පුංචි ඡන්දයේ තවත් ප්‍රතිඵල

මනෝජ් අබයදීර පළාත් පාලන ආයතන 23 ක්‌ සඳහා මැතිවරණය පැවැත්වුණද සමස්‌තයක්‌ ලෙස රටම බලා සිටියේ කොළඹ මහ නගර සභාවේ ප්‍රතිඵලය දෙසය. පළාත් ...

මනෝජ් අබයදීර

පළාත් පාලන ආයතන 23 ක්‌ සඳහා මැතිවරණය පැවැත්වුණද සමස්‌තයක්‌ ලෙස රටම බලා සිටියේ කොළඹ මහ නගර සභාවේ ප්‍රතිඵලය දෙසය. පළාත් පාලන ආයතන 21 ක බලය එජනිසය හිමි කර ගත්තත්, ඔවුනට කොළඹ අහිමිවීම ජයග්‍රහණයට සම්පූර්ණ බව එකතු නොකළේය. රටේ ආණ්‌ඩු කරන පිරිස හා දිගින් දිගටම මැතිවරණ ජයග්‍රහණයන්හි මිහිර විඳ ඇති පිරිසක්‌ වන රාජපක්‍ෂ ආණ්‌ඩුවට කොළඹ මහ නගර සභාවේ ජයග්‍රහණය වැදගත් විය. රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් මීට පෙරදී කොළඹ ජයග්‍රහණය සඳහා ඉදිරිපත් කරන ලද්දේ වාසුදේව නානායක්‌කාරය. නමුත් එජාපයේ සහයෝගය ලද "කණ්‌නාඩි කුට්‌ටම" පරාජය කරන්නට ඔහුට නොහැකි විය. මෙවර ආණ්‌ඩුව සිය තුරුම්පුව ලෙස පාවිච්චි කරන ලද්දේ මිලින්ද මොරගොඩය. මිලින්ද ඒ සඳහා ඉදිරිපත් කිරීමට පෙර භාරත ලක්‍ෂ්මන්ට ඒ සඳහා ජනාධිපති රාජපක්‍ෂ විසින් අවස්‌ථාව උදාකර දුන් නමුත්, භාරත ඊට එකඟ වී නොතිබිණි. වාසුදේව හා මිලින්ද මොරගොඩ යන දෙදෙනාම ගත් විට ඔවුන් නිතරම පෙනී සිටින්නේ සිංහල ජාතිකත්වයට එරෙහිවය. වාමාංශිකයකු ලෙස වාසුදේව එලෙස පෙනී සිටින විට බටහිරවාදියකු හා ඉන්දියන් ගැත්තකු ලෙස මිලින්ද ඒ වෙනුවෙන් පෙනී සිටියි. එල්. ටී. ටී. ඊ. ය සමඟ සාකච්ඡා කිරීම හෙවත් කොටි ත්‍රස්‌තවාදීන් සවිබල ගැන්වීම සඳහා ලබා දෙන විරාම කාලයන් සඳහා මෙම දෙදෙනාම හැම විටම පක්‍ෂපාති විය. 2006 දී කොළඹට වාසුදේව ඉදිරිපත් කිරීමේදීත් 2011 දී කොළඹට මිලින්ද ඉදිරිපත් කිරීමේදීත් ආණ්‌ඩුව මොවුන් දෙදෙනා සතු මෙම ගතිගුණය සැලකිල්ලට ගත්තා විය හැකිය. දෙමළ, මුස්‌ලිම් බහුතරය වෙසෙන කොළඹ ජයගත හැක්‌කේ සිංහලත්වයට එරෙහිව සිටින නමට සිංහල වූ සාම මේනියාකාරයන් යොදවා බව ආණ්‌ඩුව ගණන් හදන්නට ඇත. නමුත් ඒ "සාම මේනියාකාරයන්ට" කොළඹ ජනතාව සලකා නැත. නමට පමණක්‌ සිංහල වන මේ වර්ගයේ සාම මේනියාකාරයන්ට සිංහල සමාජයේ පමණක්‌ නොව දෙමළ, මුස්‌ලිම් ජනතාව අතර සැලකිල්ලක්‌ නැති බව දෙවාරයකදීම කොළඹ ජනතාව පැහැදිලි කර දී තිබේ. ආණ්‌ඩුව ලත් කොළඹ පරාජය සඳහා එකම හේතුව මෙය නොවෙතත් මෙවැනි පුද්ගලයන් වෙනත් ක්‍ෂේත්‍රවලදී ද ඉදිරියට ගැනීමෙන් වැළකීමට ආණ්‌ඩුවට මෙය පාඩමක්‌ කරගත හැකිය.


ආණ්‌ඩුවට සේම කොළඹ ප්‍රතිඵලය වැදගත් වූ අනෙක්‌ පාර්ශ්වය වූයේ එජාපයය. එජාප අභ්‍යන්තරයේ ඇති වී තිබෙන බල අර්බුදයේදී සජිත්ගේ හා රනිල්ගේ හැකියාවේ මිම්ම බවට පත්ව තිබුණේ කොළඹය. ගම දිනා ගන්නට හා රාජපක්‍ෂලා පරද්දන්නට රනිල්ට නොහැකි බවත් එම හැකියාව ඇත්තේ සජිත්ට බවත් ප්‍රතිසංස්‌කරණවාදීන්ගේ අදහස විය. ගම දිනවන්නටත්, රාජපක්‍ෂලා පරාජය කරන්නටත් තමන්ට හැකියාවන් ඇතැයි රටට පෙන්වන්නට සජිත්ට අවස්‌ථාවක්‌ උදාවූයේ පළාත් පාලන මැතිවරණයේ මුල් වාරයේදීය. රාජපක්‍ෂලා නියෝජනය කරන හම්බන්තොට ගමකි. මේ නිසා තමන්ගේ ද බලප්‍රදේශය වන හම්බන්තොටින් එවැනි ජයග්‍රහණයන් අත්පත් කරගෙන පක්‍ෂ නායකත්වය සඳහා සුදුසුකම් පෙන්වන්නට සජිත්ට අවස්‌ථාව ලැබිණි. නමුත් හම්බන්තොටින් එවැනි ජයග්‍රහණයක්‌ උදා කර දෙන්නට සජිත්ට නොහැකි විය. එම වටයේදී සජිත් පැරදුනද රනිල් දිනුවේය. නගරයේදී රනිල්ගේ බලය කෙරෙහි බියක්‌ උපදවා ගත් ආණ්‌ඩුව ලෝක ක්‍රිකට්‌ කුසලානයට මුවා වී මහ නගර සභා ඡන්ද කල් දැමුවේය. එම කල් දැමීමම රනිල් ලත් ජයග්‍රහණයක්‌ විය. අවසාන වාරයේ තරගය රනිල් හා සජිත් දෙදෙනාටම විවෘත වූවක්‌ විය. ඊට අමතරව එජාපයේ නායකත්වය සඳහා සජිත් පිල විසින් නම් කරන ලද කරු ජයසූරියගේ තත්ත්වය මැන බලන්නක්‌ විය. හම්බන්තොට හා සූරියවැව ඡන්දයෙන් සජිත්ද, ගම්පහින් කරුද, කොළඹින් රනිල් ද මැන බලන තැනට තරගය පත්ව තිබිණි. ඡන්දයට නාමයෝජනා දීමට ඔන්න මෙන්න කියා තිබියදී සජිත් පාර්ශ්වය විසින් එජාප නායකත්වය සඳහා කරුගේ නම යෝජනා කරමින් සටනක්‌ ඇරඹීය. ඒ සඳහා වන උද්ඝෝෂණය මුලින්ම පිටකෝට්‌ටේ පැවැත්වීමට සූදානම් කර තිබූ අතර එයට අධිකරණයේ වාරණ නියෝගයක්‌ ලැබීම නිසා පසුව එය කොළඹ නගර සභාව ඉදිරිපිට පැවැත්වීය. මෙම ස්‌ථාන දෙකම නගර සභා ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන බලප්‍රදේශවල පිහිටා තිබිණි. මෙම උද්ඝෝෂණ දකින එජාප පාක්‍ෂිකයා සිතන්නේ, "කුලල් කාගන්න පක්‍ෂයකට අපි මොකටද ඡන්දය දෙන්නේ" යනුවෙනි. එසේ තිබියදීත් කොළඹ එජාපයට දිනා දෙන්නට රනිල් සමත් විය. 2006 වසරේ පළාත් පාලන ඡන්දයේදී කණ්‌නාඩි කුට්‌ටමට සහයෝගය ලබාදී ඡන්ද 82580 ක්‌ හා ආසන 23 ක්‌ එජාපය දිනාගන්නට සමත් විය. එවර එජාපය ලැබූ ඡන්ද ප්‍රතිශතය 40.24% ක්‌ විය. මෙවර ඉන් ඉදිරියටවිත් ඡන්ද 101920 ක්‌ හා ආසන 24 ක්‌ එජාපය දිනාගත් අතර ඡන්ද ප්‍රතිශතය 40.24% සිට 43.01% දක්‌වා වැඩිකර ගැනීමට ද සමත් විය. මනෝ ගනේෂන් හා මුස්‌ලිම් කොංග්‍රසය තනිවම තරග වදිද්දී ශුද්ධ එජාපයට මෙවැනි ඉලක්‌කයකට යැමට හැකිවීමම ජයග්‍රහණයකි. ජනාධිපති ප්‍රේමදාසගේ දකුණු අත වූ සිරිසේන කුරේ මෙවර මැතිවරණයේදී සිය සහාය ලබාදුන්නේ එ.ජ.නි.ස.ය වෙතය. ඔහුගේ පුතා ද එජනිසයෙන් කොළඹට තරග කළේය. තවත් ප්‍රේමදාසවාදියකු වන සුචරිත ව්‍යාපාරයේ ප්‍රධානියකු ද වන විජිත කදිරගොන්න වෙනත් කණ්‌ඩායමකින් තරග කළේය. ඔහු සිය පෝස්‌ටරයේ ප්‍රදර්ශනය කර තිබුණේ ජනාධිපති ප්‍රේමදාසගේ හා සජිත්ගේ මුහුණය. එජාපය තරග කරද්දී වෙනත් කණ්‌ඩායමක කෙනකු තමන්ගේ මුහුqණ යොදා පෝස්‌ටර් ගැසුවද සජිත් ඒ ගැන කිසිවක්‌ කතා නොකළේය. ප්‍රේමදාසවාදියකු වන කුරේ, එ.ජ.නි.ස.යට සහය දෙද්දී ඔහු පාලනය කිරීමට සජිත් කිසිවක්‌ කළේ නැත. මේ අනුව බලන විට මැදකොළඹ ප්‍රේමදාසවාදීන්ගේ ඡන්ද එජාපයට නොදෙන තැනට සජිත් විසින් වැඩ කළාදැයි සිතිය හැකිය.

මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අතරතුර කොළඹ නගරය පුරා අලවා තිබූ පෝස්‌ටරයක සඳහන් වූයේ "රනිල් එජාපයෙන් එලවන්න, සජිත් එජාප නායකත්වයට පත්කරන්න, කොළඹින් එජාපය පරද්දන්න" මෙය එ.ජ.නි.ස.යේ උපක්‍රමයක්‌ විය හැකි වුවත් එවැන්නකට පවා ඉඩ ලැබුණේ ප්‍රේමදාසවාදීන් එළිපිටම එජාපයට එරෙහිව කරන ලද කකුලෙන් ඇදීම් විසිනි. ප්‍රේමදාසවාදීන් මෙසේ එජාපයට එරෙහිව එළිපිටම කටයුතු කරද්දී එජාපය කොළඹදී ලද ජයග්‍රහණය තනිකරම රනිල් ලද ජයක්‌ බව පෙනේ. යම් හෙයකින් කොළඹදී එජාපය පැරදුණේ නම් පහුවෙනිදා උදයේ කොළඹ ප්‍රතිඵලය නිකුත් වන විටම රනිල් පක්‍ෂයෙන් එලවීම සඳහා ප්‍රතිසංස්‌කරණවාදීන් සිරිකොතට රැස්‌වෙනවා ඇත. නමුත් රනිල් ජයග්‍රහණය කළ විට ඊට සුබ පතන්නට ප්‍රතිසංස්‌කරණවාදීන් එන්නේ නැත. එයින් පෙනී යන්නේ තමන්ගේ බලප්‍රදේශවලදී හැර අනික්‌ පැතිවලදී එජාපය ජයග්‍රහණය කිරීමෙන් ප්‍රතිසංස්‌කරණවාදීන් සතුටක්‌ නොලබන බවය. එසේ නම් අද එජාප ප්‍රතිසංස්‌කරණවාදීන් මේ වන විට ඇත්තටම සිටින්නේ තමන්ට නායකත්වය අත්පත් කර ගැනීම සඳහා තම බලප්‍රදේශයන්ගෙන් පිටතදී එජාපය පැරදිය යුතුය යන මතයේය. එක්‌ අතකින් එජාපය දිනවන්න තමන්ට පක්‍ෂයේ බලය දෙන්නට කියන අතරේම අනික්‌ පැත්තෙන් පක්‍ෂය පරාජය කිරීමේ කාර්යභාරයක්‌ ද ඉටුකරමින් එජාප ප්‍රතිසංස්‌කරණවාදීන් "ඩබල් ගේමක්‌" ගසන බව දැන් පැහැදිලිය. මේ තත්ත්වය යටතේ රටේ සමස්‌ත පළාත් පාලන ආයතන 322 න් 10 ක්‌ දිනාගැනීමට එජාපයට හැකිවීමම හපන්කමකි.

පළාත් පාලන මැතිවරණයේ මුල් වටයේදී හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ කිසිදු පළාත් පාලන ආයතනයක්‌ එජාපයට දිනා දෙන්නට සජිත් ප්‍රේමදාසට නොහැකි විය. පක්‍ෂයේ ඉදිරි නායකත්වය පතන්නකු කළ යුත්තේ නිරන්තරයෙන්ම "ලෙඩ අදිමින්" පක්‍ෂය තවත් දුර්වල කිරීම නොව තමන්ගේ මැතිවරණ බලප්‍රදේශවලදී පක්‍ෂය දිනා දෙන්නට තමන්ට හැකි බව පෙන්වා, රටේම සිටින පාක්‍ෂිකයාගේ මතය තුළින් නායකත්වයට පැමිණීමය. එජාප නායකත්වය සඳහා පක්‍ෂය තුළ බල අරගලයක නිරත වන සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ දිස්‌ත්‍රික්‌කය වූ හම්බන්තොටට අයත් පළාත් පාලන ආයතන තුනක ඡන්දය ද මෙවර පැවැත්විණි. එම ආයතන තුනෙන්ම එජාපය පරාජය වී තිබිණි.

කරු ජයසූරිය ද එජාපයේ නායකත්ව පොරය සඳහා ඉදිරිපත් වී ඇති තවත් නමකි. කරු නායකත්වයට ඉදිරිපත් වන විටම ඔහුට අභියෝග දෙකක්‌ ඉදිරිපත් වී තිබිණි. ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් එජාපය ජයග්‍රහණය කර පෙන්වීම හා ගම්පහින් එජාපයේ පළමුවැනියා බවට මනාප ලබාගැනීම එම අභියෝග ද්විත්වයය. ගම්පහදී පක්‍ෂය දිනවන්න බැරි අයකු රට තුළදී පක්‍ෂය දිනවන්නේ කෙසේද යන්නත් තමන් නියෝජනය කරන දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාපලාභියා බවට හෙවත් පක්‍ෂයේ වැඩි දෙනකු විශ්වාස කරන්නා නොවී පක්‍ෂයේ නායකයා වන්නේ කෙසේද යන්නත් එම අභියෝග මතුවන්නට හේතුව විය. කරුගේ සමර්ථභාවය පිළිබඳව දර්ශකයක්‌ ලෙස මෙවර ගම්පහ මහ නගර සභා මැතිවරණ ප්‍රතිඵලය ගත හැකිය. ගියවර එජාපය ගම්පහ මහ නගර සභාවේදී ඡන්ද 10565 ක්‌ ලබාගෙන තිබිණි. එය ප්‍රතිශතයක්‌ ලෙස 42.2% ක්‌ වූ අතර මන්ත්‍රී ආසන නවයක්‌ ඊට හිමිවී තිබිණි. මෙවර එජාපයේ ඡන්ද ප්‍රමාණය 6478 දක්‌වා අඩුවී තිබූ අතර ප්‍රතිශතය 21.16% දක්‌වා ද ආසන 03 දක්‌වා ද අඩු වී තිබිsණි.

තමන්ගේ බැරි මරගාතය වසා ගනිමින් පක්‍ෂය ඉල්ලන තැනට අද එජාපයේ ප්‍රතිසංස්‌කරණවාදීන් පත්වී සිටින බව මෙයින් පෙනේ. යම් හෙයකින් මෙවැනි ප්‍රතිඵලයක්‌ රනිල් වික්‍රමසිsංහට අත්වී තිබුණා නම් ප්‍රතිසංස්‌කරණවාදීන්ගේ ප්‍රමුඛ කටයුත්ත වන්නේ "රනිල් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වෙනු" යන්නයි. ලැබී ඇති පරාජය හමුවේ ප්‍රතිසංස්‌කරණවාදීන්ට ද එම ගණයේම බලපෑමක්‌ දැන් එජාපය විසින් කළ යුතුය.

ජවිපෙ තුළ ඉහළ මට්‌ටමෙන් මතුව තිබූ අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් මෙවර මැතිවරණයේදී එම පක්‍ෂය දරුණු පසුබෑමකට ලක්‌වී තිබිණි. අපේක්‍ෂකයන්ට හැකි ආකාරයෙන් මැතිවරණයේ නිරත වනවා විනා පක්‍ෂයේ ඉහළ මට්‌ටමින් මැතිවරණය සඳහා සහයෝගයක්‌ ලබාදීමට අවකාශයක්‌ නොලැබීම එම පරාජය සඳහා එක්‌ හේතුවක්‌ විය.

එජනිසය තුළ දක්‌නට ලැබුණේ මෙයට වෙනස්‌ ආකාරයක්‌ය. අපේක්‍ෂකයන් මනාප උදෙසා කුලල් කා ගනිමින් ගහ මරා ගත්තද පක්‍ෂයක්‌ ලෙස ජයග්‍රහණය සඳහා සියලු නායකයන් එකා සේ වැඩ කළේය.

ජවිපෙ හා එජනිසයේ මෙම ආදර්ශයන් වැදගත් වන්නේ එජාපයටය. එජාප නායකයන් භේදභින්න වීමේ ප්‍රතිඵලය දැනටමත් එජාපයට ලැබී තිබේ. තමන්ට අවස්‌ථාව උදාකර ගැනීම සඳහා එජාපය කළ යුත්තේ සියලු බේද අතහැර නායකයා පිළිගෙන සමගි වීමය. කොළඹ ජයග්‍රහණය පක්‍ෂයට රැකදී තමන්ගේ නායකත්වය රනිල් පක්‍ෂයට දැනටමත් පෙන්වා දී තිබේ. නායකත්වය සඳහා තරග වදින අනිත් පිරිස එවැනි සුදුසුකමක්‌ පෙන්වා නැත. එජාපය ජයග්‍රහණ කරවීම මෙම පිරිසට අවශ්‍ය නම් ඔවුන් පළමුව කළ යුත්තේ අභ්‍යන්තර අර්බුද අවසන් කර එක්‌ එජාපයක්‌ බවට පත්වීමය.

http://www.divaina.com/2011/10/12/manopage.html

Related

මනෝජ් අබයදීර 9106933788469480674

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item