වතු දේශපාලනය ආණ්‌ඩුව බිලිගනීද?

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින වතු යනු මේ රටේ පවතින අවසාන මුදා නොගත් ප්‍රදේශ වෙයි. මා කලින්ද කියා සිටි පරිදි මේවා තුළ සිදුවන්නේ...

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින වතු යනු මේ රටේ පවතින අවසාන මුදා නොගත් ප්‍රදේශ වෙයි. මා කලින්ද කියා සිටි පරිදි මේවා තුළ සිදුවන්නේ ජීවත්වීම පමණක්‌ නොවේ. එය තුළ වෙනම ආර්ථියක්‌ ක්‍රියාත්මක වෙයි. මත් කුඩු, හොර මත්පැන්, ගණිකා ව්‍යාපාර ඇතුළු වෙනමම ව්‍යාපාර ගණනාවක්‌ මේවා තුළින් ක්‍රියාත්මක වෙයි. ගමේ සිදුවන්නේ දේශපාලකයා විසින් මිනිසුන් අල්ලා ගැනීම නම් කොළඹ ඇතුළු ප්‍රදේශවල වතු වල සිදුවන්නේ මිනිසුන් විසින් දේශපාලකයන් අල්ලා ගැනීමයි. වතු තුළ තීරණ ගන්නා බලපුළුවන්කාරකම් ඇති උදවියට කොතනින් හෝ දේශපාලන ආවරණයක්‌ ද අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔවුන් යම් දේශපාලකයකු අල්ලා ගත් පසු ඔහුට සියලු සැප ලබාදෙනු ලැබේ. ඕනෑම දේශපාලකයකුට වත්තකට සෙට්‌ වීම යනු ඉටු දේවතාවාගෙන් වරමක්‌ ලැබුණා සේ දැනෙනු ඇත. කොළඹ වතු වල ඕනෑම අවස්‌ථාවක මුළු පැය 24 පුරාම ඕනෑම කාරණයකට තරුණයන් පිරිසක්‌ ගෙන්වා ගත හැක.

ඉකුත් සතියේ මුල්ලේරියාවේදී සිදුවුණු ෙ€දවාචකයෙන් අද කවුරුත් ඉගෙන ගත යුතු පාඩම් කීපයක්‌ ඇත. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචJද්‍ර යනු මගේ ද සගයෙකි. මට ඔහු අවසන් වරට හමුවූයේ පසුගිය අවුරුද්දේ රාජිත සේනාරත්න ඇමැතිවරයා විසින් විටින් විට සංවිධානය කරන "ශ්‍රම අභිමානී" ජාතික සම්මාන උළෙලේදීය. ඒ අවස්‌ථාවේදී ජාතික ශ්‍රම අභිමානී සම්මානය මටත්, සිරස නාලිකාවේ කිංස්‌ලි රත්නායකටත් ලැබිණි. එහිදී කලකට පසු භාරත හමුවූ අවස්‌ථාවේදී ඔහු මට කියා සිටියේ "ඔයාව දැකල මට අතීතය මතක්‌ වුණේ" යන්නයි. ඔහු එය කීවේ 1987-89 ජනතා විමුක්‌ති පෙරමුණේ භීෂණ සමය ගැනයි. එකල ඔහුත් මමත් එක්‌සත් සමාජවාදී පෙරමුණේ සිටියෙමු. ඉන්දු - ලංකා ගිවිසුමට සහයෝගය දැක්‌වූවාය යන කාරණය මත ජ.වි.පෙ. විසින් අප සියලු දෙනාටම මරණ දණ්‌ඩනය නියම කොට තිබිණි. රට පුරාම ඒ මරණ දණ්‌ඩනය ක්‍රියාත්මක කිරීමද කෙරිණි. ඇත්ත වශයෙන්ම ඉන්දු - ලංකා ගිවිසුමට සහයෝගය දක්‌වන නිසා මාවාංශිකයන් මරණවාය යන අදහස ජ.වි.පෙ. විසින් මහ ජනතාවට දුන්නද එවන් වාමාංශිකයන් මැරීමට පටන් ගත්තේ ඊට බොහෝ කලකට පෙර සිටය. ඒ සියලුම වාමාංශික බලවේග සුනුවිසුනු කොට රටේ එකම වාමාංශික බලවේගය බවට පත්වීමට ජ.වි.පෙ. ට තිබුණු වුවමනාව නිසාය. මේ නිසා ඔවුන් තම දෙවැනි සන්නද්ධ කැරැල්ල ආරම්භ කළේ ද බලයේ සිටි එ.ජා.ප. යේ කවුරුවත් ඝාතනය කිරීමෙන් නොව වමේ ක්‍රියාකාරීන් ඝාතනය කිරීමෙනි. ඔවුන් තම දෙවැනි කැරැල්ල පටන්ගත්තේ ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණ ඝාතනය කිරීමෙනි. මා ඒ අවස්‌ථාවේදී මගේ අවසන් උපාධි පරීක්‍ෂණයට පෙනී සිටිමින් සිටි නිසා දයා පතිරණගේ මරණයට සහභාගි වීමට නොහැකි විය. දිනක්‌ මට කොළඹ කොටුව තැපැල් කන්තෝරුව අසලදී නන්දන මාරසිංහ මුණගැසුනි. ඔහු කලක්‌ ජනතා විමුක්‌ති පෙරමුණේ සිටි ප්‍රබල හා වීරෝදාර චරිතයක්‌ මෙන්ම කලාකරුවෙක්‌ හා වමේ ප්‍රසිද්ධ ක්‍රියාකාරිකයෙක්‌ද විය. දයා පතිරණගේ මළගෙදර විස්‌තර මට කීවේ නන්දන මාරසිංහය. ඔහු කී වදනක්‌ මට තවමත් මතකය. ඒ "කොල්ලො පස්‌ කාගෙන හඬා වැලපුන" බවය. ඊට ටික කලකට පසු ජ.වි.පෙ. තුවක්‌කුකරුවන් විසින් නන්දන මාරසිංහට ද වෙඩි තබා ඝාතනය කරන ලදී. එයින් පටන්ගත් වාමාංශික සංහාරය අවුරුදු 3 කට ආසන්න කාලයක්‌ තුළ පැවතුණි. ජ.වි.පෙ. මේ වාමාංශික සංහාරය පටන්ගත්තේ ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණ ඝාතනය කිරීමෙන් වූවා සේම එය අවසන් වූයේ ද 1989 ස්‌වාධීන ශිෂ්‍ය සංගමයේම ඊළඟ නායකයා වූ කේ. එල්. ධර්මසිරි ඝාතනය කිරීමෙනි. ඒ අතරතුර විජය කුමාරතුංග, දේවබණ්‌ඩාර සේනාරත්න, සමසමාජ පක්‍ෂයේ ජෝර්ඡ් රත්නායක, පී. ඩී. විමලසේන ඇතුළු විශාල සාමාජිකයන් පිරිසක්‌ ඝාතනය කරන ලදී. ඇතැම් අය බේරුනේ අනූනවයෙනි. වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ සිරුර තුළ ජ.වි.පෙ. උණ්‌ඩ තවමත් තිබෙනවා විය හැක. මට මතක හැටියට දේව බණ්‌ඩාරට වෙඩි තැබූ තැනදී වික්‍රමබාහු කරුණාරත්න මහතාටත් වෙඩි වැදුනි. ඒ භීෂණයේ තරම කොතෙක්‌ දැයි දන්නේ එය තුළින් ජීවත් වූ අයෙක්‌ පමණි. භීෂණය අවසන් වී අවුරුදු 10 කට ආසන්න කාලයක්‌ ගතවන තුරුත් මට ද කොතැනකටවත් ගොස්‌ ජනේලයකට හෝ දොරකට පිටුපලා වාඩි වීමට නොහැකි විය. මා හැමවිටම වාඩි වූයේ ජනේලයට හෝ දොරට මුහුණලාය.


දිනක්‌ ඝාතකයන් භාරත ලක්‍ෂමන්ගේ ගෙදරටම පැමිණියේය. ඒ ඔහුත් ඔහුගේ සොහොයුරාත් පියාත් කොලොන්නාවේ ගෙදර සාලයේ වාඩිවී සිටින විටය. ටී 56 ගිනි අවියක්‌ සමග දොරකොඩින් මතුවූ ඝාතකයා වෙඩි තැබීමට තුවක්‌කු සූදානම් කරන ඒ තත්පරයේදී භාරතගේ සොහොයුරා හෝ පියා හෝ පැන තුවක්‌කුකරුවා බදාගෙන ඇත. එවිට ගිනි අවිය බිම වැටී ඇත. ඊළඟට වෙන්නේ කුමක්‌ දැයි දැනගත් තුවක්‌කුකරුවා "මාව මරන්න එපා" යෑයි කෑගසා තිබිණි. නමුත් ඒ කියන කොටම ඔහුගේ ඔලුවටම වෙඩි තබා අවසානය. මේ සිද්ධිය සිදුවූයේ කොලොන්නාවේ වුවත් මුළු රට පුරාම සිටින වාමාංශිකයන් කාටත් මහත් කාලකන්නි සතුටක්‌ ගෙන දුන් පුවතක්‌ විය. ඝාතකයා මැරීමට වඩා කාගේත් අවධානය යොමු වූයේ ඒ අවසන් තත්ත්පරයේදී ඔහු අභය දානය ඉල්ලා සිටීම ගැනය. ඝාතකයන්ටත් මර බිය දැනෙනවා නේ දැයි සිතමින් කවුරුත් සතුටු විය. ජ.වි.පෙ. විසින් ඒ භීෂණ සමයේදී ඝාතනය කළ අවසාන වාමාංශික නායකයා වූ කේ. එල්. ධර්මසිරිගේ මරණයට පැමිණ වමේ වීරයෙක්‌ට උපහාර දැක්‌වීමක්‌ වශයෙන් ආචාර වෙඩි මුර පැවැත්වූ අය අතර භාරත ලක්‍ෂමන් ද විය. කොළඹ කනත්තේදී ආචාර වෙඩිමුර තබා අවසන් ගමන් ගිය එකම සිවිල් පුරවැසියා කේ. එල්. ධර්මසිරි විය හැක. භාරත ලක්‍ෂමන් ද එකල වම රැකගැනීමට දිවි පරදුවට තබා ඉදිරිපත් වූ තරුණ නායකයෙකි. ත්‍රස්‌තවාදීන් සමග මුහුණට මුහුණලා සටන් කොට ජීවත් වූ භාරත ලක්‍ෂමන් කිසිදු වැදගැම්මක්‌ නැති තුට්‌ටු දෙකේ ප්‍රශ්නයකට මහ පාරේ වෙඩි කා මිය යැම කිසිවකුටත් පිළිගත හැකි දෙයක්‌ නොවේ. ඒ ගැටුම ඇතිවීමට හේතුව කුමක්‌ද කියාවත් දන්නා කෙනෙක්‌ නැත. බොහෝ පැරැණි වාමාංශිකයන්ද මා සමග කියා සිටියේ මෙවැනි කුණුගොඩවල් වලටත් මිනිස්‌සු මැරෙනවද යන්නයි. මේ මරණින් අපට මේ දේශාලන ක්‍රමය ගැන වෙනමම සිතා බැලීමට අවස්‌ථාවක්‌ උදා වී ඇත. මේ ගැටුමට මුල් වූ භාරතත් දුමින්ද සිල්වාත්

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වතු ආශ්‍රිතව දේශපාලනය කළ උදවියයි. මේ නාගරික වතු වල දේශපාලනය ගංගොඩවල් වල දේශපාලනය කරනවාට වඩා බෙහෙවින්ම වෙනස්‌ය. ගමේ සාර්ථකව දේශපාලනය කළ අයකුට නගරයේ වතු ආශ්‍රිතව දේශපාලනය කළ නොහැක. එයට වෙනමම මානසිකත්වයක්‌ හා හැසිරීම් රටාවක්‌ අවශ්‍ය වෙයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවතින වතු යනු මේ රටේ පවතින අවසාන මුදා නොගත් ප්‍රදේශ වෙයි. මා කලින්ද කියා සිටි පරිදි මේවා තුළ සිදුවන්නේ ජීවත්වීම පමණක්‌ නොවේ. එය තුළ වෙනම ආර්ථියක්‌ ක්‍රියාත්මක වෙයි. මත් කුඩු, හොර මත්පැන්, ගණිකා ව්‍යාපාර ඇතුළු වෙනමම ව්‍යාපාර ගණනාවක්‌ මේවා තුළින් ක්‍රියාත්මක වෙයි. ගමේ සිදුවන්නේ දේශපාලකයා විසින් මිනිසුන් අල්ලා ගැනීම නම් කොළඹ ඇතුළු ප්‍රදේශවල වතු වල සිදුවන්නේ මිනිසුන් විසින් දේශපාලකයන් අල්ලා ගැනීමයි. වතු තුළ තීරණ ගන්නා බලපුළුවන්කාරකම් ඇති උදවියට කොතනින් හෝ දේශපාලන ආවරණයක්‌ ද අවශ්‍ය වෙයි. ඒ සඳහා ඔවුන් යම් දේශපාලකයකු අල්ලා ගත් පසු ඔහුට සියලු සැප ලබාදෙනු ලැබේ. ඕනෑම දේශපාලකයකුට වත්තකට සෙට්‌ වීම යනු ඉටු දේවතාවාගෙන් වරමක්‌ ලැබුණා සේ දැනෙනු ඇත. කොළඹ වතු වල ඕනෑම අවස්‌ථාවක මුළු පැය 24 පුරාම ඕනෑම කාරණයකට තරුණයන් පිරිසක්‌ ගෙන්වා ගත හැක. කොඩි වැල් ඇදීමට, පෝස්‌ටර් ගැසීමට වැනි දේවලට ලොරි ගණන් මිනිසුන් ගෙන්වාගත හැක. බොහෝ අය මත් ද්‍රව්‍ය පාවිච්චි කරන නිසා ඔවුන් වැඩ කරන්නේද සාමාන්‍ය මිනිසුන් මෙන් දෙගුණයක්‌ වේගයෙනි. සාමාන්‍ය මිනිසෙක්‌ දවසකට පෝස්‌ටර් 500 ක්‌ අලවයි නම් කුඩු බොන අයකුට දවසකට 3000 ක්‌ ඇලවිය හැක. දේශපාලකයකුට තම දේශපාලන කටයුතු සඳහා මුදල් පවා වත්ත තුළින්ම සොයා ගත හැක. ඔහුට අවශ්‍ය සියලු දේ කර දීමට වත්තේ සිටින බලපුළුවන්කාරකම් ඇති අයට හැක. ඒ වෙනුවෙන් දේශපාලකයාගෙන් සිදුවිය යුත්තේ පොලිසියට දුරකථන ඇමතුමක්‌ දීම වැනි සුළු දෙයක්‌ පමණි. මෙවැනි ක්‍රමයකට හසුවූ පසු ඕනෑම දේශපාලකයකුට වතුවල උදවිය නැතුව බැරි වනු ඇත. වත්තේ සහයෝගය නැති වුවහොත් තමන්ගේ දේශපාලන දිවිය ද අවසන් වන බවක්‌ ඔවුන්ට දැනෙනනවා විය යුතුය.

ප්‍රේමදාස ආණ්‌ඩුව ද මකබෑවී යැමට එක්‌ ප්‍රධානම කාරණයක්‌ වූයේ මේ වතු සංස්‌කෘතියට නතු වීමයි. ප්‍රේමදාස ආණ්‌ඩුව නැති වීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වූයේ ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි මහත්වරුන්ට කෙනහිලිකම් කොට පක්‍ෂය භේද භින්න වීමයි. නමුත් එය සිදුවූයේ 1992 දීය. 1990 සිටම ප්‍රේමදාස ආණ්‌ඩුවේ බලපුළුවන්කාරකම් අතට ගෙන රජ කරමින් සිටි සොත්ති උපාලි, මාළු නිහාල්, චීනා ඇතුළු පාතාල කල්ලියේ ක්‍රියාකාරකම් නිසා ජනතාව අතර නොසන්සුන්තාවයක්‌ පැතිරෙමින් පැවතුණි. ප්‍රේමදාස මහතාගේ සංවර්ධන ව්‍යාපෘති ගැන කතා කිරීමට වඩා සොත්ති උපාලිගේ ක්‍රියාකාරකම් ගැන කතා කිරීමට මිනිසුන් පෙළඹිණි. ප්‍රේමදාස ආණ්‌ඩුවේ වැටීම පටන් ගත්තේ එතැනිණි. එම පාතාලයන්ගේ වැඩ නිසා තමන්ට සිදුවන පාඩුව දැන දැනත් එය පාලනය කර ගැනීමට ප්‍රේමදාස මහතාට නොහැකි විය. ඒ වත්ත නැතුව ඔහුට දේශපාලනය කිරීමට නොහැකි වූ නිසාය. රට පුරාම පෝස්‌ටර් ගහපන් යෑයි සොත්ති උපාලිට කීවිට ඒ කී පමණින් පෝස්‌ටර් ටික ඇලවෙයි. සෙනඟ ඇදපන් යෑයි කී පමණින් සෙනඟද පැමිණෙයි.

භාරත ලක්‍ෂමන් හා දුමින්ද සිල්වා අතර ඇති වූ ගැටුම, දෙදෙනාගේ මනාප ප්‍රශ්නයකට ඇති වූවක්‌ යෑයි බොහෝ අය සිතුව ද ඔවුන් දෙදෙනා තරග කරන ඡන්දයක්‌ අහලකවත් තිබුණේ නැත. ඔවුන් දෙදෙනාටම කිසිදු ත්‍රස්‌තවාදී තර්ජනයක්‌ නොමැති වුවත් ඔවුන් ගමන් කළේ ආයුධ සන්නද්ධ පිරිස්‌ සමගයි. ඒ ත්‍රස්‌තවාදීන්ට ඇති බිය නිසා නොව එකිනෙකාගේ කණ්‌ඩායම් අතර පවතින එදිරිවාදිකම් නිසාය. කොළඹ වතු වල බලපුළුවන්කාරකම් ඇති අයගේ ගැටුම් ඔවුනොවුන් අල්ලාගෙන සිටින දේශපාලකයන්ගේ ගැටුම් බවටද පත්වෙයි. එතැනදී සිදුවී ඇත්තේ එයයි. දේශාපාලකයන් වතුවලින් ප්‍රයෝජන ගන්නවා යෑයි බොහෝ අය සිතුවද ඇත්තටම සිදුවන්නේ වතු විසින් දේශපාලකයන් ප්‍රයෝජනයට ගැනීමයි.


මේ සිදුවන අගතිය නැතිකර දැමීමට නම් කොළඹ ආශ්‍රිතව ඇති මේ වතු පිළිවෙළක්‌ ඇති ජනාවාස බවට පත්විය යුතුය. පොලිසියට ද ඇතුළුවිය හැකි ආකාරයට විධිමත් මං මාවත් හා නිවාස වලින් යුත් ප්‍රදේශ බවට මේවා පත් වූයේ නම් අද මේ වතු තුළ පවතින සංස්‌කෘතිය බෙහෙවින්ම වෙනස්‌ වනු ඇත. අද අපට ඇසීමට ඇති ප්‍රශ්නය වන්නේ ආණ්‌ඩුව විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වතු වෙනස්‌කරනවාද? නැති නම් වතු විසින් ආණ්‌ඩුව වෙනස්‌ කරන තුරු බලා සිටිනවාද යන්නයි.


මර්වින් සිල්වා සතිපතා රූපවාහිනි කැමරා ගෙන්වාගෙන රඟපාන්නේද මේ රටේ සාමාන්‍ය මිනිසුන් ආමන්ත්‍රණය කිරීමට නොව වතු ආශ්‍රිත පාතාලය ආකර්ෂණය කරගැනීමටය. එක්‌ අයෙක්‌ වතුවල හිත දිනාගැනීමට කරන රඟපෑම නිසා මේ ආණ්‌ඩුවට සිදුවන පාඩුව මෙතෙකැයි කිව නොහැකිය. වතු සංස්‌කෘතිය විසින් ආණ්‌ඩුවක්‌ බිලිගැනීම යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ද යන්න මර්වින් සිල්වාගේ රඟපෑම් වලින් බලාගත හැක. ආණ්‌ඩුවට මෙතැනදී ඇත්තේ විකල්ප දෙකකි. එක්‌කෝ ඔවුන් වත්ත ඉවර කළ යුතුය. නැතිනම් වත්ත ඔවුන්ව ඉවර කරනු ඇත.

-සී.ඒ. චන්ද්‍රප්‍රේම
ඉරිදා දිවයින
2011-10-17

Related

සී ඒ චන්ද්‍රප්‍රේම 5394233297603571832

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item