අපේ යුගයේ ජාතික ප්‍රකාශන මාධ්‍යයවූ "දිවයින" රැක ගත යුතු ජාතික වස්‌තුවකි

ජාතියේ අනුත්තර ගුරුවරයාණන්වූ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ මාර්ගෝප දේශකත්වයෙන් දේවානම් පියතිස්‌ස රජතුමාගේ නායකත්වයෙන් වැවයි දාගැබයි...

ජාතියේ අනුත්තර ගුරුවරයාණන්වූ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ මාර්ගෝප දේශකත්වයෙන් දේවානම් පියතිස්‌ස රජතුමාගේ නායකත්වයෙන් වැවයි දාගැබයි ගමයි පන්සලයි මුල්කරගෙන ඇරඹුණු විශ්වන්තරවාදී සංවර්ධන ක්‍රියාදාමයේ ඓතිහාසික ප්‍රකාශනය බවට පත්වූයේ මහාවංශයයි. හෙළ බොදු ආර්ථික සංස්‌කෘතික සංවර්ධන ක්‍රියාදාමය කුළු ගැන්වුණු මහාවංශය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් දක්‌වා අඛණ්‌ඩව ලියෑවිණි. වැව්, ඇළ වේලි, විහාර, දාගැබ් තනමින් චිත්‍ර මූර්ති කරමින් ලෝක පූජිත බුදු පිළිම නෙළමින් කොතෙකුත් විදේශ ආක්‍රමණ වලට මුහුණ දෙමින් හෙළ බොදු ජාතික සංස්‌කෘතික උරුමය රැකගෙන ඉදිරියට ගෙන ආ අයුරු දේශප්‍රේමි ජනහදවත් පුබුදුවාලන අන්දමින් ගෙනහැරපාන දීපවංශ, මහාවංශ, ථූපවංශ ආදී වංශ කථාවන් ශ්‍රී ලංකාවේ ඉතිහාසයට මෙන්ම ආසියාවේ ඉතිහාසයට ද අලෝකයක්‌ වී ඇත. ඒ අලෝකයෙන් පසුගිය දසක තුනක කාලය තුළ ජාතිය පණ ගන්වන ලද්දේ "ඉරිදා දිවයින සංග්‍රහය" මගින් යෑයි කීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

වංශ කථාවල ආලෝකයත් සමඟ සිදත් සඟරා, පූජාවලී, සද්ධර්ම රත්නාවලී, අමාවතුර, බුත්සරණ, නිකාය සංග්‍රහය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරා, ගුත්තිල කාව්‍ය, කාව්‍යශේඛර, සැලලිහිණි, කෝකිල, මයුර, පරෙවි, හංස ආදී සංදේශ කාව්‍ය, ලෝකෝපකාර, සුභාෂිත, සාරාර්ථ සංග්‍රහ ආදී නිර්මාණ මගින් ජාතික චින්තනය පෝෂණය කරමින් ජනතා සිත්සතන් පණගන්වමින් ගෙන ආ හෙළ ජාතික උරුමයේ ප්‍රකාශනයන් ඉර නොබස්‌නා ලෝක අධිරාජ්‍යයේ ආධිපත්‍යය මගින් වුවද අවසන් කළ නොහැකි විය. ඒ බව අධිරාජ්‍යවාදී ආධ්‍යාත්මික සංස්‌කෘතික ආධිපත්‍යයට එරෙහිව මහාවාද පවත්වමින් දුර්වාද හෘද විදාරණ (පංචමහාවාද වාර්තා) වශයෙනුත් දැය පුබුදු කළ අනගාරික ධර්මපාලතුමන්ගේ දේශන ලෙසිනුත් "සිංහල බෞද්ධයා", "සරසවි සඳරැස" හා "ලක්‌මිණි පහණ" ආදී පුවත්පත් ආකාරයෙනුත් ජනරංජනය කිරීමෙන් ඉතිහාසගත වී ඇත. ජාතික සංස්‌කෘතික පුණර්ජීවනය පදනම් කරගත් අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයේ දේශපාලන ප්‍රතිඵලය බවට පත්වූයේ පනස්‌හයේ ජනතා ජයග්‍රහණයයි.

පනස්‌හයේ ජනතා ජයග්‍රහණය කණපිට හරවමින් නවයටත් විජිතවාදී විවෘත ආර්ථික දොරටු ඇරදැමූ තැන් පටන් ඇතිවූ විනාශයෙන් රට බේරා ගැනීම සඳහා ජාතිය පණගැන්වූ පුවත්පතක්‌ ලෙස "ඉරිදා දිවයින සංග්‍රහය" එළිදැක්‌වීම ජාතිහිතෛශී දේශප්‍රේමී ශාසනමාමක ජනතාවගේ භාග්‍යයක්‌ විය.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරිකයෙකුවූ උපාලි විජයවර්ධන මහතාගේ බුද්ධිමත් ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් දයාසේන ගුණසිංහයන්ගේ නිවහල් අදීන කර්තෘත්වයෙන් මහා ජාතික පුවත්පතක්‌ බවට පත්වූ "ඉරිදා දිවයින" ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව කියවන සාරසංග්‍රහය බවට පත්විය. ඉරිදා දිවයින සංග්‍රහය විදේශගත සිංහලයන්ද ආකර්ෂණය කළ දේශප්‍රේමී ජාතික ප්‍රකාශනය බවට පත්වූයේ කාලීන අවශ්‍යතාවක්‌ ඉටුකරමිනි.

මුලදී දෙමළ ඊළාම් බෙදුම්වාදයට ආධාර අනුබලදුන් දකුණු ආසියාතික කලාපීය බලවතාවූ ඉන්දියාවේ අධිපතිවාදයට එරෙහිවත් පසුව ඊළාම් කොටි ත්‍රස්‌තවාදයට ආධාර අනුබලදුන් නව යටත් විජිතවාදී බලවේගයන්ට එරෙහිවත් ජාතිය අවදිකළ ප්‍රකාශනය ලෙස ඉරිදා දිවයින සංග්‍රහය හා දිනපතා දිවයින පුවත්පත් මගින් සිදුකළ මහා ජාතික මෙහෙවර දෙවැනිවන්නේ යුගයෙන් යුගයට විදේශ ආක්‍රමණික බලවේගයන්ට එරෙහිව ලියෑවුණු සිංහලේ වංශකථාවලට පමණකි. දිවයින ඉරිදා සංග්‍රහය හා දිනපතා 'දිවයින' මගින් දේශප්‍රේමී ජාතික ලේඛකයන්ගේ ලිපි ලේඛන ජනතාව අතරට ගෙනයමින් කොටි ත්‍රස්‌තවාදයෙන් බැටකෑ ජනතාව මුහුණ පෑ දුක්‌දොම්නස්‌ වධවේදනා හා ත්‍රස්‌තවිරෝධී ජයග්‍රහණ නිවැරදිව වාර්තා කරමින් ඉටුකළ මහා මෙහෙවර නිසා නොවන්නට අධිරාජ්‍ය හවුල්කාරී දෙමළ ඊළාම් ත්‍රස්‌තවාදය මගින් ශ්‍රී ලංකාව දෙකඩකර සිංහලේ පැවැත්ම අනතුරට හෙළනු නිසැකය.

යාපනය කොටි ත්‍රස්‌තවාදයෙන් මුදාගන්නටත් කොටින්ගේ විනාශකාරී ප්‍රහාරයන්ගෙන් රට දෙකඩවීම වැලැක්‌වීම සඳහා මල්ටිබැරල් ආදී ප්‍රබල අවිගෙන්වා හමුදා බළමුළු තරකරන්නටත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියටද හැකිවූයේ ඇගේ නායකත්වයෙන් දියත්වූ සුදු නෙළුම් ව්‍යාපාරයේත් බෙදුම්වාදයට වාසි සලසන පැකේජයේත් වැරදි පෙන්වාදෙමින් හමුදා ශක්‌තිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් දිවයින මගින් ඉටුකළ මහා මෙහෙවර නිසාය. බෙදුම්වාද විරෝධී ජාතික නායකයෙකු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට ඉදිරියට ඒමේ මග සැකසුනේද දේශප්‍රේමී ජාතික චින්තනය කුළුගැන්වූ දිවයින ඉරිදා සංග්‍රහය හා දිවයින දිනපතා පුවත්පත් මගින් ඉටුකරන ලද මහා මෙහෙවර නිසා බවට සැකයක්‌ නැත.

ඒ සියල්ලටම වඩා කොටි තර්ජනයට ලක්‌වූ රජරට රැක ගැනීමෙහිලා අධ්‍යාත්මික නායකත්වය දුන් උතුරුමැද හා නැඟෙනහිර පළාත්වල භික්‍ෂුන් වහන්සේලාට අවශ්‍ය මාධ්‍ය සහාය ලැබුණේ දිවයින පුවත්පත් මගින් බව කෘතවේදීව සිහිපත් කළ යුතුය. ඓතිහාසික තන්තිරිමලේ විහාරාධිපති පූජ්‍ය මහකෝන්ගස්‌කඩවල විමලඥන හිමියන් කොටි බෝම්බයෙන් ඝාතනයවූ අවස්‌ථාවේත් පදවිය ධර්මාලෝක හිමියන් හා සිරිපුර ධම්මානන්ද හිමියන් කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූ අවස්‌ථාවේදීත් අරංතලාවේ කුරිරු භික්‍ෂු ඝාතනයට එරෙහිව ජාතිය අවදි කිරීමේදීත් දිඹුලාගල ශීලාලංකාර හිමි ඝාතනයට එරෙහිව ජනතා බලවේග පෙළගැස්‌වීමේදීත් දිවයින පුවත්පත මගින් සිදුකළ මෙහෙවර නොවන්නට මහින්ද රාජපක්‍ෂ මහතා බලයට නොඑන්නටත් ගෝඨාභය රාජපක්‍ෂ කෙනෙකු ආරක්‍ෂක ලේකම් නොවන්නටත් රට දෙකඩ වන්නටත් ඉඩ තිබුණි.

ඒ සත්‍යය අවංකව පිළිගන්නා සියලු දේශප්‍රේමී ජාතිහිතෛශීන් මෙන්ම පැසිස්‌ට්‌ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවද "ඉරිදා දිවයින සංග්‍රහය"ත් දිනපතා "දිවයින" පුවත්පතත් රැකගතයුතු ජාතික වස්‌තු සේ සලකා සුරැකිව රැකගෙන වඩා ප්‍රබල ආකාරයෙන් ඉදිරියට ගෙනයන්නට හැකි උපරිම ආධාර අනුග්‍රහ දැක්‌විය යුතුය. එය දේශප්‍රේමී ජාතික වගකීමකි. මානව හිතවාදී ප්‍රජාතන්ත්‍රවාදී මෙහෙවරකි. දේශප්‍රේමී ජාතික ඉතිහාසය ඉදිරියට ගෙනයන "දිවයින" පුවත්පත් දිගුකල් දිනේවා!


අනගාරික ධර්මසේකර
උපුටා ගැනීම
දිවයින
2011/10/02

Related

අනගාරික ධර්මසේකර තුමා 5937640741293168574

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item