරපුරේ ඒ වර්ගයේ අයෙකු ලෙසය.

භාරත ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂයෙනි. ඉන්පසු ඔහු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට එකතු විය. චන්ද්‍රිකා කුමාරතුංග ශ්‍රී ලනිපයට පැමිණෙන විට ශ්‍රී ලමපයේ බොහෝ දෙනකු ද ශ්‍රී ලනිපයට එකතු විය. භාරත ද වැටෙන්නේ ඒ ගණයටය. Z94 මහ මැතිවරණයේදී භාරත පාර්ලිමේන්තුවට තේරී පත් විය.

නමුත් ඉන්පසු අවධියේදී භාරත දේශපාලනයේ ජයග්‍රාහකයකු නොවීය. මියයන අවස්‌ථාව වන විටත් භාරතට ජයග්‍රාහී දේශපාලන චරිතයක්‌ වීමට මහජන කැමැත්ත ලැබුණේ නැත. එසේ වුවත් මිය ගිය භාරත විශාල මහජන ප්‍රසාදයකට හිමිකම් පෑවේය. කොළොන්නාව ආසනය දිනා ගන්නට නොහැකි වූ භාරත මියගිය විට කොළොන්නාව පමණක්‌ නොව අවට පළාත් ද සුදු කොඩි ඔසවා භාරතගේ මරණයෙන් කම්පා වූ බව පෙන්නුම් කළේය. භාරතට ලැබුණු මේ අනුකම්පාවත් සමග අනෙක්‌a පැත්තට භාරත ඝාතනය කළ බවට වන වෛරයක්‌ සමාජය තුළින් දුමින්ද එරෙහිව මතුවී ආවේය. එම වෛරය දුමින්දගේ වෙඩි වැදුණු හිස සහිත සිරුර හරහා ආණ්‌ඩුව වෙතද දිගු විය.

භාරත මරණයට පත්වීමටත් දුමින්ද බරපතළ තුවාල ලැබීමටත් ආණ්‌ඩුව වගකීමක්‌ ඉසිලිය යුතුය. ත්‍රස්‌තවාදය නිමා කිරීමෙන් පසු ආණ්‌ඩුවේ ඊළඟ වගකීම තිබුණේ මෙවැනි තවත් අපරාධවලට ඉඩ නොතැබීමය. ඒ සඳහා ආණ්‌ඩුව යම් මට්‌ටමකින් පියවර නොගත්තාද නොවේ. පවතින තත්ත්වය තුළ පාතාලය මර්දනය කිරීම සඳහා ආණ්‌ඩුව විසින් සෘජු ලෙසද කටයුතු කළේය. පොලිස්‌ විශේෂ කාර්ය බළකාය හරහා පාතාලය මඩින විටදී, අද භාරත - දුමින්ද සිද්ධියේදී පාතාලය මර්දනය නොකරනවා යෑයි ආණ්‌ඩුවට දොස්‌ කියන පුද්ගලයන්ම පාතාල ලෝකයේ සෙන්පතියන්ගේ මානව හිමිකම් ගැන කතා කළේය. එසේ කතා කරමින් පාතාලය මර්දනයට එරෙහි වූ පිරිසම, ආණ්‌ඩුව පාතාල ලෝකයට සංග්‍රහ කරනවා යෑයි ද චෝදනා කරමින් සිටියි. මේ අතින් බලන විට අද වන විට ආණ්‌ඩුව පත්වී තිබෙන්නේ ත්‍රස්‌තවාදය මර්දනය කරන මුල් යුගයේ තත්ත්වයටය. එදා එල්. ටී. ටී. ඊ. යට එරෙහිව ආණ්‌ඩුව ප්‍රහාර දියත් කරන විට, එල්. ටී. ටී. ඊ. යට පහර නොදිය යුතු යෑයි කියූ පිරිස විසින් ම ආණ්‌ඩුව හා එල්. ටී. ටී. ඊ. ය අතර රහස්‌ ගිවිසුමක්‌ ඇතැයි සඳහන් කළේය. නමුත් අද ඒ කතාව කියන්නට කවුරුත් නැත. එල්. ටී. ටී. ඊ. ය සහමුලින්ම ආණ්‌ඩුව විසින් විනාශ කිරීමත් සමග එවැනි කතා කියූවන්ගේ දේශපාලනය ද විනාශ විය. එල්. ටී. ටී. ඊ. ය විනාශ කළ ආණ්‌ඩුව එල්. ටී. ටී. ඊ. ය සමඟ එවැනි ගිවිසුමක්‌ නැති බව ප්‍රායෝගිකව ඔප්පු කිරීමත් සමග එම කටකතාව නැති වුණා පමණක්‌ නොව ඒ කටකතා කියූ අයගේ අනිත් කතාද විශ්වාස නොකරන තත්ත්වයකට රට පත් විය. පාතාලය සමඟ සම්බන්ධයක්‌ ආණ්‌ඩුවට නැතිනම් අද ආණ්‌ඩුව පිළිතුරු දියයුත්තේද එවැනි ආකාරයකටය. ආණ්‌ඩුව විසින් පාතාලය ද මුලින් උදුරා දැමුවහොත් පෙර පරිදිම ඒ තත්ත්වයට රට පත් වනු ඇත. ඒ වගකීම ඇත්තේ ආණ්‌ඩුව අතේය. ඊට අමතරව ආණ්‌ඩුවේ අකැමැත්තකින් තොරව පිස්‌සු නටන මන්ත්‍රීවරු කිහිපදෙනකු ආණ්‌ඩුව තුළ නැත්තේ නොවේ. එම පිරිස විසින් කරන කියන දෑ ආණ්‌ඩුවේ අවසාන ප්‍රගති වාර්තාවට බලපාන්නේ සුළුවට නොවේ. මේ නිසා කඹය කොට වෙන්නට බැඳ ඒ පිරිස මෙල්ල කර ගැනීමේ වගකීම ද ආණ්‌ඩුව සතුය. මනාප පොරය අවසන් කිරීම මෙම ආරාවුල් නිම කිරීම සඳහා ගත හැකි තවත් සාධනීය පියවරකි. ඒ සඳහා අවධානය යොමු කර, මින් පසු පළාත් පාලන මැතිවරණය සමානුපාතික ක්‍රමයට නොව කොට්‌ඨාස ක්‍රමයට තැබීමට ආණ්‌ඩුව පියවර ගෙන තිබේ. මේ සියල්ලටමත් වඩා අද ආණ්‌ඩුව මුහුණදී සිටින්නේ කට කතා අභියෝගයටය.

ජනාධිපති ප්‍රේමදාස යුගයේදී මෙන්ම ජනාධිපති රාජපක්‍ෂ යුගයේදීත් කටකතාවලට සෑහෙන පමණ තටු ලැබී තිබේ. ප්‍රේමදාසට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා විවිධ පරිමාණයේ පුවත්පත් තිස්‌ දෙකක්‌a එකල ප්‍රසිද්ධ විය. එදා ශ්‍රීලනිප හා වමේ පිරිස ඒවා ආශාවෙන් කියවා රස වින්දේය. සමහර එජාප පිරිස්‌ද ඒවා විශ්වාස කළේය. අද රාජපක්‍ෂ ආණ්‌ඩුව මුහුණ දෙන්නේ ද ඒ තත්ත්වයටමය. ප්‍රේමදාසට තරම් විවිධ මට්‌ටමේ පත්තරවලින් ප්‍රහාර එල්ල නොවුවත් වෙබ් අඩවි ගණනාවක්‌ මගින් රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව කටකතා තොග ගණනින් ප්‍රචාරය වෙමින් තිබේ.

භාරත - දුමින්ද සිද්ධියට මුහුණ දීමට වඩා ආණ්‌ඩුවට අභියෝගයක්‌ වී තිබෙන්නේ, එවැනි ප්‍රචාරවලට මුහුණදීමය.

පරණ ශ්‍රී ලංකාකාරයා අමතක කරලා, ඊයේ පෙරේදා යූ. ඇන්. පියෙන් ආපු මිනිහගේ පැත්ත ආණ්‌ඩුව ගත්ත එක වැරැදියි.

දුමින්දට මෙච්චර නටන්න හයිය ලැබුණේ ගෝඨාභයගෙන්. ගෝඨාභය ඉස්‌පිරිතාලෙට ගිහිල්ලා පැය දෙකක්‌ දුමින්ද ළඟ ඉඳලා තියෙනවා.

දුමින්දට වෙඩි වැදුණායි කියන කතාව බොරු. මිනිහා බොරුවට ඉස්‌පිරිතාලෙට වෙලා හැංගිලා ඉන්නවා.

ආදී වශයෙන් දුමින්ද හරහා ආණ්‌ඩුව අප්‍රසාදයට ලක්‌ කරන තැනකට භාරතගේ මරණය කටකතා රාශියකට මඟපාදා තිබේ.

භාරත මෙන් ම දුමින්ද ද ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුනේ ශ්‍රීලනිපයෙන් නොවේ. නමුත් දෙදෙනාම දැන් සිටින්නේ ශ්‍රී ලනිපය තුළය. දෙදෙනා අතර විරසකය පැනනඟින්නේ කොළොන්නාව ආසනයේ සංවිධායකකම වෙනුවෙනි. දුමින්දට කොළොන්නාවේ ශ්‍රී ලනිප සංවිධායක ධුරය ලැබෙන්නේ ආණ්‌ඩුව ඔහුට තිබූ විශේෂ ආදරයක්‌ නිසා නොවේ. අභියෝගයක්‌ ලෙසය. භාරත මහජන නියෝජිතයකු ලෙස ඡන්දයෙන් පරාද වන අතරේම ආසන සංවිධායකයකු ලෙසද අසාර්ථක වී ඔහු නියෝජනය කරන ආසන පරාජයට පත් වන්නට විය. කොළොන්නාව කොහොමටත් වමට බර ආසනයක්‌ නොවීය. භාරත කොළොන්නාවෙන් ඉවත් කර දුමින්දට කොළොන්නාව ලැබෙන්නේ එම අභියෝගය ජය ගැනීම සඳහාය. ඒ අතරේ ම වමට බර ආසනයක්‌ වන රත්මලානේ සංවිධායකකම භාරතට ලබාදීමට ජනාධිපති රාජපක්‍ෂ කටයුතු යෙදවූයේය. නමුත් භාරත එය භාර ගත්තේ නැත. ඉන්පසුව පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්‍ෂකත්වය භාරතට බාරදීමට ජනාධිපති රාජපක්‍ෂ කටයුතු කළත් ඔහු එයද බාර ගත්තේ නැත. ජනාධිපති ලෙස මහින්ද පත්වීමෙන් පසු භාරතට ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය පිරිනැමිණි. ඒ සඳහා ඔහුට ලැබිය යුතු කාර්යාලය තිබුණේ කොල්ලුපිටියේ ග්‍රාමෝදය මධ්‍යස්‌ථානයේ වුවත් ජනාධිපති කාර්යාලයේ භාරතට කාර්යාලයක්‌ ලබා දෙනු ලැබුවේ මහින්ද විසිනි. දුමින්දට අතිරේක ආරක්‍ෂකයන් ලබා දුන්නා යෑයි ආණ්‌ඩුව අද දොස්‌ අසන නමුත්, හිමි නැති මට්‌ටමේ ආරක්‍ෂකයන් පිරිසක්‌ ආණ්‌ඩුව ලබාදී තිබුණේ භාරතටය. භාරතගේ ආරක්‍ෂාව සඳහා ජනාධිපති ආරක්‍ෂක අංශයෙන් පිරිස ලබා දී තිබිණි. භාරත ගැන අද වඩාත් ශෝක වන්නේ චන්ද්‍රිකාවාදීන්ය. එසේ නමුත් භාරතට මන්ත්‍රී ධුරය අහිමි කාලයේදී චන්ද්‍රිකා ආණ්‌ඩුව ඔහුට කිසිදු තනතුරක්‌ ලබා දුන්නේ නැත. ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශකත් වෙඩි කා මළේ නම් අන් අය ගැන කවර කතා ද යන බැණුqම තමන්ට අසාගන්නට හෝ භාරතට තනතුරක්‌ දී තිබුණේ රාජපක්‍ෂ ආණ්‌ඩුවය.

දුමින්ද ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ කළේ එජාපයෙන් වුවත් ඔහු ශ්‍රී ලනිපයට එකතු වන්නේ බංකොළොත් දේශපාලකයකු ලෙස නොව, මනාප සටනේදී ඉදිරියෙන්ම සිටි අයකු ලෙසය. මේ වනවිට තමන්ගේ දේශපාලනයෙන් වැඩි කාලයක්‌ දුමින්ද ගත කර ඇත්තේ ශ්‍රී ලනිපය තුළය. පසුගිය මහ මැතිවරණයේදී කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් දුමින්ද දෙවැනි වූයේ විමල්ට පමණය. අසාධාරණය වන්නේ එවැනි මන්ත්‍රීවරයකුට කොළොන්නාව වැනි වමට බර නොවූ ආසනයක්‌ ලබාදීම මිස කොළොන්නාව ලබාදීම නොවේ. භාරත ලක්‍ෂ්මන්, රේණුක පෙරේරා, අශෝකා ලංකාතිලක වැනි දේශපාලන චරිත ශ්‍රී ලනිපය පැත්තෙන් කොළොන්නාවට සිටියද ඒ කිසිවකුට කොළොන්නාව ජයග්‍රහණය කිරීම තබා මනාප දිනා තමන්ට ජයග්‍රහණය කිරීමේ හැකියාවද නැත. එසේ නම් ජයග්‍රණයක්‌ අපේක්‍ෂා කරන පක්‍ෂයක්‌ කළ යුත්තේ දිනා ගත හැකි අයකුට එම ආසනය ලබාදීමය. දුමින්දට කොළොන්නාව ලැබුණේ එසේය.

දුමින්දට තමන්ගේ ඡන්දදායකයන් ලෙස ප්‍රධාන වශයෙන් සිටියේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පැල්පත්වාසීන්ය. මේ අයගේ සහයෝගය වැඩිපුර තිබුණේ, එජාපය පැත්තටය. එම ජනතාව නියෝජනය කරන, ඔවුන්ගේ සිත දිනාගත් ප්‍රබලයකු ශ්‍රී ලනිපයට සිටියේ නැත. එවන් මොහොතක දුමින්ද ශ්‍රී ලනිපයට ඒම ගැන ශ්‍රී ලනිපයේ ජය පතන අයකු සතුටු විය යුතු කරුණකි.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ විසින් දුමින්දට විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූ බවටද බොහෝ දෙනා කතා විය. ඊට ප්‍රධාන හේතුව වූයේ දුමින්ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රීවරයා වීමය.

දුමින්දට අධීක්‍ෂණ මන්ත්‍රීධුරය ලැබුණේ, නාගරික වතු නිවාස සංවර්ධනය වෙනුවෙනි. එය අයත් වූයේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයටය. නාගරික සංවර්ධන විෂයය ආරක්‍ෂක අමාත්‍යාංශයට එකතු වූ පසු දුමින්ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රීවරයකු බවට පත්විය. එමගින් වතු නිවාසවල සිටින ජනතාව සමඟ නාගරික සංවර්ධනයට එරෙහිව යැමේදී දුමින්ද විසින් විශාල කාර්යභාරයක්‌ ඉටු කළේය. තමන්ගේ සංවිධායකත්වය දරන ආසනය නොවුණ ද කොළඹ මහ නගර සභාව වෙනුවෙන් වතු ජනතාව පන්දහසකට අධික සංඛ්‍යාවක්‌ කොළඹ මහ නගර සභා ඡන්දයේදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ දේශනය සඳහා සුගතදාස ක්‍රීඩාංගණයට රැස්‌ කරවන්නට දුමින්දට හැකි විය. එවැනි ප්‍රයෝජන දුමින්දගෙන් ආණ්‌ඩුවට ලැබුණා විනා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී වීමෙන් දුමින්දට ලැබුණු දෙයක්‌ නැති තරම් ය. වතු නිවාසවල සිටින දුමින්ද හිතවත් පිරිස්‌ අතර පාතාල ලෝකයට සම්බන්ධ පිරිස්‌ද සිටිති. එවැනි කිහිපදෙනකු පසුගිය කාලයේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ පාතාල විරෝධී මෙහෙයුම් මගින් මිය ගියේය. දුමින්දට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් සුවිශේෂ සැලකිල්ලක්‌ ලැබුණේ නම් එවැනි තත්ත්වයක්‌ ඇති විය හැකිද?

භාරත, දුමින්ද ගැටුම කලක පටන් තිබුණ ද, එය උණුසුම් වූයේ මෙවර පළාත් පාලන මැතිවරණයේදීය. මැතිවරණයට පෙර දින රාත්‍රියේදී දුමින්දගේ හිතවත් අපේක්‍ෂකයකු වන රජිත ප්‍රියකරගේ හිතවතකු වන ශාන්ත වල්ගම වෙත භාරත පාර්ශ්වයෙන් වෙඩි තබා ඝාතනය කළේය. එය ගත හැක්‌කේ භාරත පාර්ශ්වය විසින් දුමින්ද පාර්ශ්වයේ අයෙකු ඝාතනය කිරීමක්‌ ලෙසය. නමුත් පොලිස්‌ මාධ්‍ය අංශය ඒ ගැන පැවසුවේ එය දේශපාලන ඝාතනයක්‌ නොව අපරාධකරුවකුට සිදු කරන ලද වෙඩි තැබීමක්‌ ලෙසය. දුමින්ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී නිසා ගෝඨාභයගෙන් සුවිශේෂ සැලකිල්ලක්‌ ලැබේ නම් අවම වශයෙන් එම ඝාතනය භාරත පාර්ශ්වය - දුමින්ද පාර්ශ්වයට කළ වෙඩි තැබීමක්‌ ලෙස පොලිසිය ලවා වාර්තා කිරීමේ හැකියාවක්‌ තිබිය යුතුය. නමුත් තවමවත් එය එසේ වාර්තා නොවිණි. ඒ වෙනුවට සමහර මාධ්‍ය එය වාර්තා කර තිබුණේ දුමින්දගේ පිරිසක්‌ භාරතගේ අයෙකුට කළ වෙඩි තැබීමක්‌ ලෙසය.

දුමින්ද මාරාන්තික තුවාල ලබා සිටින විට ගෝඨාභය ජයවර්ධනපුර රෝහලට ඔහු බලන්නට යැමද බොහෝ දෙනාගේ විවේචනයට ලක්‌වී තිබිණි. මිනිසුන්ගෙන් වැඩ අරගෙන බැරි වුණාම සලකන්නේ නැහැ යෑයි කියමින් භාරතට ආණ්‌ඩුව නොසැලකූ බවට දෙස්‌ දෙවොල් තබන පිරිසම වෙඩි වැදී සිටින දුමින්ද බැලීමට ගෝඨාභය ගිය විට එයට ද දෙස්‌ දෙවොල් තබති. නාගරික සංවර්ධනයේදී දුමින්ද විසින් ගෝඨාභයට සහාය දක්‌වන ලදී. ඒ පමණක්‌ නොව දුමින්ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රීය. දුමින්ද සම්බන්ධයෙන් මහ මෙරක්‌ තරමට ප්‍රශ්න තිබේ යෑයි සිතුවත් ඔහු මරණීය තුවාල ලබා සිටින විට ඔහු බලන්න යැමෙන් ගත යුත්තේ ආරක්‍ෂක ලේකම්වරයා දුමින්ද සමඟ සිටිනවා යෑයි සිතීමට වඩා තමන් සමඟ එකට කටයුතු කළ පුද්ගලයා සමග අමාරු අවස්‌ථාවේ ගෝඨාභය සිටීමේ හොඳ ගුණාංගයය. දුමින්ද හා ගෝඨාභය අතර අයථා කටයුතු සම්බන්ධයෙන් එකඟතාවක්‌ තිබුණේ නම් ආරක්‍ෂක ලේකම්වරයාට තිබුණේ දුමින්ද සමග යටින් සබඳතා පැවැත්වීමටය. නමුත් දුමින්ද හා ගෝඨාභය අතර සම්බන්ධය තිබුණේ උඩිනි. එයම මේ දෙදෙනාගේ සම්බන්ධය කවරාකාරයේ ද යන්න තේරුම් ගත හැකි කාරණයකි. ජනාධිපති ප්‍රේමදාස බෝම්බයට බිලි වූ මොහොතේ රට පුරාම එය ප්‍රචාරය වූයේ ඔහු විසින්ම සැලසුම් කර පුපුරුවා ගත් බෝම්බයක්‌ වැරදීමකින් ඔහුට වැදුණු බවය. එතරම්ම කටකතා වර්ෂාවකින් ප්‍රේමදාස නැහැවී තිබිණි. අද රාජපක්‍ෂ ආණ්‌ඩුව ද තෙමෙමින් සිටින්නේ එවැනි වර්ෂාවකටය. දුමින්ද මාරාන්තික තුවාල ලබා සිටින විටද ඔහුගේ විරුද්ධවාදීන් කියන්නේ, දුමින්ද බොරුවට රෝහල්ගත වී සිටින බවය. එය එසේ නම් ඒ බොරුව සඟවාගෙන සිටිය හැක්‌කේ ටික කාලයකට පමණක්‌ය දුමින්ද පාර්ශ්වය තැබූ උණ්‌ඩයකින් භාරත මිය ගිය බව සත්‍යයක්‌ සේම භාරත පාර්ශ්වය තැබූ උණ්‌ඩයකින් දුමින්ද මාරාන්තික තුවාල ලැබූ බවද ඇත්තක්‌ බව විශ්වාස නොකරන තැනකට, ආණ්‌ඩු විරෝධී පිරිස සිය කටකතා හැකියාව වර්ධනය කරගෙන තිබේ. එවැනි මට්‌ටමේ බොරුවක්‌ කළහොත් එයින් හානියක්‌ වන්නේ දුමින්දට හා ආණ්‌ඩුවටය. දුමින්දගේ ඉදිරි දේශපාලනය මෙන්ම ආණ්‌ඩුවේ දේශපාලනයද විශ්වාස නොකරන තැනකට එමගින් ජනතාව පැමිණෙනු ඇත. කටකතා හැරුණු විට විශ්වසනීය කිසිදු මාධ්‍යයක්‌, අවම තරමේ ආණ්‌ඩු විරෝධී පාර්ශ්වයක මන්ත්‍රීවරයකුවත් නැතහොත් භාරත පාර්ශ්වයේ කිසිවෙක්‌වත් මෙවැනි කතා කියන්නේ නැත. එයම දුමින්ද බොරුවට රෝහල්ගත වී සිටිතැයි යන්න බොරු කළ හැකි කාරණයකි.

භාරතගේ මරණය ඉදිරියේ නෙත් දෙකෙන් කඳුළු ගලා ගියද හදවතින් සතුට උතුරා ගිය පිරිසක්‌ද සිටියේය. ඒ රාජපක්‍ෂ ආණ්‌ඩුව අවසන් කිරීමට තමන්ට අවස්‌ථාවක්‌ ලැබුණා යෑයි සැලකූ පිරිසය. භාරතගේ දියණියගේ ඉදිරියට ඒම එම පිරිසගේ බලාපොරොත්තුව තව වැඩි කරන්නක්‌ විය. භාරතගේ දියණියගේ පෙම්වතා වන්නේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ ගේ පුතණුවන්ය. පියසේන ගමගේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු බවට පත් වූයේ, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුගේ පවුලේ සමීපතම පිරිස්‌ සරත් ෙෆdන්සේකාට සහය දැක්‌වීමේ හේතුව නිසාය. භාරතගේ මරණය ආණ්‌ඩු විරෝධයක්‌ බවට පත්වන්නේ මෙවැනි පිරිස්‌ ද එතැනට එක්‌ වීම නිසාය.

භාරත වෙඩි වැදී මිය යැම සුළුපටු කාරණයක්‌ නොවේ. එය ආණ්‌ඩුවේ වගකීමෙන් මිදුණු කාරණයක්‌ ද නොවේ. නමුත් එයට නියමිත වගකීමේ බරට වඩා අතිශයින් වැඩි බරකින් ආණ්‌ඩුවට පැටවීමට, අසත්‍යයන්a එකතු කර තිබේ. එවැන්නකින් සිදුවන්නේ මෙම පන්නයේ දේශපාලන ප්‍රචණ්‌ඩ ක්‍රියා නැවැත්වීම නොව නව පන්නයේ බොරුව තුළින් දේශපාලනය කිරීමේ වංචනික ප්‍රචණ්‌ඩ පිළිවෙතක්‌ නිර්මාණය වීමය.

මනෝජ් අබයදීර
2011-10-19
දිවයින

Related

මනෝජ් අබයදීර 353625656705726641

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item