ලොවටම ආදර්ශයක්‌ වන ශ්‍රී ලංකාවේ පැරැණි ප්‍රාදේශීය පාලන අත්දැකීම්

ඇමෙරිකාව, ඉන්දියාව හා බටහිර යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර පිළිබඳ ශ්‍රී ලංකාණ්‌ඩුවේ විසඳුම පළමු ඉදිරිපත් කළ යුතු බවට තානාපති අංශ ...

ලොවටම ආදර්ශයක්‌ වන ශ්‍රී ලංකාවේ පැරැණි ප්‍රාදේශීය පාලන අත්දැකීම්ඇමෙරිකාව, ඉන්දියාව හා බටහිර යුරෝපා රටවල් ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර පිළිබඳ ශ්‍රී ලංකාණ්‌ඩුවේ විසඳුම පළමු ඉදිරිපත් කළ යුතු බවට තානාපති අංශ මගින් නිලනොවන මට්‌ටමින් දැනුවත් කර ඇති අතර එම ප්‍රශ්නය පිළිබඳ ඉන්දීය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර විසඳුම් යෝජනා ඉදිරිපත් කරන්නට සූදානම් වන බැවින් ලොවටම ආදර්ශයක්‌ වන ශ්‍රී ලංකාවේ ඓතිහාසික ප්‍රාදේශීය පාලන අත්දැකීම් ගෙනහැර දැක්‌වීම කාලීන අවශ්‍යතාවක්‌ වී තිබේ. වැව් විසිපන් දහසකට වැඩි සංඛ්‍යාවක්‌ තනා නඩත්තු කරමින් ස්‌වයංපෝෂිත සමාජයක්‌ පවත්වාගෙන යමින් විදේශ ආක්‍රමණ දාසයකට මුහුණදී දේශපාලන, ආර්ථික, සංස්‌කෘතික ස්‌වාධීනත්වය රැකගන්නට සමත්වූ සුවිශේෂ ජනකායක්‌ වන ලක්‌වැසියන් ලොවටම ආදර්ශවත් ප්‍රාදේශීය පාලන ක්‍රමයක්‌ සැකසූ බවට සැකයක්‌ නැත. වැව්, ඇළවේලි, විල් පොකුණු හා උයන්වතු දස දහස්‌ ගණනක්‌ තනා මනාව පවත්වා ගෙන යමින් ජාතික ස්‌වාධීනත්වය රැක ගැනීමේදී ලක්‌වැසි අතිමහත් බහුතර ජනතාව වූ බෞද්ධයන්ට ආධ්‍යාත්ම ශක්‌තිය ලැබුණේ ලෝක නිර්මාපක දෙවියකුට හෝ මිහිපිට කිසිදු බලවතකුට වහල් නොවන නිවහල් අදීන හෙළ බොදු චින්තනයෙනි. ගෞතම බුදුන්වහන්සේ විසින් ආදර්ශවත් පාලන ක්‍රමයක්‌ ලෙස හඳුන්වන ලද ලිච්ඡවින්ගේ සාමුහික පාලන පිළිවෙත මෙන්ම ගාමණීවරුන් හා පාලකයන් මුල්කරගත් සිංහලයන්ගේ සාමුහික ප්‍රාදේශීය පාලනය ගම් සභාව මත පදනම් වූවකි. ගාමණී හා ගමරාල ආදී නම්වලින් හැඳින්වුණ ග්‍රාමරාජ්‍ය නායකයාට උපදෙස්‌ දෙන ගම් සභාව වැව් ඇළ වේලි තනා පවත්වාගෙන යැම සඳහා ජනතාව මෙහෙයවීමේදී ඉමහත් ශක්‌තියක්‌ විය. ගාමණී හා ගමරාලවරුන් ගමේ ජනතාවගේ නායකයන් මෙන්ම හිතවත් ඥතීන්ද විය.
සමගිව සාකච්ඡා කර එක්‌ව තීන්දු ගෙන එකහිතින් විසිරී යමින් ගත් තීරණ සමගිව ක්‍රියාවට නැගූ ලිච්ඡවීන්ගේ ආදර්ශවත් සමූහවාදී රාජධානි ක්‍රමය බිඳ වැටුණේ කොසොල් රජුගේ උපායට අසුවූ ලිච්ඡවි රජ දරුවන් තමන්ගේ සමූහවාදී මූලික පිළිවෙතින් ඈත්වූ නිසාය. වත්මන් ශ්‍රී ලංකාවේ අපද අමෙරිකානු යුරෝපීය හා ඉන්දියානු බලවතුන්ගේ උපායට අසුවී අපේ ඓතිහාසික ප්‍රාදේශීය පාලන අත්දැකීම්වලට පිටුපා ක්‍රියාකළහොත් ලක්‌වැසියන්ගේ අනාගතය අඳුරුවනු ඇත. රට විදේශීය ආක්‍රමණවලට ගොදුරුවූ අවස්‌ථාවල පවා ජාතියේ විමුක්‌තිකාමී බල කඳවුරු වශයෙන් ප්‍රාදේශීය ජනබලය රැකගැනීමට ප්‍රාදේශීය නායකයන්ට හැකිවූයේ, ආර්ථික සංස්‌කෘතික වශයෙන් ස්‌වාධීනත්වය පවත්වාගන්නට තරම් ගම්, නියම්ගම්, පත්තු කෝරල ආදී ප්‍රාදේශීය පාලන සංවිධාන ප්‍රබලවූ නිසාය. රට තුළ රාජ්‍ය නායකත්වය සඳහා අභ්‍යන්තර අරගල ඇතිවූ අවස්‌ථාවල පවා ප්‍රාදේශීය නායකයන් වැඩිදෙනකු බේදවාදී ගැටුම්වලට සම්බන්ධ වූයේ නැත. ඒ පිළිබඳ හොඳම උදාහරණය වන්නේ ගැමුණු, තිස්‌ස දෙසෝයුරන් අතර රාජ්‍ය නායකත්වය සඳහා ඇතිවූ අර්බුදයේදී ගාමණීවරුන්ගෙන් හා පරුමකයන්ගේ නායකත්වයෙන් සැදුණු දසමහ යෝධයින් ප්‍රමුඛ හමුදාව කිසිදු පිළකට එක්‌නොවී මධ්‍යස්‌ථව සිටීමයි. දසමහ යෝධයන් වැඩි දෙනෙක්‌ මෙසේ දහස්‌ සංඛ්‍යාත අනෙකුත් යෝධයන් ගෙන් බොහොමයක්‌ද ප්‍රාදේශීය ජනනායකයෝ වුහ. ප්‍රාදේශීය ජනනායකයන් ගෙන් සමන්විත දස මහ යෝධයන් ප්‍රමුඛ හමුදාව රාජ්‍ය නායකත්ව අර්බුදයේදී මධ්‍යස්‌ථව කටයුතු කළ නිසාම ගැටුම දිග්ගැසුණු විනාශකාරී යුද්ධයක්‌ බවට පත්වූයේ නැත.
ප්‍රාදේශීය හා ජාතික ආධ්‍යාත්මික සංස්‌කෘතික නායකයන්වූ මහා සංඝරත්නයද බේදකාරී අභ්‍යන්තර රාජ්‍ය නායක අර්බුදවලදී මධ්‍යස්‌ථව කටයුතු කිරීම නිසා අර්බුද සමනය කරගැනීම පහසු විය. ඒ පිළිබඳ හොඳම උදාහරණය වළගම්බා රජුත් ප්‍රාදේශීය නායකයන් ගෙන් සමන්විත දේශප්‍රේමී හමුදාවත් අතර ඇතිවූ අර්බුදය විසඳා සමගිය ගොඩනැගීමේදී මහාතිස්‌ස හිමියන් ගෙන් ලැබුණු මාර්ගෝපදේශකත්වයයි. රට විදේශීය ආක්‍රමණවලට ගොදුරුවී අගනුවර ඇතුළු රාජ්‍ය මධ්‍යස්‌ථානය සතුරු බලයට යටවූ අවස්‌ථාවලදී මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබූ දේශප්‍රේමි ජාතික නායකයන්ට ප්‍රාදේශීය නායකයන් එකතු කරගෙන විමුක්‌තිසේනා සංවිධානය කළ හැකිවිය. ඒ පිළිබඳ ප්‍රබලම උදාහරණ මහාවංශ කර්තෘ මහානාම හිමියන්ගේ ආශීර්වාදය හා මාර්ගෝපදේශකත්වය ලැබූ ධාතුසේන කුමාරයා වටා ප්‍රාදේශීය නායකයන් ප්‍රමුඛ විමුක්‌තිකාමී ජනතාව එක්‌වීමයි. මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව ප්‍රාදේශීය නායකයන් ප්‍රමුඛ දේශප්‍රේමී ජනතාව එක්‌සිත්ව එක්‌වීමේ ප්‍රතිඵලය වූයේ දාඨය, පීඨය, පාරින්ද තිරිතර ආදීන් ප්‍රමුඛ පරසතුරන් පරදා කලා බළලු වැව් සාදා කලාවැවේ සිට තිසා වැව දක්‌වා යෝධ ඇළ තනා ඒ මහා ඇළට සම්බන්ධ අතුරු ඇළවල් සිය ගණනක්‌ මගින් කුඩා වැව් සිය ගණනක්‌ පෝෂණය කරවා ලෝක උරුමයක්‌ මෙන්ම ලෝක පුදුමයක්‌ද වූ සීගිරි කලාගාරය කරවීමට තරම් ප්‍රබල ආර්ථික ශක්‌තියක්‌ ගොඩනැගීමයි.
ප්‍රාදේශීය මට්‌ටමින් මෙන්ම ජාතික මට්‌ටමෙන්ද ආධ්‍යාත්මික සංස්‌කෘතික නායකත්වය දැරූ මහා සංඝ රත්නයේ ආශිර්වාදය ලැබූ කීර්ති කුමාරයාට බුද්ධරාජ, මුතුහමුවැසි කීර්ති හා මරාගල බුද්ධ වැනි ප්‍රාදේශීය නායකයන් එකතුකර ගනිමින් නිදහස්‌ විමුක්‌ති කඳවුරු ප්‍රදේශ ගොඩනගමින් පරාජයන්ගේ අත්දැකීම්වලින් ඉගෙන ගනිමින් නැවත නැවතත් සංවිධාන ශක්‌තිය වර්ධනය කර ගනිමින් ඉන්දියන් සාගර කලාපයේ බලවතා වූ මුන්මඩි චෝල මණ්‌ඩල අධිරාජ්‍ය සේනා පරාජය කර මහවිජයබාහු නමින් රජවී නව නිදහස්‌ පොළොන්නරු යුගයක්‌ උදා කිරීමට හැකිවූ බව ඉතිහාස ගතවී ඇත. වනවාසී දිඹුලාගල කාශ්‍යප නාහිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නයේ ආශීර්වාදය ලබා රට එක්‌සේසත් කිරීමට නායකත්වය දුන් මහ පැරකුම්බා රජතුමාද රටපුරා ප්‍රාදේශීය නායකයන් එකමුතු කරගෙන අලුතෙන් ලොකු කුඩා වැව් එක්‌දාස්‌හාරසිය හැත්තෑ අටක්‌ තනවා පැරැණි වැව් තුන්දාස්‌ හාරසිය අසූහයක්‌ පිළිසකර කරවා ගල්විහාර, රන්කොත් විහාර, ලංකාතිලක ආදී විහාර දාගැබ් තනවා ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය හා ආසියාවේ බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය බවට පත්කිරීමට සමත්විය.

කාලිංග මාඝගේ විනාශකාරී ආක්‍රමණයෙන් පොළොන්නරුවත් අනුරාධපුරයත් ඇතුළු රජරටම විනාශ මුඛයට වැටී රටේ ප්‍රමුඛ බලය පරසතුරන් අතට පත්වුවද දේවමැදිහත්පත්තු, වන්නිහත්පත්තු, ඉහළ දොළොස්‌පත්තු, විල්ලිහත්පත්තු ආදී වශයෙන් වූ නායක හිමිවරුන් ගේත් ප්‍රාදේශීය නායකයන් ගේත් සහයෝගයෙන් සත්කෝරලවාසීන් එකමුතු කරගත් දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ නායකත්වයෙන් සමෘද්ධිමත්, සාහිත්‍ය කලාදියෙන් පොහොසත් දඹදෙණි යුගය උදාකළ හැකිවිය. වී ගොවිතැනින් ලත් දියුණුව නිසාම බත්කෝරලය ලෙසින් ද ප්‍රකට වූ සත්කෝරලය දඹදෙණි රාජධානියේ පදනම වූ බව ඓතිහාසික සත්‍යයකි. දඹදෙණි රාජධානිය ජාවකයන්ගේ හා ආර්ය චක්‍රවර්තිවරුන්ගේ ආක්‍රමණවලට ලක්‌වුවද ගම් හා පත්තු ආදී ප්‍රදේශීය නායකයන් ප්‍රමුඛ ජනතාව සමග එක්‌වී කුරුණෑගල යුගයක්‌ උදා කරන්නට හතරවැනි පැරකුම්බාවන්ට හැකිවිය. කුරුණෑගල රාජධානියද විදේශ ක්‍රමණිකයන්ගේ ප්‍රහාරයට ලක්‌වෙද්දී ගම්පොළ හා දැදිගම මුල්කරගෙන නව රාජධානි ගොඩනගන්නට තුන්වැනි බුවනෙකබාහුට හා දැදිගම පැරකුම්බාට හැකි වූයේ, කිසිම පරසතුරු ආක්‍රමණික බලයක ආධිපත්‍යය පිළිනොගත් ග්‍රාම නායකයන්, පත්තු නායකයන් හා කෝරල නායකයන් ප්‍රමුඛ විමුක්‌තිකාමී ජනබලය නිසාය. වීදාගම මහ නාහිමියන්ගේ ආශිර්වාදය ලබා ගමරාලවරුන්, කෝරාලවරුන් හා රටේ රාලවරුන් ඇතුළු ප්‍රාදේශීය නායකයන් ප්‍රමුඛ දේශප්‍රේමී විමුක්‌තිකාමී ජනතාව එක්‌රැස්‌ කරගත් පැපිලියානේ කුමාරයාට හයවැනි ශ්‍රී පැරකුම්බා නමින් රජවී රට එක්‌සේසත් කළ හැක්‌වූයේ රයිගම්, පස්‌දුන්, හේවාගම්, සල්පිටිකෝරළ නායකයන් හා ගම් නායකයන් ප්‍රමුඛ ජනතාව වීර අලකේශ්වරගේ ආධිපත්‍යය නොපිළිගත් හෙයිනි.

රට එක්‌සේසත් කර සමෘද්ධිමත්, සාහිත්‍ය කලාවන් ගෙන් පොහොසත් සුරපුරය පරදන ජයවර්ධනපුරය හා පැරැණි නොවන කැලණීපුරය වැනි දියුණු නගර සහිත ස්‌වයංපෝෂිත ගම්මානවලින් සැදුම්ලත් නව යුගයක්‌ උදා කරන්නට හයවැනි ශ්‍රී පැරකුම්බාවන්ට හැකි වූයේ ගම්පත්තු හා කෝරළ වශයෙන් එක්‌වී සිටි මහා සංඝරත්නයේත් ප්‍රාදේශීය නායකයන් ප්‍රමුඛ දේශප්‍රේමී ජනතාව ගේත් ශක්‌තිය නිසාය. මුළු මහත් ඉන්දියානු අර්ධමහාද්වීපයම තමන් යටතට ගෙන ඉන්දියන් සාගර කලාපය පුරා ආධිපත්‍යය පැතිරවූ රාජරාජගේ මන්මඩි චෝලමණ්‌ඩල ආක්‍රමණය ඇතුළු විදේශ ආක්‍රමණ දාහතරකින් රට බේරා ගැනීමේදී සිංහල බෞද්ධ ජනනායකයින්ගේ පදනම වූයේ නිවහල් ආදීන ගම්, නියම්ගම්, පත්තු, කෝරළ හා රටවල් වශයෙන් වූ ප්‍රාදේශීය පාලනය හා සම්බන්ධ වූ ජන බලයයි.

ලතින් ඇමරිකාවේ සුවිශාල රාජ්‍යය වූ බ්‍රසීලය දශක කීපයකදී පෘතුගීසීන් යටතට පත්වී මායා, ඉන්කා, ඇස්‌ටෙක්‌, මෙස්‌ටිසෝ ආදී දේශීය ජන කොටස්‌ බ්‍රසීලයේ සුළුතරය බවට පත්වී බහුතරය පෘතුගීසි භාෂාව කතා කරන, කතෝලික ආගම අදහන ජනකායක්‌ බවට පත්වෙද්දී පුංචි ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවට ශත වර්ෂ එකහමාරක්‌ තිස්‌සේ පෘතුගීසීන් සමඟ මහ සටන් කරමින් දේශපාලන, ආර්ථික සංස්‌කෘතික ස්‌වාධීනත්වය රැකගත හැකි වූයේ ප්‍රාදේශීය වශයෙන් ජනතාව සතුව පැවැති බලය නිසාය. කෝට්‌ටේ ධර්මපාල කුමාරයා දොන් ජුවන් ධර්මපාල නමින් පෘතුගීසී රූකඩ රජකු බවට පත්වී කෝට්‌ටේ රාජධානිය පෘතුගාලයේ ජෝන් රජුට තෑගි ඔප්පුවකින් ලියා පවරා දුන්න ද ගමරාලවරු, පත්තු නායක, කෝරාලවරු, රටේ රාලවරුන් හා වන්නිනායකයන් ප්‍රාදේශීය ස්‌වාධීනත්වය රැකගැනීම සඳහා ජනතාවට නායකත්වය දුන්හ. පෘතුගීසීන්ට බස්‌නාහිර, දකුණු හා වයඹ මුහුදුකරය යටත්කර ගත හැකිවූවත් සත්කෝරලය, රයිගම් කෝරලය, හේවාගම් කෝරලය, පස්‌දුන් කෝරලය, මොරවක්‌ කෝරලය, හිනිදුම් පත්තුව හා ගිරුවාපත්තුව යටත් කරගත නොහැකි වූයේ ගමරාලවරුන්, පත්තු නායකයන්, කෝරාලවරුන් ඇතුළු ප්‍රාදේශීය නායකයන් වටා එක්‌ වූ විමුක්‌තිකාමී දේශප්‍රේමී ජනතාව පරංගි ආධිපත්‍යය ප්‍රතික්‍ෂේප කළ නිසාය. ලන්දේසීන්ට ද අවුරුදු සියයක්‌ ගතවනතුරුත් රටේ මුහුදුකරයෙන් ඈතට බලය පැතිරවිය නොහැකිවූයේ ප්‍රාදේශීය නායකයන් වටා එක්‌ වූ විමුක්‌තිකාමී දේශප්‍රේමී ජනබලය නිසාය. ප්‍රාදේශීය ජන බලයට ආර්තික හා සංස්‌කෘතික ශක්‌තිය ද තිබූ බවට හොඳම උදාහරණය සත්කෝරලයයි. ඉර නොබස්‌නා ලෝක අධිරාජ්‍යයක්‌ ගොඩනැඟූ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ට ද සත්කෝරලයත්, වන්නිකරයත්, රජරටත්, දිගාමඩුල්ලත් තමන්කඩුවත් යටත් කරගත හැකිවූයේ 1817 මහා විමුක්‌ති සටනේදී මාස හයක්‌ තුළ සිංහල ජනගහනයෙන් දහයෙන් පංගුවක්‌ සමූහ වශයෙන් ඝාතනය කර, ගෙවල්, කුඹුරු, වතුපිටි ගිනි තබා ලක්‍ෂ ගණන් ගවයන් මරා දේශප්‍රේමී ජන බලයට පදනම් වූ ස්‌වයංපෝෂිත ආර්ථිකය විනාශ කර දැමීමෙනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී බලයට රටම යටවනතුරු දෙදහස්‌ තුන්සිය වසරක්‌ තිස්‌සේ ජාතික ස්‌වාධීනත්වය රැකගෙන ආර්ථික, සංස්‌කෘතික නිවහල්භාවය පවත්වාගත හැකි වූයේ ගාමණීවරුන්, පරුමකයන්, පත්තුනායකයන්, කෝරාලවරුන් හා දිසාවේවරුන් ආදීන්ගේ නායකත්වයෙන් ප්‍රාදේශීය පාලන සංවිධානය නිවහල් අදීන ජනබලයක්‌ ලෙස පවත්වාගෙන යැමට සමත් වූ නිසාය.

අතීතයේ රටේ මහරජුට සිටියේ අගනුවර ආරක්‍ෂා කරන හමුදා පිරිසක්‌ හා රජුගේ ජීවිතාරක්‍ෂක හමුදා පිරිසක්‌ පමණි. විදේශාක්‍රමණයක්‌ සිදු වූ වහාම ගමරාලවරුන් කෝරලවරුන් ආදී ප්‍රාදේශීය නායකයන් දේශප්‍රේමී ජනසේනා පිරිවරාගෙන කෝරල කොඩි රැගෙන රට රැකීම සඳහා ඉදිරියට ඒම ජාතික සම්ප්‍රදාය විය. මහවැව් හා යෝධ ඇළවල් තැනීමේදී රජු රාජකාරි මට්‌ටමින් රටවැසියන් සේවයට කැඳවුවද ගම් මට්‌ටමේ, පත්තු මට්‌ටමේ හා කෝරල මට්‌ටමේ කුඩා හා මධ්‍යම ප්‍රමාණ වැව් ඇළවේලි තනා ඒවා නඩත්තු කරන ලද්දේ ප්‍රාදේශීය ජනනායකයන්ගේ මෙහෙයවීමෙන් ගම්සභා ආදී වශයෙන් වූ ප්‍රාදේශීය ජනතා සංවිධානවල සහභාගිත්වයෙනි. ගම කුඩාම ප්‍රාදේශීය බලප්‍රදේශය වූ අතර දසගම් (පත්තු) නමින් හැඳින්වෙන බලප්‍රදේශ රුහුණු මාගම්පත්තු, පානම්පත්තු, උඩුගහපත්තු, ඊච්චලම්පත්තු, ගිරුවාපත්තු, හිනිදුම්පත්තු ආදී වශයෙන් විවිධාකාර විය. සිංහල වන්නි නායකවරුන් මෙන්ම මෑත අතීතයේ උතුරු වන්නියේ දෙමළ වන්නියාර්වරු ද වූහ. යාපනය, මන්නාරම හා මඩකලපුව පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට යටත් වෙද්දී වන්නියාර්වරුන් ප්‍රමුඛ උතුරු වන්නිකරයේ ජනතාව යටත් නොවූහ.

අදටත් අවශ්‍ය වන්නේ කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, මහනුවර හා යාපනය නායකයන් නව යටත් විජිතවාදී සැලසුම්වලට යටත් වුවත් යටත් නොවන නිවහල් අදීන ප්‍රාදේශීය නායකත්වයක්‌ සහිත ජනබලයකි. විමුක්‌ති සටන් මර්දනය කිරීම සඳහා වැව් ඇළවේලි බිඳ දමා වැව් මැදින් පාරවල් දැමූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේ පටන් නිදහස ලබාගත හැකි වූ හැටතුන් වසරකට පසුවත් වැව් දොළොස්‌ දහසක්‌ පමණ අඩ වශයෙන් ගොඩවී තවත් වැව් පහළොස්‌ දහසක්‌ පමණ නටබුන් වී ඇළවේලි කැඩී බිඳී ඇති හෙයින් වැව් හදා ගම් හදන ප්‍රාදේශීය නායකත්වයක්‌ අවශ්‍යය. එසේම ජාතිවාදී, පන්තිවාදී, පක්‍ෂවාදී ත්‍රස්‌තවාදයන් උපයෝගි කරගෙන නිදහස්‌ රටවල් තුළ ආධිපත්‍යය පතුරුවාගන්නා නව යටත් විජිතවාදයට එරෙහිව රටේත් ජනතාවගේත් ආරක්‍ෂාව හා ආර්ථික, සංස්‌කෘතික දියුණුව සඳහා ක්‍රියාත්මක වන ප්‍රාදේශීය පාලන සංවිධාන ක්‍රමයක්‌ ශ්‍රී ලංකාවේ ඉතිහාස අත්දැකීම් පදනම් කරගෙන ගොඩනඟා ගත යුතුය. පත්තු හා කෝරල මෙන්ම ගම්වල ද සීමා සැකසුනේ ස්‌වාභාවික ජල මාර්ග, වන බිම්, කඳුගැට, වැව්, විල් හා ඇළවේලි පදනම් කරගෙනය. වර්තමාන ශ්‍රී ලංකාවට ද අවශ්‍ය වන්නේ ජනතාවගේ ආර්ථික, සංස්‌කෘතික අභිවෘද්ධියත්, ජනතාවගේ ආරක්‍ෂාවත්, රටේ භූමි ප්‍රාදේශීය අඛණ්‌ඩතාවත් සුරැකෙන ප්‍රාදේශීය පාලන ක්‍රමයක්‌ මිස ජාතිභේදවාදී පළාත් බෙදීමක්‌ හෝ තවත් තමිල්නාඩුවක්‌ නොවේ. ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේ මෙන් තමිල්නාඩුවක්‌ ඇති වුවහොත් වැඩි කල් නොගොස්‌ම එය තමිල් ඊළම බවට පත්වනු ඇත.

ශ්‍රී ලංකාවේ මෙන් දිගු ඉතිහාස ක්‍රියාදාමයක්‌ තුළින් ගොඩනැඟුණු ප්‍රාදේශීය පාලන ක්‍රමයක්‌ පිළිබඳ අත්දැකීම් නැති ඇමෙරිකානු නායකයන් සමඟ එක්‌වී බටහිර යුරෝපා බලවතුන් ලක්‌වැසි අපෙන් ඉල්ලන්නේ කුමක්‌ද? අධිපතිවාදී බටහිර සමාජයේ ප්‍රධානතම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය වූ හිලරි ක්‌ලින්ටන් මහත්මිය මෑතකදී කළ ඉන්දියානු සංචාරයේදී ඒ තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා හමු වූ අවස්‌ථාවේ කියා සිටියේ ශ්‍රී ලංකාවට ද ගැලපෙන්නේ ඉන්දියානු ආදර්ශය බවයි. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සඳහා ඉන්දියානු ආදර්ශය අනුව තමිල්නාඩුවක්‌ බිහිකළොත් එය ශ්‍රේෂ්ඨ ඉන්දියානු ජනනායක මහත්මාගාන්ධිගේ මාර්ගෝපදේශකත්වය අපේ රටේදී ද ප්‍රතික්‍ෂේප කිරීමක්‌ වනු ඇත. ජාති, ආගම් හා භාෂා වශයෙන් ඉන්දියාව භේදභින්න වීම වැළැක්‌වීම සඳහා ප්‍රාදේශීය, ආර්ථික, සංස්‌කෘතික සංවර්ධනයට මුල් තැන දෙන ග්‍රාම රාජ්‍ය දහස්‌ ගණනක්‌ රට පුරා පිහිටුවීම ගාන්ධිතුමාගේ යෝජනාව විය. ගාන්ධිතුමාගේ අකල් මරණයෙන් පසු යුරෝපියානු ආදර්ශයන් අනුව කටයුතු කළ ඉන්දියාව දකුණේ තමිල්නාඩු, ආන්ද්‍ර, කර්ණාටක හා උතුරේ බෙංගාලි, ඇසෑම්, පංජාබ් ආදී වශයෙන් ජාති හා භාෂා අනුව කළ ප්‍රාන්ත බෙදීමෙන් ඉන්දියානු ජනතාවගේ ප්‍රාදේශීය ආර්ථික, සංස්‌කෘතික සංවර්ධනයට අදාළ ප්‍රශ්න විසඳී නැත. එහෙයින් අපට අවශ්‍ය වන්නේ අවුරුදු දෙදහසකට වැඩි දිගු කලක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට හා අභිවෘද්ධියට හේතු වූ පැරණි ප්‍රාදේශීය පාලන අත්දැකීම් පදනම් කරගත් නව නිර්මාණශීලී ප්‍රාදේශීය පාලන පිළිවෙතකි. එය අපේ යුගයේ යථාර්ථයන්ට අනුකූලව ග්‍රාම රාජ්‍ය හා නගර රාජ්‍ය වශයෙන් ප්‍රාදේශීය ජනතා ප්‍රශ්න විසඳෙන පිළිවෙතක්‌ විය යුතුය. එය ශ්‍රේෂ්ඨ ඉන්දියානු ජන නායක මහත්මා ගාන්ධිගේ ආදර්ශය අනුව යැමක්‌ වන හෙයින් කිසිම ඉන්දියානුවකුට එයට විරුද්ධ විය නොහැක. එම පිළිවෙත මහා කාරුණික ගෞතම බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට ද අනුකූල වන හෙයින් ආසියාවට මෙන්ම ලොවටම ආදර්ශයක්‌ වනු නිසැකය. බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වලින් පෝෂණය වූ මහත්මා ගාන්ධි විසින් ද යෝජනා කරන ලද ග්‍රාම රාජ්‍ය ක්‍රමය තුළින් සැබෑ ප්‍රාදේශීය ජන නායකයන් බිහිවන හෙයින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ග්‍රාම රාජ්‍ය තුළ පාතාල කල්ලි හෝ ජනතාව බියගන්වන යකුන්, භූතයන් ද බිහි නොවේ. ඉතිහාස අත්දැකීම් ඔස්‌සේ ඉදිරියට යන නිර්මාණශීලී මාවතේ ජය නිසැකය.

-අනගාරික ධර්මසේකර
උපුටා ගැනීම
LankaCnews

2011-09-09

Related

අනගාරික ධර්මසේකර තුමා 6624249568201354962

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item