කොළඹ ප්‍රතිඵල හා සන්ධානයේ ඡන්ද කෙක්‌ක

(මහාචාර්ය නලින් ද සිල්වා - ඉරිදා දිවයින ) ජාතික ව්‍යාපාරය හා දිවයින යනුවෙන් ලිපි පෙළක්‌ ලිවීම ආරම්භ කළ නමුත් වර්තමාන දේශපාලන තත්ත්වයෙහ...

(මහාචාර්ය නලින් ද සිල්වා - ඉරිදා දිවයින )
ජාතික ව්‍යාපාරය හා දිවයින යනුවෙන් ලිපි පෙළක්‌ ලිවීම ආරම්භ කළ නමුත් වර්තමාන දේශපාලන තත්ත්වයෙහි ඇතිවෙමින් පවතින වෙනස්‌කම් හේතුවෙන් මේ සතියේ පළාත්පාලන මැතිවරණ ගැන සඳහන් කිරීමට සිදු වී ඇත. මේ ලිපියට නිමිති දෙකක්‌ වෙයි. එකක්‌ පඬියකුගේ ප්‍රකාශයකි. අනෙක භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයය. මේ ආණ්‌ඩුව තරම් ජනතාවගේ ප්‍රසාදයට ලක්‌වූ තවත් ආණ්‌ඩුවක්‌ මෑත ඉතිහාසයේ තිබී නැත. පනස්‌හයේ ආණ්‌ඩුව වුව ද මෙතරම් ජනප්‍රසාදයට පත් නොවීය. හැරත් එයට ජනප්‍රසාදය රැකගත හැකිවූයේ ටික කාලයකට පමණය. පැරැණි රජවරුන්ගේ අතිසාර්ථක පාලන මෙරට තිබී ඇත. ගැමුණු කුමරු මෙරට ඉතිහාසය සකස්‌ කළ තැනැත්තා වුවද මෙරට සිංහල බෞද්ධ රාජ්‍යය පිහිටවූ රජතුමා වුවද සිංහලයන්ගේ ප්‍රධානම වීරයා වුවද එතුමාගේ මරණයෙන් නොබෝ කලකින්ම අනුරාධපුරය නැවතත් විජාතික ආක්‍රමණවලට ගොදුරු විය. ගැමුණු රජුගේ සොහොයුරාගේ පුතා වූ වළගම්බා කාලය පැමිණෙන විට විජාතික බලවේග නැවතත් කෙතරම් බලවත් වී ද යත් වළගම්බා රජුට තාවකාලිකව වුවත් දකුණට පැන යැමට සිදුවිය. මේ විජාතික ආක්‍රමණ අවුරුදු හයසියයකට වැඩි කාලයක්‌ නතර කර ගැනීමට හැකිවූයේ ධාතුසේන රජුගෙන් පසුවය. ඒ සඳහා මහාවංසය උපකාරී වූවාට සැක නැත. මහාවංසය බණ පොතක්‌ නොවේ. එය හුදු ඉතිහාස පොතක්‌ද නොවේ. එහි අඩුපාඩු නැතිවා ද නොවේ. එහෙත් ජාතියේ ගමන්මග සලකුණු කරනු ලැබුයේ මහානාම හිමියන් විසිනි. බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදී පඬියන් මහාවංසය ත්‍රිපිටකය මෙන්ම සිංහල බෞද්ධයන් වන්දනාමාන කරන තවත් පිටකයක්‌ ලෙස හඳුන්වන්නේ ත්‍රිපිටකය ගැන මෙන්ම මහාවංසය ගැන ද ඇති වෛරය "ශාස්‌ත්‍රානුකූලව" ප්‍රකාශ කරමිනි. මහින්ද රාජපක්‍ෂ මහතා ඉතිහාසයේ කෙසේ සටහන්වනු ඇද්ද යන්න නිශ්චිතව කිව නොහැකිය. දෙමළ ජාතිවාදී ත්‍රස්‌තවාදය පරාජය කළේ ඒ මහතාගේ දේශපාලන නායකත්වයෙනි. අප බොහෝ විට කියා ඇති ආකාරයට එය හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව අප ලත් වැදගත්ම ජයග්‍රහණය වෙයි. ගෝඨාභය රාජපක්‍ෂ හා රණවිරුවන් නොවන්නට එම ජයග්‍රහණය නොලැබීමට තිබිණි යන්න ද මෙහිලා සඳහන් කළ යුතුය. එහෙත් ප්‍රශ්නය වනුයේ අප එතැනින් ඉදිරියට යන්නේ කෙසේද යන්නය.

හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව සුළු කලකින්ම බටහිරයෝ මෙහි පැමිණියහ. අවුරුදු පන්සියයකට වැඩි යටත්විජිත සමයක්‌ ඒ සමඟ ඇරඹිණි. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී එය නැවැත්වීමට රහල් හිමියනටවත් වෑත්තෑවේ හිමියනටවත් වෙනත් කිසිවකුටවත් දේශපාලනික වශයෙන් වැදගත් වූ මහාවංසය වැනි පොතක්‌ ලිවීමට නොහැකි විය. ඒ උන්වහන්සේලාගේ වරදක්‌ නොවීය. ව්‍යාප්තවෙමින් පැවැති බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයේ විනාශකාරී බලපෑම එපමණකට ශක්‌තිමත් විය. සිංහල බෞද්ධ ජීවන රටාවට විරුද්ධව ක්‍රියාත්මක වූ බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයේ අවසාන නියෝජිතයන් වූයේ ඡේ. ආර්. ජයවර්ධන හා ප්‍රභාකරන්ය. 1977 සිට 2005 දක්‌වා සෘජුව ක්‍රියාත්මක වූ මේ දේශපාලනය තවමත් පරාජය වී නැත. අද එය වක්‍රව මහින්ද රාජපක්‍ෂ මහතාට හා ආණ්‌ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙයි. අප ඒ ගැන සැලකිලිමත් නොවුවහොත් ගැමුණු කුමරුන්ගෙන් පසුව, හයවැනි පැරකුම්බාවන්ගෙන් පසුව, මෙරටට සිදු වූ දේ නැවතත් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුව සිදු වීමට ඉඩ ඇත. අද බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදය අවරට යමින් ඇත. එහෙත් එය මුළුමනින්ම පරාජය වී නැත. මාක්‌ස්‌වාදී අර්ථයකින් නොවුවත් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය කඩා වැටෙනු ඇත්තේ ධනවාදය ද සමගිනි. එහෙත් ඒ වෙනුවට ඊනියා කම්කරු පංති නායකත්වයකින් කම්කරු රාජ්‍යයක්‌ නම් කිසි දිනෙක ඇති නොවනු ඇත. එයට ප්‍රධාන හේතුව ඊනියා කම්කරු පංතිය බෙහෙතකටවත් සොයාගත නොහැකි වීමත් එය මාක්‌ස්‌ගේ මනස්‌පුතකු පමණක්‌ වීමත්ය.

එ. ජා. පක්‍ෂය කොළඹ මහ නගර සභාව ජයගත් බවත් මිලින්ද මොරගොඩ මහතාට එහි පුරපති ධුරය අහෝසි වූයේ සන්ධානය කොළඹ ඊනියා බහු ජාතිකත්ව ව්‍යාප්තිය නොසලකා හැරි නිසා බවත් ඊළාම්වාදියකු ව සිට අද බටහිර රටක තානාපතිව සිටින ආණ්‌ඩුව වෙනුවෙන් කතාකරන අතර ආණ්‌ඩුව බෙදුම්වාදය කරා යොමු කිරීමට උත්සාහ කරන පඬියකු පවසා තිබිණි. මෙවැනි පුද්ගලයන් විශාල පිරිසක්‌ අද ආණ්‌ඩුවට එකතු වී ඇත. ඔවුන් මැති ඇමැතිවරුන්, තානාපතිවරුන්, උපදේශකවරුන්, සංස්‌ථා නිලධාරීන් ආදීන් අතර දැකගත හැකිය. මොවුහු ඇතැමෙක්‌ එ ජා පාක්‍ෂිකයෝ වූහ. තවත් සමහරු මාක්‌ස්‌වාදීන් වෙමින් දෙමළ ජාතිවාදීහු වූහ. දෙමළ ජාතිකත්වය උඩ නොමග ගොස්‌ දෙමළ ජාතිවාදීන් වූ කරුණා වැන්නන්ට කරුණු අවබෝධ වූ පසු ඔවුන් දේශප්‍රේමීන් වීමට ඉඩ ඇතත් මාක්‌ස්‌වාදී ස්‌ථාවරයක සිට සිංහල බෞද්ධ සංස්‌කෘතියට විරුද්ධ වූවන් මාක්‌ස්‌වාදය මුළුමනින්ම අත්නොහැරියහොත් කිසි දිනෙක සිංහල බෞද්ධ විරෝධී කසිකබල් ජාත්‍යන්තරවාදය අත් නොහරිනු ඇත. අර තානාපති පඬියා බටහිර රටක සිට කියන්නේ බටහිර රටවල ගෞරවයට පාත්‍රවීමට නම් ආණ්‌ඩුව සිංහල ජාතිකත්වයෙන් බැහැරවිය යුතු බවය. ඔවුන් ආණ්‌aඩුවට කියන්නේ බටහිර රටවලට තේරෙන අයුරින් ආණ්‌ඩුව සිංහල ජාතිකත්වයේ නොමැති බව ඊනියා තර්කානුකූලව කීමෙන් පමණක්‌ අපට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වැනි බටහිරයන්ගේ මුඩුක්‌කුවල තැනක්‌ ලබාගත හැකි බවය. බටහිර ක්‍රිස්‌තියානි අධ්‍යාපනයක්‌ ලැබූ පඬියන්ගෙන් පිරුණු අපේ විදේශ අමාත්‍යාංශයෙන් හෝ අර පඬියා වැනි ශාස්‌ත්‍රාලයෙන් හෝ බිහි කෙරුණු තානාපතිවරුන්ට වඩා බටහිරයන්ට "තේරෙන බසින්" අපට අවශ්‍ය දේ "සුද්ද සිංහලෙන්" කියා දුන්නේ හමුදාවෙන් බිහිවුණු ශවේන්ද්‍ර සිල්වා මහතා යෑයි සිතමි. අප බටහිර සංසදවල කිව යුත්තේ අපට අවශ්‍ය දේ මිස බටහිරයන්ට අවශ්‍ය දේ නොවේ. අප ඒ කිව යුත්තේ බටහිරයන්ගේ දේශපාලන ප්‍රවාදවලට අනුකූලව නොව අපේ දේශපාලන ප්‍රවාදවලට අනුකුලවය. අද අපට අවශ්‍ය තව තවත් "හමුදා තානාපතිවරුන්" මිස පඬි තානාපතිවරුන් නොවේ. බටහිරයන් කෙතරම් තර්කය ගැන කතා කළත් ඔවුහු තර්කයට සවන් නොදෙති. ඔවුන් සවන් දෙන්නේ යම්කිසි ආකාරයක ශක්‌තියකට පමණකි. එහෙත් ආණ්‌ඩුව ඒ බව තේරුම් ගෙන නැත.

මෙරට පසුගිය තිස්‌වසරක ජාතික ව්‍යාපාරයෙන් කෙරුණු ප්‍රධාන කටයුත්තක්‌ නම් දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළ හැකි බවට හා පරාජය කළ යුතු බවට මතයක්‌ ඇති කිරීමය. අර පඬියන්, විවිධ හාංසිපුටු යුද විශේෂඥයන් කොටි ඉතා බලවත් බවත් ප්‍රභාකරන් අති දක්‍ෂ යුද සෙන්පතියකු බවත් දෙමළ ජනතාවට සිදු වී ඇති ඊනියා අසාධාරණකම් සාකච්ඡාවෙන් පමණක්‌ විසඳාගත හැකි බවත් ඊනියා ජාත්‍යන්තරයට අනුව යමින් කියද්දී එය එසේ නොවන බව කියා සිටියේ මෙරට ජාතික ව්‍යාපාරය ය. ඡේ. ආර්. ගේ ව්‍යවස්‌ථාව අනුව සමානුපාතික ක්‍රමය යටතේ කිසිම පක්‍ෂයකට තුනෙන් දෙකක බලයක්‌ ගත නොහැකි බව අංක ගණිතයවත් හරිහැටි නොදත් ඊනියා දේශපාලන විද්‍යාඥයන් කියා සිටියදී 75% ක්‌ පමණ වූ සිංහලයන්ගේ ඡන්දවලින් 90% ක්‌ පමණ ගෙන ප්‍රසාද ආසන සහිතව තුනෙන් දෙකේ බලයක්‌ ගතහැකි බව පෙන්වා දෙනු ලැබුයේ ජාතික ව්‍යාපාරය විසිනි.
අද ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය සිංහලයන් එකමුතු කර ඇත. සිංහලයන්ගෙන් 75% ක ප්‍රමාණයක්‌ සන්ධානයට ඡන්දය දෙති. සන්ධානයට සිංහලයන්ට කිවහැකි පණිවුඩයක්‌ ඇත. ඒ ජාතිකත්වය පිළිබඳ ව වූවකි. මහනුවර, නුවරඑළිය වැනි බල ප්‍රදේශවල එ. ජා. පක්‍ෂය පැරදෙන්නේ සිංහලයන් එකතු කළ ශ්‍රී ල නි පක්‍ෂය අද දෙමළ හා මුස්‌ලිම් ජනකොටස්‌ ද එකතු කරමින් සිටින බැවිනි. මේ භවයේ පමණක්‌ නොව සංසාරයේ කිසිම දිනෙක බුද්ධිමත් ප්‍රකාශයක්‌ කර ඇතැයි සිතිය නොහැකි තිස්‌ස අත්තනායක කොළඹ ඊනියා ජයග්‍රහණයෙන් උදම් වී එ. ජා. ප නැවතත් බලයට ඒම අරඹා ඇතැයි කියා තිබේ. එහෙත් සිදු වී ඇත්තේ එ ජා පක්‍ෂය කොළඹින්ද පරාජය වීම අරඹා ඇති බවය. කොළඹ මුළු ආසන සංඛ්‍යාව වූ 53 න් එ ජා පක්‍ෂයට ලැබී ඇත්තේ හරි අඩකට අඩු ආසන 24 කි. එය ජයග්‍රහණයක ඇරඹුමක්‌ තබා එ ජා පක්‍ෂ පල්ලම් ගමනේ අම්බලමක්‌වත් නොවේ. කොළඹ සිංහල ජනතාවගේ ප්‍රතිශතය 35% ට අඩුය. ඉන් සියයට 80 ක්‌ සංධානයට ඡන්දය දුන්න ද ඒ පක්‍ෂයට ලැබෙන්නේ 29% කි.
එහෙත් කොළඹ වාසය කරන සිංහලයන්ගෙන් 80% ක්‌ සන්ධානයට ඡන්දය දෙතැයි සිතිය නොහැකිය. එසේ නම් ඉන් කියෑවෙන්නේ සන්ධානයට දෙමළ හා මුස්‌ලිම් ජනයාද ආකර්ෂණය වෙමින් පවතින බවය. එය විය යුත්තකි. ශ්‍රීලනිප ප්‍රධාන සන්ධානය පළමුව සිංහල බෞද්ධයන් ද දෙවැනිව සිංහල ක්‍රිස්‌තියානින්ද ජාතිකත්වය මත එකතු කර ඇත. දැන් ඒ පක්‍ෂය ජාතිකත්වය මත පදනම් වී දෙමළ හා මුස්‌ලිම් ජනයා ද එකතු කරමින් සිටී. ඒ ජාතිකත්වය ඊනියා ශ්‍රී ලාංකික ජාතිකත්වයක්‌ නොවන බව අවධාරණය කළ යුතුය. සන්ධානයට ඡන්ද අදින කෙක්‌ක අන් කිසිවක්‌ නොව ජාතිකත්වයයි. ඒ නියෝජනය කරන්නේ ජනාධිපතුමා මිස අන් කිසිවකු නොවන බව අවධාරණය කළ යුතුය. එජාපක්‍ෂයෙන් හෝ වෙනත් තැනකින් හෝ ශ්‍රීලනි පක්‍ෂයට බැඳෙන අය ගෙනෙන ඡන්දයක්‌ නැත. යම් ඡන්ද ප්‍රමාණයක්‌ ගෙනාවත් ජනාධිපතිතුමා ගෙනෙන ඡන්ද ඡන්ද ප්‍රමාණය සමග සැසඳු කල ඒ නොගිණිය හැකි තරම්ය. ජනාධිපතිතුමාට ඡන්ද ඇදීම සඳහා ශ්‍රීලනං පක්‍ෂයට බාහිරෙන් පුද්ගලයන් ආනයනය කිරීමට අවශ්‍ය නොවේ. භාරත ලක්‍ෂ්මන් මහතා මුළුනින්ම ජාතිකත්වයෙහි නො සිටියේය. එහෙත් ඔහු වෙනුවට කෙනකු අවශ්‍ය වී නම් ඒ ඔහුට වඩා ජාතිකත්වයට බර අයකු විය යුතුව තිබිණි. ශ්‍රිලනිප ප්‍රමුඛ සන්ධානය තමන්ට ඇති ජනප්‍රසාදය නැතිකර නොගත යුතුය. අද කළ යුත්තේ බටහිර කඩා වැටීම ජනතාවට පෙනෙන තෙක්‌ ජාතිකත්වය මත රඳා පවතිමින් යම් ආකාරයක සංවර්ධනයක්‌ (එය අපට අද නොගැළපුණත්) ඇති කර ගැනීමය.

Related

මහාචාර්‍ය නලින් ද සිල්වා 625502389316272611

Post a Comment

emo-but-icon

Follow Us

Hot in week

Recent

Comments

Side Ads

Text Widget

Connect Us

item