නිදහස්‌ ලංකාවේ ජාතික ආර්ථිකය ඉදිරියේ පැවැති අභියෝග

  විසිවැනි සියවස ලබන විට බිඳ වැටී තිබූ ලංකාවේ ආහාර නිෂ්පාදනය යම්කිසි දියුණුවක්‌ ලබමින් තිබුණේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම පිණිස බ්...

 විසිවැනි සියවස ලබන විට බිඳ වැටී තිබූ ලංකාවේ ආහාර නිෂ්පාදනය යම්කිසි දියුණුවක්‌ ලබමින් තිබුණේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම පිණිස බ්‍රිතාන්‍ය රජය අවධානයෙන් කටයුතු කිරීමත් දහනව වැනි සියවස අවසාන භාගයේදී ඇති වූ යහපත් දේශගුණික තත්ත්වයත් හේතුකොට ගෙනය. වර්ෂ 1856 දී වගා කරන ලද කුඹුරු වපසරිය අක්‌කර 401000 වූ අතර 1903 වන විට එය අක්‌කර 713000 දක්‌වා වැඩි වී තිබුණි. වී නිෂ්පාදනය බුසල් දශලක්‍ෂ ගණනින් 5.7 සිට 13.50 දක්‌වා වැඩි වීමක්‌ පෙන්නුම් කළේය. 1892 දී ධාන්‍ය බද්ද අහෝසි කරන ලද අතර යටත් විජිතකරණයෙන් පසුව බිඳ වැටුණු ආර්ථිකය යම් පමණකින් හිස ඔසවා පැවතුණි.

පොදු ජනතාව වෙසෙසින්ම නාගරික කම්කරුවන්ගේ ආහාර ප්‍රශ්නය විසඳීම බ්‍රිතාන්‍ය රජයේ මූලික බලාපොරොත්තු වී තිබුණි. ඒ සඳහා මධ්‍යම කෘෂිකර්ම මණ්‌ඩලය ඇතිකරන ලදී. රජයේ තෘණ විද්‍යා දෙපාර්තමේන්තු වශයෙන් තිබූ ආයතනය 1912 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තු යෑයි නම් කිරීමට රජයට සිදුවූයේ මේ ප්‍රවර්ධනය හේතු කොටගෙනය. ඝර්ම කලාපීය කෘෂිකර්මය පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුවූ අතර 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙසට ඩී. එස්‌. සේනානායක මහතා පත්කරන ලද්දේය. ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාරයේ ආරම්භය සනිටුහන් වන්නේ මේ අවස්‌ථාවේදීය. ඩී. එස්‌. සහ ජෝන් කොතලාවල යන දෙදෙනා මින්නේරිය සංවර්ධන ව්‍යාපාරය වෙනුවෙන් විශාල දායකත්වයක්‌ සපයන ලද බව ඉතිහාසයේ ලියෑවී ඇත. අනුරාධපුර ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව උතුර හා නැගෙනහිර පළාත්වලට අවධානයක්‌ එල්ල වූ ප්‍රථම අවස්‌ථාව මෙය වුණි. බ්‍රිතාන්‍ය රජයේ අරමුණ කෙලෙසක වුවද පොදු ජනතාවගේ කුසලතා හඳුනාගෙන ඔවුන්ගේ ආර්ථිකය ඉහළ මට්‌ටමකට ගෙන ඒමට තැබූ මුල් පියවර එය විය. ජාතික ආර්ථිකයක්‌ යන සංකල්පය නාමිකව එදා නොතිබුණ ද එය ප්‍රායෝගික මට්‌ටමින් ක්‍රියාත්මක බවට පත්විය.

1948 වසරේ ලංකාවට දේශපාලන නිදහස ප්‍රදානය කරලීමෙන් පසුව එහි ප්‍රථම කෘෂිකර්ම ඇමැතිවරයා වූයේ ඩඩ්ලි සේනානායක මහතාය. ඉන්පසුව 1952 මැයි මස සිට 1953 ඔක්‌තෝබර් මස දක්‌වා කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන ලද්දේ එවකට සෙනෙට්‌ සභික ඔලිවර් ගුණතිලක මහතාය. 1953 සිට 1956 අප්‍රියෙල් මස දක්‌වා කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය ධුරයට පත් වූයේ කැලණිය මන්ත්‍රී ඡේ. ආර්. ජයවර්ධන මහතාය. 1956 ජනතා ජයග්‍රහණයෙන් පසුව පිලිප් ගුණවර්ධන මහතා මෙම තනතුරට පත්වූ අතර කුඹුරු පනත වැනි ප්‍රගතිශීලී පනත් ඉදිරිපත් කිරීමට එතුමාට හැකිවිය. බණ්‌ඩාරනායක මහතාගේ කැබිනට්‌ටුවේ සංශෝධනයක්‌ 1959 දී සිදුවූ අතර ඉන්පසු කෘෂිකර්ම හා ඉඩම් නම් අමාත්‍ය ධුරයක්‌ ඇති කර එයට මින්නේරිය පාර්ලිමේන්තු මන්ත්‍රී සී. පී. ද සිල්වා මහතා පත්කරන ලදී. එතුමා 1959 මාර්තු මස 10 දින ඉල්ලා අස්‌වූ අතර පසුව විජයානන්ද දහනායක මහතා අග්‍රාමාත්‍ය ධුරය දරමින්ම කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය. 1960 මාර්තු මාසයේ මැතිවරණ සටනින් ජය ගත් ඩඩ්ලි සේනානායක මහතාගේ කැබිනට්‌ටුවේ කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය ධුරයට පත් වූයේ මතුරට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඩී. බණ්‌ඩා මැතිතුමාය. 1960 ජුලි මස මැතිවරණයෙන් මේ රජය පරාජය විය. අනතුරුව පත්වූ සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ රජයේ කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍ය ධුරයක්‌ ඇති කරන ලදී. එම තනතුරට පත්වූයේ සී. පී. ද සිල්වා මහතාය.

1963 දී අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයක්‌ සිදුවිය. ඉන්පසුව කෘෂිකර්ම ආහාර සහ සමුපකාර අමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පීලික්‌ස්‌ ඩයස්‌ බණ්‌ඩාරනායක මහතාය. 1964 දී නැවතත් මේ තනතුරේ වෙනසක්‌ ඇති විය. එය කෘෂිකර්ම හා ධීවර නමින් නාමකරණය විය. පීලික්‌ස්‌ අමාත්‍යවරයා නැවතත් එම තනතුරට පත්විය.

1965 මාර්තු මස පවත්වන ලද සවැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරනලද ඩඩ්ලි සේනානායක මහතාගේ කැබිනට්‌ටුවේ කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය ධුරයට පත් වූයේ එම්. ඩී. බණ්‌ඩා මහතාය. 1965-1970 යුගය කෘෂිකර්මය පිළිබඳ විශේෂිත කාල වකවානුවකි. වගා සංග්‍රාමය නමින් තේමාවක්‌ යටතේ රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය. නමුත් එයට උපදෙස්‌ ලබා ගැනීමට සිදුවූයේ ඇමරිකා එක්‌සත් ජනපදයෙනි. 1968 දී අත්සන් කරන ලද ගිවිසුමකට අනුව කෘෂිකර්මය නවීකරණයට මූමා නම් විශේෂඥයකු ලංකාවට පැමිණියේය. 1970 මැයි 27 දින එවක පැවැති හත් හවුල් රජය බිඳ වැටෙන තෙක්‌ම මෙලෙස විදේශ උපදෙස්‌ මත නව රසායනික කෘෂිකර්මයක්‌ ඇගැයූ පාලනයක්‌ සහ නිලධාරි පෙලැන්තියක්‌ හැඩ ගැසුණාහ. අගමැති ඩඩ්ලි සේනානායක මහතා නිලධාරීන් විසින් රවටාලනු ලැබුවේ යෑයි එකල කතාවක්‌ ද විය. 1970 වර්ෂයේ පිහිටුවනු ලැබූ සමගි පෙරමුණ රජය පොදු ජනතාව තුළ මහත් බලාපොරොත්තු ඇති කරන ලද පාලනයක්‌ විය. 1970 මැයි 31 පත් කරනු ලැබූ සිරිමා බණ්‌ඩාරනායක රජයේ නව කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය ධුරයට පත් වූයේ යටිනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතාය. එතුමා 1977 ජුලි මස 21 දින දක්‌වා එම තනතුර දරන ලද්දේය.

1948 සිට ලංකාවට ගැලපෙන කෘෂි ජාතික ආර්ථිකයක්‌ සකස්‌ කර ගැනීමට කරන ලද උත්සාහය දේශපාලන පක්‍ෂ බල තරගය සහ නව විදේශීය මැදිහත් වීම මත අඩාලව පැවතුණි. සී.පී. ද සිල්වා, පිලිප් ගුණවර්ධන ආදීන් කෘෂිකර්මය පිළිබඳ නව ප්‍රතිපත්තීන් සකස්‌ කරලීමට උනන්දු වූවෝ වෙති. එහෙත් එය නිවැරදිව ජාතික ආර්ථිකයක්‌ නිර්මාණය කර ගැනීමට අවශ්‍ය මාර්ගය තැනීමක්‌ නොවීය. කුඹුරු පනත ප්‍රගතිශීලී යෑයි හැඳින් වුවද එහි අන්තර්ගතව පැවැති ඇතැම් නිර්දේශ මගින් මේ රටේ ග්‍රාමීය පාරම්පරික ගොවිතැනේ බිඳ වැටීමක්‌ සිදුවිය. නව ජනපද කරණය සිංහල සංස්‌කෘතියට නොගැලපෙන ආකාරයට සංවර්ධනය විය. පොදු ජනතාවගේ හසුරු කුසලතා සහ චාලක ශක්‌තීන් ක්‍රමයෙන් ගර්භාවට පත් කොට වෙනස්‌ කරලීමට උත්සාහ කරන ලදී. 1931-1948 යුගයේ පැවැති ගම අස්‌වැද්දීමේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාලව පැවතුණි.

1972 ජනරජය ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමෙන් පසු යටත් විජිත බැමිවලින් මිදී රටේ ස්‌වාධීනත්වය ශක්‌තිමත් කරලීමේ ද ජාතික ආර්ථිකයක්‌ ඇති කරලීමේ ද වගකීමක්‌ සමගි පෙරමුණ රජයට විය. ආචාර්ය එන්. එම්. පෙරේරා ආදීන්ගෙන් එයට යම්කිසි පිටුබලයක්‌ ලැබුණි. එසේම ඒ යුගයේ රට පුරාවටම යම්කිසි සංස්‌කෘතික පිබිදීමක්‌ ඇතිව තිබුණි. රජයේ මාධ්‍යවලට පමණක්‌ සීමාව තිබූ නව සංනිවේදනය නිවැරැදිව සංස්‌කෘතියට සාපේක්‍ෂව හැසිරවීමට බලධාරීන්ට හැකිවිය. 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්‌කරණ පනත මගින් විශාල පෙරළියක්‌ රටේ සිදුවිය. බැංකු රක්‍ෂණ සහ ඛනිජ තෙල් ජන සතුව විසින් ඇතිකර තිබූ විප්ලවය අධිරාජ්‍යවාදීන් නුරුස්‌සන්නක්‌ විය. වරාය ජනසතුව විදේශ යුද කඳවුරු ආපසු ගැනීම ආදිය ක්‍රියාත්මක කරලීමේදී සමගි පෙරමුණු රජයට බලවත් අභියෝගවලට මුහුණ දීමට සිදුවිය.

මේවා මෙලෙස වුවද යටත් විජිත උපදේශකයන්ගේ බලපෑම සහ ඇඟිලි ගැසීම සම්පූර්ණයෙන්ම නවතාලන්නට රජයට නොහැකි විය. නිදසුනක්‌ වශයෙන් පී. එල්. 480 ගිවිසුම යටතේ ලංකාවට ලැබෙන සහනාධාර පෙන්වා දිය හැකිය. මුදල් අමාත්‍යාංශය එන්. එම්. පෙරේරා මහතාට බාරදෙන විටදී විදේශ සම්පත් කාර්යාංශය පමණක්‌ මැතිනිය බාරේ තබා ගෙන තිබුණි. ඒවාට සම්බන්ධ වූයේ පිටස්‌තර උපදේශකයන්ය. එම විස්‌තර බහුතරයකට දැන ගන්නට ද නොලැබුණි. එවකට ඇමරිකානු තානාපති පීටර් හොලන් නිරන්තරයෙන් රජයේ කටයුතුවලට ඇඟිලි ගසන්නට වීමෙන් තත්ත්වය තවත් නරක්‌ විය. අය වැයෙන් පැනවූ ඇතැම් බදු මැතිනියගේ උපදේශකයෙකු වශයෙන් සිටි පණ්‌ඩිතරත්න නම් මහත්මයෙකු විසින් ක්‍රියාත්මක කරලීමට ඉඩ දෙන්නේ නැතැයි වරක්‌ එන්. එම්. පෙරේරා ප්‍රසිද්ධියේ කියා සිටියේය. මේ තත්ත්වයන් මත 1974 වන විට පෙරමුණු රජයේ සමගිය දෙදරා යමින් තිබුණි.

මේ සිදුවීම් ක්‍රියාදාමය පිළිබඳව යළි සලකා බැලීමේදී පොදු ජනතාවගේ අපේක්‍ෂාවන් එකින් එක බිඳ වැටී ගිය ආකාරය පෙන්වා දිය හැකිය. රටේ නිර්මාණශීලීන්හට වෙසෙසි අවස්‌ථාවක්‌ මේ යුගයේ උදාවුණද ඒවා ජාතික ආර්ථිකය තුළ තහවුරු කර ගැනීමට කිසිවකුට නොහැකි විය. සමගි පෙරමුණ රජය යුගයේදී කෘෂිකර්ම නවෝදයක්‌ ඇති වුණද එය සිදුවූයේ එච්. ඩබ්. ගෝල්ඩන් නම් ඇමරිකන් උපදේශකයකුගේ යෝජනා අනුවයි. ජනසතු ව්‍යාපාර නිසා ඛනිජ තෙල් සංස්‌ථාව යටතේ කෘෂි රසායන පවා ගෙන්වා බෙදා හැරීමට කටයුතු කරනු ලැබුවේය. පොහොර සංස්‌ථාවේ ලක්‌ පොහොර අභිමානයෙන් රටට ඉදිරිපත් කරන ලද නමුත් එම ක්‍රියාවලිය මගින් ණය බරින් යුතු ආර්ථිකයක්‌ නිර්මාණය වන බව කිසිවෙකුත් කල්පනා කළේ නැත. දිනෙන් දින රටට ගෙන්වන ලද පොහොර සංඛ්‍යා ලේඛන පරීක්‍ෂා කර බැලූ කල්හි එම යථාර්ථය පැහැදිලි කර ගත හැකිය.

1971 දී වී අලෙවි මණ්‌ඩලය පිහිටුවීම මගින් රටේ වී අස්‌වැන්න සාධාරණ මිලකට රජයට අලෙවි කර ගැනීමට ගොවීන් හට පුළුවන් විය. එසේම ආරක්‍ෂිත තොග රැස්‌කර ගැනීමට රජයට හැකි වීම නිසා ආහාර සුරක්‍ෂිතාවය ද ඇති විය. නමුත් හාල් පොලු මිරිස්‌ පොලු ආදී අන්තවාදී ක්‍රියාවන්ට රට පරිවර්තනය වීම නිසා මේ යහපත් හිතකර ක්‍රියා කලකදී අඩාල විය. වී තැම්බීම වියළීම මෙකල සිදුවූයේ වෙන වෙනමය. ඒ සඳහා දියුණු තාක්‍ෂණයක්‌ ඇති කර ගැනීමේ අවශ්‍යතාවක්‌ ද විය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම නිලධාරිවරයකු ලෙසට සේවය කළ හියුබට්‌ ප්‍රනාන්දු මහතා එකවර වී තම්බන වියළන යන්ත්‍රයක්‌ නිර්මාණය කරන ලද්දේ මේ අතරය. එය නව නිපයුමක්‌ විය. ඉන්දියාවේ පවා එකල එවැනි තාක්‍ෂණයක්‌ අත්හදා බලා නොතිබුණි.

1975 දී ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ විශේෂඥයකු වන විම්බර්ලි නම් පුද්ගලයකු මෙම යන්ත්‍රය පරීක්‍ෂා කර බැලීමට මෙරටට පැමිණියේය. එකී ආයතනයේ සහල් සැකසුම් පිළිබඳ ඉහළම බුද්ධිමතෙකු වූ විම්බර්ලි මෙම යන්ත්‍රයට අගනා සහතිකයක්‌ ලැබ දුන්නේය. එම යන්ත්‍රය ලෝකයේ ඉතාමත් දියුණු ශිල්පයක්‌ රැගත් යන්ත්‍රයක්‌ යෑයි ඔහු කියා සිටියේය. ඒ අනුව එවකට ලංකාවට පැමිණ සිටි රොකපෙලර් පදනමේ උපදේශකවරයා වන විලියම් ගෝල්ඩන්ගෙන් ප්‍රනාන්දු මහතාට කැඳවීමක්‌ ලැබුණි. මේ ඔවුන් දෙදෙන අතර ඇති වූ සංවාදයයි.

ඔබගේ යන්ත්‍රය ඉතා අගනා නිර්මාණයක්‌. පෝඩ් පදනම මගින් ඔබේ පශ්චාත් උපාධිය සඳහා ශිෂ්‍යත්වයක්‌ ලබාදිය හැකියි. ඇමරිකාවේ නැවතී එම උපාධිය සම්පූර්ණ කරලීමට අවශ්‍ය සියලුම පහසුකම් සැලසෙනවා. හැබැයි එයට හිලව් වශයෙන් ඔබගේ නිර්මාණය ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට බාරදිය යුතුයි. ගෝල්ඩන්ගේ යෝජනාවට ප්‍රනාන්දු මහතා එකඟ නොවීය. අනතුරුව කෘෂිකර්ම ඇමැති හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතාගෙන් ප්‍රනාන්දු මහතාට කැඳවීමක්‌ ලැබුණි. එහිදී කෘෂිකර්ම ඇමැතිවරයාගෙන් නියෝගයක්‌ පැනවිණ. ඒ වී තම්බන වියළන යන්ත්‍රය ඇමරිකාවට බාරදිය යුතු බවයි. ප්‍රනාන්දු මහතා මෙයට ද එකඟ නොවුණි. මෙහි ප්‍රතිඵලය වූයේ ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කිරීමේ ලිපිය කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා වන අර්නස්‌ට්‌ අබේරත්න මහතා අතට පත් වීමයි. නමුත් එය ක්‍රියාත්මක කර වීම අධ්‍යක්‍ෂවරයා විසින් කල් අරින ලදී. මේ අතර 1976 දෙසැම්බර් 18 දින ඇරැඹුණු ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ කාර්මික ප්‍රදර්ශනයට පෙර කී යන්ත්‍රයද ඉදිරිපත් විය. මෙම ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි අගමැතිනිය මෙම යන්ත්‍රය දැකීමෙන් අතිශයින් සතුටට පත් වූවාය. ඊළඟ දිනයේ සිය අගමැති කාර්යාලයට ගිය මැතිනිය ඉදිරිපිට වූයේ ප්‍රනාන්දු මහතා වැඩ තහනමට ලක්‌ කරන ලිපියයි. ඇය එම ලිපියේ සටහන් කළේ මෙවැනි වගන්තියෙකි.

එච්. අයි. ප්‍රනාන්දු මහතා සුවිශේෂී නිර්මාණකරුවෙකි. වැඩ තහනම් කිරීමට තරම් හේතුවක්‌ මෙහිදී මම නොදකිමි. මෙම වී තම්බන වියළන යන්ත්‍ර කීපයක්‌ නිපදවා ගොවීන්ට ලබාදිය යුතු යෑයි මම නිර්දේශ කරමි. 1979 දී සමගි පෙරමුණ රජය බිඳ වැටුණු අතර නව රජයේ ක්‍රියා පිළිවෙත ඉදිරියේ මඳක්‌ නිහඬව සිටින්නට ප්‍රනාන්දු මහතාට සිදුවිය. අනතුරුව එවකට ලංකා වානේ සංස්‌ථාව බාරව සිටි මහාචාර්ය පී. ඒ. ඩී. සිල්වා මහතා මෙම යන්ත්‍රය නිපදවීමට භාරගත් අතර එහි නිපදවන ලද මුල්ම යන්ත්‍රය අනුරාධපුර සහල් සැකසුම් ආයතනයට පරීක්‍ෂාවට බාරදෙන ලදී. මෙවකට විපක්‍ෂ නායකව සිටී ඒ. අමිර්තලිංගම් මහතාගේ ගෝල බාලයන් මෙම යන්ත්‍රය ඉන්දියාවට අත්පත් කරදීමේ වෑයමක යෙදී සිටි අතර සමුපකාර සමිතිවලට භාර දෙන ලද වී තම්බන යන්ත්‍ර කීපයේ ක්‍රියාවලිය ද මේ නිසා අතර මඟ නැවතුණි. 1978 දී මෙම යන්ත්‍රය සවි කරන ලද පළුගස්‌දමන සමුපකාරය තුළ වසර තුනක්‌ම නොකඩවා ක්‍රියාත්මක වෙමින් පැවැති බවට එම ආයතනය සාක්‍ෂි දරන අතර රටේ ජාතික ආර්ථිකයට දායක කර ගත හැකි අගනා නිර්මාණයක්‌ විදේශ අත පෙවීම් සහ දේශපාලන නිවටකම් නිසා අභාවයට පත්වූ බව කිව යුතුය.

මෙලෙස 1948 න් පසුව ජාතියේ ස්‌වාධීනත්වය උදෙසා ආරම්භ කරන ලද ආර්ථික ක්‍රියාවලීන් උපන් ගෙයිම විනාශ කරලීමට කටයුතු සැලසුන හැටි ඉතිහාසයේ සැරි සැරීමෙන් අපට ඉගෙන ගත හැකිය. විදේශ මැදිහත්වීම් දැන හෝ නොදැන මෙහිදී ක්‍රියාත්මක වූ ආකාරය වර්තමානයේ වුවද තේරුම් ගත හැක්‌කේ ජාතික ආර්ථිකයක්‌ පිළිබඳව සැබෑ වුවමනාවක්‌ තිබෙන්නකුට පමණි.

මතුගම සෙනෙවිරුවන්
උපුටා ගැනීම
දිවයින
2011-10-03

Related

මතුගම සෙනෙවිරුවන් 193426225330705386

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item